සහරාන්ගේ බිරිඳ හාදියාට ඇප ලැබුණත්, නීතිවිරෝධී ලෙස පැය 48ක් හිර කරයි : අධිකරණය සලකා බැලූ සුවිශේෂී කරුණු මොනවාද ?

Share post:

අධිකරණයෙන් ඇප ලබාදී, ඇප කොන්දේසි සපිරීමෙන් පසු පැය 48කට ආසන්න කාලයක් සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා නිදහස් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීම යටතේ කරුණු වාර්තා කිරීමට ඇයගේ නීතිඥවරුන් තීරණය කර ඇත.

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ කණ්ඩායමේ ප්‍රධානියා වන සහරාන් හෂීම්ගේ බිරිඳ 2019 අප්‍රේල් 29දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනිණි. නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 5 (1) (අ) සහ (ආ) වගන්ති යටතේ කල්මුණේ මහාධිකරණයේ චෝදනා ගොනුකරන ලදි.

එක ම චෝදනාව

2019 අප්‍රේල් 21 සහ 26 අතර කාලය තුළ නින්දවූර් ප්‍රදේශයේ සඟවන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් පිළිබඳව සාරා ජැස්මින් නමැත්තියගෙන් තොරතුරු ලැබී තිබියදී, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් නොකිරීම ඇයට එරෙහිව එල්ල කර ඇති එක ම චෝදනාව වේ. මේ සඳහා සාක්ෂි ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර තිබුණේ ඇය විසින් කොළඹ – කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරන ලද පාපොච්ඡාරණයකි.

කල්මුණේ මුල් ම එක

පසුගිය 15දා ෆාතිමා හාදියාට ඇප ලබාදීමට කල්මුණේ මහාධිකරණ විනිසුරු ජෙයරාමන් ට්‍රොට්ස්කි නියෝග කළේය. එය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ගොනුකළ සැකකරුවෙකුට කල්මුණේ මහාධිකරණය මගින් ඇප ලබාදුන් මුල් ම අවස්ථාව වේ. රුපියල් 25,000ක මුදල් ඇපයක්, රුපියල් ලක්ෂ 25 බැගින් වන ශරීර ඇප 2ක්, විදෙස් ගමන් තහනමක්, සෑම මාසයක ම අවසාන ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්සන් කිරීම සහ පදිංචි ස්ථානය අධිකරණයට දැනුම් දීම යන ඇප කොන්දේසි අධිකරණයෙන් නියම කෙරිණි.

බන්ධනාගාරයේ හැසිරීම

එදින ම ඇප කොන්දේසි සපුරනු ලැබුවද, බන්ධනාගාර නිලධාරීන් විවිධ හේතු දක්වමින් ඇය නිදහස් කළේ නැත. මුලින්ම එම නිලධාරීන් පැවසුවේ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ෆාතිමා හාදියාට තවත් නඩුවක් ඇති නිසා එම නඩුවට ඉදිරිපත් කිරීමට ඇය රැගෙන යන බවයි. එහෙත් හාදියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ඩි හබීබ් සඳහන් කරන ලද්දේ ඇයට එරෙහිව ගොනුකරන ලද වෙනත් නඩුවක් කිසිදු පිළිගත් අධිකරණයක නොමැති බවයි.

මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි

නීතිඥවරුන් මැදිහත් වුවද, අධිකරණයේ නියෝග මත 16 දින ද හාදියා ව නිදහස් නොකෙරිණි. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ 17 දින බන්ධනාගාර නිලධාරීන් විසින් ඇය ව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ගොස් ඇති බවයි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මීගමුව – කටුවපිටිය බෝම්බ ප්‍රහාරයට අදාළ නඩුවට ඇය සැකකරුවෙකු ලෙස ඇතුළත් කරන ලෙසයි.

එහෙත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව ද අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ එම නඩු ගොනුව වසාදමා තිබීමත්, එම සිද්ධිය පිළිබඳ නඩුව මේ සඳහා පත්කරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාගවීමත් ය.

මානව හිමිකම් කොමිසම

මේ අතරතුර නීතිඥවරුන් සහ මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් දැනුවත් කෙරිණි. සිද්ධිය අධ්‍යයනය කිරීමෙන් පසු මානව හිමිකම් කොමිෂන් සභාව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළේ එදින (17) පස්වරු 5ට පෙර ඇය රඳවාගැනීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසයි.

එම නියෝගයෙන් පසු එදින පස්වරු 5.30ට පමණ ෆාතිමා හාදියා නිදහස් කිරීමට බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ.

නිත්‍යනුකූල නියෝගයක් නෑ

නීතිඥවරුන් පෙන්වා දෙන්නේ ඒ අනුව අධිකරණයෙන් ඇප නියෝගය ලබාදී, ඇප කොන්දේසි සපුරා පැය 48කට ආසන්න කාලයක් කිසිදු නීත්‍යනුකුල නියෝගයක් නොමැතිව සැකකාරිය රඳවාගැනීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ බවයි. මීට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට ඔවුහු සූදානම් වෙති.

මෙම නඩුව නැවත කැඳවීමට නියමිතව ඇත්තේ මැයි 17 සහ 18 දෙදින ය.

යුද හමුදා මේජර්

මූලික නඩු විභාගය අවසන් වීමෙන් පසු, 15දා සැකකාරියට එරෙහිව පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙස යුද හමුදා මේජර් සුදුසිංහ කැඳවන ලදි. 2019 අප්‍රේල් 26දා සායින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ සිදුකරන ලද පිපිරීමෙන් පසු සහරාන්ගේ දරුවා පිළිස්සුම් තුවාල සහිතව රැගෙන එන ප්‍රකට ඡායාරූපයේ සිටින්නේ මෙම හමුදා නිලධාරියා ය.

මෙහිදී හාදියා වෙනුවෙන් නීතිඥ රුෂ්ඩි හබීබ් ප්‍රමුඛ නීතිඥවරුන් පිරිසක් ද, පැමිණිලි පාර්ශ්වය ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර ප්‍රමුඛ රජයේ නීතිඥ කණ්ඩායමක් ද පෙනීසිටියහ.

චෝදනා පත්‍රය සංශෝධනයට

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මෙහිදී මුලින්ම අධිකරණයෙන් ඉල්ලා සිටියේ හාදියාට එරෙහි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට ය. විභාගය ආරම්භ වීමෙන් පසු මෙසේ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවස්ථාව දිය නොහැකි බවට සැකකාරියගේ නීතිඥවරුන් විරෝධය පළකළහ. එහෙත් සාක්ෂි ලබාදීම ආරම්භ නොකළ නිසා චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අධිකරණයෙන් අවසර ලැබිණි.

සුවිශේෂී හේතු මත ඇප

සැකකාරියගේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් පසු කල්මුණේ මහාධිකරණ විනිසුරුවරයා සුවිශේෂී කරුණු මත සැකකාරියට ඇප ලබාදීමට නියෝග කළේය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ගොනුකළ සැකකරුවන්ට සුවිශේෂී කරුණු මත ඇප ලබාදීමට මහාධිකරණයට හැකියාව පවතින බවට නීතිඥ හිජාස් හිස්බුල්ලා විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ නඩු තීන්දුවේදී නීල් ඉද්දවෙල විනිශ්චයකාරවරයා විසින් සඳහන් කර තිබූ කරුණ මෙහිදී කල්මුණේ මහාධිකරණ විනිසුරුවරයා විසින් අවධාරණය කෙරිණි.

ප්‍රතික්ෂේප කළ කරුණු

හාදියා දිගින්-දිගටම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ද ඇප ඉල්ලීම සිදුකිරීමට හේතුවක් ලෙස දක්වා තිබිණි. එය අධිකරණයෙන් ප්‍රතික්ෂේප විය. එසේම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට එක්කරන ලද සංශෝධනයේ 15 වගන්තියට අනුව මෙම පනත යටතේ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ දින සිට අවුරුද්දක් තුළ නඩු විභාගය ආරම්භ කර නැත්නම්, ඇප ලබාදීමේ හැකියාවක් පවතින බව සඳහන් වේ. එය ද සැකකාරියගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුණද, අධිකරණයෙන් එම හේතුව ද ප්‍රතික්ෂේප කෙරිණි.

සැකකාරියගේ දරුවා සිටින්නේ ඇයගේ මව බාරයේ බවත්, එම මව ද අසනීප තත්ත්වයෙන් සිටින නිසා ඇයට දරුවාගේ කටයුතු නිසි පරිදි කළ නොහැකි බවත් අප ඉල්ලීමේ සඳහන් වුවද, එය ද ඇප ලබාදීම සඳහා පිළිගත හැකි හේතුවක් ලෙස අධිකරණයෙන් පිළිනොගැනිණි.

කෙසේ වෙතත් ෆාතිමා හාදියාට ඇප ලබාදීම සම්බන්ධයෙන් සඳහන් කරමින් කල්මුණේ මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කළේ මෙහිදී සුවිශේෂී කරුණු බලපාන බවයි. සැකකාරියට එරෙහිව එල්ල කර ඇති චෝදනාවට ඇය වරදකරු වුවහොත් ලබාදිය හැකි උපරිම දඬුවම වසර 7ක සිර දඬුවමකි. මේ වනවිටත් ඇය වසර 4කට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සහ රක්ෂිත බන්ධනාගාරගත ව සිට ඇත.

ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර වෙනස්කම්

එසේ ම මෑත කාලීනව සිදු වූ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් තත්ත්වයන් ද, පෞද්ගලික නිදහස ද ඇයට ඇප ලබාදීමේදී විශේෂයෙන් සලකා බලන ලද බව කල්මුණේ මහාධිකරණ විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් අවධාරණය කළේය.

Related articles

IPL තරගාවලිය අවසන්වූ පසු ලෝක කුසලානය

IPL තරගාවලිය ඉවර වුනාම ලෝක කුසලානය පටන් ගන්නවා.මන් හිතන්නේ ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා නායකයාට, කළමනාකාරීත්වයට සහ තේරීම්...

හොරොව්පතානේ තරුණයෙක් පැහැරගෙන දවස් 25ක් හිරකරලා : පොලිස් විශේෂ කාර්ය බලකායට බරපතළ චෝදනාවක් : අලුත් පනතින් පළමු නඩුව වැටෙයි !

හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කපිල කුමාර පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පැහැරගෙන ගොස් දින 25ක් බලහත්කාරයෙන් රඳවා තබාගැනීමට...

හාස්‍යානුකරණ නිර්මාණයක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බාධා තිබේද? – ස්වයං වාරණයෙන් මිදී වැඩ කරමු !

හාස්‍යානුකරණ කලා නිර්මාණයක් සිදු කළ බවට චෝදනා කරමින් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම පසුගිය දිනවල දැඩි කතාබහට ලක්විය. එසේ අත්අඩංගුවට...

මහ පොළොව මත ගැටලු විසඳීමට සමස්තයට පුළුල් ප්‍රතිපත්ති !

මෙවර අලුත් අවුරුදු උත්සවවලට ලැබී තිබුණේ පසුගිය කාලයට සාපේක්ෂව අඩු අවධානයක් විය. අලුත් අවුරුදු උදාවත් සමඟ සාම්ප්‍රදායිකව නැඟෙන...