ශ්‍රී ලංකාව බිහි කළ කීර්තිමත් උරග හා උභයජීවී විද්‍යාඥයකු වූ ඇන්ස්ලම් ද සිල්වා පිළිබඳ ලියැවුණු අපූරු චරිතාපදානයක් මෙවර කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේදී එළිදැක්විණි. තරුණ මාධ්‍යවේදිනියක සහ ලේඛිකාවක වන නදී මාණික්කගේ විසින් රචිත මෙම කෘතිය, නබෝ ප්‍රකාශනයකි. රැස පුවත්පතෙහි කොටස් වශයෙන් පළ වූ ලිපි මාලාවක දිගුවක් වන මෙම කෘතිය පිළිබඳව ජයසිරි ජයසේකර විසින් ලියන ලද විචාරාත්මක පසුවදනයි මේ.
සර්පයන්, කටුස්සන් හෝ ගෙම්බන්, මිනිසුන් තුළ ප්‍රියජනක හැඟුම් දනවන්නේ නැත. ‘ඔයා- මෙයා’ කියමින් ඔවුන්ට ඇඟෑලුම්කම් පාන, වඩාගෙන සුරතල් කරන, විකාර පැවතුම් ඇති මිනිසකුද බොහෝ දෙනෙකුට ප්‍රිය නොවනු ඇත. ඒ මිනිසා ලෝ පතළ උරග හා උභයජීවී විද්‍යාඥයකු වුවද එහි වෙනසක් වෙතැයි සිතීම උගහටය.
එහෙත්, මේ කෘතියෙහි කතානායකයා වූ ඇන්ස්ලම් ද සිල්වානන් සම්බන්ධයෙන් ජන සමාජයෙහි ප්‍රතිචාරය, ආශ්චර්යමත් ලෙස ඊට ඉඳුරාම පටහැනි විය. විස්මයෙන්ද, ත්‍රාසයෙන් හා වීරත්වයෙන්ද, හාස්‍යයෙන්ද පිරුණු මායා ප්‍රබන්ධයක ඊළඟ පරිච්ඡේදය කෙබඳු වනු ඇත්දැයි කුහුලින් පසුවන්නාක් මෙන්, සුවිසල් පාඨක සමූහයක් සතියක් පාසා ඔහු ගැන අප්‍රමාණ නොඉවසිල්ලකින් පසු වූ සමයක් තිබිණි. ඒ වැඩි ඈතක නොව, ‘රැස’ නම් වූ ‘මහගෙදර තරුණ කැරැල්ලේ’ හිස ගසා දමන්නට පෙර, 2019 වසරේදීය.
මේ ආශ්චර්යය කළේ, සරසවියේ අවසන් අධ්‍යයන වසරේදී සිය පළමු රැකියාව ලෙස ජනමාධ්‍ය වෘත්තියට පිළිපන් නදී මාණික්කගේ නම් ලේඛිකාවයි. තොරතුරු ගවේෂණයෙහි නිපුණත්වයද, මානව සබඳතා විෂයෙහි බුහුටිකමද, නිර්මාණාත්මක ලේඛන කුසලතාවද, අරමුණ උදෙසා කැපවීමේ ගුණය හා සංස්කරණ පරිචයද මේ විස්කම සඳහා ඇය උපයෝගී කර ගත් මායාවී මෙවලම්ය.
චරිතාපදාන රචනා කලාවේ සාම්ප්‍රදායික සීමා මාඉම් කෙළිලොල් ලෙස බිඳ දමමින් අප්‍රමාණ නිදහසකින් සැරිසරන ඇය, ජනමාධ්‍ය කලාවේ වර්තමානකාලයෙන් කතන්දර කීමේ ගුණයද, සම්මුඛ සාකච්ඡා කලාව, චාරිකා විත්ති රචනය යනාදී පුවත්පත් විශේෂාංගකරණයේ විවිධ ඉසව්වලට අයත් ශිල්පෝපක්‍රමද මෙම වෘතාන්තය ගොඩනැංවීම සඳහා නිර්මාණශීලී ලෙස භාවිත කරයි.
ලොව පුරා පර්යේෂණවලින් හෙළි කරගත් උරග සහ උභයජීවී ලෝකයෙහි විස්මිත තතුද, ඇන්ස්ලම් ද සිල්වා නම් ලෝක පූජිත විද්‍යාඥයා එම විෂය සඳහා කළ සම්ප්‍රදානයද, ඔහුගේ සමකාලීනයන් හා සිසු පරපුර පිළිබඳ තතුද මෙහි මැනවින් නිරූපිතය. එය එතෙකින් නිම වන්නේ නැත. ජීවිතය යැයි නාමකරණය කළ සුලබ ආකෘතිවලට සරදම් කරන, සාකල්‍යයෙන්ම විකල්ප; අප්‍රමාණ මිනිසෙකුගේ ජීවමාන පිළිරුවක් එමගින් විදාරණය වෙයි. පාඨක හදවත් එය ආදරයෙන් වැලඳගනු ඇතැයි සිතමි.
ජයසිරි ජයසේකර