එක්කෝටි හැත්තෑ ලක්ෂය මගේ – ජනාධිපති මන්දිරයෙන් සොයාගත් මුදල් ගෝඨාභය අධිකරණයෙන් ඉල්ලයි : මුදාහරින්න බෑ – මහේස්ත්‍රාත්  

Share post:

ජනාධිපති මන්දිරයෙන් සොයාගැනීමෙන් පසු අරගලකරුවන් විසින් පොලිසියට බාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත් බව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) දැනුම් දුන්නේය.

ඒ, හිටපු ජනාධිපතිවරයාගේ නිතිඥවරයාගේ නීතිඥවරුන් විසිනි. එම මුදල ගෝඨාභය රාජපක්ෂ වෙත මුදාහරින ලෙස ද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහෙත් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්තියට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. එසේ ම මෙම මුදල් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත් යටතේ මෙන්ම අල්ලස් පනත යටතේ ද විමර්ශන කළ හැකි යැයි ද මහේස්ත්‍රාත්වරයා පැවසීය.

ඒ අනුව මෙම මුදල සම්බන්ධයෙන් වන විමර්ශනය අවසන් වන තෙක්, එය මුදාහැරීමේ හැකියාවක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවධාරණය කළේය.

නිවසට ගොස් ප්‍රකාශයක් ගනී

ඊයේ (07) මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගත්තේය. ඒ, ඔහු දැනට පදිංචි නිවසට ගොස් ය. මෙම ප්‍රකාශය පැය 03කට ආසන්න කාලයක් සටහන් කරගෙන තිබිණි. මෙම මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගියදා නියෝග කෙරිණි.

මේ අතර මෙම මුදල අධිකරණයට ඉදිරිපත් නොකර නීතිය හා සාමය ඇමති ටිරාන් අලස්ට බාර දෙන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ – කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට සිදු කළ බලපෑම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම පිළිබඳව දේශබන්දු තෙන්නකෝන් තමන්ට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩි.එස්. වික්‍රමසිංහ පසුගිය 13දා කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එදින ය, ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබගන්නා ලෙස අධිකරණය නියෝග කළේ.

‘ඉස්සරහට බලාගන්නම්’

තමන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් ‘ඔයා ගැන ඉස්සරහට බලාගන්නම්’ ආදී වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තර්ජනය කළ බවත්, තමන් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා මෙහිදී සදහන් කළේය. මෙම ඒකකය ක්‍රියාත්මක වන්නේ සෘජුව ම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේදී තමන්ගෙන් පළිගැනීම සඳහා වෙනත් යම් සිදුවීමකට පැටලවීමට උත්සාහ ගැනීමක් හෝ තමන්ගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතයට යම් අනතුරක් කිරීමේ හෝ බියකින් තමන් පසුවන බවයි.

මෙම තර්ජනය සම්බන්ධයෙන් තමන් සටහන් යොදා ඇති බවත්, ඒ ගැන ඉදිරියේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණයට අපහාසයක්

එම දැනුම්දීමෙන් පසු මෙම නඩුව සඳහා පෙනී සිටින නීතිඥවරුන් ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේ අධිකරණ නියෝගයක් අනුව නිසා ඔහුට තර්ජනය කිරීම අධිකරණයට කළ අපහාසයක් බවයි. එසේ ම මෙය සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම යටතේ වරදක් බව ද නීතිඥවරු ප්‍රකාශ කළහ.

දුරකථන වාර්තා අවශ්‍යයි

මෙහිදී කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් විසින් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා ලැබුණු පසු සලකා බලන බවයි.

මේ අතර මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ඉවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා අධිකරණයෙන් අවසර ගන්නා ලෙස පොලිස්පතිවරයා තමන්ට දැනුම් දුන්නේ යැයි ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.

ඊට විරෝධය පළකරමින් නීතිඥවරුන් ප්‍රකාශ කළේ විමර්ශන වෙනත් ඒකකයකට බාරදීම කළ යුත්තේ පොලිස්පතිවරයා විසින් බවත්, ඊට අධිකරණය මැදිහත්වීම අවශ්‍ය නොවන බවත් ය.

එසේ විමර්ශන වෙනත් අංශයකට බාරදීමට සිදුවන්නේ විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට විමර්ශන නොකරනවා නම් පමණක් බවත්, මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට සිදුකරන නිසා වෙනත් අංශයකට බාරදීමේ අවශ්‍යතාවක් නැති බවත් නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

ගෝඨාභයගේ නිදන කාමර මුදල්

ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් පසුගිය ජූලි 09දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිදන කාමරයේ තිබී තරුණයන් පිරිසක් විසින් සොයාගන්නා ලදි.  ඉන්පසු එම මුදල් කොළඹ – කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ වෙත බාර දී තිබිණි.

දේශබන්දු ස්ථානාධිපතිට කළ බලපෑම

එසේ බාර දුන් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර, ටිරාන් අලස් ඇමතිවරයාට ලබාදෙන ලෙස තමන්ට දුරකතනයෙන් දේශබන්දු තෙන්නකෝන් දැනුම් දුන්නේයැයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර කොටුව අධිකරණය ඉදිරියේ පැවසීය.

එසේ බලපෑම් කළ දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට, කොටුව පොලිසිය මෙම මුදල් සොයාදුන් තරුණයන් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු නීතිඥවරුන්ගේ ඉල්ලීම මත මෙම විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරන ලෙසට අධිකරණය කළ නියෝගයක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම විමර්ශනය පවත්වමින් සිටී.

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...