පාසල් අත්‍යවශ්‍ය සේවාවක් කරනවා – රනිල් : ආණ්ඩුව දරුවන් ප්‍රාණ ඇපයට අරන් – මහින්ද / ස්ටාලින්

Share post:

පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (23) කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිලේ පාසල් පෙළපොත් සහ නිල ඇඳුම් බෙදාදීමේ ජාතික වැඩසටහනේදී අදහස් දක්වමිනි.

පාසල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිවකුට ඉඩ ලබානොදෙන බව ද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුරු වර්ජන සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් ආණ්ඩුවේ කටයුතුවලට සිදු වූ බලපෑම නිසා මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් මීට පෙර ද අවස්ථා ගණනාවකදී සාකච්ඡා වී තිබිණි.

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ මර්දනය සඳහා ගෙන එන මෙවැනි ක්‍රියාමාර්ගවලට කිසිදු ආකාරයකින් බිය නොවන බවයි. පාසල් සිසුන්ට ලැබිය යුතු සියලු පහසුකම් අවම කරමින්, පාසල් උපකරණ මිල දරාගත නොහැකි ප්‍රමාණයෙන් ඉහළ දමමින් දරුවන් ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව බවත්, මේ තත්ත්වයට වගකිවයුතු ආණ්ඩු බලය දැරූවන් නිදහස් වී ගුරුවරුන් පිට වරද පැටවීමේ උත්සාහයට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි අත්තනෝමතික සහ මර්දන උපක්‍රම පසෙක තබා, අධ්‍යාපනය ගොඩනැගීමේ නිවැරදි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නම්, ඊට වෘත්තීය සමිති ලෙස සහාය දිය හැකි බවත්, එසේ නොකොට වතුර රත්වන තුරු නටන කකුළුවන්ගේ භූමිකාව රඟදක්වන රනිල් වික්‍රමසිංහට ගුරු සංගම් හෝ ජනතාව බියට පත්කළ නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මේ සම්බන්ධයෙන් thetime.lk වෙත අදහස් දක්වමින් පැවසුවේ අධ්‍යාපනය යනු අත්‍යවශ්‍ය සේවාවක් බව නිවැරදි අදහසකින් තේරුම්ගන්නේ නම් එය අතිශය වැදගත් බවයි. එහෙත් අධ්‍යාපනයේ සියලු පැති අවුල් කරමින්, ගුරුවරුන් මර්දනය සඳහා මෙවැනි උත්සාහයන් ගතහොත්, ඒවා පරාජය කරන බවත්, එවැනි උත්සාහයන්ට බිය වන ජනතාවක් දැන් නැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related articles

කාන්තා ඇඳුමේ රණ්ඩු සරුවල්

මේ ඈත අතීතයට අයිති බොහොම ලස්සන පිංතූරයක්.වර්ශය 1890-1900 අතර කාලයකටයි අයිති.ලන්ඩනයේ ප්‍රසිද්ධ වීදියක දර්ශණයක් විදිහට අපිට හඳුනා ගන්න...

​පාවුලෝ කොයියෝ: තමාගේ “පෞද්ගලික පුරාවෘත්තය” හඹා ගිය මිනිසාගේ කතාව

ඔහු නීතිඥයෙකු වීමට අකමැති වීම නිසා ඔහුගේ දෙමාපියන් ඔහුව මානසික රෝහලක සිර කර විදුලි සැර ප්‍රතිකාර ලබා දුන්හ....

අප තවමත් පොත් කියවනවාද? සාහිත්‍ය උළෙලවල් පොත්පත් ජීවමානව තබා ගන්නේ කෙසේද?

සාහිත්‍ය උළෙලක් නිර්වචනය වන්නේ එහි ප්‍රේක්ෂකාගාරයෙනි. සංවිධායකයින්, කථිකයින් හෝ සංග්‍රහ කරන්නන් ඕනෑම අයෙකු ආදේශ කළ හැකි වුවද, පාඨකයින්...

විදේශ සංචාර, නාට්‍ය කලාව සහ රාජ්‍ය අනුග්‍රහය

බුද්ධික දමයන්ත සහ චාමික හත්ලහාවත්ත නාට්‍යකරුවන් දෙදෙනාගේ නාට්‍ය දෙකක් ඉන්දියාවේ දිලි නුවර ජාත්‍යන්තර නාට්‍ය උලේලකට තේරී තිබෙන අතර...