‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’ මේක ජපානයේ මහා ව්‍යසනයකට පස්සේ මිනිස්සු බේරගන්න මැදිහත්වුණු තරුණ ස්වේච්ඡා සේවකයෙක් කියපු කතාවක්. හැබැයි මේ කතාව ඊට පස්සේ ජපානයේ නැවත නැගීසිටීමේ ‘තේමා පාඨය බවට’ පත්වෙනවා.
ඇයි මේ කතාව ඒ තරම්ම වැදගත් එකක් වුණේ?
සාමාන්‍යයෙන් ලෝකයේ රටක මොකක්මහරි අපදාවක් උනාට පස්සේ මේ රට උත්සහ කරන්නේ හානියට පත්වුණු දේවල් ප්‍රතිසංස්කරණය කරලා මිනිස්සුන්ගේ ජීවිත ආයෙත් සාමාන්‍ය තත්ත්වයට ගන්න එක. හැබැයි ජපානය මීට එහා දෙයක් ගැන හිතුවා.
ඒ තමයි Build Back Better. බී අක්ෂර තුනකින් කියවෙන මේ වැඩ පිළිවෙලේ මූලික අරමුණ වුණේ තිබුණටත් වඩා හොඳ මට්ටමකට විනාශවුණු නගරය හෝ ප්‍රදේශය පත්කරන එකයි. මේක සරලයි වගේ දැනුනට, ඒ තරම්ම ලෙහෙසි වැඩක් නෙවෙයි.
2011 මාර්තු 11 වෙනිදා මුළු ජපානයම කම්පනයට පත්කරමින් මහා මුහුදු රළ ඇවිත් ටොහොකු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ගිලගත්තා. ඒ ජපාන මෑත ඉතිහාසයේ ආපු දරුණුතම සුනාමි තත්ත්වය වාර්තා කරමින්. එක මොහොතකින් ගොඩනැගිලි, නිවාස, වාහන, කඩසාප්පු විනාස වුණවුණා විතරක් නෙවෙයි මිනිස්සු, සත්තු විශාල ප්‍රමාණයකට ජීවිත අහිමිවුණා. ටොහොකු කියන්නේ ලංකාවටත් වඩා භූමි ප්‍රමාණයෙන් වැඩි ප්‍රදේශයක්. සිදුවුණු හානිය ඇස්තමේන්තු කරන්න පවා අපහසු වුණා.
මේ සිද්ධියෙන් බරපතල විදිහට කඩාවැටිලා හිටපු ජපානය ඒ මොහොතේ කිව්වේ ‘අපි ආයෙත් ගොඩනගමු’ කියලා නෙවෙයි, ඔවුන් කිව්වේ ‘අපි අපේ දරුවන්ට උරුමවිය යුතු මට්ටමේ රටක් ගොඩනගමු’ කියලයි. මේක බොහොම ශක්තිමත් වගේම සෑහෙන්න දුර දැකපු සිතිවිල්ලක්.
ලක්ෂ ගණනක් ජපන්නු ටොහොකු ප්‍රදේශයට ආවා. සුන්බුන් ඉවත් කරලා පිරිසිදු කලා. ඊට පස්සේ සැලසුම් කලේ ‘තිබුණටත් වඩා හොඳ – වඩා ආරක්ෂාකාරී’ රටක් නිර්මාණය කරගන්න මෙහෙයුමයි.
පාරවල් ආයෙත් ගොඩනැගුවේ තිබුණට වඩා උසින්..බොහොමයක් පාරවල් ශක්තිමත් කණු උඩින් නිර්මාණය කලා. අවදානම් කලාපවල තිබුණු නිවාස සහ ඉදිකිරීම් උස් සහ ආරක්ෂිත ස්ථානවලට අරගෙන ගියා..පාසල් වල බිම්මහල ක්‍රීඩා කරන්න සහ වාහන පාර්ක් කරන්න වෙන්කරලා පන්ති කාමර උඩ තට්ටුවලට අරගෙන ගියා, දරුවන් ඇතුළු හැමදෙනෙක්ටම සුනාමි අවස්ථාවක එයින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා දිගින් දිගටම පුහුණුවීම් කලා..ඒක ඔවුන්ගේ චර්යාවේ කොටසක් වෙන තරම්ම පුහුණු කළා.
මේ වඩාත් ආරක්ෂිත සහ සැලසුම්සහගත ටොහොකු පළාත ගැන NHK රූපවාහිනිය සඳහන් කලේ
‘ඔබේ නිවාස කඩා බිඳ දමන්න ව්‍යසනයකට පුළුවන්,
හැබැයි ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්
ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’
කියන අපූරු සංකල්පනාව එක්කයි. ඊට පස්සේ ලෝකයේ බොහොමයක් රටවල්, විශේෂයෙන්ම නිතර ආපදාවට ලක්වෙන රටවල් මේ Build Back Better ජපන් නැවත ගොඩනැගීමේ සංකල්පය අනුගමනය කරන්න පටන්ගත්තා.
වේදනාව ශක්තියක් කරගන්න, අහිමිවීම් පාඩමක් කරගන්න, ගැලවීම මහා වෙනස්වීමකට භාජනය කරගන්න විශ්වාසය ගොඩනැගීම එයින් ලෝකයම ඉගනගත්තා. ඇත්තටම දරුවන්ට වඩා හොඳ සහ ආරක්ෂිත රටක් උරුම කරලා දෙන්න මේක හොඳ ප්‍රවේශයක් වුණා.
ඒ නිසා අපි ඉදිරියේ තිබෙන තෝරාගැනීම වෙන්නෙත් ‘අපිට නැතිවුණු දේ නැවත ගොඩනගනවා’ ද, නැත්නම් ‘දරුවන්ට ඇත්තටම උරුම වඩා යහපත් රටක් ගොඩනගනවා’ ද කියන තීරණය යි.

