පාස්කු ප්‍රහාරය : අද නිලන්ත ජයවර්ධනගේ නඩුවේදී සිදු වූයේ කුමක්ද?

Share post:

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ නොතකා හැරීම් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කිරීම හා ඔහුට එරෙහිව යන විනය පරීක්ෂණය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බැවින් ඔහු සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ගොනු කළ පෙත්සම කඩිනමින් විභාග කරන ලෙස නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය අද (12) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිඥවරිය එම ඉල්ලීම කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදු කර නඩු පවරන ලෙස ඉල්ලමින් පොලිස්පතිටත්, නීතිපතිටත් කළ පැමිණිලි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ගොනු කර රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීය.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ කොළඹ ශැංග්‍රිලා හෝටලයේ බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත්වූ තරුණයකුගේ පියකු වන සුරාජ් නිලංග මෙම පෙත්සම ගොනු කර තිබේ.

මෙම රිට් පෙත්සම අද මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබීය. මෙම නඩුව අද මූලික ඇගයීමට ලක්කිරීමට නියමිතව තිබුණු අතර නඩුවේ කරුණු දැක්වීමට තමා සූදානම් බව අර්මිසා ටීගල් මහත්මිය අද දැනුම් දුන්නාය. කෙසේ වෙතත් අනිවාර්ය නිවාඩු ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා සඳහන් කළේ නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එය අවසන් වන තෙක් මෙම නඩුව කල් තැබිය යුතු බවයි. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධ විනය පරීක්ෂණය මේ වන විට ආරම්භ වී තිබෙන බවයි.

විනය පරීක්ෂණය සහ අපරාධ පරීක්ෂණය අතර සම්බන්ධතාවක් නැති බවත්, විනය පරීක්ෂණය ආරම්භ කළේ ද අභියාචනාධිකරණයේ පැවරූ මෙම රිට් පෙත්සමේ ප්‍රතිඵලයක් ලෙස බවත්, රිට් පෙත්සමෙන් ඉල්ලීම් කිහිපයක් කර ඇති බවත්, විනය පරීක්ෂණයක් පවත්වා විනයානුකූලව ක්‍රියා කරීම එක් ඉල්ලීමක් පමණක් බවත් නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය සඳහන් කළාය.

‘ඇයි හදිස්සි වෙන්නේ? විනය පරීක්ෂණයේ නියෝගය එනකං බලමු.’ යැයි අභියාචනාධිකරණය එම අවස්ථාවේ සඳහන් කළ අතර ඊට පිළිතුරු දෙමින් නීතිඥ ටීගල් මහත්මිය සඳහන් කළේ මෙය 2019 සිදුවූ සිදුවීමක් බවත්, මේ වන තෙක් අපරාධ නොතකා හැරීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු සිදුවී නැති බවත්ය.

නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නඩු කටයුතු සිදු නොකරන බවට තීන්දුවක් ගෙන ඇත්නම් එම තීන්දුව අහෝසි කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇතැයි ද, නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තීන්දුවක් ගෙන නැතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය. එසේම නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තීන්දුක් ගෙන නැති බව සටහන් කරන ලෙසත්, ඉන්පසු පෙත්සමේ සඳහන් එම අයැදීම ඉවත් කර ගත හැකි බවත් වින්දතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් එය වාර්තා ගත කිරීම අවශ්‍ය නොවන බව අධිකරණය සඳහන් කළේය.

නිලන්ත ජයවර්ධන මහතා මීට පෙර පාස්කු නඩුවක සාක්කිකරුවකු වූ බවත්, ඔහු සාක්කිකරුවකු කරන්නේද, සැකකරුවකු කරන්නේද යන්න ගැන නීතිපති දෙපාර්තමේන්තුවට තවම අදහසක් නැති බවත්, පුද්ගලයකුට එරෙහිව අපරාධ නඩු පැවරීමට නම් ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්කි තිබෙන බවට නඩු මෙහෙයවන්නා සෑහීමකට පත්වියයුතු බවත්, නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් සලකා බැලීමට අලුතෙන් සාක්කි අවශ්‍ය බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීවේය.

ඊට ප්‍රතිචාර දක්වමින නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය සඳහන් කළේ ඊට අදාලව ප්‍රමාණවත් සාක්කි තිබෙන බවයි. මෙම පෙත්සමේ එක් පෙත්සම්කරුවකු වන්නේ ප්‍රහාරයෙන් මරණයට පත්වූවකුගේ පියකු බවත්, ඔවුන් යුක්ති ඉටුවනතුරු බලා සිටින බවත්, නිලන්ත ජයවර්ධනට එරෙහි විනය පරීක්ෂණය අවසන් වන තුරු සිටීමකින් තොරව මෙම නඩුව විභාග කළ හැකි බවත් නීතිඥවරිය අවධාරණය කළාය.

කෙසේ වෙතත් නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් වන විනය පරීක්ෂණය අවසන් වූ පසු මෙම රිට් පෙත්සම සලකා බැලීමට තීන්දු කළ  අභියාචනාධිකරණය පෙත්සම මූලික ඇගයීමට ලක්කිරීම සඳහා ඔක්තෝබර 14 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

නඩු විභාගය දැක බලා ගැනීම සඳහා මෙම නඩුවේ පෙත්සම්කරුවන් වන සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමාත්, ශැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ඝාතනය වූ තරුණයකුගේ පියකු වන සුරාජ් නිලංග මහතාත අධිකරණ ශාලාව වෙත පැමණ සිටියහ.

මෙම නඩුවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහත්මියගේ උපදෙස් මත නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ ලිනුරි මුණසිංහ ඇතුළු නීතිඥවරු පිරිසක් සමග නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය පෙනී සිටියාය. පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටි අතර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර මහතා පෙනී සිටියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් අදාල පියවර නොගැනීමෙන් අපරාධ නොතකා හැරීමක් සිදුවී ඇති බැවින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස ඉල්ලමින් ගොනු කළ පිටු 18කින් සමන්විත මෙම රිට් පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

‘ පෙත්සම්කරුවන් පවසන්නේ 2019 අප්‍රේල් 21 වන දින පෙ.ව. 8.45 සිට මිනිත්තු 20 ක් ඇතුළත කොළඹ, මීගමුව සහ මඩකලපුව යන ප්‍රදේශවල පල්ලි සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හතක් සිදු වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ආසන්න වශයෙන් පුද්ගලයින් 267 දෙනෙකු මිය ගොස් 400 කට වැඩි පිරිසකට බරපතල තුවාල සිදු වූ බවත්ය. තවත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් ප.ව. 1.40 සිට ප.ව. 2.35 දක්වා සිදු විය. ‘පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර’ ලෙසද හැඳින්වෙන මෙම බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රතිඵලයක් ලෙස බෝම්බ ප්‍රහාරවලින් සෘජුවම පීඩාවට පත් වූ සිය ගණනක් ජනතාවට මෙන්ම සංහාරය දුටු මුළු රටටම කිව නොහැකි වේදනාවක් සහ දුක් වේදනාවලට මුහුණ දුන්හ.’

‘2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවල වින්දිතයින් සඳහා යුක්තිය ඉටු කරන ලෙස ක්‍රියාකාරීව ඉල්ලා සිටින බව පෙත්සම්කරුවන් පවසයි. මෙම නඩුවේ 3 වන පෙත්සම්කරු (සුරාජ් නිලංග) කොළඹ මහාධිකරණ HC (TAB) 2899/2021 සහ HC (TAB) 2900/2021 හි නඩු විභාගවලදී අගතියට පත් පාර්ශ්වයකි. 2022 අප්‍රේල් 18 වන දින මහාධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අයව ඔවුන්ට එරෙහි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝග ලබා දුන් බව පෙත්සම්කරුවන් පවසයි.   නීතිපතිවරයා එම නියෝග දෙකටම අභියාචනා කර ඇති බවත්, මෙම අභියාචනා දැනට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින බවත් පෙත්සම්කරුවන් දනී.’  

‘ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ බරපතල රාජකාරි කඩ කිරීමක් අනාවරණය වූ බව පෙත්සම්කරුවන් ප්‍රකාශ කරන අතර, 2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට තුඩු දුන් බරපතල රාජකාරි පැහැර හැරීමකට 2 වන වගඋත්තරකරු (නිලන්ත ජයවර්ධන) සෘජුවම වගකිව යුතු බවට සාක්ෂි සහිතව, 2022 අප්‍රේල් 20 දිනැති පැමිණිල්ලක් 1 වන වගඋත්තරකරු (පොලිස්පති) වෙත පෙත්සම්කරුවන් විසින් යොමු කරන ලදී. පැමිණිල්ලේ යොමු අංකය CIB III 294/22 ලෙස ලබාදී තිබේ.’

‘2 වන වගඋත්තරකරු (නිලන්ත) සම්බන්ධයෙන්  විමර්ශනය කර නඩු පවරන ලෙස ඉල්ලා 1 වන වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇති බවට  2022 ජුනි 09 දිනැති ගරු නීතිපතිවරයා වෙත ලිඛිතව දැනුම්දී ඇති බවත් පෙත්සම්කරුවන් තවදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත්, එම පැමිණිල්ල  සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් නොමැති බැවින්, අවශ්‍ය යැයි සැලකෙන පරිදි නඩු පවරන ලෙස සහ වෙනත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දෙන ලෙස පෙත්සම්කරුවන් ගරු නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. එම ලිපියකට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්  පෙත්සම්කරුවෝ පවසති.’

Related articles

මත්පැන් බලපත්‍රධාරීන් සඳහා බදු පිළිබඳ වැඩමුළුවක් සහ සුහද හමුවක් ජුනි 14 මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේදී !

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය විසින් ‘බදු ශක්ති’ ජාතික බදු සතියට සමගාමීව දිවයින පුරා සිටින මත්පැන් බලපත්‍රධාරීන් සඳහා...

ජනාධිපති සමාව : ගල උඩ සටනේ ඉලක්කය කුමක්ද?

දැන් පටන්ගෙන ඇත්තේ ගල උඩ සටන ය. එක්කෝ වැඩේ ඉවරයක් කළ යුතුය. නැතහොත් ගලෙන් පහළට වැටී විනාශ විය...

යාපනය තිස්ස විහාරයේ ගැටලුව පිළිබඳව හෙමිංවේ කියන කතාව !

අර්නස්ට් හෙමිංවේ කිව්වේ ජීවිතයේ අපට හමුවන සුන්දරම මිනිසුන් බොහෝවිට ගින්න මැදින් ඇවිද ගිය අයයි යනුවෙනි.  හෙමිංවේගේ මේ කතාව මනාව...

ගැරඬිඇල්ල අනතුර සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන කිහිපයකට නඩු – එපමණකින් සෑහීමකට පත්විය හැකිද?

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ මාරක රිය අනතුරට අදාළ ව මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව...