නීති පීඨය තුළට එල්ල කළ පොලිස් ප්‍රහාරයට දැඩි විරෝධය : හේතුව හරියට හොයන්න ඕනෙ – පොලිසිය !

Share post:

පොලිසිය විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය තුළට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත්, ඊට ඇතුළුවීමත් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු දැඩි විරෝධය පළකරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම පීඨයේ මහාචාර්ය වසන්තා සිරිවර්ධන අවධාරණය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව විරෝධය පළකරන බවත්, ඊයේ (07) නීති පීඨය තුළ සිටි සිසුන්ට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරය දැඩි ව හෙළා දකින බවත් ය.

නීතිය උගන්වන ආචාර්යවරුන් ලෙස අදහස් ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමී ව රැස්වීමේ අයිතිය පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන්ට උගන්වමින් සිටියද, ඒවා මේ රටේ බරපතළ ලෙස උල්ලංඝනය වෙමින් පවතින බව ද මහාචාර්යවරිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ ඇතැම් පාර්ශ්ව සඳහන් කරන ආකාරයට විශ්වවිද්‍යාල තුළට ඇතුළු වීමේ තහනමක් නැති බවයි. එහෙත් මෙහිදී සිදු වී ඇත්තේ කුමක්ද සහ ඊට ඇතුළු වීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් තමන් නිවැරදිව දැනුවත් වී නැති බවත්, එම නිසා ඊට යම් කාලයක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.  

කොළඹ නගර සභා ශාලාව අසලින් ආරම්භ කරන ලද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන නතර කිරීමට කොළඹ විශ්වවිද්‍යාලය අසලදී පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලදි. ආරක්ෂක අංශ අතර සිටි නිල ඇඳුම් ඇඳගත් පොලු රැගත් කණ්ඩායමක් විසින් විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේ ඔවුන්ට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වීම නිසා ය.

මෙම ප්‍රහාරයට විරෝධය පළකරමින් අද (08) දහවල් එම ස්ථානයේදී විශ්වවිද්‍යාල සිසුන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...