‘මෙය අලුත් මැදුරක්’- සිරිනිමල් ලක්දුසිංහ

Share post:

චිංගීස් අයිත්මාතොව් ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය ය. ඒ නවකතාකරුවකු ලෙසිනි. එහෙත් වරෙක මට ඔහුගේ කවියක් හමුවිණි. එහි එක් කොටසක සිංහල පරිවර්තනය මෙපරිදිය.

වපුරමින් බිජුවට පියනගමි හී විටි මතින් සැමත
උණුසුම් මිහි මඩලෙහි සුමුදු යහනක ඔබ නිදනු ඇති
කම් නැති
මම ඉසිමි එක් බිජුවට අහුරක් සීතලෙන් පීඩා විඳින අනාථයන් වෙනුවෙන්
තවත් අහුරක් රෝගීන්, අංගවිකල වූවන් සහ හුදෙකලා වියපත් මිනිසුන් වෙනුවෙන්
මේ අහුර හාමතින් වියලි වැල්ලේ පීඩා විඳින අසල්වැසියන්ටය
මේ අහුර ආත්මය අහිමි කරන ලද්දන්ටය
මේ අහුර සැරිසරන්නන්ටය
එසේම මේ බිජුවට අහුර කුරගාන බඩගාන සතුන්ටය
මේ අහුර ඔබට සහ මටය, අපේ දරු පවුලටය

මේ කවිය අයිත්මාතොව් නම් නිර්මාණකරුවාගේ සමස්ත නිර්මාණ දිවියෙහිම අරමුණ කැටිකරගත් කවියකි. මට යළිත් මෙ කව සිහිපත් වූවේ ලාංකීය කවියකුගේ නිර්මාණයක් හේතුවෙනි. මේ කවි දෙකෙහිම අරුත බෙහෙවින් සමානය. එහි ඇති මානුෂවාදීබව, පරාර්ථකාමීක්වය සහ අරමුනු සහගත බව කැපී පෙනෙයි. දෙවන කවිය එන්නේ කවි එකතුවක පිවිසුම ලෙසිනි. එය ඇරඹෙනුයේ මෙලෙසිනි.

බිම් කෙටුවෙමි පොඩි ඉඩක
වැඩිහිටි ගොවීන් අස්වැද්දූ වෙල් යායක
ඔවුන්ගේ සුරැකුම් මැනවින් බලා හිඳ
සී සෑවෙමි මඩ කුට්ටි සමතලා කොට
වැපුරුවෙමි බිජුවට

ඔහු ඒ පෙරවදනෙහි අවසන සටහන් කරනුයේ මෙලෙසිනි.

කැළණි සෑයේ හැඩට
බැත රාසි කෙරුවෙමි
ඉතින් දැන් මෙන්න ඒ අස්වැන්න
දෑත් විහිදා පෙන්වන්නෙමි ඔබට!

අප කවියා සිරිනිමල් ලක්දුසිංහය. මේ ඔහුගේ තෙවන කාව්‍ය නිර්මාණ එකතුවයි. ඔහු කවියෙකි, කවියෙන් කතන්දර කියන්නෙකි. කතන්දරයෙන් කවි කියන්නෙකි. ඔහුගේ කෙටිකතා පොත ඊට සාක්ෂි සපයයි. එකම බිරිඳ දෙවරක් මැරූ මිනිහෙක් නමින් එන කවිය මෙවන් කවි කතන්දරයකි. ඒ කවිය මනුෂ්‍ය දිවියෙහි අපේක්ෂා විරහිතබව මෙන්ම අහඹුව ගැනද ඉඟි කරන්නකි. තම බිරිඳ මුරැවේ යයි සිරගත කරනු ලබනා මිනිසකුට සිරෙන් නිදහස්ව ආ පසු අහම්බෙන් තම බිරිඳ හමුවූ විට හටගත් සිදුවීමක් මෙහිදී වස්තු විෂය වෙයි.

ලක්දුසිංහ අයත්වනුයේ සම්භාව්‍ය සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යය ගැඹුරින් හදාරන්නට අධ්‍යාපනය තුළ ඉඩ පැවති අතීත සමයටය. එසේම වමේ ව්‍යාපාරයන්හී බලපෑම ඉතා තදින් දැනෙමින් පැවති සමාජ අවධියකටය. වර්ගවාදයේ පිහිට වෙනුවට පංති විරහිත සමාජයක් වෙනුවෙන් සටන් කළ යුතුය යන අධ්‍යාපන කඳවුරටය. විෂය සම්බන්ධයෙන් ගත් කළ ලංකාවෙහි පළමු පුරාවිද්‍යා උපාධිධරයා වෙමින් ඉතිහාසය සාක්ෂි ඇසුරින් කනින්නට මග පාදාගත් බුද්ධිමතුන්ගේ කවයටය. දැන් මේ සියල්ලම රළ නගමින් ඔහුගේ නිරාමණ ලෝකයට පිවිසෙයි. සම්භාව්‍ය සාහිත්‍යෙයහි එන කවියක් ඇසුරින් ඔහු නිමවන මේ කවිය ඊට සාක්ෂියකි.

අවරගිර අතු අගින්
විළිකුන් එකම පලය
වැටෙන තුරු
එකිනෙකාගේ ඇඟේ හැපි හැපී
පොරකකා උඩ පැන පැන
බලා සිටිති
දළ රළ රැළි කොලු රැළ

සැබැවි, කවිය කියවාගෙන යන පළමු මොහොතේ එය පරිසරයේ චමත්කාරය පිළිබඳ අලංකාරවත් කියවීමයි. එහෙත් මේ මේ රූපක සමග ටිකක් වෙට්ටු දමන්නේ නම් මතුපිට අරුත් ඉක්මවා යන වෙනත් ගැඹුරු අරුතක්ද මතුකරගත හැකිය. ඒ අරුත දේශපාලන අගයෙන් සමන්විතය. එය පාදා ගැනීම පාඨක සමාජයටය.

කවියා සතු අපූර්ව ගුණයක් වනුයේ මියුම් උපහාසයක් තම කවියට තවරන්නට ඇති හැකියාවයි. වර්තමානයේදී ඔහු අපට හමුවනුයේ තොප්පියක් පැළඳි මිනිසකු ලෙසිනි. එවිට එය විමසිල්ලට ලක්වෙයි. ඔහු කවිය ඊට පිළිතුරක් සපයන්නය භාවිතා කරනුයේ දිවි සැරියෙහි ස්වභාවය මෙන්ම මනුෂය ස්වභාවයද සැහැල්ලුවෙන් සහ උපහාසයෙන් මතුකර දක්වමිනි. ඒ කවිය ජීවිතයෙහි යථා ස්වභාවය මැනවින් දන්නා එහෙත් ඊට අවනත වන්නට සූදානම් නැති මුරණඩුවෙකුගේ කවියකි.
මේ ඔහු සිය කවිය අවසන් කරනා ආකාරයයි.

කුමකටද ඩයි තවත්
දැන් ඉතින් මගෙ හිසත්
නොදුටු එක වළාවක්
පුන් පොහොය දා සඳක්

අලුත් මැදුරු නමින්ද කවියක් මෙහි එයි. ඒ කවිය අප රටෙහි මුල්බැසගත් වර්ගවාදී යුද්ධයේ නොනවතින ඛේදය ඉතා තියුණු ලෙස මතුකර දක්වන අවස්ථාවකි. එසේම ඒ කවිය තමන්ගේ රටෙහි වෙසෙනා ජනයා එකිනෙකාට සතුරු කොට සිය අභිමතාර්ථ හඹා ගිය පාදඩ දේශපාලකයන්ගේ නිය පහුරු මැද අසරණව ගිය මිනිසුන් කෙරේ වන වේදනාව මෙන්ම ඒ ව්‍යසනය අමතක කල නොහැකි, එය වලක්වාලීමට අසමත්වූ මිනිසකුගේ හෘද සාක්ෂියෙහිද අවදිවීමකි. ඒ කවිය මෙහි බහා නොලමි. මුල සිට අගටම එය කියවන්නැයි ඔබට ඇරයුම් කරමි. එසේම මේ කවිය මෙන්ම මෙහි ඛේදයම කැටි කරගෙන කවි කිවිඳියන් විසින් රචනාකරන ලදුව සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය කරන ලද සුන්දරපුරම් ජනෙල් පියන්පත් කවි එකතුව කියවන්නැයි ද ඇරයුම් කරමි.
කවර පුද්ගලයෙකුට වුව තරුණ වියෙහිදී අසම්මතයෙකු කැරළිකරුවෙකු, පිටස්තරයෙකු වන්නට හැකිය. එහෙත් අසීරුව එය ජීවිතයෙහි වියපත් අවධියෙහිද එලෙසම පවත්වා ගැනීමය. ලක්දුසිංහ අයත්වනුයේ ඒ සීමිත පිරිසටය. ඔහුගේ පෙර කවි එකතුවලද මේ ලකුණ දක්නට ලැබෙයි. පවත්නා ක්‍රමයට ඇති අපුල, ඊට එරෙහිව යාමේ අපේක්ෂාව, මෙන්ම ඒ කෙරේවන අනුරාගී උනන්දුවද ඔහු මේ වියපත අවදියෙහි වුව නොනසා පවත්වා ගනියි. ඒ අරුතින් හේ තවමත් ජවසම්පන්න තරුණයෙකි. මේ ඔහු බුදල් ට ලියනා කවයි.

බුදල්මි
සියොවැ ආමි
සිහගිරි බැලීමි
බැලු බැලු බොහො ජනා
ගී ලූ ලීයෙන්
නො ලීමි
බුදල්, ඔබ මෙන්ම
මමද
බොහො ජනා කරනා දෙය
කරන්නට නොරිසියෙමි
උඩු ගං බලාගෙන
පීනනු රිසියෙමි

ලංකාවෙහි තරුණ අරගල මෙන්ම තරුණ ජීවිතයද දේශපාලනයෙහි ලාබ පාපන්දුවකි. හැත්තෑ එක අසූනමය මෙන්ම උතුරේ අරගලයද ඉන් වෙනස් නොවේ. මෙලෙස දකුණේ තරුණයන්ගේ ජීවිත දේශපාලන කැරම් පෙතට ගත් අවස්ථාවක් වනුයේ පාර්ලිමේන්තුව පෙනෙන මානයේ ඉදිකරන ලද අහිංසකයන්ගේ ආරාමයයි. එය දේශපාලන පන්දුවක් බවට ලත්වූ ආකාරය ලක්දුසිංහ කවියාගේ විමසුමට ලක්වෙයි. එහි ප්‍රතිපලය අහිංසකයන්ගේ ආරාමය මැයෙන් නිර්මාණය වන කවියයි.

රජ පවුලට දියවන්නාවෙන්
එගොඩ වෙන්න මහ මන්ත්‍රණ
සභාගැබට ඇතුළු වෙන්න
බෝට්ටුවක් බවට හැරුණු
අවිහිංසක ආරාමය
හැදූ අයම බැකෝ යකෙකු
යොදා වැනසු ආරාමය

මේ සිය දිවියෙහි අටවන දශකයෙහි කැරළිගසනා කවියකුගේ රළ නගනා හදෙහි දිය විසිරුමයි. ඒ විසිරෙන දිය බිඳුවල පහස ලැබුම පාඩුවක් නොවේ. මේ අවසන් කව කියවන්න. එය ඔබ බොහෝ දුර රැගෙන යනු ඇත.

මල් ඵල ද තුරු පත්ද
එකින් එක හෙමි හෙමින් වෙන්ව යයි
මහලු වූ ගස අතැර
එහෙත් වැල
තව තවත් තුරුලු වෙයි
දුබල ගස අත නොහැර

chulananda samaranayaka

All reactions:

Related articles

බෞද්ධ භික්ෂුණීන්ගේ අරගලය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජයග්‍රහණය කරයි !

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණී යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ...

ඉරාන – ඊශ්‍රායල් යුද්ධය අපිට දුර ද !

ඉරාන-ඊශ්‍රායල් ගැටුම් තව තවත් වර්ධනය වෙමින් තිබෙන්නේ තවදුරටත් මේ ප්‍රශ්නය මැදපෙරදිගට විතරක් නොව මුළු ලෝකයේ ම ආර්ථිකයට බලපාන...

‘දොන් කිහොතේ’ කියවන පාඨකයකු ඉදිරියේ ලාංකීය දොන් කිහොතේලා දර්ශනය නොවුණහොත් එය පුදුමයකි !

අප කලක් තිස්සේ ජීවත් වන්නේ 'වීරයන්ගෙන් අඩුවක් නොමැති භූමියකය. එය රණවිරුවන් ද රටවිරුවන් ද සුවවිරුවන් ද වශයෙන් සකලවිධ...

ඉරාන මිසයිල ප්‍රහාර විසින් ඊශ්‍රායලයේ සුපිරි බව හාස්‍යයක් බවට පත්කරයි !

එදිරිවාදිකම් නාට්‍යමය ලෙස ඉහළයද්දී , ඉරාන මිසයිල ප්‍රහාර ඊශ්‍රායලයේ ස්වයං ආරක්ෂක පද්ධති සහ ආරක්ෂක යාන්ත්‍රණය තීරණාත්මක දුර්වලතා සහිත...