“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

Share post:

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන හිටියා. එදා සිද්ධ වුණ දේ ගැන ඇය අවුරුදු ගාණක් වචනයක්වත් පිට කළේ නැහැ. ඒ නිහඬබව ඇගේ මුළු ජීවිතයම හැඩගැස්වූවා. අවුරුදු විස්සකට පස්සෙ ඇය ඒ මතක අවුළුවමින් ලියපු පොත ලෝකයටම බලපෑම් කළා.

‘රොක්සෑන් ගේ’ ඇමරිකාවේ නෙබ්රැස්කාවලට හයිටියෙන් සංක්‍රමණය වුණ, කතන්දරවල ඇගේ ඇති ආසාව සහ කුතුහලය පෝෂණය කරපු ආදරණීය දෙමාපියන් යටතේ හැදී වැඩුණා. පොත් ගුල්ලියක් වුණ ඇය, ලැජ්ජාශීලී සහ දෙමාපියන් ඇයට ගෙනත් දුන්න ටයිප්රයිටරේ සතුටින් වැඩ කළා. ඇය තමන්ගේ බාල සොයුරන් දෙන්නාට ආදරය කරමින්, ඇගේ පාසලට ආදරය කරමින් යම් විදියක ආරක්ෂාකාරී ළමා වියක් ගත කරමින් හිටියා එක දවසක් ඇගේ පෙම්වතා ඇයට කැලේට යන්න අඬගහනකන්.
පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් බලාගෙන හිටියා.

පස්සෙ කාලෙක රොක්සෑන් ඒක ‘සිදුවීමක්’ විදියට, බොහොම මෘදු භාෂාවකින් කිව්වේ ඒ සිදුවීමේ ගිලී යන්නෙ නැතුව ඒකේ බර දරාගෙන යමින්. ඒත් ඒ සිදුවීම ආරක්ෂාව සහ විශ්වාසය ගැන ඇගේ වටහාගැනීම සුණු විසුණු කරලා දැම්මා. ඇයට යන්තම් වයස අවුරුදු දොළහයි. ගැහැනු ළමයෙක්ව බිඳලා දාන්න පිරිමි ළමයින්ට මොනවද කරන්න පුළුවන් කියලා වටහාගන්න බැරි තරම් ඇය පුංචියි. ඇය ගෙදර ගියේ වෙනස්ම පුද්ගලයෙක් විදියට සහ ඇය ඒක ගැන කාටවත්ම කිව්වෙ නැහැ. ඇගේ දෙමාපියන්ටවත්. ගුරුවරුන්ටවත්. ඇයට උදව් කළ හැකි එකම වැඩිහිටියෙකුටවත් ඇය කිව්වෙ නැහැ.

ඒ වෙනුවට, භීතියට පත්වුණ ළමයෙකුට විතරක් කරන්න පුළුවන් නව සොයාගැනීමක් කරන්න සැලසුම් කළා. ඇය කෑම කෑවා. බර වැඩි කරගත්තා. ආරක්ෂාකාරී වෙන්න, කාටවත් නොදැනෙන ලෙස ඉන්න, කාටවත් ළඟාවිය නොහැකි තරමට ඇය තමන්ව විශාල කරගන්න තීරණය කළා. “මම පුළුවන් තරම් මහත් වෙනවා,” ඇය ලිව්වා. “එතකොට මට මාව ආරක්ෂා කරගන්න පුළුවන්.” ඇය නිර්මාණය කරගත්තු ශරීරය බළකොටුවක් – එක්වරම ආරක්ෂාව, දඬුවම, පළිහක් සහ හිරකූඩුවක් යන සියල්ලම බවට පත් වුණා. තමන්ගේ ඇස් ඉස්සරහා තමන්ගේ දියණියගේ මේ වෙනස්වීම, ඒ ඇයි කියන හේතුව නොදැන ඇගේ දෙමාපියන් විස්සෝපයෙන්, අසරණව බලාගෙන හිටියා.

අවුරුදු ගාණක් ඇය ඒ බළකොටුව ඇතුළෙ ජීවත් වුණා. පිලිප් එක්සෙතර් ඇකඩමියෙත්, පස්සෙ යේල් විශ්වවිද්‍යාලයේදීත් ඇය අනිත් අය ඇගෙන් අපේක්ෂා කළ ජීවිතය අනුකරණය කරන්න ඇය උත්සාහ කළා. ඒත් නිහඬබව වර්ධනය වුණා. වයස අවුරුදු 19දී ඇය අවුරුදු විසිපහක් වැඩිමල් පිරිමියෙක් සමඟ පැනලා යනවා. ඒ විප්ලවකාරිනියක් වෙන්න නෙමෙයි ඇගේ සහනය සඳහා. ඇය හොඳින් ඉන්න බව පෙන්වන්න සිද්ධ වුණ ජීවිතයේ පීඩනයෙන් සහනයක් ලබාගන්න.

අවසානයේදී ඇය ආපහු ගෙදර ආවම ඇය බින්දුවේ ඉඳලා නැවත හැමදේම ගොඩනගන්න පටන් ගත්තා. ඇය ශාස්ත්‍රපති උපාධියක් වගේම ආචාර්ය උපාධියක් දිනාගත්තා. ඇයට කිසිදාක කෑගහලා කියන්න බැරි වුණ හැමදෙයක්ම ඇය ලියන්න පටන් ගත්තා. කතන්දර, විචාර, බොරු නමකින් කාමුක කතා ලිව්වා, ඇය රැකගත්තු ජීවිතයෙන් පිටාර දමපු රචනා ඇය ලිව්වා.

2012 දී, ප්‍රහාරයෙන් අවුරුදු විස්සකට පස්සෙ, කිසිදාක ලියන්න බැරි වෙයි කියලා ඇය විශ්වාස කරපු දේවල් ඇය ලිව්වා. ඇය ලියපු What we hunger for නම් රචනා සංග්‍රහය දශක ගණනක් ඇය අරගෙන ආපු සත්‍යය නිරාවරණය කළා. ඒක අමු ලිවීමක් විතරක් නෙමෙයි, එය නිරවද්‍ය, නොසැලෙන, කම්පනයේ එක්ස් කිරණ ඡායාරූපයක් සහ කිසිදා සිදු නොවිය යුතු දේවලින් බේරීමට දරුවෙකු ඉගෙන ගන්නා ආකාරය බවට පත්වුණා.
කාන්තාවන් දහස් ගණනක් ඇයට ලිව්වා. ඔවුන් නිහඩතාවය හඳුනා ගත්තා. ලැජ්ජාව. පිටතින් ස්වයං විනාශයක් ලෙස පෙනෙන පැවැත්මේ උපාය මාර්ග ඔවුන් වටහා ගත්තා.

අවුරුදු දෙකකට පස්සෙ ඇය ලියපු Bad Feminist පොත ඇයව සංස්කෘතික බලවේගයක් බවට පත් කළා. ස්ත්‍රීවාදය අසම්පූර්ණ මිනිසුන්ට ඉඩක් ලබා දිය යුතු බව ඇය අවධාරණය කළා. ගෞරවය ලැබීමට කාන්තාවන් නිකැළැල් විය යුතුය යන අදහස ඇය ප්‍රතික්ෂේප කළා. ඇගේ රචනා අලෙවි වාර්තා තබමින් අලෙවි වුණා. හදිසියේම ඇගේ හඩ හැමතැනම ඇහෙන්නට ගත්තා. ප්‍රධාන පුවත්පත්, විශ්ව විද්‍යාල, සම්මන්ත්‍රණ සහ කතුවැකි කාමරවල යන හැමතැනකම.
ඒත් සාර්ථකත්වය ලේබල් ඇය වෙත ගෙනාවා.
ඇය ජාතිය ගැන ලියන විට ඇය භේදකාරී තැනැත්තියක් වුණා.
ඇය ස්ත්‍රීවාදය ගැන ලියන විට ඇය අවධානය ඉල්ලන තැනැත්තියක් වුණා.
ඇය තමන්ගේ ශරීරය ගැන ලියන විට ඇය සෞඛ්‍ය සම්පන්න නැති, උවමනාවට වැඩි, නරක උදාහරණයක් වුණා.
ඇය ආයතනවලට වඩා හොඳින් වැඩ කරන්න කියන විට ඇය අමාරුකාරියක් වුණා.
ඇය මේ රටාව වටහා ගත්තා. කාන්තාවක් අමාරුකාරියක්, පිස්සියක් නැතිනම් හැඟීම්බර කෙනෙක් විදියට ලේබල් කළහම එයා කියන දේට සවන් නොදී ඇයව නිහඬ කරවන්න පුළුවන්.
ඇය දීර්ඝ කාලයක් නිහඩව ජීවත් වුණා ඇති බව ඇය හිතුවා.
ඇය දිගටම ලිව්වා.

හන්ගර් පොතේ ඇය ඇය ඇගේ ‘පෙර’ සහ ‘පසු’ තත්වය නිර්භීත අවංකබාවයකින් පරීක්ෂා කළා. විනිශ්චය කරන ලද, බැහැර කරන ලද සහ වරදවා වටහා ගන්නා ලද ශරීරයක් මෙන්ම අවශ්‍යතාවයෙන් ගොඩනඟන ලද, ඇය තවමත් ජීවත් වීමට ඉගෙන ගනිමින් සිටින ශරීරයක් තුළ ජීවත් වීම කෙබඳු හැඟීමක්ද යන්න ඇය විස්තර කළා. විචාරකයින් එය නූතන ප්‍රබන්ධ නොවන ලෝකයේ වඩාත්ම අවංක මතක සටහන් වලින් එකක් ලෙස හැඳින්වුවා.
ඇය ස්ත්‍රී දූෂණ සංස්කෘතිය පිළිබඳ සංග්‍රහ සංස්කරණය කළා, නැගී එන ලේඛකයින්ට මඟ පෙන්වූවා, මාර්වල් කොමික්ස් සඳහා ලියූ පළමු කළු කාන්තාව බවට පත් වූවා, සඟරා සහ පුවත් පත්‍රිකා දියත් කළා, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, කම්පනය සහ බලය පිළිබඳ ජාතික සංවාද හැඩගැස්වූවා.
මේ සියල්ල කරද්දී ලෝකය ඇයව කුඩා කිරීමට උත්සාහ කළා. ඒත් ඇය ඒකට යටවුණේ නැහැ.

තම ශරීරයෙන් බලකොටුවක් ගොඩනඟා ගත් ගැහැණු ළමයා ඇගේ කටහඬින් වෘත්තියක් ගොඩනඟා ගත් කාන්තාවක් වුණා. කෙනෙක් ඇයව නිහඬ කරන්න උත්සාහ කරන හැමවිටම වැඩි වැඩියෙන් ලිව්වා.

රොක්සෑන් ‍ගේ Bad feminist පොත නිව්යෝක් ටයිම්ස් බෙස්ට් සෙලිං ලැයිස්තුවට ඇතුළත් වුණා. ඒ පොත අවුල් සහගත, මානවීය, අසම්පූර්ණ, සියල්ලන්ම ඇතුළත් නූතන ස්ත්‍රීවාදය කෙබඳු විය හැකි දැයි අර්ථ දක්වන්න උපකාරී වුණා.

දශක ගණනාවක් තිස්සේ වැළලී ගිය කතාවකට සත්‍යය සහ පැවැත්ම ගැන මිලියන ගණනක් සිතන ආකාරය නැවත සකස් කළ හැකි නම්, අපි වරක් ගිලදමා ඇති වචන අවසානයේදී කතා කරන්නට ගතහොත් කුමක් කළ හැකිද?
ඇගේ Bad feminist පොතේ ඇය මෙහෙම ලියනවා.
යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ.

කොහේවත් කියවෙන්නේ නැති දෙයක් තමයි කාන්තාවන් වඩාත් අභිලාෂකාමී සහ අවධානය යොමු කළ හැකි අය බව, මොකද අපට කවදාවත් විකල්පයක් තිබුණේ නැහැ. ඡන්දය දෙන්න, නිවසින් පිටත වැඩ කරන්න, ලිංගික හිරිහැරවලින් තොර පරිසරයක වැඩ කරන්න, අප කැමති විශ්ව විද්‍යාලවලට යාමට අපට සටන් සිදුවෙලා තියෙනවා. යම් සැලකිල්ලක් ලබා ගැනීමට අපට නැවත නැවතත් අපවම ඔප්පු කරන්න සිද්ධ වෙනවා.

Educated Minds ඇසුරින්
නැවත ලිවීම

රශ්මික මණ්ඩාවල

Related articles

ලංකාවෙ මිනිස්සු හරිම හොඳ අය – (ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)

(නුවරඑලිය නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔස්ට්‍රේලියානු සංචාරක කතක්) සුනාමිය වෙලාවෙ අනිත් පලාත්වල අය අපිට පිහිට වුන හැටි මතකයි....

ඇනා බර්න්ස් කියන්නේ ලේඛිකාවක්ම නෙමෙයි ඇය අප්‍රතිහත ධෛර්යයේ සංකේතයක්

දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන...

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...