පාස්කු ප්‍රහාරයට වසර 4ක් : මලල්ගොඩ කමිටු වාර්තාව මුදාහැරීමට තොරතුරු කොමිසමෙන් නියෝගයක් !

834
2019 ජුනි 11 දින කමිටුවේ සභාපති, විනිසුරු විජිත් මලල්ගොඩ විසින් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට වාර්තාව ලබාදීම / ඡායාරූපය : pmdnews.lk

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කළ, විනිසුරු විජිත් මලල්ගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව තොරතුරු පනත යටතේ මුදාහැරීමට ජනාධිපති ලේකම් කාර්යාලය අද (26) එකඟවීමෙන් පසු එම වාර්තාව කොමිසමට ද පිටපතක් සහිතව පෙබරවාරි 09දාට පෙර මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව නියෝග කළේය.

විජිත් මලල්ගොඩ කමිටු වාර්තාව මුදාහරින ලෙස වසර 4කට ආසන්න කාලයක් තිස්සේ කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු විවිධ පාර්ශ්ව ඉල්ලීම් කළත්, එය මුදාහැරුණේ නැත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 4කට ආසන්න වන විට මෙසේ අදාළ වාර්තාව ලබාගැනීමට අවස්ථාව ලැබීම තොරතුරු පනත අනුව ලැබූ ජයග්‍රහණයකි.

නොදී ඉන්න බෑ !

සමාජය සහ සාමයික කේන්ද්‍රයේ (CSR) පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක සිල්වා විසින් ඉදිරිපත් කර තිබූ මෙම අභියාචනය අවස්ථා ගණනාවකදී තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව හමුවේ කැඳවිණි. මෙම වාර්තාව තොරතුරු පනත යටතේ ලබානොදී සිටීමට ජනාධිපති ලේකම් කාර්යාලයට හැකියාවක් නැති බව සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වාචික කරුණු දැක්වීම්වලින් සහ ලිඛිත කරුණු දැක්වීම් මගින් අවස්ථා ගණනාවකදී පෙන්වා දී තිබිණි.

ජනාධිපති කාර්යාලයේ උත්තර

මීට පෙර අභියාචනය කැඳවූ අවස්ථාවේ දී ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන කිසිම කරුණක් මෙම වාර්තාව මුදාහැරීමට අදාළ නොවන බව සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම පෙන්වා දීමෙන් පසු සහ ඔවුන් සඳහන් කර තිබූ ඇතැම් නඩු කටයුතු අවසන් වී ඇති බව කොමිෂන් සභාව ද පිළිගැනීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයේ තීරණය අද (26) දැනුම්දීමට නියෝග කර තිබිණි.

මුදාහැරිය හැකියි !

ඒ අනුව අද තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ දී මෙම අභියාචනය කැඳවූ අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් පැමිණි තොරතුරු නිලධාරියා අදාළ වාර්තාව මුදාහැරිය හැකි බව දැනුම් දුන්නේය. ඒ අනුව පෙබරවාරි 09දාට පෙර තොරතුරු කොමිසමට ද පිටපතක් සහිතව අදාළ වාර්තාව අභියාචක වෙත මුදාහැරීමට කොමිෂන් සභාව නියෝග කළේය.

එම තීන්දුවෙන් පසු දීර්ඝ කාලයක් තිස්සේ පැවති අභියාචනා විභාගය අවසන් විය.

නිල වශයෙන් මුල් වරට !

විජිත් මලල්ගොඩ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තා මුදාහරින ලෙස වසර 4ක් තිස්සේ බොහෝ පිරිසක් ඉල්ලීම් කළ ද, එය මුදාහැරීම සිදු කළේ නැත. ඒ අනුව මෙම වාර්තාව නිල වශයෙන් මුදාහැරීම සිදුවන්නේ පළමු වතාවට ය.

මෙම අභියාචනා විභාගය අද කැඳවනු ලැබුවේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, කොමසාරිස් නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ කොමසාරිස් නීතිඥ ජගත් ලියන ආරච්චි ඉදිරියේ ය. අද අභියාචනා විභාගයට සමාජය සහ සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා, එහි පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු, නීතිඥ මනුෂිකා කුරේ, තරිඳු ජයවර්ධන සහ දුරේක්ෂා ගයනි යන පිරිස සම්බන්ධ වූහ. ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් එහි තොරතුරු නිලධාරි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එස්.කේ. සේනාධීර සහභාගි විය.