යාපනය තිස්ස විහාරයේ ගැටලුව පිළිබඳව හෙමිංවේ කියන කතාව !

Share post:

අර්නස්ට් හෙමිංවේ කිව්වේ ජීවිතයේ අපට හමුවන සුන්දරම මිනිසුන් බොහෝවිට ගින්න මැදින් ඇවිද ගිය අයයි යනුවෙනි. 

හෙමිංවේගේ මේ කතාව මනාව විග්‍රහ කෙරෙන චිත්‍රපටයකි, 1994 වසරේදී තිරගත වුණු ද ෂෝෂෑන්ක් රිඩෙම්ප්ෂන් චිත්‍රපටය. ලෝක සිනමා ඉතිහාසයේ හොඳම චිත්‍රපට අතර මේ චිත්‍රපටය තිබේ. මෙහි ප්‍රධාන චරිතය ඇන්ඩි ඩුෆ්‍රේන් සාර්ථක බැංකු නිලධාරියෙකි. එහෙත් එක්වරම ඔහුට චෝදනා එල්ලවන්නේ තම බිරිඳ සහ ඇයගේ පෙම්වතා ඝාතනය කළ බවටයි. තමන් මේ අපරාධය නොකළ බව දිගින්-දිගටම පැවසුවත් ඔහුට ජීවිතාන්ත සිර දඬුවමක් ලැබේ. එම සිර දඬුවම සඳහා කෲර වධහිංසාවලට ප්‍රසිද්ධි ෂෝෂෑන්ක් නම් සිරගෙදරට ඔහුව යොමුකරයි. 

මේ සිරගෙදර යනු නීතියට වඩා කෲරත්වය රජ කරන තැනකි. සිරකරුවන්ට දරුණු වධහිංසා මෙහිදී අත්විඳින්නට සිදු වේ. නිදහස යනු මෙහිදී සිහිනයකි. අනෙක් සිරකරුවන්ට මෙන්ම ඔහුට ද දරුණු වධහිංසාවලට මුහුණදීමට සිදු වේ. 

කෙසේ වෙතත් මේ සියල්ල මැදත් ඔහු තමන්ගේ මනුෂ්‍යත්වය සහ බලාපොරොත්තුව නැතිකරගන්නේ නැත. සිරගෙදර දරුණු වධහිංසාවලට තමන්ගේ ආත්මය, ඉලක්කය පොඩිපට්ටම් කිරීමට ඔහු ඉඩදුන්නේ නැත. ඔහුගේ බුද්ධිය, ඉවසීම පවත්වාගනිමින් ඔහු සිරගෙදර ඔහුගේ තැන බවට පත්කරගනී. සිරගෙදර පුස්තකාලය දියුණු කරන ඔහු, සිරකරුවන්ට කියවීමට හුරුකරයි. සිරගෙදර කර්කශ නිවේදන දැනුම්දීමට ඇති ස්පීකර්වලින් ඔහු ඔපෙරා ගීත වාදනය කරවයි. අවසානයට ඔහු මේ සියල්ල හරහා තමන්ගේ ඉලක්කය වෙත යයි. ඔහු සිරගෙදරින් පළායයි.

මේ සරල කතාවක් නොවේ. ජාතික ජන බලවේග ආණ්ඩුවට සිදු වී ඇත්තේ ගිනි මැදින් ඇවිදීමටයි. විපක්ෂයට ද එසේ ම ය. ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අන්තවාදී අදහස් යම් තරමකට ප්‍රතික්ෂේප කළ බවක් පෙනෙන්නට තිබිණි. එහෙත් අළු යට ගිනි තිබේ. යාපනයේ තයියඩි ප්‍රදේශයේ පිහිටි තිස්ස විහාරය මූලික කරගනිමින් සිදු වන සිදුවීම් පෙළත් ඒ වගේ ය. ඒ වෙනුවෙන් දිනපතා අලුතින් සමාජ මාධ්‍ය පිටු විවෘතවෙමින් තිබේ. ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලය පසුගිය කාලයේ ම ගත කළේ මේ ප්‍රශ්නය සමග ය.

එහි සභාපති විජිත් රොහාන් ප්‍රමුඛ ව සහකාර අධ්‍යක්ෂ සුසන්ත කුමාර සහ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සඳුනි ආරියවංශ එහි ගොස් තිස්ස විහාරයේ ස්වාමීන් වහන්සේ, නාගදීප විහාරයේ ස්වාමීන් වහන්සේ, අදාළ භූමියේ අයිතිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන පවුල්වල සාමාජිකයන්, යාපනයේ සිවිල් සංවිධාන, තිස්ස විහාරයේ කොළඹ දායක පිරිස් ඇතුළු සියලු පාර්ශ්ව මුණගැසී තිබිණි. එම සාකච්ඡාවලින් පසු සියලු තොරතුරු සහ සාක්ෂි සහිත වාර්තාවක් අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරට එම කාර්යාලය මගින් බාර දී ඇත. එම කාර්යාලට බලය ඇත්තේ මෙවැනි ගැටලු සම්බන්ධයෙන් විෂය බාර ඇමැතිවරයාට නිර්දේශ ලබාදීමටයි.

ඉඩම් සම්බන්ධ මේ ගැටලුවට අදාළ වාර්තාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය. එහිදී දීර්ඝකාලීනව මීට විසඳුමක් ලබාදිය යුතුය. මේ ආකාරයට නැගෙනහිර පළාතේ ඇති ස්ථාන ගණනාවක්, මහනුවර එක් ස්ථානයක් ආදී වශයෙන් තොරතුරු රැසක් කාර්යාලයට ලැබී තිබේ. ඔවුන් ලංකාව පුරා ග්‍රාම නිලධාරි වසම් හත්දහසක පිහිටුවා ඇති සහජීවන කමිටු හරහා රට පුරා ක්‍රියාත්මක වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...