ජනාධිපති රනිල් වික්‍රමසිංහට යුක්තියේ සහ සාධාරණත්වයේ නාමයෙන් මතක් කර සිටිමු

Share post:

ලෙයින් කඳුළින් දිනාගත් මැතිවරණ සම්ප්‍රදාය රකිනු

ලංකා ඉතිහාසයේ 2023 පළාත් මැතිවරණය තරම් ආන්දෝලනයට තුඩු දුන් මැතිවරණයක් තවත් නැත. නොකෙරෙන දීගයක් මෙන් පළාත් මැතිවරණයේ කතාව තව තවත් ව්‍යාකූල වෙමින් තිබේ. සමගි ජනබලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල සති අන්තයේ ප්‍රකාශ කළේ පළාත් මැතිවරණය ඉල්ලා ජාත්‍යන්තරයට යනවා මිස යන්නට තවත් ආයතනයක් මේ රටේ නැත කියාය. මොකද යන යන හැම ආයතනයක්ම අපට බෝලේ පාස් කරනවා කියාය. කතාව ඇත්තය .

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ධාරාව වූ ජාතික ජන බලවේගය ද පසුගියදා පළාත් මැතිවරණය ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකල අතර එහිදී කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වූ ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමලසිරි මරණයට පත්විය. ජාජබ නායක අනුර දිසානායක ප්‍රශ්න කර තිබුණේ මැතිවරණය ඉල්ලා තවත් ජීවිත කීයක් බිලි දිය යුතු ද කියාය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා මැතිවරණයක් ලබා ගැනීම මෙතරම් අතීරණයකට ලක්වූ අවස්ථාවක් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දක්නට නොවීය.

ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ක්‍රමවේදය වූයේ මැතිවරණ නොපැවැත්වීම නොව මැතිවරණ පවත්වා ආණ්ඩු පක්ෂයට ජයග්‍රහණය නොලැබෙන්නේ නම් දැවැන්ත භීෂණයක් අවුළුවා මැතිවරණය යුද පිටියක් බවට පත් කිරීමය. 1980 යාපනය සංවර්ධන සභා මැතිවරණය ඊට ඇති ප්‍රබල උදාහරණයකි. එදා කොළඹින් කුරුණෑගලින් ගිය එජාප මැර කණ්ඩායම් යාපනයේ ඡන්ද මධ්‍යස්ථාන පොඩිපට්ටම් කළ අතර ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද පෙට්ටි පසුදින සොයාගනු ලැබුවේ කිලාලි කලපුවේ සහ උතුරු මුහුදු වෙරළේය තිබියදීය. ඇතැම් ඡන්ද පෙට්ටි කොළඹින් ගිය පිරිස් නතර වී සිටි හෝටල් වල අලින්දයේ දමා තිබිණ. යාපනය පුස්තකාලයට ගිනි තබන ලද්දේ ද සංවර්ධන සභා මැතිවරණය පැවති දින රාත්‍රියේය. ඒ බිහිසුණු අපකීර්තිමත් සිදුවීම් මට නායකත්වය දුන්නේ එජාප ඇමතිවරුන් වූ ගාමිණී දිසානායක, ජයවික්‍රම පෙරේරා, ආදීන් විසිනි. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එදා කැබිනට් මණ්ඩල සාමාජිකයෙකි.

ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක බණ්ඩාරනායකගේ පොදු පෙරමුණු ආණ්ඩුව පැවැති සමයේ පැවැත්වූ අතුරු මැතිවරණයන් ද එවැනි අපකීර්තිමත් සිදුවීම් වලින් ගහණ විය. වයඹ අතුරු මැතිවරණය පැවැත්වූ අවස්ථාවේ මාතරින් එහි ගිය දාමරිකයන් වාරියපොල නගරයේදී එජාප ආධාරකාරිණියක නිරුවත් කොට පාරේ ඇවිදද වූ සිදුවීමක්ද වාර්තාවිය.
කුප්‍රකට මුල්ගිරිගල අතුරු මැතිවරණයේදී කොළඹ සිට එහි ගිය එජාපයේ කණ්ඩායම් ඡන්ද මධ්‍යස්ථාන වලට කඩාපැන ඡන්ද පොල බාරව සිටි ස්ථානාධිපතිවරුන් පලවා හැර බැලට් පේපර් මිටි පිටින් උදුරාගෙන ඡන්ද පෙට්ටි මත තබා අලියාට කතිරය ගසා ඡන්ද පෙට්ටි පිරවූ අන්දම මැතිවරණයට පසුදින පුවත්පත් වාර්තා කළේය. මුල්කිරිගල අතුරු මැතිවරණය ගැන ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින් රටින් පිටුවහල් කළ නිසා එදා මුල්කිරිගල අතුරු මැතිවරණය ලෝක ප්‍රකට අපකීර්තිමත් සිදුවීමක් විය.

ජනතා විමුක්ති පෙරමුණ අනීතිකව තහනම් කර 1988 ජනාධිපතිවරණය පැවැත්වීම නිසා ඊට විරෝධය පළ කළ එම පක්ෂය යටිබිම්ගතව සිට ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ජනතාවට ආයාචනා කරන ලදී එදා ජනාධිපතිවරණය යුධ පිටියක් වූ විය. වර්තමානයේ පවතින ශිෂ්ට මැතිවරණ සම්ප්‍රදාය ශ්‍රී ලංකාවේ පුරවැසියන් දිනා ගත්තේ දීර්ඝ කාලයක් සහ බොහෝ පරිත්‍යාගයන් සිදු කරමිනි.

අද යුක්තිසහගත මැතිවරණ පිළිබඳව කතා කරන හිටපු අගමැති, ජනාධිපතිවරුන්ගේ ලේ වැකි අතීත ක්‍රියාකාරිත්වය ගැන රටේ ජනතාව දනිති.

ඡන්දය දැමීම සඳහා පුරවැසි හැඳුනුම්පත වලංගු කිරීමට ශ්‍රී ලංකාව වසර 20 ක් කඹ ඇද්දේය. 1931 සිට අද දක්වා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නිදහස් මැතිවරණ පවත්වා ආණ්ඩු මාරු කිරීමේ කීර්තිමත් ඉතිහාසයක් අපට තිබෙන බව අපේ දේශපාලකයින් කියන කතාව පට්ට බොරුවකි. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඔවුන් මේ රටේ ජනතාවට අනේකවිධ දුක් කන්දරාවක් උරුම කර දී තිබේ.

1975 දී සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය ස්වකීය ධූර කාලය වසර 2 ක් බලහත්කාරයෙන් කල් දමා ගත්තාය.
1977 දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව 1982 දී ඊනියා ජනමත විචාරණයක් පවත්වා
තවත් අවුරුදු 6 ක් බලයේ සිටියේය. එයාගෙ කළගෙඩි ලාම්පු සෙල්ලම අපට අමතක නැත. වර්තමාන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය සමඟ සූදු ක්‍රීඩාවක නිරත වීමෙන් අදහස් වන්නේ අප නැවතත් අපකීර්තිමත් අතීතය කරා පසුපසට
ගමන් කරමින් සිටින බවය. ආර්ථික අර්බුදයක ගිලී සිටින රට මේ ඇදගෙන යන්නේ නපුරු ඒකාධිපතිත්වයක් කරාය.
මැතිවරණය ඉල්ලා ශ්‍රී ලංකාවේ පුරවැසියෝ තවත් එක ජීවිතයක් හෝ බිලි දිය යුතු නැත. මේ රටේ පාලකයෝ අනාගත පරම්පරාවේ ශාපයට ලක් විය යුතු ද නැත. ඒ නිසා ලෙයින් කඳුළින් මිල ගෙවා ලබාගත් ශිෂ්ට මැතිවරණ සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් පළාත් මැතිවරණය ව්‍යවස්ථානුකූලව නියමිත වේලාවට, නියමිත පරිදි පැවැත්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහට යුක්තියේ සහ සාධාරණත්වයේ නාමයෙන් මතක් කර සිටිමු.

උදේනි සමන් කුමාර (fb)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...