හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ බලය භාවිත කරමින්, දැවැන්ත ජනතා මුදල් ප්‍රමාණයක් වැයකරමින්, දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීමට පත්කළ කොමිසමේ නිර්දේශ සහ අනාවරණ සම්බන්ධයෙන් ඉදිරියට පියවර නොගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපති සංජය රාජරත්නම් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
මෙම කොමිසමට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම් කිහිපයක් නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහිර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (08) සලකා බැලිණි.
අදාළ නිර්දේශ බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා මෙම දැනුම් දීම කර ඇත.
අධිකරණයට අපහාස කළාද?
මේ අතර දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිඥවරුන් සිව්දෙනෙකු විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන් වන අචලා සෙනෙවිරත්න, සේනක පෙරේරා, තම්බයියා ජෙයරත්නරාජා සහ නාමල් රාජපක්ෂ විසින් මේ ඉල්ලීම කර තිබිණි. කොමිසමේ නිර්දේශවලින් අධිකරණ පද්ධතියට සහ පුරවැසි අයිතිවාසිකම්වලට හානියක් සිදු වී තිබේද යන්න සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන ලෙස අදාළ ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් ය.
2157/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය
2015 ජනවාරි 08 දින සිට 2019 නොවැම්බර් 19 දින දක්වා රාජ්‍ය නිලධාරීන්ට සිදුවූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2020 ජනවාරි 09 දිනැති 2157/44 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මේ කොමිසම පිහිටුවන ලදි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එහි සභාපතිවරයා වූ අතර, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ අනෙකුත් සාමාජිකයෝ වූහ. ජනාධිපතිවරයා වෙත බාරදෙන ලද කොමිසමේ අවසන් වාර්තාව මගින් අධිකරණයේ විභාග වන නඩු 79ක විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.
පිටු 2,000කින් යුත් මේ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ හා තීරණ ඇතුළත් සාරාංශයක් ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කැබිනට් සංදේශයට එක් කොට තිබිණි. එම සාරාංශයේ ඇමුණුම 1 හි නඩු 61ක් ද, ඇමුණුම 2 හි නඩු 18ක් ද ලෙස නඩු 79ක් ඉවත් කරගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇති අතර, එහි පැමිණිලිකරුවන්ට සහන සලසන ලෙසත්, පැමිණිලිකරුවන්ට එරෙහිව කටයුතු කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් කොමිසමෙන් නිර්දේශ කර තිබේ.
එසේම පසුගිය ආණ්ඩුව සමයේ පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, දූෂණ විරෝධී කමිටුව හා ජාතික විධායක සභාව ගැන කොමිසම දැඩි විවේචනයක් එල්ල කොට තිබෙන අතර, එම ආයතනවල නිලධාරීන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට පාර්ලිමේන්තුවෙන් නීති සකස් කරන ලෙස ද ඉල්ලා ඇත. දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මඟින් සිදු කළ පොදු දේපළ අවභාවිතාව සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් කොමිසම විභාග කළේය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එදා සිටි පක්ෂ, විපක්ෂ දේශපාලනඥයන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරද අදාළ පැමිණිල්ල පිළිබඳ නිර්දේශයේ වගඋත්තරකරුවන් කර තිබුණ ද, එවකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ රවි වෛද්‍යලංකාර මෙහි වගඋත්තරකරුවකු කර නැත.
අධිකරණ තීන්දු පිළිබඳ බලයක් නෑ !
මේ කොමිසම පත්කිරීමේ ගැසට් පත්‍රයෙන් අධිකරණ හෝ අධිකරණවල තීන්දු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත්ම කර නොමැති බවත්, ඒ අනුව මේ ජනාධිපති කොමිසමේ නිර්දේශ මගින් යුක්තිය අවගමනය කිරීමක් සහ අධිකරණයට අපහාස කිරීමක් සිදු වී ඇතැයි නිරීක්ෂණය වන බවත් අදාළ නීතිඥවරුන් විසින් අගවිනිසුරුවරයාට පෙන්වා දී තිබේ. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය ලබාදී ඇති නඩු තීන්දුව සම්බන්ධයෙන් කොමිසම සඳහන් කර ඇති නිර්දේශ සම්බන්ධයෙන් ද මේ ලිඛිත ඉල්ලීමේ විශේෂයෙන් සඳහන් කර ඇත.
තුන්වැනි පාර්ශ්වයක් කුමකටද?
කොමිසමේ අවසන් වාර්තාවේ දැක්වෙන්නේ අදාළ චෝදනාවලින් දුමින්ද සිල්වා ව නිදොස් කොට නිදහස් කළ යුතුව තිබූ බවයි. මේ නිසා යුක්තිය අවගමනය වීමක් සිදු වී ඇති බවටත්, අදාළ නඩු තීන්දුව පුළුල් විනිශ්චය මණ්ඩලයක් මගින් අධිකරණ සමාලෝචනයක් සඳහා නීතිපතිවරයා විසින් ඉල්ලීමක් කළ යුතු බවටත් කොමිසම විසින් නිර්දේශ කර තිබේ.
එවැනි තීන්දුවක් මගින් විත්තිකරුවකු අතෘප්තියට පත්වන්නේ නම් එකී විත්තිකරුට පෙර සංඛ්‍යාවට වඩා වැඩි විනිසුරුවරුන් ප්‍රමාණයකගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව නැවත සලකා බලන ලෙස ඉල්ලීමක් කළ හැකි බවත්, විත්තිකරු නොවන තුන්වැනි පාර්ශ්වයකට එවැනි ඉල්ලීමක් කළ නොහැකි බවත් අදාළ නීතිඥවරුන් සිව්දෙනා විසින් අගවිනිසුරුවරයා වෙත කළ ඉල්ලීමේ සඳහන් කර ඇත. මේ කරුණ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්තිනාමයත්, ජනතාවගේ ස්වාධිපත්‍ය බලයත්, ජනතා විශ්වාසයත් බරපතළ ලෙස හෑල්ලුවට ලක්කළ ඇතැයි යනුවෙන් පෙනීයන බව ද ඔවුන් සඳහන් කර ඇත.
උදාහරණ නෑ !
අගවිනිසුරුවරයා වෙත මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූ විට කටයුතු කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් නීති විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රමගෙන් අපි විමසීමක් කළෙමු. එවැනි අවස්ථාවකදී අගවිනිසුරුවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන්ගේ මතය විමසීමක් කළ හැකි බවත්, එසේ නැත්නම් අධිකරණයෙන් ආරම්භ කෙරෙන නඩුවක් ලෙස මීට අදාළ කටයුතු පවත්වාගෙන යා හැකි බවත් සඳහන් කළ ආචාර්ය ජයවික්‍රම, මීට පෙර මෙවැනි උදාහරණ නොමැති නිසා වර්තමාන අගවිනිසුරුවරයා මෙහිදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව ඇතැයි ද පෙන්වා දුන්නේය.
ජනපතිගේ කොමිෂන් සභා බලය
මේ අතර ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ ජනාධිපති කොමිෂන් සභා පත්කිරීමේ අරමුණ අධිකරණවල මෙන් තීන්දු දීම නොවන බවයි. එසේ වුවද යම් නිශ්චිත කරුණක් හෝ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කොට, ජනාධිපතිවරයාට වාර්තාවක් ලබාදීමටත්, ඒ වාර්තාවට තමන්ගේ නිර්දේශ ඇතුළත් කිරීමටත් කොමිසමට බලය ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. මේ පිළිබඳව අප කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් මෙසේ පැවසීය.
‘යම් වරදක් තියෙනවා, ඒකට මේ මේ පුද්ගලයන් වරදකරුවන් හෝ නිවැරදිකරුවන් බව පෙනීයනවා කියලා පෙනුණොත්, ඒ පිළිබඳව ජනාධිපතිට නිර්දේශ කරන්න කොමිසමට පුළුවන්. ඊට පස්සෙ ජනාධිපතිතුමා ඒක බලලා, ඉදිරි පියවර ගැනීම අවශ්‍යයි කියලා තීරණය කළොත් නීතිපතිතුමාට ඒ නිර්දේශ යොමු කරනවා. ඊට පස්සෙ නීතිපතිතුමාගෙ උපදෙස් මත අපරාධ අංශ මගින් ඉදිරි විමර්ශන කටයුතු කරන්න හැකියාව තියෙනවා.’
ජනාධිපති කොමිෂන් සභා පිහිටුවීම සඳහා පනත් දෙකකින් ජනාධිපතිවරයාට බලය පවරා තිබේ. 1978 විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනත එකකි. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය සම්බන්ධ කරුණ විමර්ශනය කරන ලද්දේ එවැන්නකි. අනෙක 1948 ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත ය. මේ කොමිසම පිහිටුවීමේ ගැසට්පත්‍රයේ සඳහන් වන්නේ එය විමර්ශන කොමිෂන් සභාවක් බවයි. ඒ අනුව ඔවුන්ට රාජ්‍ය සේවයේ සිදු වූ බවට පැමිණිලි ලැබී ඇති කරුණු සම්බන්ධයෙන් සාක්ෂි, ලේඛන, පුද්ගලයන් කැඳවා විමර්ශන පැවැත්වීමට බලය ඇත.
පළමු සහ එකම එක
මේ කොමිසම පිහිටුවීමේ අරමුණ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් මෙසේ අදහස් දැක්වීය.
‘අපේ රටේ අලුත් ආණ්ඩුවක් බලයට පත්වුණාට පස්සෙ සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි, ඒ ආණ්ඩුවට සහාය දුන් අයට උසස්වීම් ලැබුණෙ නෑ, පළිගැනීම් කළා කියන එක. දේශපාලන හේතු නිසා අපිව ඈත පළාත්වලට මාරු කළා කියන එක. පහුගිය කාලෙම සිද්ධ වුණේ මේ වගේ කාරණා සම්බන්ධයෙන් ඒ පත්වුණු ආණ්ඩුව කමිටුවක් පත්කරලා, ඒ කමිටුවෙන් ගන්න තීරණ කැබිනට් මණ්ඩලයට දාලා අනුමත කරන එක.
ඒත් මේ ආකාරයට දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කරපු පළමු අවස්ථාව මේක. මීට කලින් කිසිම ආණ්ඩුවක් ඒ වගේ දෙයක් කරලා නෑ. මේ කොමිසමට ලැබුණු සහ කරුණු විමසූ, නිර්දේශ ඉදිරිපත් කළ පැමිණිලි දිහා බලද්දි පැහැදිලි වෙන එක තමයි, උසස්වීම් වගේ රාජකාරි දේවල්වලට වඩා අපරාධ නඩු සම්බන්ධයෙන්, අපරාධ චෝදනා සම්බන්ධයෙන් මෙතැනදි වැඩි අවධානයක් යොමුවෙලා කියන එක. මෙතැන බරපතළ නීති ප්‍රශ්නයක් තියෙනවා. ඔ්නෑම අපරාධ නඩුවකදි චූදිත පාර්ශ්වය වෙනුවෙන් පෙනීඉන්න නීතිඥ මහත්තයා කියනවා, චූදිතයා නෙමෙයි මේකට වරදකාරයා, චූදිතයා මේකට පටළවලා තියෙන්නෙ කියලා. ඒක සාමාන්‍යයෙන් උසාවිවල වෙනවා. අපරාධ නඩුවලදි සාධාරණ සැකයක් ඇති කළොත්, චූදිතයට නිදහස් වීමේ වැඩි ඉඩක් ලැබෙනවා.’
විරුද්ධ නීතිපතිට වැඩ ගොඩක් පවරයි
නීතිපතිවරයා විසින් ද මේ කොමිසමට දැනුම් දී තිබුණේ අධිකරණය ඉදිරියේ විභාග වන අපරාධ නඩු සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම අනුමත කළ නොහැකි බවයි. නීතිපතිවරයා ඒ බව දැනුම් දී තිබුණේ තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයන් පිරිසකට එරෙහිව පවතින නඩුව, කොමිසමේ විමර්ශන අවසන් වන තෙක් අත්හිටුවන ලෙස කරන ලද නියෝගයකට ප්‍රතිචාර දක්වමිනි. ඒ නඩුවේ චූදිතයන් නිදහස් කරන ලෙස දැන් කොමිසම නිර්දේශ කර තිබේ.
අධිකරණය පිළිබඳ සැකයක්
කොමිසම මෙහිදී කටයුතු කළ ආකාරයෙන් මෙන්ම මාධ්‍ය මගින් එම කොමිසමේ කටයුතු ආවරණය කළ ආකාරයෙන් ද අධිකරණ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ද මේ පිළිබඳව අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කර සිටිති.
පැත්ත මාරු වීම
මේ අතර මෙහිදී අදාළ කොමිසම විසින් දිගින් දිගටම නීතිපතිවරයාට අධිචෝදනා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීම පිළිබඳව මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගසාලි හුසේන්ගෙන් අපි විමසීමක් කළෙමු.
හිටපු පොලිස්පතිවරයෙකු ද සාමාජිකත්වය දැරූ කොමිසමක් මගින් නීතිපතිවරයාට මෙවැනි නිර්දේශ ඉදිරිපත් කිරීම හාස්‍යයට කරුණක් බවත්, එසේ කළ නොහැකි බවත් අවධාරණය කළ නීතිඥවරයා, චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති ධුරය දරන කාලයේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන, විශ්‍රාම ගිය පසු නීතිපතිවරයාට උපදෙස් ලබාදීමට අත්සන් කිරීම අනුමත කළ හැක්කේ කෙසේදැයි ප්‍රශ්න කර සිටී. එසේම නීතිපතිවරයා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුව මේ ආකාරයේ අත්තනෝමතික සහ අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක්කෙරෙන පියවර නොගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු අවධාරණය කර සිටියේය.