තොරතුරු හෙළිකිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් – පොලිසිය : ‘කඳුළු ගෑස් – මිලියන විසි ගණනක කඳුළු’ හෙට එළියට !

Share post:

වසර 10ක ශ්‍රී ලංකාවේ කඳුළු ගෑස් භාවිතය සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාවක් හෙට (07) මරදාන, සමාජ හා සාමයික කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිත ය.

විරෝධතා මර්දනය මගින් ජනතාවගේ අදහස් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීම සඳහා මෙරට පැවති සියලු ආණ්ඩු කඳුළු ගෑස් යොදාගන්නා ලදි. ඒ සම්බන්ධයෙන් මෙතෙක් මෙවැනි වාර්තාවක් එළිදක්වා නැත.

සමාජ සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම විසින් ‘කඳුළු ගෑස් – මිලියන විසි ගණනක කඳුළු’ යන ශීර්ෂය යටතේ මෙම වාර්තාව එළිදැක්වේ.

සැඟවීමේ උත්සාහයන් රැසක්

ජනතා මුදල් යොදාගනිමින් කඳුළු ගෑස් මිලදී ගැනීම පිළිබඳව විවිධ පාර්ශ්ව තොරතුරු ලබාගැනීමට උත්සාහ කළ ද, පොලිසිය විවිධ හේතු දක්වමින් එය ප්‍රතික්ෂේප කරන ලදි.  මෙය පසුගිය කාලය පුර තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේදී දැකිය හැකි විය.
වරක් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියා පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිට තොරතුරු ලබා දෙන බවට පොරොන්දු වී සිටියදී, පොලිස් නීති කොට්ඨාසයේ නිලධාරියකු පැමිණ තොරතුරු ලබාදීම ප්‍රත්ක්ෂේප කිරීම තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේදී මීට අදාළ ව සිදු වූ විශේෂ සිදුවීමකි.
මෙය සිදු වූයේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් සම්බන්ධයෙන්, උද්ඝෝෂණවලට එල්ල කරන ලද කඳුළු ගෑස් සම්බන්ධයෙන් සහ කඳුළු ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ තොරතුරු ඉල්ලීමකට අදාළ අභියාචනයකදී ය.

පොලිසිය පාරවල් දෙකක

ඊට පෙර තොරතුරු කොමිෂන් සභාව හමුවේ පොලිස්පතිවරයා නියෝජනය කරමින් පැමිණි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරීවරයා දින 10ක් ඇතුළත ඉල්ලා සිටි තොරතුරු ලබාදීමට පොරොන්දු වී සිටියේය. ඒ අනුව ඔහු එම තොරතුරු එකතු කර ගැනීම සඳහා පොලිසියේ සියලුම කොට්ඨාස බාර නිලධාරීන් සහ අධ්‍යක්ෂවරුන්ට ලිපියක් ද යොමුකර තිබිණි. එසේ යොමු කර තිබියදී පොලිස්පතිවරයා ලිපියක් යොමුකරමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි.
පොලිස්පතිවරයා නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගි වූ පොලිස් නීති කොට්ඨාසයේ නීති උපදෙස් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ වසන්ත කුමාර ප්‍රකාශ කර තිබුණේ එම තොරතුරු ලබාදීම මගින් ජාතික ආරක්ෂාවට සහ භෞමික අඛණ්ඩතාවට හානියක් වන බැවින් පොලිස්පතිවරයා තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

කෝකටත් නීතිපති?

අරගලය මර්දනය සඳහා එල්ල කරන ලද කඳුළු ගෑස් කුමන වසරවල ගෙන්වූ කඳුළු ගෑස් ද යන්න ගැන කළ තොරතුරු ඉල්ලීමට අදාළ ව පොලිස්පතිවරයා ලිඛිත ව සඳහන් කර තිබුණේ අධිකරණයේ විවාදිත නඩු කටයුතු පැවතීම හේතුවෙන් නීතිපතිගේ උපදෙස් ලබාගැනීමකින් තොරව එම තොරතුරු මුදා හැරිය නොහැකි බවයි. එසේ නීතිපති උපදෙස් ගැනීමක් ගැන තොරතුරු පනතේ නොමැති බවත්, තොරතුරු පනත යටතේ තොරතුරු ලබානොදී සිටිය හැක්කේ එහි පස්වැනි වගන්තිය යටතේ පමණක් බවත් කොමිෂන් සභාව එහිදී අවධාරණය කර තිබිණි.
අයිතම 13ක් යටතේ ඉල්ලා තිබූ තොරතුරුවලට එක් අයිතමයකට පමණක් සම්පූර්ණ තොරතුරු ලබාදී ඇති බවත්, එක් අයිතමයකට එනම් පරණ කඳුළු ගෑස් සම්බන්ධයෙන් කළ තොරතුරු ඉල්ලීමට අදාළ ව අසත්‍ය තොරතුරු ලබාදී ඇති බවත්, තොරතුරු ඉල්ලීම් කිහිපයකට අදාළ ව අර්ධ වශයෙන් තොරතුරු ලබාදී අයිතම 3කට අදාළ ව තොරතුරු කිසිවක් ලබාදී නැති බවත් මෙම තොරතුරු ඉල්ලීම කළ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි.

පොලිසියට නඩු ?

මේ නිසා ව්‍යාජ තොරතුරු ලබාදීම, නොමග යවන තොරතුරු ලබාදීම සහ තොරතුරු සැඟවීම යටතේ ශ්‍රී ලංකා පොලිසියට සහ ඊට අදාළ නිලධාරීන්ට එරෙහිව තොරතුරු පනත යටතේ නඩු ගොනුකිරීමට ද තොරතුරු කොමිෂන් සභාව සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...