Home Blog Page 216

ගෝඨාභයගේ පළිගැනීම් කොමිසම අවසන් : අධිකරණයට අපහාස කළාද? : වියදම් කාගෙන්ද?

0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ බලය භාවිත කරමින්, දැවැන්ත ජනතා මුදල් ප්‍රමාණයක් වැයකරමින්, දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීමට පත්කළ කොමිසමේ නිර්දේශ සහ අනාවරණ සම්බන්ධයෙන් ඉදිරියට පියවර නොගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපති සංජය රාජරත්නම් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

මෙම කොමිසමට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම් කිහිපයක් නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහිර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (08) සලකා බැලිණි.

අදාළ නිර්දේශ බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා මෙම දැනුම් දීම කර ඇත.

අධිකරණයට අපහාස කළාද?

මේ අතර දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිඥවරුන් සිව්දෙනෙකු විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන් වන අචලා සෙනෙවිරත්න, සේනක පෙරේරා, තම්බයියා ජෙයරත්නරාජා සහ නාමල් රාජපක්ෂ විසින් මේ ඉල්ලීම කර තිබිණි. කොමිසමේ නිර්දේශවලින් අධිකරණ පද්ධතියට සහ පුරවැසි අයිතිවාසිකම්වලට හානියක් සිදු වී තිබේද යන්න සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන ලෙස අදාළ ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් ය.

2157/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය

2015 ජනවාරි 08 දින සිට 2019 නොවැම්බර් 19 දින දක්වා රාජ්‍ය නිලධාරීන්ට සිදුවූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2020 ජනවාරි 09 දිනැති 2157/44 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මේ කොමිසම පිහිටුවන ලදි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එහි සභාපතිවරයා වූ අතර, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ අනෙකුත් සාමාජිකයෝ වූහ. ජනාධිපතිවරයා වෙත බාරදෙන ලද කොමිසමේ අවසන් වාර්තාව මගින් අධිකරණයේ විභාග වන නඩු 79ක විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.

පිටු 2,000කින් යුත් මේ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ හා තීරණ ඇතුළත් සාරාංශයක් ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කැබිනට් සංදේශයට එක් කොට තිබිණි. එම සාරාංශයේ ඇමුණුම 1 හි නඩු 61ක් ද, ඇමුණුම 2 හි නඩු 18ක් ද ලෙස නඩු 79ක් ඉවත් කරගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇති අතර, එහි පැමිණිලිකරුවන්ට සහන සලසන ලෙසත්, පැමිණිලිකරුවන්ට එරෙහිව කටයුතු කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් කොමිසමෙන් නිර්දේශ කර තිබේ.

එසේම පසුගිය ආණ්ඩුව සමයේ පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, දූෂණ විරෝධී කමිටුව හා ජාතික විධායක සභාව ගැන කොමිසම දැඩි විවේචනයක් එල්ල කොට තිබෙන අතර, එම ආයතනවල නිලධාරීන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට පාර්ලිමේන්තුවෙන් නීති සකස් කරන ලෙස ද ඉල්ලා ඇත. දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මඟින් සිදු කළ පොදු දේපළ අවභාවිතාව සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් කොමිසම විභාග කළේය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එදා සිටි පක්ෂ, විපක්ෂ දේශපාලනඥයන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරද අදාළ පැමිණිල්ල පිළිබඳ නිර්දේශයේ වගඋත්තරකරුවන් කර තිබුණ ද, එවකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ රවි වෛද්‍යලංකාර මෙහි වගඋත්තරකරුවකු කර නැත.

අධිකරණ තීන්දු පිළිබඳ බලයක් නෑ !

මේ කොමිසම පත්කිරීමේ ගැසට් පත්‍රයෙන් අධිකරණ හෝ අධිකරණවල තීන්දු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත්ම කර නොමැති බවත්, ඒ අනුව මේ ජනාධිපති කොමිසමේ නිර්දේශ මගින් යුක්තිය අවගමනය කිරීමක් සහ අධිකරණයට අපහාස කිරීමක් සිදු වී ඇතැයි නිරීක්ෂණය වන බවත් අදාළ නීතිඥවරුන් විසින් අගවිනිසුරුවරයාට පෙන්වා දී තිබේ. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය ලබාදී ඇති නඩු තීන්දුව සම්බන්ධයෙන් කොමිසම සඳහන් කර ඇති නිර්දේශ සම්බන්ධයෙන් ද මේ ලිඛිත ඉල්ලීමේ විශේෂයෙන් සඳහන් කර ඇත.

තුන්වැනි පාර්ශ්වයක් කුමකටද?

කොමිසමේ අවසන් වාර්තාවේ දැක්වෙන්නේ අදාළ චෝදනාවලින් දුමින්ද සිල්වා ව නිදොස් කොට නිදහස් කළ යුතුව තිබූ බවයි. මේ නිසා යුක්තිය අවගමනය වීමක් සිදු වී ඇති බවටත්, අදාළ නඩු තීන්දුව පුළුල් විනිශ්චය මණ්ඩලයක් මගින් අධිකරණ සමාලෝචනයක් සඳහා නීතිපතිවරයා විසින් ඉල්ලීමක් කළ යුතු බවටත් කොමිසම විසින් නිර්දේශ කර තිබේ.

එවැනි තීන්දුවක් මගින් විත්තිකරුවකු අතෘප්තියට පත්වන්නේ නම් එකී විත්තිකරුට පෙර සංඛ්‍යාවට වඩා වැඩි විනිසුරුවරුන් ප්‍රමාණයකගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කළ හැකි බවත්, විත්තිකරු නොවන තුන්වැනි පාර්ශ්වයකට එවැනි ඉල්ලීමක් කළ නොහැකි බවත් අදාළ නීතිඥවරුන් සිව්දෙනා විසින් අගවිනිසුරුවරයා වෙත කළ ඉල්ලීමේ සඳහන් කර ඇත. මේ කරුණ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්තිනාමයත්, ජනතාවගේ ස්වාධිපත්‍ය බලයත්, ජනතා විශ්වාසයත් බරපතළ ලෙස හෑල්ලුවට ලක්කළ ඇතැයි යනුවෙන් පෙනීයන බව ද ඔවුන් සඳහන් කර ඇත.

උදාහරණ නෑ !

අගවිනිසුරුවරයා වෙත මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූ විට කටයුතු කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් නීති විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රමගෙන් අපි විමසීමක් කළෙමු. එවැනි අවස්ථාවකදී අගවිනිසුරුවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන්ගේ මතය විමසීමක් කළ හැකි බවත්, එසේ නැත්නම් අධිකරණයෙන් ආරම්භ කෙරෙන නඩුවක් ලෙස මීට අදාළ කටයුතු පවත්වාගෙන යා හැකි බවත් සඳහන් කළ ආචාර්ය ජයවික්‍රම, මීට පෙර මෙවැනි උදාහරණ නොමැති නිසා වර්තමාන අගවිනිසුරුවරයා මෙහිදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අවධානය‌ යොමු කළ යුතුව ඇතැයි ද පෙන්වා දුන්නේය.

ජනපතිගේ කොමිෂන් සභා බලය

මේ අතර ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ ජනාධිපති කොමිෂන් සභා පත්කිරීමේ අරමුණ අධිකරණවල මෙන් තීන්දු දීම නොවන බවයි. එසේ වුවද යම් නිශ්චිත කරුණක් හෝ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කොට, ජනාධිපතිවරයාට වාර්තාවක් ලබාදීමටත්, ඒ වාර්තාවට තමන්ගේ නිර්දේශ ඇතුළත් කිරීමටත් කොමිසමට බලය ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. මේ පිළිබඳව අප කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් මෙසේ පැවසීය.

‘යම් වරදක් තියෙනවා, ඒකට මේ මේ පුද්ගලයන් වරදකරුවන් හෝ නිවැරදිකරුවන් බව පෙනීයනවා කියලා පෙනුණොත්, ඒ පිළිබඳව ජනාධිපතිට නිර්දේශ කරන්න කොමිසමට පුළුවන්. ඊට පස්සෙ ජනාධිපතිතුමා ඒක බලලා, ඉදිරි පියවර ගැනීම අවශ්‍යයි කියලා තීරණය කළොත් නීතිපතිතුමාට ඒ නිර්දේශ යොමු කරනවා. ඊට පස්සෙ නීතිපතිතුමාගෙ උපදෙස් මත අපරාධ අංශ මගින් ඉදිරි විමර්ශන කටයුතු කරන්න හැකියාව තියෙනවා.’

ජනාධිපති කොමිෂන් සභා පිහිටුවීම සඳහා පනත් දෙකකින් ජනාධිපතිවරයාට බලය පවරා තිබේ. 1978 විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනත එකකි. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය සම්බන්ධ කරුණ විමර්ශනය කරන ලද්දේ එවැන්නකි. අනෙක 1948 ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත ය. මේ කොමිසම පිහිටුවීමේ ගැසට්පත්‍රයේ සඳහන් වන්නේ එය විමර්ශන කොමිෂන් සභාවක් බවයි. ඒ අනුව ඔවුන්ට රාජ්‍ය සේවයේ සිදු වූ බවට පැමිණිලි ලැබී ඇති කරුණු සම්බන්ධයෙන් සාක්ෂි, ලේඛන, පුද්ගලයන් කැඳවා විමර්ශන පැවැත්වීමට බලය ඇත.

පළමු සහ එකම එක

මේ කොමිසම පිහිටුවීමේ අරමුණ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් මෙසේ අදහස් දැක්වීය.

‘අපේ රටේ අලුත් ආණ්ඩුවක් බලයට පත්වුණාට පස්සෙ සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි, ඒ ආණ්ඩුවට සහාය දුන් අයට උසස්වීම් ලැබුණෙ නෑ, පළිගැනීම් කළා කියන එක. දේශපාලන හේතු නිසා අපිව ඈත පළාත්වලට මාරු කළා කියන එක. පහුගිය කාලෙම සිද්ධ වුණේ මේ වගේ කාරණා සම්බන්ධයෙන් ඒ පත්වුණු ආණ්ඩුව කමිටුවක් පත්කරලා, ඒ කමිටුවෙන් ගන්න තීරණ කැබිනට් මණ්ඩලයට දාලා අනුමත කරන එක.

ඒත් මේ ආකාරයට දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කරපු පළමු අවස්ථාව මේක. මීට කලින් කිසිම ආණ්ඩුවක් ඒ වගේ දෙයක් කරලා නෑ. මේ කොමිසමට ලැබුණු සහ කරුණු විමසූ, නිර්දේශ ඉදිරිපත් කළ පැමිණිලි දිහා බලද්දි පැහැදිලි වෙන එක තමයි, උසස්වීම් වගේ රාජකාරි දේවල්වලට වඩා අපරාධ නඩු සම්බන්ධයෙන්, අපරාධ චෝදනා සම්බන්ධයෙන් මෙතැනදි වැඩි අවධානයක් යොමුවෙලා කියන එක. මෙතැන බරපතළ නීති ප්‍රශ්නයක් තියෙනවා. ඔ්නෑම අපරාධ නඩුවකදි චූදිත පාර්ශ්වය වෙනුවෙන් පෙනීඉන්න නීතිඥ මහත්තයා කියනවා, චූදිතයා නෙමෙයි මේකට වරදකාරයා, චූදිතයා මේකට පටළවලා තියෙන්නෙ කියලා. ඒක සාමාන්‍යයෙන් උසාවිවල වෙනවා. අපරාධ නඩුවලදි සාධාරණ සැකයක් ඇති කළොත්, චූදිතයට නිදහස් වීමේ වැඩි ඉඩක් ලැබෙනවා.’

විරුද්ධ නීතිපතිට වැඩ ගොඩක් පවරයි

නීතිපතිවරයා විසින් ද මේ කොමිසමට දැනුම් දී තිබුණේ අධිකරණය ඉදිරියේ විභාග වන අපරාධ නඩු සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම අනුමත කළ නොහැකි බවයි. නීතිපතිවරයා ඒ බව දැනුම් දී තිබුණේ තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයන් පිරිසකට එරෙහිව පවතින නඩුව, කොමිසමේ විමර්ශන අවසන් වන තෙක් අත්හිටුවන ලෙස කරන ලද නියෝගයකට ප්‍රතිචාර දක්වමිනි. ඒ නඩුවේ චූදිතයන් නිදහස් කරන ලෙස දැන් කොමිසම නිර්දේශ කර තිබේ.

අධිකරණය පිළිබඳ සැකයක්

කොමිසම මෙහිදී කටයුතු කළ ආකාරයෙන් මෙන්ම මාධ්‍ය මගින් එම කොමිසමේ කටයුතු ආවරණය කළ ආකාරයෙන් ද අධිකරණ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ද මේ පිළිබඳව අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කර සිටිති.

පැත්ත මාරු වීම

මේ අතර මෙහිදී අදාළ කොමිසම විසින් දිගින් දිගටම නීතිපතිවරයාට අධිචෝදනා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීම පිළිබඳව මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගසාලි හුසේන්ගෙන් අපි විමසීමක් කළෙමු.

හිටපු පොලිස්පතිවරයෙකු ද සාමාජිකත්වය දැරූ කොමිසමක් මගින් නීතිපතිවරයාට මෙවැනි නිර්දේශ ඉදිරිපත් කිරීම හාස්‍යයට කරුණක් බවත්, එසේ කළ නොහැකි බවත් අවධාරණය කළ නීතිඥවරයා, චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති ධුරය දරන කාලයේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන, විශ්‍රාම ගිය පසු නීතිපතිවරයාට උපදෙස් ලබාදීමට අත්සන් කිරීම අනුමත කළ හැක්කේ කෙසේදැයි ප්‍රශ්න කර සිටී. එසේම නීතිපතිවරයා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුව මේ ආකාරයේ අත්තනෝමතික සහ අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක්කෙරෙන පියවර නොගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු අවධාරණය කර සිටියේය.

එක්කෝටි හැත්තෑ ලක්ෂය මගේ – ජනාධිපති මන්දිරයෙන් සොයාගත් මුදල් ගෝඨාභය අධිකරණයෙන් ඉල්ලයි : මුදාහරින්න බෑ – මහේස්ත්‍රාත්  

0

ජනාධිපති මන්දිරයෙන් සොයාගැනීමෙන් පසු අරගලකරුවන් විසින් පොලිසියට බාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත් බව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) දැනුම් දුන්නේය.

ඒ, හිටපු ජනාධිපතිවරයාගේ නිතිඥවරයාගේ නීතිඥවරුන් විසිනි. එම මුදල ගෝඨාභය රාජපක්ෂ වෙත මුදාහරින ලෙස ද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහෙත් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්තියට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. එසේ ම මෙම මුදල් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත් යටතේ මෙන්ම අල්ලස් පනත යටතේ ද විමර්ශන කළ හැකි යැයි ද මහේස්ත්‍රාත්වරයා පැවසීය.

ඒ අනුව මෙම මුදල සම්බන්ධයෙන් වන විමර්ශනය අවසන් වන තෙක්, එය මුදාහැරීමේ හැකියාවක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවධාරණය කළේය.

නිවසට ගොස් ප්‍රකාශයක් ගනී

ඊයේ (07) මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගත්තේය. ඒ, ඔහු දැනට පදිංචි නිවසට ගොස් ය. මෙම ප්‍රකාශය පැය 03කට ආසන්න කාලයක් සටහන් කරගෙන තිබිණි. මෙම මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගියදා නියෝග කෙරිණි.

මේ අතර මෙම මුදල අධිකරණයට ඉදිරිපත් නොකර නීතිය හා සාමය ඇමති ටිරාන් අලස්ට බාර දෙන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ – කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට සිදු කළ බලපෑම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම පිළිබඳව දේශබන්දු තෙන්නකෝන් තමන්ට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩි.එස්. වික්‍රමසිංහ පසුගිය 13දා කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එදින ය, ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබගන්නා ලෙස අධිකරණය නියෝග කළේ.

‘ඉස්සරහට බලාගන්නම්’

තමන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් ‘ඔයා ගැන ඉස්සරහට බලාගන්නම්’ ආදී වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තර්ජනය කළ බවත්, තමන් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා මෙහිදී සදහන් කළේය. මෙම ඒකකය ක්‍රියාත්මක වන්නේ සෘජුව ම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේදී තමන්ගෙන් පළිගැනීම සඳහා වෙනත් යම් සිදුවීමකට පැටලවීමට උත්සාහ ගැනීමක් හෝ තමන්ගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතයට යම් අනතුරක් කිරීමේ හෝ බියකින් තමන් පසුවන බවයි.

මෙම තර්ජනය සම්බන්ධයෙන් තමන් සටහන් යොදා ඇති බවත්, ඒ ගැන ඉදිරියේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණයට අපහාසයක්

එම දැනුම්දීමෙන් පසු මෙම නඩුව සඳහා පෙනී සිටින නීතිඥවරුන් ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේ අධිකරණ නියෝගයක් අනුව නිසා ඔහුට තර්ජනය කිරීම අධිකරණයට කළ අපහාසයක් බවයි. එසේ ම මෙය සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම යටතේ වරදක් බව ද නීතිඥවරු ප්‍රකාශ කළහ.

දුරකථන වාර්තා අවශ්‍යයි

මෙහිදී කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් විසින් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා ලැබුණු පසු සලකා බලන බවයි.

මේ අතර මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ඉවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා අධිකරණයෙන් අවසර ගන්නා ලෙස පොලිස්පතිවරයා තමන්ට දැනුම් දුන්නේ යැයි ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.

ඊට විරෝධය පළකරමින් නීතිඥවරුන් ප්‍රකාශ කළේ විමර්ශන වෙනත් ඒකකයකට බාරදීම කළ යුත්තේ පොලිස්පතිවරයා විසින් බවත්, ඊට අධිකරණය මැදිහත්වීම අවශ්‍ය නොවන බවත් ය.

එසේ විමර්ශන වෙනත් අංශයකට බාරදීමට සිදුවන්නේ විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට විමර්ශන නොකරනවා නම් පමණක් බවත්, මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට සිදුකරන නිසා වෙනත් අංශයකට බාරදීමේ අවශ්‍යතාවක් නැති බවත් නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

ගෝඨාභයගේ නිදන කාමර මුදල්

ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් පසුගිය ජූලි 09දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිදන කාමරයේ තිබී තරුණයන් පිරිසක් විසින් සොයාගන්නා ලදි.  ඉන්පසු එම මුදල් කොළඹ – කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ වෙත බාර දී තිබිණි.

දේශබන්දු ස්ථානාධිපතිට කළ බලපෑම

එසේ බාර දුන් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර, ටිරාන් අලස් ඇමතිවරයාට ලබාදෙන ලෙස තමන්ට දුරකතනයෙන් දේශබන්දු තෙන්නකෝන් දැනුම් දුන්නේයැයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර කොටුව අධිකරණය ඉදිරියේ පැවසීය.

එසේ බලපෑම් කළ දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට, කොටුව පොලිසිය මෙම මුදල් සොයාදුන් තරුණයන් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු නීතිඥවරුන්ගේ ඉල්ලීම මත මෙම විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරන ලෙසට අධිකරණය කළ නියෝගයක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම විමර්ශනය පවත්වමින් සිටී.

දරුවන් ජාතික ගීය කියද්දි මට මතක් වුණේ ඔවුන්ගෙ අනාගතය : ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්පූර්ණ රාජාසන කතාව !

0

මෙරට විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේදී රාජාසන කතාව කරමින් අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය ආරම්භ කරමිනි.

බාධා මධ්‍යයේ වුවත් සංචාරකයන් ලංකාවට ආවා. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත 10ට ලංකාව ඇතුළු වුණා. අප මුල සිටම ගමන ආරම්භ කළා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටිනවා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පසුගිය කාලයේ ගත් යම් යම් තීරණ හේතුවෙන් බදු ආදායම පහළ ගියා. මේ නිසා රටේ ආර්ථිකයේ සිදුවන විනාශය ගැන දැනගත් ජනතාව හා ආයතන කිව්වා පැරණි බදු ක්‍රමයට යන්න කියලා. මෙවැනි බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියූ අයම අද එය විවේචනය කරනවා. බදු අඩු කිරීම සඳහා නව ප්‍රතිපත්ති හඳුන්වා දීම ජනප්‍රිය තීරණයක්. මතක තියාගන්න මට ජනප්‍රිය වෙන්න අවශ්‍ය නෑ. මට අවශ්‍ය වන්නේ මේ රට වැටී තිබෙන තත්ත්වයෙන් යළිත් ගොඩනංවන්නයි. මම රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණවල වැදගත්කම තව අවුරුදු දෙක තුනකින් සෑම දෙනෙකුටම දැනෙයි.

බදු ගෙවිය යුතු සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 2 දක්වා ඉහළ නැංවිය යුතු බවත්, උපයන විට ගෙවන බදු අහෝසි කළ යුතු බවත් ඇතැම් අය කියනවා.

උපයන විට ගෙවන බදු අහෝසි කළොත් රටට රුපියල් බිලියන 100ක් අහිමි වෙනවා. බදු සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ දැම්මොත් රටට රුපියල් බිලියන 63ක් අහිමිවෙනවා. අහිමින සම්පූර්ණ මුදල රුපියල් බිලියන 163යි. මේ සා මුදලක් අහිමි කරගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි අපි ඉන්නෙ.

දුබල ආර්ථිකය නිසා අපිට මේ බදු බර වැඩියෙන් දැනෙනවා. වැඩි බදු ප්‍රමාණයක් ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. සියලු ජනතාව වක්‍ර බදු ගෙවනවා. තවත් මාස පහහයක් මේ අමාරුව විඳ දරා ගත්තොත් අපිට විසඳුමකට යන්න පුළුවන්.

මේ විදිහට ගියොත් තුන්වැනි හා හතරවැනි කාර්තුවේදී රජයේ සේවකයන්ට අමතර දීමනාවක් ලබාදෙන්න අපිට පුළුවන්. පුද්ගලික අංශට සහන දෙන්න පුළුවන්. බැංකු පොලිය අඩු කරන්න පුළුවන්. තව අවුරුදු තුනක් ගතවෙද්දි අද ලැබෙන ආදායමට වඩා සියයට 75කට වැඩි ආදායමක් ජනතාවට ලබන්න පුළුවන්.

ජනාධිපතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව :

පසුගිය නිදහස් උළෙලේදී පාසැල් දරු දැරියන් ජාතික ගීය සහ ජයමංගල ගාථා ගායනා කරද්දී මට කල්පනා වුණේ, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ගැන. මේ දරු දැරියන්ගේ සිත්වල ඔවුන්ගේ අනාගතය ගැන සියයට සියයක විශ්වාසයක් තියෙනවා ද?
නිදහස් උළෙල වෙනුවෙන් ලංකාවට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පසුගියදා අපේ රටේ තරුණ කණ්ඩායම් සමඟ සාකච්ඡා කළා. එහිදී තරුණ තරුණියන් බොහෝ දෙනෙක් පෙන්වා දී තියෙන්නේ කාලයක් තිස්සේ සිදුවෙමින් පැවති දේවල් නිසා රටේ අනාගතය පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු බවයි. මේ තරුණ තරුණියන්ගේ සිත් තුළ අනාගතය ගැන සියයට සියයක විශ්වාසයක් තියෙනවා ද?
නිදහස් දවසට පසුදා “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ විශේෂ අතිරේකයක් පළ වුණා. තරුණ තරුණියන් කිහිපදෙනකුගේ අදහස් එහි පළ කර තිබුණා.
මතීෂා උඩවත්ත : මෙන්න මෙහෙම කියනවා.
“While leaving the country is a constant resonating thought, there is still a smallest spark inside me that’s holding me close to home. I intend not let it die. I have not given up to my Sri Lanka yet”
රට හැර යාම ගැන සිතුවිලි නිරන්තරව ම සිතේ නින්නාද වුවත්, බලාපොරොත්තුවේ කුඩා පහන් සිලක් තාමත් මා සිත තුළ දැල්වෙයි. එය මා මේ භූමියට සමීප කරවයි. මම තවමත් මගේ ශ්‍රී ලංකාව අතහැර නැත”
ක්ලිෆර්ඩ් ප්‍රනාන්දු : කියන්නේ මෙන්න මෙහෙම අදහසක්.
“I Won’t migrate but I sincerely hope there will be change in Sri Lanka. All our attitudes need to change, better discipline is needed, people need to obey rules and show more empathy towards each other – Clifford Fernando”
රට හැර යන්නට සිතක් මට නැති නමුත්, ශ්‍රී ලංකාවේ වෙනසක් සිදුවෙනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙනවා. අප සියලු දෙනාගේම ආකල්ප වෙනස් විය යුතුයි. අපි විනයගරුක විය යුතුයි. නීතියට යටත් විය යුතුයි. අනෙකා කෙරෙහි සහකම්පනයක් දැක් විය යුතුයි”

සිලානි විජේසිංහ : මෙන්න මෙහෙම කියනවා.
“ I don’t want to leave my country – I want to help it out of the situation it is in currently. I also don’t want the people leaving at a time the country needs them the most, only to come back when things are better”
මම මගේ රට හැර යන්නේ නෑ. දැනට පත්වී ඇති තත්ත්වයෙන් රට යළි නඟා සිටුවීමට මට අවශ්‍යයි. මේ අර්බුදකාරී අවස්ථාවේ, රටට මිනිස් සම්පත් අවශ්‍යම අවස්ථාවේ රට හැර ගොස්, තත්ත්වය යහපත් වූ පසු පෙරළා පැමිණෙන අය මට අවශ්‍ය නැහැ”
මේ අදහස් කියැවීමේ දී මට සිහිපත් වුණේ පසුගියදා අනුරාධපුරයේ දී මා හමුවීමට පැමිණි නිවුන් දැරියන් දෙදෙනෙක්. අටමස්ථානාධිපති පූජ්‍යපාද පල්ලේගම හේමරතන නාහිමියන්ට අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අවසානයේ මේ දැරියන් දෙදෙනා මා හමුවීමට ආවා. ඔවුන් ඉගෙන ගන්නේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ 5 වසරේ. නමදි පෙරේරා සහ චෙනුති පෙරේරා. ඔවුන් ගීතයක් ගයනවා. ඒ ගීතයේ සීඩී තැටියක් මට දුන්නා. ගීතයේ මාතෘකාව – රට හැර නොයමි. අද මගේ කතාවෙන් පසු ඒ ගීතය විකාශනය කරන්න කියා මම රූපවාහිනී නාළිකාවලින් ඉල්ලා සිටිනවා.
මේ දැරු දැරියන්, මේ තරුණ තරුණියන් තමයි අපේ රටේ අනාගත පරම්පරාව. රටහැර නොයා රට යළි ගොඩනඟන්නට ප්‍රාර්ථනා කරන අනාගත පරම්පරාව. ඔවුන්ට නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමයි අප හැමගේ වගකීම. මේ උත්තරීතර සභාවේ සිටින ඔබේ වගකීමත් එයයි. හැම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීම එයයි.
පසුගිය පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින්, මම අදහස් දැක්වූ අවස්ථාවේ රට වැටී තිබුණු තත්ත්වය ඔබ සැමගේ මතකයේ ඇතැයි මම විශ්වාස කරනවා. පසුගිය අය වැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේ රට පත්ව තිබූ තත්ත්වයත්, ඒ වගේම මීට මාස හත අටකට කලින් රටේ තිබුණු තත්ත්වයත් ඔබට මතක ඇති.
පාසල් වැහිලා. විභාග පවත්වන්න බැරිවෙලා. පොහොර නැතිව කෘෂිකර්මය හා වැවිලි කර්මාන්ත කඩා වැටිලා. ගොවියන් අසරණ වෙලා. සංචාරක කර්මාන්තය පිරිහිලා. පැය දහය, දොළහ විදුලිය කප්පාදු වෙලා. ගෑස් නැත්තටම වගේ නැතිවෙලා. නාගරික නිවාසවල වැසියන් ඉවුම් පිහුම් කරගන්න බැරුව නන්නන්තාර වෙලා. භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් පෝලිම්වල දවස් ගණන් රස්තියාදු වෙන්න සිද්ධ වුණා. හෙම්බත් වූ පුරවැසියන්ගේ ජීවිත, පෝලිම්වල ඉන්දැද්දිම නැති වුණා. ඒ පීඩනය දරාගන්න බැරුව ජනතාව පාරට බැස්සා.
හැබැයි අද වෙද්දි තත්ත්වය වෙනස්. පසුගිය කාලය තුළ ගත් පියවර නිසා මේ පීඩනය හෙමින් හෙමින් අඩු කරන්න අපට පුළුවන් වෙලා තියෙනවා. දැන් ආර්ථිකයේ කිසියම් ස්ථාවරයක් ඇති වෙලා තිබෙනවා.
ජනතාවට කිසියම් අස්වැසිල්ලක් දැනෙනවා. අනතුරුදායක වැල් පාලමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්නට අපට පුළුවන් වෙලා තිබෙනවා. අප ඒ ආවේ ලේසි පහසු ගමනක් නෙවෙයි. හැබැයි ගමන තවම ඉවර නෑ.
බිඳ වැටීමට ඔන්න මෙන්න කියා තිබුණු රාජ්‍ය මූල්‍ය පද්ධතිය සුරක්ෂිත කරන්න කැප වුණා. රජයේ වියදම් පාලනය කළා. බදු ආදායම් වැඩි කර ගැනීමට පියවර ගත්තා.
පසුගිය කාලයේ ගත් යම් යම් තීරණ හේතුවෙන් බදු ආදායම් පහළ වැටුණු බව අප දන්නවා. 2019 දෙසැම්බර් 31 වෙනිදා වෙද්දි ව්‍යාපාර, සමාගම් සහ පුද්ගලයන් ලක්ෂ 16ක් බදු ගෙව්වා. 2021 දෙසැම්බර් වෙද්දි බදු ගෙවන ප්‍රමාණය ලක්ෂ 5ක් දක්වා පහළ වැටුණා. රජයේ බදු ආදායම් අන්තිමටම පහළ වැටුණා.
මේ නිසා රටේ ආර්ථිකයට සිදු වන විනාශය වටහා ගත් බොහෝ ආයතන සහ සංවිධාන, යළිත් 2019 වසරේ පැවති බදු ක්‍රමයටම යන ලෙස ඉල්ලා සිටියා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය 2022 අප්‍රේල් මාසයේ ආර්ථික හා සමාජයීය පුනර්ජීවනය සඳහා කඩිනම් යෝජනාවලියක් ඉදිරිපත් කළා.
ඒ යෝජනාවලියේ 3.3 වගන්තිය යටතේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා.
උපයන විට ගෙවීමේ බදු ක්‍රමය යළි හඳුන්වා දීම.
රාජ්‍ය ව්‍යවසායන්හි සියලුම නිලධාරින් අදාළ ආයතන හා සේවා යෝජකයින් මගින් නොව පුද්ගලිකව තමන්ගේ වැටුපෙන් බදු ගෙවීම.
රඳවා ගැනීමේ බද්ද නැවත හඳුන්වා දීම.
සියලු බදු නිදහස් කිරීම් අත්හිටුවීම.
ආදායම් බදු ගෙවිය යුතු ආදායම් මට්ටම සහ එකතු කළ අගය මත බදු ගෙවිය යුතු පිරිවැටුම් මට්ටම සංශෝධනය කිරීම.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මේ යෝජනාව ඉදිරිපත් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන්නත් කලින්. දැන් අපි මේ යෝජනා ක්‍රියාවට නංවා තිබෙනවා.
නමුත් මෙවැනි බදු ප්‍රතිපත්තියක් අවශ්‍ය යැයි කියූ අයම අද බදු ප්‍රතිපත්තිය විවේචනය කරනවා. බදු අය කිරීම් සඳහා නව ප්‍රතිපත්ති හඳුන්වාදීම දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන තීරණයක්. මතක තබා ගන්න. මට අවශ්‍ය ජනප්‍රිය වෙන්න නෙවෙයි. මට අවශ්‍ය මේ රට වැටි ඇති අර්බුදකාරි තත්ත්වයෙන් යළි ගොඩනංවන්නයි. ඔව්. මම රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණවල වැදගත්කම තව අවුරුදු දෙක තුනකින් බොහෝ දෙනෙකුට අවබෝධ වේවි.
බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවිය යුතු බව සමහරු කියනවා. උපයන විට ගෙවීමේ බදු ක්‍රමය අහෝසි කළ යුතු බව තවත් සමහරු කියනවා. අප මේ බදු පැනවූයේ කැමැත්තෙන් නෙවෙයි. නමුත් අපි කැමති දේ කළ පමණින් රට ගොඩනංවන්න බැහැ. අකමැත්තෙන් වුවත් නිවැරදි දේ කළ යුතුයි.
උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළොත් රටට රුපියල් බිලියන 100ක් අහිමි වෙනවා. බදු සීමාව රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවූවොත් රටට රුපියල් බිලියන 63ක් අහිමි වෙනවා. අහිමි වන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 163ක්. මේ සා මුදලක් අහිමි කරගන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි අද අප සිටින්නේ.
වර්තමානයේ දුබල ආර්ථිකයකට හිමිකම් කීම නිසා මේ බදු බර අප හැමෝටම වැඩි වැඩියෙන් දැනෙනවා. මෙතනදි අවධානය යොමු කළ යුතු වැදගත් කාරණයක් තියෙනවා. වර්තමානයේ අපේ රටේ වැඩිපුර බදු ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. සෘජුව බදු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් හා ආයතනවලින් නිසි ලෙස බදු අය කරගන්නේ නැති නිසා සියලු ශ්‍රී ලාංකිකයින් වක්‍ර බදු වශයෙන් විශාල මුදල් ප්‍රමාණක් ගෙවනවා. බදු ගෙවීමට අවශ්‍යතාවක් නැති විශාල ප්‍රමාණයක් නොදැනීම බදු ගෙවනවා. ඒ බදු හඳුන්වන්නේ වක්‍ර බදු නමින්.
ලෝකයේ අනෙක් රටවල වැඩි බදු ප්‍රමාණයක් ලබා ගන්නේ ඉහළ ආදායම් ලබා ගන්නා අයගෙන්. 2021 දී ඉන්දියාව – සෘජු බදු සියයට 50 යි. වක්‍ර බදු සියයට 50 යි. බංග්ලාදේශය – සෘජු බදු සියයට 32 යි. වක්‍ර බදු සියයට 68 යි. නේපාලය සෘජු බදු සියයට 31 යි. වක්‍ර බදු සියයට 69 යි. ඉන්දුනීසියාව සෘජු බදු සියයට 40 යි. වක්‍ර බදු සියයට 60 යි. වියට්නාමය – සෘජු බදු සියයට 31 යි. වක්‍ර බදු සියයට 69 යි. තායිලන්තය සෘජු බදු සියයට 37 යි. වක්‍ර බදු සියයට 63 යි. මැලේසියාව සෘජු බදු සියයට 66 යි. වක්‍ර බදු සියයට 34 යි.
ඒත් අපේ රටේ තත්ත්වය වෙනස්. 2021 දී අපේ රටේ සෘජු බදු සියයට 21 යි. වක්‍ර බදු සියයට 79 යි.
ඒ නිසා මේ බදු විෂමතාවය නිවැරදි කරගැනීමට අප කටයුතු කළ යුතුයි. එවිට පොදුවේ සමස්ත ජනතාව වෙත පැටවී ඇති බදු බර අඩු වෙනවා.
ආර්ථික අර්බුදකාරි අවස්ථාවක උද්ධමනය ඉහළ යනවා. බඩු මිළ වැඩි වෙනවා. රැකියා අනතුරට පත්වෙනවා. ව්‍යාපාර කඩා වැටෙනවා. බදු බර වැඩිවෙනවා. සමාජයේ සියලු කොටස්වලට ජීවත් වෙන්න අමාරුයි. නමුත් තව මාස පහක හයක කෙටි කලක් මේ අමාරුව විඳ දරා ගත්තොත් අපට විසඳුමක් වෙත යන්න පුළුවන්. මේ විදියට ඉදිරියට ගියොත් අවුරුද්දේ තුන්වෙනි, හතරවෙනි කාර්තු වෙද්දි රජයේ සේවකයන්ට වැඩිපුර දීමනාවක් ලබා දෙන්න අපට පුළුවන්.
පුද්ගලික අංශයට සහන ලබාදෙන්න පුළුවන්. මුළු රටේම ජනතාවගේ අතමිට අදට වඩා සරු කරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොළිය අඩු කරන්න පුළුවන්. තවත් අවුරුදු තුනක් ගතවෙද්දි අද ලබන ආදායමට වඩා සියයට 75ක පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්.
වර්තමානයේ සියලු දුෂ්කරතා මැද වුණත්, අබල දුබල ආර්ථිකයකින් බැට කන දිළිඳු කණ්ඩායම්වලට රැකවරණ ලබා දීමටත් අප පියවර ගත්තා. මේ සඳහා ලෝක බැංකුව අපට පූර්ණ සහාය ලබා දුන්නා.
නමුත් අපේ රටේ සහනාධාර ලබා දීමේ ක්‍රමය විකෘතියට ලක්වෙලයි තියෙන්නේ. වැඩි ආදායම් ඇති අය පවා සහනාධාර ලබනවා. අප මේ තත්ත්වය වෙනස් කිරීමට පියවර ගනිමින් සිටිනවා. සැබවින්ම දිළිඳු ප්‍රජාව හඳුනා ගන්නවා. සහනාධාර බැංකු ගිණුමක් හරහා ඔවුන්ට කෙළින්ම මුදලින් ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා.
හැබැයි, සමහර කණ්ඩායම් මේ ගමන් මඟ කඩාකප්පල් කරන්න තැත් දරනවා. ඔවුන්ට බලය ලැබුණොත්, බදු අඩු කරනවා – පඩි වැඩි කරනවා ආදි සුරංගනා කතා කියනවා. විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා සංවිධානය කරන්න උත්සාහ ගන්නවා.
මම කිසි විටෙක කරන්න බැරි දේ කියන්නේ නෑ. බලය වෙනුවෙන් බොරු කියන්නේ නෑ. අය වැය කතාවේ දී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී කියු හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවරත්වයක් ඇති කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා. බොරුවෙන් අනාගතය ගොඩනංවන්න බැරි බව දැන් බොහෝ දෙනෙකුට අවබෝධ වෙමින් තියෙනවා.
සෘණ ආර්ථිකයක සිට ධන ආර්ථිකයක් කරා අප දැන් ගමන් කරමින් ඉන්නෙ. 2023 අවසන්වෙද්දි ධන ආර්ථික වර්ධනයක් ලබාගැනීමට අපේක්ෂා කරනවා.
මම ජනාධිපති ලෙස මුලින්ම මේ පාර්ලිමේන්තුව අමතද්දි රටේ උද්ධමනය සියයට 70 යි. අපේ ක්‍රියා පිළිවෙත් නිසා 2023 ජනවාරි වෙද්දි එය සියයට 54 ක් දක්වා පහත හෙළන්නට අපට හැකි වුණා. අප වෙහෙසෙන්නේ 2023 අවසන් වෙද්දි එය තනි ඉලක්කමක් බවට පත් කර ගන්නයි.
2022
වෙද්දි අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපට හැකි වුණා. ඊට දේශීය ව්‍යවසායකයන් බොහෝ සේ වෙහෙස වුණා. ඒ වගේම ආනයන වියදම ඩොලර් බිලියන 18ක මට්ටමකට සීමා කර ගැනීමටත් අපට පුළුවන් වුණා. විදේශ ශ්‍රමිකයන් මේ බැරෑරුම් අවස්ථාවේ මාතෘ භූමියට උපරිම සහාය දක්වමින් සිටිනවා. 2022 අවසන් වෙද්දි ඩොලර් බිලියන 4ක විදේශ විනිමය ඔවුන් අපට ලබා දුන්නා.
අපේ ව්‍යවසායකයන් සහ විදේශ ශ්‍රමිකයන් මේ කැපවීම් කළේ විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ඔවුන්ට විවිධාකාරයෙන් බලපෑම් කරන පසුබිමකයි. නමුත් තමන් අපනයන ආදායම් ඉහළ නංවන්නෙත්, ලංකාවට මුදල් එවන්නෙත් බලයේ සිටින දේශපාලන පක්ෂය අනුව නොව, රට වෙනුවෙන් බව ඔවුන් ඔප්පු කර තිබෙනවා. ඔවුන් සියලු දෙනාට අපේ ගෞරවය හිමි වෙනවා.
බින්දුවටම වගේ වැටී තිබුණු විදේශ සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපට දැන් පුළුවන් වෙලා තියෙනවා.
සංචාරක ව්‍යාපාරය යළි පණ ගන්වන්නට අපට පුළුවන් වුණා. පාරවල් පුරා පටු දේශපාලනික උද්ඝෝෂණ කරමින් සිදු කෙරුණු බාධා මධ්‍යයේ වුණත් සංචාරකයන් ලංකාවට ආවා. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත 10 අතරට ලංකාවත් නම් කෙරුණා. මේ ජනවාරි මාසයේ ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. එය වර්තාගත ප්‍රමාණයක්.
මේ ආකාරයෙන් සියලු ක්ෂේත්‍රයන්හි අපි ප්‍රගතියක් ලබමින් සිටිනවා.
ග්‍රීසිය මීට කාලෙකට කලින් අපි වගේම බරපතල ආර්ථික අර්බුදයකට මැදි වුණා. බංකොලොත් වුණා. අර්බුදයෙන් ගොඩඒම සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සියයට 50කින් කපා දැම්මා. බංකොලොත් තත්ත්වයෙන් මිදි නැවත ණය ගෙවීමේ ශක්තිය ඇති කරගන්න ඔවුන්ට අවුරුදු 13ක් ගත වුණා. ඒ කාලය තුළ තුන් වතාවක් අයි.එම්.එෆ් සංවිධානයේ ආධාර උපකාර ලබා ගත්තා.
නමුත් අප යන මේ සැලැස්ම අනුව ඉදිරියට ගියොත් 2026 වෙද්දි බංකොලොත් තත්ත්වයෙන් මිදෙන්න අපට පුළුවන්. මම දිගින් දිගටම ඉල්ලා සිටි පරිදි රට ගොඩනැඟීමේ සටනට මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වුණා නම්, ඊටත් කලින් මේ අර්බුදයෙන් ගොඩඑන්නට අවකාශ සැලසෙනවා.
2020 වසරේ අපි අයි.එම්.එෆ් සංවිධානයෙන් ඉවත් වුණා. ඒ අදුරදර්ශී තීරණයත් වර්තමාන කටයුතුවලට බලපා තිබෙනවා. බංග්ලාදේශයට ඉක්මනින් අයි.එම්.එෆ් සහන ලබා ගැනීමට හැකි වුණේ ඔවුන් දිගටම එම සංවිධානය සමඟ සිටි නිසයි. අපට සිදු වුණේ සියලු සම්බන්ධකම් මුල සිටම යළි ආරම්භ කරන්නයි. කොහොම වුණත් අපි අසීරුතා මැද මුල සිටම ගමන ආරම්භ කළා.
දැන් අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපට ණය දුන් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින්නේ. ඊට අමතරව සහාය ලබාගත හැකි අනෙක් එකම පාර්ශ්වය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණයි. ඉදිරි ගමන යාමට හැක්කේ ඔවුන් සමඟ ඇතිකරගන්නා පදනම මතයි. ඒ හැරෙන්නට අපට වෙනත් කිසිදු මාර්ගයක් නෑ. අප යන ගමන්මඟ විවේචනය කරන දේශපාලන පක්ෂවලින් මම ඉල්ලා සිටින්නේ වෙනත් විකල්ප මාර්ගයක් ඇත්නම් එය මේ සභාවට ඉදිරිපත් කරන ලෙසයි.
මේ වන විට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවල අවසන් අදියරට එලැඹිලා. පසුගිය සැප්තැම්බරය වෙද්දි මූලික එකඟත්වයට එළැඹීමට අපට පුළුවන් වුණා. දැන් තියෙන්නේ ණය තිරසර කරලීමේ වැඩපිළිවෙළයි.

ඊට අදාළව පැරිස් සමාජය සමඟ අප සාකච්ඡා කළා. පැරිස් සමාජයේ සාමාජිකයන් නොවන ඉන්දියාව සහ චීනය සමඟ දිගින් දිගටම සාකච්ඡා කළා. ඉන්දියාව අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟත්වය පළ කර මූල්‍ය සහතිකය ලබා දී තිබෙනවා. එක් පැත්තකින්, පැරිස් සමාජය සහ ඉන්දියාව සාකච්ඡා පවත්වනවා. අප සෘජුවම චීනය සමඟ සාකච්ඡා පවත්වනවා. අපට සියලු පාර්ශ්වයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබි තියෙනවා. අනෙක් රටවල ප්‍රවේශයන් සහ චීනයේ ප්‍රවේශය එක මතයකට ගෙන ඒමට දැන් අපි කටයුතු කරමින් සිටිනවා. මේ වෑයමේදී අපට සහාය වන සියලු රටවල් වෙත අපේ කෘතවේදීත්වය මම මේ අවස්ථාවේ පළ කර සිටිනවා.
අයි.එම්.එෆ්. සංවිධානය සමඟ ඇතිකරගන්නා එකඟත්වය සඳහාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහාත් සිය උපරිම සහාය ලබාදෙන බව ඊයේ පැරිස් සමාජය නිවේදනය කළා. ඒ නිවේදනයත් සමඟ අපට පැරිස් සමාජයේ මූල්‍ය සහතිකය ලැබෙනවා. ඔවුන් මේ තීරණය ගත්තේ ඔවුන්ගේ සාමාජික රටවල්, ඉන්දියාව මෙන්ම ලෝක බැංකුව සහ අයි.එම්.එෆ් නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡා වාරයකින් පසුවයි.
මේ තීරණය අපට විශාල ශක්තියක්. ධෛර්යයක්. ශක්තිය සහ ධෛර්යය ලබාදීම පිළිබඳව මම ස්තූතිය පළ කරනවා.
ජාත්‍යන්තරය අප වෙත දක්වන සහයෝගයෙන් පිළිබිඹු වෙන්නේ අප යන මාර්ගය නිවැරදි බවයි. ජනතාව විඳින පීඩනය අඩුවීමෙන් සනාථ වෙන්නේ අප යන මේ මාර්ගය නිවැරදි බවයි.
සංචාරකය ව්‍යාපාරය යළි පණ ලබනවා. කඩා වැටුණු කෘෂි සහ වැවිලි ක්ෂේත්‍රය යළි පිබිදෙනවා. මහ කන්නයේ අස්වනු වැඩි වෙන බවට පුරෝකථනය කර තිබෙනවා. අස්වනු මිළදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. රුපියල් බිලියන 20ක් වටිනා වී අස්වනු සහල් බවට පත් කොට, අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ ලබා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. හැම පවුලකටම මසකට සහල් කිලෝ 10 බැගින් අවස්ථා දෙකකදි නොමිලයේ ලබා දෙනවා. විදුලි කප්පාදුව අඩුවෙලා. පාසැල් කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් යනවා. දරු දැරියන් යළිත් අධ්‍යාපන චාරිකා යනවා. විභාග පැවැත්වෙනවා. මේ මාර්ගයේ දිගටම ගොස්, රට ඔසවා තබනවා ද ? එහෙමත් නැත්නම් මේ මාර්ගය කඩාකප්පල් කොට සටන් පාඨ දේශපාලනයකින් ආයෙමත් රට විනාශ කරනවාද කියන තීරණය අද අප ඉදිරියේ තිබෙනවා.
පටු දේශපාලන අරමුණු නැති, රටට ආදරය කරන බහුතර ජනතාවගේ තීරණය මේ අයුරින්ම ඉදිරියට යෑමට බව අප දන්නවා.
අද ලංකාව ආර්ථික අතින් අසාධ්‍ය ලෙඩෙක්. වහාම කළ යුත්තේ ලෙඩේ හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි. ඒත් සමහරු කරන්නේ මෙතෙක් ප්‍රතිකාර කළ දොස්තරලාගේ වැරදි කියන එකයි. ඔවුන්ට දඬුවම් දීමට මුල් තැන දිය යුතු බවයි ඔවුන් කියන්නේ.

නමුත් මම උත්සාහ ගන්නේ මුලින්ම ලෙඩා සනීප කර ගැනීමටයි. ලෙඩා සනීප කරගත්තාට පස්සෙ අපට අනෙක් පියවර ගන්න පුළුවන්. ඒත් අපි ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ ලෙඩා සනීප කර ගැනීමටයි. මම මේ සිදුකරන්නේ ඒ කාර්යයයි.
හැබැයි ලෙඩා අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩගත් වහාම අප තවත් පියවරක් ගන්නවා. ඒ නැවත මෙවැනි අර්බුදයක් ඇති වීමට ඇති සියලු ඉඩකඩ අවුරා දැමීම. මේ අරමුණින් අප දූෂණය මැඩලීමේ පනතක් ගෙන එනවා. ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ‘සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නය“ මේ පනතට ඇතුළත් කරන්න අපි පියවර ගන්නවා.
අයි.එම්.එෆ් එකඟත්වය ලැබීමෙන් අපට ආර්ථිකය යම් මට්ටමක ස්ථාවර පදනමකට ගෙන එන්න පුළුවන් වෙනවා. ඒත් ලෙඩේ නිට්ටාවටම සනීප කර ගන්න නම්, අපට තවත් ඉදිරි පියවර ගණනාවක් ගත යුතුව තිබෙනවා.
අයි.එම්.එෆ් සහතිකය ලැබීමත් සමඟ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි වෙනත් ජාත්‍යන්තර ආයතන වෙතින් ණය ආධාර ලබා ගැනීම සම්බන්ධ බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්.
එවිට ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු වේවි. ඒ නිසා විදේශ විනිමය රටට ගලා ඒමේ ප්‍රවණතාවයක් ඇති වේවි. අපි ඒ ආධාර මුදල් නිසි කළමනාකරණයකින් යුතුව රටේ උන්නතිය වෙනුවෙන් භාවිතා කළ යුතුයි.
මේ සමඟම සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් අපට ලබා ගන්න පුළුවන්. අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් නැවත ආරම්භ කරන්නත් පුළුවන්.
ඒ වගේම අපේ රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතුයි. කාලයක් තිස්සේ පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ අප අතපසු කළා. පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර ජනතාව පිට පැටෙව්වා. ගිය අවුරුද්දේ ව්‍යාපාරික රාජ්‍ය ආයතනවල පාඩුව රුපියල් බිලියන 800කට ආසන්නයි. ඒ මුළු පාඩුවම ගෙවන්නේ ජනතාව. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඒ පාඩුව ජනතාව ගෙවනවා. හැබැයි බොහෝ දෙනෙක් මේ පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර දරන්නේ තමන් බව දන්නේ නැහැ. අන්ත අසරණ දිළින්දාට පවා මේ ආයතන නඩත්තු කරන්න වියදමක් දරන්න වෙලා තියෙනවා.
ඒ නිසා අපි වහාම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. එවැනි පියවර ගත් තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් අද දවසින් දවස ඉදිරියට යනවා. නැති නම් අපට නැවත ආපස්සට යන්න වෙනවා.

මේ ප්‍රතිසංස්කරණවලදී රජයේ කාර්ය භාරය අප නිවැරදිව හඳුනා ගත යුතුයි. රජයේ ප්‍රවේශය විය යුත්තේ පසුබිමේ සිට පුද්ගලික අංශය සෘජුව ව්‍යාපාරික කටයුතු සඳහා යොමු කිරීමයි. රජය මැදිහත් විය යුත්තේ නියාමන කාර්යයන්, පොදු පහසුකම් සහ නීතිය හා සාමය රැකීම වැනි කේෂ්ත්‍ර සඳහා පමණයි. ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස පුද්ගලික අංශය යොදා ගත යුතුයි. ඒ වගේම විදේශ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම උදෙසා පුද්ගලික ව්‍යවසායකත්වය දායක කරගත යුතුයි.
රාජ්‍ය අංශයේ ඉඩම් සහ ගොඩනැඟිලි කිසිදු ඵලදායී කාර්යයකට යොදා නොගෙන නිස්කාරනේ නාස්ති වෙන තැන් බොහොමයි. ඒවා ඵලදායී කාර්යයන්ට යොදා ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සතු කැළෑවට ගිය සරු ඉඩම් ගණනාවක් තියෙනවා. වගා නොකරන කුඹුරු අක්කර දහස් ගණනක් තියෙනවා. ඒ සියල්ල ඵලදායී ලෙස කෘෂිකර්ම කටයුතු සඳහා යෙදවීමට අප කටයුතු කරනවා.
එසේම ණය මත පදනම් වන ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නේ ඇගයීමේ ක්‍රියාවලියක් මත පමණයි. දේශපාලන හේතු මත රාජ්‍ය ආයෝජන මෙහෙයවීමේ පිළිවෙත නවතා දැමීම අත්‍යවශ්‍ය කාරණයක්.
පසුගිය කාලයේ බැංකු ණය අය කර ගැනීම උදෙසා පමා කාලයක් ලබාදුන් බැවින්, බැංකු පද්ධතිය දුර්වල වෙමින් පැවතුනා. දැන් ඒ පමා කාලය අවසන් වී තියෙනවා. ඒ නිසා බැංකු යළිත් ශක්තිමත් වෙමින් පවතිනවා.
ඒ සමඟම දුෂ්කරතා හේතුවෙන් බිඳ වැටුණු ව්‍යාපාර කෙරෙහි අපේ අවධානය යෙමු වී තිබෙනවා. ආර්ථිකයේ වර්ධනය සමඟ ඔවුන්ට යළි නැඟි සිටීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නට අප පියවර ගන්නවා.
නිෂ්පාදනය ඉහළ නැංවීම, භාණ්ඩ හා සේවා සැපයීම, කර්මාන්ත හා කෘෂි නවීකරණය ආදිය සඳහා උපරිම වශයෙන් තාක්ෂණය යොදා ගැනීමට අප අපේක්ෂා කරනවා.
වර්තමානයේ රටේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.15ක්. මෙය සියයට 15 දක්වා ඉහළ නංවා ගැනීම අපේ බලාපොරොත්තුවයි.
මූල්‍ය අර්බුද විසඳීම පිළිබඳ අත්දැකීම් ඇති ජාත්‍යන්තර ආයතනයක් අපේ රට ගැන මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා.
“Sri Lanka has a reputation for “Kicking the can down the road” – this leads to problems avoided rather than solved in the long term”
අප ප්‍රශ්න මගහැර ගියා මිස දීර්ඝ කාලීන විසඳුම් සෙව්වේ නැ. ඒ විපාකය තමයි අද අපි සැම මේ විඳින්නේ මතක තබා ගන්න. අද අප මේ මුහුණ දෙන්නේ ආර්ථික යුද්ධයකට. මේ යුද්ධය උතුරු නැගෙනහිර ගැටුමටත් වඩා තීරණාත්මක එකක්. උතුරු නැගෙනහිර ගැටුමේදී ජනවර්ග බෙදුණා.
ඒත් මේ යුද්ධයේදී සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්ව සටන් කළ යුතු වෙනවා. ප්‍රශ්න විසඳන්නේ නැතිව මගහැර ගියොත් මේ ආර්ථික යුද්ධයෙන් අප පරාජය වෙනවා. එහෙම වුණොත්, ඔය සමහර දේශපාලන පක්ෂ මවන සුරංගනා ලෝක අපට උරුම වෙන්නේ නැ. අප ආර්ථික යටත්විජිතයක් බවට පත් වෙනවා. ඒ නිසා අප හැම කෙනෙකුගේම වගකීම, දුක් කරදර දරා ගනිමින්, මේ ආර්ථික යුද්ධය ජය ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමයි.
ආර්ථික යුද්ධය ජය ගැනීමටත්, ඉන් පසු සංවර්ධිත ආර්ථිකයක් අප රට තුළ නිර්මාණය කිරීමටත්, ජාතීන් අතර සමගිය හා එකමුතුකම වැදගත් වෙනවා.
ගරු ආර්. සම්බන්දන් මැතිතුමාත්, මමත් පාර්ලිමේන්තුවට පත් වුණේ 1977 අවුරුද්දේ. අපි දෙදෙනාගේම පොදු සිහිනයක් තියෙනවා. ඒ, අප දෙදෙනා පාර්ලිමේන්තුව තුළ සිටියදීම ලංකාවේ ජනවාර්ගික ගැටලුවට තිරසර විසඳුමක් ලබාදීමයි. ඒ සිහිනය ගැන එදා සිට අද දක්වාම අප සාකච්ඡා කරනවා. උත්සාහ දරනවා. කලින් හැම අවස්ථාවකදීම ඒ උත්සාහය අසාර්ථක වුණා. නමුත් මේ වතාවේ කෙසේ හෝ සාර්ථක කර ගන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබ සැමගේ සහාය අපි බලාපොරොත්තු වෙනවා.
උතුරු – නැගෙනහිර ගැටුම මුළු රටටම බලපෑවා. ප්‍රදේශ ගණනාවකට දැඩි හානි සිදු වුණා. සම්පූර්ණ උතුරු පළාතත්, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ප්‍රදේශ ගණනාවක් අපමණ පීඩා වින්ඳා. මේ ප්‍රදේශවල සංවර්ධනය ගැන වැඩි බරක් තබා කටයුතු කිරීමට අප පියවර ගන්නවා. ඒ ප්‍රදේශ වෙනුවෙන් විශේෂ සැලසුම් ක්‍රියාවට නංවනවා.
උතුරේ ඉඩම් සම්බන්ධව නොවිසඳුණු ගැටලු තවත් ඇති බව අප දන්නවා. යාපනය දිස්ත්‍රික්කයේ ආරක්ෂක කඳවුරු ඇතුළුව රජය සතු ඉඩම් ප්‍රමාණය අක්කර 3300ක්. පලාලි කඳවුර වෙනුවෙන් පවරා ගෙන ඇති ඉඩම් අක්කර 100ක් මෑතකදී නිදහස් කළා. තවත් අක්කර ගණනාවක් ගැන තීරණයක් ගතයුතුව තිබෙනවා. ඒ ගැන යුද හමුදාව සහ අනෙකුත් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වනවා. රජයට පවරාගෙන ඇති අනෙකුත් ආරක්ෂක ඉඩම් සම්බන්ධයෙන් ද සාකච්ඡා ආරම්භ කර තියෙනවා.
උතුරු නැගෙනහිර පමණක් නොව, රටේ වෙනත් පළාත්වලත් ඉඩකඩම් සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මීට අවුරුදු ගණනාවකට කළින් වරින් වර නිකුත් කළ රෙගුලාසි මඟින් වනාන්තර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ සඳහා පදනම් කරගෙන තිබුණේ GPS ක්‍රමයට ලබාගත් සිතියම්. ගැටුම් හා වෙනත් හේතු නිසා කැළෑවට ගිය ගම්මාන ගණනාවක් මේ නිසා වනාන්තර ලෙස ගැසට් කෙරුණා. දැන් ගැටුම් අවසානයි.
ඒත් තම තමන්ට හිමි ඉඩම් කට්ටි ගණනාවක් වනාන්තර ලෙස ගැසට් කර ඇති නිසා ඒ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විශාල අසාධාරණයක් වී තිබෙනවා. මොනරාගල සිට යාපනය දක්වාම ජනතාව මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා.
අපි 1985 වනවිට පැවැති සිතියම් අනුව වනාන්තර සහ ඉඩම් යළි ගැසට් කොට මේ අසාධාරණය නිවැරදි කිරීමට පියවර ගන්නවා.
අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදය අප වඩාත් විධිමත් හා කඩිනම් කරනවා. එම යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරනවා.
ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් සිරගත කර සිටින පුද්ගලයන් පිළිබඳවත් අපේ අවධානය යොමු වී තියෙනවා. වසර ගණනාවක් ඔවුන් රඳවාගෙන ඉන්නවා. සහනදායී පිළිවෙතකට, ක්‍රමානුකූලව ඔවුන් නිදහස් කිරීමට අප පියවර ගන්නවා.
ජාතික ඉඩම් සභාවක් ස්ථාපිත කිරීමේ කෙටුම්පත සකස් කරනවා. ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කෙටුම්පත් කරනවා.
මධ්‍යම ආණ්ඩුවේ යම් යම් ක්‍රියා පිළිවෙත් හේතුවෙන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළාත් සභා බලතල අඩු වී ඇති බවට චෝදනා නැගෙනවා. මේ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළාත් සභා බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නව අණපනත් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද මේ අයුරින්ම ක්‍රියා කරනවා.
බලය පැවරීමේ ක්‍රියාවලිය විධිමත් හා ක්‍රමවත් කරලීම උදෙසා පහත සඳහන් කරන පනත් සඳහා සංශෝධන කෙටුම්පත් සකස් කරනවා. 1992 අංක 38 දරන බලය පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරුන්) පනත, 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන) පනත සහ 1990 අංක 28 දරන පළාත් සභා (සංශෝධන) පනත.
පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර සම්බන්ධීකරණ කාර්යයන් විධිමත් කිරීම සඳහා නවීන ක්‍රමයේ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමවේදයක් අප ස්ථාපිත කරන්න අපේක්ෂා කරනවා.
මේ සියලු අණපනත් සහ කෙටුම්පත් අපි පාර්ලිමේන්තුවේ ජාතික සභාවට ඉදිරිපත් කරනවා. ඒවා පිළිබඳ සාකච්ඡා කොට, පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේ වගකීම පැවරෙන්නේ ජාතික සභාවටයි.
නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමා මායිම් වර්තමානයේ පවතින්නේ පළාත් සීමා මායිම් අනුව නෙවෙයි. මේ නිසා ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුවී තිබෙනවා. ඒ නිසා පළාත් අනුව නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමා නිර්ණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
පොලිස් බලතල සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු වෙන්නේ නෑ.

මානව හිමිකම් උල්ළංඝනය, ජාත්‍යන්තර මානව හිමිකම් නීති බරපතළ ලෙස කඩකිරීම් ආදි කරුණු පිළිබඳව සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු ජනාධිපති කොමිසමේ වාර්තාව දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශයන් ගැන ද අපේ අවධානය යොමු වෙනවා.
ගැටුම්වලින් වඩාත් හානි සිදු වූ උතුර සංවර්ධනය සඳහා වෙනමම සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. මල්වතුඔය සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරනවා. නැගෙනහිර පළාතේ ගංගා සහ ජල කළමනාකරණය කිරීම, වඩමාරච්චි වැව සහ කළපුව ප්‍රතිසංස්කරණය කිරීම, පානීය සහ කෘෂි කටයුතු සඳහා එමගින් ජලය ලබාදීම උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.
පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඔස්සේ මේ ප්‍රදේශවල විදුලිබල අවශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු කරනවා. සූර්ය බලය මෙන්ම, හරිත හයිඩ්‍රජන් බලය ද මේ සඳහා යොදා ගන්නවා.
සංචාරක ව්‍යාපාරය සඳහා වැඩි වැඩියෙන් අවස්ථා සලසා දෙනවා. ආයෝජන කලාප පිහිටුවනවා. කෘෂිකර්ම කටයුතු නවීකරණය සඳහා අවශ්‍ය තාක්ෂණය සහ පහසුකම් සලසා දෙනවා.
කන්කසන්තුරේ වරාය නවීකරණය කරනවා. පුළුල් කරනවා. ත්‍රිකුණාමලය නවීන ජාත්‍යන්තර නගරයක් ලෙස සංවර්ධනය කරනවා. ගැටුම්වලට මැදිවී ආර්ථික හා සමාජයීය පසුබෑම්වලට ලක්වූ නැගෙනහිර සහ උතුරු මැද පළාත් වෙනුවෙනුත් නවීන කෘෂිකාර්මික සැලසුමක් දියත් කරනවා.
වතුකරයේ ජනතාව පිළිබඳවත් අපේ විශේෂ අවධානය යොමු කරනවා. ලංකාවේ වැවිලි කර්මාන්තය නඟාසිටුවීම උදෙසා ඔවුන් මුලින්ම ලංකාවට ගෙන්වා ගත්තේ මීට අවුරුදු 200කට කලින්.
වතුකරය වෙනුවෙන් විශාල සේවාවක් කළ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාත්, මමත් කැබිනට් මණ්ඩලයට පත්වූණේ එකට. අප දෙදෙනා වතුකරයේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් එක්ව වැඩ කටයුතු කළා. මේ වන විට වතුකරයේ ජනතාවගේ නීතිමය අයිතීන් සියල්ල අප ලබාදී තිබෙනවා. නමුත් ආර්ථික හා සමාජයීය අයිතීන් සම්බන්ධයෙන් පවතින ගැටලු ගණනාවක් තවමත් ඉතිරිව තිබෙනවා. මේ ගැටලු විසඳීම සඳහා අප වතුකරය නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා සමඟ සාකච්ඡා කර පියවර ගැනීමට අපේක්ෂා කරනවා. වසර 200ක් පුරා ලාංකේය ආර්ථිකය පෝෂණය කිරීමට වෙහෙසෙන ඔවුන් සියයට සියයක්ම ලාංකේය ජනතාවගේම කොටස් බවට පත් කරගත යුතු වෙනවා.

මම පාර්ලිමේන්තුවට තේරී පත් වූ අවස්ථාවේ මගේ කැබිනට් අමාත්‍යවරයා වුණේ ඒ. සී. එස්. හමීඩ් මහතායි. ලාංකේය මුස්ලිම්වරුන් මුහුණ දෙන සුවිශේෂී තත්ත්වයන් ගැන එතුමා මාව දැනුවත් කර තිබෙනවා. විටින් විට, මුස්ලිම් ප්‍රජාව විවිධ ගැටලුවලට මුහුණ දෙන බව අප දන්නවා. ඒ පිළිබඳවත් අපේ පූර්ණ අවධානය යොමු වෙනවා.
සිංහල සමාජයත් ඔවුන්ට සීමා වූ ගැටලු ගණනාවකට මුහුණ දෙනවා. ඒ ගැනත්, අපේ අවධානය යොමු කරනවා. ඒ ගැටලු ගැනත් විවෘත සාකච්ඡාවක් අවශ්‍යයි. විශේෂයෙන්ම කුල භේදය නිසා සමාජයේ කොන් වීමකට ලක් වී සිටින ප්‍රජාව සම්බන්ධයෙන් පූර්ණ සැලකිල්ල යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ඒකීය රාජ්‍යයක් තුළ උපරිම ලෙස බලය බෙදන්න අප බලාපොරොත්තු වෙනවා. නමුත් මම අවස්ථා ගණනාවකදී අවධාරණය කළ කරුණක් යළිත් මෙහිදී සඳහන් කරන්නට කැමතියි. රට බෙදීමට හෝ බෙදීමට තුඩු දෙන හෝ කිසිදු පියවරක් අප ගන්නේ නැහැ.
මට මේ පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් නැහැ. මම නියෝජනය කරන පක්ෂයට ඉන්නේ එක මන්ත්‍රීවරයයි. නමුත් මම ජනාධිපති හැටියට ඒ පක්ෂය නියෝජනය කරන්නේ නැහැ. මම නියෝජනය කරන්නේ මුළු රටේම ජනතාවයි. මෙතැනදී පක්ෂ දේශපාලනයක් මට නැහැ.
ඒ නිසා මේ සියලු යෝජනා මම ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවේ ජාතික සභාව මාර්ගයෙන්. ඊට අමතරව ජනතා අදහස් නියෝජන කාර්යයන් උදෙසා අප ජන සභා පනත නීතිගත කරනවා.
මම කලින් අවස්ථා ගණනාවකදීත් අවධාරණය කළ පරිදි අලුතින් සිතා, අලුත් ගමනක් යන්නට කාලය දැන් එළැඹ තිබෙනවා. මෙතෙක් අප අනුගමනය කළ සාම්ප්‍රදායික දේශපාලනය තවදුරටත් වලංගු නැහැ. දේශපාලන වාසි තකා බොරුවෙන්, මිත්‍යාවෙන් සිදු කළ රැවටීම් අනාගතයට ගැළපෙන්නේ නැහැ.
සිස්‍ටම් චේන්ජ් ගැන කතා කරන සමහර දේශපාලන පක්ෂ තමන් හැර අනෙක් අය වෙනස් කරන්නයි යෝජනා කරන්නේ. මේකත් ‍සාම්ප්‍රදායික දේශපාලනයේම කොටසක්. “අපි ආවොත් අපි වෙනස් කරනවා” එහෙම තමයි කියන්නෙ. අපි ඇදේට යන ගමන්, අනුන් වෙනස් කරන්න උත්සාහ ගන්නවා.
ස්වාධීන කොමිෂන් සභා වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කතා කළ අය, බලය හමුවේ ස්වාධීන කොමිෂන් සභා එපා කියනවා. විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කරපු අය, තමන් බලයට පත් වුණාම ඒ බලතල පාවිච්චි කරන හැටි ගැන කියනවා. බලය වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කරනවා.
අපි අතීතයේ සිට මේ දක්වා අත්විඳි දේවල් තමයි ‍මේවා.
මම යෝජනා කරන්නේ මේ තත්ත්වය අප වෙනස් කරගත යුතුයි. නැති නම් ක්‍රමයේ වෙනසක් ඇති කරන්න අපි කාටවත් බැහැ.
වෙනස්වීම පටන් ගන්න ඕනෑ තමන්ගෙන්මයි. අපි අපෙන්මයි. අපි හැමෝම වෙනස් විය යුතුයි. ඒ වෙනස්වීම යහපත් විය යුතුයි. දේශපාලනඥයන් හැටියට අප වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. දේශපාලන පක්ෂ වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි.
පාර්ලිමේන්තුව වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. විධායකය වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. අධිකරණය වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. රාජ්‍ය සේවය වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි.
මෙන්න මේ වෙනස වෙනුවෙන් අපි දැනටමත් පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා ක්‍රමය පිහිටුවා තිබෙනවා. නමුත් තවමත් අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ නියෝජනය පත් කර නැහැ. එය කඩිනමින් කරන ලෙස මම මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. අධීක්ෂණ කාරක සභාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට සිත් වෙනස් කර ගැනීම මේ සභාවේ සිටින ඔබ සැමගේ වගකීමක්.
අප එතැනින් නවතින්නේ නෑ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු ආණ්ඩු පාලනයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කර ගැනීමට පියවර ගන්නවා.
මේ වෙනුවෙන්,
පූර්ණ ස්වාධීනත්වය ඇති පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ස්ථාපිත කරනවා.
වර්තමානයේ මන්ත්‍රී ආචාර ධර්ම සම්බන්ධයෙන් පවත්නා නීති රීති ප්‍රමාණවත් නැහැ. එක්සත් රාජධානිය වැනි රටවල් ආදර්ශයට ගනිමින්, මන්ත්‍රී ආචාර ධර්ම සහ පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳ පනතක් කෙටුම්පත් කරනවා.
මනාප ක්‍රමය විවිධ දූෂකයන්ට පාර කැපීමක් බව දැන් අප ප්‍රායෝගිකව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා විකල්ප ඡන්ද ක්‍රමයක අවශ්‍යතාව මුළු රටටම තදින් දැනෙනවා. පාර්ලිමේන්තු පක්ෂ නායකයන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කොට මැතිවරණ ක්‍රමවේදය පිළිබඳ තේරීම් කාරක සභාවක් පත් කිරීමට අපි ක්‍රියා කරනවා. නව මැතිවරණ ක්‍රමය තුළ බුද්ධිමතුන්ට, තරුණ පරපුරට සහ කාන්තාවන්ට නිසි ඉඩකඩක් සැලසිය යුතු බවත් මම විශ්වාස කරනවා.
අද ලංකාවේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. දේශපාලන පක්ෂවලට වඩා අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මැතිවරණ සඳහා නිර්මාණය කරගත් දේශපාලන සන්ධානයි.
මේ බොහොමයක් මුදල්වලට විකුණුනු දේශපාලන පක්ෂ. පිටකොටුවේ පදික වේදිකාවේ වගේ, පක්ෂයත්, ලාංඡනයත් විකුණනවා. සමහර ඒවා විකිණෙනවා. මේ පක්ෂ අයිතිය ගැන අධිකරණය ඉදිරියේ නඩු පවා තිබෙනවා.
ලාංකේය දේශපාලන පක්ෂ සහ ඒවා ක්‍රියාත්මක විය යුතු ක්‍රමවේදය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම උදෙසා ජනාධිපති කොමිසමක් පත් කිරීමට මම ක්‍රියා කරනවා.
පක්ෂ ලියාපදිංචිය, විනිවිදභාවයෙන් ක්‍රියා කිරීම, සාමාජික අයිතිවාසිකම්, අරමුදල් සහ ආදායම් ලබා ගැනීම, මැතිවරණ ව්‍යාපාර සඳහා වියදම් කිරීම, ජනමාධ්‍ය භාවිතය ආදී කරුණු ගැන ගැඹුරින් සොයා බැලීමේ වගකීම මේ කොමිෂන් සභාවට පැවරෙනවා.
මේ කාර්යයේදී කෙන්යාවේ, ජර්මනියේ සහ නෝර්වේ රාජ්‍යයේ දේශපාලන පක්ෂ පිළිබඳ පනත, එක්සත් රාජධානියේ ඡන්ද දායක පනත, රාජ්‍ය වගවීම පිළිබද යුරෝපීය ක්‍රමවේදය, එක්සත් රාජධානියේ දේශපාලන පක්ෂ සහ ජනමත විචාරණ පනත පදනම් කර ගැනීමට අපේක්ෂා කරනවා.
අනාගතය වඩාත් යහපත් කර ගැනීම උදෙසා නව ආයතන, නව නීති රීති සහ නව ව්‍යාපෘති ගණනාවක් හඳුන්වාදීමට පියවර ගන්නවා.
ඉතිහාසය පිළිබඳ ආයතනය, ආර්ථික විද්‍යා සහ වෙළෙඳ ආයතනය, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආයතනය අප අලුතින් ස්ථාපිත කරනවා. ඒ වගේම නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවනවා. රාජ්‍ය පාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශ්වවිද්‍යාලය, කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලය, දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය සහ ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඊට අයත් වෙනවා.
අලුත් නීති රීති සහ අණපනත් ගණනාවක් හඳුන්වාදීමටත් අප පියවර ගන්නවා.
කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභා පනත
ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත
ස්ත්‍රී සවිබල ගැන්වීමේ පනත
ළමා ආරක්ෂණ පනත
යොවුන් පාර්ලිමේන්තු පනත
මත්ද්‍රව්‍ය මැඩලීමේ අණදෙන මූලස්ථාන පනත
සත්‍ය සහ සංහිඳියා කොමිසම
ත්‍රස්තවාදය වැළැක්වීමේ සහ ජාතික ආරක්ෂක පනත
දැනට ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත අහෝසි කරනවා. ව්‍යවස්ථාවේ ඇති ප්‍රකාශන අයිතිය පදනම් කර ගනිමින් කලා නිර්මාණ වර්ගීකරණ පනතක් සකස් කරනවා.
අපේ රට පිහිටා තිබෙන්නේ දේශගුණික විපර්යාසයන්ට භාජනය වන කලාපයේයි. අප දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ ඒ නිසයි. ඒ සම්බන්ධයෙන් නිසි පිළිවෙතක් අනුව කටයුතු කළොත් අපිට හරිත ප්‍රතිපාදන ලබා ගැනීමේ අවකාශය ද හිමි වෙනවා.
ඒ සියල්ල සැලකිල්ලට ගෙන අප මෙන්න මේ අණපනත් හඳුන්වාදීමට පියවර ගන්නවා.
දේශගුණික විපර්යාස පනත
සමාජ සාධාරණත්ව කොමිෂන් සභා පනත
ප්‍රතිවනරෝපණ සහ වෘක්ෂාවරණ පනත
ජීවමාන පද්ධති පනත – මහවැලි ග, සිංහරාජය, සිරිපාද අඩවිය හා වන ශිඛරය, හෝර්ටන් තැන්න, නකල්ස්, ආදම්ගේ පාලම මේ පනත යටතට ගැනෙනවා.
සාගර සම්පත් ගවේෂණ සහ කළමනාකරණ නීතිය
මුතුරාජවෙල සංරක්ෂණ පනත
ආර්ථිකය සම්බන්ධයෙන් ද නව අණපනත් හඳුන්වා දෙන්නට කටයුතු කරමින් යනවා. රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා ශූන්‍ය පාදක අයවැය (Zero Budgeting) ක්‍රියාවලියක් ආරම්භ කරනවා.
ආදායම් අධිකාරි පනත
ජාතික ණය කළමනාකරණ පනත
ආහාර සුරක්ෂිතතා පනත
රාජ්‍ය දේපළ කළමනාකරණ පනත
ආර්ථික ස්ථායීකරණ පනත
ජාතික විශ්‍රාම දායකත්ව පනත• නව සුරාබදු පනත
විදේශ විනිමය පනතට සංශෝධන
බුන්වත් පනත
ඩිජිටල් තාක්ෂණ පනත
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තු පනත
අන්‍යොන්‍ය එකඟත්වය මත දික්කසාදවීමේ පනත
මෙ වැනි ආර්ථික සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට නම්, නිවැරදි කරුණු මත පදනම්ව ජනතාව දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. සමාජය දැනුම්වත් කිරීමේ ප්‍රධාන භූමිකාව හිමි වන්නේ ජනමාධ්‍ය වෙතයි.
ඒ සඳහා ජනමාධ්‍යවේදීන්ට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා දිය යුතුයි. 1993 දී මම අග්‍රාමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය පුහුණු ආයතනයක් පිහිටුවීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට ආචාර්ය ගාමිණී කොරයා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. එම ආයතනය පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණත්, 1994 මහ මැතිවරණය නිසා එය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා ජනමාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා ගැනීම සඳහා ජනමාධ්‍ය ආයතනයක සිට විශ්වවිද්‍යාලයක් දක්වා වූ ආයතන පද්ධතියක් ස්ථාපිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
පසුගිය දශක ගණනාව දෙස විමසිල්ලෙන් බලද්දී ජනමාධ්‍යයේ භූමිකාව නිසි ලෙස ඉටු වී ඇත්ද? යන ප්‍රශ්නය අප ඉදිරියේ පැනනගිනවා. ඒ නිසා ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණයන් ද අපේ රටට අවශ්‍ය වෙනවා. මෙහිදී සාම්ප්‍රදායික ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය යන අංශ දෙකම අපේ සැලකිල්ලට ගත යුතුයි. ජනමාධ්‍ය සම්බන්ධයෙන් ද ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුත්තේ ඒ නිසයි.
රජය සහ මාධ්‍ය කර්මාන්තය එකට එකතුව සාමූහික ස්වයං නියාමන ක්‍රමවේදයක් ගැන සැලකිලිමත් වීම වැදගත් යැයි මම කල්පනා කරනවා. සයිබර් අවකාශයේ අසත්‍ය ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශන, දුස් තොරතුරු, ළමා සහ කාන්තා හිංසන, අඩන්තේට්ටම් පමණක් නොව වංචා දූෂණ ද අප අත්විඳිනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා සමාගම් ද ඇතුළත් වන පාරදෘෂ්‍ය නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය බව අප හිතනවා.
අප මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වන්නේ ප්‍රතිපත්ති පිළිබඳ එකඟත්වයක් ඇති කර ගැනීමයි.
ආණ්ඩු මාරු වෙද්දි වෙනස් නොවන, ජාතික ප්‍රතිපත්තියක්. ඇමැතිවරුන් මාරුවෙද්දි වෙනස් නොවෙන ජාතික ප්‍රතිපත්තියක්. ලෝකයේ දියුණු වුණු හැම රටක්ම ස්ථාවර ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ඉදිරියට ගිය රටවල්. කාලානුරූපව ප්‍රතිපත්ති යාවත්කාලීන කරනවා. ඒත් ආණ්ඩු මාරු වෙද්දි ප්‍රතිපත්ති උඩියටිකුරු කරන්නේ නැහැ.
මේ සිස්ටම් චේන්ජ් එකක ආරම්භයක් පමණයි. තවත් බොහෝ වෙනස්කම් අප සිදු කළ යුතුයි. ශ්‍රී ලංකාවාසීන්ගේ, විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ අදහස් අනුව ඒ වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒ නිසා ඉදිරි වසර 25 තුළ අප අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති හා ක්‍රියාපිළිවෙත් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න කියා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලීම මම කරන්නේ මේ සභාවේ සිටින ඔබ සැමගෙන් විතරක් නෙවෙයි. මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගෙන්මයි. ඔබ ලංකාවේ සිටියත්, විදේශයක සිටියත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. රට යළි ගොඩනැංවීමේ සාමූහික ව්‍යායාමයට එක් වන්න.
අද මේ රටේ බොහෝ දෙනෙකුට අද රට පත්ව ඇති අර්බුදයේ දිග – පළල – ගැඹුර වැටහෙන්නේ නෑ. ඒ, අපි හැමගේම ජීවිත කාලය තුළ මෙතරම් අනතුරුදායක හා බරපතල අර්බුදයකට අප මුහුණ පා නැති නිසා.
මේ අර්බුදයෙන් කඩිනමින් ගොඩ එන්න නම් අපි සියල්ලන් එකට එක්විය යුතු බව මම නැවතත් අවධාරණය කරනවා. ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්, රාජ්‍ය නොවන සංවිධාන ආදී සෑම පාර්ශ්වයක්ම එකට එක්විය යුතුයි. යම්කිසි කාලයක් තුළ එක් අරමුණක් ඇතිව එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ගිවිසගත යුතුයි. සමාජ සම්මුතියක් ඇති කරගත යුතුයි. රට වෙනුවෙන් අප හැමගේම ජීවන රටාවන් වෙනස් කරගත යුතුයි.
මම පෙර සඳහන් කළ සියලු කණ්ඩායම් වර්තමානයේ කැපවීම් කරනවා. බර දරනවා. දුෂ්කරතාවලට මුහුණ දෙනවා. ඒ නිසා අප ආර්ථිකය යළි ඔසවා තැබීමෙන් ලැබෙන ප්‍රතිලාභ සියල්ලත් ඒ අය වෙත බෙදී යා යුතුයි. ඔවුන් ආර්ථික සංවර්ධනයේ යහ ප්‍රතිඵලවල කොටස්කරුවන් විය යුතුයි.
මේ සමාජ සම්මුතිය ක්‍රියාත්මක කිරීම උදෙසා අප සමාජ සාධාරණ කොමිෂන් සභාව ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර 25 සඳහා අලුත් ප්‍රතිපත්ති රාමුව මේ සමාජ සම්මුතිය පදනම් කර ගනිමින් නිර්මාණය කරනවා.
අවසාන වශයෙන් මම නැවතත් සිහිපත් කරන්න කැමතියි. රාජ්‍යය සහ ආණ්ඩුව අතර වෙනස අප අවබෝධ කර ගනිමු. ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂා කරන්නට අප හැමෝම බැඳී සිටිනවා. මැතිවරණවලදී ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු මාරු කිරීමේ අවස්ථාව ඕනෑම පුරවැසියකුට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව අරාජික කිරීමේ අයිතිය කිසිවෙකුටත් නැහැ. කිසිදු දේශපාලන පක්ෂයකටත් නැහැ. කිසිදු කණ්ඩායමකටත් නැහැ.
අපේ මාතෘභූමිය ආර්ථික හෝ සමාජයීය යටත් විජිතයක් බවට පත් කරන්නට ඉඩ දෙන්න බෑ. රට අරාජික කරන්නට ඉඩ දෙන්න බෑ. රටට සැබෑ ලෙස ආදරය කරන කිසිවෙක් ඊට ඉඩ දෙන්නෙත් නැහැ. අපි සියලු දෙනා සිටගත යුත්තේ රටට ආදරය කරන පාර්ශ්වයේ මිස, රට අරාජික කරන පාර්ශ්වයේ නෙවෙයි.
පසුගිය “සන්ඩේ ටයිම්ස්” පුවත්පත ඔස්සේ තරුණ තරුණියන් දැක්වූ අදහස් කිහිපයක් ගැන අප මීට කලින් අවධානය යොමු කළා. මගේ කතාව අවසන් කරන්නට පෙරාතුව ක්ලිෆර්ඩ් ප්‍රනාන්දු දක්වා තිබූ තවත් අදහසක් පිළිබඳව මම ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි.
“I hope the political leaders will get their act together – they have failed miserably. Leaders should have the ability to lead by example if they expect people to follow. Sri Lankans are very resilient and will buckle up and do what it takes to come out of the present crisis. If the leaders could act wisely, use some common sense and put their words to action, we will be able to maneuver through these challenging times”
‘‘
දේශපාලන නායකයන් එකට එක්ව කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඔවුන් මේ වෙද්දි අභාග්‍යසම්පන්න ලෙස අසාර්ථක වෙලා තිබෙනවා. ජනතාව ඔවුන් අනුගමනය කරතැයි බලාපොරොත්තු වෙන්නේ නම්, ඔවුන් ආදර්ශවත් විය යුතුයි. නම්‍යශීලී ශ්‍රී ලාංකිකයන්ට වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දරා ගැනීමේ ශක්තිය තියෙනවා. නායකයන් බුද්ධිමත්ව හා සිහි නුවණින් යුතුව කියන දේ ක්‍රියාත්මක ‍කළොත්, උපායශීලීව මේ අභියෝගාත්මක සමය ජය ගන්නට අපට පුළුවන්.”
රට ගැන බලාපොරොත්තු දල්වා ගෙන සිටින, රට හැර නොයන්නට අධිෂ්ඨාන කරගෙන සිටින මේ දරු දැරියන්ගේ, මේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් ජය ගැන්වීම, මේ සභාවේ සිටින අප සැමගේ වගකීමක්. ඔවුන්ට නිදහස් හෙටක්, නිවහල් රටක්, උරුම කරදීම මේ සභාවේ සිටින අප සැමගේ වගකීමක්.
ඔබ ඊට සූදානම් ද?
අතීතයේ සිරකරුවන් නොවී අපි අනාගතය ගැන සිතමු. අපි එකට එක්වෙමු. පොදු එකඟත්වයක් ඇති කර ගනිමු. ප්‍රජාතන්ත්‍රවාදී අදහස්වලින් පෝෂිතව ඉදිරියට යමු. රට වැටී ඇති අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ගැනීමට උපරිම සහාය දෙමු. දේශපාලන අරමුණු ගැන සිතන්නට අවශ්‍ය නම්, රට මේ අර්බුදයෙන් මුදා ගත් පසු ඒ ගැන සිතමු.
ගෞතම බුදුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා.
තමා තමාටම පහනක් වන්න’
ඒ උපදෙස පිළිගනිමින්, අපි අපිටම පහනක් වෙමු.
රටම එළිය කළ හැක්කේ එවිටයි.
ස්තූතියි !’

ආරක්ෂක අමාත්‍යංශයේ රහස්‍ය වාර්තා යොදාගෙන වෙබ්අඩවි ලියාපදිංචි නොකිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් : මානව හිමිකම් කොමිසමෙන් තීරණාත්මක තීන්දුවක් !

0

ආරක්ෂක අමාත්‍යංශයේ නිශ්කාෂණ ප්‍රමාණවත් නොවීම හේතුව ලෙස දක්වමින් www.medialk.com වෙබ්අඩවිය ලියාපදිංචි නොකිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර තිබේ.

ව්‍යවස්ථාවේ 14(1)(අ) යටතේ ස්ථාපිත භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහස මෙසේ උල්ලංඝනය කර ඇතැයි කොමිෂන් සභාව අවධාරණය කරන්නේ HRC/1044/21 අංකය යටතේ එම වෙබ්අඩවියේ ප්‍රධාන සංස්කාරක තරිඳු ජයවර්ධන විසින් කරන ලද පැමිණිල්ලක තීන්දුව ලබාදෙමිනි. මෙහි වගඋත්තරකරු ලෙස දක්වා ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ය.

‘වෙබ්අඩවිය ක්ලියර් නෑ’

අදාළ වෙබ්අඩවිය ලියාපදිංචි කිරීම සඳහා 2019 වසරේ ජනමාධ්‍ය අමාත්‍යංශයට අයදුම්පතක් ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට අදාළ ව සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වූ බවත්, ඉන්පසු වෙබ්අඩවිය ලියාපදිංචියට පෙර ආරක්ෂක අමාත්‍යංශයෙන් නිශ්කාෂණ වාර්තාවක් ලබාගත යුතු බවට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් දැනගැනීමට ලැබුණු බවත්, වෙබ්අඩවිය ක්ලියර් නොමැති බව දන්වා ආරක්ෂක අමාත්‍යංශයෙන් වාර්තාවක් එවා ඇති නිසා ලියාපදිංචිය ලබාදිය නොහැකි බව වගඋත්තරකරු දැනුම් දුන් බවත් වෙබ්අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා විසින් කොමිෂන් සභාවට යොමුකර තිබූ පැමිණිල්ලේ සඳහන් ය.

නිශ්චිත නීතියක් නොමැතිව ප්‍රවෘත්ති හෝ කාලීන සිදුවීම් හෝ වාර්තා කරන වෙබ්අඩවි ලියාපදිංචි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු කරන බවත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පත් නිකුත් කරනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ මෙම ලියාපදිංචිය සහිත වෙබ්අඩවි සඳහා පමණක් බවත් මෙම පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා ඇත.

රජයේ ඇතැම් ප්‍රවෘත්ති සාකච්ඡා සහ ඇතැම් උත්සව ආවරණය කිරීම සඳහා ජනමාධ්‍ය හැඳුනුම්පත අනිවාර්ය කිරීම නිසා ලියාපදිංචි නොකළ වෙබ්අඩවි මාධ්‍යවේදීන්ට එම අවස්ථා නොලැබෙන බවත්, එමගින් තොරතුරු දැනගැනීමේ අයිතිය සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමා වන බවත් පැමිණිල්ලෙන් අවධාරණය කර තිබේ.

පැමිණිලිකරුගේ ඉල්ලීම

මේ නිසා www.medialk.com වෙබ්අඩවිය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීමටත්, වෙබ්අඩවියේ සේවය කරන මාධ්‍යවේදීන්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත නිකුත් කිරීමටත් නිර්දේශ කරන ලෙස පැමිණිල්ල මගින් මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබිණි.

රහස්‍ය ලේඛනය

මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට පිළිතුරු සපයමින් වගඋත්තරකරුගේ පාර්ශ්වයෙන් සඳහන් කර ඇත්තේ 2011 නොවැම්බර් 05 දිනැති ව නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයකට අනුව ප්‍රවෘත්ති වෙබ්අඩවි ලියාපදිංචිය සිදුකරන බවයි. ඒ අනුව වෙබ්අඩවියේ හිමිකරු කැඳවා සම්මුඛ පරීක්ෂණයක් සිදුකිරීමෙන් සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිශ්කාෂණ වාර්තා ලබාගැනීමෙන් පසු ව ලියාපදිංචිය ලබාදෙන බව ද වගඋත්තරකරු පවසා තිබේ.

www.medialk.com වෙබ්අඩවිය සඳහා ප්‍රමාණවත් ආරක්ෂක නිශ්කාෂණ වාර්තා ලැබී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය මගින් රහස්‍ය ලේඛනයකින් දැනුම් දී ඇති නිසා මෙය ලියාපදිංචි කර නැති බව වගඋත්තරකරු අවධාරණය කර ඇත.

වගඋත්තරකරු සඳහන් කර ඇති ආකාරයට වෙබ්අඩවියේ හිමිකරු කැඳවා සම්මුඛ පරීක්ෂණයක් සිදු කර ඇති බවත්, ආරක්ෂක අමාත්‍යංශය මගින් 2020 සැප්තැම්බර් 10 දිනැති රහස්‍ය වාර්තාවක් මගින් ප්‍රමාණවත් නිශ්කාෂණ වාර්තා වෙබ්අඩවිය සම්බන්ධයෙන් ලැබී නොමැති බව ජනමාධ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇති බවත් මානව හිමිකම් කොමිෂන් සභාව සිය තීන්දුවේ සඳහන් කර ඇති මීට අදාළ  නිරීක්ෂණවල දැක්වේ.

පරස්පර කරුණු දැක්වීම්

2021 ජුනි 23 දිනැති ව ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් කොමිෂන් සභාව වෙත යොමුකර ඇති වාර්තාවක දක්වා ඇත්තේ 2011 නොවැම්බර් 05 දිනැති ප්‍රවෘත්ති නිවේදනය අනුව ප්‍රවෘත්ති වෙබ්අඩවි ලියාපදිංචිය සිදුකරන බවයි. එහෙත් 2022 අප්‍රේල් 19 දින වගඋත්තරකාර පාර්ශ්වය මගින් කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ අංක 12/1037/537/0191 සහ 2021 අගෝස්තු 13 දිනැති කැබිනට් මණ්ඩල තීරණ මගින් ප්‍රවෘත්ති වෙබ්අඩවි ලියාපදිංචිය සිදු කරන බවයි.

මේ නිසා වගඋත්තරකාර පාර්ශ්වය මගින් පැමිණිල්ලට අදාළ ව පරස්පර කරුණු දැක්වීමක් සිදු කර ඇති බව කොමිෂන් සභාවේ නිරික්ෂණවල දැක්වේ.

ජාතික ආරක්ෂාවට අවදානමක්

වගඋත්තරකාර පාර්ශ්වය මගින් 2022 අප්‍රේල් 19දා වැඩිදුරටත් කොමිසමට දැනුම් දී ඇත්තේ මෙය ජාතික ආරක්ෂාවට සාමාන්‍ය මට්ටමේ අවදානමක් (General risk to National Security) ඇති වෙබ්අඩවියක් ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය මගින් ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත යොමු කළ රහස්‍ය වාර්තාවේ දැක්වෙන අබවයි. එය 4 වැනි මට්ටමේ ආරක්ෂක නිශ්කාෂණයක් බවත්, 2020 ඔක්තෝබර් 28 දින ප්‍රවෘත්ති වෙබ්අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා රැස්වූ කමිටුව මගින් 5 වැනි මට්ටමේ ආරක්ෂක නිශ්කාෂණ වාර්තා ලබාදී ඇති ප්‍රවෘත්ති වෙබ්අඩවි පමණක් ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති බවත් වැඩිදුරටත් එම පාර්ශ්වය දක්වා ඇත.

මෙම කමිටුවට සහභාගි වී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශය, යුද හමුදා ප්‍රකාශක, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය නියෝජනය කළ නිලධාරීන් පමණි. ඒ බව ප්‍රවෘත්ති වෙබ්අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නියාමනය සඳහා වූ රැස්වීමේ වාර්තාව – 2020.10.28 හි දැක්වේ.

සීමා කළ හැකි අවස්ථා

කෙසේ වෙතත් මෙම ක්‍රියාමාර්ගය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහස කොතරම් සීමාවන්නේද යන්න සහ එය කොතරම් නිත්‍යානුකූල ද යන්න කොමිසමේ විශේෂ අවධානයට යොමු වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(2) සහ 15(7) ප්‍රතිපාදන යටතේ සඳහන් කර ඇති සීමා අවස්ථාවලදී මිස, වෙනත් අවස්ථාවලදී එම නිදහස සීමා කළ නොහැකි බව නියෝගයේ සඳහන් කර ඇති කොමිසම, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ක්‍රියාවලිය පිළිබඳ මෙසේ අවධාරණය කරයි.

‘ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති ප්‍රවෘත්ති වෙබ්අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා වූ රැස්වීම්වලදී එනම්, 2020.10.28 සහ 2020.07.14 දින ගන්නා ලද තීරණ කිසිදු අවස්ථාවක නීතියක් හෝ නියෝගයක් නොවන බැවින් එම තීරණ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) යටතේ ස්ථාපිත කර ඇති භාෂණයේ නිදහස හා ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහස සීමා කළ නොහැක.’

ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි !

එසේ ම ව්‍යවස්ථාවේ 4(ඈ) ව්‍යවස්ථාවේ සඳහන් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරුකරනු ලැබිය යුතුය. ආරක්ෂා කරනු ලැබිය යුත්තේය. වර්ධනය කරනු ලැබිය යුත්තේය. තවද ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට හා ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය’ යන නියමය ද වගඋත්තරකාර පාර්ශ්වය විසින් මෙම පැමිණිල්ලට අදාළ ව උල්ලංඝනය කර ඇති බව ද කොමිසමේ තීන්දුවේ දැක්වේ.

මේ නිසා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ආරක්ෂක නිශ්කාෂණ ප්‍රමාණවත් නොවීම මත යනුවෙන් සඳහන් කරමින් නිත්‍යනුකූල නොවන ක්‍රියාමාර්ගයක් ඔස්සේ පැමිණිලිකරුගේ වෙබ්අඩවිය ලියාපදිංචි නොකිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) යටතේ ස්ථාපිත කර ඇති භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් ප්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය උල්ලංඝනය කර ඇතැයි ද අදාළ තීන්දුවේ පැහැදිලි ව දක්වා තිබේ.

සමස්තයට වැදගත් නිර්දේශයක් !

කොමිෂන් සභාව මෙම තීන්දුවට අනුව පහත නිර්දේශය කර තිබේ.

‘මෙම කරුණු අනුව සමස්ත සමාජයේ ම තොරතුරු දැනගැනීමේ අයිතියට බලපාන කරුණක් වන පුවත් වෙබ්අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය තීරණය කිරීමට රාජ්‍ය ආයතන පමණක් සම්බන්ධ කරගෙන තීරණවලට එළඹ තිබීම ද ප්‍රයෝගික නොවන බව නිරීක්ෂණය වන අතර, මේ සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන, පෞද්ගලික මාධ්‍ය ආයතන මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි පුවත් වෙබ්අඩවි මෙන්ම ලියාපදිංචි වීමට අයදුම්පත් ඉදිරිපත් කර ඇති පුවත් වෙබ්අඩවි නියෝජිතයන් ද මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශේෂඥයන්ගේ ද සහභාගිත්වය ඇතිව වඩාත් විනිවිදභාවයක් ඇති නීත්‍යනුකූල ක්‍රමවේදයක් සකස් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත මෙයින් නිර්දේශ කරනු ලැබේ.’

28ට පෙර වාර්තාවක් අවශ්‍යයි !

එසේ ම 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් සභා පනතේ 15(7) වගන්තිය ප්‍රකාර ව කොමිෂන් සභාව මගින් වගඋත්තරකාර පාර්ශ්වයට දැනුම් දී ඇත්තේ පෙබරවාරි 28 දිනට පෙර මෙම නිර්දේශය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් තමන්ට ලැබීමට සලස්වන ලෙසයි.

තීරණාත්මක තින්දුවක් !

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන අනුසුයා ෂන්මුගනාදන් සහ ම.හේ. නිමල් කරුණාසිරි විසින් සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට තීරණාත්මක බලපෑමක් එල්ල කරන මෙම තීන්දුව පසුගිය 31දා ලබාදෙන ලදි.  

අදානිගේ වත්කම් ගැන රාහුල් ප්‍රශ්න කරයි

0

ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි සහ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර වන සබඳතාවය කුමක්දැයි රටට හෙළිකළ යුතුයැයි ඉන්දීය කොංග්‍රසයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි ඉන්දීය පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් ඔහු පවසා සිටියේ පසුගිය ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ සහයෙන් ගෞතම් අදානි ව්‍යාපාර රැසකට අවතීර්ණය වී ධනපතියෙකු බවට පත්ව ඇති බවය.

2014 සිට 2022 දක්වා වසර වසර 8ක කාලය තුළ අදානිගේ වත්කම ඩොලර් බිලියන 8 සිට ඩොලර් බිලියන 140ක් දක්වා ඉහළ ගිය බවත් ඒ කෙසේදැයි ඔහු එහිදී ප්‍රශ්න කර සිටියේය.

වැඩිදුරටත් ප්‍රශ්න කරමින් රාහුල් ගාන්ධි විමසා සිටියේ අග්‍රාමාත්‍ය මෝදි සංචාරය කළ පසු එම රටවල් මගින් කොපමණ කොන්ත්‍රාත්තු ප්‍රමාණයක් අදානිට ලබාදී ඇද්ද යන්නයි.

එමෙන්ම පසුගිය වසර 20 කාලයක් ඇතුළත භාරතීය ජනතා පක්ෂයට අදානි කොපමණ මුදලක් ලබාදී තිබෙනවාද යන්නත් ඔහු පාර්ලිමේන්තුවේ විමසා සිටියේය.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද පර්යේෂණ ආයතනයක් වන Hindenburg විසින් ජනවාරි 24 දින නිකුත් කරන ලද වාර්තාවක ප්‍රතිඵලයක් ලෙස අදානි සමූහයේ ආදායම් පහත වැටෙන්නට ඇති බවට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.

අදානි සමූහයේ මූල්‍ය වංචා සහ එම සමූහයේ ණයබරතාව පිළිබඳ අනාවරණයත් සමගින් ම සිදු වූ වෙළෙඳපොළ කොටස් වටිනාකම් කඩාවැටීම මේ සඳහා හේතු වී තිබේ.
Bloomberg Billionaires Index හි දත්තවලට අනුව, ගෞතම් අදානි පිළිබඳ අදාළ වාර්තාව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඔහුගේ ධනය ඩොලර් බිලියන 34.6කින් පහත වැටී ඇත.

සම්පූර්ණ කතාව මෙතැනින්.. ලංකාව මෙහෙයවන මෝදිගේ නියෝජිතයා : අදානිගේ වත්කම් ඩොලර් බිලියන 34කින් පහතට !

සුජිත් රත්නායක ලංකාවට ඔරොත්තු නොදෙන කලා පෞරුෂයක්

0

සුජිත් රත්නායක කියන්නේ මට තේරෙන විදියට ලංකාවට ඔරොත්තු නොදෙන කලා පෞරුෂයක්.
භාෂාව මත යැපෙන හා භාෂාව මත යැපීමේ හැකියාව ඇති සාහිත්‍යය, නාට්‍යය, සිනමාව වගේ කලාවන්ට වෙනස්ව, භාෂාව මත යැපෙන්නේ නැති සංගීතය (සින්දු එහෙම නෙමෛයි) චිත්‍රකකලාව වගේ කලාවන් සමස්තයක් වශයෙන් ලංකාවට එහෙමකට ඔරොත්තු දෙන්නේ නැතිබවයි මට හිතෙන්නේ අනුරාධපුර යුගයේ ඉඳලා සීගිරි ගල හරහා කැලණිය – ගෝතමී විහාරය දක්වා බිතුසිතුවම් ඔස්සේ ආපු ‘ආගමික චිත්‍රකලාවක්’ කියල දෙයක් ගෙනහැර පාන්න පුළුවන් වුණත්, නූතනවාදී අර්ථයකින් ‘චිත්‍රකලාව’ ගැන ලංකාවට තියෙන්නේ ඉතාම දුප්පත් වත්කමක් කියන එකයි මගෙ අදහස.
සංගීතය වගේ තැනකට එනකොට ඒ දුප්පත්කම තවත් විසාලයි‍.

මෙතනදීම කියල ඉවරකරන්න ඕනැ දෙයක් තමයි, මං චිත්‍රකලාව ගැන මහලොකු දෙයක් දන්නෙ නැති, හුදෙක් චිත්‍ර රසවිඳින්නෙක් විතරයි කියන එක. ලෝකෙ නමගිය කලාගාර කිහිපයක රස්තියාදු ගහන්නනම් වරින් වර අවස්ථාව ලැබිල තියෙනවා. ඒ අත්දැකීම්වලින් සහ ඉන් ලද පෙළඹවීමෙන් – කුතුහලයෙන් තනියම කරපු සොයාබැලීම්වලින් එකතු කරගත් දුප්පත් දැනුමක් විතරයි මේ ගැන මට තියෙන්නේ.

ඒත් මං මෙතන උත්සාහ කරන්නෙ චිත්‍රකලා විචාරයක් කරන්න නොවන නිසා, සුජිත් රත්නායක කියන කලා පෞරුෂය කටුසටහනකට නඟන්න ඇවැසි පමණට විතරක්, සංස්ථාපිතයක් විදියට චිත්‍රකලාව ලංකාවෙ පවතින ආකාරය ගැන කරන දුරස්ත නිරීක්ෂණයක් විතරක් නිසා, චිත්‍රකලාව ගැන මහලොකු දැනුමක් නැතුවට මං කරන්න හදන දේ කරන්න බැරිකමක් නෑ.

ලංකාවෙ චිත්‍රකලාව කියන්නෙ ඉතාම සංවෘත, රහසිගත නිකායයන් සහිත ආගමික සංස්ථාවක් නම්, ඒකට පහුගිය කාලෙ බයනැතුව ගල්ගහපු, ඇඟිල්ල උරුක්කරල ගේම ඉල්ලපු ප්‍රමුඛතම සිත්තරෙක් තමයි සුජිත් රත්නායක කියන්නෙ.
කිසියම් සංස්ථාවක් ප්‍රශ්නකිරීමට ලක්වෙමින් තිබෙනවා නම්, ඒ ප්‍රශ්නකිරීමට නිරාවරණය නොවී හැංගිලා ඉන්න ගමන් තමන්ගෙ මහන්තත්තෙත් තියාගන්න ඒ සංස්ථාවට අනුගමනය කරන්න තියෙන ලේසිම ක්‍රමයක් තමයි උත්තර නොදී ඉන්න එක‍. හරියට ‘ඇහුණෙ නෑ,’ ‘දැක්කෙ නෑ’ වගේ.

ඇහුණෙ – දැක්කෙ නෑ කියල කියන්ඩම බැරි තැනකදි ‘උත්තර දෙන්ඩ තරම් දෙයක් නෑ’ වගේ ඉන්න එක‍.
දැන් භාෂාව ආත්මය හෝ අඩුතරමේ වාහකයක්වත් කරගත් සාහිත්‍යය, නාට්‍යය, සිනමාව වගේ තැනකදි මේ ‘ඇහුන්නෑ’ පාට්එක දිගින් දිගටම දානඑක ඒ තරම්ම ලේසි නොවෙන්න පුළුවන්. ඒත් චිත්‍රකලාව වගෙ භාෂාව මත යැපෙන්න අවශ්‍ය නැති කලාවකදි, විශේෂයෙන් ඒ කලාව රහසිගත ආගමික සංස්ථාපිතයක් වෙච්ච තත්ත්වයක් තුළදි, ඒ උත්තර නොදීමේ පාට්එක දාලා ප්‍රශ්න කරන්නා මගඇරලා දාන්න අමාරු නෑ.

ලෝකේ ඇත්තටම ඉන්නවා සහ තියෙනවා, උත්තර දීලා පලක් නැති ප්‍රශ්නකරන්නන් සහ ප්‍රශ්න. ඒ තමනුත් ඉන්නබව කියන්න අහන ප්‍රශ්න සහ තමන්ගෙ අනන්‍යතාව ඉල්ලා මරාගෙන මැරෙන්ඩ හදන ප්‍රශ්නකරන්නන්. ඒ ප්‍රශ්නවලට උත්තර නොදී හිටපුවාම ඒ ඝෝෂකයන්ට ආත්මයක් නැති වෙනවා. ඒ නිසා ඒක ඔවුන්ට මරාගෙන මැරෙන්න තරම් දෙයක්.
ඒත් ආත්ම නැති අයට ආත්ම දන්දීමේ විශේෂ පාරමිතාවක් පුරන්නේ නැතිනම් ඒ ප්‍රශ්න හා ප්‍රශ්නකරන්නන් මගහැර යාම මහලොකු දෙයක් නෙවෙයි.

ඒත් සුජිත් ලංකාවේ චිත්‍රකලාව, එහි බලකණු අරබයා පහුගිය කාලය පුරා නගමින් ඉන්න ප්‍රශ්න කිසිම විදියකින් ඒ තැනින් ගන්න බෑ‍. ඔහු තමන්ගේ අනන්‍යතා අර්බුදයක් ජයගන්න ප්‍රශ්න අහන්නෙක් නෙවෙයි. ඔහු ප්‍රශ්න අහන්නේ ලංකාවේ චිත්‍රකලාවේ අනන්‍යතා අර්බුදය ඊටම සම්මුඛ කරවන්න‍.

සමහරු ඉන්නවා තමන්ගේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නෙ නැතුව ප්‍රශ්න අහන එක, පාරම්බාන එක, කටමැත දොඩෝන එක විතරක් කරන. සුජිත් ඒ ගොඩට දාන්න කාටවත් බැරි ඔහු වැඩකරන, ඇත්ත වැඩකාරයෙක් හින්දා. සුජිත්ගෙ තියෙන්නෙ සද්දෙ විතරක් නෙවෙයි. බරසාර වැඩත් තියෙනවා. ඒවා බය නැතුව එළියටත් දානවා. ඒ අතර අර ගේමත් නොකඩවා ඉල්ලනවා.

ඇත්තටම සුජිත් රත්නායක අතින් ප්‍රශ්න කැරන්නෙ ලාංකේය චිත්‍රකලාවේ බල ස්ථාපිතය විතරක්‌ නෙවෙයි.
තනිකරම විකෘතියක් වුණු ලංකාවේ සමස්ත බල ආධිපත්‍යය!
“අර්බුදය සහ අරගලය” කියන්නේ ඒ ප්‍රශ්නකිරීමේ සිත්තර ප්‍රකාශනය ඇර වෙන මොකද්ද?
සුජිත් රත්නායක කියන්නේ ලංකාවට ඔරොත්තු නොදෙන කලා පෞරුෂයක් කියලා මං කියන්නේ මේ දෙපැත්තම ගැන සලකලා යි. එක අතකින් ඔහුගේ කලා නිර්මාණත් ලංකාව වගේ පෞරුෂ හීන සමාජයකට දරාගන්න අමාරුයි. ‍
අනිත් අතින් සුජිත් තමන්ගේ වැඩ අතරම, ඒවායෙන් ටිකක් එළියට ඇවිත් ඉල්ලන ගේමත් ලංකාවේ භින්න පෞරුෂ සමාජයට දරාගන්න අමාරුයි.

එතකොට කරන්ඩ තියෙන හොඳම දේ රටේ භින්න පෞරුෂයට, පෞරුෂ හීනමානයට ගැලපෙන මිම්මට සුජිත් වගේ අනම්‍ය පෞරුෂ කපාගැනීම යි. ඒකට ලංකාවෙ තක්කඩි ක්‍රමය දන්න හොඳම විදිය තමයි ඇහුණෙ නෑ, දැක්කෙ නෑ වගේ ඉන්න එක.
සුජිත් කොහේදෝ තැනක කියනවා මට ඇහුණා තමන් පහුගිය අවුරුද්දේ ‘ජන අරගලය’ නමින් හැඳින්වෙන සංසිද්ධිය වෙනතුරු ලංකාවේ සිදුවූ ‘ජනතා අරගල’ නමින් හැඳින්වෙන ක්‍රියාකාරකම්වල එහෙමකට සක්‍රියව නොහිටපු බව. ඔහු අද ඔහුගෙ කලා ප්‍රදර්ශනයට ප්‍රස්තුත සපයන පහුගිය ‘ජන අරගලය’ ඇතුළෙ ඒ තරම් බොක්කෙන්ම ඉන්න ඇත්තේ සමහර විට අරගල අස්සේ තෙම්පරාදු වෙලා නොහිටපු හින්දා වෙන්නත් පුළුවන් කියලා හුඟක් ඈත ඉන්න මට නිකමට හිතෙනවා.
සුජිත් තවත් වැදගත් කතාවක් කොහේ හෝ තැනක කියල තියෙනවා දැක්කා. ඒ තමයි ‘මේ ප්‍රදර්ශනය තමන්ගේ කලා භාවිතාවේ කිසියම් අපගමනයක් සටහන් කරනවා වෙන්නත් පුළුවන්’ කියන එක. ප්‍රදර්ශනටය අදාළ කිසිම දෙයක් නොදැක වුණත් මට සුජිත්ගේ ඒ ප්‍රකාශය ඇත්තක් වියහැකි බව ඉවකරන්න පුළුවන්. හැබැයි තමන්ගේ ‘කලාභාවිතාවේ’ අපගමනයක් වියහැකි බව දැන දැනත් ‘පොදු ජන අවකාශයකට අදාළව කළ කලා වැඩ සහිතව කලා ප්‍රදර්ශනයක්’ තියන්න ‘කලාකාරයෙකුට’ පුළුවන් වෙන්නේ තමන්ගේ හෝ තමන්ගේ අභ්‍යන්තරයේ අරගලයක නොව, ‘ජන අරගලයක’ ඇත්තට හිටගත්ත පෞරුෂයක් තියෙනවනම් විතරයි කියන එකයි මගෙ අදහස‍.

මට මතක විදියට මං ලංකාවෙදි සුජිත්ව කවදාවත් හම්බවෙලා කතාබස් කරලා නෑ.
ලංකාව කියන්නෙ කුරුම්බැට්ටියක් විතර එකක් හින්දා, කොළඹ නගරය කියන්නේ ගම්මිරිස් ඇටයක් වගේ තැනක් හින්දා අපි එකිනෙකා එක්ක සමාන්තරව ටික දුරක් ඇවිදලාත් ඇති. නැත්නම් එකිනෙකාට මුහුණ ලා විරුද්ධ දිසාවලට හරි, එකිනෙකාගේ ගමන්මාර්ග කපාගෙන කෝණාකාරව හරි ඇවිදලාත් ඇති. හරියට දන්නෙ අඳුනන්නෙත් නැතුවත් ‘ඉඳා බීහං…’ කියලා සිගරැට් කොටයක්, ප්ලේන්ටි බාගයක් බෙදාගෙන තියෙන්ඩත් පුළුවන්.
ඒත් අපි අතර නිශ්චිත සම්මුඛයක් වෙච්ච බවක් මගෙ මතකයේ නෑ‍.
මං සුජිත් එක්ක කතාකරල තියෙන්නෙත් බොහොම අල්ප වාර ගණනක් විතරයි.
ඇත්තම කියනවනං, සුජිතුයි මායි ආයෙ කවදාවත් භෞතිකව හම්බවෙයිද කියල කියන්ඩත් මං දන්නෙ නෑ.
හැබැයි එහෙම තියෙද්දිත් සුජිත්ව මට දැනෙන්නෙ එක සහෝදරත්වය බෙදාගෙන, එක ළඟින් කාලයක් ඉතාම දුෂ්කර ගමන් මඟක නොසිඳෙන ධෛර්යයෙන් ඇවිදන් ගිය සගයකු වෙතින් දැනෙන දේ වගේ දෙයක්.

බැරිවෙලාවත් මං සුජිත්ගෙ මේ ප්‍රදර්ශනය බලන්ඩ එන්ඩ පුළුවන් තත්ත්වෙක හිටියනං, අනිවාර්යයෙන් මං එතෙන්ට එනවා. ඇවිත් ඌ මේ කරල තියෙන්නෙ මොනවද කියලා බලනවා. තේරුම් ගන්න උත්සාහ කරනවා. තේරෙන්නැත්නම් තේරෙන-නොතේරෙන තව උන් එක්ක එකතුවෙලා හරි, තේරුමක් හොයාගන්ඩ – තේරුමක් ගොඩනගාගන්ඩ හදනවා.
ඊට අමතරව ‘මොනාද බං උඹ මේ ලංකා චිත්‍රකලා සංස්ථාපිතය ඉස්සරහා කියමින්-අහමින්-ගේම ඉල්ලමින් ඉන්නේ?’ කියලා තේරුමක් බේරුමක් කරගන්ඩ කයියකට සෙට්වෙනවා.

එහෙම කරලා ඌ මේ සංස්ථාපිතයන් ඉදිරියේ අහමින් ඉන්නා ප්‍රශ්න ඒ සංස්ථාපිතයන්ට උත්තර නොදී ගැලවිලා පැනල යන්ඩ බැරි විදියට අහන්ඩ මගේ හඬත් එක්කරනවා.

ඒත් මට මේ එකක්වත් කරන්ඩ එන්ඩ වෙන්නෙ නෑ‍.

මේක කියවන උන්ට මට කියන්ඩ තියෙන්නෙ මේකයි.

උඹලා පලයල්ලා. ගිහින් ඌ මොනවද කරල තියෙන්නෙ කියලා බලපල්ලා. බලල තේරුම් ගන්ඩ උත්සාහ කරපල්ලා. ඊළඟට ඌ කියමින් ඉන්නේ, අහමින් ඉන්නේ මොනවද කියලා අහපල්ලා. ප්‍රශ්න කරපල්ලා. සංවාද කරපල්ලා. එහෙම කරලා ඌ අහමින් ඉන්න ඇත්ත ප්‍රශ්නවලට උඹලාගේ හඬත් එකතුකරපල්ලා!
මේක අනන්‍යතාවලින පිස්සු වැටුණු ලෝකයක්. අනන්‍යතා මේන්ටේන් කිරීමෙන් තොරව අතිශය පෞද්ගලික කටයුත්තක් වෙච්ච වැසිකිලි යාමවත් කරගන්ඩ බැරි ලෝකයක්.

ඒත් ‘ජනඅරගල’ කියන්නෙ ජන ගංගාවකට ලුණු දැම්ම වගේ දියවෙලා නැත්තට නැතිවෙලා යන එකට. එහෙම දියවෙලා-නැතිවෙලා-නොපෙනී ගිහින් ජන ගංගාවට ලුණුරස එකතුකරන එකට.
අනන්‍යතා හිඟන්නන්ට බැරිත් ගංගාවක වතුර මැද ලුණු වගේ දියවෙලා නැත්තට නැතිවෙලා යන්ඩ.
ඒ නිසා උන්ට කවදාවත් ‘ලුණු රහ’ වතුරෙ ඉතුරුකරන්ඩ බෑ.

සනත් බාලසූරිය

මෙම සේයාරුව මගේ ‘පියෙරෝ සහ පාද්රේ’ කෙටිකතා පොතට සුජිත් 2018 කරපු නිර්මාණය. ඒක මගේ ‘පියෙරෝ සහ පාද්රේ’ කෙටිකතාව කියවලා සුජිත් කරපු නිදහස් නිර්මාණයක්.

ඇත්තම කතාව තමයි, ඩිජිටල් පිටපතක් ඇරෙන්න සුජිත්ගේ සිත්තම සහිත මේ පොත අද වෙනතුරු මට අතට අරන් බලන්න ලැබිලා නෑ.

කොළඹින් ගිහින් පාකිස්තානය ඇල්ලූ මුෂාරෆ්

0

පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් ඩුබායිහි ඇමෙරිකානු රෝහලකදී මිය ගියා. 2016 දී වෛද්‍ය ප්‍රතිකාර,සඳහා රටින් පිටවීමට උසාවිය ඔහුට අවසර දුන්නා. අවයවවලට හානි වන දුර්ලභ රෝගයක් වන ඇමිලොයිඩෝසිස් නම් රෝගයෙන් මුෂාරෆ් මහතා දීර්ඝ කාලයක් පීඩා වින්දා.

1999දී ලේ බිඳක්වත් නොසොල්වන ලද හමුදා කුමන්ත්‍රණයකින් පාකිස්තානයේ බලය අල්ලා ගන්නා විට ඔහු එරට යුධ හමුදාපතිවරයා ලෙස කටයුතු කළා.

1998 දී එවකට අගමැති නවාස් ෂරීෆ් විසින් හමුදාපති ජන්ගීර් කර්මාත් ගෙදර යවා ඒ තනතුරට තම දකුණු අත මෙන් වු පර්වේස් මුෂාරෆ්ව පත්කරනවා. ඊට අවුරුද්දකට පසුව මුෂාරෆ් ලංකාවේ නිල සංචාරයකට එන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 50 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා විදියට.

ඒ අතරේදී එතුමාව හමුදාපති ධූරයෙන් ඉවත් කරන්න අගමැතිවරයා ලියුම අස්සන් කරනවා. කාලයක් තිස්සේ අගමැතිවරයා හා හමුදාපතිවරයා අතර තිබුණු නොහොඳ නෝක්කාඩු ඉහවහා ගිහින් තමයි එහෙම වෙන්නේ.
ඒකටත් හේතුවක් තිබුණා. ඉන්දියාවත් එක්ක තිබුණු කාගිල් යුද්ධයෙන් 1984දී පාකිස්තානය පරාජයට අත්වුණා. කාගිල් යුද්ධයේදී පාක්ස්තාන හමුදාවට නායකත්වය දුන් සෙන්පතියා මෙන්ම යුද්ධයේ සැළසුම්කරුවා වුණෙත් මුෂාරෆ්. නමුත් හමුදාපති ධූරය ලැබුණු පසුව ඔහුට උවමනා වුණා කාෂ්මීරයේ පිහිටි කාගිල් ප්‍රදේශය නැවත අත්පත්කර ගන්න. ඔහු ඒ ප්‍රදේශයට හමුදා කණ්ඩායම් පිටත් කර හරිනවා.

එවකට ඇමෙරිකානු ජනධිපති බිල් ක්ලින්ටන් අගමැති නවාස් ෂරීෆ්ට බල කරනවා කාගිල් ප්‍රදේශයෙන් පාකිස්තාන හමුදා ඉවත් කරගන්නා ලෙස. නමුත් මුෂාරෆ් ඊට කැමති වුණේ නැහැ. තමන්ම පත්කරපු හමුදාපතිවරයා අල්ලන්න හදන අඩව්ව ඇඟට ගුණ නැති බව නවාස් ෂරීෆ්ගෙ දේශපාලන ඉවට තේරෙනවා.

මුෂාරෆ් කොළඹින් ගුවන් යානයට නැග්ගේ පාකිස්තාන හමුදාපති වීදියටමයි. නමුත් ගුවනේ සිටිද්දී ඔහුව තනතුරින් පහකර තිබුණා. ඒ වෙනුවට ජනරාල් කවාජා සියා උද්දින් හමුදාපති ලෙස පත්කර තිබුණා. නමුත් මුෂාරෆ්ට පක්ෂපාත හමුදා ප්‍රධානීන් නව හමුදාපතිවරයාගේ නියෝග ප්‍රතික්ෂේප කරමින් තිබුණා. කොළඹ හා කරච්චිය අතර තීරණාත්මක ගුවන් ගමනක නිරතව සිටි මුෂාරෆ් රැගත් යානයටත් පාකිස්තානයේ ඇතිවෙමින් තිබුණු දේශපාලන උණුසුම දැනෙන්නට වුණා. යානයට කරච්චි ගුවන් තොටුපළට ගොඩබැසීම තහනම් කරමින් අගමැති කාර්යාලයෙන් ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානයට නියෝග නිකුත් වුණා.

කෙසේ නමුත් සියල්ල වේගයෙන් කණපිට පෙරළෙමින් තිබුණා. මුෂාරෆ්වාදී හමුදා කන්ඩායම් ගුවන් මෙහෙයුම් මැදිරිය අත්පත් කරගෙන කොළඹින් පැමිණි ගුවන් යානයට ගොඩ බසින්න ඉඩහදා දුන්නා. ඒ වෙනකොටත් අහසේ කැරකෙමින් තිබුණු ගුවන් යානයේ ඉන්ධන ඉතිරි වී තිබුණේ තවත් මිනිත්තු 7කට පමණක් බවත් පසුව වාර්තා වුණා.

අහසේ ඉන්න ගමන්ම පාකිස්තානයේ බලය අල්ලන්න මුෂාරෆ්ට පුළුවන් වෙනවා. අවසානයේ පාකිස්තාන හමුදාපති රැගෙන කොළඹින් පිටත් වූ ගුවන් යානය කරච්චි ජාත්‍යාන්තර ගුවන්තොටුපළට ගොඩබැස්සේ පාකිස්තානයේ නව නායකයා රැගෙන. වළාකුළුවලට උඩින් ඉඳන් රටක බලය ඇල්ලූ ලෝක ඉතිහාසයේ එන එකම අවස්ථාව මේක. පසුව මුෂාරෆ් දේශපාලන පක්ෂයකුත් පිහිටුවාගත්තා. 2001 දී එරට ජනාධිපතිවරයා ලෙසත් ඔහු පත්වුණා. 2008 දී පාර්ලිමේන්තුව ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එන්න සැළසුම්කරද්දී ඔහු ඉල්ලා අස්වුණා.

මුෂාරෆ්ගේ පාලනය ගැන බොහෝ විවේචන එල්ල් වුණත් ඔහු පාකිස්තානය දේශපාලන හා ආර්ථික වශයෙන් යම් ස්ථාවර තැනකට ගෙන ආපු බව ඔහුගේ විරුද්ධ වාදීන් පවා පිළිගන්නවා. පිළිකාවක් මෙන් පාකිස්තානය වෙලා ගෙන තිබුණු ඉස්ලාම් අන්තවාදයට ඔහුගෙන් ඉඩක් ලැබුණෙ නැහැ. හමුදාව යොදවා ඔවුන්ව මර්ධනය කළා.

2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවට එල්ල වු අල්කයිඩා ප්‍රහාරයත් සමඟ ත්‍රස්තවාදය පිළිබඳව බටහිර මතය වෙනස් වුණා. ජනරාල් මුෂාරෆ් ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඇමෙරිකානු බලඈණියේ ප්‍රධානතම සෙන්පතියෙක් බවට පත්වුණා. ඒ නිසාම ඔහු ඉස්ලාම් අන්තවාදීන්ගේ වෛරයට පාත්‍රවුණා.මුෂාරෆ් ඝාතනය කිරිමට දෙවරක්ම උත්සාහ දැරුවත් ඔහු එයින් දිවිගලවා ගත්තා. එසේම LTTE ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට මිත්‍රශීලී සහයෝගයක් ලබා දුන්නා.

මානව හිමිකම් කඩකිරීම ගැන මුෂාරෆ්ට චෝදනා එල්ල වෙන බව ඇත්ත. නමුත් ඔහුට කලින් හිටපු හමුදාපාලකයා වගේ ම්ලේච්ඡ දේශපාලන පළිගැනීම්වලට මුෂාරෆ් යොමුවුණේ නැහැ. සියා උල් හක් යුගයේදි ඔහුට කළින් පාකිස්තානය මෙහෙයවූ අගමැති සුල්ෆිකාර් අලි බූතෝ අත් අඩංගුවට ගෙන එල්ලා මරා දැම්මා. නමුත් නවාස් ෂරීෆ්ට එහෙම ඉරණමක් අත්වුණේ නැහැ.
අලි බූතෝගේ දියණිය වූ බෙනාසීර් බූතෝ මරාදැමුණේ මුෂාරෆ් යුගයේ බව ඇත්ත. ඒ පිළිබඳව ඔහුට චෝදනාත් එල්ල වුණා. නමුත් බෙනාසීර්ගේ මරණය සිදුකළේ ඉස්ලාම් අන්තවාදීන් බව පැහැදිලියි. රටින් පිටව සිටි බෙනාසිර්ට නැවත පාකිස්තානයට නොපැමිණෙන ලෙස මුෂාරෆ් අවවාද කළා. එහෙම ආවොත් ඇයගේ ජීවිතය ගැන වගකීමක් ගත නොහැකි බවත් ප්‍රකාශ කළා.

මුෂාරෆ් මහතා ඉපදුණේ අද ඉන්දියාවට අයත් දිල්ලි නගරයේ ප්‍රභූ පවුලකට දාවයි. ඔහුගේ යුගයේදී ඉන්දියාවත් සමඟ අනවශ්‍ය ගැටුම්වලට නොගොස් සංහිඳියාවකින් කටයුතු කළ බව පෙනෙන්නට තිබෙනවා.

2001 දී ඉන්දියාවේ සංචාරකයට ගිය මොහොතක ඔහු තමන්ගේ කුඩා කාලය ගතකරපු නිවස බලන්න ගියා. එහිදී ඔහු තමන්ව හදාවඩා ගත් මෙහෙකාරිය වූ කාෂ්මිරෝ බායිව සොයාෆොස් ඇයව වැළද ගත්තා. මුෂාරෆ් ඇයව ඇමතුවේ “අම්මා” නමින්.

ශානක ලියනගම

ජීවිතය ඇතුළට සහ පිටතට ඇරෙන ‘සමනල කවුළු තටු’

0

චලක ප්‍රමුදිත ලුණුවිලගෙ කාව්‍යාගමනය සිදු වෙන්නෙ ‘අක්කරෙයිපත්තු අක්ෂර’ සමගින්. දැන් ඔහු වසර හයක ඇවෑමෙන් අලුත් කවි පොත ‘ සමනල කවුළු තටු’ අපට දිගු කර තිබෙනව. කවිය කියන්නෙ මොකක්ද කියල හිතමින් ජීවිතේ ඇතුළට සහ ඉන් පිටතට විවිධ කවුළු විවර කරමින් සමනල කවුළු තටු ඇරෙනව.

දෛනිකත්වයේ හෙලට නොවැටී ජීවත් වීමට බැරිකම මේ යුගයේ මිනිසාගෙ ඛේදයක්. කවියෙකුට උනත් මේකෙන් ගැලවෙන එක අභියෝගයක්. ඉතා සාහසික දෛනිකත්වයක් මැද්දෙ ඉන්න ගමන් ජීවිතයෙ මේ මොහොත කවියට නගන්න සමනල කවුළු තටු ඇතුළෙ චලක වෙහෙසෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්.

ලෝකයත් ජීවිතයත් හැදිල තියෙන්නෙ ආකෘතිවලින්. ආකෘතිවල පැවැත්ම වෙනුවෙනුයි ජීවිතය නඩත්තු වෙමින් තියෙන්නෙ. කේවල මනුෂ්‍ය ජීවිතය මේ ආකෘතික පැවැත්ම ඇතුළෙ නොපෙනී යනව. හරියටම කිව්වොත් නොපැවැත්මක් බවට පත්වෙනව. චලක ලියන ‘චරිත තුනක්’ කවිය අපට ළං කර පෙන්නන්නෙ මේ කේවල මනුෂ්‍ය පැවැත්මේ මොහොතවල් කීපයක්. ඔරලෝසුව කියන මහා ආකෘතිය ඇතුළෙ ඔරලෝසු කටුවල ක්ෂුද්‍ර කතාවස්තු චලක අප ඉදිරියට ගේනව. කාලය නමැති මහා ආඛ්‍යානය ලියන්න කැපවෙන අනෙක් ප්‍රපංචයන්ටත් තමන්ගෙම වූ චූල ආඛ්‍යාන තියන බව මේ කවිය හඬගා කියනව.

පෙම්වත් නළල් තල දොලහක
වේගවත් කෙටි හාදු
මිනිත්තුවකදි තබමින්
‘ කිස් එකක් නොම් මොනවද ‘
උච්ඡ ස්වරයෙන් අසයි
තත්පර කටුව

සිපගැනුම් වරම් හිමි නැති වග
කිසිදිනක කිසිවකුට නොකියා
මුහුණ බර කරගෙන පොළොවට
ඉබිගමන් යයි නිහඬව
පැයකටුව
(පි.10)

ජීවිතය හැම වෙලේම පවතින්නෙ, එහෙම නැත්නම් පවතින්න සිද්ධ වෙලා තියෙන්නෙ ආකෘතියක් ඇතුළෙ. සියලු සාක්ෂාත්කරණයන් සිදුකරගත යුත්තෙ මේ ආකෘතිය ඇතුළෙ ඉඳිමින්. එක් පසකින් යම් සාක්ශාත්කරණයක් සිද්ධ වෙද්දි ඒ වෙනුවෙන් ගෙවන්න වන මිලක් තියනව. ‘යුගල හතරක්’ කවිය මේ ගැඹුරු දේශපාලනිකයේ රූපකාත්මක නිරූපණයක්.

ගෙලට දම්වැල් දා
එකිනෙකා තදින් බැඳි පසුවය
පෙම් කරන්නට පටන් ගන්නේ
ගේට්ටු පියන් යුගලය
නිවස රැකවල් ලන්නට
අගුල කැරකුණු විටකය
සිපගැනුම් වරම් ලද්දේ
දාරුමය ද්වාර යුගලය

(පි.16)

මේ කවියෙ අවසන් වන්නෙ මෙහෙමයි.
දශක හතරක් ඉපැරණි
තොදොල් පෙම්බස් සිහිකර
එකම සයනෙක දෙපස සැතපෙති
වියපත් පෙම්වත්තු යුගලය

ව්‍යුහයක් ඇතුළෙ කාලාන්තරයක් ඉන්න කොට අපට ඒක ස්වාභාවිකයි කියල ඒත්තු යනව. ඒකෙ ව්‍යුහමය ස්වභාවය නොපෙනී යනව. මේ කවියෙ එන ‘එකම ඇඳ’ කියන්නෙ අපට නොපෙනි පවතින අර ව්‍යුහයම තමයි. පෙර යුගල රඳවාගෙන ඉන්න උළුවහු ගේට්ටු කණු වගේ දැඩි විදිහට නොපෙනුණත් මේ ඇඳත් එක්තරා විදිහක අහිංසක නොවන ව්‍යුහයමය ආකෘතියක්ම බව මේ කවිය අපට කියනව.

සමනල කවුළු තටුවල විශේෂත්වයක් වෙන්නෙ අලුත්ම රූපක ටිකක් කවියට ගේන එක. ජීවිතයෙ මේ නූතන මොහොත අල්ලන්න අපොහොසත් වන තරමට පැරණි රූපක දැන් ගෙවී ගිහින් මොට වෙලා තියන බව කවියෙකුට හිතෙන්න පුළුවන්. එවිට ඔහුට භාෂාව අලුත් කරන්න සිදුවෙනව. චලක ඒ ව්‍යායාමයේ යෙදෙමින් ඉන්න බවට මේ කවි කලඹෙ බොහෝ කවි සනිදර්ශනාත්මක වෙනව.

ප්‍රේමය වගේ අතිසාමාන්‍ය කාව්‍යානුභූතියක් තවදුරටත් කාව්‍යාත්මයක් බවට පත් කරන්න නම් භාෂාව හොඳටම පාරන්න වෙනව. අලුත් රූපක පරිසරයක් ගොඩනගන්න වෙනව. ‘ස්ථාවර මතකය’ කවිය ඒ වැඩේ හොඳින්ම කරපු කවියක්.

රැහැන්ගත ස්ථාවර දුරකථනාකාරය
ඔබ සමග වන මතකය

ගිය තැනක අමතක වෙන්නට
කිසිම ගමනක නොයෙදෙයි
බැටරි නොබසින හින්දම
නිතර ආරෝපණය නොකෙරෙයි

ජාලය බිඳී ගියෙ වුව
රැහැන්ගත ස්ථාවර දුරකථන
අක්‍රීය වෙසින් වුව පවතියි
(පි. 14)

අලුත් කවි පොතක් කියන්නෙ අලුත් ජීවිත මොහොතක්. කවියෙක් අලුත් පොතක් අරන් එනව කියන්නෙ අලුත් ජීවිතයක් අරන් එන එක. චලක ප්‍රමුදිතගෙ සමනල කවුළු තටු කියන්නෙ එහෙම ජීවිත මොහොතක් කියන්න ඉක්මන් උනාට කමක් නැති බව අපගේ අදහසයි.

ලහිරු කරුණාරත්න

අප ඇත්තටම සූදානම් ද?

0

සමකාලීන ඉතිහාසයේ දැවැන්තම ස්වභාවික ව්‍යසනයක් විය හැකි තුර්කි – සිරියා භූමිකම්පාව මේ වනවිට මිනිස් ජීවිත 6000කට වැඩි පිරිසක් ගොදුරුකරගෙන තිබෙනවා. තට්ටු නිවාස සහ ගොඩනැගිලි සියගණනක් එහෙම පිටින්ම පොළොවට වැළලී ඇති තුර්කියේ මිනිසුන් පොළොවට යටවූ ජීවිත සොයා තම දෑතින් පොළොව කණිමින් තිබෙනවා. සහන සේවකයින් නොයෙක් රටවල් වලින් මේ වනවිටත් තුර්කිය වෙත ළඟා වෙමින් තිබෙනවා.

මේ සිදුවූ භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.5 සහ 7.8 අතර වියහැකියැයි සඳහන් වෙනවා. තවත් දහස් ගණනක් තවමත් පොළොවයට සිරගතව ඇතැයි සහන සේවයකින් අනුමාන කරනවා. ඒ අතර මේ වනවිට තුර්කියේ කාලගුණය ඉතාම සීතල අතර එය සෙල්සියස් මයිනස් (C-) අගයක් යැයිද වාර්තා වෙනවා.

ගොඩනැගිළි කඩාවැටීමෙන් නින්දේදීම මරණයට පත්වූ සහ පොළොවට යටවූ සිය දහස් ගණනක් මිනිසුන් පිළිබද කිසිදු විස්තරයක් මේ වනවිටත් වාර්තාවන්නේ නැහැ. ඉනුත් විශාල ප්‍රමාණයක් ස්ත්‍රීන් සහ දරුවන් වියහැකි බව සහන සේවකයින් පවසනවා.

මේ ප්‍රදේශයේ භූගෝලීය තත්වය ගැන පර්යේෂණවල නියැලෙන ඇමෙරිකානු භුගෝල විද්‍යා සමීක්ෂකයින් පවසන්නේ මියගොස් ඇති ගණන අවම වශයෙන් 10000ක් පමණ ඉහළ අගයක් වියහැකි බවයි.
බොහෝ තුර්කි වැසියන් පවසන්නේ මේ පැමිණ තිබෙන්නේ අප කවදා හෝ බලාපොරොත්තුවෙන් සිටි ලෝක විනාශය බවයි (apocalypse).

සත්‍යලෙසම අප හමුවට කොයි මොහොතක හෝ පැමිණිය හැකි මෙවන් දැවැන්ත ව්‍යසන වෙනුවෙන් අප තවමත් මිනිස් ශිෂ්ටාචාරයක් ලෙස සුදානම් ද?

මහේෂ් හපුගොඩ

Image@CNBC

තුර්කිය…අප ඔබ සමඟයි…

0

ඊයේ සිදුවූ තුර්කි භූමිකම්පාව අතරතුර ඉන්ස්ටග්රෑමයේ සහ මුහුණුපොතේ වයිරල් වූ සුන්බුන් අතරින් තම ආදරණීයයා සොයන බලු සුරතලාගේ ඡායාරූප දෙක චෙච් ජාතික ඡායාරූප ශිල්පියෙක් වන ජරෝස්ල්වෝ නොස්කා (Jaroslav Noska) විසින් 2018 වසරේ ගනු ලැබූ ඡායාරූපයක් බව ඇසෝසියේට් ප්‍රෙස් (AP) ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර තිබෙනවා.

මේ අති බිහිසුණු තුර්කි භූමිකම්පාව අතරතුර ඊයේ දිනයේ යම් පුද්ගලයෙකු විසින් ඉන්ස්ටග්‍රෑම් මාධ්‍ය තුළට මේ ඡායාරූපය එකතු කර තිබුණේ ”තුර්කිය වෙනුවෙන් යාඥාකරන්න” (Pray for Turkey) යන වැකියද ඇතුළත්වයි. ඒ බෙදාගැනීම් 9000 සමඟ.
එම ඡායාරූපයම ට්විටර් සහ ෆේස්බුක් අඩවිවලටත් එකතු වී තිබුණා. ඒ ‘බලු සුරතලෙක් භූමිකම්පාවෙන් අනතුරට ලක්වූවෙකුට උදව් කිරීමට හදමින්’ යන වැකිය සමඟ.

ඇතැම් අය මේ ඡායාරූපය බෙදාගෙන තිබුණේ සදාතනික ආදරය (eternal love) යන වැකිය සමඟ.
2018 ඔක්තෝබර් 17 දාතම යටතේ නොස්කාගේ මෙම ඡායාරූපය ෂටර්ස්ටොක් වෙබ් අඩවියේ දැකගන්න පුළුවන්.
සංස්කරණමය පෙරහනක් නොමැති සමාජ මාධ්‍ය යනු පශ්චාත් සත්‍යයේ යුගයක් බව සැබෑවක් වුව ද කුමන හෝ අනුවේදනීය ආකාරයකින් මිනිසුන් මේ මහා ව්‍යසනය සමඟ සම්බන්ද වෙමින් පැවතීම වැදගත් කරුණක්.

තුර්කිය..අප ඔබ සමඟයි.

මහේෂ් හපුගොඩ