‘හිරු මඬල මත අඳුර’ ඇල්බට් ලිහනෝව්

Share post:

ඇල්බට් ඇනටොලෙයෙවිච් ලිහනෝව් නම් විශිෂ්ට, දයාර්ද්‍ර මිනිසා සෝවියට් යුගයට අයත් අවසාන ලේඛකයා යැයි සිතමි.
මට ඔහු මුණ ගැසෙන්නේ ‘මගේ ජනරාල්’ නම් අති විශිෂ්ට කෘතිය නිසා ය. එය 1970 දසකයේ මුල් අවදියේ සෝවියට් දේශයේ තතු ඔස්සේ මනුෂ්‍ය සමාජයේ ප්‍රගතිය කෙරෙහි, අවංක කොමියුනිස්ට්වාදියාගේ මෙහෙවර පිළිබඳ සාකච්ඡාවකැයි මම කල්පනා කළෙමි. මේ මහා ලේඛකයා තවමත් ජීවතුන් අතර වෙතැයි මා දැනගත්තේ පොත ප්‍රකාශයට පත් කොට මාස ගණනාවකට ද පසු ය. මා ඔහුගේ මුහුණු පොත ඔස්සේ තැබූ සටහනකින් පසු, ඔහු මට එවූ විද්‍යුත් තැපැල් ලිපියෙන්, ‘මගේ ජනරාල්’ කෘතිය සිංහලට නැඟීමේ සාතිශය සතුට දන්වා එවන ලදී.
ඔහු මා අමතන අයුර හා ඔහුගේ ජීවන පුවත් දැන ගත් විට මට ‘මගේ ජනරාල්’ කෘතියේ ජනරාල් නැති නම් සීයා ම ඔහු තුළ සිටින බවක් මට හැඟිණි. ඉතිං එතැන් පටන් මා ඔහු ඇමතූයේ සීයා ලෙසිනි. ඔහු මට ‘සිලෝන් ග්‍රෑන්ඩ්සන්’ ලෙස ඇමතී ය.

ඉක්බිති ඔහු මට ‘වංකගිරිය’ සහ ‘සංගීත පාඩම’ කෘතිවල ඉංග්‍රීසි පිටපත් එවමින් ඒවා ද හැකි නම් පරිවර්තනය කරන මෙන් ඉල්ලා සිටියේ ය. ‘වංකගිරිය’ කෘතියේ සිංහල පරිවර්තනය ඔහු වෙත 2021 අගෝස්තුවේදී යවන්නට හැකි වූ අතර ඔහු එයින් මහත් සතුටට පත්විය. ‘සංගීත පාඩම’ පොත මුද්‍රණය කරන්නට හැකි වූයේ 2021 දෙසැම්බර් දෙවැනි සතියේ ය. ඔහු විස්මය පත් කිරීමේ අදහසින් මම පණිවුඩයක් නොතබා ම එය තැපැල් කළෙමි. එය පිළිගැන්වූයේ ද ඔහු නමට ම ය.

‘මනුෂ්‍ය දයාව සපිරුණු අනාගතයක සුබවාදී බලාපොරොත්තුව සාහිත්‍යය ලෙසින් අප වෙත ගෙන ආ ඇල්බට් ඇනටොලෙයෙවිච් ලිහනෝව් ලේඛකයාණන්ට, ඔහුගේ Музыки කෘතිය අනුව සිංහල බසින් කළ මේ ප්‍රති-රචනය හද පිරි ආදරයෙන් පිළිගන්වමි.

එහෙත් ‘සංගීත පාඩම’ සිංහලෙන් පළ වූ බව නොදැන ම ඔහු 2021 දෙසැම්බර් 25 දින, අවුරුදු 87ක් වූ සිය දිවි ගමන නිමා කළේ ය.
මට දයාර්ද්‍ර පියෙකු අහිමි විය.
ඔහුගේ ජීවිතය සහ නිර්මාණකරණය පිළිබඳ දිගු හැඳින්වීමක් ‘වංගගිරිය’ කෘතියෙහි බහා ඇති හෙයින් මෙහි ඒ ගැන සටහන් නොකරමි.

‘හිරු මඬල මත අඳුර’ නම් මේ කෘතිය ලියැවෙන්නේ 1970 දශකයේ සෝවියට් රුසියාව පදනම් කොට ගනිමිනි. මනුෂ්‍ය ජීවිතය වඩා යහපත් කරන්නට භෞතිකව කෙරෙන ගොඩනැඟීම් අතරෙහි අමතක වී යන සියුම් තැන් පිළිබඳව ලේඛකයා අපේ අවධානය යොමු කරවයි.

මේ කෘතිය කියවන විට, මනුෂ්‍යයා ඒක රේඛිය, හොඳ හෝ නරක පමණක් ඇති පැතැලි සත්වයෙකු නොව ඒ දෙකෙහි සංකලනයක් බව පසක් වෙයි. එකෙකුගේ වේදනාව හමුවේ අනෙකාගේ හදවත උණුවීම හුදු අහඹුවක් නොව සමස්ථ මනුෂ්‍ය ප්‍රජාව පුරා පවත්නා දෙයක් බව දැනෙයි.

මේ පොත, නව යොවුන් වියේ දරුවෙකු සහ දෙපා පණ නැති දැරියක විසින්, ඔවුන් මත සොබාදහම හෝ සිය වටපිටාව විසින් පටවනු ලැබ ඇති අභියෝග පිය මැන යන්නට කරනු ලබන අරගලය පිළිබඳ අනුවේදනීය සටහනකි… කුළුඳුල් සහ කොන්දේසි විරහිත ආදරය ගැන සියුම් ගෙත්තමකි… සැබෑ මිත්‍රත්වයට පෙරවදනකි… මනුෂ්‍ය වේදනාවන් පිළිබඳව මනුෂ්‍යයාට යළි යළිත් සිතන්නට පොළඹවන කතන්දරයකි, සියලු බාධා මැඬ යා හැකි මිනිස් ජීවිතයේ ආධ්‍යාත්මික ශක්තිය පිළිබද විවරණයකි,

මෙහි ප්‍රධාන චරිත දෙක වන ලේනා සහ ෆේද්යා තවමත් දරුවන් නමුදු ජීවිතයේ තිත්ත අත්දැකීම්, කරදර, වේදනා තුළින් බොහෝ දේ උගත් අය බව අපට පෙනෙයි. මේ දෙදෙනාගේ අහිංසක සිත් මත ලැජ්ජාව, ඊර්ෂ්‍යාව, නොහැකියාව, චිත්ත පීඩාව එකක් මත එකක් වැටෙමින් මෙහි එන සිදුවීම් දාමය ම, හදවත විදගෙන කිඳා බසිමින් අපේ ඇසට කඳුළු ගෙන එයි. එහෙත් මුළු ජීවිතය හිරු ය, හිරු සූර්යග්‍රහණයෙන් වැසෙන්නේ තාවකාලිකව ය යන දාර්ශනික අදහස සිත් තුළ පැළ කරන්නට ඔවුහු වෙර දරති.

මනුෂ්‍ය සබඳතාවල යථාව නැතිනම් සත්‍යය ලේඛකයාට සියුම් ලෙස දැනේ. ඛේදජනක බලාපොරොත්තු සුන්වීම් ජයගත හැක්කේ මිනිස් ආත්මයේ ශක්තියට පමණක් බව ඔහු අපට මෙමගින් කියා සිටියි. මේ කතාවේ අවසානය වේදනාසහගත වුවත් තාරුණ්‍යයට සත්‍යය කියා පෑ යුතු බව, එය සැඟවිය නොහැකි බව ඔහු සිතයි. එහෙත් ඔහු එය කියා පාන්නේ ඉතා මෘදුව ය.

කාරුණිකත්වය පිළිබඳ දීප්තිමත් කෘතියක් වන මෙය මානව සහයෝගීතාවය ගැනත්, පුද්ගලයෙකු තුළ යහපත සොයා ගැනීමේ හැකියාව කෙරෙහි විශ්වාසය තැබීම ගැනත් පාඨකයන්ට උගන්වයි. එසේ ම එය වැඩිහිටියන් හා හා නව යොවුන් වියේ අය අතර සම්බන්ධතාවය ගවේෂණය කරයි. එහෙයින් මෙය නව යොවුන් වියේ දරුවන් පමණක් නොව දෙමාපියන් හා ගුරුවරුන් විසින් මඟ හැර නො යා යුතු කෘතියකැයි කිව හැකි ය.

මුද්‍රණ සහ ප්‍රකාශන කර්මාන්තයේ අර්බුධය මැද වුවත් පොතක් එළි නො දක්වා සිටින්නේ කොහොමද…. මේ පොත එළිදක්වා ගන්නට උදව් දුන් සැම හදවතින් වැළඳ ගනිමි.
එහි මා විසින් පෙරවදනට එක් කරන ලද වදන්, පොත ගැන යමක් වටහා ගනු පිණිස ඔබ සමග බෙදා ගනිමි..

මහින්ද සෙනරත් ගමගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...