සිංහල කවියෙහි නඳුනුයනට හැත්තෑවසක් සපිරෙයි.එහි සරන කාව්‍ය රසික දන කවි මල්වල සුවඳ මෙනෙහි කරති.මුලින් ම ඔවුන්ට සිහිපත් වන්නේ 1984 දී පිපුණු ගිංගඟේ විලාපය කවි අහුරයි.
දුම්මල ගලට ගිය මවක් එයින් රූටා ඇදවැටී මියයෑමේ ඒකල සිදුවීමෙන් කම්පිතව එය පිටිසර බද අත්දැකීමක සත්තාවෙන් මුදවා කාව්‍යමය අතුදැකීමක් බවට පත්කිරීමෙන් රසික සිත්වල ඇති කළ විස්මය තවමත් නොමැකී ඇත.
1990 වසරේ පළවුණු කිරිසුවඳැති රාත්‍රියෙහි ඇතුළත් බක්මහේ කටහඬ,යඳඩු හස්තය යට,වෛරයේ බිජු රැකුම යනාදී කවිවල බිහිසුණු අවධියක අත්දැකීම්වලින් කම්පිත මනසකින් යුතු කවියකුගේ ආත්මීය වේදනාව සමාජ වුවමනාවක් කරා යොමුවන අයුරු පෙනේ.එහෙත් කවියාගේ විශේෂත්වයක් වන්නේ ප්‍රවණතාත්මක කවියෙහි අන්තයකට නොයා කාව්‍යොචිත බව කෙරෙහි වැඩි බර තබමින් එය රමණීය කාව්‍යමය නිර්මිතයක් බවට පත්කිරීමට දරන සමත්කමයි.
කලාකාර නුඹ යුතුකම කවිය දක්වමි.
නිවන් මුහුණ අමතක වූ
කාමී ජනයා වෙනුවෙන්
ඇඹූ පිළිම හිමි දුටුවෙද
සුන්දරියකගේ මුහුණැති
කරුණා සීතල හදවත
පෙරී ගලන නෙතු වෙනුවට
ළය කිති කවනා දෑසැති
සමාධි පිළිමය නොවඳිමි.
නියම මුහුණ විකාර වූ
ලොව ඉල්ලන මුහුණ තැනූ
කලාකාර නුඹ වෙනුවෙන්
කමා කළ හැකිය අප හට
මහා කරුණා මුහුණ නොදත්
ලෝකයෙන් පැමිණි හිතවත
සැබෑම පිළිරුව නුඹතින්
ලොවෙහි අඹාලිය යුතු වෙය
නාරි රූප අරමුණු කර
තබා වසඟ කරන දෙතොල්
ළාමක රාගී කැල්මෙන්
දනන් බැඳුම නොව යුතුකම
බහුජන හිත සුව සදනුව
සිය දහසින් කැඳවනයුරු
මුළා අඳුර ඉරා සැබෑ මග පවසන
නිමැවුම බිහි කෙරුම සබඳ නුඹැ යුතුකම
ශාස්තෘවරයා පිළිබඳ සැබෑ නාමකාය සහ ප්‍රතිමාව අතර ඇති නොගැලපුම ප්‍රශ්න කිරීම මෙහි දෘශ්‍යමානයයි.ප්‍රතිමාව සංකේතයකි.අව්‍යාජ කලාකරුවා ප්‍රතිමාව පිළිබඳ සාම්ප්‍රදායික රූපය සමතික්‍රමණය කර නව ප්‍රතිමාවක් නිමවයි.එහිදී රසිකයාගේ මනසෙහි ප්‍රතිමාව පිළිබඳ ආචීර්ණ කල්පික ඇදහීම බිඳ වැටී නව සිතුවිලි ඇතිවෙයි.ප්‍රැන්සිස්කෝ ගෝයා දේව මන්දිරවල සම්භාව්‍ය සිතුවම්හි එළිය සහ අඳුර වෙනස්කර දෙවියන් සහ මිනිසුන් පිළිබඳ යථාර්ථයේ පිළිබිඹුව මතු කළ පරිද්දෙනි.
ප්‍රතිමාව පිළිබඳ දෘශ්‍යමානයෙන් ඔබ්බට යන්නේ එහි යටිපෙළ සමාජ ප්‍රතිසංස්කරණයක නො එසේ නම් උඩුයටිකුරු කිරීමක අවශ්‍යතාව දිශානතිගත කිරීමෙනි.
කිරිසුවඳැති රාත්‍රිය කෘතියෙහි ඇතුළත් වෙස් මුහුණ,කුලුණු සීතල කටහඬක්,වළව්වට වැසි ඇවිත් යනාදී කවි වනාහී මේ කවියාගේ කවි මගෙහි හැරවුම් ලක්ෂයක් වන්නේ එක් අතකින් ප්‍රවණතාත්මක කවියෙහි ලකුණකුදු නොතබා කවිය තල කිහිපයකින් කියවීමේ මානයක් බවට එසවීමෙනි.
සිංහල කවීන් අතර බසෙහි හික්මීම අධ්‍යයනය කරන්නකු හට නන්දන වීරසිංහගේ කවිය නිර්ලෝභීව නම්කරනුයේ කාව්‍ය බස යනුවෙන් වෙනම අධ්‍යයනයක් කළ හැකිය යන හැඟීමෙන් නොවේ.කවියක බස යනු අත්දැකීම විස්තර කරන්නක් නොව අත්දැකීමේ සාරය කාව්‍යමය අත්දැකීමක් බවට පත් කිරීමේදී බසෙහි බාහිර අලංකරණ ද නොතකන්නකි.
හේඩෑව,ගුඩු අඳුර ගුණදාස අමරසේකරගේ කාව්‍ය වාක්කෝෂයෙහි සරුඅරුත් මතු කරනු රසිකයන් දැක ඇත.නන්දනගේ මුල්කාලීන කවිවල කිතුල් හේඩෑව,රබර් හේඩෑව යනාදී යෙදුම් අප දැක ඇත.කවියා ගොඩ නැගුණු අතීත පරිසරය අත්දැකීම් හා භාෂාත්මක විෂයෙහි අව්‍යාජ ව පැන නැගෙයි.
නන්දන ඉන්පසු අවධියෙහි කවියෙහි පෙරපර දෙදිග මායිම් ඉක්මවමින් බසෙහි වහලකු වනු වෙනුවට බස වහල් කරගන්නා අදියරකට පැමිණෙයි.සත්‍යකාම නම් වෙමි ආඛ්‍යානය සම්භාව්‍ය සාහිත්‍යය සහ නූතන සාහිත්‍ය හදාරමින් වඩා ස්වාධීන වූ කවියකට මාවත සොයන අභීත කවියකුගේ උදානයක් වැන්න.
ගිරග යනු නන්දන දිගුකලක් කාව්‍ය භාවිතයෙහි නැයුළුණු කවියකු හැටියට තම අනන්‍යතාව වටහාගත් උසස් කවියකුගේ අග්‍රපලයකි.
ගිරක රහස කවිය උපුටමි
ගිර පෙනෙයි
දකුණෙන්
යළි වරෙක
වම්පසින්
මුදුන් වී
පරිවාර කඳු අතරින්
තමා වට සැදුණු
උස් නූස් කඳු
අමතක ව ගියා මෙන්
ගිර හිඳියි
සුදු වලා පෙඳ සමග
මායා රැඟුම් රඟමින්
මහා කූටය
ගන නීල අහසෙහි
තුමුල කායෙන්
සාඩම්බර වතින්
ප්‍රාදුර්භූත වුව
එහි පාද
පහළ මිටි කඳු ගැටවල
අඳුරු ඉගැඹුරුම
බෑවුම්වල!
සඳමිණ
පැලැඳි
ගිරි හිස
බැබැළෙන රහස
රැවුදේද යම් තැනක
ඒ
පහළ
උස් නූස්
කඳු ගැට අතරෙහි ම
ගිරග පොතෙහි ඇතුළත් බොහෝ කවි නන්දනගේ කවියෙහි කූටප්‍රාප්තිය ලෙස කෙනෙකුට හැඟී යා හැකි ය.ඒ තරමට නැවුම් බවක් එහි වෙයි.
මැයි දෙවැනිදා මැයෙන් යුත් කවියෙහි අවසාන කොටස දක්වමි.
ගොදුරු ලෝබයෙන් උදැහැන
කපුටන් නගන කලකලය මැද
විසුළ කුණු කසළ මල
නොහැර අතුගා දමා
ශුද්ධ කළ නුවර රජ මාවතක
පහන් කණුවක පැටලුණු
සිඟිති රතු රෙදි ඉරක්
හමන සුළඟින් එසවෙයි.
සුපුෂ්පිත ජීවිතයක් පිළිබඳ කවියාගේ ප්‍රාර්ථනය නොසැළී පවතී.
කෙටි කවි හෙවත් සංක්ෂිප්ත කවිය පිළිබඳ නන්දන වීරසිංහ කවියාගේ නැඹුරුව මෑතදී බොහෝ සෙයින් සාකච්ඡාවට ලක් වෙයි.ක්ෂණ නියාම ඒ අතරිනුත් වැඩි අවධානයට ලක් විය.
ජපන් හයිකු කවි යනු වෙනම කාව්‍ය ශානරයකි.මෑතක දී මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ තවත් අය අමරිකන් හයිකු කවි ගැන ද වැදගත් තොරතුරු අනාවරණය කර ඇත.නන්දන වීරසිංහයන්ගේ .
මහත් සඳ පිණි බිඳෙක කවි එකතුවෙන් කවියක් උපුටමි.
අපරිමිත
විශ්වය ගැන
කතා කරමින්
පා තබන කල
අප
තැනි බිමෙහි
නෙක වණිනි පිපි
තණ මලා පයට පෑගෙයි
මෙය සුන්දර කවියකි.එය සුන්දර වන්නේ සාර්ව මට්ටම(Macro level) සහ තෘණ මූල මට්ටම(Grass root level ) අතර අන්තර් රැඳියාව සහ බැඳියාව පිළිබඳ විශ්ව සත්‍යයක් පිළිබිඹූ කරන හෙයිනි.
නන්දන වීරසිංහ භෞතිකවාදී දැක්මක් සහිත කවියෙකි.
ඔහුගේ චින්තාවලිය තවමත් අදූෂිතය.ප්‍රවණතාත්මක කලාවෙහි දැවැන්ත.කවියකු වන පරාක්‍රම කොඩිතුවක්කගේ චින්තනය පසුකාලීනව විඥානවාදයෙන් ද වර්ගවාදයෙන් ද දූෂණය විය එය ඔහුගේ අවාසනාවට වඩා කවි රසිකයන්ගේ අවාසනාවකි.
වියපත් වන විට ආගමික මූලාශ්‍රයන් ස්පර්ශ කරන ඇතැම් කවීන් නවතින්නේ විඥානවාදී ගොහොරුවේය.ඔවුහු අපට කවියෙන් බණ කියන්නට පටන් ගනිති.නන්දන වීරසිංහ කවියා ඒ මඩ ගොහොරුවට නොවැටී සිටීම ගැන සතුටු වෙමි.
තවත් දෙයක් කිව යුතුය.මගේ පළමු කවිපොත වන හෙළිදරව්වක් පළ වූයේ නන්දන වීරසිංහ සහ ආරියවංශ රණවීර කිවිවරුන්ගේ පළමු පොත් පළ වූ 1984 වසරේදීමය.
එයින් පසුව අද වන විට කවියෙහි මහ කඳු දෙකක් දකිමි.මම කඳු ගැටයක්මි…..මම ඉමහත් ප්‍රමෝදයෙන් යුතුව මේ කවි කඳු දෙස බලා සිටිමි.
නන්දන වීරසිංහ කවියාට දීර්ඝායු පතමි…
අපමණ සුවය දෙන ඔබෙ කවි මිණි පහන
මගෙ දිවි මගට සිසිලස දෙන සඳ පහන