කොළඹින් ගිහින් පාකිස්තානය ඇල්ලූ මුෂාරෆ්

Share post:

පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් ඩුබායිහි ඇමෙරිකානු රෝහලකදී මිය ගියා. 2016 දී වෛද්‍ය ප්‍රතිකාර,සඳහා රටින් පිටවීමට උසාවිය ඔහුට අවසර දුන්නා. අවයවවලට හානි වන දුර්ලභ රෝගයක් වන ඇමිලොයිඩෝසිස් නම් රෝගයෙන් මුෂාරෆ් මහතා දීර්ඝ කාලයක් පීඩා වින්දා.

1999දී ලේ බිඳක්වත් නොසොල්වන ලද හමුදා කුමන්ත්‍රණයකින් පාකිස්තානයේ බලය අල්ලා ගන්නා විට ඔහු එරට යුධ හමුදාපතිවරයා ලෙස කටයුතු කළා.

1998 දී එවකට අගමැති නවාස් ෂරීෆ් විසින් හමුදාපති ජන්ගීර් කර්මාත් ගෙදර යවා ඒ තනතුරට තම දකුණු අත මෙන් වු පර්වේස් මුෂාරෆ්ව පත්කරනවා. ඊට අවුරුද්දකට පසුව මුෂාරෆ් ලංකාවේ නිල සංචාරයකට එන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 50 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා විදියට.

ඒ අතරේදී එතුමාව හමුදාපති ධූරයෙන් ඉවත් කරන්න අගමැතිවරයා ලියුම අස්සන් කරනවා. කාලයක් තිස්සේ අගමැතිවරයා හා හමුදාපතිවරයා අතර තිබුණු නොහොඳ නෝක්කාඩු ඉහවහා ගිහින් තමයි එහෙම වෙන්නේ.
ඒකටත් හේතුවක් තිබුණා. ඉන්දියාවත් එක්ක තිබුණු කාගිල් යුද්ධයෙන් 1984දී පාකිස්තානය පරාජයට අත්වුණා. කාගිල් යුද්ධයේදී පාක්ස්තාන හමුදාවට නායකත්වය දුන් සෙන්පතියා මෙන්ම යුද්ධයේ සැළසුම්කරුවා වුණෙත් මුෂාරෆ්. නමුත් හමුදාපති ධූරය ලැබුණු පසුව ඔහුට උවමනා වුණා කාෂ්මීරයේ පිහිටි කාගිල් ප්‍රදේශය නැවත අත්පත්කර ගන්න. ඔහු ඒ ප්‍රදේශයට හමුදා කණ්ඩායම් පිටත් කර හරිනවා.

එවකට ඇමෙරිකානු ජනධිපති බිල් ක්ලින්ටන් අගමැති නවාස් ෂරීෆ්ට බල කරනවා කාගිල් ප්‍රදේශයෙන් පාකිස්තාන හමුදා ඉවත් කරගන්නා ලෙස. නමුත් මුෂාරෆ් ඊට කැමති වුණේ නැහැ. තමන්ම පත්කරපු හමුදාපතිවරයා අල්ලන්න හදන අඩව්ව ඇඟට ගුණ නැති බව නවාස් ෂරීෆ්ගෙ දේශපාලන ඉවට තේරෙනවා.

මුෂාරෆ් කොළඹින් ගුවන් යානයට නැග්ගේ පාකිස්තාන හමුදාපති වීදියටමයි. නමුත් ගුවනේ සිටිද්දී ඔහුව තනතුරින් පහකර තිබුණා. ඒ වෙනුවට ජනරාල් කවාජා සියා උද්දින් හමුදාපති ලෙස පත්කර තිබුණා. නමුත් මුෂාරෆ්ට පක්ෂපාත හමුදා ප්‍රධානීන් නව හමුදාපතිවරයාගේ නියෝග ප්‍රතික්ෂේප කරමින් තිබුණා. කොළඹ හා කරච්චිය අතර තීරණාත්මක ගුවන් ගමනක නිරතව සිටි මුෂාරෆ් රැගත් යානයටත් පාකිස්තානයේ ඇතිවෙමින් තිබුණු දේශපාලන උණුසුම දැනෙන්නට වුණා. යානයට කරච්චි ගුවන් තොටුපළට ගොඩබැසීම තහනම් කරමින් අගමැති කාර්යාලයෙන් ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානයට නියෝග නිකුත් වුණා.

කෙසේ නමුත් සියල්ල වේගයෙන් කණපිට පෙරළෙමින් තිබුණා. මුෂාරෆ්වාදී හමුදා කන්ඩායම් ගුවන් මෙහෙයුම් මැදිරිය අත්පත් කරගෙන කොළඹින් පැමිණි ගුවන් යානයට ගොඩ බසින්න ඉඩහදා දුන්නා. ඒ වෙනකොටත් අහසේ කැරකෙමින් තිබුණු ගුවන් යානයේ ඉන්ධන ඉතිරි වී තිබුණේ තවත් මිනිත්තු 7කට පමණක් බවත් පසුව වාර්තා වුණා.

අහසේ ඉන්න ගමන්ම පාකිස්තානයේ බලය අල්ලන්න මුෂාරෆ්ට පුළුවන් වෙනවා. අවසානයේ පාකිස්තාන හමුදාපති රැගෙන කොළඹින් පිටත් වූ ගුවන් යානය කරච්චි ජාත්‍යාන්තර ගුවන්තොටුපළට ගොඩබැස්සේ පාකිස්තානයේ නව නායකයා රැගෙන. වළාකුළුවලට උඩින් ඉඳන් රටක බලය ඇල්ලූ ලෝක ඉතිහාසයේ එන එකම අවස්ථාව මේක. පසුව මුෂාරෆ් දේශපාලන පක්ෂයකුත් පිහිටුවාගත්තා. 2001 දී එරට ජනාධිපතිවරයා ලෙසත් ඔහු පත්වුණා. 2008 දී පාර්ලිමේන්තුව ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එන්න සැළසුම්කරද්දී ඔහු ඉල්ලා අස්වුණා.

මුෂාරෆ්ගේ පාලනය ගැන බොහෝ විවේචන එල්ල් වුණත් ඔහු පාකිස්තානය දේශපාලන හා ආර්ථික වශයෙන් යම් ස්ථාවර තැනකට ගෙන ආපු බව ඔහුගේ විරුද්ධ වාදීන් පවා පිළිගන්නවා. පිළිකාවක් මෙන් පාකිස්තානය වෙලා ගෙන තිබුණු ඉස්ලාම් අන්තවාදයට ඔහුගෙන් ඉඩක් ලැබුණෙ නැහැ. හමුදාව යොදවා ඔවුන්ව මර්ධනය කළා.

2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවට එල්ල වු අල්කයිඩා ප්‍රහාරයත් සමඟ ත්‍රස්තවාදය පිළිබඳව බටහිර මතය වෙනස් වුණා. ජනරාල් මුෂාරෆ් ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඇමෙරිකානු බලඈණියේ ප්‍රධානතම සෙන්පතියෙක් බවට පත්වුණා. ඒ නිසාම ඔහු ඉස්ලාම් අන්තවාදීන්ගේ වෛරයට පාත්‍රවුණා.මුෂාරෆ් ඝාතනය කිරිමට දෙවරක්ම උත්සාහ දැරුවත් ඔහු එයින් දිවිගලවා ගත්තා. එසේම LTTE ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට මිත්‍රශීලී සහයෝගයක් ලබා දුන්නා.

මානව හිමිකම් කඩකිරීම ගැන මුෂාරෆ්ට චෝදනා එල්ල වෙන බව ඇත්ත. නමුත් ඔහුට කලින් හිටපු හමුදාපාලකයා වගේ ම්ලේච්ඡ දේශපාලන පළිගැනීම්වලට මුෂාරෆ් යොමුවුණේ නැහැ. සියා උල් හක් යුගයේදි ඔහුට කළින් පාකිස්තානය මෙහෙයවූ අගමැති සුල්ෆිකාර් අලි බූතෝ අත් අඩංගුවට ගෙන එල්ලා මරා දැම්මා. නමුත් නවාස් ෂරීෆ්ට එහෙම ඉරණමක් අත්වුණේ නැහැ.
අලි බූතෝගේ දියණිය වූ බෙනාසීර් බූතෝ මරාදැමුණේ මුෂාරෆ් යුගයේ බව ඇත්ත. ඒ පිළිබඳව ඔහුට චෝදනාත් එල්ල වුණා. නමුත් බෙනාසීර්ගේ මරණය සිදුකළේ ඉස්ලාම් අන්තවාදීන් බව පැහැදිලියි. රටින් පිටව සිටි බෙනාසිර්ට නැවත පාකිස්තානයට නොපැමිණෙන ලෙස මුෂාරෆ් අවවාද කළා. එහෙම ආවොත් ඇයගේ ජීවිතය ගැන වගකීමක් ගත නොහැකි බවත් ප්‍රකාශ කළා.

මුෂාරෆ් මහතා ඉපදුණේ අද ඉන්දියාවට අයත් දිල්ලි නගරයේ ප්‍රභූ පවුලකට දාවයි. ඔහුගේ යුගයේදී ඉන්දියාවත් සමඟ අනවශ්‍ය ගැටුම්වලට නොගොස් සංහිඳියාවකින් කටයුතු කළ බව පෙනෙන්නට තිබෙනවා.

2001 දී ඉන්දියාවේ සංචාරකයට ගිය මොහොතක ඔහු තමන්ගේ කුඩා කාලය ගතකරපු නිවස බලන්න ගියා. එහිදී ඔහු තමන්ව හදාවඩා ගත් මෙහෙකාරිය වූ කාෂ්මිරෝ බායිව සොයාෆොස් ඇයව වැළද ගත්තා. මුෂාරෆ් ඇයව ඇමතුවේ “අම්මා” නමින්.

ශානක ලියනගම

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...