තරංගනී රෙසිකා ප්‍රනාන්දු “ජෙරුසලෙම් දූවරුනි”

Share post:

නමින් ම හැඟෙන පරිදි එය ස්ත්‍රීවාදී ප්‍රබන්ධයක්. එසේම එය ආගමික නැඹුරුවකින් යුතු ජනතාවාදී නවකතාවක්. කතාව ගොතා ඇත්තේ යුද වින්දිත උතුරේ කාන්තාවන් සමඟ කටයුතු කරන සංවිධානයක සේවය කරන්නියක වන කතා නායිකාවගේ දෘෂ්ටිකෝණයෙන්. සමාන ප්‍රශ්නවලින් බැටකන උතුරේත් දකුණේත් කතුන්, වඩාත් නිවැරැදිව කියන්නේ නම්, ජනතා ප්‍රශ්න ඔස්සේ කතාව ගෙතී වර්ධනය වී පරිපාකයට ළඟා වෙනවා. සමාජය පොදුවේ අත්විඳින අපේක්ෂා භංගත්වය උත්ප්‍රාසාත්මකව සංකේතවත් කරන කෘතියක් ලෙස ද ජෙරුසලෙම් දූවරුනි හඳුනා ගත හැකියි. කතාවේ එන දිවි නසා ගැනීම් ඊට නිදසුන්. හමුදා සේවයේ දී මියගිය පෙම්වතා කෙරෙහි කතා නායිකාවගේ ඥාති සොයුරිය දක්වන ප්‍රේමය, කතා නායිකාව සහ ඇගේ ඥාති දියණිය අතර ස්නේහය, සමාජයේ මානවහිතවාදී බව, මානව දයාව ගරා වැටී ඇතැයි බොහෝ පිරිස් නොයෙක් වර නගන ව්‍යාජ තර්කයට ප්‍රතිතර්කයක් වැනියි. පෙම්වතා ගේ මව තමාට නිගරු කොට සැලකුවා වුව ඒ බව අමතක කර ඥාති සොයුරිය, මහලු වයසේ ඇයට දයාබර වන ආකාරය වැනි දේ තුළින් ජෙරුසලෙම් දූවරුනි , ප්‍රතිපත්ති ගරුක මනුෂ්‍යත්වය පිළිබඳ විශ්වාසය උත්තේජනය කරනවා. වෙනත් කාන්තාවක සමඟ පයුරු පාසානමක් හේතුවෙන් දිවි නසා ගන්නා සැමියා වෙනුවෙන් කතා නායිකාවගේ වැඩිමල් සොහොයුරිය දක්වන සමාව දීමේ ගුණය, එතරම් හැඟීම්බර චරිත ඇත්තේ කතන්දර තුළ පමණක් ද යන පැනය මතු විය හැකි තරමට සංකීර්ණයි. සොහොයුරිය ගේ සැමියාගේ චරිත ස්වභාව විසින් ඇතැම් මානව සබඳතා තිරසාර වන්නා සේම තව එකක් චපල වන්නට ද හැකි ය යන ලෝක ස්වභාව නිරූපණය කෙරෙනවා. එසේම, ” බලන්න සොබාදහම හැම මොහොතකම අලුත් වෙනවා. නමුත් මනුෂ්‍ය හදවත් තමන්ගේ පැවැත්මේ සාරය හඳුනා නොගෙන උත්කර්ෂවත් ව ගෙවිය යුතු ජීවිතය ඛේදනීය කලල් දිය පිරි වගුරක් බවට පත් කර ගන්නවා. ” වැනි කියුම් මඟින් මිනිසා නරකය කරා යන්නේ ය, පරිහානිය කරා මනුෂ්‍යත්වය ගමන් කරමින් සිටින්නේ ය කියමින් ධාර්මික ශික්ෂණයක් ඉල්ලා සිටින ආගමික මතවාදය ඉස්මතු වෙනවා. සියලු ආගම්වල පැවැත්ම ඇත්තේ ලෝකය නරක ය පරිහානියට පත් වෙමින් ඇත්තේ ය යන මතය තහවුරු වී පවතින තරමටයි. හේතුව සමාජය නිවැරැදි කිරීමේ වගකීම ආගම් විසින් පවරා ගෙන තිබීම. සමාජය යහපත් වෙමින් පැවතුණා වුව යහ ගුණ අමතක කර දුර් ගුණම ඉස්මතු කරමින් ආගම කරන්නේ, දිවි ගලවා ගැනීමේ සටනක්. සමාජය යහපත් යැයි පිළිගත් විගස ආගම හබක්.

චරිත, පරිසර, සිද්ධි නිරූපණ සියල්ලෙන් තරංගනී යනු දක්ෂ කතාකාරියක් බව නැවත වතාවක් ඔප්පු කරනවා. ” තුන්මන් හන්දියේ එක් මුල්ලක බුදු පිළිමයකි. අප වත්තට මායිම් වූ කොනේ සුරුවමකි. මුස්ලිම් පල්ලියක් සහ හින්දු කෝවිලක් ද ආවා නම් ගති ය. කට්ටියට එකිනෙකාට පස්ස හරවමින් වැඳ වැටෙන්නට හැකි වන්නට තිබිණ.” යන විවේචනාත්මක ශෛලිය ආගම පටලවා ගැනීම හේතුවෙන් දුර්වල වී ඇති බව පෙනෙනවා. මරියාට ගල් ගැසීම වැනි ප්‍රකට බයිබල් කතා ආදියෙන් තොර වුයේ නම් ජෙරුසලෙම් දූවරුනි හි සාර්ථකත්වය වඩාත් තහවුරු වන්නට ඉඩ තිබුණා. දන්නා කතා ඒ අර්ථයෙන් ම ලියා දැක්වීමෙන් පලක් තිබේ ද ? ප්‍රශ්න කළ යුතු ආගමික අදහස් උත්කර්ෂයට නංවන ” රජවරුන් විශ්වාස කළ නොහැකි බව රජුන් ම කීම. ” අපි මිසරයට පලා ගියා හඬා වැටීම් තවමත් මා දෙසවන් තුළ දෝංකාර දෙනවා ” ( පිටුව 33 ). පලා ගියා නම් හඬා වැටීම් දෝංකාර දෙන්නේ කෙසේ ද ? වැනි ප්‍රකාශ සහ අතාත්වික බයිබල් අදහස් කතාවට ගාවා ගැනීම හේතුවෙන් කෘතියේ දාර්ශනික දුප්පත්කමක් මතුවී ඇති බව පෙනෙනවා. මීරියම් නමැති රුවැති ගුණැති යුවතිය ( පිටුව 38 ) වැනි යෙදුම් සම්බන්ධයෙන් ද කල්පනාකාරී වූයේ නම් වැදගත් වන්නේ, ගුණැති සියලු කතුන් රුවැති විය යුතු යැයි නියතයක් නොමැති නිසයි. මීරියම් රුවැති නොවී ගුණැති පමණක් වූයේ නම් ජෝෂප් ඇය කෙරෙහි ආශක්ත නොවනු ඇතැයි කතා නායිකාව උපකල්පනය කරනවාද? කෘතිය ඇතැම් විට ආගමික පුරාණෝක්ති සාධාරණීකරණය කිරීමක් බඳුයි. රූපාන්තරණය වෙමින් එනම්, ජාතිවාදී, විමුක්තිකාමි වීම් ආදියෙන් දිවි ගලවා ගැනීමට තැත් කරන ආගම් පිළිබඳ ප්‍රශ්න කරන්නට තිබුණු අවස්ථාව භක්තිවන්ත භාවය හේතුවෙන් ජෙරුසලෙම් දූවරුනි කෙරෙන් දුරස් වී තිබෙනවා. එසේ වුව ආගමික කොටස අමතක කර කියවන්නකුට ජෙරුසලෙම් දූවරුනි සමාජ විවරණයක් සහිත කෘතියක් වශයෙන් කියවා ගැනීමට අපහසු නැහැ.

අනුර කේ එදිරිසූරිය

2024 / 07 / 11

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...