Home Blog Page 203

පෙත්සම්කරුවන්ගේ සාක්ෂි ප්‍රමාණවත් : 2009 බාර වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 3ක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න – හමුදාවට නියෝගයක් !

යුද්ධයේ අවසාන කාලයේදී 2009 මැයි මාසයේ මුලතිව් යුද හමුදා කඳවුරට බාර වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් තිදෙනෙකු මාර්තු 22 දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් ලබා දී තිබේ.

වව්නියා මහාධිකරණය මගින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම සාමාජිකයන්ගේ භාර්යාවන් විසින් ඉදිරිපත් කරන ලද හේබියස්කෝපුස් (habeas corpus) පෙත්සම් 03ක් සලකාබැලීමෙන් පසුව ය.

පසුගිය 23දා මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ පෙත්සම්කරුවන් අධිකරණයට දැනුම් දුන්නේ 2009 මැයි 18දා සිය ස්වාමිපුරුෂයන් යුද හමුදාවට බාර වූ බවත්, එදින සිට ඔවුන් අතුරුදන් බවත් ය. මෙම පෙත්සම විභාගයට ගැනීමට අධිකරණය මීට පෙර තීන්දු කළේය. එය සමාජයේ දැඩි කතාබහට ලක්විය.

යුද හමුදාපතිවරයා, 58 වැනි සේනාංකයේ සේනාංකාධිපතිවරයා සහ මුලතිව් යුද හමුදා කඳවුරේ ප්‍රධාන අණදෙන නිලධාරියා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

අතුරුදන් කවුද ?

පොන්නම්බලම් කන්දස්වාමි, සින්නතුරෙයි සසිදරන් හෙවත් එලිලන් සහ රුද්‍රකුමාර් ක්‍රිෂ්නකුමාර් වෙනුවෙන් මෙම රීට් පෙත්සම් ඉදිරිපත් කර තිබේ. මහාධිකරණයෙන් මීට පෙර මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබුණේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

‘කිසිවෙකු නෑ’

58 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චානක්‍ය ගුණවර්ධන නීතිපතිවරයා මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී තිබුණේ කිසිවෙකු අත්අඩංගුවේ හෝ රඳවා තබාගෙන නොමැති බවයි. කෙසේ වෙතත් 2009 මැයි 17, 18 සහ 19 යන දින තුනේදී මුලතිව් යුද හමුදා කඳවුරට බාර වූ පුද්ගලයන් පිළිබඳ ලේඛනයක් හමුදාව සතු බව ද ඔහු මීට පෙර සඳහන් කර තිබිණි.

එම ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වව්නියාව මහාධිකරණයෙන් නියෝග කර තිබිණි.

ස්ථානීය වාර්තාවක් නෑ ?

කෙසේ වෙතත් මේජර් ජෙනරාල් ගුණවර්ධන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා විසින් සකස් කළ වාර්තාවක් පමණි. හමුදාව විසින් ඒ මොහොතේ සකස් කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සැලකිය යුතු කාරණයක් බව අධිකරණය පාර්ශ්වයෙන් මෙහිදී අවධාරණය කෙරිණි.

‘සාක්ෂි තියෙනවා’

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මෙහිදී අධිකරණයට පෙන්වා දුන්නේ අදාළ පුද්ගලයන් ශ්‍රී ලංකා යුද හමුදා අත්අඩංගුවේ සිටින බව දුටු සාක්ෂි ඇති බවයි. එම සාක්ෂි ලිඛිත ව ගොනුකිරීමට ද පෙත්සම්කාර පාර්ශ්වය කටයුතු කර ඇත.

අධිකරණය සෑහීමකට පත්වෙයි

මෙහිදී මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් සඳහන් කළේ පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති සාක්ෂි පිළිබඳ අධිකරණය සෑහීමට පත්වන බවයි. එම නිසා අදාළ පුද්ගලයන් ඉදිරිපත් කිරීමේ වගවීමක් වගඋත්තරකරුවන්ට ඇති බව ද අධිකරණය අවධාරණය කර ඇත.

ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස්. රත්නවේල් සමග ජී. රනීතා සහ එම්. කේතීශ්වරන් යන නීතිඥවරුන් පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතර, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අබේවික්‍රම වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටියේය.

රජයේ ආයතන යටතේ ඇති ඒකක 100ක් වසාදමයි : ජාතික වැටුප් කොමිසම මාර්තු 31 !

රජයේ පාලනය යටතේ පවතින කොමිෂන් සභා, නියෝජිතායතන, පදනම් සහ සංවිධාන 100කට වැඩි සංඛ්‍යාවක් කඩිනමින් වසාදැමීමට හෝ එමගින් සිදු කළ කටයුතු වෙනත් රජයේ ආයතනවලට පැවරීමට තීරණය කර ඇත.

ජාතික වැටුප් කොමිසම ද ලබන මාර්තු 31දා සිට වසාදැමීමට නියමිත ය. එහි කටයුතු මුදල් අමාත්‍යංශය යටතේ ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති ස්ථාපිත කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල් වෙත පැවරීමට සැලසුම් කර තිබේ.

වැටුප් කොමිසමේ සාමාජිකයන් 15ක් සහ වෙනත් කාර්ය මණ්ඩල 36ක් ඇතුළු සියලු නඩත්තු කටයුතු සඳහා මාසිකව රුපියල් මිලියන 5.8ක් වැයකරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය පෙබරවාරි මාසයේ කොමිසමේ වැටුප් සඳහා රුපියල් මිලියන 2.7ක් සහ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි කාර්යාල කුලිය ලෙස රුපියල් මිලියන 1.4ක් වැය කර ඇතැයි ද පෙන්වා දෙන එම ආරංචි මාර්ග, කොමිසම සඳහා 2023 වසරට වෙන්කර ඇති මුළු මුදල රුපියල් මිලියන 71ක් බව ද පවසයි.

කොමිසම වසාදැමීමෙන් පසු එහි සේවක පිරිස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අනුයුක්ත කිරීමට නියමිත ය.

මේ අතර 2021 අගෝස්තු මාසයේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා යටතේ පිහිටුවන ලද ආයතනයක් ද වසාදැමීමට නියමිත අතර, එහි කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කර අධිකරණ අමාත්‍යංශය යටතට පැවරීමට සැලසුම් කර තිබේ.

එසේ ම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නියෝජිතායතන 17ක් ද කඩිනමින් වසාදැමීමට තීරණය කර තිබේ.

‘හිරු මඬල මත අඳුර’ ඇල්බට් ලිහනෝව්

0

ඇල්බට් ඇනටොලෙයෙවිච් ලිහනෝව් නම් විශිෂ්ට, දයාර්ද්‍ර මිනිසා සෝවියට් යුගයට අයත් අවසාන ලේඛකයා යැයි සිතමි.
මට ඔහු මුණ ගැසෙන්නේ ‘මගේ ජනරාල්’ නම් අති විශිෂ්ට කෘතිය නිසා ය. එය 1970 දසකයේ මුල් අවදියේ සෝවියට් දේශයේ තතු ඔස්සේ මනුෂ්‍ය සමාජයේ ප්‍රගතිය කෙරෙහි, අවංක කොමියුනිස්ට්වාදියාගේ මෙහෙවර පිළිබඳ සාකච්ඡාවකැයි මම කල්පනා කළෙමි. මේ මහා ලේඛකයා තවමත් ජීවතුන් අතර වෙතැයි මා දැනගත්තේ පොත ප්‍රකාශයට පත් කොට මාස ගණනාවකට ද පසු ය. මා ඔහුගේ මුහුණු පොත ඔස්සේ තැබූ සටහනකින් පසු, ඔහු මට එවූ විද්‍යුත් තැපැල් ලිපියෙන්, ‘මගේ ජනරාල්’ කෘතිය සිංහලට නැඟීමේ සාතිශය සතුට දන්වා එවන ලදී.
ඔහු මා අමතන අයුර හා ඔහුගේ ජීවන පුවත් දැන ගත් විට මට ‘මගේ ජනරාල්’ කෘතියේ ජනරාල් නැති නම් සීයා ම ඔහු තුළ සිටින බවක් මට හැඟිණි. ඉතිං එතැන් පටන් මා ඔහු ඇමතූයේ සීයා ලෙසිනි. ඔහු මට ‘සිලෝන් ග්‍රෑන්ඩ්සන්’ ලෙස ඇමතී ය.

ඉක්බිති ඔහු මට ‘වංකගිරිය’ සහ ‘සංගීත පාඩම’ කෘතිවල ඉංග්‍රීසි පිටපත් එවමින් ඒවා ද හැකි නම් පරිවර්තනය කරන මෙන් ඉල්ලා සිටියේ ය. ‘වංකගිරිය’ කෘතියේ සිංහල පරිවර්තනය ඔහු වෙත 2021 අගෝස්තුවේදී යවන්නට හැකි වූ අතර ඔහු එයින් මහත් සතුටට පත්විය. ‘සංගීත පාඩම’ පොත මුද්‍රණය කරන්නට හැකි වූයේ 2021 දෙසැම්බර් දෙවැනි සතියේ ය. ඔහු විස්මය පත් කිරීමේ අදහසින් මම පණිවුඩයක් නොතබා ම එය තැපැල් කළෙමි. එය පිළිගැන්වූයේ ද ඔහු නමට ම ය.

‘මනුෂ්‍ය දයාව සපිරුණු අනාගතයක සුබවාදී බලාපොරොත්තුව සාහිත්‍යය ලෙසින් අප වෙත ගෙන ආ ඇල්බට් ඇනටොලෙයෙවිච් ලිහනෝව් ලේඛකයාණන්ට, ඔහුගේ Музыки කෘතිය අනුව සිංහල බසින් කළ මේ ප්‍රති-රචනය හද පිරි ආදරයෙන් පිළිගන්වමි.

එහෙත් ‘සංගීත පාඩම’ සිංහලෙන් පළ වූ බව නොදැන ම ඔහු 2021 දෙසැම්බර් 25 දින, අවුරුදු 87ක් වූ සිය දිවි ගමන නිමා කළේ ය.
මට දයාර්ද්‍ර පියෙකු අහිමි විය.
ඔහුගේ ජීවිතය සහ නිර්මාණකරණය පිළිබඳ දිගු හැඳින්වීමක් ‘වංගගිරිය’ කෘතියෙහි බහා ඇති හෙයින් මෙහි ඒ ගැන සටහන් නොකරමි.

‘හිරු මඬල මත අඳුර’ නම් මේ කෘතිය ලියැවෙන්නේ 1970 දශකයේ සෝවියට් රුසියාව පදනම් කොට ගනිමිනි. මනුෂ්‍ය ජීවිතය වඩා යහපත් කරන්නට භෞතිකව කෙරෙන ගොඩනැඟීම් අතරෙහි අමතක වී යන සියුම් තැන් පිළිබඳව ලේඛකයා අපේ අවධානය යොමු කරවයි.

මේ කෘතිය කියවන විට, මනුෂ්‍යයා ඒක රේඛිය, හොඳ හෝ නරක පමණක් ඇති පැතැලි සත්වයෙකු නොව ඒ දෙකෙහි සංකලනයක් බව පසක් වෙයි. එකෙකුගේ වේදනාව හමුවේ අනෙකාගේ හදවත උණුවීම හුදු අහඹුවක් නොව සමස්ථ මනුෂ්‍ය ප්‍රජාව පුරා පවත්නා දෙයක් බව දැනෙයි.

මේ පොත, නව යොවුන් වියේ දරුවෙකු සහ දෙපා පණ නැති දැරියක විසින්, ඔවුන් මත සොබාදහම හෝ සිය වටපිටාව විසින් පටවනු ලැබ ඇති අභියෝග පිය මැන යන්නට කරනු ලබන අරගලය පිළිබඳ අනුවේදනීය සටහනකි… කුළුඳුල් සහ කොන්දේසි විරහිත ආදරය ගැන සියුම් ගෙත්තමකි… සැබෑ මිත්‍රත්වයට පෙරවදනකි… මනුෂ්‍ය වේදනාවන් පිළිබඳව මනුෂ්‍යයාට යළි යළිත් සිතන්නට පොළඹවන කතන්දරයකි, සියලු බාධා මැඬ යා හැකි මිනිස් ජීවිතයේ ආධ්‍යාත්මික ශක්තිය පිළිබද විවරණයකි,

මෙහි ප්‍රධාන චරිත දෙක වන ලේනා සහ ෆේද්යා තවමත් දරුවන් නමුදු ජීවිතයේ තිත්ත අත්දැකීම්, කරදර, වේදනා තුළින් බොහෝ දේ උගත් අය බව අපට පෙනෙයි. මේ දෙදෙනාගේ අහිංසක සිත් මත ලැජ්ජාව, ඊර්ෂ්‍යාව, නොහැකියාව, චිත්ත පීඩාව එකක් මත එකක් වැටෙමින් මෙහි එන සිදුවීම් දාමය ම, හදවත විදගෙන කිඳා බසිමින් අපේ ඇසට කඳුළු ගෙන එයි. එහෙත් මුළු ජීවිතය හිරු ය, හිරු සූර්යග්‍රහණයෙන් වැසෙන්නේ තාවකාලිකව ය යන දාර්ශනික අදහස සිත් තුළ පැළ කරන්නට ඔවුහු වෙර දරති.

මනුෂ්‍ය සබඳතාවල යථාව නැතිනම් සත්‍යය ලේඛකයාට සියුම් ලෙස දැනේ. ඛේදජනක බලාපොරොත්තු සුන්වීම් ජයගත හැක්කේ මිනිස් ආත්මයේ ශක්තියට පමණක් බව ඔහු අපට මෙමගින් කියා සිටියි. මේ කතාවේ අවසානය වේදනාසහගත වුවත් තාරුණ්‍යයට සත්‍යය කියා පෑ යුතු බව, එය සැඟවිය නොහැකි බව ඔහු සිතයි. එහෙත් ඔහු එය කියා පාන්නේ ඉතා මෘදුව ය.

කාරුණිකත්වය පිළිබඳ දීප්තිමත් කෘතියක් වන මෙය මානව සහයෝගීතාවය ගැනත්, පුද්ගලයෙකු තුළ යහපත සොයා ගැනීමේ හැකියාව කෙරෙහි විශ්වාසය තැබීම ගැනත් පාඨකයන්ට උගන්වයි. එසේ ම එය වැඩිහිටියන් හා හා නව යොවුන් වියේ අය අතර සම්බන්ධතාවය ගවේෂණය කරයි. එහෙයින් මෙය නව යොවුන් වියේ දරුවන් පමණක් නොව දෙමාපියන් හා ගුරුවරුන් විසින් මඟ හැර නො යා යුතු කෘතියකැයි කිව හැකි ය.

මුද්‍රණ සහ ප්‍රකාශන කර්මාන්තයේ අර්බුධය මැද වුවත් පොතක් එළි නො දක්වා සිටින්නේ කොහොමද…. මේ පොත එළිදක්වා ගන්නට උදව් දුන් සැම හදවතින් වැළඳ ගනිමි.
එහි මා විසින් පෙරවදනට එක් කරන ලද වදන්, පොත ගැන යමක් වටහා ගනු පිණිස ඔබ සමග බෙදා ගනිමි..

මහින්ද සෙනරත් ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහට යුක්තියේ සහ සාධාරණත්වයේ නාමයෙන් මතක් කර සිටිමු

ලෙයින් කඳුළින් දිනාගත් මැතිවරණ සම්ප්‍රදාය රකිනු

ලංකා ඉතිහාසයේ 2023 පළාත් මැතිවරණය තරම් ආන්දෝලනයට තුඩු දුන් මැතිවරණයක් තවත් නැත. නොකෙරෙන දීගයක් මෙන් පළාත් මැතිවරණයේ කතාව තව තවත් ව්‍යාකූල වෙමින් තිබේ. සමගි ජනබලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල සති අන්තයේ ප්‍රකාශ කළේ පළාත් මැතිවරණය ඉල්ලා ජාත්‍යන්තරයට යනවා මිස යන්නට තවත් ආයතනයක් මේ රටේ නැත කියාය. මොකද යන යන හැම ආයතනයක්ම අපට බෝලේ පාස් කරනවා කියාය. කතාව ඇත්තය .

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ධාරාව වූ ජාතික ජන බලවේගය ද පසුගියදා පළාත් මැතිවරණය ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකල අතර එහිදී කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වූ ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමලසිරි මරණයට පත්විය. ජාජබ නායක අනුර දිසානායක ප්‍රශ්න කර තිබුණේ මැතිවරණය ඉල්ලා තවත් ජීවිත කීයක් බිලි දිය යුතු ද කියාය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා මැතිවරණයක් ලබා ගැනීම මෙතරම් අතීරණයකට ලක්වූ අවස්ථාවක් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දක්නට නොවීය.

ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ක්‍රමවේදය වූයේ මැතිවරණ නොපැවැත්වීම නොව මැතිවරණ පවත්වා ආණ්ඩු පක්ෂයට ජයග්‍රහණය නොලැබෙන්නේ නම් දැවැන්ත භීෂණයක් අවුළුවා මැතිවරණය යුද පිටියක් බවට පත් කිරීමය. 1980 යාපනය සංවර්ධන සභා මැතිවරණය ඊට ඇති ප්‍රබල උදාහරණයකි. එදා කොළඹින් කුරුණෑගලින් ගිය එජාප මැර කණ්ඩායම් යාපනයේ ඡන්ද මධ්‍යස්ථාන පොඩිපට්ටම් කළ අතර ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද පෙට්ටි පසුදින සොයාගනු ලැබුවේ කිලාලි කලපුවේ සහ උතුරු මුහුදු වෙරළේය තිබියදීය. ඇතැම් ඡන්ද පෙට්ටි කොළඹින් ගිය පිරිස් නතර වී සිටි හෝටල් වල අලින්දයේ දමා තිබිණ. යාපනය පුස්තකාලයට ගිනි තබන ලද්දේ ද සංවර්ධන සභා මැතිවරණය පැවති දින රාත්‍රියේය. ඒ බිහිසුණු අපකීර්තිමත් සිදුවීම් මට නායකත්වය දුන්නේ එජාප ඇමතිවරුන් වූ ගාමිණී දිසානායක, ජයවික්‍රම පෙරේරා, ආදීන් විසිනි. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එදා කැබිනට් මණ්ඩල සාමාජිකයෙකි.

ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක බණ්ඩාරනායකගේ පොදු පෙරමුණු ආණ්ඩුව පැවැති සමයේ පැවැත්වූ අතුරු මැතිවරණයන් ද එවැනි අපකීර්තිමත් සිදුවීම් වලින් ගහණ විය. වයඹ අතුරු මැතිවරණය පැවැත්වූ අවස්ථාවේ මාතරින් එහි ගිය දාමරිකයන් වාරියපොල නගරයේදී එජාප ආධාරකාරිණියක නිරුවත් කොට පාරේ ඇවිදද වූ සිදුවීමක්ද වාර්තාවිය.
කුප්‍රකට මුල්ගිරිගල අතුරු මැතිවරණයේදී කොළඹ සිට එහි ගිය එජාපයේ කණ්ඩායම් ඡන්ද මධ්‍යස්ථාන වලට කඩාපැන ඡන්ද පොල බාරව සිටි ස්ථානාධිපතිවරුන් පලවා හැර බැලට් පේපර් මිටි පිටින් උදුරාගෙන ඡන්ද පෙට්ටි මත තබා අලියාට කතිරය ගසා ඡන්ද පෙට්ටි පිරවූ අන්දම මැතිවරණයට පසුදින පුවත්පත් වාර්තා කළේය. මුල්කිරිගල අතුරු මැතිවරණය ගැන ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින් රටින් පිටුවහල් කළ නිසා එදා මුල්කිරිගල අතුරු මැතිවරණය ලෝක ප්‍රකට අපකීර්තිමත් සිදුවීමක් විය.

ජනතා විමුක්ති පෙරමුණ අනීතිකව තහනම් කර 1988 ජනාධිපතිවරණය පැවැත්වීම නිසා ඊට විරෝධය පළ කළ එම පක්ෂය යටිබිම්ගතව සිට ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ජනතාවට ආයාචනා කරන ලදී එදා ජනාධිපතිවරණය යුධ පිටියක් වූ විය. වර්තමානයේ පවතින ශිෂ්ට මැතිවරණ සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ පුරවැසියන් දිනා ගත්තේ දීර්ඝ කාලයක් සහ බොහෝ පරිත්‍යාගයන් සිදු කරමිනි.

අද යුක්තිසහගත මැතිවරණ පිළිබඳව කතා කරන හිටපු අගමැති, ජනාධිපතිවරුන්ගේ ලේ වැකි අතීත ක්‍රියාකාරිත්වය ගැන රටේ ජනතාව දනිති.

ඡන්දය දැමීම සඳහා පුරවැසි හැඳුනුම්පත වලංගු කිරීමට ශ්‍රී ලංකාව වසර 20 ක් කඹ ඇද්දේය. 1931 සිට අද දක්වා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නිදහස් මැතිවරණ පවත්වා ආණ්ඩු මාරු කිරීමේ කීර්තිමත් ඉතිහාසයක් අපට තිබෙන බව අපේ දේශපාලකයින් කියන කතාව පට්ට බොරුවකි. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඔවුන් මේ රටේ ජනතාවට අනේකවිධ දුක් කන්දරාවක් උරුම කර දී තිබේ.

1975 දී සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය ස්වකීය ධූර කාලය වසර 2 ක් බලහත්කාරයෙන් කල් දමා ගත්තාය.
1977 දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව 1982 දී ඊනියා ජනමත විචාරණයක් පවත්වා
තවත් අවුරුදු 6 ක් බලයේ සිටියේය. එයාගෙ කළගෙඩි ලාම්පු සෙල්ලම අපට අමතක නැත. වර්තමාන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය සමඟ සූදු ක්‍රීඩාවක නිරත වීමෙන් අදහස් වන්නේ අප නැවතත් අපකීර්තිමත් අතීතය කරා පසුපසට
ගමන් කරමින් සිටින බවය. ආර්ථික අර්බුදයක ගිලී සිටින රට මේ ඇදගෙන යන්නේ නපුරු ඒකාධිපතිත්වයක් කරාය.
මැතිවරණය ඉල්ලා ශ්‍රී ලංකාවේ පුරවැසියෝ තවත් එක ජීවිතයක් හෝ බිලි දිය යුතු නැත. මේ රටේ පාලකයෝ අනාගත පරම්පරාවේ ශාපයට ලක් විය යුතු ද නැත. ඒ නිසා ලෙයින් කඳුළින් මිල ගෙවා ලබාගත් ශිෂ්ට මැතිවරණ සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් පළාත් මැතිවරණය ව්‍යවස්ථානුකූලව නියමිත වේලාවට, නියමිත පරිදි පැවැත්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහට යුක්තියේ සහ සාධාරණත්වයේ නාමයෙන් මතක් කර සිටිමු.

උදේනි සමන් කුමාර (fb)

අගමැති දිනේෂ් පාර්ලිමේන්තුවේදී අනුරට කිව්වෙ බොරු : ඇප මුදල් ගැන හපුහින්නගේ ලිපිය කැබිනට් තීරණයක් !

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් බාරනොගන්නා ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් අගමැති සහ රාජ්‍ය පරිපාලන ඇමති දිනේෂ් ගුණවර්ධන විසින් ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට පාර්ලිමේන්තුවේදී පවසා ඇත්තේ මුළුමනින්ම අසත්‍යයක් බව තහවුරු වේ.

පසුගිය ජනවාරි 17දා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ප්‍රශ්න කෙරිණි. ඊට පිළිතුරු දෙමින් අගමැති දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ මෙම ලිපිය ලේකම්වරයා විසින් යවන ලද්දේ කැබිනට් මණ්ඩල නිර්දේශ මත නොවන බවයි. එවැන්නක් පිළිබඳ කිසිදු සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේ සිදු නොවූ බව ද අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

එහෙත් ජනවාරි 10 දින ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවන ලද ලිපියේ සඳහන් වූයේ කැබිනට් මණ්ඩල නිර්දේශ මත මෙම ලිපිය යොමුකරන බවයි. ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවීමෙන් පසු, එම කොමිසමට ද ඔහු විසින් ඒ බව සඳහන් කර තිබිණි.

Ceylon Today පුවත්පතේ මාධ්‍යවේදී මිතුන් ජයවර්ධන විසින් යොමුකරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පත්‍රයක් මගින් අනාවරණය වී ඇත්තේ කැබිනට් මණ්ඩල ලේකම් එම්. කොඩිප්පිලි ආරච්චි විසින් ජනවාරි 10දා මේ පිළිබඳ ලේකම්වරයාට දැනුම් දී ඇති බවයි. එය ජනවාරි 09දා කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් බව ද එම දැනුම් දීමේ සඳහන් ය.

තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන අනුව අදාළ මාධ්‍යවේදියා ලබාගත් තොරතුරු මගින් තහවුරු වන්නේ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේදී මීට අදාළ සාකච්ඡාව ආරම්භ කර ඇති බවයි. ජනවාරි 09 දිනැති කැබිනට් මණ්ඩල වාර්තා අංක 34ට අනුව (Cabinet meeting minutes) ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසම සමග පැවති සාකච්ඡාවක තොරතුරු කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. එහිදී මැතිවරණය සඳහා මූල්‍ය සම්පත් යොදාගැනීම සහ ඊට ඇති හැකියාවන් සහ බාධා පිළිබඳ සාකච්ඡා කර ඇත. ඉන්පසු කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඇප මුදල් බාරනොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් හපුහින්නට දැනුම්දීමට ය.

මේ සම්බන්ධයෙන් කැබිනට් ලේකම්වරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන් ලිපිය ජනාධිපති ලේකම්වරයාට, අගමැති ලේකම්වරයාට, අධිකරණ අමාත්‍යංශයට සහ නිතිපතිවරයාට පිටපත් සහිතව යොමුකර ඇතැයි ද අදාළ තොරතුරු ඉල්ලුම් පත්‍රය මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වී තිබේ.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පොලිස්පති පුටුවට ? – පාස්කු චූදිතයෝ කැළඹෙති !

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලබන මාර්තු 26දා වන විට සේවා දිගුවක් නොලැබුණහොත්, පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයට පිටින් පිටස්තර අයෙකු නව පොලිස්පතිවරයා ලෙස පත්කිරීම වඩාත් සුදුසු බවට වන යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් වී තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බරපතළ ලෙස පළුදු වී ඇති නිසා, දැනට පොලිස් සේවයේ සිටින අයෙකුට එය කිසිසේත්ම වෙනස් කළ නොහැකි බව මෙම යෝජනාව ඉදිරිපත් කළ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස වී ඇත. කෙසේ වෙතත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ බොහෝ විට වර්තමාන පොලිස්පතිවරයාට වසරක සේවා දිගුවක් හිමි වනු ඇති බවයි. වයස අවුරුදු 60 පිරීම නිසා ඔහු ලබන මාර්තු 26දා විශ්‍රාම යෑමට නියමිත ය.

දිල්රුක්ෂිට සිද්ධ වුණේ කුමක්ද ?

අදාළ යෝජනාවට අනුව නව පොලිස්පති ධුරයට පත්කිරීම සඳහා යෝජනා වී ඇත්තේ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ය. ඇය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ ද කටයුතු කළ අතර, කුප්‍රකට ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති සමග සිදු කළ දුරකථන සංවාදයක් යනුවෙන් ප්‍රචාරය වූ මාධ්‍ය වාර්තා නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ඇයගේ වැඩ තහනම් කෙරිණි. එහෙත් ඉන්පසු එය ව්‍යාජ ලෙස සකස් කළ හඬපටයක් බව පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයේදී තහවුරු විය.   

වහාම ඇය නැවත සේවයේ පිහිටුවන ලෙස 2021 ජූලි 22දා අදාළ පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයෙන් නියෝග කෙරිණි. මාස 18ක් තිස්සේ වැඩ තහනමට ලක්ව සිටි ඇය, තීන්දුවෙන් දින 8කට පසු, එනම් ජූලි 30දා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබීය.

ජනාධිපතිවරයා වෙත අදාළ යෝජනාව කළ පිරිස සඳහන් කර ඇත්තේ දිල්රුක්ෂි වික්‍රමසිංහ වැනි චරිතයක් පොලිස්පති ධුරයට පත්කළහොත්, ජනතාව තුළ පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වන අප්‍රසාදය තරමක් දුරට හෝ සමනය කළ හැකි වනු ඇති බවයි.

පිටින් පත්කළ හැකිද ?

මෙසේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් බාහිර පුද්ගලයෙකු පොලිස්පති ධුරයට පත්කළ හැකිද යනුවෙන් අප කළ සොයාබැලීමේදී අනාවරණය වූයේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ එවැනි උදාහරණ කිහිපයක් ඇති බවයි.

1959 මැයි 01දා එවකට අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක විසින් සිවිල් සේවයේ කටයුතු කළ එම්.එෆ්. අබේකෝන් පොලිස් දෙපාර්තමේන්තුවේ නොවන අයෙකු ලෙස පොලිස්පති ධුරයට පත්කර තිබේ. ඔහු 1963 වසර දක්වා පොලිස්පති ධුරයේ රාජකාරි කර ඇත.

පොලිස්පති ධුරයට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කළ රිචඩ් අලුවිහාරේ ය. 1947 ජුනි 01 දින සිට ඔහු මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කර ඇත.

එසේ ම පොලිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා ලෙස සැලකෙන පරිපාලනය බාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට ද මෙසේ පිටස්තර පුද්ගලයන් පත්කර ඇති බවයි. ඊට උදාහරණයක් ලෙස එම තනතුරට පත්කෙරුණු ඩි.බී.අයි.එස්. සිරිවර්ධන පෙන්වා දිය හැකි බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨත්වය ?

මේ අතර වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා ලබන 26දා විශ්‍රාම ලැබුවහොත්, මීළඟ පොලිස්පති ධුරයට පත්වීම සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින නිලධාරීන් තිදෙනාම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් හෝ චෝදනා ලැබූ තැනැත්තන් හෝ වීම විශේෂත්වයකි.

මීළඟ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩුවලදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරු කළ අයෙකි. ඊළඟට ලැයිස්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායකට සහ දේශබන්දු තෙන්නකෝන්ට ද ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව මගින් අවස්ථා 2කදී ඔවුන් මීට වගකිවයුත්තන් බව සඳහන් කර, විමර්ශන පැවැත්විය යුතු බවට නිර්දේශ කර ඇති අතර, පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ඔවුන්ට එරෙහිව චෝදනා පත්‍ර ද සකස් කොට බාරදෙන ලදි.

ලිස්ට් එක ?

මෙම නිලධාරීන් තිදෙනාගෙන් පසු ජ්‍යෙෂ්ඨ ලැයිස්තුවේ සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ය. ඔහුට එරෙහිව මෙතෙක් බරපතළ අපරාධ චෝදනා එල්ල වී නැති බව පොලිස් මූලස්ථාන වාර්තා සඳහන් කරයි.

මෙම නිලධාරීන්ගෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු, එම්.ඩී.ආර්.එස්. දමින්ද, අජිත් රෝහණ, කමල් සිල්වා සහ මහින්ද ගුණරත්න පිළිවෙළින් පොලිස් දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ සිටිති.

වගකීම කාටද ?

මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න පත්වීම් ලැබුවේ 2020 නොවැම්බර් 27 දින ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්කිරීම සිදුකරන ලදි. ඊට හේතු වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කර තිබූ ව්‍යවස්ථාදායක සභාව 20 වැනි සංශෝධනය මගින් අහෝසි කිරීමයි.

එහෙත් යළිත් 21 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කර ඇති නිසා නව පොලිස්පතිවරයා තේරීමේ වගකීම පැවරෙන්නේ ව්‍යවස්ථාදායක සභාවටයි. ඒඅම සභාව මගින් නිර්දේශ කරන පුද්ගලයා පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබයි.

සේවා දිගුවක් ?

කෙසේ වෙතත් නීති විශාරදයන් සඳහන් කරන්නේ නීතිපතිවරයාගේ සහ පොලිස්පතිවරයාගේ විශ්‍රාම වයස පිළිබඳ 21 වැනි සංශෝධනයේ පැහැදිලිව සඳහන් නොවන බවයි. මේ නිසා චන්දන වික්‍රමරත්නට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත සේවා දිගුවක් ලබාගැනීමේ හැකියාව ද පවතින බව ඔවුහු පෙන්වා දෙති. ඔහු සේවා දිගුවක් ලබාගැනීම සඳහා දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව ද පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.

වර්තමාන පොලිස්පතිවරයා විසින් අනීතික ලෙස ජනතවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වන ලෙස පනවන ලද පොලිස් ඇඳිරි නීතියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් සහ තවත් චෝදනා රැසක් ද ඔහුට මේ වන විට එල්ල වී තිබේ. ඔහුට මාර්තු 26දා ධුරයෙන් විශ්‍රාම යෑමට සිදුවුවහොත්, මෙම සියලු චෝදනාවලට සාමාන්‍ය – සිවිල් පුරවැසියෙකු ලෙස තනි ව මුහුණ දීමට සිදු වේ. එවිට නීතිඥ පහසුකම් ලබාගැනීම ඇතුළු සේවා ද ඔහු විසින් සපයාගත යුතුය.

ඒකාධිපති හුන් සෙන්ගෙන් විපක්ෂ නායක කෙම්ට රාජ්‍ය ද්‍රෝහී චෝදනාවක් : වසර 27ක් නිවාස අඩස්සියට !

කාම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා වසර 27ක් නිවාස අඩස්සියේ තැබීමට එරට අධිකරණය නියම කර තිබේ.

අගමැති හුන් සෙන්ගේ රජය පෙරලා දැමීම සඳහා විදේශ බලවේග සමඟ කුමන්ත්‍රණය කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

විදෙස් වාර්තා වල සඳහන් ආකාරයට වසර තුනක් පුරා පැවැති නඩු විභාගකින් අනතුරුව මෙම දඬුවම නියම කර ඇත.

එමෙන්ම කෙම් සෝඛා හට මැතිවරණ සඳහා පෙනී සිටීමට මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම ද තහනම් කර තිබේ.

මීට පෙර ඔහු නියෝජනය කළ කාම්බෝජ ජාතික මුදා ගැනීමේ පක්ෂය තහනම් කිරීමට ද එරට රජය පියවර ගත්තේ ය.

69 හැවිරිදි කෙම් සෝඛා 2017 දී ප්‍රථම වරට අත්අඩංගුවට ගනු ලැබුවේ, වීඩියෝ පටයක් පදනම් කරගෙනය.

කෙසේවෙතත් කෙම් සහ ඔහුගේ නීතිඥයින් සිදුකර ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුට එරෙහි නඩුව පදනම් විරහිත බවද පවසා ඇත.

කාම්බෝජයේ එක්සත් ජනපද තානාපති පැට්‍රික් මර්ෆි සිකුරාදා කියා සිටියේ මෙම නඩුව යුක්තිය පැහැර හැරීමක් බවයි.

එමෙන්ම කෙම් සොඛා ගේ නීතිඥවරුන් පැවසුවේ අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවද පවසා ඇත.

අගමැති හුන් සෙන් යනු 1985 වසරේ සිට ලෝකයේ දීර්ඝතම කාලයක් බලයේ රැඳී සිටින ඒකාධිපතියෙත් ලෙස ප්‍රකටය.

ඔහු එළැඹෙන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා තරග කරනු ඇතැයි පැවසුනද එරට දේශපාලන මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට ඔහුගේ වැඩිමහල් පුත් හුන් මැනට් වෙත බලය පැවරීමට ඔහු සැලසුම් කර ඇති බවද පැවසේ.

ජනාධිපති මන්දිරයෙන් සොයාගත් ගෝඨාභයගේ කෝටි 2 ගැන මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු ?

ජනාධිපති මන්දිරයෙන් සොයාගැනීමෙන් පසු අරගලකරුවන් විසින් පොලිසියට බාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරිය හැකි දැයි සොයාබැලීම සඳහා එම විමර්ශන ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

එසේ ම එම මුදල් සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ කටයුතු කළ හැකි ආකාරය සොයාබලන ලෙස ද නියෝග කර ඇති මහේස්ත්‍රාත්වරයා, මෙම විමර්ශන පිළිබඳව විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

‘ඒ සල්ලි මගේ’

මෙම මුදල් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත් බව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය පෙබරවාරි 08දා ඔහුගේ නීතිඥයන් විසින් දැනුම් දෙන ලදි. එම මුදල ගෝඨාභය රාජපක්ෂ වෙත මුදාහරින ලෙස ද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහෙත් කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්තියට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. එසේ ම මෙම මුදල් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත් යටතේ මෙන්ම අල්ලස් පනත යටතේ ද විමර්ශන කළ හැකි යැයි ද මහේස්ත්‍රාත්වරයා පැවසීය.

ඒ අනුව මෙම මුදල සම්බන්ධයෙන් වන විමර්ශනය අවසන් වන තෙක්, එය මුදාහැරීමේ හැකියාවක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවධාරණය කළේය.

නිවසට ගොස් ප්‍රකාශයක් ගනී

පසුගිය පෙබරවාරි 07දා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගත්තේය. ඒ, ඔහු දැනට පදිංචි නිවසට ගොස් ය. මෙම ප්‍රකාශය පැය 03කට ආසන්න කාලයක් සටහන් කරගෙන තිබිණි. මෙම මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගියදා නියෝග කෙරිණි.

මේ අතර මෙම මුදල අධිකරණයට ඉදිරිපත් නොකර නීතිය හා සාමය ඇමති ටිරාන් අලස්ට බාර දෙන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ – කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට සිදු කළ බලපෑම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම පිළිබඳව දේශබන්දු තෙන්නකෝන් තමන්ට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩි.එස්. වික්‍රමසිංහ පසුගිය 13දා කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එදින ය, ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස අධිකරණය නියෝග කළේ.

ඉස්සරහට බලාගන්නම්’

තමන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් ‘ඔයා ගැන ඉස්සරහට බලාගන්නම්’ ආදී වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තර්ජනය කළ බවත්, තමන් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා මෙහිදී සදහන් කළේය. මෙම ඒකකය ක්‍රියාත්මක වන්නේ සෘජුව ම පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේදී තමන්ගෙන් පළිගැනීම සඳහා වෙනත් යම් සිදුවීමකට පැටලවීමට උත්සාහ ගැනීමක් හෝ තමන්ගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතයට යම් අනතුරක් කිරීමේ හෝ බියකින් තමන් පසුවන බවයි.

මෙම තර්ජනය සම්බන්ධයෙන් තමන් සටහන් යොදා ඇති බවත්, ඒ ගැන ඉදිරියේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණයට අපහාසයක්

එම දැනුම්දීමෙන් පසු මෙම නඩුව සඳහා පෙනී සිටින නීතිඥවරුන් ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේ අධිකරණ නියෝගයක් අනුව නිසා ඔහුට තර්ජනය කිරීම අධිකරණයට කළ අපහාසයක් බවයි. එසේ ම මෙය සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම යටතේ වරදක් බව ද නීතිඥවරු ප්‍රකාශ කළහ.

දුරකථන වාර්තා අවශ්‍යයි

මෙහිදී කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් විසින් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා ලැබුණු පසු සලකා බලන බවයි.

මේ අතර මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ඉවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා අධිකරණයෙන් අවසර ගන්නා ලෙස පොලිස්පතිවරයා තමන්ට දැනුම් දුන්නේ යැයි ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.

ඊට විරෝධය පළකරමින් නීතිඥවරුන් ප්‍රකාශ කළේ විමර්ශන වෙනත් ඒකකයකට බාරදීම කළ යුත්තේ පොලිස්පතිවරයා විසින් බවත්, ඊට අධිකරණය මැදිහත්වීම අවශ්‍ය නොවන බවත් ය.

එසේ විමර්ශන වෙනත් අංශයකට බාරදීමට සිදුවන්නේ විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට විමර්ශන නොකරනවා නම් පමණක් බවත්, මෙම විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිසි ආකාරයට සිදුකරන නිසා වෙනත් අංශයකට බාරදීමේ අවශ්‍යතාවක් නැති බවත් නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

ගෝඨාභයගේ නිදන කාමර මුදල්

ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් පසුගිය ජූලි 09දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිදන කාමරයේ තිබී තරුණයන් පිරිසක් විසින් සොයාගන්නා ලදි.  ඉන්පසු එම මුදල් කොළඹ – කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ වෙත බාර දී තිබිණි.

දේශබන්දු ස්ථානාධිපතිට කළ බලපෑම

එසේ බාර දුන් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර, ටිරාන් අලස් ඇමතිවරයාට ලබාදෙන ලෙස තමන්ට දුරකතනයෙන් දේශබන්දු තෙන්නකෝන් දැනුම් දුන්නේයැයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර කොටුව අධිකරණය ඉදිරියේ පැවසීය.

එසේ බලපෑම් කළ දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට, කොටුව පොලිසිය මෙම මුදල් සොයාදුන් තරුණයන් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු නීතිඥවරුන්ගේ ඉල්ලීම මත මෙම විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරන ලෙසට අධිකරණය කළ නියෝගයක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම විමර්ශනය පවත්වමින් සිටී.

සභාපති ධුරය ගැන තීන්දුවක් ගත්තා : කීර්තිමත් කෙනෙක් එනකම් ක්‍රියාත්මක කළේ නෑ – පොදුජන පෙරමුණු මහ ලේකම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ජී.එල්. පීරිස් ඉවත් කිරීමට තීරණය කළ ද, එය මෙතෙක් ක්‍රියාත්මක නොකළ බව එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් thetime.lk වෙත පැවසීය.

පෙරමුණේ නව සභාපති ධුරය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇති බවත්, ඒ අතරින් අයෙකු කඩිනමින් තෝරාගැනීමෙන් පසු අදාළ තීරණය ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පොදුජන පෙරමුණේ විධායක සභාව අදාළ තීරණය ගෙන තිබිණි. ඊට හේතුව ලෙස ලේකම්වරයා සඳහන් කළේ ජී.එල්. පීරිස් තවදුරටත් තම පක්ෂය සමග එක්ව කටයුතු නොකිරීමයි. එසේ ම පක්ෂයේ සිටි, මේ වන විට වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සමග කටයුතු කරන පීරිස් සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නා බව ඔහු පැවසීය.

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ තීරණාත්මක පෙත්සමක පෙත්සම්කරු වූයේ ද හිටපු ඇමති ජී.එල්. පීරිස් ය.

පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා වශයෙන් පත්කිරීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති බවත්, ඒ අතරින් පක්ෂයට බාහිර සිවිල් සමාජය නියෝජනය කරන පුද්ගලයෙකු පත්කිරීමත්, සමාජයේ කීර්තිමත් පුද්ගලයෙකු පත්කිරීමත් කැපිපෙනෙන බවත් ලේකම්වරයා පැවසීය.

IMF ආවෙ නැතත් අපිට යන්න පුළුවන් – මහ බැංකු අධිපති : ආණ්ඩුව හොඳට වැඩ කරනවා – IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම නියමිත කාල සීමාවේදී නොලැබුණද, පවතින තත්ත්වය යටතේ රටට ඉදිරියට යෑමේ හැකියාව පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

එසේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළ ව ලංකාව විසින් සිදු කළ යුතු සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි ද ඔහු සඳහන් කරයි. මහ බැංකු ශ්‍රවණාගාරයේ පවත් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ සාර්ථකව ඉදිරියට යෑමේ අවස්ථාව ඉක්මනින් ම ලැබෙනු ඇති බවත්, එවිට රැට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවත් ය.

ආණ්ඩුව විසින් ගනු ලැබූ කඩිනම් ක්‍රියාමාර්ග වන විනිමය අනුපාත, සංචිත වැඩි කරගැනීම, උද්ධමනය පාලනය, වෙළෙඳපොල පොළී අනුපාතය අඩුකිරීම සහ වෙනත් ක්‍රියාමාර්ග හරහා රජයේ ආදායම වැඩිකර ගැනීම නිසා යහපත් ප්‍රවණතා ඇතිවෙමින් තිබෙන බව ද ඔහු අවධාරණය කරයි.

මේ අතර ශ්‍රී ලංකා රජය බැංකු පොළී අනුපාත යළි ඉහළ දැමීම මේ අවස්ථාවේ ගතයුතු ව තිබූ නිවැරදි ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි. එම අරමුදල පෙන්වා දෙන්නේ මෙරට උද්ධමනය පාලනය සඳහා ගෙන යන වැඩසටහනට එය මහත් රුකුලක් වනු ඇති බවයි.

ශ්‍රී ලංකා රජය උද්ධමනය පාලනය කිරීම සඳහා ගෙන යන සමස්ත ක්‍රියාවලිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සූම් ඔස්සේ විශේෂ සාකච්ඡාවක් ද පැවති බව මාධ්‍ය වාර්තා කළේය. එහිදී ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන් ය.

මේ වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් ධනාත්මක සහ සුබවාදී පසුබිමක් ඊට අදාළ සියලු පාර්ශ්ව වෙතින් නිර්මාණය වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක ද සඳහන් විය.