චලක ප්‍රමුදිත ලුණුවිලගේ ‘සමනල කවුළු තටු’ කාව්‍ය සංග්‍රහය හරහා නැවත අපට සම්මුඛ වෙයි. මතු දැක්වෙන්නේ ඒ නිමිති කරගෙන අප ඔහු සමඟ සිදු කළ සහෘද සංවාදයකි.
දෙදාස් දාසයේදී ‘අක්කරෙයිපත්තු අක්ෂර’ ලියපු චලක ප්‍රමුදිත ලුණුවිලගේ දෙදාස් විසි දෙකේදී ‘සමනල කවුළු තටු’ එක්ක එනවා. ඒ ගතවුණු හය වසරක අභ්‍යාස කාලය ඔබට මොන වගේ අද්දැකීමක් වුණාද?
වසර හයක් කියන්නෙ දීර්ඝ කාලයක්. මගේ ගෙවුණු සමස්ත ජීවිත කාලයෙන් හරියටම පහෙන් එකක්. වයස කියන සංදර්භය තුළ විශේෂීකරණය කළොත්, සමස්ත ජීවන පැවැත්ම ඇතුළෙ ඕනෑම මනුෂ්‍යයෙකුගෙ ජීවන අභ්‍යාස කාලය, තෝරාගැනීම් සිදු කරන කාලය වෙන්නෙ වයස විසි පහ – තිහ ආසන්නයේ ගෙවෙන වසර කිහිපය කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒ් කාල සීමාවෙදි කවිය ඇතුළෙ යම් කිසි අභ්‍යාසයක් සිද්ධ වුණා නම් ඒ්ක හුදෙක් කවියට විතරක් ලඝු වුණ අභ්‍යාස කාර්යයක් නෙවෙයි. සමස්ත ජීවිතයේ අභ්‍යාස කාලයක්. ඒ් ජීවන අභ්‍යාසය පුහුණු වෙද්දි ඒක මම ලියමින් සිටින කවියටත් සෙසු ලියවිලිවලටත් යම් යම් ආකාරයෙන් බලපෑම් සහගත වුණා කියලයි මම විශ්වාස කරන්නෙ.
‘අක්කරෙයිපත්තු අක්ෂර’ ගැන දැන් ඔබට මොකද හිතෙන්නෙ, ඒ ඇතැම් දෘෂ්ටිවාද තාමත් එහෙමමද, නැත්නම් වෙනස් වෙලාද?
‘අක්කරෙයිපත්තු අක්ෂර’ ලියද්දි මම ගෙවපු ජීවන විලාසිතාව එක්ක මට වඩාත් සමීප දේවල් ඒ පොත ඇතුළෙ කවිවල වස්තු විෂයන් විදියට අධික වශයෙන් ගොනු උනා. සමහර වෙලාවට ඒ දේවල් පොත අන්තර්ගතයේ වගේම කවරයේ පවා නිරූපණය කරන්න මට අවශ්‍ය උනා. කාව්‍ය සංග්‍රහයක් කියන ආකෘතිය ඇතුළෙ ඒක අනවශ්‍ය මතු කිරීමක් කියලා මට පසුකාලීනව පැහැදිලි වුණා. ඒ් කොහොම උනත් ‘අක්කරෙයිපත්තු අක්ෂර’ තුළ අන්තර්ගත වුණ දෘෂ්ටිවාද එක්ක මම අදටත් එකඟයි. ඒක ඇතුළෙ ජාතිවාදී හෝ වර්ගවාදී දෘෂ්ටිවාද, ස්වෝත්තමවාදී දෘෂ්ටිවාද, පටු බලවාදී දේශපාලනික දෘෂ්ටිවාද තිබුණා කියලා මම විශ්වාස කරන්නෙ නෑ. ඒ්ක ඇතුළෙ තිබුණ සෑම දෘෂ්ටිවාදයක්ම මගේ අවබෝධයේ පරිමාව අනුව නිවැරදියි. ඒ බහුතරයක් දෘෂ්ටිවාද කොමියුනිස්ට් මුහුණුවරකින් යුක්තයි. ඒ් නිසා ‘අක්කරෙයිපත්තු අක්ෂර’ ලියලා අවුරුදු හයක් ගෙවිලා අවසන් උනත් ඒ්ක ඇතුළෙ තියෙන දෘෂ්ටිවාද වෙනුවෙන් මම අදටත් පෙනී ඉන්නවා.
කවි ලියන්න කල්පනා කළේ ඇයි සහ ඔබ ලියන්න පටන් ගත්ත කාලයෙ ඉඳල මේ මොහොත වෙනකං සමස්ථය ගැන ඔබේ විග්‍රහය මොකද්ද?
කවි ලියන්න කල්පනා කළේ ඇයි කියන එකට නම් පැහැදිලි උත්තරයක් මතක් කරන්න අමාරුයි. කොහොම උනත් ඉස්කෝලෙ කාලෙ ඉඳන් කවි ලිව්වා. සාහිත්‍ය තරඟවලටයි ගෑණු ළමයිටයි තමයි ඒ් කාලෙ වැඩිපුරම කවි ලිව්වෙ. ඒ කාලෙ ලිවීමේ ආසාව ඇති වුණේ කවි කියවීමට වඩා ජනප්‍රිය ධාරාවේ ගීත ඇසීමත් එක්ක. පසුකාලීනව කියවීම පුළුල් වෙද්දි දේශපාලනික කාරණා මූලික කරගෙන කවි ලිව්වා. ඒ දේශපාලනික කාරණා එක්ක තදින්ම දැණුන කවියන්ව අනුකරණය කරමින් කවි ලිව්ව අවස්ථා පවා තියෙනවා. ‘අක්කරෙයිපත්තු අක්ෂර’ ඇතුළෙ සමහර කවියෙකුගෙ අසාර්ථක හෙවණැලි තියෙනවා කියලා මම අද ස්වයං විවේචනාත්මකව පිළිගන්නවා. ඒ කොහොම උනත් මේ මොහොත වෙද්දි මම ලියන කවිය ගැන මම අදහස් ප්‍රකාශ කරනවට වඩා පාඨකයා විසින් යමක් කීම සුදුසුයි කියලා විශ්වාස කරන නිසා මම ඒ ගැන මොකුත් නොකිය ඉන්නවා.
‘සමනල කවුළු තටු’ ඇතුළෙ ඔබේ යම් යම් ආකෘතික අත්හදා බැලීම් අපිට දකින්නට ලැබෙනවා. ඔබට අනුව කවියකට ආකෘතිය කොච්චර වැදගත්ද?
කවියකට වගේම ඕනෑම නිර්මාණයකට ආකෘතියක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ ආකෘතිය ආයාසයෙන් ඇතුල් කරොත් ආකෘතිය වගේම නිර්මාණයත් අසාර්ථක වෙනවා. ඒ නිසා නිර්මාණය විසින් ඉල්ලා සිටින ආකෘතිය තෝරාගන්න ඕනෑම නිර්මාණකරුවෙක් පරෙස්සම් වෙන්න ඕන. පවතින ආකෘතීන් බිඳ දැමීම සහ නව ආකෘතීන් නිර්මාණය කිරීම කියන්‌නෙ හුදෙක් ආවේගයෙන් පමණක් කළ හැකි දෙයක් නෙවෙයි. සංයමයෙන් කළ යුතු දෙයක්. නිර්මාණ සඳහා දෘෂ්ටිවාද පොලා ගන්නවා වගේම පරෙස්සමින් ආකෘතිය තෝරා ගත යුතුයි.
එක පැත්තකින් දේවල් වෙනස් විය යුතු බව සිතන, ඒ වෙනුවෙන් සටන් කරන, ලියන කියවන තරුණයෙක්. අනෙක් පැත්තෙන් සාමාන්‍යයෙන් අපිට දකින්නට ලැබෙන ප්‍රේමවන්තයෙක්. මට හිතෙනවා ඒ දෙන්නම ඔබේ මේ පොත ඇතුළෙ ඉන්නවා කියල. මේ ප්‍රශ්නෙ ටිකක් අසාධාරණ වෙන්න පුළුවන්. ඒත් මට ඒක අහන්නම ඕනෙ. දේවල් වෙනස් විදියට දකින ඇහැ ප්‍රේමවන්තයාගේ චරිතය ඇතුළෙ විතැන් වෙනවද?
අසාධාරණ ප්‍රශ්නයට අසාධාරණයක් නොවෙන විදියට උත්තරයක් දෙන්නම්. ප්‍රේමය කියන්නෙ දෙදෙනෙකු සම්මුඛ වීමක් විතරක් නෙවෙයි. එය ගොඩනැංවීමක්. ඒ ගොඩනැංවීම මඟෑරලා කිසිම කෙනෙකුට පවතින්න බෑ. ඇලන් බද්‍යු එක වතාවක කියනවා ‘ප්‍රේමය සහ දේශපාලනය පිළිබඳ නොබිඳුණු විශ්වාසය කිසිම විටෙක අත්නොහැරිය යුතුයි’ කියලා. ඉතින් ප්‍රේමයෙන් විතැන් වෙන කිසිම පිරිමියෙකුට හෝ ගැහැණියකට කවි ලියන්නත් බෑ. දේශපාලනය කරන්නත් බෑ. පවතින්නත් බෑ.
දැනට අලුත් පොතට ලැබුණු චිචාර, විවේචන කොහොමද සහ ඒවා ඔබ තුළ ඇති කරන්නෙ මොන වගේ උත්තේජනයක්ද?
පොත සම්බන්ධයෙන් විචාර සහ සදය විවේචන යම් තාක් දුරකට ලැබිලා තියෙනවා. ඒවා ඇත්තටම උත්තේජනයක්. එක මිත්‍රයෙක් කිව්වා “උඹ ‘අක්කරෙයිපත්තු අක්ෂර’ ලිව්වට උඹ කවි බජාර් එකට වැටුණෙ ‘සමනල කවුළු තටු’ එක්ක” කියලා. ඔහු කීප සැරයක්ම මතු කරේ “උඹ වැටුණෙ ‘කවි සමාජෙට’ නෙවෙයි, ‘කවි බජාර්’ එකට” කියන එක. කොහොම උනත් සියලුම ආකාරයේ විචාර, විවේචන ලිවීමට උත්තේජනයක් වෙනවා. ඒවා නැවත නැවතත් ලිවීමේ ආශාව දල්වනවා.
පොත ගැන සහෘද සංවාදයක් සිදුවෙන බව දැනගන්නට ලැබුණා. අවසාන වශයෙන් ඒ වැඩේ සිද්ධ වෙන්නෙ කොතැන, කොහොම, මොන විදියටද කියලත් අපිට කියන්න?
‘සමනල කවුළු තටු’ පහුගිය බුක්ෆෙයාර් එක එක්ක එළියට ආවට කිසිම එළිදැක්වීමක් සිද්ධ උනේ නෑ. ඒ නිසා යාළුවො කිහිප දෙනෙකුගෙ පෙළඹවීම මත මේ ගැන සංවාදයක් කරන්න තීරණය කළා. මේක ඕනෑම කෙනෙකුට විවෘත ‘සහෘද’ සංවාදයක්. මාර්තු 25 වෙනි සෙනසුරාදා හවස 02.30ට තියෙන්නෙ. තැන තමයි බොරැල්ලෙ පිහිටි පැරණි වාමාංශික අවකාශයක් වන ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානය. මූලික අදහස් දැක්වීම් කරන්නෙ තනූජා ජයවර්ධන එක්ක මහේෂ් හපුගොඩ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එදාට පුළුවන්කමක් ලැබුණොත් ඇන්. ඇම්. එක පැත්තට ඇවිත් මේ වැඩේට සම්බන්ධ වෙන්න කියලා.