Home Blog Page 194

මිතුරා ඇසූ පැනයට නම් එකපාර, ආවේ මතකයට නානායක්කාර

0

සවනට ඇහෙන දුරකින් වෙරළක සද්දේ
මිතුරන් සිව්දෙනෙක් හා හිදගෙන මැද්දේ
ඉන්න අතුරතුර මධු මී බිඳු යුද්දේ
ආගිය කතා ඒ මැද අපි ගොඩ ඇද්දේ

වික්‍රම බෝගොඩත් සමගින් බීපු මම
සිද්ධිය ඇදී ආවා කයියෙහිදි එම
ගොළු හදවතට පෙම් කළ යහළුවන් හැම
පෑවා කතාවට දෙසවන් තදින් තම

වාගේ බීර විතකින් විසිරෙනා පෙණ
ඒ මධු අන්දරය අහලා වයින් වුණ
⁣එකපාරටම වගෙ මිතුරෙක් පෙරට පැන
දැම්මා ප්‍රශ්නයක් මම ඇඹරිලා යන

කරමින් යමක් යහමින් කයියකුත් ගසා
ඔහුගෙන් අතීතයෙ රස තොරතුරුත් අසා
හමුවී නැතත් හමුවුණි නම් ලැබෙන තොසා
නළුවා කවුද කියමුද නොකියමින් මුසා

වීරයො වගෙම විකටයො සහ ප්‍රතිවීර
හිටියත් නළුවො එකසිය ගාණට මාර
මිතුරා ඇසූ පැනයට නම් එකපාර
ආවේ මතකයට නානායක්කාර

ඇති සැටියෙන්ම ඇති තතු සමයෙහි පෙරකී
දැනගන්නට රහට ඇරගත යුතු දොරකී
සමහර කතා ඇහුවම නම් යයි කැරකී
මේ ආතල් එකේ කරටියෙ හිටි පොරකී

හමුවුණු නොවුණු නළුවන් නම් ඇත බොහොම
එක් එක්කෙනා ගැන පවසන්නද කොහොම
ඒ අය ගැන දුරට තව ලිව්වොත් එහෙම
එය මහ පොතක් වෙනවා නිසැකයි රහම

හමුවී වරක් කොස්තා රිට්ස් එක ඇතුලේ
අඩියක ගැටී ඉද්දී කයියක පතුලේ
ආගිය කතා මිනිහා හෙමිහිට මතුලේ
ඒවා අහන් හිටි මගෙ නිල් විය රතු ලේ

නළුවොයි කියා නම් මහ ලබ්බක් නැත්තේ
එනමුත් පෙළක් උන් සෑහෙන සිත් ගත්තේ
උන්ගේ ළග ඉතා රසවත් තතු ඇත්තේ
හාරා අවුස්සා ඒව ගත යුත්තේ

තම කාරියෙහිදී අල්ලා නිසි විරිත
ඉන් මෙපිටදි ඉතිං ආනන්දෙන් බරිත
ඔබගෙත් හිතේ ඇත්නම් මේ වැනී චරිත
ලියලා යනු යටින් ඒකයි හොද සිරිත

ප්‍රියන්ත කොඩිප්පිලි

පානම ඉඩම් ජනතාවට : නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි : අධිකරණ තීන්දුව ක්‍රියාත්මක වෙයිද ?

අම්පාර දිස්ත්‍රික්කයේ පානම ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් ආරක්ෂක අංශ ඇතුළු රජයේ පාර්ශ්ව මගින් පවරාගැනීමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ නඩුව එම ජනතාව ජයග්‍රහණය කර ඇත.

මීට පෙර 2015 වසරේදී මෙම ඉඩම් ජනතාව වෙත නිදහස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබිණි. එහෙත් එම අනුමැතිය ක්‍රියාත්මක නොකෙරිණි. එම තීන්දුව ක්‍රියාත්මක කරගැනීම සඳහා CA/Writ/352/2016 දරන නඩුව අභියාචනාධිකරණය ඉදිරියේ පවරන ලදි.

නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් අධිකරණයට දැනුම් දෙන ලද්දේ මෙම ඉඩම් අයත් ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අදාළ කැබිනට් තීරණය ක්‍රියාත්මක කරන බව 2020 දෙසැම්බර් 23 දින තාම දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි. ඒ අනුව පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම ඉටුවී ඇති නිසා නඩුව අවසන් කිරීමට පසුගිය 09දා අධිකරණය තීරණය කරන ලදි.

පානම ගෙදර මුදියන්සේලාගේ බණ්ඩාර ඇතුළු පෙත්සම්කරුවන් සිව්දෙනෙකු විසින් මෙම නඩුව ගොනුකර තිබුණේ ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වගඋත්තරකරු කරමිනි.

ඉඩම්වල වර්තමානය

ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ව සිටි, ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් ඉවත් කළ ගොවි පවුල් 75 කට අයත් වගා බිම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර ඉඩම් අක්කර 50 ක් පමණ රජයේ නිලධාරීන් හා දේශපාලඥයන් විසින් නීති විරෝධී ව බෙදාගෙන තිබේ.

හැඩ ඔය මෝය ආශ්‍රිත ව වෙරළ සීමාවේ මෙම වනාන්තර ඉඩම් පිහිටා ඇති අතර අලි – ඇතුන් හා කොටින් බහුල ව ජීවත් වන ප්‍රදේශයක වනාන්තර ඉඩම් මේ ආකාරයෙන් බෙදා ගෙන තිබේ. මෙම ඉඩම් ලාහුගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජේ. එස්. ඩී. එම්. රවීන් නිරෝෂන් කුමාර හෙවත් සිල්වා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පානම හිටපු බීට්ටු වන නිලධාරී කපිල බණ්ඩාර ලංසක්කාර, අම්පාර හිටපු අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ. එස්. ඩී. එම්. අසංග අබේවර්ධන, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු ඉඩම් නිලධාරී නිශාන්ත සිල්වා, පානම මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී එස්. එම්. රත්නපාල, පානම සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ නිශාන්ත සුසිරිපාල, පානම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් හෙන්දිරික් අප්පු ආරියසේන යන අය විසින් ඔවුන් ගේ ඥාතීන් ගේ නම්වලට මෙම ඉඩම් වෙන් කර ගැනීම සිදු කර තිබේ. මීට අමතර ව පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ගේ පුතනුවන් විසින් ද මෙම ප්‍රදේශයේ පමණක් නොව කුඩුම්බිගල – පානම අභය භූමිය මායිමේ පානකල කලපුව අසල පිහිටි ඉඩම් හෝටල් ඉදි කිරීම සඳහා වෙන් කර ගෙන ඇත. 

මෙසේ වෙන් කර ගත් සමහර ඉඩම් වෙනත් පුද්ගලයන්ට පවරා ඇති අතර මේ වන විට එම ඉඩම්වල විදුලි වැටවල් සකස් කර සංචාරක හෝටල් ඉදි කරමින් පවතී. මීට අමතර ව මෙම ප්‍රදේශයේ වෙරළ කලාපයේ හා ඒ ආශ්‍රිත ව පිහිටි වනාන්තර ඉඩම් සම්පූර්ණයෙන් ම ඩෝසර් යන්ත්‍ර භාවිතයෙන් නීති විරෝධී ව එළිපෙහෙළි කර වැටවල් සකස් කර වෙන් කර ගෙන තිබේ. මේ හේතුව නිසා අලි – අතුන් ගේ සංක්‍රමණික මාර්ග සම්පූර්ණයෙන් ම අවහිර වී තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය. මේ සියලු ක්‍රියාවන්ට එරෙහි ව ශාස්ත්‍රවෙල පදිංචි ව සිටි කාන්තාවන් විරෝධතාව දැක්වීම සඳහා දින 42 කට වැඩි කාලයක් එම ප්‍රදේශයේ කඳවුරු බැද රැදී සිටී.

පානම ඉඩම් කොල්ලයේ ඉතිහාසය

උතුරු – නැගෙනහිර පැවති යුද්ධය අවසන් වීමෙන් පසුව 2009 හා 2010 වසර වල නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ මැදිහත් වීම මත මෙම ප්‍රදේශයේ ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර එම ඉඩම් ආරක්ෂක අංශ සතු කර ගැනින. පොදුවේ පානම ලෙස හැදින්වෙන ශාස්ත්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ගම්මාන වල ජීවත් වූ ජනතාව ගේ ජනාවාස, වගා බිම්, විහාරස්ථාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර, කඩොලාන වනාන්තර, කලපු හා වෙරළ තීරය ඇතුළු ව අක්කර 1220 ක භූමියක් බලහත්කාරයෙන් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනින. ඒ අනුව ශාස්ත්‍රවෙල හා රාගම්වෙල ප්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාව සහ එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය ප්‍රදේශයේ ඉඩම් නාවික හමුදාවේ භාරයට පත් විය. මේ ප්‍රදේශවල ජනාවාස හා වගා බිම් අක්කර 480 ක් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර අක්කර 840 ක් මෙලෙස නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් රදවා ගෙන තිබේ. 

2009 වසරේ දී නාවික හමුදාව විසින් එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය ප්‍රදේශයේ ජනතාව ගේ වගා බිම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර බිම් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රක්ෂිත ප්‍රදේශ වලට අයත් ඉඩම් රණවිරු ගම්මානයක් ඉදි කිරීමට යැයි සඳහන් කරමින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනි. නමුත් 2010 වසරේ දී මේ ප්‍රදේශය නාවික හමුදා කඳවුරක් ඉදි කරන බවට සඳහන් කරමින් ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඇත. වර්තමානය වන විට මේ ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගොඩනැගිලි මෙන්ම සංචාරක හෝටලයක් ද පානම කලපුවේ ඉදි කර තිබේ. එය “පානම ලැගුන් කබානා” නමින් මේ වන විට සංචාරක කටයුතු වලට නාවික හමුදාව විසින් යොදා ගනු ලැබේ.

2010 වසරේ දී රාගම්වෙල හා ශාස්ත්‍රවෙල ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවගේ නිවාස හා වගා බිම් වලට නාදුනන පිරිසක් විසින් ගිනි තබා බලහත්කාරයෙන් ඉවත් කිරීමෙන් අනතුරු ව පොතුවිල් පොලීසියේ පාලනයට එම ප්‍රදේශ පත් විය. ඉන්පසු ජනතාවට එම ප්‍රදේශයට ඇතුළු වීමට වසරක පමණ කාලයක් තහනම් කර තිබූ පොතුවිල් පොලීසිය විසින් එම ප්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාවේ පාලනයට යටත් කර තිබේ. මේ වන විට ගුවන් හමුදාව විසින් එම ප්‍රදේශයේ ඉදි කිරීම් කටයුතු සිදු කර තිබේ. 

මේ ආකාරයෙන් පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් නිජබිම් වලින් පලවාහැර ඔවුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ මෙහෙයවීම මත නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ මැදිහත්වීමෙනි. එසේ අහිමි කළ පානම ජනතාවගේ ඉඩම් අයිතිය පසුව බලයට පත් වූ යහපාලන ආණ්ඩුව පැවති සමයේ ද ඒ ආකාරයෙන් ම වර්ධනය කර පවත්වා ගෙන යාමෙන් ජනතාව ගේ බලාපොරොත්තු සියල්ල අහිමි විය. 

මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ආරම්භ කළ පසුව බලයට පත් වූ ආණ්ඩු අඛණ්ඩ ව පවත්වා ගෙන ගිය මේ අමානුෂික ඉඩම් කොල්ලය හමුවේ පානම ජීවත් වෙමින් වගා කටයුතු වල හා ධීවර කටයුතු වල නිරත පවුල් 350 ක් පමණ වසර 12 ක කාලයක් තිස්සේ අවතැන් ව සිටී. කුඹුරු ගොවිතැන හා හේන් ගොවිතැන මෙන් ම ධීවර කර්මාන්තය මේ ප්‍රදේශයේ ජනතාව ගේ ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ග විය. ඒ සියල්ල මේ වන විට නිසි පරිදි කර ගෙන යාමට නොහැකි වී ඇත. 

ලංකාවට පැමිණෙන විදේශීය නායකයන්ට හා ප්‍රභූවරුන්ට විවේකය ගත කළ හැකි නිවාඩු නිකේතනයක් ගොඩනැගීම මෙම ඉඩම් අත්පත් කර ගැනීමේ අරමුණ විය. නමුත් මේ තත්ත්වය වසං කරමින් ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යැයි පවසමින් පානම ඉඩම් කොල්ලයට නීත්‍යානුකූල මුහුණුවරක් ලබා දීමට ද ක්‍රියා කෙරිනි. ඒ අනුව ලාහුගල හිටපු ප්‍රාදේශීය ලේකම් එල්. ඒ. සෝමරත්න මහතා විසින් 2013.05.14 වන දින රජයේ දෙපාර්තමේන්තු වලට ඉඩම් ලබා දීමේ ලේඛනය භාවිත කර එවකට ජනාධිපති කාර්යාලයේ බලයලත් නිලධාරී ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හර්ෂ විජේවර්ධන මහතාට ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරී වසමේ හෙක්ටයාර 66.1116 ක් නැතහොත් අක්කර 164 ක භූමියක් නීති විරෝධී ව පැවරීම සිදු කෙරින. මීට අමතර ව වෙනත් කිසිදු භූමියක් මෙලෙස පවරාගෙන නොමැත. 

නමුත් ජනාධිපති කාර්යාලයට පැවරූ භූමිය ඇතුළු ව ජනතාව ගේ සියලු ඉඩම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නාවික හා ගුවන් හමුදාව භාරයේ තබා ගෙන ඒ වටා විදුලි වැටවල් ද ඉදි කර වෙන් කර ගෙන තිබේ. මේ නිසා ගොවි ජනතාවට හා ධීවර ජනතාවට පමණක් නොව අලි – ඇතුන්ට ද වාසස්ථාන අහිමි වී ඇත. මේ සියල්ල සිදු කර ඇත්තේ ලංකාවේ ඉඩම් නීති හා පාරිසරික නීති සියල්ල උල්ලංඝනය කරමිනි. 

අණපනත් උල්ලංඝනය කිරීම

මේ වන විට රජයට අයත් වනාන්තර ඉඩම් රාජ්‍ය නිලධාරීන් හා ව්‍යාපාරිකයන් විසින් අත්පත් කර ගෙන එළිපෙහෙළි කිරීමට ලක් කරන්නේ 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝනය කරමිනි. මේ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයේ වනාන්තර බිම් එළි පෙහෙළි කිරීම, ශාක කපා ඉවත් කිරීම, අනවසරින් රජයේ ඉඩම් වෙන් කර ගැනීම, ඉදි කිරීම් කටයුතු කිරීම, ඉඩම්වලට පිවිසීම සඳහා මාර්ග තැනීම, විදුලි වැටවල් ඉදි කිරීම, හෝටල් ඉදි කිරීම හා ඉඩම් මායිම් කිරීම යන ක්‍රියා තහනම් වේ. එම වගන්තියට අනුව මෙම නීති විරෝධී ක්‍රියාවක නිරත වීම සඳහා ආධාර හා අනුබල ලබා දීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. එසේ ආධාර හා අනුබල ලබා දෙන පුද්ගලයකු හෝ එම ක්‍රියා වල නිරතවන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට වසර 2ක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් 5000 කට නොඅඩු හා රුපියල් 50,000 කට නොවැඩි දඩයකට හෝ මේ දඬුවම් දෙකට ම යටත් කිරීමේ හැකියාව ඇත. එපමණක් නොව අදාළ වනාන්තරයට සිදු කරන ලද හානිය වෙනුවෙන් වන්දියක් ලෙස අධිකරණය නියම කරන දඩයකට පවා යටත් කළ හැකි ය. නමුත් මේ නීති රීති සියල්ල පානම ඉඩම් කොල්ලය හමුවේ අභියෝගයට ලක් වී ඇත.

වෙරළ කලාපය තුළ පිහිටි වනාන්තර එළිපෙහෙළි කර ඉඩම් අත්පත් කර ගෙන ඇත්තේ 2011 අංක 49 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතට අනුව වෙරළ කලාපය තුළ යම් සංවර්ධන කාර්යයක් සිදු කිරීමට ප්‍රථමයෙන් පනතේ 14 වන වගන්තියට අනුව ඉල්ලීම් කළ යුතු ය. ඒ අනුව පනතේ 16 වන වගන්තියට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අදාළ ව්‍යාපෘතිය සඳහා 17 වන වගන්තියට අනුව කොන්දේසි සහිත අවසරය ලබා දීම සිදු කරනු ලැබේ. එම කොන්දේසි වලට යටත් ව සංවර්ධන ව්‍යාපෘතිය වෙරළ කළාපය තුළ ක්‍රියාත්මක කළ යුතු ය. නමුත් නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් පානම ප්‍රදේශයේ වෙරළ කලාපය තුළ සිදු කළ හෝටල් ඉදි කිරීම ඇතුළු සියලු සංවර්ධන කටයුතු මෙන් ම අද වන විට සිදු කර ඇති ඉඩම් වෙන් කිරීමේ කටයුතු සියල්ල මෙම වගන්ති උල්ලංඝනය කරමින් සිදු කර තිබේ. 

වෙරළ කලාපයට හෝ එහි සම්පත්වලට අලාභානි සිදු කරමින් සංවර්ධන කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පනතේ 24අ වගන්තියට අනුව කටයුතු කළ හැකි ය. මේ වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර එම සංවර්ධන කටයුතු අත්හිටු විය හැකි ය. මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පැහැර හරිමින් දිගින් දිගට ම සංවර්ධන කටයුතු සිදු කරන්නේ නම් එය පැහැර හරින එක් දිනකට රුපියල් 10000 බැගින් වූ දඩයකට හා උසාවියකට අපහස කිරීමට එරෙහිව ද කටයුතු කළ හැකි ය. නමුත් මෙම නීති ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු නිලධාරියකු මැදිහත් වී නොමැත.

පානම ප්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් බලහත්කාරයෙන් ගුවන් හමුදාව හා නාවික හමුදාව විසින් අත්පත් කර ගැනීම මෙන් ම අද වන විට රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයන් එක් ව එම බලහත්කාරයෙන් වෙන් කර ගැනීම ද දණ්ඩ නීති සංග්‍රහයේ 372 වෙනි වගන්තිය උල්ලංඝනය කරමින් සිදු කර තිබේ. එම වගන්තියට අනුව යම් දේපලක් යම් තැනැත්තෙකුට පාඩු සිදු කරමින් හෝ බියකර ලබා ගැනීම බලෙන් ලබා ගැනීමකි. එවන් ක්‍රියාවක නිරත වූ පුද්ගලයෙකු අවුරුදු 3 ක් දක්වා කාලයක බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. 

මූලික අයිතිවාසිකම් අහිමි කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් යටතේ 11 වන වගන්තිය අනුව කිසිදු තැනැත්තෙකු වද හිංසා වලට ලක් නොකළ යුතු බව සඳහන් වේ. 12 වන වගන්තියට අනුව නීතිය පසිදලීම හා නීතිය ක්‍රියාත්මක කිරීම මෙන් ම නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතු බවත් 14 වන වගන්තියට අනුව නිත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක නිරතවීමේ නිදහස හා ශ්‍රී ලංකාව තුළ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස තිබිය යුතු බවත් සඳහන් කර ඇත. පානම ප්‍රදේශයේ ජනතාව ගේ මේ මූලික අයිතිවාසිකම් සියල්ල ම ආරක්ෂක අංශ හා රාජ්‍ය නිලධාරීන් විසින් අහිමි කර ඇත. ඔවුන් නිරත වූ කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය ඔවුන්ට අහිමි කර ඇත. ඔවුන් ජීවත් වූ ප්‍රදේශයට යාමේ හෝ එහි ජීවත් වීමේ අයිතිය අහිමි කර ඇත. එපමණක් නොව නිදහසේ ජීවත් වූ ජනතාව වද හිංසනයට ලක් කර තම නිජබිම් වලින් බලහත්කාරයෙන් පලවා හැර නීති විරෝධීව ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇත. ඊට එරෙහිව නීතියේ රැකවරණය සර්ව සාධාරණ ව මේ ජනාවට හිමි වී නොමැත. 

මේ සියලු අයිතිවාසිකම් අහිමි වූ පානම ජනතාව තම අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් පානම පත්තුව සුරැකීමේ සංවිධානය නමින් සංවිධානයක් ගොඩනගාගෙන ඔවුන් මේ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අංක HRC/AM/105/10/B/OT යටතේ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ මීට වසර කිහිපයකට පෙර ය. ඒ පිළිබඳ ව පරීක්ෂා කළ මානව හිමිකම් කොමිෂම මේ ජනතාවගේ ඉල්ලීම් සියල්ල සාධාරණ බවත් මේ නිසා ඔවුන්ට අයත් ඉඩම්වල ජීවත් වීමේ අයිතිය තහවුරු කර දියයුතු බවත් නිර්දේශ කෙරින.

නමුත් ආරක්ෂක අංශ හා ලාහුගල ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියලු රාජ්‍ය ආයතන වල නිලධාරීන් මානව හිමිකම් කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර නොගත්තේ මේ ඉඩම් අත්පත් කර ගැනීම කුමන කාර්යයක් සඳහා සිදු කරනු ලැබූවේ ද යන්න ඔවුන් නිවැරදි ව දන්නා නිසා ය. 

පාරිසරික වටිනාකම් අහිමි කිරීම

නාවික හමුදාව හා ගුවන් හමුදාව බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති රාගම්වල හා ශාස්ත්‍රවල එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ප්‍රදේශ තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර හා කඩොලාන වනාන්තර ඒ අවට පිහිටි ආරක්ෂිත වනාන්තර ජාලය හා ඒකාබද්ධ ව තිබේ. ඒවා එකිනෙකට ක්‍රමවත්ව සම්බන්ධ වී ඇත. මේ ප්‍රදේශ ආසන්නයේ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩුම්බිගල – පානම අභය භූමිය පිහිටා ඇත. මෙම දෙපාර්තමේන්තුව යටතේ ම පාලනය වන කුමන ජාතික වනෝද්‍යානය​ ඒ ආසන්නයේ ම පිහිටා තිබේ. කුමන ජාතික වනෝද්‍යානය​, යාල ජාතික වනෝද්‍යානය​ හා සම්බන්ධ වී තිබේ. මීට අමතර ව වන සංර්ක්ෂණ දෙපාර්මේන්තුව යටතේ පාලනය වන කුඹුක්කන වන රක්ෂිතය හා රජයේ වනාන්තර බිම් මේ ප්‍රදේශය ආශ්‍රිත ව පිහිටා තිබේ. එම වනාන්තර ප්‍රදේශ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානය​ හා සම්බන්ධ ව පවතී. මේ ආකාරයෙන් පානම ප්‍රදේශයේ වෙරළ කලාපයේ සිට රට තුළට අඛණ්ඩ ව විහිදුනු ආරක්ෂිත වනාන්තර පද්ධතියක් පිහිටා තිබේ. මේ නිසා මේ ප්‍රදේශයේ අලි – ඇතුන් ඇතුළු ව සියලු ජෛව ප්‍රජාවට ඛණ්ඩනය නොවූ වාසස්ථාන පද්ධතියක් හිමි ව තිබේ. ඒ හේතුවෙන් අතීතයේ දී මේ ප්‍රදේශවල ජනාවාස ආශ්‍රිත ප්‍රදේශ වනසතුන් ගේ උවදුරුවලින් ආරක්ෂා වී පැවතුණි. 

බලහත්කාරයෙන් අත්පත් කර ගත් භුමි ප්‍රදේශ ආශ්‍රිත ව පිහිටන කුඩුම්බිගල – පානම අභය භූමිය හා කුමන ජාතික වනෝiානය ඒකාබද්ධ ව තෙත්බිම් පද්ධතියක් ලෙස ලංකාවේ ජාත්‍යන්තර ව වැදගත්වන රැම්සා තෙත්බිම් හය අතුරින් එකක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මේ ප්‍රදේශය ජාත්‍යන්තරව අවධානයට ලක් වීමට ප්‍රධාන හේතුව සංක්‍රමණික පක්ෂීන් ඇතුළු තෙත් බිම් ආශ්‍රිත විශාල ජෛව ප්‍රජාවකට රැකවරණය සලසන තෙත් බිම් පද්ධතියක් ලෙස මෙම ප්‍රදේශය වෙරළ කලාපය තුළ ව්‍යාප්ත ව පැවතීම ය. 

ලෝකයේ ජීවත් වන සාගරවාසී කැස්බෑ විශේෂ අට අතුරින් ලංකාවේ මුහුදු තීරයට බිජුලෑම සඳහා පැමිණෙන කැස්බෑ විශේෂ පහෙන් විශේෂ තුනක් පානම ආශ්‍රිත ප්‍රදේශයට බිජුලෑම සඳහා පැමිණේ. එනම් ගල් කැස්බෑව, බටු කැස්බෑවා හා දාර කැස්බෑවා ය. මේ විශේෂ තුන ම 2012 රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති විශේෂ වේ. මේ සතුන් වෙරළ තීරයේ, වෙරළබඩ ශාක ප්‍රජාව හා කඩොලාන ආශ්‍රිත ප්‍රදේශවල බිජුලෑම සිදු කරයි. මේ ඉඩම් කොල්ලය තුළින් මෙම සතුන්ට ජීවත් වීමට ඇති අයිතිය ද අහිමි කර ඇත.

ක්‍රියාත්මක නොවූ කැබිනට් තීරණය

පානම පත්තුව සුරැකීමේ සංවිධානය විසින් දිගින් දිගට ම තම අයිතිවාසිකම වෙනුවෙන් කරන ලද අරගලයේ ප්‍රතිඵලයක් ලෙස යහපාලන ආණ්ඩුව පැවති සමයේ දී ජනාධිපතිවරයා ගේ හා අගමැතිවරයා ගේ මැදිහත්වීම මත 2015.02.11 වන දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කෙරුනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පාලනය වන ඉඩම් අක්කර 25 ක් හැර ඉතිරි ඉඩම් සියල්ල ජනතාවට ලබා දීමට පියවර ගත යුතු බව ය. 

ගුවන් හමුදාව රාගම්වෙල හා ශ්‍රාස්ත්‍රවෙල ප්‍රදේශයේ ඉඩම් අක්කර 365 ක් බලහත්කාරයෙන් රදවා ගෙන සිටින අතර ඉන් අක්කර 25 ක් ගුවන් හමුදාවට ලබා දුන් පසුව ඉතිරි ඉඩම් ප්‍රමාණය අක්කර 340 කි. මෙම භූමි ප්‍රමාණයෙන් අක්කර 50 ක් පමණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ කැලෑ බිම් වේ. එම කැලෑ ප්‍රදේශය රාගම්වෙල වැවේ ජලපෝෂක ප්‍රදේශ වන අතර වැව හා මුහුද අතර පිහිටි වනාන්තර ප්‍රදේශයකින් හා වැලි කඳු වලින් සමන්විත වේ. මෙම භූමිය හැර ඉතිරි බිම් ප්‍රදේශය එහි ජීවත් වූ පවුල් 105 කට ලබා දෙන ලෙස පදිංචි ව සිටි ජනතාව අද වන විට ඉල්ලා සිටී. 

කැබිනට් තීරණය දැනුම් දීමෙන් පසුව වසර අටකට වැඩි කාලයක් ගත වී ඇතත් එය ක්‍රියාත්මක තත්ත්වයට පත්කීරීමට නොහැකි විය. කැබිනට් තීරණයට අනුව කටයුතු කර ජනතාවට අයිති ඉඩම් ඔවුන් වෙත ලබා දීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා හෝ ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයා මේ වන තුරුත් ක්‍රියා කළේ නැත. කැබිනට් තීරණයට අනුව ජනතාවට ඉඩම් ලබා දීමට කටයුතු කළ යුතු වුවත් ජාතික භෞතික සැලැස්මට අනුව පානම ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ විශාල ප්‍රදේශයක මහා පරිමාණ සංචාරක  ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති බැවින් මේ ඉඩම් නැවත ජනතාවට ලබා දීමට පියවර නොගනිමින් සිටී. නිලධාරීන් හා දේශපාලඥයන් ඒ පිළිබඳ ව ඇති දැනුවත් වීම මත ජනතාවට ඉඩම් ලබා දීමට ක්‍රියාමාර්ග නොගෙන වරින්වර ජනතාව මුලා කරමින් එම ඉඩම් ඔවුන් විසින් සූක්ෂම ව අත්පත් කර ගනිමින් සිටී. 

මේ තත්ත්වය තවදුරටත් තහවුරු වූයේ 2015 ජනාධිපතිවරණ හා මහ මැතිවරණ සමයේ දී පානම ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීම සඳහා දේශපාලන මැදිහත්වීම ලබා දීමට ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය දයා ගමගේ විසින් යහපාලන ආණ්ඩුව පැවති සමයේ දී ජනතාව ගේ ඉඩම් හා ජීවත් වීමේ අයිතිය උකසට තබා මේ ප්‍රදේශයේ මහ පරිමාණ සංචාරක හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමෙනි. එපමණක් නොව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ගේ පුතණුවන් ද මෙම ඉඩම් සූක්ෂම ව අත්පත් කර ගනිමින් සිටින්නේ මෙම ඉඩම්වල අනාගත වටිනාකම දන්නා නිසා ය.

“මෝදි”ට සොරා කියූ ගාන්ධිගේ මන්ත්‍රීධූරය අහෝසියි

රාහුල් ගාන්ධි තවදුරටත් පාර්ලිමේන්තුවේ “සාමාජිකත්වයට සුදුස්සකු” නොවන බවට නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඒ ඔහු අපහාස නඩුවකට වරදකරු වීමත් සමගයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ගාන්ධි පූර්ව මැතිවරණ රැළියක් අතරතුරදී විවිධ මූල්‍ය චෝදනා ලත් ව්‍යාපාරිකයන් වන නිරාව් මෝදි සහ ලලිත් මෝදි යන නම් ප්‍රකාශ කරමින් “සියලු සොරුන්ට මෝදි යන පොදු වාසගම ඇත්තේ කෙසේද?” යන්න පවසා ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ පසුගිය මහ මැතිවරණයට පෙර ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් ය.

කෙසේවෙතත් විපක්ෂ නායකයාගේ එම ප්‍රකාශය හේතුවෙන් සමස්ත මෝදි ප්‍රජාවම අපකීර්තියට පත් කළ බවට භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී සහ හිටපු ගුජරාට් අමාත්‍ය පූර්ණේෂ් මෝදි විසින් නඩු ගොනු කර තිබිණි.

පසුගිය බ්‍රහස්පතින්දා (23) ගාන්ධි වැරදිකරු කරමින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර ඔහුට වසර 2ක සිරදඬුවමක්ද නියම කෙරිණි.

කෙසේවෙතත් ඔහුගේ සිර දඬුවම දින 30 කට අත්හිටුවන ලද අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දීමට අධිකරණය කටයුතු කර ඇත.

එලෙස අභියාචනයක් ඉදිරිපත් කර තිබියදී මෙලෙස මන්ත්‍රීධූරය අහෝසි කිරීමේ තීරණය පිළිබඳ තමා “විමතියට පත් වූ” බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කීර්තිමත් කතුවරයෙකුද වන ශෂී තරූර් පවසා ඇත.

එමෙන්ම ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් බොහෝ පිරිස් අදහස් දක්වා තිබුණු අතර කොංග්‍රස් සභාපති මල්ලිකාර්ජුන් ඛාර්ගේ, පවසා සිටියේ මෝදි රජය “වඩාත්ම බිය වන්නේ රාහුල් ගාන්ධිට සහ කොංග්‍රස් පක්ෂයට බවයි.

” එම නිසා ඔවුන් ගාන්ධිගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කර ඇත.. තවද ඔවුන්ට අවශ්‍ය ඇත්ත කතා කරන පිරිස් නිහඬ කිරීමයි. මේ ඒකාධිපති පාලනය රටවැසියන් තවදුරටත් ඉවසන්නේ නැහැ.” යනුවෙන්ද ඔහු පවසා ඇත.

මේ අතර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හිටපු මහඇමතිවරයා “හොරෙකු සොරෙකු ලෙස හැඳින්වීම අපේ රටේ අපරාධයක් වී ඇත. “සොරුන් සහ මංකොල්ලකරුවන් තවමත් නිදැල්ලේ සිටින අතර රාහුල් ගාන්ධිට දඩුවම් ලැබුණා. මෙය සෘජුවම ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීමක් බවද පැවසීය.

සබැඳි පුවත්

“Raid Amazones – 2023” මහනුවර දී ඇරඹෙයි

Raid Amazones 2023′ ත්‍රාසජනක තරගාවලිය මහනුවර දී පසුගිය (22) මහනුවරදී ආරම්භ විය.

මෙම තරගාවලිය සඳහා ප්‍රංශ ක්‍රීඩිකාවන් 250 දෙනෙකු ක්‍රී කරන අතර එහි දෙවැනි දිනයේ ක්‍රියාකාරකම ලෙසින් ඊයේ (23) ක්‍රීඩිකාවන් වික්ටෝරියා ජලාශයේ ඔරුපැදීමේ තරගය සදහා එක්ව වූහ.

තරගයේ ආරම්භක දිනය වූ වූ 22 වැනිදා ප්‍රංශ ක්‍රීඩිකාවන් හන්තානේ සිට ගලහ දක්වා කිලෝමීටර් 11 ක් පමණ දුරක ධාවන තරගයකට සහභාගි විය.

මාර්තු මස 28 වෙනි දින දක්වා මෙම ක්‍රීඩිකාවන් බයිසිකල් පැදීම, දිවීම ඇතුලු විවිද තරග ඉසව් සදහා එක්වීමට නියමිතය.

Raid Amazones යනු ලොව එකම සංචාරක කාන්තා ත්‍රාසජනක තරඟාවලිය වන අතර ශ්‍රීලංකන් ගුවන් සේවය එහි නිල ගුවන් සේවා හවුල්කරුවා ලෙස කටයුතු කරයි.

රාජ්‍ය ව්‍යවසායන් 07ක් පෞද්ගලීකරණයට අනුමැතිය

රාජ්‍ය ව්‍යවසායන් 07ක රජයට හිමි කොටස් වල අයිතිය පාර්ශව සඳහා පැවරීමට අනුමැතිය හිමිවූ බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින් පහත සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවාවන් සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීම පිණිස පිළිගත් සහ පළපුරුදු සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් පත්කරනු ලබයි.

එමෙන්ම එවැනි ගනුදෙනුකාර උපදේශන සමාගම් තෝරාගැනීම කෙටිකාලයකින් ආරම්භ කරනු ඇති බවද එම අමාත්‍යංශය පවසා සිටී.

එම සමාගම්

  • ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලන්කන් කේටරින් සමාගම
  • ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී
  • සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
  • කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ – ග්‍රැන්ඩ් හයට්)
  • හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)
  • සී/ස ලිට්‍රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම
  • ලංකා හොස්පිටල් සංස්ථා පී. එල්. සී.

“මෝදි” ට අපහාස කල රාහුල් ගාන්ධිට සිර දඬුවමක්

කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමට ගුජරාට් ප්‍රාන්තයේ සූරත්හි අධිකරණයක් අද (23) නියෝග කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි විපක්ෂ නායකවරයා විවිධ මූල්‍ය චෝදනා ලත් ව්‍යාපාරිකයන් වන නිරාව් මෝදි සහ ලලිත් මෝදි යන නම් ප්‍රකාශ කරමින් “සියලු සොරුන්ට මෝදි යන පොදු වාසගම ඇත්තේ කෙසේද?” යන්න පවසා ඇත.

ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ 2019 වර්ෂයේ දී මැතිවරණ රැලියක දී අගමැති නරේන්ද්‍ර සිං මෝදී ඉලක්ක කරමින් බව එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

කෙසේවෙතත් විපක්ෂ නායකයාගේ එම ප්‍රකාශය හේතුවෙන් සමස්ත මෝදි ප්‍රජාවම අපකීර්තියට පත් කළ බවට භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී සහ හිටපු ගුජරාට් අමාත්‍ය පූර්ණේෂ් මෝදි විසින් නඩු ගොනු කර තිබිණි.

සිදුකළ නඩු විභාගයෙන් අනතුරුව එම ප්‍රකාශයට වැරදිකරු කරමින් රාහුල් ගාන්ධිට අදාල සිර දඬුවම නියමකොට ඇත.

කෙසේවෙතත් ඔහුගේ සිර දඬුවම දින 30 කට අත්හිටුවන ලද අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දීමට අධිකරණය කටයුතු කර ඇත.

රාහුල් ගාන්ධි අද අධිකරණයේ පෙනී සිටීම සඳහා ඊයේ (22) සූරත් වෙත පැමිණි අතර කොන්ග්‍රසයේ ගුජරාට්හි නායකයින් සහ සාමාජිකයින් ඔහුව උත්සවාකරයෙන් පිළිගනු ලැබීය.

ගාන්ධිට සහයෝගය දැක්වීමක් ලෙස අද ගුජරාට් හි විවිධ ස්ථානවලට පක්ෂයේ ආධාරකරුවන් සහ සාමාජිකයින් පැමිණ සිටි අතර, ‘‘Sher-e-Hindustan’ (ඉන්දියාවේ සිංහයා) ලෙස සඳහන් පුවරුද ප්‍රදර්ශනය කළේය.

“සත්‍යය සෑම විටම පරීක්ෂවට ලක් වෙනු ඇත. නමුත් දිනක සත්‍යය පමණක් ජය ගනී. ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් මොද්වාඩියා අද ජනතාව හමුවේ පැවසීය.

පාසල් අත්‍යවශ්‍ය සේවාවක් කරනවා – රනිල් : ආණ්ඩුව දරුවන් ප්‍රාණ ඇපයට අරන් – මහින්ද / ස්ටාලින්

පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (23) කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිලේ පාසල් පෙළපොත් සහ නිල ඇඳුම් බෙදාදීමේ ජාතික වැඩසටහනේදී අදහස් දක්වමිනි.

පාසල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිවකුට ඉඩ ලබානොදෙන බව ද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුරු වර්ජන සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් ආණ්ඩුවේ කටයුතුවලට සිදු වූ බලපෑම නිසා මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් මීට පෙර ද අවස්ථා ගණනාවකදී සාකච්ඡා වී තිබිණි.

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ මර්දනය සඳහා ගෙන එන මෙවැනි ක්‍රියාමාර්ගවලට කිසිදු ආකාරයකින් බිය නොවන බවයි. පාසල් සිසුන්ට ලැබිය යුතු සියලු පහසුකම් අවම කරමින්, පාසල් උපකරණ මිල දරාගත නොහැකි ප්‍රමාණයෙන් ඉහළ දමමින් දරුවන් ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව බවත්, මේ තත්ත්වයට වගකිවයුතු ආණ්ඩු බලය දැරූවන් නිදහස් වී ගුරුවරුන් පිට වරද පැටවීමේ උත්සාහයට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි අත්තනෝමතික සහ මර්දන උපක්‍රම පසෙක තබා, අධ්‍යාපනය ගොඩනැගීමේ නිවැරදි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නම්, ඊට වෘත්තීය සමිති ලෙස සහාය දිය හැකි බවත්, එසේ නොකොට වතුර රත්වන තුරු නටන කකුළුවන්ගේ භූමිකාව රඟදක්වන රනිල් වික්‍රමසිංහට ගුරු සංගම් හෝ ජනතාව බියට පත්කළ නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මේ සම්බන්ධයෙන් thetime.lk වෙත අදහස් දක්වමින් පැවසුවේ අධ්‍යාපනය යනු අත්‍යවශ්‍ය සේවාවක් බව නිවැරදි අදහසකින් තේරුම්ගන්නේ නම් එය අතිශය වැදගත් බවයි. එහෙත් අධ්‍යාපනයේ සියලු පැති අවුල් කරමින්, ගුරුවරුන් මර්දනය සඳහා මෙවැනි උත්සාහයන් ගතහොත්, ඒවා පරාජය කරන බවත්, එවැනි උත්සාහයන්ට බිය වන ජනතාවක් දැන් නැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සහරාන්ගේ බිරිඳ හාදියාට ඇප ලැබුණත්, නීතිවිරෝධී ලෙස පැය 48ක් හිර කරයි : අධිකරණය සලකා බැලූ සුවිශේෂී කරුණු මොනවාද ?

අධිකරණයෙන් ඇප ලබාදී, ඇප කොන්දේසි සපිරීමෙන් පසු පැය 48කට ආසන්න කාලයක් සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා නිදහස් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීම යටතේ කරුණු වාර්තා කිරීමට ඇයගේ නීතිඥවරුන් තීරණය කර ඇත.

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ කණ්ඩායමේ ප්‍රධානියා වන සහරාන් හෂීම්ගේ බිරිඳ 2019 අප්‍රේල් 29දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනිණි. නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 5 (1) (අ) සහ (ආ) වගන්ති යටතේ කල්මුණේ මහාධිකරණයේ චෝදනා ගොනුකරන ලදි.

එක ම චෝදනාව

2019 අප්‍රේල් 21 සහ 26 අතර කාලය තුළ නින්දවූර් ප්‍රදේශයේ සඟවන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් පිළිබඳව සාරා ජැස්මින් නමැත්තියගෙන් තොරතුරු ලැබී තිබියදී, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් නොකිරීම ඇයට එරෙහිව එල්ල කර ඇති එක ම චෝදනාව වේ. මේ සඳහා සාක්ෂි ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර තිබුණේ ඇය විසින් කොළඹ – කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරන ලද පාපොච්ඡාරණයකි.

කල්මුණේ මුල් ම එක

පසුගිය 15දා ෆාතිමා හාදියාට ඇප ලබාදීමට කල්මුණේ මහාධිකරණ විනිසුරු ජෙයරාමන් ට්‍රොට්ස්කි නියෝග කළේය. එය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ගොනුකළ සැකකරුවෙකුට කල්මුණේ මහාධිකරණය මගින් ඇප ලබාදුන් මුල් ම අවස්ථාව වේ. රුපියල් 25,000ක මුදල් ඇපයක්, රුපියල් ලක්ෂ 25 බැගින් වන ශරීර ඇප 2ක්, විදෙස් ගමන් තහනමක්, සෑම මාසයක ම අවසාන ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්සන් කිරීම සහ පදිංචි ස්ථානය අධිකරණයට දැනුම් දීම යන ඇප කොන්දේසි අධිකරණයෙන් නියම කෙරිණි.

බන්ධනාගාරයේ හැසිරීම

එදින ම ඇප කොන්දේසි සපුරනු ලැබුවද, බන්ධනාගාර නිලධාරීන් විවිධ හේතු දක්වමින් ඇය නිදහස් කළේ නැත. මුලින්ම එම නිලධාරීන් පැවසුවේ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ෆාතිමා හාදියාට තවත් නඩුවක් ඇති නිසා එම නඩුවට ඉදිරිපත් කිරීමට ඇය රැගෙන යන බවයි. එහෙත් හාදියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ඩි හබීබ් සඳහන් කරන ලද්දේ ඇයට එරෙහිව ගොනුකරන ලද වෙනත් නඩුවක් කිසිදු පිළිගත් අධිකරණයක නොමැති බවයි.

මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි

නීතිඥවරුන් මැදිහත් වුවද, අධිකරණයේ නියෝග මත 16 දින ද හාදියා ව නිදහස් නොකෙරිණි. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ 17 දින බන්ධනාගාර නිලධාරීන් විසින් ඇය ව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ගොස් ඇති බවයි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මීගමුව – කටුවපිටිය බෝම්බ ප්‍රහාරයට අදාළ නඩුවට ඇය සැකකරුවෙකු ලෙස ඇතුළත් කරන ලෙසයි.

එහෙත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව ද අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ එම නඩු ගොනුව වසාදමා තිබීමත්, එම සිද්ධිය පිළිබඳ නඩුව මේ සඳහා පත්කරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාගවීමත් ය.

මානව හිමිකම් කොමිසම

මේ අතරතුර නීතිඥවරුන් සහ මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් දැනුවත් කෙරිණි. සිද්ධිය අධ්‍යයනය කිරීමෙන් පසු මානව හිමිකම් කොමිෂන් සභාව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළේ එදින (17) පස්වරු 5ට පෙර ඇය රඳවාගැනීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසයි.

එම නියෝගයෙන් පසු එදින පස්වරු 5.30ට පමණ ෆාතිමා හාදියා නිදහස් කිරීමට බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ.

නිත්‍යනුකූල නියෝගයක් නෑ

නීතිඥවරුන් පෙන්වා දෙන්නේ ඒ අනුව අධිකරණයෙන් ඇප නියෝගය ලබාදී, ඇප කොන්දේසි සපුරා පැය 48කට ආසන්න කාලයක් කිසිදු නීත්‍යනුකුල නියෝගයක් නොමැතිව සැකකාරිය රඳවාගැනීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ බවයි. මීට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට ඔවුහු සූදානම් වෙති.

මෙම නඩුව නැවත කැඳවීමට නියමිතව ඇත්තේ මැයි 17 සහ 18 දෙදින ය.

යුද හමුදා මේජර්

මූලික නඩු විභාගය අවසන් වීමෙන් පසු, 15දා සැකකාරියට එරෙහිව පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙස යුද හමුදා මේජර් සුදුසිංහ කැඳවන ලදි. 2019 අප්‍රේල් 26දා සායින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ සිදුකරන ලද පිපිරීමෙන් පසු සහරාන්ගේ දරුවා පිළිස්සුම් තුවාල සහිතව රැගෙන එන ප්‍රකට ඡායාරූපයේ සිටින්නේ මෙම හමුදා නිලධාරියා ය.

මෙහිදී හාදියා වෙනුවෙන් නීතිඥ රුෂ්ඩි හබීබ් ප්‍රමුඛ නීතිඥවරුන් පිරිසක් ද, පැමිණිලි පාර්ශ්වය ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර ප්‍රමුඛ රජයේ නීතිඥ කණ්ඩායමක් ද පෙනීසිටියහ.

චෝදනා පත්‍රය සංශෝධනයට

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මෙහිදී මුලින්ම අධිකරණයෙන් ඉල්ලා සිටියේ හාදියාට එරෙහි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට ය. විභාගය ආරම්භ වීමෙන් පසු මෙසේ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවස්ථාව දිය නොහැකි බවට සැකකාරියගේ නීතිඥවරුන් විරෝධය පළකළහ. එහෙත් සාක්ෂි ලබාදීම ආරම්භ නොකළ නිසා චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අධිකරණයෙන් අවසර ලැබිණි.

සුවිශේෂී හේතු මත ඇප

සැකකාරියගේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් පසු කල්මුණේ මහාධිකරණ විනිසුරුවරයා සුවිශේෂී කරුණු මත සැකකාරියට ඇප ලබාදීමට නියෝග කළේය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ගොනුකළ සැකකරුවන්ට සුවිශේෂී කරුණු මත ඇප ලබාදීමට මහාධිකරණයට හැකියාව පවතින බවට නීතිඥ හිජාස් හිස්බුල්ලා විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ නඩු තීන්දුවේදී නීල් ඉද්දවෙල විනිශ්චයකාරවරයා විසින් සඳහන් කර තිබූ කරුණ මෙහිදී කල්මුණේ මහාධිකරණ විනිසුරුවරයා විසින් අවධාරණය කෙරිණි.

ප්‍රතික්ෂේප කළ කරුණු

හාදියා දිගින්-දිගටම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ද ඇප ඉල්ලීම සිදුකිරීමට හේතුවක් ලෙස දක්වා තිබිණි. එය අධිකරණයෙන් ප්‍රතික්ෂේප විය. එසේම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට එක්කරන ලද සංශෝධනයේ 15 වගන්තියට අනුව මෙම පනත යටතේ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ දින සිට අවුරුද්දක් තුළ නඩු විභාගය ආරම්භ කර නැත්නම්, ඇප ලබාදීමේ හැකියාවක් පවතින බව සඳහන් වේ. එය ද සැකකාරියගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුණද, අධිකරණයෙන් එම හේතුව ද ප්‍රතික්ෂේප කෙරිණි.

සැකකාරියගේ දරුවා සිටින්නේ ඇයගේ මව බාරයේ බවත්, එම මව ද අසනීප තත්ත්වයෙන් සිටින නිසා ඇයට දරුවාගේ කටයුතු නිසි පරිදි කළ නොහැකි බවත් අප ඉල්ලීමේ සඳහන් වුවද, එය ද ඇප ලබාදීම සඳහා පිළිගත හැකි හේතුවක් ලෙස අධිකරණයෙන් පිළිනොගැනිණි.

කෙසේ වෙතත් ෆාතිමා හාදියාට ඇප ලබාදීම සම්බන්ධයෙන් සඳහන් කරමින් කල්මුණේ මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කළේ මෙහිදී සුවිශේෂී කරුණු බලපාන බවයි. සැකකාරියට එරෙහිව එල්ල කර ඇති චෝදනාවට ඇය වරදකරු වුවහොත් ලබාදිය හැකි උපරිම දඬුවම වසර 7ක සිර දඬුවමකි. මේ වනවිටත් ඇය වසර 4කට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සහ රක්ෂිත බන්ධනාගාරගත ව සිට ඇත.

ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර වෙනස්කම්

එසේ ම මෑත කාලීනව සිදු වූ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් තත්ත්වයන් ද, පෞද්ගලික නිදහස ද ඇයට ඇප ලබාදීමේදී විශේෂයෙන් සලකා බලන ලද බව කල්මුණේ මහාධිකරණ විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් අවධාරණය කළේය.

“ප්‍රේමයෙන් විතැන් වෙන කිසිවෙකුට කවි ලියන්නත් බෑ, දේශපාලනය කරන්නත් බෑ, පවතින්නත් බෑ!”

0

චලක ප්‍රමුදිත ලුණුවිලගේ ‘සමනල කවුළු තටු’ කාව්‍ය සංග්‍රහය හරහා නැවත අපට සම්මුඛ වෙයි. මතු දැක්වෙන්නේ ඒ නිමිති කරගෙන අප ඔහු සමඟ සිදු කළ සහෘද සංවාදයකි.

දෙදාස් දාසයේදී ‘අක්කරෙයිපත්තු අක්ෂර’ ලියපු චලක ප්‍රමුදිත ලුණුවිලගේ දෙදාස් විසි දෙකේදී ‘සමනල කවුළු තටු’ එක්ක එනවා. ඒ ගතවුණු හය වසරක අභ්‍යාස කාලය ඔබට මොන වගේ අද්දැකීමක් වුණාද?

වසර හයක් කියන්නෙ දීර්ඝ කාලයක්. මගේ ගෙවුණු සමස්ත ජීවිත කාලයෙන් හරියටම පහෙන් එකක්. වයස කියන සංදර්භය තුළ විශේෂීකරණය කළොත්, සමස්ත ජීවන පැවැත්ම ඇතුළෙ ඕනෑම මනුෂ්‍යයෙකුගෙ ජීවන අභ්‍යාස කාලය, තෝරාගැනීම් සිදු කරන කාලය වෙන්නෙ වයස විසි පහ – තිහ ආසන්නයේ ගෙවෙන වසර කිහිපය කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒ් කාල සීමාවෙදි කවිය ඇතුළෙ යම් කිසි අභ්‍යාසයක් සිද්ධ වුණා නම් ඒ්ක හුදෙක් කවියට විතරක් ලඝු වුණ අභ්‍යාස කාර්යයක් නෙවෙයි. සමස්ත ජීවිතයේ අභ්‍යාස කාලයක්. ඒ් ජීවන අභ්‍යාසය පුහුණු වෙද්දි ඒක මම ලියමින් සිටින කවියටත් සෙසු ලියවිලිවලටත් යම් යම් ආකාරයෙන් බලපෑම් සහගත වුණා කියලයි මම විශ්වාස කරන්නෙ.

‘අක්කරෙයිපත්තු අක්ෂර’ ගැන දැන් ඔබට මොකද හිතෙන්නෙ, ඒ ඇතැම් දෘෂ්ටිවාද තාමත් එහෙමමද, නැත්නම් වෙනස් වෙලාද?

‘අක්කරෙයිපත්තු අක්ෂර’ ලියද්දි මම ගෙවපු ජීවන විලාසිතාව එක්ක මට වඩාත් සමීප දේවල් ඒ පොත ඇතුළෙ කවිවල වස්තු විෂයන් විදියට අධික වශයෙන් ගොනු උනා. සමහර වෙලාවට ඒ දේවල් පොත අන්තර්ගතයේ වගේම කවරයේ පවා නිරූපණය කරන්න මට අවශ්‍ය උනා. කාව්‍ය සංග්‍රහයක් කියන ආකෘතිය ඇතුළෙ ඒක අනවශ්‍ය මතු කිරීමක් කියලා මට පසුකාලීනව පැහැදිලි වුණා. ඒ් කොහොම උනත් ‘අක්කරෙයිපත්තු අක්ෂර’ තුළ අන්තර්ගත වුණ දෘෂ්ටිවාද එක්ක මම අදටත් එකඟයි. ඒක ඇතුළෙ ජාතිවාදී හෝ වර්ගවාදී දෘෂ්ටිවාද, ස්වෝත්තමවාදී දෘෂ්ටිවාද, පටු බලවාදී දේශපාලනික දෘෂ්ටිවාද තිබුණා කියලා මම විශ්වාස කරන්නෙ නෑ. ඒ්ක ඇතුළෙ තිබුණ සෑම දෘෂ්ටිවාදයක්ම මගේ අවබෝධයේ පරිමාව අනුව නිවැරදියි. ඒ බහුතරයක් දෘෂ්ටිවාද කොමියුනිස්ට් මුහුණුවරකින් යුක්තයි. ඒ් නිසා ‘අක්කරෙයිපත්තු අක්ෂර’ ලියලා අවුරුදු හයක් ගෙවිලා අවසන් උනත් ඒ්ක ඇතුළෙ තියෙන දෘෂ්ටිවාද වෙනුවෙන් මම අදටත් පෙනී ඉන්නවා.

කවි ලියන්න කල්පනා කළේ ඇයි සහ ඔබ ලියන්න පටන් ගත්ත කාලයෙ ඉඳල මේ මොහොත වෙනකං සමස්ථය ගැන ඔබේ විග්‍රහය මොකද්ද?

කවි ලියන්න කල්පනා කළේ ඇයි කියන එකට නම් පැහැදිලි උත්තරයක් මතක් කරන්න අමාරුයි. කොහොම උනත් ඉස්කෝලෙ කාලෙ ඉඳන් කවි ලිව්වා. සාහිත්‍ය තරඟවලටයි ගෑණු ළමයිටයි තමයි ඒ් කාලෙ වැඩිපුරම කවි ලිව්වෙ. ඒ කාලෙ ලිවීමේ ආසාව ඇති වුණේ කවි කියවීමට වඩා ජනප්‍රිය ධාරාවේ ගීත ඇසීමත් එක්ක. පසුකාලීනව කියවීම පුළුල් වෙද්දි දේශපාලනික කාරණා මූලික කරගෙන කවි ලිව්වා. ඒ දේශපාලනික කාරණා එක්ක තදින්ම දැණුන කවියන්ව අනුකරණය කරමින් කවි ලිව්ව අවස්ථා පවා තියෙනවා. ‘අක්කරෙයිපත්තු අක්ෂර’ ඇතුළෙ සමහර කවියෙකුගෙ අසාර්ථක හෙවණැලි තියෙනවා කියලා මම අද ස්වයං විවේචනාත්මකව පිළිගන්නවා. ඒ කොහොම උනත් මේ මොහොත වෙද්දි මම ලියන කවිය ගැන මම අදහස් ප්‍රකාශ කරනවට වඩා පාඨකයා විසින් යමක් කීම සුදුසුයි කියලා විශ්වාස කරන නිසා මම ඒ ගැන මොකුත් නොකිය ඉන්නවා.

‘සමනල කවුළු තටු’ ඇතුළෙ ඔබේ යම් යම් ආකෘතික අත්හදා බැලීම් අපිට දකින්නට ලැබෙනවා. ඔබට අනුව කවියකට ආකෘතිය කොච්චර වැදගත්ද?

කවියකට වගේම ඕනෑම නිර්මාණයකට ආකෘතියක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ ආකෘතිය ආයාසයෙන් ඇතුල් කරොත් ආකෘතිය වගේම නිර්මාණයත් අසාර්ථක වෙනවා. ඒ නිසා නිර්මාණය විසින් ඉල්ලා සිටින ආකෘතිය තෝරාගන්න ඕනෑම නිර්මාණකරුවෙක් පරෙස්සම් වෙන්න ඕන. පවතින ආකෘතීන් බිඳ දැමීම සහ නව ආකෘතීන් නිර්මාණය කිරීම කියන්‌නෙ හුදෙක් ආවේගයෙන් පමණක් කළ හැකි දෙයක් නෙවෙයි. සංයමයෙන් කළ යුතු දෙයක්. නිර්මාණ සඳහා දෘෂ්ටිවාද පොලා ගන්නවා ව‌‌ගේම පරෙස්සමින් ආකෘතිය තෝරා ගත යුතුයි.

එක පැත්තකින් දේවල් වෙනස් විය යුතු බව සිතන, ඒ වෙනුවෙන් සටන් කරන, ලියන කියවන තරුණයෙක්. අනෙක් පැත්තෙන් සාමාන්‍යයෙන් අපිට දකින්නට ලැබෙන ප්‍රේමවන්තයෙක්. මට හිතෙනවා ඒ දෙන්නම ඔබේ මේ පොත ඇතුළෙ ඉන්නවා කියල. මේ ප්‍රශ්නෙ ටිකක් අසාධාරණ වෙන්න පුළුවන්. ඒත් මට ඒක අහන්නම ඕනෙ. දේවල් වෙනස් විදියට දකින ඇහැ ප්‍රේමවන්තයාගේ චරිතය ඇතුළෙ විතැන් වෙනවද?

අසාධාරණ ප්‍රශ්නයට අසාධාරණයක් නොවෙන විදියට උත්තරයක් දෙන්නම්. ප්‍රේමය කියන්නෙ දෙදෙනෙකු සම්මුඛ වීමක් විතරක් නෙවෙයි. එය ගොඩනැංවීමක්. ඒ ගොඩනැංවීම මඟෑරලා කිසිම කෙනෙකුට පවතින්න බෑ. ඇලන් බද්‍යු එක වතාවක කියනවා ‘ප්‍රේමය සහ දේශපාලනය පිළිබඳ නොබිඳුණු විශ්වාසය කිසිම විටෙක අත්නොහැරිය යුතුයි’ කියලා. ඉතින් ප්‍රේමයෙන් විතැන් වෙන කිසිම පිරිමියෙකුට හෝ ගැහැණියකට කවි ලියන්නත් බෑ. දේශපාලනය කරන්නත් බෑ. පවතින්නත් බෑ.

දැනට අලුත් පොතට ලැබුණු චිචාර, විවේචන කොහොමද සහ ඒවා ඔබ තුළ ඇති කරන්නෙ මොන වගේ උත්තේජනයක්ද?

පොත සම්බන්ධයෙන් විචාර සහ සදය විවේචන යම් තාක් දුරකට ලැබිලා තියෙනවා. ඒවා ඇත්තටම උත්තේජනයක්. එක මිත්‍රයෙක් කිව්වා “උඹ ‘අක්කරෙයිපත්තු අක්ෂර’ ලිව්වට උඹ කවි බජාර් එකට වැටුණෙ ‘සමනල කවුළු තටු’ එක්ක” කියලා. ඔහු කීප සැරයක්ම මතු කරේ “උඹ වැටුණෙ ‘කවි සමාජෙට’ නෙවෙයි, ‘කවි බජාර්’ එකට” කියන එක. කොහොම උනත් සියලුම ආකාරයේ විචාර, විවේචන ලිවීමට උත්තේජනයක් වෙනවා. ඒවා නැවත නැවතත් ලිවීමේ ආශාව දල්වනවා.

පොත ගැන සහෘද සංවාදයක් සිදුවෙන බව දැනගන්නට ලැබුණා. අවසාන වශයෙන් ඒ වැඩේ සිද්ධ වෙන්නෙ කොතැන, කොහොම, මොන විදියටද කියලත් අපිට කියන්න?

‘සමනල කවුළු තටු’ පහුගිය බුක්ෆෙයාර් එක එක්ක එළියට ආවට කිසිම එළිදැක්වීමක් සිද්ධ උනේ නෑ. ඒ නිසා යාළුවො කිහිප දෙනෙකුගෙ පෙළඹවීම මත මේ ගැන සංවාදයක් කරන්න තීරණය කළා. මේක ඕනෑම කෙනෙකුට විවෘත ‘සහෘද’ සංවාදයක්. මාර්තු 25 වෙනි සෙනසුරාදා හවස 02.30ට තියෙන්නෙ. තැන තමයි බොරැල්ලෙ පිහිටි පැරණි වාමාංශික අවකාශයක් වන ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානය. මූලික අදහස් දැක්වීම් කරන්නෙ තනූජා ජයවර්ධන එක්ක මහේෂ් හපුගොඩ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එදාට පුළුවන්කමක් ලැබුණොත් ඇන්. ඇම්. එක පැත්තට ඇවිත් මේ වැඩේට සම්බන්ධ වෙන්න කියලා.

සංවාදය – කසුන් සමරතුංග

ක්‍රීඩා මාධ්‍යවේදී රංජන් පරණවිතානට සම්මානයක්

0

ස්පෝර්ට්සින්ෆෝ ක්‍රීඩා කළමනාකරණ ආයතනය හා එක්ව සංවිධානය කරනු ලබන ‘සිල්ක් ස්පෝර්ට්ස්’සම්මාන උළෙලෙහි ජීවිතයේ එක් වරක් පමණක් දිනා ගත් හැකි ක්‍රීඩා මාධ්‍යවේදීන් වෙනුවෙන් පිරිනැමෙන සම්මානය මෙවර ප්‍රවීන ක්‍රීඩා මාධ්‍යවේදී රංජන් පරණවිතානට හිමිවිය.

පසුගිය 20 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 8 වැනි වතාවටය.

රංජන් පරණවිතාන මාධ්‍යවේදීයෙක්, ක්‍රීඩා සංස්කාරකාරකවරයෙක් සහ කාටූන් කලාවේද දක්ෂයෙක් වන අතර “අන්නාසි මාමා” නමින් ප්‍රකට ක්‍රීඩා කොළමෙහි රචකයාද වේ.

ක්‍රිකට් ක්‍රීඩකයෙක්,මලල ක්‍රීඩකයෙක්,පාපන්දු ක්‍රිඩකයෙක් ලෙස කළුතර විද්‍යලයේ නමක් දිනාගත් ඔහු වත්මන වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණිෂ්ඨ ජාතික තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

මධ්‍යස්ථ විනිසුරු මණ්ඩලයක් විසින් නිර්දේශ කරනු ලබන නාමයෝජනා අතුරින් මහාචාර්ය රියර් අද්මිරාල් ශෙමාල් ප්‍රනාන්දු සහ ආචාර්ය හර්ෂ බී. අබේකෝන්ගේ සම සභාපතිත්වයෙන් යුතු විශේෂ ජූරි සභාවකින් මෙවර සිල්ක් ස්පෝර්ට්ස් සම්මානලාභීන් තෝරා ගන්නා ලදී.

එහිදී විවිධ ක්‍රීඩාවලින් දෙස් විදෙස් හි, ඉහළම දස්කම් පෑ කැපී පෙනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද සම්මානයට පාත්‍ර විය.

චාන්ස් ස්පෝර්ට්ස් සිල්ක් ස්පෝර්ට්ස් සම්මාන උලෙළ ලෙස නම් කර ඇති මෙම සම්මාන උලෙළ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගැයීම වෙනුවෙන් වසර 2015 දී ආරම්භ වූවකි.