පෙත්සම්කරුවන්ගේ සාක්ෂි ප්‍රමාණවත් : 2009 බාර වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 3ක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න – හමුදාවට නියෝගයක් !

Share post:

යුද්ධයේ අවසාන කාලයේදී 2009 මැයි මාසයේ මුලතිව් යුද හමුදා කඳවුරට බාර වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් තිදෙනෙකු මාර්තු 22 දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් ලබා දී තිබේ.

වව්නියා මහාධිකරණය මගින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම සාමාජිකයන්ගේ භාර්යාවන් විසින් ඉදිරිපත් කරන ලද හේබියස්කෝපුස් (habeas corpus) පෙත්සම් 03ක් සලකාබැලීමෙන් පසුව ය.

පසුගිය 23දා මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ පෙත්සම්කරුවන් අධිකරණයට දැනුම් දුන්නේ 2009 මැයි 18දා සිය ස්වාමිපුරුෂයන් යුද හමුදාවට බාර වූ බවත්, එදින සිට ඔවුන් අතුරුදන් බවත් ය. මෙම පෙත්සම විභාගයට ගැනීමට අධිකරණය මීට පෙර තීන්දු කළේය. එය සමාජයේ දැඩි කතාබහට ලක්විය.

යුද හමුදාපතිවරයා, 58 වැනි සේනාංකයේ සේනාංකාධිපතිවරයා සහ මුලතිව් යුද හමුදා කඳවුරේ ප්‍රධාන අණදෙන නිලධාරියා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

අතුරුදන් කවුද ?

පොන්නම්බලම් කන්දස්වාමි, සින්නතුරෙයි සසිදරන් හෙවත් එලිලන් සහ රුද්‍රකුමාර් ක්‍රිෂ්නකුමාර් වෙනුවෙන් මෙම රීට් පෙත්සම් ඉදිරිපත් කර තිබේ. මහාධිකරණයෙන් මීට පෙර මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබුණේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

‘කිසිවෙකු නෑ’

58 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චානක්‍ය ගුණවර්ධන නීතිපතිවරයා මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී තිබුණේ කිසිවෙකු අත්අඩංගුවේ හෝ රඳවා තබාගෙන නොමැති බවයි. කෙසේ වෙතත් 2009 මැයි 17, 18 සහ 19 යන දින තුනේදී මුලතිව් යුද හමුදා කඳවුරට බාර වූ පුද්ගලයන් පිළිබඳ ලේඛනයක් හමුදාව සතු බව ද ඔහු මීට පෙර සඳහන් කර තිබිණි.

එම ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වව්නියාව මහාධිකරණයෙන් නියෝග කර තිබිණි.

ස්ථානීය වාර්තාවක් නෑ ?

කෙසේ වෙතත් මේජර් ජෙනරාල් ගුණවර්ධන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා විසින් සකස් කළ වාර්තාවක් පමණි. හමුදාව විසින් ඒ මොහොතේ සකස් කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සැලකිය යුතු කාරණයක් බව අධිකරණය පාර්ශ්වයෙන් මෙහිදී අවධාරණය කෙරිණි.

‘සාක්ෂි තියෙනවා’

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මෙහිදී අධිකරණයට පෙන්වා දුන්නේ අදාළ පුද්ගලයන් ශ්‍රී ලංකා යුද හමුදා අත්අඩංගුවේ සිටින බව දුටු සාක්ෂි ඇති බවයි. එම සාක්ෂි ලිඛිත ව ගොනුකිරීමට ද පෙත්සම්කාර පාර්ශ්වය කටයුතු කර ඇත.

අධිකරණය සෑහීමකට පත්වෙයි

මෙහිදී මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් සඳහන් කළේ පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති සාක්ෂි පිළිබඳ අධිකරණය සෑහීමට පත්වන බවයි. එම නිසා අදාළ පුද්ගලයන් ඉදිරිපත් කිරීමේ වගවීමක් වගඋත්තරකරුවන්ට ඇති බව ද අධිකරණය අවධාරණය කර ඇත.

ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස්. රත්නවේල් සමග ජී. රනීතා සහ එම්. කේතීශ්වරන් යන නීතිඥවරුන් පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතර, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අබේවික්‍රම වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටියේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...