ජනාධිපති සමාව : ගල උඩ සටනේ ඉලක්කය කුමක්ද?

Share post:

දැන් පටන්ගෙන ඇත්තේ ගල උඩ සටන ය. එක්කෝ වැඩේ ඉවරයක් කළ යුතුය. නැතහොත් ගලෙන් පහළට වැටී විනාශ විය යුතුය. වෙනත් ආණ්ඩු කිසිවක් නොකළ ආකාරයට ජාතික ජන බලවේග ආණ්ඩුව සටන් මග තෝරාගෙන තිබේ. මේ සටනේදී ජනතාව නොසිතූ කරුණු හෙළිදරව් වීමට නියමිත ය. ලංකාව යනු කවර ආකාරයේ අපරාධ රාජ්‍යයක් ද යන්න හෙළිදරව් වීමට නියමිත ය. 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඇතුළු විමර්ශන අංශවලට තමන්ගේ රාජකාරිය කරන්නට ඉඩ දී තිබේ. මේ ටික කාලයට රටේ ප්‍රධාන රාජ්‍ය ආයතන තුනක ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යනු ඒ තිදෙනා ය. මේ තිදෙනාට එරෙහි විමර්ශනවල අනාගතය යනු දේශපාලනඥයන්ට එරෙහි නඩු මෙන් නොවේ. මේ එක් ක්‍රමයක ස්ථිර හිමිකරුවන් ය. ඔවුන් පසුපස මෙන්ම ඉදිරියෙන් ද යැපෙන්නන් බොහෝ සිටි බවට කරුණු අනාවරණය වෙමින් තිබේ.

එහෙත් මුලින්ම කිව යුතු තවත් කරුණක් ඇත. ඒ මේ සටනේදී ගැලරිය පිනවන මහත්වරුන්ගෙන් ද ආණ්ඩුව ප්‍රවේශම් විය යුතු බවයි. ඊට හේතුව අනාවරණය වනවා වගේම තවත් තොරතුරු රැසක් මේ ගැලරි නාටක හරහා සැඟවී යෑමට ඉඩ ඇති නිසා ය. උදාහරණයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි තිබූ අපරාධ සැකකරුවන් කොතරම් ප්‍රමාණයක් නිදහස් කළේ ද? ඒ සඳහා අපරාධ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවට ඇති බලතල කොතරම් භාවිත කළේද? බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවාක් මෙන් මේ සියල්ල රාජධානි කරගෙන සිටි තැන් ය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර නිශාන්ත උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට 09දා කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ඉන්පසු එදින ම රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගත්තේය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. ප්‍රසන්න චන්දිත් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 06 වැනිදා කරන ලද පැමිණිල්ලකට අනුව ය, ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ. 

එච්/සී/069/2018 අංකය යටතේ විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්නට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණේ 2018 වසරේදී ය. ඔහුට එරෙහි චෝදනාව වූයේ 2014 පෙබරවාරි 17 සිට 2014 ජූනි 09 දක්වා වූ කාලයේදී කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර ලාබ ඉපයීමට යනුවෙන් පවසමින් අරුණ ඉන්දික සෝමරත්නගේ රුපියල් ලක්ෂ 40ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සහ සාපරාධී විශ්වාසය කඩකිරීමයි. දණ්ඩ නීති සංග්‍රහයේ 389 වැනි වගන්තිය යටතේ ය, මේ අධිචෝදනා ගොනුකර ඇත්තේ. අනුරාධපුර මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග ඉදිරියේ මේ නඩුව විභාග කෙරිණි.

මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද්දේ මේ වසරේ මැයි 02 වැනිදා ය. නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 389 වගන්තියට අනුව නොව, එම සංග්‍රහයේ 386 වගන්තිය යටතේ මේ සැකකරු වරදක් කර ඇති බව ඒ තීන්දුවේ දැක්වේ. ඊට අදාළ ව රුපියල් 20,000ක දඩයක්, එම දඩය නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත මාස හයක සිර දඬුවම්, වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් වසර පහකට අත්හිටුවීම, වින්දිතයාට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවීම, එම වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකරගැනීම සහ එය නොගෙවන්නේ නම් මාස හයක සිරදඬුවමක් නියම කිරීම යන දඬුවම් මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරුට නියම කර තිබේ. දඩ ගෙවීම් සඳහා ජුනි 04 වැනිදා කැඳවීමට ද මැයි 02 වැනිදා අධිකරණයෙන් නියෝග කර ඇත.

ජුනි 04 වැනිදා මේ නඩුව මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ සිරදඬුවම් නියම කරන ලද මේ පුද්ගලයාට ජනාධිපති සමාව ලැබී ඇති බවයි. එය මාධ්‍ය මගින් වාර්තා කිරීමෙන් පසුව ය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇත්තේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 07 වැනිදා අදාළ ලේකම්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබුණේ වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදීමට සිරකරුවන් 338 දෙනකුගේ ලේඛනයක් 2025 අප්‍රේල් 28 වැනිදා ජනාධිපති කාර්යාලයට යොමුකර ඇති බවයි. එනම්, මේ ලේඛනය බන්ධනාගාරයෙන් යොමුකරන අවස්ථාව වන විට සිදුවීමට අදාළ පුද්ගලයාට මහාධිකරණයෙන් දඬුවම් ලබාදී තිබුණේ නැත. ඔහුට අධිකරණයෙන් දඬුවම් ලබාදුන්නේ මැයි 02 වැනිදා ය. යොමු කළ ලැයිස්තුවට මැයි 09 වැනිදා අනුමැතිය ලැබී තිබේ.

දඩ මුදල් ගෙවීමට නොහැකි සිරකරුවන්ගේ දඬුවමේ ශේෂය අහෝසි කිරීම, දීර්ඝ කාලයක සිරදඬුවම් නියම වූ සිරකරුවන්ට වසරකට සතියක දඩද්‍වම් ක්ෂයවීමක් ලබාදීම, වසර 65ට වැඩි හෝ දඬුවමෙන් හරි අඩක් ගෙවා ඇති සිරකරුවන්ගේ සිරදඬුවමේ ශේෂය අහෝසි වීම ආදී වශයෙන් මේ ජනාධිපති පොදු සමාවට සිරකරුවන් සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදයක් පවතී. එම ක්‍රමවේදයට අනුව ය, අදාළ ලැයිස්තුව බන්ධනාගාරයෙන් සකස් කර තිබුණේ. 

මේ ලැයිස්තුවේ තීරණාත්මක සිදුවීමට අදාළ පුද්ගලයාගේ නම තිබී නැත. විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ මේ පුද්ගලයාට අමතරව ලැයිස්තුවේ නම නැති තවත් පුද්ගලයකු මෙසේ නිදහස් කර ඇති බවයි. 2025 ජුනි 06 වැනිදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් මීට අදාළ ව අසත්‍ය කරුණු සහිත ලිපියක් අධිකරණ අමාත්‍යංශයට යොමු කළ බව ද මෙහිදී දිලීප පීරිස් පෙන්වා දුන්නේය. එසේ ම 2024 නත්තල් දිනයට අදාළ ව ජනාධිපති සමාව ලබාදී ඇති සිරකරුවන් පිරිස 332කි. එහිදී ද සිරකරුවන් 57 දෙනකු මෙසේ ජනාධිපති සමාව යටතේ යැයි සඳහන් කරමින් ලැයිස්තුවට පිටින් මුදාහැරීමට බන්ධනාගාරය කටයුතු කර තිබේ. 2025 ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 274 දෙනකුට ජනාධිපති පොදු සමාව ලබාදී ඇත. එහිදී ද සිරකරුවන් 11 දෙනකු මෙසේ ජනාධිපති සමාව යටතේ යැයි කියමින් ලැයිස්තුවට පිටින් මුදාහැරීමට බන්ධනාගාරය කටයුතු කර තිබේ. එනම් ඉතා කෙටි කාලයක් තුළ සිරකරුවන් 70කට ආසන්න පිරිසක් මෙසේ ජනාධිපති සමාව යටතේ යැයි සඳහන් කරමින් ලැයිස්තුවලට පිටින් මුදාහැර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මේ ගැටලු සහගත මුදාහැරීම් සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු ලැබී ඇත්තේ නත්තල් දවසේ පොදු සමාව පිළිබඳවයි. ජාතික නිදහස් දිනයේ මුදාහැරීම් පිළිබඳව ද තොරතුරක් ලැබී ඇත. මේ නිසා මෙතෙක් කලක් ක්‍රියාත්මක වූ පොදු සමාවට සුදුසුකම් ලද ලැයිස්තුව ඉලක්කමක් ලෙස අනුමැතිය සඳහා එවීමේ ක්‍රමය වෙනස් කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. ඒ අනුව වෙසක් දිනයේ පොදු සමාව සඳහා සුදුසුකම් ලබන්නන්ගේ ලැයිස්තුව නම් වශයෙන් එවන ලෙසයි, බන්ධනාගාරයට උපදෙස් දී ඇත්තේ. උපදෙස් අනුව මෙවර ලැයිස්තුව ඉලක්කමක් ලෙස නොව නම් ලැයිස්තුව ලෙස එවා තිබේ. එසේ නොවූයේ නම් මෙවර ද මෙවැනි ගැටලුවක් බොහෝ විට පැනනගින්නේ නැත. 

අනෙක් අතට තවත් තර්කයක් විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබයි. එනම් මේ ලැයිස්තුව අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමෙන් පසුව වුවද, අදාළ පොදු සමාවට සුදුසුකම් ලබන කොන්දේසි සමාව ලබන දිනය වන විට සපුරන්නේ නම්, ඔවුන්ට ද මෙසේ නිදහස් වීමට ඉඩ ලැබෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් චක්‍රලේඛයක් එවා ඇති බවයි. එහෙත් අප කළ සොයාබැලීමේදී අනාවරණය වූයේ එවැනි චක්‍රලේඛයක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් නැති බවයි. මේ නිසා අනුමැතිය නොලත් කිසිවකු මුදාහැරීමේ අවස්ථාවක් නැති බවයි, ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පෙන්වාදෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව යටතේ ජනාධිපති සමාව පිළිබඳ පරම බලය ඇත්තේ විධායක ජනාධිපතිවරයාට ය.

ජාතික ජන බලවේග ආණ්ඩුව පත්කරගැනීමේදී ජනතාවගේ අභිලාෂය වූ මූලික කරුණු අතර නීතියේ ආධිපත්‍යය විධිමත් ව ස්ථාපිත කිරීම මූලික වේ. ඒ සඳහා මෙවැනි ගල උඩ සටනක් අවශ්‍ය ය. එවැනි සටනකදී මැදින් නොහැරෙන, සෘජු ගමනක් අත්‍යවශ්‍ය වේ. සටනේ ජයග්‍රහණය ජනතාවට ලැබෙන්නේ එවිට ය.

  • ශාලික විමලසේන 

Related articles

පාස්කු ප්‍රහාරය : අද නිලන්ත ජයවර්ධනගේ නඩුවේදී සිදු වූයේ කුමක්ද?

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ නොතකා හැරීම් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කිරීම හා ඔහුට...

මත්පැන් බලපත්‍රධාරීන් සඳහා බදු පිළිබඳ වැඩමුළුවක් සහ සුහද හමුවක් ජුනි 14 මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේදී !

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය විසින් ‘බදු ශක්ති’ ජාතික බදු සතියට සමගාමීව දිවයින පුරා සිටින මත්පැන් බලපත්‍රධාරීන් සඳහා...

යාපනය තිස්ස විහාරයේ ගැටලුව පිළිබඳව හෙමිංවේ කියන කතාව !

අර්නස්ට් හෙමිංවේ කිව්වේ ජීවිතයේ අපට හමුවන සුන්දරම මිනිසුන් බොහෝවිට ගින්න මැදින් ඇවිද ගිය අයයි යනුවෙනි.  හෙමිංවේගේ මේ කතාව මනාව...

ගැරඬිඇල්ල අනතුර සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන කිහිපයකට නඩු – එපමණකින් සෑහීමකට පත්විය හැකිද?

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ මාරක රිය අනතුරට අදාළ ව මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව...