Home Blog Page 2

ඉරාන – ඊශ්‍රායල් යුද්ධය අපිට දුර ද !

ඉරාන-ඊශ්‍රායල් ගැටුම් තව තවත් වර්ධනය වෙමින් තිබෙන්නේ තවදුරටත් මේ ප්‍රශ්නය මැදපෙරදිගට විතරක් නොව මුළු ලෝකයේ ම ආර්ථිකයට බලපාන ප්‍රශ්නයක් බවට පත්කරමින් ය. ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් දකුණු දිග ඉරානයේ, කන්ගන් දිස්ත්‍රික්කයේ  පාර්ස් ප්‍රදේශයේ පිහිටා තිබෙන ඉරානයේ විශාලතම ගෑස් නිධි සංකීර්ණය සහ පර්යන්තයට දැඩි හානි සිදුවී එය ගිනිගනිමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ ස්වභාවික ගෑස් පර්යන්තය සැලකෙන්නේ ඉරානයේ පමණක් නොව ලෝකයේ ම විශාලතම ගෑස් පර්යන්තය ලෙසයි. මෙයින් කොටසක් කටාර් දේශයට අයත් වේ. ඉරානයේ සමස්ත ගෑස් නිෂ්පාදනයෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් නිපදවන්නේ පාර්ස් ගෑස් පර්යන්තයේදී ය. ප්‍රහාරවලින් මෙම ගෑස් පර්යන්තයට කොතරම් හානියක් සිදුවීද යන්න පිළිබඳව තවම නිශ්චිත ඇගයීමක් සිදු කර නැත. එහෙත් කවර ආකාරයේ හානියක් සිදුවුවත් එය ඉරානයේ අභ්‍යන්තර ගෑස් පරිභෝජනයට මෙන්ම ලෝකය පුරා රටවල්වල ගෑස් පරිභෝජනයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බව සහතික ය.

2022 ලෝක බලශක්ති සංවිධානයේ දත්තවලට අනුව ලෝකයේ සමස්ත ගෑස් නිෂ්පාදනයෙන් 22%ක් ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකරද්දී, ඉරානය 6%ක පමණ දායකත්වයක් ඊට දක්වයි. විශේෂයෙන්ම ආසියාතික රටවල්වලට ගෑස් අපනයනය කිරීමේදී ඉරානය ඉදිරියෙන් ම සිටී. ඉරානයේ ආර්ථික සහ බලශක්ති මර්මස්ථාන ඉලක්ක කරගෙන ඊශ්‍රායල් ප්‍රහාර එල්ලවීම ඉරානයේ ආර්ථිකයට මෙන්ම සමස්ත ආසියාවේ ජන ජීවිතයටත් විශාල ගැටලු ඇති කරන්නකි.

ඒ අතර ඊටත් වඩා බරපතළ තත්ත්වයක් මතුවෙමින් තිබෙන්නේ ඉරානය විසින් හෝර්මූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ සූදානමක් ඇති බවට ටෙහෙරාන් ටයිම්ස් වාර්තා කිරීමත් සමග ය. පර්සියන් ගල්ෆ් කලාපයේ සිට ඉරානයේ මෙන්ම, ඉරාකයේ, සෞදි අරාබියේ, එමීර් රාජ්‍යයේ තෙල්, ගෑස් ඇතුළු අනෙකුත් නාවුක භාණ්ඩ ප්‍රවාහනයට ඇති පහසු ම මාර්ගය ලෙස සැලකෙන්නේ හෝර්මූස් සමූද්‍ර සන්ධියයි. එය පිහිටා තිබෙන්නේ ඉරානයට දකුණු දිගිනි.

යම් හෙයකින් ඉරානය හෝර්මූස් වසා දැමුවහොත් ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුම බරපතළ ගැටළුවකට ලක්විය හැකිය. ඊට හේතුව ලෝකයේ සමස්ත බොරතෙල් සැපයුමෙන් 20%කට වැඩි ප්‍රමාණයක් සැපයීම සිදුකරන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ය. එය වසා දැමුවහොත් ලෝකයේ බොරතෙල් බැරලයක මිල අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 120ක් වැනි අගයකින් ඉහළ යා හැකි බවට විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

අනෙක් අතට ඉරානය විසින් ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයට අනතුරු අඟවමින් ප්‍රකාශයක් කළේ ඊශ්‍රායලයට සහාය දීම නතර නොකළහොත්, මැද පෙරදිග සහ ආසියානු භූමියේ පවත්වාගෙන යන අදාළ රටවල්වල මිලිටරි මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවටයි. විශේෂයෙන්ම කුවේට්, කටාර් සහ සෞදි අරාබියේ එවැනි කඳවුරු ගණනාවක් ම පිහිටා ඇත. ශ්‍රී ලංකාවට ආසන්නයෙන්ම පිහිටා තිබෙන ඇමරිකානු යුද මධ්‍යස්ථානය වන්නේ මාලදිවයිනට පහළින් ඇති දියාගෝ ගාර්සියා දූපතේ පිහිටි මධ්‍යස්ථානයයි.

මැද පෙරදිග ගැටුම් උත්සන්න වන විට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් අත විනාඩි 50ක පමණ දීර්ඝ දුරකතන සාකච්ඡාවක් සිදුවූ බව මාධ්‍ය වාර්තා කර ඇත. රුසියාව දිගින් දිගටම මේ ප්‍රශ්නය ගොඩින් බේරාගත යුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කරන බව පැහැදිලි ය. යුක්‍රේන් ප්‍රශ්නය අස්සේ මැද පෙරදිග ගිනිගැනීම රුසියාවට හිසරදයකි.

එහෙත් දිගින් දිගටම ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන සහ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන සිදුකිරීම මේ ප්‍රශ්නය තවත් අවුලෙන් අවුලට ඇදගෙන යන සාධකයකි. විශේෂයෙන්ම න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානවලට සහ බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීමෙන් ඒවායේ අහිතකර ද්‍රව්‍ය වාතයට සහ පරිසරයට එකතුවීම ජනතාවගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් විය හැකිය.

ඒ අතර ඉරාන හමුදා විසින් ඊශ්‍රායල් ගුවන් හමුදාවට අයත් F-35 වර්ගයේ වේග ප්‍රහාරක ගුවන් යානා 03ක් බිම හෙලා ඇති බවත්, නියමුවන් දෙදෙනෙක් ඉරාන හමුදාව බාරයේ සිටින බවත් සඳහන් වේ. යේමනය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම ද සිදු විය. ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාර කිහිපයක් ඊශ්‍රායල් ආරක්ෂණ පද්ධතිය මගින් අඩපණ කෙරිණි. ජෝර්දානය පවසා තිබුණේ කිසියම් ප්‍රහාරයක් නිසා තුවාල ලැබූ සිය වැසියන් පිරිසක් රෝහල්ගත කළ බවත්, තමන් ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කර ඇති බවත් ය.
මැද පෙරදිග ප්‍රබලතම යුද බලය මෙන්ම ඉස්ලාම් ආගමික හා දේශපාලන බලය හිමි ඉරානය සහ ඇමරිකාවේ සහාය ලබන යුරෝපයේ යුදෙව් දේශය වන ඊශ්‍රායලය අතර යුද්ධයක් යනු තුන්වැනි ලෝක යුද්ධයක ආරම්භය ද විය හැකි තරම් බරපතළ තත්ත්වයකි. එම නිසා ඊශ්‍රායලය –  ඉරානය සමග ගැටීමට හේතු ද දැනගත යුතුය.

ඊශ්‍රායලය යනු ඇමරිකන් සහ බටහිර හිතවාදී රාජ්‍යයක් ලෙස කාලයක් තිස්සේ මැද-පෙරදිග සහ යුරෝපය අතර පිහිටි ඉස්ලාම් ආගමික රාජ්‍යයන් සමග භූ දේශපාලනික අර්බුද රැසක් ඇති රටකි. එයට බොහෝදුරට බලපෑ ආගමික සහ සංස්කෘතික ගැටුම් සම්බන්ධ ඉතිහාසයක් තිබේ. එහෙත් ආසන්න වශයෙන් මේ රටවල් දෙක ගැටීමට හේතුව වන්නේ ගාසා තීරයේ හමාස් සංවිධානය ඉලක්ක කරගෙන ඊශ්‍රායල් ප්‍රහාර එල්ලවීම සහ ඊට සමගාමීව යේමනයේ හුදී, ලෙබනනයේ හිස්බුල්ලා වැනි ඉරාන හිතවාදී මිලිටරි සංවිධාන ගණනාවකට ඊශ්‍රායල් ප්‍රහාර එල්ලවීම ය. අවස්ථා ගණනාවකදී ම ඉරානය මීට මැදිහත් විය. එහෙත් ආසන්නම කාලයේ ඇමරිකාව මේ ප්‍රශ්නයට මැදිහත් වන්නේ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල ඉලක්ක කරගෙන ය. ඉරානයේ න්‍යෂ්ටික ශක්තිය වේගයෙන් වර්ධනය වීම ඇමරිකාව ප්‍රමුඛ බටහිරට තර්ජනයක් ය යන සාධකය මත්ස් ය, ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමග ගැටීමක් ඇතිකරගන්නේ.

13 වැනි සිකුරාදා අලුයම ඉරානයේ ටෙහෙරාන් නගරය, තබ්රිස් නගරය සහ නටන්ස්, ෆවුදාර් යන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන ඇතුළු හඳුනාගත් ඉලක්ක 100කට වැඩි ප්‍රමාණයකට ඊශ්‍රායල් නියමුවන් සහිත සහ නියමුවන් රහිත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල විය. මෙය හැඳින්වූයේ Surprised Attack එකක් ලෙස ය. ඊශ්‍රායල් බුද්ධි තොරතුරු අනුව ඉරාන ආරක්ෂක සහ දේශපාලන අංශවල ඉතා ඉහළ තනතුරු දරන්නන් සහ න්‍යෂ්ටික පර්යේෂණාගාර ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය එල්ල වන තෙක් ඉරානය ඊට මුහුණදීමේ සූදානමකින් නොසිටි බව පැහැදිලි ය.

අඩුම තරමේ ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිය පවා මෙහිදී නිසි පරිදි ක්‍රියාත්මක වී තිබුණේ නැත. ඒ නිසාම මේ ප්‍රහාරයෙන් ඉරාන් ඉස්ලාම් විප්ලවීය හමුදා ප්‍රධාන අණදෙන නිලධාරියා, ගුවන් අණදෙන නිලධාරියා ඇතුළු ප්‍රධාන ම නිලධාරීන් සිව්දෙනකු සහ න්‍යෂ්ටික විද්‍යාඥයන් හය දෙනකු ඝාතනයට ලක්වූ බව වර්තා විය. මේ ප්‍රහාරයට ඇමරිකානු ප්‍රහාරක යානා ද සම්බන්ධ වූ බව නිල නොලත් තොරතුරු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ ප්‍රහාරයෙන් පසු ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා සායිද් අල් කොමේනි දැඩි විරෝධය පළකරමින් ඊශ්‍රායලයට දරුණු දඬුවමක් ලබාදෙන බවට පොරොන්දු විය. ඒ වගේම තුර්කිය, යේමනය, ඉරාකය ඇතුළු රටවල් ගණනාවක් ඊශ්‍රායලයට විරෝධය දක්වමින් තමන්ගේ ගුවන් අවකාශ වසා දමා ප්‍රතිප්‍රහාරයකට අවශ්‍ය ඉඩකඩ ඉරානයට සකස් කර දුන්නේය. මෙහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් කරමින් ඉරානය දැන්වත් න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කොට යටත් නොවුණහොත්, ප්‍රහාර තවත් දරුණු විය හැකි බව පැවසීය. යුද ගැටුම් නතර කොට සාමය ඇතිකරන බවට මැතිවරණ පොරොන්දුවක් දෙමින් බලයට පැමිණි ට්‍රම්ප් මැදපෙරදිග යුද්ධයක් නිර්මාණය කිරීමට එරෙහිව ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ ම දේශපාලන උපදේශකයකු වන කාල්සන් දැඩි ප්‍රතිචාරයක් දැක්වීය. ඇමරිකාව මෙහිදී පැත්තකට වී සිටීම නුවණට හුරු බවයි, ඔහු සී.එන්.එන්. වෙත පවසා තිබුණේ.

ප්‍රහාර නිසා මේ වනවිට ඉරානයේ ප්‍රබල දේශපාලන සහ මිලිටරි නායකයන් 20 දෙනකුට ආසන්න පිරිසක් ඇතුළුව 80 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහන් කර තිබිණි. ඉරානය මේ ප්‍රහාර මාලාවට පසු වහාම තමන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කර ඩ්‍රෝන් ප්‍රහාර ඇතුළු ප්‍රහාර ගණනාවක් වලක්වා ගැනීමට කටයුතු කළේය. ඉන්පසු බැලැස්ටික් මිසයිල 100ක පළමු මහා පරිමාණ ප්‍රහාරය ඊශ්‍රායලයට එරෙහිව එල්ල කළේය. එම ප්‍රහාරය එල්ල වුණේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරය ඉලක්ක කරගෙන ය. එයින්  ජීවිත දෙකක් අහිමි ව, තවත් සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව අල්-ජසීරා වාර්තා කළේය. ඉන්පසු එම නගරයට දෙවැනි සහ තෙවැනි මිසයිල ප්‍රහාර මාලාවත් එල්ල විය. ඊශ්‍රායල් ගුවන් ආරක්ෂණ පද්ධතිය ඉන් බොහොමයක් ප්‍රහාර මැඩපැවැත්වීමට ද සමත් විය.

ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ඉල්ලා ඇත. ඉරානයේ සෛවරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට අත පෙවීමට ඊශ්‍රායලයට හෝ වෙනත් කිසිම රටකට ඉඩක් නැති බව ඉරානය සථප කරමින් කියයි. මුල් ප්‍රහාරයට විරෝධය දක්වමින් රුසියාව සහ චීනය දැඩි ප්‍රතිචාර දක්වා තිබේ.

මෙවැනි තත්ත්වයක් යටතේ ලෝකය ම මැදපෙරදිග කලාපය දෙසත්, තම-තමන්ගේ ආර්ථිකයන්ට මේ තත්ත්වයේ බලපෑම ගැනත් පුළුල් ලෙස අවධානය යොමුකරමින් සිටී.

  • ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

‘දොන් කිහොතේ’ කියවන පාඨකයකු ඉදිරියේ ලාංකීය දොන් කිහොතේලා දර්ශනය නොවුණහොත් එය පුදුමයකි !

0

අප කලක් තිස්සේ ජීවත් වන්නේ ‘වීරයන්ගෙන් අඩුවක් නොමැති භූමියකය. එය රණවිරුවන් ද රටවිරුවන් ද සුවවිරුවන් ද වශයෙන් සකලවිධ විරු ප්‍රවර්ගවලින් පිරී පවතී. එමෙන්ම එය දේශපාලනය, කලාව, මාධ්‍ය , ඇකඩමියාව ඇතුළු සෑම ක්ෂෙත්‍රයකම වීරාභිවාදනය ද වීරත්ව වන්දනාව ද ජීවිතයේ දෛනික චාරිත්‍රයක් තරමට අභ්‍යාස කරන භූමිභාගයකි.අන්‍යයන් විසින් අන්දවනු ලබන වීරත්ව සළුපිළි උජාරුවෙන් ඇඟලා ගන්නවුන් මෙන්ම තමන් විසින් ම එකී ඇඳුම් ඇඳ ගන්නා අයද එහි අපමණ සිටිති. මොවුන් අතරින් සමාජයේ වැඩි අවධානයක් යොමු වන්නේ ස්වයං ඇඳගැනීමක යෙදෙන්නවුන් වෙතය. මන්ද , සමාජයට උපරිමයෙන් හාස්‍ය සහ විනෝදය සපයන්නේ ඔවුන් බැවිනි. මෙලෙස ස්වයං වීරත්වයෙන් මෝහනයට සහ වසඟයට පත්වූවකු තුළ ආත්මාභිමානය ද නරුමත්වය ද විපරීතබව ද ග්‍රස්තිකබව ද අඩු වැඩි වශයෙන් සංකලනය වී පවතී . මිගෙල් දෙ සර්වන්තේස් සාවෙද්රා නම් ස්පාඤ්ඤ ජාතික ලේඛකයා විසින් රචිත Don Quixote එවන් චරිතයක් කේන්ද්‍ර කොටගත් නවකතාවකි. එය දොන් කිහොතේ නමින් ගාමිණි වියන්ගොඩ සිංහලයට පරිවර්තනය කර තිබේ.

මෙය 17 සියවසේදී එනම් , 1604 දී පළව ඇති නවකතාවකි. මෙහි ප්‍රධාන චරිතය දොන් කිහොතේය. ඔහු වීර කතා සාහිත්‍ය සහ වීර කාව්‍ය විශාල වශයෙන් කියවා ඉන් මෝහනයටත් වසඟයටත් පත්ව සිටින අයෙකි. ඔහු එම ප්‍රබන්ධාත්මක වීරයන්ගේ සිතිවිලි , චර්යා මෙන්ම ක්‍රියාකාරිත්වය ද තම ජීවිතයට ආරෝපණය කර ගැනීමට තැත් කරන්නෙකි. මෙම සාහිත්‍ය කෘතිවල සිටිනුයේ වික්‍රමාන්විත ක්‍රියාවන්ට නොබියව මුහුණ දෙන සහ එවන් ක්‍රියා පසුපස හඹා යන වීර චරිතයෝය. දොන් කිහොතේට අවශ්‍ය වන්නේ සැබෑ ජීවිතයේ දී එවන් චරිතයක් හෙවත් වික්‍රමගවේෂී සිටුවරයෙකු බවට පත්වීමටය. නවකතාව පුරා ම තිබෙනුයේ දොන් කිහොතේ විසින් මුහුණ දෙනු ලබන එවැනි සිද්ධිදාමයකි.

ෆැන්ටසියට ෆැන්ටසිය ලෙස පවතින්නට ඉඩ නොදී එය යථාර්ථය බවට පත් කිරීමට දරන උත්සාහය නිසා හටගන්නා උපහාසාත්මක ස්වභාවය නවකතාවේ මුල සිට අගටම දක්නට පුළුවන. නැතහොත් ප්‍රබන්ධය සැබෑවක් කිරීමට යාමේ විසුළුසහගතබව එයින් පාඨකයාට අභිමුඛ කෙරේ. නවකතාවේ දැක්වෙන ආකාරයට දොන් කිහොතේ අවංක ආධ්‍යාශයෙන් කටයුතු කරන්නෙකි. අසරණ වූවන්ට, අසාධාරණයට ලක් වූවන්ට, පීඩාවට පත්වූවන්ට තරාතිරම නොබලා උදව් කරන්නෙකි.ඔහු ප්‍රතිවාදියා කෙතරම් ප්‍රබලයෙකු වුවද සටන අත්නොහරී. පීඩකයන්ට එරෙහිව සටන් වැදීමේදී ඔහුට ජය පරාජය වැදගත් නැත. මේවා ප්‍රබන්ධ සාහිත්‍යයේ වික්‍රමගවේෂී සිටුවරයන්ගේ පොදු ගුණාංග වෙති. ඇතැම් විට ඔහු දරුණු ප්‍රහාරයන්ට ලක්ව මරණීය තුවාල ලබයි.තමා පරාජය ලද භූමියට කට්ටඬියන් විසින් ගුරුකම් කර ඇතැයි පවසමින් ඔහු එය සාධාරණීකරණය කරයි.

මෙම නවකතාවේ ආඛ්‍යාන විලාසය ද බෙහෙවින් සිත් ගනී. කතාපුවත දිගහැරෙනුයේ ප්‍රධාන චරිතයේ දෘෂ්ටි කෝණයෙන් පමණක් ම නොවේ. ඔහුගේ ‘වීර චාරිකාවේදී’ ඔහුට මුණගැසෙන විවිධ චරිත ද ඊට ඉවහල් කර ගැනේ. එහි දීර්ඝ දේශනාමය ස්වරූපයේ දෙබස් බහුලව අන්තර්ගත වේ. කතුවරයා අතුරු කතාවලින් පිරුණු ආඛ්‍යාන ශෛලියක් යොදා ගනී.එහෙත් ඒවා භාවිත කරනුයේ දොන් කිහොතේගේ සිතිවිලිවල සහ චර්යාවේ උත්ප්‍රාසාත්මක බව තීව්‍ර කිරීමටය. මෙම අන්‍යයන්ගේ අතුරු කතා සියල්ල කොතැනකින් හෝ මොනයම් ආකාරයකින් දොන් කිහොතේට තේමාත්මකව සම්බන්ධ වේ.
නවකතාවේ පරිවර්තනය ගැන ද යමක් කිව යුතුය. ගාමිණි වියන්ගොඩ යනු අද අපට සිටින පරිණතම ප්‍රබන්ධ පරිවර්තකයාය. ඔහු ඒ බව මෙම කෘතියෙන් නැවත වරක් සනාථ කර තිබේ. පිටු 586ක් පුරා දිවෙන කෘතියක කතාපුවතෙහි හාස්‍යොත්පාදක බව බිඳකුදු නොනසා එහි ආඛ්‍යාන රටාව ද රැකගෙන එයට ආවේණික භාෂාමය රිද්මය පවත්වා ගෙනයාම පරිවර්තකයෙකු මුහුණ දෙන ප්‍රමුඛ අභියෝගයකි. ගාමිණි වියන්ගොඩ මෙම පරිවර්තනයේදී එම අභියෝගය සාර්ථකව ජයගෙන තිබේ. මේ නිසාම දීර්ඝ දේශනාමය දෙබස් පාඨකයාට වෙහෙසකින් තොරව සහ කුතුහලයකින් යුතුව කියවීමට හැකිව පවතී. එහෙයින් මෙහි දෙවන කොටස හැකි ඉක්මනින් කියවීමට පාඨකයා තුළ උනන්දුවක් නිතැතින්ම ජනිත වේ.

මෙය සැබවින්ම අතීතයට වඩා වර්තමානය කියවා ගැනීමට උචිත නවකතාවකි. මන්ද , ෆැන්ටසිය සහ යථාර්ථය පටලවා ගත් දොන් කිහොතේලා 17 සියවසට වඩා 21 සියවසේ තෙවන දශකයෙහි නොඅඩුව සිටින බැවිනි. විශේෂයෙන් මෙම නවකතාව කියවන පාඨකයෙකු ඉදිරියේ ලාංකීය දොන් කිහොතේලා දර්ශනය නොවුණහොත් එය පුදුමයකි.

උදිත අලහකෝන්

ඉරාන මිසයිල ප්‍රහාර විසින් ඊශ්‍රායලයේ සුපිරි බව හාස්‍යයක් බවට පත්කරයි !

එදිරිවාදිකම් නාට්‍යමය ලෙස ඉහළයද්දී , ඉරාන මිසයිල ප්‍රහාර ඊශ්‍රායලයේ ස්වයං ආරක්ෂක පද්ධති සහ ආරක්ෂක යාන්ත්‍රණය තීරණාත්මක දුර්වලතා සහිත බව හෙළිදරව් කරමින් මොසාඩ් ඔත්තුසේවා මූලස්ථානය ගිනිජාලාවක් කලේය. මුල් වාර්තාවලින් පෙනුනේ ඊශ්‍රායලයේ ස්ථිර ගුවන් ආරක්ෂක පද්ධති – යකඩ ඩෝම්, ඩේවිඩ්ගේ ස්ලිං සහ ඇරෝ බැටරි ඇතුළු – සියල්ල අබිබවා ඇති බවත්- ඒවා කලින් ලෝකයේ වඩාත්ම දියුණු ආරක්ෂණ පද්ධති ලෙස සැලකේ.
මෙතෙක් ඉරාන ප්‍රතිප්‍රහාර අතර වඩාත්ම වැදගත් ඉලක්ක වන්නේ අද එල්ල කල ඊශ්‍රායලයේ බුද්ධි උපකරණ සහ හමුදා සැපයුම් ජාලවලට සම්බන්ධ පහසුකම් වලට එල්ල කල ප්‍රහාර වේ. මෙම හානි වීම ඊශ්‍රායලයේ අණදෙන කාර්යයන් සහ සැපයුම් මෙහෙයුම් කඩාකප්පල් කර ඇති අතර, ඔවුන්ගේ ආරක්ෂක ඉරියව්ව වේගයෙන් නැවත තක්සේරු කිරීමට බල කරන බව මූලාශ්‍ර යෝජනා කරයි.

ඉරාන ප්‍රහාරවල සාර්ථකත්වය ඉරානයේ මිසයිල වැඩසටහන්වල තාක්ෂණික දියුණුව සහ ඊශ්‍රායලයේ උපායමාර්ගික වැරදි ගණනය කිරීම් යන දෙකම පිළිබිඹු කරයි. තෙල් යටිතල පහසුකම් සහ ප්‍රොක්සි ජාලවලට එල්ල වන ප්‍රහාර ඇතුළුව ඉරාන අවශ්‍යතාවලට එරෙහිව ඊශ්‍රායලයේ මෑත කාලීන ආක්‍රමණශීලී මෙහෙයුම් දියත් කරන ලද්දේ දෝෂ සහිත බව ඔප්පු වූ උපකල්පන යටතේ බවයි. මිත්‍රශීලී ජාතීන්ගේ සහයෝගය අධිතක්සේරු කිරීම මෙන්ම එහි ස්වයං-ආරක්ෂක පද්ධතිවල අපරාජිතභාවය පිළිබඳ අධික විශ්වාසය ද මේවා අතර ප්‍රධාන විය.

“ඊශ්‍රායලය දිගු කලක් තිස්සේ එහි උසස් තාක්‍ෂණය සහ ශක්තිමත් සන්ධාන වැළැක්වීමක් ලෙස විශ්වාසය තබා ඇත, නමුත් මෙම ප්‍රහාර උපායමාර්ගික උදාසීනත්වයේ අවදානම ඉස්මතු කරයි,” ටෙල් අවිව් උපාය මාර්ගික අධ්‍යයන ආයතනයේ කලාපීය ආරක්ෂක විශ්ලේෂක ආචාර්ය ඔරෙන් ලැවි පවසයි. “මෙය මිලිටරි සැලසුම්කරුවන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් යන දෙදෙනාටම අවදි කිරීමේ ඇමතුමකි.”

ඉරාන පළිගැනීම වසර ගණනාවකින් දෙරට අතර වඩාත්ම සෘජු හා හානිකර හුවමාරුවක් සනිටුහන් කරයි, එය ප්‍රොක්සි ගැටුම් වලින් සෘජු රාජ්‍ය-රාජ්‍ය සම්බන්ධතාවයකට මාරුවීමක් පෙන්නුම් කරයි. ඉරානයේ අධි-නිරවද්‍ය මිසයිල භාවිතය තාක්ෂණික ප්‍රගතිය පමණක් නොව ඊශ්‍රායලයේ ආරක්ෂක යටිතල ව්‍යුහයේ හරය ඉලක්ක කර ගැනීමට ඇති කැමැත්ත ද පෙන්නුම් කරයි – කලාපීය ස්ථාවරත්වය සඳහා ගැඹුරු ඇඟවුම් සහිත පියවරකි. රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වේගයෙන් දිග හැරෙමින් පවතී. සමහර මිත්‍ර පාක්ෂිකයින් ඊශ්‍රායලය සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කර ඇති අතර, පූර්ණ යුද්ධයක් මැද පෙරදිග කලාපය ගිල ගත හැකි අතර ගෝලීය බලශක්ති වෙළඳපොළට බලපෑම් කරනු ඇත.

ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂක පද්ධති දශක ගණනාවක් තිස්සේ සංවර්ධනය කරන ලද අතර, සැලකිය යුතු එක්සත් ජනපද අරමුදල් සහ තාක්ෂණික සහයෝගීතාව යෙන් යුතු ව. 2011 සිට ක්‍රියාත්මක වන යකඩ ඩෝම්, ප්‍රධාන වශයෙන් කෙටි දුර රොකට් වලට බාධා කිරීම සඳහා නිර්මාණය කර ඇත. කෙසේ වෙතත්, එය එකවර ප්‍රක්ෂේපණ විශාල සංඛ්‍යාවක් සම්බන්ධ සන්තෘප්ත ප්‍රහාරවලට ගොදුරු විය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබූ අතර ඉරානය ඉතා සාර්ථකව එම දුර්වලතාවය භාවිතා කර ඇති බව අද ප්‍රහාරයෙන් පෙනේ. එසේම මෙම තත්වය, ගැටුම මැද පෙරදිග නූතන යුද්ධයේ පැතිරීමේ ස්වභාවය අවධාරනය කරයි, එහිදී මිසයිල අවි ගබඩා, සයිබර් හැකියාවන් සහ නිරවද්‍ය ප්‍රහාර වල හැඩ තල සහ යුධ පිටිය වැඩි වැඩියෙන් වෙනස් කරවයි.
ඊශ්‍රායලය දැන් භෞතික හානි අලුත්වැඩියා කිරීමේ සහ එහි ආරක්ෂක සහතික පිළිබඳ මහජන විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීමේ ද්විත්ව අභියෝගයට මුහුණ දෙයි. හමුදා උපාය මාර්ගිකයින් අන්තර් ප්‍රතිසංස්කරණ පද්ධති වැඩිදියුණු කිරීම්, වැඩිදියුණු කළ පූර්ව අනතුරු ඇඟවීමේ හැකියාවන් සහ මිත්‍ර පාක්ෂිකයින් සමඟ දැඩි සම්බන්ධීකරණයක් සඳහා පෙනී සිටිනු ඇත. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්, ඊශ්‍රායලය ඉරාන තර්ජනයට එහි ප්‍රවේශය නැවත සමාලෝචනය කරනු ඇති අතරම සංකීර්ණ කලාපීය ගතිකතාවයන් ගනණය කරනු ඇත.

Anuruddha Lokuhapuarachchi

‘මෙය අලුත් මැදුරක්’- සිරිනිමල් ලක්දුසිංහ

0

චිංගීස් අයිත්මාතොව් ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය ය. ඒ නවකතාකරුවකු ලෙසිනි. එහෙත් වරෙක මට ඔහුගේ කවියක් හමුවිණි. එහි එක් කොටසක සිංහල පරිවර්තනය මෙපරිදිය.

වපුරමින් බිජුවට පියනගමි හී විටි මතින් සැමත
උණුසුම් මිහි මඩලෙහි සුමුදු යහනක ඔබ නිදනු ඇති
කම් නැති
මම ඉසිමි එක් බිජුවට අහුරක් සීතලෙන් පීඩා විඳින අනාථයන් වෙනුවෙන්
තවත් අහුරක් රෝගීන්, අංගවිකල වූවන් සහ හුදෙකලා වියපත් මිනිසුන් වෙනුවෙන්
මේ අහුර හාමතින් වියලි වැල්ලේ පීඩා විඳින අසල්වැසියන්ටය
මේ අහුර ආත්මය අහිමි කරන ලද්දන්ටය
මේ අහුර සැරිසරන්නන්ටය
එසේම මේ බිජුවට අහුර කුරගාන බඩගාන සතුන්ටය
මේ අහුර ඔබට සහ මටය, අපේ දරු පවුලටය

මේ කවිය අයිත්මාතොව් නම් නිර්මාණකරුවාගේ සමස්ත නිර්මාණ දිවියෙහිම අරමුණ කැටිකරගත් කවියකි. මට යළිත් මෙ කව සිහිපත් වූවේ ලාංකීය කවියකුගේ නිර්මාණයක් හේතුවෙනි. මේ කවි දෙකෙහිම අරුත බෙහෙවින් සමානය. එහි ඇති මානුෂවාදීබව, පරාර්ථකාමීක්වය සහ අරමුනු සහගත බව කැපී පෙනෙයි. දෙවන කවිය එන්නේ කවි එකතුවක පිවිසුම ලෙසිනි. එය ඇරඹෙනුයේ මෙලෙසිනි.

බිම් කෙටුවෙමි පොඩි ඉඩක
වැඩිහිටි ගොවීන් අස්වැද්දූ වෙල් යායක
ඔවුන්ගේ සුරැකුම් මැනවින් බලා හිඳ
සී සෑවෙමි මඩ කුට්ටි සමතලා කොට
වැපුරුවෙමි බිජුවට

ඔහු ඒ පෙරවදනෙහි අවසන සටහන් කරනුයේ මෙලෙසිනි.

කැළණි සෑයේ හැඩට
බැත රාසි කෙරුවෙමි
ඉතින් දැන් මෙන්න ඒ අස්වැන්න
දෑත් විහිදා පෙන්වන්නෙමි ඔබට!

අප කවියා සිරිනිමල් ලක්දුසිංහය. මේ ඔහුගේ තෙවන කාව්‍ය නිර්මාණ එකතුවයි. ඔහු කවියෙකි, කවියෙන් කතන්දර කියන්නෙකි. කතන්දරයෙන් කවි කියන්නෙකි. ඔහුගේ කෙටිකතා පොත ඊට සාක්ෂි සපයයි. එකම බිරිඳ දෙවරක් මැරූ මිනිහෙක් නමින් එන කවිය මෙවන් කවි කතන්දරයකි. ඒ කවිය මනුෂ්‍ය දිවියෙහි අපේක්ෂා විරහිතබව මෙන්ම අහඹුව ගැනද ඉඟි කරන්නකි. තම බිරිඳ මුරැවේ යයි සිරගත කරනු ලබනා මිනිසකුට සිරෙන් නිදහස්ව ආ පසු අහම්බෙන් තම බිරිඳ හමුවූ විට හටගත් සිදුවීමක් මෙහිදී වස්තු විෂය වෙයි.

ලක්දුසිංහ අයත්වනුයේ සම්භාව්‍ය සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යය ගැඹුරින් හදාරන්නට අධ්‍යාපනය තුළ ඉඩ පැවති අතීත සමයටය. එසේම වමේ ව්‍යාපාරයන්හී බලපෑම ඉතා තදින් දැනෙමින් පැවති සමාජ අවධියකටය. වර්ගවාදයේ පිහිට වෙනුවට පංති විරහිත සමාජයක් වෙනුවෙන් සටන් කළ යුතුය යන අධ්‍යාපන කඳවුරටය. විෂය සම්බන්ධයෙන් ගත් කළ ලංකාවෙහි පළමු පුරාවිද්‍යා උපාධිධරයා වෙමින් ඉතිහාසය සාක්ෂි ඇසුරින් කනින්නට මග පාදාගත් බුද්ධිමතුන්ගේ කවයටය. දැන් මේ සියල්ලම රළ නගමින් ඔහුගේ නිරාමණ ලෝකයට පිවිසෙයි. සම්භාව්‍ය සාහිත්‍යෙයහි එන කවියක් ඇසුරින් ඔහු නිමවන මේ කවිය ඊට සාක්ෂියකි.

අවරගිර අතු අගින්
විළිකුන් එකම පලය
වැටෙන තුරු
එකිනෙකාගේ ඇඟේ හැපි හැපී
පොරකකා උඩ පැන පැන
බලා සිටිති
දළ රළ රැළි කොලු රැළ

සැබැවි, කවිය කියවාගෙන යන පළමු මොහොතේ එය පරිසරයේ චමත්කාරය පිළිබඳ අලංකාරවත් කියවීමයි. එහෙත් මේ මේ රූපක සමග ටිකක් වෙට්ටු දමන්නේ නම් මතුපිට අරුත් ඉක්මවා යන වෙනත් ගැඹුරු අරුතක්ද මතුකරගත හැකිය. ඒ අරුත දේශපාලන අගයෙන් සමන්විතය. එය පාදා ගැනීම පාඨක සමාජයටය.

කවියා සතු අපූර්ව ගුණයක් වනුයේ මියුම් උපහාසයක් තම කවියට තවරන්නට ඇති හැකියාවයි. වර්තමානයේදී ඔහු අපට හමුවනුයේ තොප්පියක් පැළඳි මිනිසකු ලෙසිනි. එවිට එය විමසිල්ලට ලක්වෙයි. ඔහු කවිය ඊට පිළිතුරක් සපයන්නය භාවිතා කරනුයේ දිවි සැරියෙහි ස්වභාවය මෙන්ම මනුෂය ස්වභාවයද සැහැල්ලුවෙන් සහ උපහාසයෙන් මතුකර දක්වමිනි. ඒ කවිය ජීවිතයෙහි යථා ස්වභාවය මැනවින් දන්නා එහෙත් ඊට අවනත වන්නට සූදානම් නැති මුරණඩුවෙකුගේ කවියකි.
මේ ඔහු සිය කවිය අවසන් කරනා ආකාරයයි.

කුමකටද ඩයි තවත්
දැන් ඉතින් මගෙ හිසත්
නොදුටු එක වළාවක්
පුන් පොහොය දා සඳක්

අලුත් මැදුරු නමින්ද කවියක් මෙහි එයි. ඒ කවිය අප රටෙහි මුල්බැසගත් වර්ගවාදී යුද්ධයේ නොනවතින ඛේදය ඉතා තියුණු ලෙස මතුකර දක්වන අවස්ථාවකි. එසේම ඒ කවිය තමන්ගේ රටෙහි වෙසෙනා ජනයා එකිනෙකාට සතුරු කොට සිය අභිමතාර්ථ හඹා ගිය පාදඩ දේශපාලකයන්ගේ නිය පහුරු මැද අසරණව ගිය මිනිසුන් කෙරේ වන වේදනාව මෙන්ම ඒ ව්‍යසනය අමතක කල නොහැකි, එය වලක්වාලීමට අසමත්වූ මිනිසකුගේ හෘද සාක්ෂියෙහිද අවදිවීමකි. ඒ කවිය මෙහි බහා නොලමි. මුල සිට අගටම එය කියවන්නැයි ඔබට ඇරයුම් කරමි. එසේම මේ කවිය මෙන්ම මෙහි ඛේදයම කැටි කරගෙන කවි කිවිඳියන් විසින් රචනාකරන ලදුව සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය කරන ලද සුන්දරපුරම් ජනෙල් පියන්පත් කවි එකතුව කියවන්නැයි ද ඇරයුම් කරමි.
කවර පුද්ගලයෙකුට වුව තරුණ වියෙහිදී අසම්මතයෙකු කැරළිකරුවෙකු, පිටස්තරයෙකු වන්නට හැකිය. එහෙත් අසීරුව එය ජීවිතයෙහි වියපත් අවධියෙහිද එලෙසම පවත්වා ගැනීමය. ලක්දුසිංහ අයත්වනුයේ ඒ සීමිත පිරිසටය. ඔහුගේ පෙර කවි එකතුවලද මේ ලකුණ දක්නට ලැබෙයි. පවත්නා ක්‍රමයට ඇති අපුල, ඊට එරෙහිව යාමේ අපේක්ෂාව, මෙන්ම ඒ කෙරේවන අනුරාගී උනන්දුවද ඔහු මේ වියපත අවදියෙහි වුව නොනසා පවත්වා ගනියි. ඒ අරුතින් හේ තවමත් ජවසම්පන්න තරුණයෙකි. මේ ඔහු බුදල් ට ලියනා කවයි.

බුදල්මි
සියොවැ ආමි
සිහගිරි බැලීමි
බැලු බැලු බොහො ජනා
ගී ලූ ලීයෙන්
නො ලීමි
බුදල්, ඔබ මෙන්ම
මමද
බොහො ජනා කරනා දෙය
කරන්නට නොරිසියෙමි
උඩු ගං බලාගෙන
පීනනු රිසියෙමි

ලංකාවෙහි තරුණ අරගල මෙන්ම තරුණ ජීවිතයද දේශපාලනයෙහි ලාබ පාපන්දුවකි. හැත්තෑ එක අසූනමය මෙන්ම උතුරේ අරගලයද ඉන් වෙනස් නොවේ. මෙලෙස දකුණේ තරුණයන්ගේ ජීවිත දේශපාලන කැරම් පෙතට ගත් අවස්ථාවක් වනුයේ පාර්ලිමේන්තුව පෙනෙන මානයේ ඉදිකරන ලද අහිංසකයන්ගේ ආරාමයයි. එය දේශපාලන පන්දුවක් බවට ලත්වූ ආකාරය ලක්දුසිංහ කවියාගේ විමසුමට ලක්වෙයි. එහි ප්‍රතිපලය අහිංසකයන්ගේ ආරාමය මැයෙන් නිර්මාණය වන කවියයි.

රජ පවුලට දියවන්නාවෙන්
එගොඩ වෙන්න මහ මන්ත්‍රණ
සභාගැබට ඇතුළු වෙන්න
බෝට්ටුවක් බවට හැරුණු
අවිහිංසක ආරාමය
හැදූ අයම බැකෝ යකෙකු
යොදා වැනසු ආරාමය

මේ සිය දිවියෙහි අටවන දශකයෙහි කැරළිගසනා කවියකුගේ රළ නගනා හදෙහි දිය විසිරුමයි. ඒ විසිරෙන දිය බිඳුවල පහස ලැබුම පාඩුවක් නොවේ. මේ අවසන් කව කියවන්න. එය ඔබ බොහෝ දුර රැගෙන යනු ඇත.

මල් ඵල ද තුරු පත්ද
එකින් එක හෙමි හෙමින් වෙන්ව යයි
මහලු වූ ගස අතැර
එහෙත් වැල
තව තවත් තුරුලු වෙයි
දුබල ගස අත නොහැර

chulananda samaranayaka

All reactions:

පාස්කු ප්‍රහාරය : අද නිලන්ත ජයවර්ධනගේ නඩුවේදී සිදු වූයේ කුමක්ද?

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ නොතකා හැරීම් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කිරීම හා ඔහුට එරෙහිව යන විනය පරීක්ෂණය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බැවින් ඔහු සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ගොනු කළ පෙත්සම කඩිනමින් විභාග කරන ලෙස නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය අද (12) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිඥවරිය එම ඉල්ලීම කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදු කර නඩු පවරන ලෙස ඉල්ලමින් පොලිස්පතිටත්, නීතිපතිටත් කළ පැමිණිලි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ගොනු කර රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීය.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ කොළඹ ශැංග්‍රිලා හෝටලයේ බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත්වූ තරුණයකුගේ පියකු වන සුරාජ් නිලංග මෙම පෙත්සම ගොනු කර තිබේ.

මෙම රිට් පෙත්සම අද මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබීය. මෙම නඩුව අද මූලික ඇගයීමට ලක්කිරීමට නියමිතව තිබුණු අතර නඩුවේ කරුණු දැක්වීමට තමා සූදානම් බව අර්මිසා ටීගල් මහත්මිය අද දැනුම් දුන්නාය. කෙසේ වෙතත් අනිවාර්ය නිවාඩු ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා සඳහන් කළේ නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එය අවසන් වන තෙක් මෙම නඩුව කල් තැබිය යුතු බවයි. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධ විනය පරීක්ෂණය මේ වන විට ආරම්භ වී තිබෙන බවයි.

විනය පරීක්ෂණය සහ අපරාධ පරීක්ෂණය අතර සම්බන්ධතාවක් නැති බවත්, විනය පරීක්ෂණය ආරම්භ කළේ ද අභියාචනාධිකරණයේ පැවරූ මෙම රිට් පෙත්සමේ ප්‍රතිඵලයක් ලෙස බවත්, රිට් පෙත්සමෙන් ඉල්ලීම් කිහිපයක් කර ඇති බවත්, විනය පරීක්ෂණයක් පවත්වා විනයානුකූලව ක්‍රියා කරීම එක් ඉල්ලීමක් පමණක් බවත් නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය සඳහන් කළාය.

‘ඇයි හදිස්සි වෙන්නේ? විනය පරීක්ෂණයේ නියෝගය එනකං බලමු.’ යැයි අභියාචනාධිකරණය එම අවස්ථාවේ සඳහන් කළ අතර ඊට පිළිතුරු දෙමින් නීතිඥ ටීගල් මහත්මිය සඳහන් කළේ මෙය 2019 සිදුවූ සිදුවීමක් බවත්, මේ වන තෙක් අපරාධ නොතකා හැරීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු සිදුවී නැති බවත්ය.

නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නඩු කටයුතු සිදු නොකරන බවට තීන්දුවක් ගෙන ඇත්නම් එම තීන්දුව අහෝසි කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇතැයි ද, නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තීන්දුවක් ගෙන නැතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය. එසේම නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තීන්දුක් ගෙන නැති බව සටහන් කරන ලෙසත්, ඉන්පසු පෙත්සමේ සඳහන් එම අයැදීම ඉවත් කර ගත හැකි බවත් වින්දතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් එය වාර්තා ගත කිරීම අවශ්‍ය නොවන බව අධිකරණය සඳහන් කළේය.

නිලන්ත ජයවර්ධන මහතා මීට පෙර පාස්කු නඩුවක සාක්කිකරුවකු වූ බවත්, ඔහු සාක්කිකරුවකු කරන්නේද, සැකකරුවකු කරන්නේද යන්න ගැන නීතිපති දෙපාර්තමේන්තුවට තවම අදහසක් නැති බවත්, පුද්ගලයකුට එරෙහිව අපරාධ නඩු පැවරීමට නම් ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්කි තිබෙන බවට නඩු මෙහෙයවන්නා සෑහීමකට පත්වියයුතු බවත්, නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් සලකා බැලීමට අලුතෙන් සාක්කි අවශ්‍ය බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීවේය.

ඊට ප්‍රතිචාර දක්වමින නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය සඳහන් කළේ ඊට අදාලව ප්‍රමාණවත් සාක්කි තිබෙන බවයි. මෙම පෙත්සමේ එක් පෙත්සම්කරුවකු වන්නේ ප්‍රහාරයෙන් මරණයට පත්වූවකුගේ පියකු බවත්, ඔවුන් යුක්ති ඉටුවනතුරු බලා සිටින බවත්, නිලන්ත ජයවර්ධනට එරෙහි විනය පරීක්ෂණය අවසන් වන තුරු සිටීමකින් තොරව මෙම නඩුව විභාග කළ හැකි බවත් නීතිඥවරිය අවධාරණය කළාය.

කෙසේ වෙතත් නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් වන විනය පරීක්ෂණය අවසන් වූ පසු මෙම රිට් පෙත්සම සලකා බැලීමට තීන්දු කළ  අභියාචනාධිකරණය පෙත්සම මූලික ඇගයීමට ලක්කිරීම සඳහා ඔක්තෝබර 14 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

නඩු විභාගය දැක බලා ගැනීම සඳහා මෙම නඩුවේ පෙත්සම්කරුවන් වන සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමාත්, ශැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ඝාතනය වූ තරුණයකුගේ පියකු වන සුරාජ් නිලංග මහතාත අධිකරණ ශාලාව වෙත පැමණ සිටියහ.

මෙම නඩුවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහත්මියගේ උපදෙස් මත නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ ලිනුරි මුණසිංහ ඇතුළු නීතිඥවරු පිරිසක් සමග නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය පෙනී සිටියාය. පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටි අතර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර මහතා පෙනී සිටියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් අදාල පියවර නොගැනීමෙන් අපරාධ නොතකා හැරීමක් සිදුවී ඇති බැවින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස ඉල්ලමින් ගොනු කළ පිටු 18කින් සමන්විත මෙම රිට් පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

‘ පෙත්සම්කරුවන් පවසන්නේ 2019 අප්‍රේල් 21 වන දින පෙ.ව. 8.45 සිට මිනිත්තු 20 ක් ඇතුළත කොළඹ, මීගමුව සහ මඩකලපුව යන ප්‍රදේශවල පල්ලි සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හතක් සිදු වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ආසන්න වශයෙන් පුද්ගලයින් 267 දෙනෙකු මිය ගොස් 400 කට වැඩි පිරිසකට බරපතල තුවාල සිදු වූ බවත්ය. තවත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් ප.ව. 1.40 සිට ප.ව. 2.35 දක්වා සිදු විය. ‘පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර’ ලෙසද හැඳින්වෙන මෙම බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රතිඵලයක් ලෙස බෝම්බ ප්‍රහාරවලින් සෘජුවම පීඩාවට පත් වූ සිය ගණනක් ජනතාවට මෙන්ම සංහාරය දුටු මුළු රටටම කිව නොහැකි වේදනාවක් සහ දුක් වේදනාවලට මුහුණ දුන්හ.’

‘2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවල වින්දිතයින් සඳහා යුක්තිය ඉටු කරන ලෙස ක්‍රියාකාරීව ඉල්ලා සිටින බව පෙත්සම්කරුවන් පවසයි. මෙම නඩුවේ 3 වන පෙත්සම්කරු (සුරාජ් නිලංග) කොළඹ මහාධිකරණ HC (TAB) 2899/2021 සහ HC (TAB) 2900/2021 හි නඩු විභාගවලදී අගතියට පත් පාර්ශ්වයකි. 2022 අප්‍රේල් 18 වන දින මහාධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අයව ඔවුන්ට එරෙහි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝග ලබා දුන් බව පෙත්සම්කරුවන් පවසයි.   නීතිපතිවරයා එම නියෝග දෙකටම අභියාචනා කර ඇති බවත්, මෙම අභියාචනා දැනට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින බවත් පෙත්සම්කරුවන් දනී.’  

‘ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ බරපතල රාජකාරි කඩ කිරීමක් අනාවරණය වූ බව පෙත්සම්කරුවන් ප්‍රකාශ කරන අතර, 2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට තුඩු දුන් බරපතල රාජකාරි පැහැර හැරීමකට 2 වන වගඋත්තරකරු (නිලන්ත ජයවර්ධන) සෘජුවම වගකිව යුතු බවට සාක්ෂි සහිතව, 2022 අප්‍රේල් 20 දිනැති පැමිණිල්ලක් 1 වන වගඋත්තරකරු (පොලිස්පති) වෙත පෙත්සම්කරුවන් විසින් යොමු කරන ලදී. පැමිණිල්ලේ යොමු අංකය CIB III 294/22 ලෙස ලබාදී තිබේ.’

‘2 වන වගඋත්තරකරු (නිලන්ත) සම්බන්ධයෙන්  විමර්ශනය කර නඩු පවරන ලෙස ඉල්ලා 1 වන වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇති බවට  2022 ජුනි 09 දිනැති ගරු නීතිපතිවරයා වෙත ලිඛිතව දැනුම්දී ඇති බවත් පෙත්සම්කරුවන් තවදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත්, එම පැමිණිල්ල  සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් නොමැති බැවින්, අවශ්‍ය යැයි සැලකෙන පරිදි නඩු පවරන ලෙස සහ වෙනත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දෙන ලෙස පෙත්සම්කරුවන් ගරු නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. එම ලිපියකට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්  පෙත්සම්කරුවෝ පවසති.’

මත්පැන් බලපත්‍රධාරීන් සඳහා බදු පිළිබඳ වැඩමුළුවක් සහ සුහද හමුවක් ජුනි 14 මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේදී !

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය විසින් ‘බදු ශක්ති’ ජාතික බදු සතියට සමගාමීව දිවයින පුරා සිටින මත්පැන් බලපත්‍රධාරීන් සඳහා සංවිධානය කරනු ලබන එක්දින වැඩමුළුවක් සහ සුහද හමුවක් මීගමුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වැඩමුළුව මෙම මස 14 දින පෙරවරු 9.30 සිට පස්වරු 4 දක්වා මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ, සහ නව්‍යකරණ අංශය, සුරාබදු දෙපාර්තමේන්තුව, සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සංවිධානය කර ඇති ඊට එම ආයතන නියෝජනය කරන නිළධාරීන් රැසක් සහභාගී වනු ඇත.

මත්පැන් බලපත්‍රධාරීන්ට බදු ක්‍රම, වර්තමාන රෙගුලාසි, සහ අදාළ නීති ප්‍රතිපාදනවලට අනුව මෙහෙයුම් පවත්වාගෙන යාම පිළිබඳ යාවත්කාලීන කිරීම් සහ මාර්ගෝපදේශ රැසක් ලබා ගත හැකි ආකාරයෙන් එය සැලසුම් කර තිබේ. අදාළ රාජ්‍ය ආයතනවල නිළධාරීන් සමඟ සෘජුව සම්බන්ධ වී ගැටලුවලට පිළිතුරු ලබා ගැනීමටත්, ඉදිරියේදී සිදු වීමට නියමිත වෙනස්කම් පිළිබඳව දැනුම්වත් වීමටත් සහභාගී වන්නන්ට අවස්ථාව ලැබෙනු ඇත. වැඩමුළුවට අමතරව එදින විනෝදාත්මක අංග රැසකින් පිරි සුහද හමුවක්ද පැවැත්වීමට නියමිතය. විවෘත සාකච්ඡා තුළින් මත්පැන් බලපත්‍රධාරීන් සහ අදාළ ආයතන අතර ශක්තිමත් සහ සුහදශීලී සම්බන්ධතාවයක් ඇති කිරීම මෙම මුලපිරීමේ ප්‍රධාන අරමුණ බව සංවිධායක මණ්ඩලය සඳහන් කළේය. සහභාගී වීම සහ අනිකුත් පහසුකම් සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. සීමිත ආසන සංඛ්‍යාවක් පවතින බැවින් සංවිධායක කණ්ඩායමේ සාමාජිකයින් සම්බන්ධ කර ගෙන ආසන වෙන් කර ගත යුතුය.

ධනංජය – 0777444228, තංගවේලු – 0777807883, චතුරංග – 0778411777.

ජනාධිපති සමාව : ගල උඩ සටනේ ඉලක්කය කුමක්ද?

දැන් පටන්ගෙන ඇත්තේ ගල උඩ සටන ය. එක්කෝ වැඩේ ඉවරයක් කළ යුතුය. නැතහොත් ගලෙන් පහළට වැටී විනාශ විය යුතුය. වෙනත් ආණ්ඩු කිසිවක් නොකළ ආකාරයට ජාතික ජන බලවේග ආණ්ඩුව සටන් මග තෝරාගෙන තිබේ. මේ සටනේදී ජනතාව නොසිතූ කරුණු හෙළිදරව් වීමට නියමිත ය. ලංකාව යනු කවර ආකාරයේ අපරාධ රාජ්‍යයක් ද යන්න හෙළිදරව් වීමට නියමිත ය. 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඇතුළු විමර්ශන අංශවලට තමන්ගේ රාජකාරිය කරන්නට ඉඩ දී තිබේ. මේ ටික කාලයට රටේ ප්‍රධාන රාජ්‍ය ආයතන තුනක ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යනු ඒ තිදෙනා ය. මේ තිදෙනාට එරෙහි විමර්ශනවල අනාගතය යනු දේශපාලනඥයන්ට එරෙහි නඩු මෙන් නොවේ. මේ එක් ක්‍රමයක ස්ථිර හිමිකරුවන් ය. ඔවුන් පසුපස මෙන්ම ඉදිරියෙන් ද යැපෙන්නන් බොහෝ සිටි බවට කරුණු අනාවරණය වෙමින් තිබේ.

එහෙත් මුලින්ම කිව යුතු තවත් කරුණක් ඇත. ඒ මේ සටනේදී ගැලරිය පිනවන මහත්වරුන්ගෙන් ද ආණ්ඩුව ප්‍රවේශම් විය යුතු බවයි. ඊට හේතුව අනාවරණය වනවා වගේම තවත් තොරතුරු රැසක් මේ ගැලරි නාටක හරහා සැඟවී යෑමට ඉඩ ඇති නිසා ය. උදාහරණයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි තිබූ අපරාධ සැකකරුවන් කොතරම් ප්‍රමාණයක් නිදහස් කළේ ද? ඒ සඳහා අපරාධ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවට ඇති බලතල කොතරම් භාවිත කළේද? බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවාක් මෙන් මේ සියල්ල රාජධානි කරගෙන සිටි තැන් ය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර නිශාන්ත උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට 09දා කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ඉන්පසු එදින ම රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගත්තේය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. ප්‍රසන්න චන්දිත් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 06 වැනිදා කරන ලද පැමිණිල්ලකට අනුව ය, ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ. 

එච්/සී/069/2018 අංකය යටතේ විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්නට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණේ 2018 වසරේදී ය. ඔහුට එරෙහි චෝදනාව වූයේ 2014 පෙබරවාරි 17 සිට 2014 ජූනි 09 දක්වා වූ කාලයේදී කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර ලාබ ඉපයීමට යනුවෙන් පවසමින් අරුණ ඉන්දික සෝමරත්නගේ රුපියල් ලක්ෂ 40ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සහ සාපරාධී විශ්වාසය කඩකිරීමයි. දණ්ඩ නීති සංග්‍රහයේ 389 වැනි වගන්තිය යටතේ ය, මේ අධිචෝදනා ගොනුකර ඇත්තේ. අනුරාධපුර මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග ඉදිරියේ මේ නඩුව විභාග කෙරිණි.

මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද්දේ මේ වසරේ මැයි 02 වැනිදා ය. නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 389 වගන්තියට අනුව නොව, එම සංග්‍රහයේ 386 වගන්තිය යටතේ මේ සැකකරු වරදක් කර ඇති බව ඒ තීන්දුවේ දැක්වේ. ඊට අදාළ ව රුපියල් 20,000ක දඩයක්, එම දඩය නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත මාස හයක සිර දඬුවම්, වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් වසර පහකට අත්හිටුවීම, වින්දිතයාට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවීම, එම වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකරගැනීම සහ එය නොගෙවන්නේ නම් මාස හයක සිරදඬුවමක් නියම කිරීම යන දඬුවම් මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරුට නියම කර තිබේ. දඩ ගෙවීම් සඳහා ජුනි 04 වැනිදා කැඳවීමට ද මැයි 02 වැනිදා අධිකරණයෙන් නියෝග කර ඇත.

ජුනි 04 වැනිදා මේ නඩුව මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ සිරදඬුවම් නියම කරන ලද මේ පුද්ගලයාට ජනාධිපති සමාව ලැබී ඇති බවයි. එය මාධ්‍ය මගින් වාර්තා කිරීමෙන් පසුව ය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇත්තේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 07 වැනිදා අදාළ ලේකම්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබුණේ වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදීමට සිරකරුවන් 338 දෙනකුගේ ලේඛනයක් 2025 අප්‍රේල් 28 වැනිදා ජනාධිපති කාර්යාලයට යොමුකර ඇති බවයි. එනම්, මේ ලේඛනය බන්ධනාගාරයෙන් යොමුකරන අවස්ථාව වන විට සිදුවීමට අදාළ පුද්ගලයාට මහාධිකරණයෙන් දඬුවම් ලබාදී තිබුණේ නැත. ඔහුට අධිකරණයෙන් දඬුවම් ලබාදුන්නේ මැයි 02 වැනිදා ය. යොමු කළ ලැයිස්තුවට මැයි 09 වැනිදා අනුමැතිය ලැබී තිබේ.

දඩ මුදල් ගෙවීමට නොහැකි සිරකරුවන්ගේ දඬුවමේ ශේෂය අහෝසි කිරීම, දීර්ඝ කාලයක සිරදඬුවම් නියම වූ සිරකරුවන්ට වසරකට සතියක දඩද්‍වම් ක්ෂයවීමක් ලබාදීම, වසර 65ට වැඩි හෝ දඬුවමෙන් හරි අඩක් ගෙවා ඇති සිරකරුවන්ගේ සිරදඬුවමේ ශේෂය අහෝසි වීම ආදී වශයෙන් මේ ජනාධිපති පොදු සමාවට සිරකරුවන් සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදයක් පවතී. එම ක්‍රමවේදයට අනුව ය, අදාළ ලැයිස්තුව බන්ධනාගාරයෙන් සකස් කර තිබුණේ. 

මේ ලැයිස්තුවේ තීරණාත්මක සිදුවීමට අදාළ පුද්ගලයාගේ නම තිබී නැත. විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ මේ පුද්ගලයාට අමතරව ලැයිස්තුවේ නම නැති තවත් පුද්ගලයකු මෙසේ නිදහස් කර ඇති බවයි. 2025 ජුනි 06 වැනිදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් මීට අදාළ ව අසත්‍ය කරුණු සහිත ලිපියක් අධිකරණ අමාත්‍යංශයට යොමු කළ බව ද මෙහිදී දිලීප පීරිස් පෙන්වා දුන්නේය. එසේ ම 2024 නත්තල් දිනයට අදාළ ව ජනාධිපති සමාව ලබාදී ඇති සිරකරුවන් පිරිස 332කි. එහිදී ද සිරකරුවන් 57 දෙනකු මෙසේ ජනාධිපති සමාව යටතේ යැයි සඳහන් කරමින් ලැයිස්තුවට පිටින් මුදාහැරීමට බන්ධනාගාරය කටයුතු කර තිබේ. 2025 ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 274 දෙනකුට ජනාධිපති පොදු සමාව ලබාදී ඇත. එහිදී ද සිරකරුවන් 11 දෙනකු මෙසේ ජනාධිපති සමාව යටතේ යැයි කියමින් ලැයිස්තුවට පිටින් මුදාහැරීමට බන්ධනාගාරය කටයුතු කර තිබේ. එනම් ඉතා කෙටි කාලයක් තුළ සිරකරුවන් 70කට ආසන්න පිරිසක් මෙසේ ජනාධිපති සමාව යටතේ යැයි සඳහන් කරමින් ලැයිස්තුවලට පිටින් මුදාහැර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මේ ගැටලු සහගත මුදාහැරීම් සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු ලැබී ඇත්තේ නත්තල් දවසේ පොදු සමාව පිළිබඳවයි. ජාතික නිදහස් දිනයේ මුදාහැරීම් පිළිබඳව ද තොරතුරක් ලැබී ඇත. මේ නිසා මෙතෙක් කලක් ක්‍රියාත්මක වූ පොදු සමාවට සුදුසුකම් ලද ලැයිස්තුව ඉලක්කමක් ලෙස අනුමැතිය සඳහා එවීමේ ක්‍රමය වෙනස් කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. ඒ අනුව වෙසක් දිනයේ පොදු සමාව සඳහා සුදුසුකම් ලබන්නන්ගේ ලැයිස්තුව නම් වශයෙන් එවන ලෙසයි, බන්ධනාගාරයට උපදෙස් දී ඇත්තේ. උපදෙස් අනුව මෙවර ලැයිස්තුව ඉලක්කමක් ලෙස නොව නම් ලැයිස්තුව ලෙස එවා තිබේ. එසේ නොවූයේ නම් මෙවර ද මෙවැනි ගැටලුවක් බොහෝ විට පැනනගින්නේ නැත. 

අනෙක් අතට තවත් තර්කයක් විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබයි. එනම් මේ ලැයිස්තුව අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමෙන් පසුව වුවද, අදාළ පොදු සමාවට සුදුසුකම් ලබන කොන්දේසි සමාව ලබන දිනය වන විට සපුරන්නේ නම්, ඔවුන්ට ද මෙසේ නිදහස් වීමට ඉඩ ලැබෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් චක්‍රලේඛයක් එවා ඇති බවයි. එහෙත් අප කළ සොයාබැලීමේදී අනාවරණය වූයේ එවැනි චක්‍රලේඛයක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් නැති බවයි. මේ නිසා අනුමැතිය නොලත් කිසිවකු මුදාහැරීමේ අවස්ථාවක් නැති බවයි, ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පෙන්වාදෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව යටතේ ජනාධිපති සමාව පිළිබඳ පරම බලය ඇත්තේ විධායක ජනාධිපතිවරයාට ය.

ජාතික ජන බලවේග ආණ්ඩුව පත්කරගැනීමේදී ජනතාවගේ අභිලාෂය වූ මූලික කරුණු අතර නීතියේ ආධිපත්‍යය විධිමත් ව ස්ථාපිත කිරීම මූලික වේ. ඒ සඳහා මෙවැනි ගල උඩ සටනක් අවශ්‍ය ය. එවැනි සටනකදී මැදින් නොහැරෙන, සෘජු ගමනක් අත්‍යවශ්‍ය වේ. සටනේ ජයග්‍රහණය ජනතාවට ලැබෙන්නේ එවිට ය.

  • ශාලික විමලසේන 

යාපනය තිස්ස විහාරයේ ගැටලුව පිළිබඳව හෙමිංවේ කියන කතාව !

අර්නස්ට් හෙමිංවේ කිව්වේ ජීවිතයේ අපට හමුවන සුන්දරම මිනිසුන් බොහෝවිට ගින්න මැදින් ඇවිද ගිය අයයි යනුවෙනි. 

හෙමිංවේගේ මේ කතාව මනාව විග්‍රහ කෙරෙන චිත්‍රපටයකි, 1994 වසරේදී තිරගත වුණු ද ෂෝෂෑන්ක් රිඩෙම්ප්ෂන් චිත්‍රපටය. ලෝක සිනමා ඉතිහාසයේ හොඳම චිත්‍රපට අතර මේ චිත්‍රපටය තිබේ. මෙහි ප්‍රධාන චරිතය ඇන්ඩි ඩුෆ්‍රේන් සාර්ථක බැංකු නිලධාරියෙකි. එහෙත් එක්වරම ඔහුට චෝදනා එල්ලවන්නේ තම බිරිඳ සහ ඇයගේ පෙම්වතා ඝාතනය කළ බවටයි. තමන් මේ අපරාධය නොකළ බව දිගින්-දිගටම පැවසුවත් ඔහුට ජීවිතාන්ත සිර දඬුවමක් ලැබේ. එම සිර දඬුවම සඳහා කෲර වධහිංසාවලට ප්‍රසිද්ධි ෂෝෂෑන්ක් නම් සිරගෙදරට ඔහුව යොමුකරයි. 

මේ සිරගෙදර යනු නීතියට වඩා කෲරත්වය රජ කරන තැනකි. සිරකරුවන්ට දරුණු වධහිංසා මෙහිදී අත්විඳින්නට සිදු වේ. නිදහස යනු මෙහිදී සිහිනයකි. අනෙක් සිරකරුවන්ට මෙන්ම ඔහුට ද දරුණු වධහිංසාවලට මුහුණදීමට සිදු වේ. 

කෙසේ වෙතත් මේ සියල්ල මැදත් ඔහු තමන්ගේ මනුෂ්‍යත්වය සහ බලාපොරොත්තුව නැතිකරගන්නේ නැත. සිරගෙදර දරුණු වධහිංසාවලට තමන්ගේ ආත්මය, ඉලක්කය පොඩිපට්ටම් කිරීමට ඔහු ඉඩදුන්නේ නැත. ඔහුගේ බුද්ධිය, ඉවසීම පවත්වාගනිමින් ඔහු සිරගෙදර ඔහුගේ තැන බවට පත්කරගනී. සිරගෙදර පුස්තකාලය දියුණු කරන ඔහු, සිරකරුවන්ට කියවීමට හුරුකරයි. සිරගෙදර කර්කශ නිවේදන දැනුම්දීමට ඇති ස්පීකර්වලින් ඔහු ඔපෙරා ගීත වාදනය කරවයි. අවසානයට ඔහු මේ සියල්ල හරහා තමන්ගේ ඉලක්කය වෙත යයි. ඔහු සිරගෙදරින් පළායයි.

මේ සරල කතාවක් නොවේ. ජාතික ජන බලවේග ආණ්ඩුවට සිදු වී ඇත්තේ ගිනි මැදින් ඇවිදීමටයි. විපක්ෂයට ද එසේ ම ය. ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අන්තවාදී අදහස් යම් තරමකට ප්‍රතික්ෂේප කළ බවක් පෙනෙන්නට තිබිණි. එහෙත් අළු යට ගිනි තිබේ. යාපනයේ තයියඩි ප්‍රදේශයේ පිහිටි තිස්ස විහාරය මූලික කරගනිමින් සිදු වන සිදුවීම් පෙළත් ඒ වගේ ය. ඒ වෙනුවෙන් දිනපතා අලුතින් සමාජ මාධ්‍ය පිටු විවෘතවෙමින් තිබේ. ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලය පසුගිය කාලයේ ම ගත කළේ මේ ප්‍රශ්නය සමග ය.

එහි සභාපති විජිත් රොහාන් ප්‍රමුඛ ව සහකාර අධ්‍යක්ෂ සුසන්ත කුමාර සහ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සඳුනි ආරියවංශ එහි ගොස් තිස්ස විහාරයේ ස්වාමීන් වහන්සේ, නාගදීප විහාරයේ ස්වාමීන් වහන්සේ, අදාළ භූමියේ අයිතිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන පවුල්වල සාමාජිකයන්, යාපනයේ සිවිල් සංවිධාන, තිස්ස විහාරයේ කොළඹ දායක පිරිස් ඇතුළු සියලු පාර්ශ්ව මුණගැසී තිබිණි. එම සාකච්ඡාවලින් පසු සියලු තොරතුරු සහ සාක්ෂි සහිත වාර්තාවක් අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරට එම කාර්යාලය මගින් බාර දී ඇත. එම කාර්යාලට බලය ඇත්තේ මෙවැනි ගැටලු සම්බන්ධයෙන් විෂය බාර ඇමැතිවරයාට නිර්දේශ ලබාදීමටයි.

ඉඩම් සම්බන්ධ මේ ගැටලුවට අදාළ වාර්තාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය. එහිදී දීර්ඝකාලීනව මීට විසඳුමක් ලබාදිය යුතුය. මේ ආකාරයට නැගෙනහිර පළාතේ ඇති ස්ථාන ගණනාවක්, මහනුවර එක් ස්ථානයක් ආදී වශයෙන් තොරතුරු රැසක් කාර්යාලයට ලැබී තිබේ. ඔවුන් ලංකාව පුරා ග්‍රාම නිලධාරි වසම් හත්දහසක පිහිටුවා ඇති සහජීවන කමිටු හරහා රට පුරා ක්‍රියාත්මක වේ.

ගැරඬිඇල්ල අනතුර සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන කිහිපයකට නඩු – එපමණකින් සෑහීමකට පත්විය හැකිද?

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ මාරක රිය අනතුරට අදාළ ව මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පවරන බව ගැරඬිඇල්ල මාරක රිය අනතුර පිළිබඳ විමර්ශන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් එම අනතුර සම්බන්ධ කමිටු වාර්තාව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාලට බාර දී තිබිණි. එම කමිටු වාර්තාවට අනුව එම අනතුර සිදුවූ ස්ථානයේ යකඩ වැටක්, කොන්ක්‍රීට් ආධාරක කණු, විදුලි බල්බ, මාර්ග ගැටිති හෝ ඊතල මාර්ගෝපදේශක සලකුණු කිසිවක් නොතිබුණු බව ද අජිත් රෝහණ සඳහන් කරයි.

එසේම බස් රථය පැය දහතුන හමාරක පමණ දීර්ඝ ගමනාන්තයක් දක්වා ගමන් කිරීමට නියමිත පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් අවසරයක් ලබාගෙන නොමැති බවත්, එබැවින් එම බස් රථයේ ලියාපදිංචි අයිතිකරු ලෙස ගමනාගමන කොමිෂන් සභාවට සහ කතරගම ඩිපෝවට නඩු පැවරීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් ගම්පොල, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. අඩි 100ක පමණ ප්‍රපාතයකට මේ බස් රථය පෙරළී තිබූ අතර, අනතුරෙන් තුවාල ලැබූ තවත් විශාල පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබිණි. මාර්ග අනතුරු සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් මතුවන්නේ බරපතළ සිදුවීමක් වූ විට ය. එහෙත් එයින් ටික දිනකට පසු මියගිය, බරපතළ තුවාල ලැබූ සාමාජිකයන්ගේ පවුල්වල සමීපතමයන්ට හැර, අනෙක් අය ඒ සංවාදයෙන් වෙනත් සංවාද කරා යයි. එහි අසාධාරණයක් නැත. ජනතාව සිටින්නේ වැඩවල ය. ඒ වැඩ සියල්ල ජනතා හිතවාදී ලෙස එකිනෙක කළමනාකරණය කිරීම පත්කරගන්නා ආණ්ඩුවල වගකීමකි.

ගැරඬිඇල්ලේ අනතුරෙන් පසු සංවාද කඩිනමින් අවසන් නොවීය. ඊට හේතු වූයේ පැවැති වර්ෂා තත්ත්වය නිසා අනතුරු රැසක් සිදුවීමයි. වෙසක් පොහොය සමග තිබූ දීර්ඝ නිවාඩුවට නුවරඑළිය, බදුල්ල ප්‍රදේශවල සංචාරය කළ පෞද්ගලික රථ රැසක් ද අනතුරුවලට ලක් විය. මගීන් රැගෙන ගිය පෞද්ගලික බස් රථ කිහිපයක් ද ඒ අතර තිබිණි. මේ අනතුරු සමග ඇති වූ කතාබහ අනතුරු සිදුවන්නේ ඇයි කියන තැනින් ඔබ්බට ගොස්, රෝහල්වල ඇති පහසුකම්, සමාජ සාමූහිකත්වය වැනි පුළුල් මාතෘකා සඳහා ද යොමුවීම වැදගත් ය. විශේෂයෙන් ම ගැරඬිඇල්ලේ අනතුරින් පසු කොත්මලේ රෝහලට අවශ්‍ය පහසුකම් මොනවාද, ප්‍රාදේශීය රෝහල්වල අත්‍යවශ්‍ය පහසුකම් නැත්තේ ඇයි යන්න පිළිබඳ ජනාධිපතිවරයාගේ සිට කතා කළේය. ආණ්ඩුවේ විවිධ ව්‍යාපෘති ඒ වෙනුවෙන් යොමුකෙරිණි. අවශ්‍ය වන්නේ මේවා ඒ වෙලාවට පමණක් නොවී, දිගටම සිදුවීම ය. නැතහොත් අවසන් වශයෙන් සිදුවන්නේ සිදුවන්නේ අනතුරේ වරද රියදුරාගේ පිටින් යෑම පමණි.

එවැනි එක් උදාහරණයක් වන්නේ රථ වාහන අනතුරු සිදුවීමේදී ජනතාවට සිදු වන හානි අවම කිරීමට යනුවෙන් පවසමින් ගෙන ආ මගී බස් රථවල ඇති අනවශ්‍ය සැරසිලි කොටස්, විශේෂයෙන්ම අලුතින් සවිකරන ලද සුදු යකඩ කොටස් ඉවත් කිරීමේ ව්‍යාපෘතියයි. එය දැන් නැත. ඊට මුලදී විරෝධයක් ආවේ එවැනි සැරසිලි කරන ව්‍යාපාරිකයන්ගෙන් සහ ඒවා ගෙන්වන ව්‍යාපාරිකයන්ගෙන් ය. ඉන්පසු බස් රථ හිමිකරුවන්ගේ පැත්තෙන් විරෝධයක් ආවේය. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මෙන්ම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි ද මේවා පිළිබඳ සිය වගකීම ඉටුකර තිබුණේ නැත. ඔවුන් මගීන්ගේ ප්‍රවේශපත් පිළිබඳ සහ රියදුරන්ගේ, කොන්දොස්තරවරුන්ගේ බලපත්‍ර පිළිබඳ පමණක් අවධානය යොමු කළද, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවලට බස් රථයක ඇති අනතුරු විය හැකි සියලු අවස්ථා පිළිබඳ අවධානය යොමු කොට, ඊට එරෙහිව කටයුතු කිරීමට නීතියෙන් විධිවිධාන සපයා ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධකාරියේ ඉහළ නිලධාරීන් ඒ බව තහවුරු කළේය. එහෙත් මාර්ගයේ මේ පරීක්ෂා කිරීම් සඳහා යොදවා ඇති නිලධාරීන්ගෙන් විමසීමේදී ඔවුන් පැවසුවේ තමන්ට එවැනි බලයක් ඇතැයි නොදන්නා බවයි. මේ එක් උදාහරණයක් පමණි.

2024 වසරේ අගෝස්තු මාසය අවසාන වන විට ලංකාවේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව 84,21,126කි. ඒ අතර බස් රථ 1,14,064කි. මෝටර් රථ 9,04,649කි. ත්‍රීරෝද රථ 11,84, 466කි. යතුරුපැදි 48,92,213කි. මේ රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු ය.

මේ වාහනවලින් පසුගිය වසර 05ක කාලයේදී සිදු වී ඇති අනතුරුවල තත්ත්වය පිළිබඳව ද අප සලකාබැලිය යුතුය. පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන කොට්ඨාසයේ තොරතුරුවලට අනුව 2020 වසරේදී අනතුරු 23,704කින් පුද්ගලයන් 2,363 දෙනකු මියගොස් ඇත. 2021 වසරේදී අනතුරු 22,847කින් 2,557 දෙනකු මියගොස් ඇත. 2022 වසරේදී අනතුරු 21,953කින් 2,540 දෙනකු මියගොස් ඇත. 2023 වසරේදී අනතුරු 24,877කින් 2,321 දෙනකු මියගොස් ඇත. 2024 වසරේදී අනතුරු 24,589කින් 2,368 දෙනකු මියගොස් ඇත. මේවා මාරක අනතුරු, බරපතළ හානි සහිත අනතුරු ආදී වශයෙන් ද වර්ගීකරණය කෙරේ. මේ සංඛ්‍යා දත්තවලට අනුව පසුගිය වසර 05ක කාලයේදී රථවාහන අනතුරුවලින් පුද්ගලයන් 12,149 දෙනකු මියගොස් තිබේ. මෙහි සත්‍ය සංඛ්‍යාව මීට වඩා වැඩි ය. ඊට හේතු වන්නේ බරපතළ අනතුරුවලින් තුවාල ලබා, රෝහල්ගතව සිට පසුකාලීන ව විවිධ ආබාධවලින් මියයන පුද්ගලයන් සංඛ්‍යාව මේ අතරට එකතු නොවීම ය.

මේ අතරින් 2024 වසරේදී මියගිය 2,368 දෙනාගෙන් 838ක් පදිකයන් ය. යතුරුපැදිකරුවන් 732කි. පසුපැදිකරුවන් 156කි. රියදුරන් 166කි. පාපැදිකරුවන් 160කි. මගීන් 310කි. මේ එක් වසරක දත්ත පමණි. අනතුරු අවස්ථාවේදී වාර්තා වූ දත්ත පමණි. අනතුරු නිසා සිදු වූ පදිකයන් මියයෑම පමණක් ගත් විට ඉහතින් ද දැක්වූ ආකාරයට 2024 වසරේදී 838 දෙනකු මියගොස් තිබේ. 2020 වසරේදී එය 676කි. 2021 වසරේදී එය 652කි. 2022 වසරේදී එය 686කි. 2023 වසරේදී එය 669කි.

එම නිසා මේ තත්ත්වය මීට වඩා බොහෝ සංකීර්ණ ය. එසේ ම අනතුරකින් මියයන්නේ අදාළ වාහනයේ රියදුරා හෝ එහි මගීන් පමණක් නොවේ. ඒ හරහා සිදු වන බලපෑම ඔවුන්ගේ පවුල් වෙත, ඒ පවුල්වල දරුවන් වෙත, ඔවුන්ගේ අධ්‍යාපනය වෙත ආදී වශයෙන් සමස්තය කරා විහිදී යන්නකි. රටේ සමස්ත ආර්ථිකය සහ අනාගතයට සෘජු බලපෑම් එල්ල කරන්නකි.

පොදු ප්‍රවාහනයේ යෙදෙන ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සහ පෞද්ගලික බස් රථ අනතුරු සංඛ්‍යාව ගතහොත්, 2020 වසරේදී පෞද්ගලික බස් රථ 1,597ක් අනතුරට ලක්වී ඇත. එම වසරේදී ලංගම බස් රථ 391ක් අනතුරට ලක්වී ඇත. 2021 වසරේදී පෞද්ගලික බස් රථ 894කි. ලංගම බස් රථ 281කි. 2022 වසරේදී පෞද්ගලික බස් රථ 1,247කි. ලංගම බස් රථ 444කි. 2023 වසරේදී පෞද්ගලික බස් රථ 1,568කි. ලංගම බස් රථ 629කි. 2024 වසරේදී පෞද්ගලික බස් රථ 1,510කි. ලංගම බස් රථ 519කි. මේ පොදු ප්‍රවාහන සේවා මගින් තම ගමනාගමන පහසුකම් සපයාගන්නා පිරිස අතිවිශාල ය. ගැරඬිඇල්ලේ අනතුර සිදු වන අවස්ථාවේ 70කට අධික පිරිසක් බස් රථයේ සිටි බව වාර්තා කෙරිණි.

2018 වසරේදී පොදු ප්‍රවාහන බස් රථ 4,294ක් අනතුරට ලක් වී තිබේ. 2019 වසරේදී එය 3,583කි. 2020 දී එය 2,100කි. 2021දී එය 1,526කි. 2022දී එය 2,294කි. 2023දී එය 2,745කි. 2024දී එය 2,029කි. මේ පොදු ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් නියාමනය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ඇති ආයතන මෙවැනි අනතුරු අවම කිරීම සඳහා ගෙන ඇති දීර්ඝකාලීණ පියවර මොනවාද? ඔවුන් සතුව තාවකාලිකව ක්‍රියාත්මක කළ පිළිතුරු කිහිපයක් තිබුණත්, ඒ කිසිවක් සෑහීමකට පත්වන ආකාරයෙන් සිදු වී නැත.

ගැරඬිඇල්ල අනතුර සිදු වූ බස් රථය ම ගත් විට, කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ එම බස් රථයේ එක් ගමන් වාරයක මුළු ධාවන දුර කිලෝමීටර් 350 ඉක්මවයි. එය රාත්‍රිය පුරා ධාවනය වන්නකි. එහි සිටින්නේ එක් රියදුරකු පමණි. මෙවැනි දුර ගමන් රාත්‍රී බස් රථ කොපමණක් ද? රජයේ ආයතනවල නිල වාහන ධාවනයේදී එක් වරකට ගමන් කළ යුතු දුර, විවේක ගැනීම, රාත්‍රී ධාවනය පිළිබඳ කොන්දේසි රැසක් පනවා ඇත. ඒ කොන්දේසි සමග ය, ඔවුන්ට හිමි වන විශේෂ දීමනා සහ අතිකාල දීමනා හිමිවන්නේ. එහෙත් බස් රථවල එවැනි කොන්දේසි නැත. ලංගම බස් රථවලත් නැත. පෞද්ගලික බස් රථවලත් නැත. එහෙත් මෙවැනි කොන්දේසි පිළිබඳ මේ බස් රථ නියාමනය කරන ආයතනවලින් විවිධ කොන්දේසි පනවා තිබේ. බස් රථවල තත්ත්වය පිළිබඳව ද එවැනි නීති රැසක් ඇත. ලංගම ඩිපෝවල ධාවන කළමනාකරුවන් ට මේ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් ලබාදී ඇත.

තවත් කාරණයක් මෙහිදී වැදගත් ය. මේ අනතුරු වලක්වාගැනීම සම්බන්ධයෙන් ප්‍රවාහන බලධාරීන් සමග එක්ව කටයුතු කළ යුතු ආයතන ද රැසකි. ඒ අතර මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රමුඛ වේ. මාර්ගයේ තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතුය. ප්‍රධාන මාර්ගවල ඇති ඇතැම් දුරකතන සම්බන්ධතා සඳහා හාරන ලද වළවල් නිවැරදිව වසාදමන්නේ නැත. එම වළවල් නිසා යතුරු පැදි සහ ත්‍රීරෝද රථ බොහෝ විට අනතුරට ලක්වේ. ජල සම්පාදන අලුත්වැඩියා පිළිබඳ තත්ත්වය ද එසේ ම ය. මේ ආයතන කටයුතු කරන්නේ සම්බන්ධීකරණයකින් නොවේ. ගැටලුව ඇත්තේ එතැන ය. විශේෂයෙන්ම බෑවුම් සහිත මාර්ගවල අනතුරු හඳුනාගැනීමේ සංඥා, ආලෝකය, යකඩ වැටවල් යෙදීම සෑහීමකට පත්වන පරිදි සිදු වී නැත.

එම නිසා වර්තමාන ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදී සිදු කළ යුතු කරුණු අතර මේ අනතුරු වළක්වාගැනීම සඳහා නිවැරදි, දීර්ඝ කාලීන, සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකස් කිරීම අනිවාර්ය වේ. සමස්ත රටේ ආර්ථිකය සහ ජනජීවිතය නගාසිටුවීමේ මෙහෙයුමකදී එය අත්‍යවශ්‍ය ය. එසේ නොකොට විරෝධතා මත වෙනස් වන තීරණ ගන්නේ නම්, පවතින නීති සහ අවශ්‍ය නීති සම්පාදනය කොට ක්‍රියාත්මක කිරීම වෙනුවට මාධ්‍ය ප්‍රමුඛ කොටගත් මෙහෙයුම් සිදුකරන්නේ නම්, තවදුරටත් අනතුරු මගින් සිදුවන ජීවිත හානි, දේපොළ හානි සමස්තය අඳුරට රැගෙන යනු ඇත.

ගනේමුල්ල සංජීවට වෙඩි තැබුවේ වෙනත් පාර්ශ්වයක්දැයි සැකයක් ?

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයකු වූ ගනේමුල්ල සංජීව ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් ව අධිකරණ නියමයන් අනුව හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළද, එම සැකකරුවන් කවුරුන්දැයි සාක්ෂිකරුවන්ට නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වීම පිළිබඳ ව සැකයක් පවතින බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

අද (11) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡවකට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ බව සඳහන් කළේය.

එසේ හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සැකකරුවන්ව හඳුනානොගත්තේ කිසියම් පාර්ශ්වයක බලපෑමකට නතුව දැයි පොලිසියේ සැකය යොමු වී ඇති බව ඔහු මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන බව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය. එමෙන්ම පොලිසියට විමර්ශන කටයුතු සිදු කිරීමට අනිවාර්යයෙන් මහජන සහාය අත්‍යවශ්‍ය බවත්, එය නොමැතිව පොලිසියට මෙම ක්‍රියාවලිය තනිව සිදු කිරීමට නොහැකි බවත් වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී අවධාරණය කළේය.