ඉරාන – ඊශ්‍රායල් යුද්ධය අපිට දුර ද !

Share post:

ඉරාන-ඊශ්‍රායල් ගැටුම් තව තවත් වර්ධනය වෙමින් තිබෙන්නේ තවදුරටත් මේ ප්‍රශ්නය මැදපෙරදිගට විතරක් නොව මුළු ලෝකයේ ම ආර්ථිකයට බලපාන ප්‍රශ්නයක් බවට පත්කරමින් ය. ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් දකුණු දිග ඉරානයේ, කන්ගන් දිස්ත්‍රික්කයේ  පාර්ස් ප්‍රදේශයේ පිහිටා තිබෙන ඉරානයේ විශාලතම ගෑස් නිධි සංකීර්ණය සහ පර්යන්තයට දැඩි හානි සිදුවී එය ගිනිගනිමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ ස්වභාවික ගෑස් පර්යන්තය සැලකෙන්නේ ඉරානයේ පමණක් නොව ලෝකයේ ම විශාලතම ගෑස් පර්යන්තය ලෙසයි. මෙයින් කොටසක් කටාර් දේශයට අයත් වේ. ඉරානයේ සමස්ත ගෑස් නිෂ්පාදනයෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් නිපදවන්නේ පාර්ස් ගෑස් පර්යන්තයේදී ය. ප්‍රහාරවලින් මෙම ගෑස් පර්යන්තයට කොතරම් හානියක් සිදුවීද යන්න පිළිබඳව තවම නිශ්චිත ඇගයීමක් සිදු කර නැත. එහෙත් කවර ආකාරයේ හානියක් සිදුවුවත් එය ඉරානයේ අභ්‍යන්තර ගෑස් පරිභෝජනයට මෙන්ම ලෝකය පුරා රටවල්වල ගෑස් පරිභෝජනයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බව සහතික ය.

2022 ලෝක බලශක්ති සංවිධානයේ දත්තවලට අනුව ලෝකයේ සමස්ත ගෑස් නිෂ්පාදනයෙන් 22%ක් ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකරද්දී, ඉරානය 6%ක පමණ දායකත්වයක් ඊට දක්වයි. විශේෂයෙන්ම ආසියාතික රටවල්වලට ගෑස් අපනයනය කිරීමේදී ඉරානය ඉදිරියෙන් ම සිටී. ඉරානයේ ආර්ථික සහ බලශක්ති මර්මස්ථාන ඉලක්ක කරගෙන ඊශ්‍රායල් ප්‍රහාර එල්ලවීම ඉරානයේ ආර්ථිකයට මෙන්ම සමස්ත ආසියාවේ ජන ජීවිතයටත් විශාල ගැටලු ඇති කරන්නකි.

ඒ අතර ඊටත් වඩා බරපතළ තත්ත්වයක් මතුවෙමින් තිබෙන්නේ ඉරානය විසින් හෝර්මූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ සූදානමක් ඇති බවට ටෙහෙරාන් ටයිම්ස් වාර්තා කිරීමත් සමග ය. පර්සියන් ගල්ෆ් කලාපයේ සිට ඉරානයේ මෙන්ම, ඉරාකයේ, සෞදි අරාබියේ, එමීර් රාජ්‍යයේ තෙල්, ගෑස් ඇතුළු අනෙකුත් නාවුක භාණ්ඩ ප්‍රවාහනයට ඇති පහසු ම මාර්ගය ලෙස සැලකෙන්නේ හෝර්මූස් සමූද්‍ර සන්ධියයි. එය පිහිටා තිබෙන්නේ ඉරානයට දකුණු දිගිනි.

යම් හෙයකින් ඉරානය හෝර්මූස් වසා දැමුවහොත් ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුම බරපතළ ගැටළුවකට ලක්විය හැකිය. ඊට හේතුව ලෝකයේ සමස්ත බොරතෙල් සැපයුමෙන් 20%කට වැඩි ප්‍රමාණයක් සැපයීම සිදුකරන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ය. එය වසා දැමුවහොත් ලෝකයේ බොරතෙල් බැරලයක මිල අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 120ක් වැනි අගයකින් ඉහළ යා හැකි බවට විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

අනෙක් අතට ඉරානය විසින් ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයට අනතුරු අඟවමින් ප්‍රකාශයක් කළේ ඊශ්‍රායලයට සහාය දීම නතර නොකළහොත්, මැද පෙරදිග සහ ආසියානු භූමියේ පවත්වාගෙන යන අදාළ රටවල්වල මිලිටරි මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවටයි. විශේෂයෙන්ම කුවේට්, කටාර් සහ සෞදි අරාබියේ එවැනි කඳවුරු ගණනාවක් ම පිහිටා ඇත. ශ්‍රී ලංකාවට ආසන්නයෙන්ම පිහිටා තිබෙන ඇමරිකානු යුද මධ්‍යස්ථානය වන්නේ මාලදිවයිනට පහළින් ඇති දියාගෝ ගාර්සියා දූපතේ පිහිටි මධ්‍යස්ථානයයි.

මැද පෙරදිග ගැටුම් උත්සන්න වන විට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් අත විනාඩි 50ක පමණ දීර්ඝ දුරකතන සාකච්ඡාවක් සිදුවූ බව මාධ්‍ය වාර්තා කර ඇත. රුසියාව දිගින් දිගටම මේ ප්‍රශ්නය ගොඩින් බේරාගත යුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කරන බව පැහැදිලි ය. යුක්‍රේන් ප්‍රශ්නය අස්සේ මැද පෙරදිග ගිනිගැනීම රුසියාවට හිසරදයකි.

එහෙත් දිගින් දිගටම ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන සහ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන සිදුකිරීම මේ ප්‍රශ්නය තවත් අවුලෙන් අවුලට ඇදගෙන යන සාධකයකි. විශේෂයෙන්ම න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානවලට සහ බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීමෙන් ඒවායේ අහිතකර ද්‍රව්‍ය වාතයට සහ පරිසරයට එකතුවීම ජනතාවගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් විය හැකිය.

ඒ අතර ඉරාන හමුදා විසින් ඊශ්‍රායල් ගුවන් හමුදාවට අයත් F-35 වර්ගයේ වේග ප්‍රහාරක ගුවන් යානා 03ක් බිම හෙලා ඇති බවත්, නියමුවන් දෙදෙනෙක් ඉරාන හමුදාව බාරයේ සිටින බවත් සඳහන් වේ. යේමනය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම ද සිදු විය. ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාර කිහිපයක් ඊශ්‍රායල් ආරක්ෂණ පද්ධතිය මගින් අඩපණ කෙරිණි. ජෝර්දානය පවසා තිබුණේ කිසියම් ප්‍රහාරයක් නිසා තුවාල ලැබූ සිය වැසියන් පිරිසක් රෝහල්ගත කළ බවත්, තමන් ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කර ඇති බවත් ය.
මැද පෙරදිග ප්‍රබලතම යුද බලය මෙන්ම ඉස්ලාම් ආගමික හා දේශපාලන බලය හිමි ඉරානය සහ ඇමරිකාවේ සහාය ලබන යුරෝපයේ යුදෙව් දේශය වන ඊශ්‍රායලය අතර යුද්ධයක් යනු තුන්වැනි ලෝක යුද්ධයක ආරම්භය ද විය හැකි තරම් බරපතළ තත්ත්වයකි. එම නිසා ඊශ්‍රායලය –  ඉරානය සමග ගැටීමට හේතු ද දැනගත යුතුය.

ඊශ්‍රායලය යනු ඇමරිකන් සහ බටහිර හිතවාදී රාජ්‍යයක් ලෙස කාලයක් තිස්සේ මැද-පෙරදිග සහ යුරෝපය අතර පිහිටි ඉස්ලාම් ආගමික රාජ්‍යයන් සමග භූ දේශපාලනික අර්බුද රැසක් ඇති රටකි. එයට බොහෝදුරට බලපෑ ආගමික සහ සංස්කෘතික ගැටුම් සම්බන්ධ ඉතිහාසයක් තිබේ. එහෙත් ආසන්න වශයෙන් මේ රටවල් දෙක ගැටීමට හේතුව වන්නේ ගාසා තීරයේ හමාස් සංවිධානය ඉලක්ක කරගෙන ඊශ්‍රායල් ප්‍රහාර එල්ලවීම සහ ඊට සමගාමීව යේමනයේ හුදී, ලෙබනනයේ හිස්බුල්ලා වැනි ඉරාන හිතවාදී මිලිටරි සංවිධාන ගණනාවකට ඊශ්‍රායල් ප්‍රහාර එල්ලවීම ය. අවස්ථා ගණනාවකදී ම ඉරානය මීට මැදිහත් විය. එහෙත් ආසන්නම කාලයේ ඇමරිකාව මේ ප්‍රශ්නයට මැදිහත් වන්නේ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල ඉලක්ක කරගෙන ය. ඉරානයේ න්‍යෂ්ටික ශක්තිය වේගයෙන් වර්ධනය වීම ඇමරිකාව ප්‍රමුඛ බටහිරට තර්ජනයක් ය යන සාධකය මත්ස් ය, ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමග ගැටීමක් ඇතිකරගන්නේ.

13 වැනි සිකුරාදා අලුයම ඉරානයේ ටෙහෙරාන් නගරය, තබ්රිස් නගරය සහ නටන්ස්, ෆවුදාර් යන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන ඇතුළු හඳුනාගත් ඉලක්ක 100කට වැඩි ප්‍රමාණයකට ඊශ්‍රායල් නියමුවන් සහිත සහ නියමුවන් රහිත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල විය. මෙය හැඳින්වූයේ Surprised Attack එකක් ලෙස ය. ඊශ්‍රායල් බුද්ධි තොරතුරු අනුව ඉරාන ආරක්ෂක සහ දේශපාලන අංශවල ඉතා ඉහළ තනතුරු දරන්නන් සහ න්‍යෂ්ටික පර්යේෂණාගාර ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය එල්ල වන තෙක් ඉරානය ඊට මුහුණදීමේ සූදානමකින් නොසිටි බව පැහැදිලි ය.

අඩුම තරමේ ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිය පවා මෙහිදී නිසි පරිදි ක්‍රියාත්මක වී තිබුණේ නැත. ඒ නිසාම මේ ප්‍රහාරයෙන් ඉරාන් ඉස්ලාම් විප්ලවීය හමුදා ප්‍රධාන අණදෙන නිලධාරියා, ගුවන් අණදෙන නිලධාරියා ඇතුළු ප්‍රධාන ම නිලධාරීන් සිව්දෙනකු සහ න්‍යෂ්ටික විද්‍යාඥයන් හය දෙනකු ඝාතනයට ලක්වූ බව වර්තා විය. මේ ප්‍රහාරයට ඇමරිකානු ප්‍රහාරක යානා ද සම්බන්ධ වූ බව නිල නොලත් තොරතුරු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ ප්‍රහාරයෙන් පසු ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා සායිද් අල් කොමේනි දැඩි විරෝධය පළකරමින් ඊශ්‍රායලයට දරුණු දඬුවමක් ලබාදෙන බවට පොරොන්දු විය. ඒ වගේම තුර්කිය, යේමනය, ඉරාකය ඇතුළු රටවල් ගණනාවක් ඊශ්‍රායලයට විරෝධය දක්වමින් තමන්ගේ ගුවන් අවකාශ වසා දමා ප්‍රතිප්‍රහාරයකට අවශ්‍ය ඉඩකඩ ඉරානයට සකස් කර දුන්නේය. මෙහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් කරමින් ඉරානය දැන්වත් න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කොට යටත් නොවුණහොත්, ප්‍රහාර තවත් දරුණු විය හැකි බව පැවසීය. යුද ගැටුම් නතර කොට සාමය ඇතිකරන බවට මැතිවරණ පොරොන්දුවක් දෙමින් බලයට පැමිණි ට්‍රම්ප් මැදපෙරදිග යුද්ධයක් නිර්මාණය කිරීමට එරෙහිව ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ ම දේශපාලන උපදේශකයකු වන කාල්සන් දැඩි ප්‍රතිචාරයක් දැක්වීය. ඇමරිකාව මෙහිදී පැත්තකට වී සිටීම නුවණට හුරු බවයි, ඔහු සී.එන්.එන්. වෙත පවසා තිබුණේ.

ප්‍රහාර නිසා මේ වනවිට ඉරානයේ ප්‍රබල දේශපාලන සහ මිලිටරි නායකයන් 20 දෙනකුට ආසන්න පිරිසක් ඇතුළුව 80 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහන් කර තිබිණි. ඉරානය මේ ප්‍රහාර මාලාවට පසු වහාම තමන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කර ඩ්‍රෝන් ප්‍රහාර ඇතුළු ප්‍රහාර ගණනාවක් වලක්වා ගැනීමට කටයුතු කළේය. ඉන්පසු බැලැස්ටික් මිසයිල 100ක පළමු මහා පරිමාණ ප්‍රහාරය ඊශ්‍රායලයට එරෙහිව එල්ල කළේය. එම ප්‍රහාරය එල්ල වුණේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරය ඉලක්ක කරගෙන ය. එයින්  ජීවිත දෙකක් අහිමි ව, තවත් සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව අල්-ජසීරා වාර්තා කළේය. ඉන්පසු එම නගරයට දෙවැනි සහ තෙවැනි මිසයිල ප්‍රහාර මාලාවත් එල්ල විය. ඊශ්‍රායල් ගුවන් ආරක්ෂණ පද්ධතිය ඉන් බොහොමයක් ප්‍රහාර මැඩපැවැත්වීමට ද සමත් විය.

ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ඉල්ලා ඇත. ඉරානයේ සෛවරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට අත පෙවීමට ඊශ්‍රායලයට හෝ වෙනත් කිසිම රටකට ඉඩක් නැති බව ඉරානය සථප කරමින් කියයි. මුල් ප්‍රහාරයට විරෝධය දක්වමින් රුසියාව සහ චීනය දැඩි ප්‍රතිචාර දක්වා තිබේ.

මෙවැනි තත්ත්වයක් යටතේ ලෝකය ම මැදපෙරදිග කලාපය දෙසත්, තම-තමන්ගේ ආර්ථිකයන්ට මේ තත්ත්වයේ බලපෑම ගැනත් පුළුල් ලෙස අවධානය යොමුකරමින් සිටී.

  • ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

Related articles

බෞද්ධ භික්ෂුණීන්ගේ අරගලය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජයග්‍රහණය කරයි !

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණී යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ...

‘දොන් කිහොතේ’ කියවන පාඨකයකු ඉදිරියේ ලාංකීය දොන් කිහොතේලා දර්ශනය නොවුණහොත් එය පුදුමයකි !

අප කලක් තිස්සේ ජීවත් වන්නේ 'වීරයන්ගෙන් අඩුවක් නොමැති භූමියකය. එය රණවිරුවන් ද රටවිරුවන් ද සුවවිරුවන් ද වශයෙන් සකලවිධ...

ඉරාන මිසයිල ප්‍රහාර විසින් ඊශ්‍රායලයේ සුපිරි බව හාස්‍යයක් බවට පත්කරයි !

එදිරිවාදිකම් නාට්‍යමය ලෙස ඉහළයද්දී , ඉරාන මිසයිල ප්‍රහාර ඊශ්‍රායලයේ ස්වයං ආරක්ෂක පද්ධති සහ ආරක්ෂක යාන්ත්‍රණය තීරණාත්මක දුර්වලතා සහිත...

‘මෙය අලුත් මැදුරක්’- සිරිනිමල් ලක්දුසිංහ

චිංගීස් අයිත්මාතොව් ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය ය. ඒ නවකතාකරුවකු ලෙසිනි. එහෙත් වරෙක මට ඔහුගේ කවියක් හමුවිණි. එහි එක් කොටසක...