Home Blog Page 202

නීති පීඨය තුළට එල්ල කළ පොලිස් ප්‍රහාරයට දැඩි විරෝධය : හේතුව හරියට හොයන්න ඕනෙ – පොලිසිය !

පොලිසිය විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය තුළට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත්, ඊට ඇතුළුවීමත් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු දැඩි විරෝධය පළකරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම පීඨයේ මහාචාර්ය වසන්තා සිරිවර්ධන අවධාරණය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව විරෝධය පළකරන බවත්, ඊයේ (07) නීති පීඨය තුළ සිටි සිසුන්ට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරය දැඩි ව හෙළා දකින බවත් ය.

නීතිය උගන්වන ආචාර්යවරුන් ලෙස අදහස් ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමී ව රැස්වීමේ අයිතිය පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන්ට උගන්වමින් සිටියද, ඒවා මේ රටේ බරපතළ ලෙස උල්ලංඝනය වෙමින් පවතින බව ද මහාචාර්යවරිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ ඇතැම් පාර්ශ්ව සඳහන් කරන ආකාරයට විශ්වවිද්‍යාල තුළට ඇතුළු වීමේ තහනමක් නැති බවයි. එහෙත් මෙහිදී සිදු වී ඇත්තේ කුමක්ද සහ ඊට ඇතුළු වීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් තමන් නිවැරදිව දැනුවත් වී නැති බවත්, එම නිසා ඊට යම් කාලයක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.  

කොළඹ නගර සභා ශාලාව අසලින් ආරම්භ කරන ලද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන නතර කිරීමට කොළඹ විශ්වවිද්‍යාලය අසලදී පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලදි. ආරක්ෂක අංශ අතර සිටි නිල ඇඳුම් ඇඳගත් පොලු රැගත් කණ්ඩායමක් විසින් විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේ ඔවුන්ට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වීම නිසා ය.

මෙම ප්‍රහාරයට විරෝධය පළකරමින් අද (08) දහවල් එම ස්ථානයේදී විශ්වවිද්‍යාල සිසුන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

මුදල් අමාත්‍යංශ ලේකම්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීම බොරුවක් ද ? : ජනාධිපති සහ අගමැති පාර්ලිමේන්තුවේ !

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම විසින් අද (07) කැඳවූ සාකච්ඡාවට, ඊට අත්‍යවශ්‍ය ම නිලධාරියෙකු වන මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහභාගි වී නැත.

කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එම සාකච්ඡාවට සහභාගි වීමට නොහැකි වීමේ හේතුව ලෙස අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයා විසින් කැඳවන ලද ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි වීමයි.

කෙසේ වෙතත් ආරක්ෂක මණ්ඩල රැස්වීමක ප්‍රධාන චරිත දෙකක් වන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම රැස්වීම පැවැත්වූ බවට දැනුම් දී ඇති වේලාවේ රැඳීසිටියේ පාර්ලිමේන්තුවේ ය. ආරක්ෂක මණ්ඩල රැස්වීමක ප්‍රධානත්වය දරන මෙම දෙදෙනා නොමැතිව, එවැනි රැස්වීමක් කැඳවුයේ ද යන්න සහ ඊට බාහිර – විශේෂ අවස්ථාවලදී කැඳවන චරිතයක් ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහභාගි වූයේ ද යන්න ගැටළුවකි.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබිණි.

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන දිගින්-දිගටම මෙසේ මැතිවරණය කල්දැමීමට අවශ්‍ය කටයුතු සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති අයෙකි.

අද (07) රැස්වීමට සහභාගි වූ රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ සඳහන් කරන්නේ මුදල් ලබාදීම සම්බන්ධයෙන් නිශ්චිත එකන්ගත්වකට පැමිණිය හැකි නම්, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ හැකි බවයි. මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා නැවත නිරීක්ෂණය කළ යුතු ව ඇති බවත්, ඒ සඳහා පොලිස් ආරක්ෂාව අවශ්‍ය බව තමන් පොලිස්පතිවරයාට දැනුම් දෙන බවට ඇය පවසයි.

ආරක්ෂක මණ්ඩල රැස්වීමක ප්‍රධානත්වය ජනාධිපතිවරයා විසින් දරනු ලබන අතර, අගමැති, ආරක්ෂක ඇමති, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ජාතික බුද්ධි අධ්‍යක්ෂ එහි සාමාජිකයෝ වෙති. මීට අමතරව විශේෂ තත්ත්වයන් යටතේ රජයේ ඉහළ නිලධාරීන් මෙම රැස්වීමට කැඳවනු ලබයි.

ආණ්ඩුවක් ලෙස අපි ජනතාවගෙන් සමාව ඉල්ලනවා : ජුනි මැද බලමු – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවල ප්‍රගතිය පැහැදිලි කරමින් අද (07) පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද​ විශේෂ ප්‍රකාශය :

ඛේදනීය තත්ත්වයක්

‘ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සාධනීය විසදුමක් ලෙස IMF ආයතනයේ සහාය ලබා ගැනීමට 2022 මාර්තු මස මැද භාගයේ දී රජය තීරණය කරනු ලැබුවා. පැවැති විදේශ විනිමය අර්බුදය ඉන් අනතුරුව උග්‍රවෙත්ම 2022 අප්‍රේල් මස මැදි භාගයේ දී විදේශ ණය ගෙවීමේ හැකියාවක් නොමැති බැව් ප්‍රකාශ කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව බංකොලොත් ආර්ථිකයක් ලෙස එතැන් පටන් ක්‍රියාත්මක වුණා. එහි අයහපත් ප්‍රතිඵල ඔබ සැම මේ රටේ අත්වින්දා. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, විදුලිය කප්පාදුව, ආහාර හිඟය, ඖෂධ සපයා ගැනීමේ දුෂ්කරතා, උද්ධමනය, රුපියල කඩා වැටීම, දිළිඳුභාවය වැඩිවීම ආදී ගැටලු රාශියක් 2022 මැද භාගය වන විට මේ රට අත්වින්දා. නූතන ඉතිහාසයේ මෙවැනි ඛේදනීය තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොතිබූ බව සෑම කෙනෙක්ම පිළිගන්නා සත්‍යයක්.

නිරවුල් වීමේ උපනතියක්

2022 ජූනි මාසය පමණ සිට පැවැති ආර්ථික ගැටලු ක්‍රම ක්‍රමයෙන් යම් පමණකට නිරවුල් වීමේ උපනතියක් පෙන්නුම් කරනු ලැබුවා. පොහොර ලබා දීම මත, පසුගිය යල සහ මහ කන්නයෙත් හොඳ අස්වැන්නක් අපට ලැබුණා. කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය ද යථා තත්ත්වයට පත් වුණා.

රටේ පැවැති ආර්ථික ගැටලු ක්‍රම ක්‍රමයෙන් විසඳීම පිණිස ස්ථායීකරණ වැඩපිළිවෙළකට අවතීර්ණ වුණා. රජය විසින් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඉන් සමහරක් මෙම ගරු සභාවට මතක් කිරීමට කැමැතියි.

ගෑස් හා ඛනිජ තෙල් සුලභතාවය තහවුරු කිරීම, පාසල් හා විභාග නිසි ලෙස පවත්වාගෙන යාම, අඛණ්ඩව විදුලිය සැපයුම ලබා දීමට කටයුතු කිරීම, පොහොර ලබාදීම, සමෘද්ධිලාභීන්ට අතිරේක වශයෙන් අරමුදල් ලබා දීම. එමෙන්ම, රජයට සිදු වුණා. 2019 කාලයේ ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය වෙතම යාමට. 2019 අගදී ක්‍රියාත්මක වූ හදිසි බඳු කපා හැරීමෙන් පසු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදියෙන් 8%ක තරම් ප්‍රමාණයකට පහත වැටුණා. එය යථා තත්ත්වයට පත් කර ගැනීමට අපට නව බදු ප්‍රතිපත්තිවලට යාමට සිදු වුණා.

ආර්ථික වෙනස්කම්

ඒ වාගේම, මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති යටතේ පොළී අනුපාත ඉහළ දැමීමට සිදුවුණා. දිගින් දිගටම ඉහළ ගිය උද්ධමනය පාලනය කිරීමට අප සතු වූ සාධනීය පියවරක් වුණේ පොලි අනුපාත ඉහළ දැමීමයි. පසුගිය වසරේ සැප්තැම්බර් මස වන විට සාමාන්‍ය උද්ධමනය 70% දක්වා ඉහළ ගියා. ආහාර උද්ධමනය 90% පසු කළා. නමුත් දැන් උද්ධමනය වැඩිවන වේගය 50% දක්වා අඩු වී තිබෙනවා. එසේම, ආහාර උද්ධමනය ද 54% දක්වා අඩු වී තිබෙනවා. ඒ වාගේම, විදේශ විනිමය හිඟතාවය නිසා විනිමය නීති තද කිරීමටත් ආනයනය සීමා කිරීමටත් සිදු වුණා.

වුණේ කුමක්ද ?

අපට විදේශ ණය ගෙවීමට නොහැකි බැව් ප්‍රකාශ වූ වහාම විදේශ රටවල් හා මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවත් සමඟ සිදු කරන මුල්‍ය ගනුදෙනු සීමා කරනු ලැබුවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව පවා අලුතින් අරමුදල් සැපයීම නතර කළා. විදේශ ආධාර මත ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සියල්ලම පාහේ නතර කිරීමට සිදු වුණා. ණයවර ලිපියක්වත් විවෘත කර ගැනීමට බැරි වුණා. ණය ශ්‍රේණිගත කරන ආයතන ශ්‍රී ලංකාවට ණය ලබා නොදිය යුතුයි යන ශ්‍රේණිය දක්වා අප රට පහතට ඇද දැමුවා.

මේ තත්ත්වය තුළ අපට විදේශ විනිමය ලැබුණේ ;

• අපනයන

• විදේශ රැකියා නියුක්තිකයන්ගේ සංක්‍රාම

• සංචාරක ව්‍යාපාරය ආදියෙන්

හිස ඔසවන ලකුණු

රටේ හා සමාජයේ පැවැති අහිතකර තත්ත්වය නිසා සංචාරක ව්‍යාපාරය 2022 වර්ෂය පුරාවටම සාර්ථක වුණේ නැහැ. නමුත් මෙම වසරේ එම තත්ත්වයෙන් හිස ඔසවන ලකුණු පෙනෙන්නට තිබෙනවා. සාමාන්‍ය තත්ත්වය යටතේ පැවැති මට්ටමෙන් 1/3 මට්ටමකට විදේශ විනිමය ප්‍රේෂණ අඩු වුණා. එය ද යළි වැඩිවීමේ උපනතියක් පෙන්නුම් කරනවා. අපනයන ආදායම ද වැඩි කර ගැනීමට උපකාර වන යෙදවුම් ආනයනය කිරීමට අපට දැනටත් අවශ්‍ය තරම් විදේශ විනිමය නැහැ.

IMF සංවිධානය 2021 සිට අප රටේ ආර්ථිකයේ පවත්නා අර්බුදකාරීත්වය විශේෂයෙන් විදේශ විනිමය අර්බුදය ගැන නිරතුරුව අනතුරු ඇඟවීම් කළා. IMF සංවිධානය සමඟ 2022 මැද භාගයේ දී පමණ සිට දිගින් දිගටම සාකච්ඡා කළා.

එම දූත කණ්ඩායම් වරින්වර ශ්‍රී ලංකාවට පැමිණ ගෙවුම් ශේෂ අර්බුදය, රාජ්‍ය මූල්‍ය අර්බුදය මෙන්ම විදේශ විනිමය අර්බුදය පිළිබඳ අප සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එමෙන්ම, දිගින් දිගටම දශක ගණනාවක් තිස්සේ කල්මරමින් ප්‍රමාද කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තවදුරටත් කල් දැමීමට ඉඩක් නොමැති බව IMF ආයතනය පෙන්වා දුන්නා.

2022 සැප්තැම්බර්

2022 සැප්තැම්බර් මස 01 වන විට අප IMF ආයතනය සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණියා. එසේ වුවත්, IMF ආයතනය කියා සිටියා රටේ ණය තිරසරභාවය අත්කර ගන්නා තුරු එම එකඟතාවය IMF අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ නොහැකි බව. එබැවින්, ණය තිරසරභාවය තහවුරු කර ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ ණයකරුවන් සමඟ රජය දිගින් දිගටම සාකච්ඡා කළා. මේ සඳහා Lasads සහ Clifford Chance නම් ජාත්‍යන්තර විශේෂඥ ආයතනවල සහාය ද ලබා ගත්තා. එය දීර්ග හා සංකීර්ණ සාකච්ඡාවක්. ඒ අනුව, ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පැරිස් සමාජය හා පැරිස් සමාජයට අයත් නොවන ඉන්දියාව හා චීනය සමඟ දිගින් දිගමට මූල්‍යකරණ සහතික ලබා ගැනීමට සාකච්ඡා කරනු ලැබුවා. ඉන්දියාව එම සහතිකය 2023 ජනවාරි 16 ලබා දුන්නා. චීනය එය ජනවාරි 18 දින ලබා දුන්නා. පැරිස් සමාජය ඔවුන්ගේ 2023.01.25 පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකාවට මූල්‍යකරණ සහතිකය ලබා දීමට එකඟ වුණා. ඉන් අනතුරුව මා IMF ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සමඟ IMF ණය ආධාර වැඩසටහන ගැන මාර්තු 02 දින සාකච්ඡා කළා.ඊයේ සවස එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් සමඟත් සාකච්ඡා කළා.

අපේ වැඩේ අපි කළා

IMF ආයතනය සමඟ සිදු කරන ලද සාකච්ඡාවලදී එහි එකඟතාවය ලබා ගැනීම පිණිස පූර්වගාමීව සිදු කළ යුතු කාර්ය රැසක් ඉටු කිරීමට සිදු වුණා. විදුලි මිල ගණන් සංශෝධනය, ඛණිජ තෙල් මිල ගණන් සංශෝධනය, මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, උද්ධමනය පාලනය කිරීමට පොළී අනුපාත ඉහළ දැමීම, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, සමාජ ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කටයුතු කිරීම, රාජ්‍ය වියදම් පාලනය කිරීම. ඛනිජ තෙල් හා විදුලිබල ක්ෂේත්‍රයන්හි තරඟකාරීත්වය පුළුල් කිරීම ආදී කාර්යයන් රැසක් පූර්වයෙන් කළ යුතු වුණා. ශ්‍රී ලංකාව පූර්වගාමීව සිදු කළ යුතු එම කාර්යයන් මේ වන විට නිම කොට ඇත.

සමාව ඉල්ලනවා

එසේම මේ රටේ ජනතාවට විඳීමට සිදු වූ අපහසුතා මම දන්නවා. ඒ පිළිබඳ ආණ්ඩුවක් ලෙස අපි සමාව ඉල්ලනවා. අපිට ඊයේ රාත්‍රියේ චීනයේ එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය ලැබුණා. ඒ අනුව එදිනම රාත්‍රියේ මමත්, මහබැංකුවේ අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් තබා IMF සංවිධානයට යොමු කළා. දැන් අපේ යුතුකම් ඉටු කර අවසන්. මේ මාසය අවසන් වීමට පෙර, හතරවන සතිය වන විට IMF සංවිධානය සිය යුතුකම ඉටුකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපට ලෝක බැංකුවෙන් සහ ADB වෙතින් පළමු මුදල් වටය ලැබෙනවා.

IMF ආයතනය සමඟ මෙයට පෙර අවස්ථා 16ක දී කටයුතු කළ ආකාරයට නොව මේ අවස්ථාවේ දී එකඟතාවය ලබා ගන්නා සෑම කාර්යක්ම මෙවර නොපිරිහෙලා ඉටු කළයුතු වෙනවා. එසේ නොවී නම් IMF ආයතනය ශ්‍රී ලංකාව සමඟ කටයුතු සිදු කරන්නේ නැහැ. ඒ තත්වය යටතේ බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය මූල්‍ය ආයතන අප සමඟ කටයුතු කිරීමට ඉඩ කඩක් ඇති වන්නේ නැහැ. ඒ අනුව, විදේශ ආර්ථික කටයුතු බොහෝ දුරට අඩාල වෙනු ඇත. අප එක් කරුණක් අවධාරණය කළ යුතුය.

දැනට අප විදේශ ණය ගෙවන්නේ නැහැ. (බහුපාර්ශ්වීය මූල්‍ය ආයතනවලට පමණක් ණය ගෙවීම කෙරෙනවා) IMF ආයතනය සමඟ පවතින එකඟතාවය කඩා දැමුවහොත් විදේශ රටවලින් හා පුද්ගලික බැංකුවලින් (SB) ලබා ගත් ණය ගෙවීමට සිදු වෙනවා. දළ වශයෙන් 2029 දක්වා වාර්ෂිකව විදේශ ණය බිලියන 6-7 ක් ගෙවීමට තිබෙනවා.

ණය ?

අපට මේ ණය ගෙවීමට විදේශ විනිමය නැහැ. එම නිසා අපට IMF ආයතනය මැදිහත් වී විදේශ ණයකරුවන් සමඟ එකඟ වූ ණය තිරසරභාවය පිළිබඳ කථිකාව දිගින් දිගටම ගෙන යා යුතුය. එයට විකල්ප මාවතක් වර්තමානයේ දක්නට නැත. එබැවින් IMF ආයතනය සහ අප සිදු කරන මෙම එකඟතා අපගේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට පවත්නා විශේෂ වැදගත්කමක් සහිත එකඟතාවක් බැව් මතක් කර දීමට කැමැතියි.
අප අතිශය අසීරු ආර්ථීක පියවර රාශියක් ගෙන ආර්ථික ස්ථායීරණය කිරීමට කටයුතු කළා. ආර්ථික වර්ධනය තහවුරු කර ගැනීමට දැන් කටයුතු කරමින් සිටිනවා. සමාජයේ සෑම දෙනකුටම මෙමඟින් ඇති වන පීඩා දිගටම පවතිනවා. මෙවැනි දුෂ්කර හා සංකීර්ණ තත්ත්වයක් මැද අප පසුගිය මාස 7 – 8 ගත කර යම් සාධනීය තත්ත්වයකට රැගෙනවිත් තිබෙනවා. මෙයින් ඉදිරියට යන්නට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි. මේ බැව් රටේ සෑම දෙනාම අවබෝධ කරගත යුතුයි. විවිධ බලපෑම් කණ්ඩායම්, දේශපාලන පක්ෂ, ස්වේච්ඡා කණ්ඩායම්, වෘත්තීය සමිති ආදිය මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි.

කෙටි කලක්

බදු බර වැඩි බව වෘත්තිකයන් කියා සිටිනවා. එසේ වුවත් කෙටි කලක් මෙම තත්ත්වය පවත්වා ගෙන යා යුතුයි. එසේ නැතිව මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කළහොත් දැනට 2022 පෙබරවාරි මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු විය හැකියි . එවකට බොහෝ අය කල්පනා කළා වැටුප් නැති වෙයි, විශ්‍රාම වැටුප නැති වෙයි, රැකියා නැතිවෙයි, කර්මාන්ත වැසී යාවි, පාසැල් හැමදාම වැසිලා තියේවී ආදී වශයෙන්. ඒවා යම් තරමකට අප පාලනය කරගෙන තිබෙනවා. නමුත්, සමාජයේ බලපෑම් කළ හැකි කණ්ඩායම් අප යෝජනා කර ඇති වැඩපිළිවෙල විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩා කප්පල් කළහොත් එයින් මතු වන සමාජ විකල්පය අතිශය භයානක වේවි. මෙතෙක් අප සමාජයේ නොදුටු දුක්බර කාලයක් එයින් මතුවේවි.

අයිතීන් පිළිගන්නවා

ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම සාමකාමීව ඒ වැඩකටයුතු කරන්න. රැස්වීම් පැවැත්වීම, උද්ඝෝෂණ පැවැත්වීම ගැටලුවක් නොවෙයි. නමුත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවා නම් ඒ පිළිබඳව මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව මම කියන්න කැමතියි.

මම එකක් කිව යුතුයි, දැන් ඩොලර් මිල පහත බසිනවා. ජූලි 09 දා මේ රට කඩාවැටුණා නම් අද මේ තත්ත්වය තිබෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ කාගෙවත් සහයෝගයක් තිබුණේ නැහැ. ඒ ගැන ක්‍රියා කළ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට මම මේ අවස්ථාවේ ස්තූතිය පළ කර සිටිනවා. ඔවුන් ගත් ඒ පියවර නිසා අද අපට ඉන්ධන තිබෙනවා, විදුලි බලය තිබෙනවා. ඒ වගේම වැඩිකල් යන්නට පෙර ඩොලර් තිබෙනවා. ඒ නිසා ඒ බලවේගවලට මේවා බිඳ දමන්න අප ඉඩ තබන්නේ නැහැ.

එකතුවෙන්න

මම මේ විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ ආර්ථිකය ගොඩගැනීමේ ගමන යාමට අපිත් සමඟ එකතුවන්න කියා. මෙය ඉටුකරගත් පසු ජනාධිපතිවරණය ද , මහඡන්දය ද කවුද අවශ්‍ය කියලා අපිට ඊළඟ ඡන්දයේදී තීරණය කළ හැකියි. එය මේ රට තීරණය කරයි. ඒ වන තුරු ඔබ සූදානම් ද, නැද්ද කියලයි මම අහන්නේ. ඔබට පුළුවන් මෙය පිළිගැනීමට, ඒ වගේම ඔබට පුළුවන් මෙය ප්‍රතික්ෂේප කිරීමට.

ජුනි මැද

විශේෂයෙන්ම ජුනි මාසයේ මැද වන විට රටේ ආදායම් තත්ත්වය සලකා බැලිය යුතුයි. එතැන සිට තමයි තීරණ ගත හැකි වන්නේ. විශේෂයෙන්ම IMF සංවිධානයේ එකඟතාව ලැබීමෙන් පසු මම එම ගිවිසුම සභාගත කර, යෝජනාවක් ගෙන එනවා, මේ සභාවට එය පිළිගන්න කියලා. ඒක තමන් තීරණය කරන්න, නැත්නම් වෙන විකල්පයක් අපට ලබා දෙන්න.

ඉන් අනතුරුව අපි නව කෙටුම්පතක් ගෙන එනවා ඉදිරි මාර්ගය සහ වැඩසටහන් පිළිබඳව. එය ජාතික සභාවටත් ලබා දෙන්නම්. පාර්ලිමේන්තුව සාකච්ඡා කර, ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි පසු දීර්ඝකාලීන හා මධ්‍ය කාලීන සැලැස්මක් ඉදිරිපත් කරන්නම්. දැනට පාර්ලිමේන්තුවේ ජාතික සභා කමිටුවලින් වාර්තා ගණනාවක් ලැබී තිබෙනවා. මම ඒ ගැන ස්තූතිවන්ත වෙනවා. එහෙත් අපට මාස 08 ක් වැනි කෙටි කාලයක් තුළදී මේ වැඩකටයුත්ත ඉටු කිරීමට හැකි වුණා. එයින් අපි ප්‍රයෝජන ගෙන ඉදිරියට යමු කියලා මම ප්‍රකාශ කරනවා.’

දැල් පන්දු යොවුන් සංචිතයේ පුහුණුවීම් අරඹයි : තෝරා ගැනීම් අප්‍රේල් මුලදී

එළැඹෙන ජුනි මාසයේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් දැල් පන්දු ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ පුහුණුවීම් අද (07) ආරම්භ වීමට නියමිතව ඇත.

සංචිතය ක්‍රීඩිකාවන් 18 දෙනකුගෙන් සමන්විත වන අතර ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහ අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඉන් තෝරා ගැනෙනු ඇත.

එම තෝරා ගැනීම අප්‍රේල් මාසයේ මුල් සතිය තුලදී සිදුකිරීමට නියමිතය.

ආසියා යොවුන් නෙට්බෝල් ශූරතාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා ක්‍රීඩිකාවන් 35 දෙනකුගෙන් සමන්විත සංචිතයක් ගොඩනඟා තිබූ අතර, අවසන් ක්‍රීඩිකාවන් 18 අතරට එක් නොවූ ක්‍රීඩිකාවන් ජාතික සංවර්ධන සංචිතයට ඇතුළත් කිරීමට නියමිත ඇතැයි පැවසේ.

දමයන්ති ජයතිලකගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා නෙට්බෝල් තේරීම් කමිටුව විසින් තෝරා ගත් යොවුන් නෙට්බෝල් සංචිතයට හිරුණි හේෂානි, නෙත්මි පෙරේරා, නෙතංගා ගුණරත්න, ජිනාලි බාලසූරිය, මිනාගි කංකානම්ගේ, නෙත්මිණි විජේනායක, තරුෂි පෙරේරා, සරසි ගුණසිංහ, චලනි නිෂා, ඩිශාරා උමයංගනී, දෙව්මි බමුණුආරච්චි, උදාරී ගුරුගේ, ඩිල්මි විජේනායක, ඉදූෂා පෙරේරා, සජිනි රත්නායක, එස්.ටී.පතිරණගේ, ජී.ටී.එම්.වසන්තප්‍රිය සහ යූ.ජී.බී.එස්.එන්.උඩගෙදර ඇතුළත් වෙති.

අන්තරේට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කොටුව පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව එම උද්ඝෝෂණයට එක්වන පුද්ගලයින්ට අද පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීමෙන් වළකින ලෙස අදාළ නියෝගයේ සඳහන් ය.

එමෙන්ම කොටුව, කොම්පඥ්ඥවීදිය සහ තවත් නම් කරන ලද කොළඹ මාර්ග රැසක් අවහිර කිරීමෙන් වළකින ලෙසද අධිකරණය නියෝගයේ සඳහන්ව ඇත.

එම නියෝගය 16 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් සහ උද්ඝෝෂණයට සහභාගි වන තැනැත්තන්ට අදාළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්ව වේ.

ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල සිසුන් උද්ඝෝෂණය සංවිධානය කර ඇති අතර ඊට දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද කොළඹට පැමිණීමට නියමිතය.

“ප්‍රභාත් ජයසිංහ පාඨකයාගේ නිල අල්ලන්න දන්නවා. හරියට නිවැරදි ම නිලය අල්ලන වෙදෙක් වගේ”

0

දිය සීරාවක් ගලන, නිස්සද්ද වටපිටාවකට දියබින්දු වැටෙන හඬ විතරක් ඇහෙන, බිත්තියෙ තැනක දෙතැනක සෙවල බැඳෙමින් තියෙන, ඔලුව නමාගෙන ඇතුලුවෙන්න තියෙන කුඩා උලුවස්සක් තියෙන, පෙතිකඩ චිත්‍ර ඇඳපු සීලිමක් ඉහට ඉහළිනුත් අවර්ණවෙමින් තියෙන චාම් බුදු පිළිමයකුත් තියෙන, මුල් බුදුදහමෙ ලකුණු ඇතිය කියල හිතෙන, අපේ හඬ ම දෝංකාර වන, අඳුරු ගුලාවක් අතරින් ඉස්සර සිත්තරු ඇඳපු විහාර චිත්‍රවල වර්ණ පෙනෙන, පරණ ලෙන් විහාරයක ඉද්දි දැනෙන ගූඪ හැඟීමත් බයංකර බවත් දැනෙන කතාවක්, ප්‍රභාත් ජයසිංහගේ ‘දඹ රන් සහ පස් ලෝ’. මේ, ‘පස් ලෝ’ කතා සංග්‍රහයේ මම වඩාත් ප්‍රියකරන කතාව. රෑකට හරි හැන්දෑවකට හරි මේ කතාව කියෙව්වොත් මේ පරිසරය වඩාත් තීව්‍රව දැනේවි.

ප්‍රභාත් ජයසිංහ අපේ නිල අල්ලන්න දන්නවා. ඒ කිව්වෙ, සම්ප්‍රදායත් එක්ක බැඳුණු ඇතැම් විචිත්‍ර දෑ ඔහු කතා පරිසරයට තේමා කරගන්නෙ නිවැරදි ම නිලය අල්ලන වෙදෙක් වගේ. රිද්දල හරි සුවකරන්න දන්නවා. කොටින්ම ප්‍රාකෘත මිනිසාගේ භාව පද්ධති ගැන දන්න කතාකරුවා, කතාව ඇතුළට යන්න යන්න ඩැහි අඬුවෙන් අල්ලගත්තා වගෙ කියවන්නාව අල්ලගන්නවා. ඔහුගේ කෙටිකතා සංග්‍රහ කිහිපයේදි ම මේ ලකුණ දැකගන්න පුලුවන්.

අනෙක් කරුණ නම්, කෙටිකතාව ඔහේ දමල ගහන්න හෝ ඉක්මනට ලියල ඉවර කරන්න හෝ කතා ලියන්නෙ නෑ. කතාව පරිසමාප්ත කතාවක් කරන්න, යම් කාලයක් ගන්නවා. ඒ වටා රැඳී සිටිනවා. පළමු වැකියෙ ඉදන් අන්තිම වැකිය වෙනකම්, සියල්ල ඔහු හොඳින් සැලසුම් කරන බවකුයි පෙනෙන්නේ. ඒනිසා මේ කෙටිකතාව කියෙව්වම, ‘බඩ පිරෙනවා’. ඒ කතාවෙ අඩුව පුරවන්න තව කතාවක් කියැවිව යුතුයි කියල හිතෙන්නෙ නෑ. කියෙව්වෙ අපරාදෙ, පොත ගත්තෙ අපරාදෙ වගේ හැඟීමක් එන්නෙ නෑ.

කෙටිකතාවෙ ශිල්පීය ලකුණු ඔබ්බවා ඇතැයි කියල පාඨකයට අහු නොවෙන තරම් සූක්ෂම ලිවීමක් කරන්න ඔහුට හැකි බව, මීට පෙර පළ කළ කෙටිකතා එකතුවලිනුත් ඔහු ස්පුඨ කළා. එක සිදුවීමක් අනෙක හා බද්ධ කරන්න සුපර් ග්ලූ යොදාගන්නෙ නැහැ. සිදුවීම්වල උච්චතම අවස්ථාවලින් කතාව අඹරවන්න දන්න නිසා කුතුහලයට සාධාරණයක් සිදුවෙනවා.

අනෙක, මේ කතාව ඉතා ම රසවත්. කියවගෙන යන්න හිතෙනවා. ක්‍රිකට් මැච් එකකදි මැදින් ඇඩ් කොටස් නෑ. කවියේ දී ‘දීපක’ යනුවෙන් කවිය ම ආලෝකමත් කරන, පදයක්, වැකියක් අපට හමුවනවා වගේ, මේ කෙටිකතාවේත් දීපක ගුණය සහිත වැකි, වචන හමුවෙනවා. ඒතැන් වලදි සීනි කැටයක් වටා කූඹි දඟලනවා වගේ, වචනෙ වටා ටැග් ගැහි ගැහි හිටියට පාඩු නෑ.

‘ඒත් මේ පිළිම වහන්සේ නැති වුණාම මට මොකක් හරි මකාදාන්න බැරි අඩුවක් දැනුණ. ඒක නිකං හරියට පන්සලේ තේරුම හොරු අරන් ගියා වගෙ දෙයක්’

‘මට හිතෙනවා චිත්‍රවල තියෙන සාමෙ ලයිට් දැම්මම කඩවෙලා යනව කියල’

‘ධර්මය එහෙම සවලකින්, වීල් බැරෝවකට පුරෝනව වගේ කාටහරි බෙදන්න බෑ මහත්‍තයො’

‘දේදුණු කැලුම් එක්ක දිය ඇල්ලක් ළඟ ඉන්න චිත්‍රය දැක්කම පොඩි හාමුදුරුවන්ට හිතුණ දිය ඇල්ල පාමුලට ගිහුන් උඩට ගල් පතුරක් ගහන්න දිය ඇල්ල දිගේ හත් අටපාරක් හැප්පි හැප්පි උඩට යන්න’

‘ඒ වෙනකොටත් තමන් කරපු වැඩේ වැරදියි කියන එක උන්වහන්සේගෙ හිත පුරා වමනෙ කරන්න පටන් අරන් තිබුණා’

‘දඹ රන් සහ පස් ලෝ’ කෙටිකතාව කියවද්දි, කතුවරයා ම ලියූ ‘ස්වර්ණ කාය’ සිහිවෙනවා. පරණ පන්සලක වෙන සොරකමක් ඇසුරින් ලියැවුණු මේ කතාවේ, ලොකු හාමුදුරුවො පාඨකයට අමතන්නෙ සිතැඟි කියනවා වගේ. දෙබස්, දෙබස් ලෙසින් ම නැතිව කතාවටම බද්ධ කරලා ගොතන ලකුණු මෙහි දකින්න පුලුවන්. කෞතුකාගාරවල තියෙන ඇතැම් පිළිම එතනට ආවෙ කොහොමද කියල සාධාරණ සැක හිතෙන කතාවක්.

අඬමින් වැලි අහුර අරන් කන ධම්ම්කිත්ති හිමි මට මතක් කළේ, වැලි උඩ දාල අවවාද පතපු රාහුල හිමිටත් වඩා, ‘උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්’ කියපු අන්දරේව. දේදුනු කැලුම් එක්ක ඉන්න චිත්‍රෙ තමන්ට ලැබුණම මොනා කරන්නද කියල හිත හිත ඉඳලා ඇඳ මෙට්ටෙ යටින් හංගපු එක හරියට, නන්දා පියල්ගෙ ලියුම් ටික අයින් කරන්නත් බැරුව පුච්චන්නත් බැරුව “අල්මාරියට විසික් කළා” යි කීවා වගේ. කෙටිකතා ලියන අය, ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය, ලියල කාලයක් තිස්සෙ සකසමින් ඉන්න අය කියවන්න ඕනෙ කතා මේ.

ප්‍රභාත් ජයසිංහගේ ‘දේවකන්‍යා’ කෙටිකතා එකතුව කියවන්න දුන්නෙ චින්තක සර්. එතැන ඉඳන් අනෙක් කතා සංග්‍රහ ටිකත් එකතුකරගත්තා. ‘මකර තොරණ’ත් ‘ස්වර්ණ කාය’ත් සංධිස්ථාන බවට පත් වුණා. ‘රස පොළොව’ කියවලා රිද්දවගත්තා. මේ ‘පස් ලෝ’ කතාව කියවලා ආයෙ ම ලෙන් විහාරෙකට යන්න ආසාවක් ඇතිවුණා. ප්‍රභාත් ජයසිංහ මගේ සීයා කෙනෙක් වෙනවා නම් කියල හිතුණා. රෑ නිදියන්න කලින්, ආදි කාලෙ ඉඳන් එන ජනකතාවක් සීයා පණ පිහිටුවල කියාදෙනවා වගේ මට දැනුණෙ.

ඩිල්ශානි චතුරුකා දාබරේ

මහා පොත් නගරය ඉන්දියාවේ college street

0

යුනෙස්කෝව 1995 වසරේ සිට අප්‍රේල් 23 වැනි දින ලෝක පොත් දිනය සැමරීමට පටන් ගත්තේය. කියවීම සහ ප්‍රකාශනය ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ දිනයක් සලකුණු කල එය . ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි නාට්‍ය රචක විලියම් ෂේක්ස්පියර්ගේ මරණ සංවත්සරය දිනය පොත් සැමරීමේ දිනය ලෙස සනිටුහන් කරන ලදී.

ලෝකයේ දෙවැනියට විශාලතම පොත් නගරය අප අසල්වැසියාගේ නගරයකි. ඉන්දියාවේ කල්කටා යනු එහි සංස්කෘතික නගරයයි. ලොව දෙවැනි විශාලතම පොත් නගරය පිහිටා ඇත්තේ එහි විද්‍යාල මාවතේය නමට අනුව, කොලේජ් වීදිය කොල්කටා හි බොහෝ අධ්‍යයන ආයතන වලින් පෙලගැසී ඇත: කල්කටා විශ්ව විද්‍යාලය, සංස්කෘත විද්‍යාලය, ජනාධිපති පාසල, කොල්කටාවේ වෛද්‍ය විද්‍යාලය, වැනි ආයතන. පිරිවරා , මහත්මා ගාන්ධි පාර සහ බවුබසාර් හරස් මාර්ගය අතර මෙම කලාපය නගරයේ බුද්ධිමතුන් සඳහා සැබෑ තෝතැන්නක් බවට පත්ව ඇත.

සුප්‍රසිද්ධ විද්‍යාල වීදි වෙළඳපොල, නගර මධ්‍යයේම පිහිටි ලෝකයේ සියලුම පොත් ඇති වෙළඳපොලකි. යමෙක් මුළු වෙළඳපොලම සෙවූවද එහි තමා සොයන පොත සොයා නොගත්තේ නම්, ලෝකයේ කොතැනකවත් පොත නොපවතිනු ඇතැයි බොහෝ විට කියනු ලැබේ. එය ලෝකයේ විශාලතම දෙවන අත් පොත් වෙළඳපොල වන අතර ඉන්දියාවේ විශාලතම පොත් වෙළඳපොලද වන්නේය පොත් මිලදී ගැනීමට දැඩි ලෙස යාමෙන්. එය කුෂ්වන්ත් සිංගේ ප්‍රියතම තෝතැන්න විය.
වර්ග අඩි මිලියනයකට ආසන්න ප්‍රදේශයක් සහිත කොලේජ් වීදිය . සැතපුමක් දිග විශාල හා කුඩා පොත් සාප්පු සිය ගණනකින් සමන්විත වන අතර ඉන්දියාවේ විශාලතම ප්‍රකාශන ආයතනවල නිවහන ද වේ. සමහර පොත් සාප්පු උණ බම්බු, කැන්වස් හෝ ලෝහ තහඩු වලින් සාදන ලද කුඩා තාවකාලික කුටි දක්වා විහිදේ.

රවීන්ද්‍රනාත් තාගෝර් සහ සත්‍යජිත් රායි වැනි ප්‍රකට ඉන්දියානු ලේඛකයින් ගැන ඇත්ත මෙන්ම පච කෙළිමටද සතිපතා ඕපාදූප සඳහා ද නතර වී කතා කලහැකි , කොලේජ් වීදියේ සාහිත්‍ය ප්‍රධානතම අංගයක් වන්නේ සුප්‍රසිද්ධ ඉන්දියානු කෝපි හවුස් ය.

පැරණි පොත් කියවා නැවත විකුණනු ලබන පොත් මෙන්ම උණු උනු මුද්‍රණද මෙහි එක පෙලට තබා ඇත. මෙම පොත් නගරයේ විශේෂය වන්නේ පාරිභෝගියාට තමාට අතේ ඇති මුදලට කේවල් කිරීමේ හැකියාවයි ‘ දෙනව නම් දෙන්න ‘ කොටින්ම අලුත් එකක මිලට පරණ පොත් පහක් ඔබට මෙතැනින් පහසුවෙන් මිලදී ගත හැකියි. , ඉවසීම, හා කේවල් කිරීමේ කුසලතා වලින් ඔබ සන්නද්ධ නම් ඔබට මෙතැනින් රුපියල් 100කට ලබාගත හැකි සමහර පොත් වෙනත් තැනකින් රුපියල් 2000කට වඩා වැඩි විය හැක.

මෙහි සමහර පොත් වෙළෙන්දන් . ඔවුන් පාසැල සමත් නොවූවත්, ඔබට ඉංග්‍රීසි සාහිත්‍ය විශාරදයෙකුට කතා කරනවාක් මෙන් ඉංග්‍රීසි භාෂාවෙන් කතාකරනු ඇත. මෙම පදික වේදිකාව තවමත් විශාල පාරිභෝගිකයන් පිරිසක් සිටින ප්‍රධාන හේතුවක් වන්නේ පොත්වල දුර්ලභ එකතුවයි. වෝල්ට් විට්මන්, ඇන්ටන් චෙකොව් සහ සමර්සෙට් මෝම්ගේ පැරණි කෙටිකතා එකතුවක් ඔබට සොයාගත හැකිය. මෙහි විකුණුම්කරුවන් විශේෂිත පොත් කිහිපයක් ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් නොපැකිල ඔවුන් ඔබේ ඉල්ලීම පවා ඉටු කරනු ඇත. හෙන්රි මිලර් සහ ඇලන් ගින්ස්බර්ග් විසින් පළමු සංස්කරණවල අත්සන් කළ පිටපත් ගැන සිතන්න! ඒවා පවා මෙහි තිබේ. හූග්ලි සහ බික්‍රම්පූර් ඉතිහාසය පිළිබඳ දුර්ලභ පොතක් පවා ඔවුන් සතුව ඇත. හොඳ ප්‍රමාණයේ බෑගයක් සහ නෝට්ටු පිරවූ සාක්කුවක් රැගෙන එහි යන්න (ඔවුන් පිළිගන්නේ මුදල් පමණි)

උපාලි ජයසිංහ

මුරකාමි හය වසකට පසු නවකතාව සමග ආපසු එයි…

0

හරුකි මුරකාමි සිය අලුත්ම නවකතාව සමඟින් ලබන මාසයේ නැවතත් පාඨකයා හමුවට පැමිණීමට නියමිත ය.
ඔහුගේ නවකතාමය පුනරාගමනය සිදුවන්නේ සය වසරකට පසුව ය. 2017 Killing Commendatore එළිදුටු පසු මුරකාමී අතින් ලියැවුණු පළමු නවකතාව මෙයයි.

ලබන අප්‍රේල් 13 වැනිදා මේ කෘතිය ජපානයේ දී මුද්‍රිත හා ඩිජිටල් යන මාධ්‍ය දෙකෙන්ම එළිදකිනු ඇත්තේ ජපන් භාෂාවෙන් පමණි.

එහි ඉංග්‍රීසි පරිවර්තනය සිදුවන්නේ කවදාදැයි තවමත් හරියටම දැනගන්නට නැත.
ලොව පුරා සුවිසල් පාඨක සමාජයක් හිමි මුරකාමිගේ මේ අලුත් නවකතාව ගැන දැනට දැනගන්නට ඇති කරුණු පහත පරිදි ය.

1 ජපන් බසින් එන මුල් කෘතිය පිටු 1200කින් පමණ සමන්විත ය.

  1. නවකතාව නම්කර ඇත්තේ The City and Its Uncertain Walls නමිනි.

3 එය “ආත්මය කලම්බාලන, 100% පිරිසිදු මුරකාමි ලෝකයක්” තුළ ස්ථාපිතකර ඇති අතර “කාලයක් තිස්සේ තීන්දු වී තිබූ කතාවක්” එහි ඇතුළත් වෙතැයි පැවස‍ේ.

  1. එයට ඇත්තේ මුරකාමිගේ 1980 එළිදුටු කෙටිකතාවක නමම ය. එම කෙටිකතාව කිසිදා පොතක් ලෙස එළිනොදුටු, සාහිත්‍ය සරාවක පමණක් පළවූවක් වන අතර, ඒ කතාව සහ මේ කතාව අතර ඇති සම්බන්ධය කුමක්දැයි තවම කිව නොහැකි ය.
  2. ප්‍රකාශකයා විසින් නිකුත් කරනු ලැබ ඇති ප්‍රහේලිකාමය හැඳින්වීම මෙපරිදි ය: “මොනවා වුනත් කම් නැත, නගරයට යා යුතුයම ය. හුදකලා ලේඛනාගාරයක් තුළ ‘පැරණි සිහින’ අවදි කර ලිහා දමන්නාක් මෙන්, අගුලු දමා ඇති ‘කතාවක්’ නිහඬව ගමන් අරඹයි.

කතාව කුමක් ගැනදැයි කලින් කිසිදු ඉඟියක් නොමැතිව ඔහුගේ පොත් කියවීම අරඹන්නට කැමැති බව මුරකාමී රසිකයන් බොහොමයක් පවසන බැවින්, කතාවස්තුව ගැන තොරතුරු දැනට හෙළිදරව් නොකරන බව ප්‍රකාශන සමාගම පවසයි.

  • AP/The Globe and Mail හා LITERARY HUB ඇසුරිණි‍‍.

සම පොත් (fb)

තොරතුරු හෙළිකිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් – පොලිසිය : ‘කඳුළු ගෑස් – මිලියන විසි ගණනක කඳුළු’ හෙට එළියට !

වසර 10ක ශ්‍රී ලංකාවේ කඳුළු ගෑස් භාවිතය සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාවක් හෙට (07) මරදාන, සමාජ හා සාමයික කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිත ය.

විරෝධතා මර්දනය මගින් ජනතාවගේ අදහස් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීම සඳහා මෙරට පැවති සියලු ආණ්ඩු කඳුළු ගෑස් යොදාගන්නා ලදි. ඒ සම්බන්ධයෙන් මෙතෙක් මෙවැනි වාර්තාවක් එළිදක්වා නැත.

සමාජ සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම විසින් ‘කඳුළු ගෑස් – මිලියන විසි ගණනක කඳුළු’ යන ශීර්ෂය යටතේ මෙම වාර්තාව එළිදැක්වේ.

සැඟවීමේ උත්සාහයන් රැසක්

ජනතා මුදල් යොදාගනිමින් කඳුළු ගෑස් මිලදී ගැනීම පිළිබඳව විවිධ පාර්ශ්ව තොරතුරු ලබාගැනීමට උත්සාහ කළ ද, පොලිසිය විවිධ හේතු දක්වමින් එය ප්‍රතික්ෂේප කරන ලදි.  මෙය පසුගිය කාලය පුර තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේදී දැකිය හැකි විය.
වරක් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියා පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිට තොරතුරු ලබා දෙන බවට පොරොන්දු වී සිටියදී, පොලිස් නීති කොට්ඨාසයේ නිලධාරියකු පැමිණ තොරතුරු ලබාදීම ප්‍රත්ක්ෂේප කිරීම තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේදී මීට අදාළ ව සිදු වූ විශේෂ සිදුවීමකි.
මෙය සිදු වූයේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් සම්බන්ධයෙන්, උද්ඝෝෂණවලට එල්ල කරන ලද කඳුළු ගෑස් සම්බන්ධයෙන් සහ කඳුළු ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ තොරතුරු ඉල්ලීමකට අදාළ අභියාචනයකදී ය.

පොලිසිය පාරවල් දෙකක

ඊට පෙර තොරතුරු කොමිෂන් සභාව හමුවේ පොලිස්පතිවරයා නියෝජනය කරමින් පැමිණි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරීවරයා දින 10ක් ඇතුළත ඉල්ලා සිටි තොරතුරු ලබාදීමට පොරොන්දු වී සිටියේය. ඒ අනුව ඔහු එම තොරතුරු එකතු කර ගැනීම සඳහා පොලිසියේ සියලුම කොට්ඨාස බාර නිලධාරීන් සහ අධ්‍යක්ෂවරුන්ට ලිපියක් ද යොමුකර තිබිණි. එසේ යොමු කර තිබියදී පොලිස්පතිවරයා ලිපියක් යොමුකරමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි.
පොලිස්පතිවරයා නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගි වූ පොලිස් නීති කොට්ඨාසයේ නීති උපදෙස් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ වසන්ත කුමාර ප්‍රකාශ කර තිබුණේ එම තොරතුරු ලබාදීම මගින් ජාතික ආරක්ෂාවට සහ භෞමික අඛණ්ඩතාවට හානියක් වන බැවින් පොලිස්පතිවරයා තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

කෝකටත් නීතිපති?

අරගලය මර්දනය සඳහා එල්ල කරන ලද කඳුළු ගෑස් කුමන වසරවල ගෙන්වූ කඳුළු ගෑස් ද යන්න ගැන කළ තොරතුරු ඉල්ලීමට අදාළ ව පොලිස්පතිවරයා ලිඛිත ව සඳහන් කර තිබුණේ අධිකරණයේ විවාදිත නඩු කටයුතු පැවතීම හේතුවෙන් නීතිපතිගේ උපදෙස් ලබාගැනීමකින් තොරව එම තොරතුරු මුදා හැරිය නොහැකි බවයි. එසේ නීතිපති උපදෙස් ගැනීමක් ගැන තොරතුරු පනතේ නොමැති බවත්, තොරතුරු පනත යටතේ තොරතුරු ලබානොදී සිටිය හැක්කේ එහි පස්වැනි වගන්තිය යටතේ පමණක් බවත් කොමිෂන් සභාව එහිදී අවධාරණය කර තිබිණි.
අයිතම 13ක් යටතේ ඉල්ලා තිබූ තොරතුරුවලට එක් අයිතමයකට පමණක් සම්පූර්ණ තොරතුරු ලබාදී ඇති බවත්, එක් අයිතමයකට එනම් පරණ කඳුළු ගෑස් සම්බන්ධයෙන් කළ තොරතුරු ඉල්ලීමට අදාළ ව අසත්‍ය තොරතුරු ලබාදී ඇති බවත්, තොරතුරු ඉල්ලීම් කිහිපයකට අදාළ ව අර්ධ වශයෙන් තොරතුරු ලබාදී අයිතම 3කට අදාළ ව තොරතුරු කිසිවක් ලබාදී නැති බවත් මෙම තොරතුරු ඉල්ලීම කළ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි.

පොලිසියට නඩු ?

මේ නිසා ව්‍යාජ තොරතුරු ලබාදීම, නොමග යවන තොරතුරු ලබාදීම සහ තොරතුරු සැඟවීම යටතේ ශ්‍රී ලංකා පොලිසියට සහ ඊට අදාළ නිලධාරීන්ට එරෙහිව තොරතුරු පනත යටතේ නඩු ගොනුකිරීමට ද තොරතුරු කොමිෂන් සභාව සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

නිවාස 12,000ක් ගිනිගනී : රොහින්ග්‍යා සරණාගතයන් කබලෙන් ලිපට !

බංග්ලාදේශයේ කොක්ස් බසාර් හි රොහින්ග්‍යා සරණාගත කඳවුරක් තුළ ඇතිවූ ගින්නක් හේතුවෙන් දහස් ගණනකට සිය නිවාස අහිමි වී තිබේ.

ඊයේ (ඉරිදා 05) කුටුපලොන්ග් සරණාගත කඳවුර හරහා පැතිර ගිය මෙම ගින්න හේතුවෙන් 12,000 ක් පමණ නිවාස අහිමි වූ බව ප්‍රාදේශීය පොලිස් අධිකාරී මොහොමඩ් මහෆුසුල් ඉස්ලාම් මාධ්‍ය වෙත පවසා ඇත.

ගින්නෙන් නිවාස 2,000 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර රෝහල් සහ අධ්‍යාපන පහසුකම් සැපයු මධ්‍යස්ථාන අනූවක් පමණ මෙම ගින්නෙන් විනාශ වී තිබේ.

පැය තුනක පමණ කාලයකට පසුව ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් ගින්න මැඩපවත්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ සඳහා ගිනි නිවන බට පිරිස් සහ ඒ පිළිබඳ පුහුණුව ලැබූ රෝහින්ග්‍යා සරණාගත ස්වේච්ඡා සේවකයන් ගින්න පාලනය කිරීමට දායක වී ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති නමුත් ඒ පිළිබඳ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පෙන්වාදෙන පොලිස් අධිකාරීවරයා ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවද පවසා ඇත.

මේ වනවිට නිවාස අහිමි වූවන්ට ආහාර සහ තාවකාලික නවාතැන් සැපයීම සඳහා බලධාරීන් ජාත්‍යන්තර සහ දේශීය මානව හිමිකම් සංවිධාන සමඟ කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම ගින්න සහ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ‘Save the Children’ සංවිධානය පවසා සිටියේ කඳවුරුවල සිරවී සිටින ළමයින්ගේ අනාගතය අඳුරු සහගත බවයි.

එමෙන්ම මෙම ගින්න හේතුවෙන් බොහෝ පවුල්වල ආරක්ෂාව සහ ඔවුන් සතුව ඉතිරිව ඇති කුඩා දේ ද අහිමි කළ බවද ඔවුන් පෙන්වාදෙයි.