මා මෙහි කියන අපේ පරම්පරාව යනු කුමක්ද කියා මුලින්ම කිව යුතුය. මා ඉන් අදහස් කරන්නේ අසූව දසකයේ අග ඉපිද අලුත් සහස්‍රයක පළමු දසකයේ කල වයසට එළඹ දැනට තරුණ වියේ අග සිටිනා පරම්පරාවයි. මේ පරම්පරාවේ හැසිරීම අධ්‍යයනය කිරීම සමකාලීන ලංකාව වටහාගැනීමෙහිලා ඉතා වැදගත් සංසිද්ධියක් වුවත් මේ කෙටි රචනය ලියැවෙන්නේ එවැනි පුළුල් අරමුණකින් නොව අපේ පරම්පරාවෙන් බිහි වූ කවියන් ඇසුරේ මගේ නිරීක්ෂණ කිහිපයක් සටහන් කිරීමටය. මෙය පර්යේෂණ පත්‍රිකාවක් නොව හුදු ෆේස්බුක් රචනයක් නිසා මෙහි මාතෘකාවේ එන “රූපක රාජධානිය” නමැති යෙදුමෙහි අශාස්ත්‍රීය බව නොසලකා හරින්න. මා ඉන් අදහස් කරන්නේ සමස්ත කවිය රූපකයක් සේ සංරචනය කරන කාව්‍ය ව්‍යපාරයයි.
රූපකය යනු මූලික වශයෙන් දෙයක් ඇසුරින් වෙනත් දෙයක් කීම වැනි අදහසකි. ඉතාම පුළුල් අර්ථයෙන් ගත් විට සමස්ත කාව්‍ය ව්‍යාපාරයම – ඉතිහාසය පුරාම මෙතෙක් බිහි වී ඇති කොයි කවියත් රූපකමය භාවිතයක් බව කිව හැකිය. එහෙත් මෙහි එන්නේ එවැනි පුළුල් අදහසක් නොවේ. ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ වැනි කවීන් පෙරටු කොටගත් විවිධ සොබාදම් සංසිද්ධි හෝ මනුෂ්‍ය අත්දැකීම් ඇසුරින් මනුෂ්‍ය සත්තාව හෝ පැවැත්ම පිළිබඳ ගැඹුරු දාර්ශනික අර්ථ මතු කරන – විදසුන් වඩන කාව්‍යමය සංරචනා මින් ඉඟි කෙරෙයි. මෙය එක්තරා කාව්‍යමය ගුරුකුලයක් ලෙස වර්ධනය වී ඇති කාව්‍ය දහරාවක් දක්වා පුළුල් වූ විෂයක් බව පෙනේ. ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ, සුනන්ද කරුණාරත්න, ඉසුරු චාමර සෝමවීර, නිරාශ ගුණසේකර, මාලන් බණ්ඩාර කපුවත්ත, ප්‍රියංකර නිවුන්හැල්ල වැනි කවීන් ගණනාවක් මේ කාව්‍ය දහරාව නියෝජනය කරන බව කිව හැකිය. අවශ්‍ය නම් මේ නාමාවලිය තවත් දිගු කළ හැකිය. එහෙත් මා මේ රචනය ලියන්නේ ශාස්ත්‍රීය අධ්‍යයනයක් ලෙස නොව එසැණ රචනාවක් ලෙසය. එබැවින් මේ සටහනේ එන්නේ මූලික ඉගිකිරීම් කිහිපයක් පමණි. මේ කාව්‍ය ව්‍යාපාරය ගැන අපේ ප්‍රවීණ විචාරකයන් කිහිපදෙනෙක් ලියා ඇතත් වෙනම කාව්‍ය ගුරුකුලයක් සේ අධ්‍යයනය කළ හැකි තරම් ව්‍යාප්තව ගිය මේ කවි දහරාව ගැන ග්‍රන්ථ ප්‍රමාණයේ අධ්‍යයනයක් කළ හැකිය. ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ වැනි කවීන් ගැන නම් වෙන වෙනම කළ ප්‍රථම උපාධි පර්යේෂණ නිබන්ධන ආදිය මා දැක ඇත. ඒවායෙහි ප්‍රාමාණිකභාවය කෙසේවෙතත් මේ සමස්ත කාව්‍ය ව්‍යාපාරය පරීක්ෂා කෙරෙන අධ්‍යයනයක් විශ්වවිද්‍යාල මට්ටමින් හෝ ඉන් පරිබාහිරව සිදු කෙරී ඇත්දැයි මම නොදනිමි. ලක්ෂාන්ත අතුකෝරළ හෝ නඳුන් යසිත දසනායක වැනි කවීන් මා දකින්නේ මූලික වශයෙන් මේ කාව්‍ය ව්‍යාපාරයට වඩා තරමක් වෙනස් කවි දහරවල් වෙත ඇදී යන අය ලෙසය. ඉහත කී කවීන් මෙසේ එක “ගොඩකට” දමා කතා කිරීමෙන් ඒ ඒ කවීන්ට තමන්ටම වූ අනන්‍යතා නැති බවක් හෝ ඒ ඒ අය ස්වීය වූ කවි මංවල නොයතැයි නොඇඟවේ. මා මෙහි කියන්නේ ඒ කවීන්ගේ රචනා අපේ අධ්‍යයනයේ පහසුව තකා රූපකවාදී කවීන් ලෙස හැඳින්විය හැකි බවත් මනුෂ්‍ය ජීවිතය සහ පැවැත්ම පිළිබඳ නොයෙක් විදර්ශන වඩන මේ කවීන්ගේ රචනාවල පැනෙන ඉතා ප්‍රබල රූපකවාදී ගුණය නිසා ඒ ඒ කවීන් අතර යම් සංරචනාමය සාදෘශ්‍යතා පළ වන බවත්ය. රූපක රාජධානිය වැනි තාවකාලික සහ අශාස්ත්‍රීය යෙදුමක් මා මෙහි යෙදුවේ මෙහි එන ඌන-කියවීම මටම ඒත්තු යන්නටත් එක්කය.
සුනන්ද කරුණාරත්න, ඉසුරු චාමර සෝමවීර හෝ නිරාශ ගුණසේකර වැනි ප්‍රතිභාවක් සහ කැපවුණු කවීත්වයක් ප්‍රකට කරන අපේ පරම්පරාවේ කවියා ළහිරු කරුණාරත්න සේ මට පෙනේ. ඔහුගේ අවසාන කාව්‍ය කෘති දෙක වන ගොළු වෙණ තුරුලු කරගෙන සහ නොඉම් යන කෙටි කවි පොත් දෙක කාලයක් තිස්සේ වරින් වර කියවමින් සිටින විට මට මෙසේ සිතෙන්නට පටන්ගත්තේය. ඉන් අදහස් වන්නේ අපේ පරම්පරාවේ සිටින එකම ප්‍රතිභාන්විත කවියා ළහිරු කරුණාරත්න බව නොවේ. ඔහුගේ කවිය අර “කාව්‍යමය ගුරුකුලය” සමග දක්වන නෑකමත් එම කාව්‍ය විධිය අභ්‍යාස කරමින් ඉන් විඵුල කවියක් සම්ප්‍රදානය කරන්නට ඔහු දක්වන සමත්කමත් කියාපාන්නට මම ක්‍රමයක් සොයන අතරේ මේ සටහන ලියැවෙයි.
මෙම රචනයේ කේන්ද්‍රය සේ මා ලියන මේසය මත තබාගෙන සිටින “ගොළු වෙණ තුරුලු කරගෙන” පොතෙහි එන ඔ්නෑම කවියක් අහම්බෙන් මෙන් ගෙන කියවා බැලීමෙන් අපට කරුණාරත්නගේ කවියෙහි පැනෙන රූපකමය ගුණය අවබෝධ කරගන්නට පුළුවන. මේ කවිවල චිත්‍රණය කෙරෙන සංසිද්ධිය ඔස්සේ ගොඩනැගෙන රූපකය සහ තේමාත්මක විදර්ශනාව පිළිබඳ පැතිරුණු සංවාදයකට මේ ෆේස්බුක් සටහනේ ඉඩහසර මදිය. මට අවශ්‍ය වන්නේ කරුණාරත්නගේ කාව්‍යමය අභ්‍යාසය සහ ඔහුගේ කවියහි පැනෙන රූපකමය ගුණය ගැන කියන්නට පමණය.
බිය දැනෙයි මට
පරණ බෝතල් පත්තර
එක් කරන්නෙක් ඇවිත් මිදුලට
සොයයි විමසයි
ටින් බෙලෙක්ක
පරණ බෝතල
කිව ද නැති බව
එ’කිසිවක් මෙහි
පිළිගන්න හැඩ
නැත ඔහුගෙ වත
අවසර ද දෙනු පෙර
වට අවට නෙත්වලින් කැණ
අප නොදුටු අහුමුල්ලකින්
ගනියි එළියට
පරණ බෝතලයක්
මල යකඩ කැබැල්ලක්
සොයාගත්තෙකු ලෙසින්
මහා විස්මිත දෙයක්
තව කවර දේ
මා නිවස අවටින්
ඔහු සොයාගනු ඇති දැයි
දැන් දැන්
බිය දැනෙයි මට
(පි.51)
සමකාලීන සමාජය වෙත විරෝධාකල්පික ලෙස මැදිහත් වන විටෙක පවා කරුණාරත්නගේ කවියෙහි පැනෙන රූපකයමය ගුණය දැකගනු පිණිස මේ උදාහරණයත් කියවන්න.
දුර සිට
ගලක් ගානේ
උඩට ගෙනගොස්
කන්ද මුදුනත
තනති බැති දන
සමිඳු පිළිමය
නුවර සිරසේ
වලා පතරේ
හිමිගෙ පිළිරුව
දිලෙන දසුන ය
එ’හැම සිහිනය
දැනටමත් දුර
අහස පරයා
උස් වු මිනිසෙකු
අහස වෙත තව
ළං කරන්නට
වෙහෙස වෙන ඒ
කුරු කුහුඹු කැල
දකිමි දුර සිට
(පි.35)
මේ කවිය කියවද්දී මට මේ දහරාවේම කවියෙකැයි මා මුල කියූ දැනට අප අතර සිටින විශිෂ්ට කවියෙකු සේ මා සලකන ඉසුරු සෝමවීරගේ “අප දෙදෙන මැද මහ මුහුද” පොතේ එන පහත කවිය නිතැතින්ම මතකට නැගේ.
අතුරුදන් කළ මිනිසෙක්
සියවසෙන් සියවස
මල් ලියකමින් බර කළ
වදන් කැටයම් තුළ
නිදන් කළ, වදන් නැති කවියකි
බර පොත් පිටු අතර
කුස තණ අට මිටක් මත
හිඳ එකලාව අරණක
මදහස නැගූ මිනිසෙකි
පියුම්, විදුරසුන් පිට හිඳුවා
බඹයෙන් බඹය උස් කර
ලැකර් ගා නෙත් අඳ කළ
සොඳ සුවඳ මල් වැසි මැද
ගිගුම් දෙන වන්දනා නද තුළ
දැවෙද්දිත් අපමණ පහන් තිර
නොපෙනී අතුරුදන් කළ
මිනිසෙකි සරල, සුන්දර
(සෝමවීර, පි.34)
මේ කවි දෙකම එකම කවි දහරක ගලා යන බව දැකිය හැකි වුව සෝමවීරගේ කවියෙහි තේමාත්මක ගම්භිරතාවෙහි ප්‍රබලත්වය ඉස්මතු වී පෙනෙයි. ඉතා ප්‍රබල ලෙස රූපකමය පුළිඟුවක් දල්වමින් – තේමාත්මක ගම්භිරතාවක් ඉඟි කරමින් ඇරඹෙන කරුණාරත්නගේ ඇතැම් කවි කිසියම් ආවෘත – වැසුණු අවසානයක් ගෙන එමින් රූපක දැල්ල නිවී ගියා සේ අවසන් වන අයුරු මට දැනෙන්නට විය. මේවා සනිදර්ශනාත්මකව සාකච්ඡා කරන්නට මෙහි ඉඩ නැතත් -මාරුව, කුරුලු සෙල්ලම, මඟ, මල් සමය, මල් හැඟුම පමණක්- වැනි කවි කියවා බලන්නැයි මම ඔබට යෝජනා කරමි. අප දැනටමත් දන්නා අර්ථමය කලාපයක අර කාව්‍යමය රූපකය එලා වැටක් ගැසුවාක් හෝ අර්ථයක් මැදි කොට කූඩුවක් තැනුවක් වැනි යමකි මට මේවායින් හැඟෙඟන්නේ. එහෙත් ප්‍රබල රූපක කවිතාවක් ඇති කවි කිහිපයක්ම මේ කෘතියෙහි එයි. ගොළු බෙලි වත නමින් එන කවිය එවැනි ප්‍රබල කවියකැයි මට සිතේ. මේ මා ප්‍රිය කරන එවැනි එළිමහන් රූපක ගිනිමැලයක් වැනි තවත් කවියකි.
බිම වැටුණු කුරුලු කූඩුව
බොහෝ කලකට පෙර
අත්හළ
කුරුලු කූඩුවකි එය
විසි කරන්නට
හිත නොදෙයි එද
කසල හා විසුමට
ඇසෙයි
පැටි කුරුලු
කිචිබිචිය
දැනෙයි
මවු කිරිල්ලගෙ
උණුසුම
සීරුවට
ගෙන තබමි
උස් අතු පතර
(පි.22)
අපේ මේ සුවපහසු – “නව ලිබරල්” හෝ නිදහස් යැයි කියන දෛනික ව්‍යුහගත ලෝකයේ මේ අපව ව්‍යුහනය කර ඇති හෝ ව්‍යුහනයන වී ඇති නිසාම අපට අහිමිව යන යමක් පිළිබඳ කාංසාවක් කරුණාරත්නගේ බොහෝ කවිවලට හසුවෙයි. ලැබීමම – හිමිවීමම නොලැබීම – අහිමි වීම බව, අපේ සාරය මේ සුවපහසු දෛනික ව්‍යුහනයෙන් මගහැරෙන බව රූපකමය ලෙස ඉඟි කෙරෙන කවි කිහිපයක්ම “ගොළු වෙණ තුරුලු කරගෙන” කෘතියෙහි හමුවෙයි. කරුණාරත්නගේ කාව්‍ය ව්‍යාපාරයෙන් මේ අහිමි – ගිලිහුණු – අතහැරුණු සාරය හඹා යන ගුණයෙහි සුවඳ නිතර හමයි. මේ කවිවල පැනෙන සාංකාමය හෝ කාංසාමය ගතියක් වේ නම් ඒ ඒ නිසා බව මට හිතෙයි. පොතේ නමත් පොතේ ආරම්භයේම හමු වෙන -අලුත් ගමනක්- යන කවියත් -මගෙ කුටිය, සුවඳ, ඉඩ, දළඹු මළගම, පිළිසකර කළ පසු, මන්දිරය, මල් හැඟුම පමණක්, පිපිරුම- වැනි කවිවලින් වෙන-වෙනස් ලෙස ඒ් සාංකාවේ කටහඬ අපට ඇසේ. එතරම් කාව්‍යමය විස්මයක් නොගෙනෙන තරමක් කෙටි කවියක් වන පහත කවියෙහි පවා ඇසෙන්නේ ඒ කා-සාංකාවේ හඬ නොවෙද?
ඒ යතුර
මේ ඒ යතුර ද
දුර දිනක
මා අතින් නැති වුණ
බලා වටපිට
අහුලාගෙන
රැගෙන යමි
නිවස වෙත
බිරිඳ එහෙ මෙහෙ
වන තුරා හිඳ
හරිමි හෙමිහිට
වැසුණු කුටියක
අගුළු ලූ දොර
(පි. 36)
2012දී -කටු තුඩට පිනි පහස- නමින් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහය පළ කළ ළහිරු කරුණාරත්න මේ වන විට -වැහි බිංදු කටහඬ-, -ගොළු වෙණ තුරුලු කරගෙන- සහ -නොඉම්- යන කාව්‍ය සංග්‍රහ පළ කොට තිබේ. මහාචාර්ය ලියනගේ අමරකීර්ති පසුගිය දිනෙක ලක්ෂාන්ත අතුකෝරළගේ අලුත් කාව්‍ය පරිවර්තන කෘතියක් ගැන ලියමින් අතුකෝරළ පූර්ණ ප්‍රවීණත්වය අත්පත් කරගත් සාහිත්‍යකරුවෙකු බව ප්‍රකාශ කළේය. මා සිතන්නේ අපේ පරම්පරාවේ කැපවුණු කවියෙකු වන ළහිරු කරුණාරත්න අඛණ්ඩව කවියෙහි ඉඳීමෙන් එවැනි ප්‍රවීණ්ත්වයක් වෙත යා හැකි ලේඛකයෙකු බවය. කරුණාරත්න ප්‍රතිභාව සහිත කවියෙකු බව ඔහුගේ මුල් කෘතියෙන්ම අපි දැක්කෙමු. දැනට කවි පොත් හතරක් පළ කොට ඇති ඔහු කෙමෙන් වැඩෙන කවියෙකු බව – ප්‍රතිභාව පූර්ණය කරමින් සිටින කවියෙකු බව ඔහුගේ මේ අලුත්ම පොත් කියවන විට මට හැඟේ. ඒ සඳහා හුදු හුදෙකලා කවියෙකු වීම ප්‍රමාණවත් නැත. විදෙස් කවි පරිශීලනය, විවිධ කලා ශානර තුලනාතත්මකව හැදෑරීම – අන්තර් කලා මෙන්ම අන්තර් ක්ෂේත්‍ර අතර කියවීම සහ හැදෑරීම ආදිය අවශ්‍යයෙන්ම ඔහුට වැදගත් වෙයි. කරුණාරත්න දැනටමත් සාහිත්‍ය සහ කලා විචාරකයෙකු සේ නැගී එනු පෙනේ. එය ඔහුගේ කාව්‍ය ව්‍යාපාරය වෙනුවෙන් සාධනීය බලපෑමක් බව මම සිතමි.
අපේ පරම්පරාවෙහිලා සැලකිය හැකි රුවන් බන්දුජීව සහ දමිත් දහනායක යනු එකිනෙකට වෙනස් කාව්‍යමය විලාස පළ කරමින් සිංහල කවියට නැවුම් මිහිරක් රැගෙන ආ කවීන් දෙදෙනෙකි. ඒ දෙදෙනා තවමත් කවි ලියනවාදැයි මම නොදනිමි. ඔවුන් ඔවුන්ටම අනන්‍ය වූ කවිමංවල යමින් ඒ ඒ කාව්‍ය අග්‍රඵල සමග මතු දිනෙක අපව පුදුම කරවමින් යළි කරළියට එන්නට ඉඩ ඇත. ඔවුන් එවැනි විස්මිත කවීන් බව මම දනිමි. -තෙමි තෙමිම මම- සහ -මී ළග මී විත- යනු සුවිශිෂ්ට කවි ලකුණු රැගත් කව්මිණි බඳු පොත් වුවත් ඒ දෙදෙනාටම ඒ ඒ කවිමංවල තවත් බොහෝ දුර යන්නට ඇති බවත් ඒ විභවය ඔවුන් සතු බවත් මට සිතේ. මේ දෙදෙනාම මගේ මිතුරන්ද නිසා දැන් ඔවුන් කවි නොලිවීම ගැන අප අතර ඉඳහිට නොහොඳ නෝක්කාඩුකම් ඇති වන අවස්ථාද තිබේ. අපට ඉහළ පරම්පරාවල කවීන් වන ටිම්රාන් කීර්ති සහ රෝහණ පොතුලියද්දත් ස්වීය අනන්‍යතා පළ කරමින් තම තම කවි අඩවිවල උස්පහත් වෙමින් ගලා යති. මේ රචනයේ නම් නොඑන අපට ඉහළ පරම්පරාවල මෙන්ම අපිට පසු කවියට පැමිණි පරම්පරාවේ කවිය බරසාරෙට ගත් කවියෝ කිහිපදෙනෙක්ම සිටිති.
-පබාවතීට කවක්- නම් පොතක් ලියමින් කවියට පැමිණි ඩොමිනික් චන්ද්‍රසාලි -ගාලු පාර දිග හැලුණු සිනා සළු- ඔස්සේ -කාලමය සිතුවිල්ලක් වූ මිනිත්තුව- වෙත එන විට අයස්කාන්ත-සිත්තම්කාර අමුතුම කවියක් අපට තිළිණ කළේය. ඔහු දහනායක සහ බන්දුජීව මෙන්ම අපේ පරම්පරාවේ සිටින අද්විතීය කවි ශක්තියක් ඇති අමුතු කවි සිරුරක්ද හිමි සාහිත්‍ය මිතුරෙකි. ඔහු ස්පාඥ්ඥයේ සිට යළි මෙහි එන විට කුමනාකාරයේ කවියක් අප වෙත ගෙන ඒදැයි මම නොදනිමි. -කවුළු ඇස පාමුළ- ලියා ජනප්‍රිය කවියෙකු බවට රූපාන්තරණය වූ ළහිරු නමම ඇති කිතලගම, කරුණාරත්න මෙන්ම සමකාලීන කාව්‍ය ක්ෂේත්‍රයේ උද්යෝගයෙන් ගැවසෙන – අලුත්ම කවීන් සමග වැඩකරන සක්‍රීය සාහිත්‍යකරුවෙකි. මස්ඉඹුලියානු “ළතෙත දෝරෙ යන” කවියට තරමක් සමීප හෘදයානන්දකර සැහැල්ලු කවි මගක යන කිතලගම ඒ කවි විධිය සමග වැඩෙන ලකුණු තවම මට නම් නොපෙනෙන බව ලියා තැබිය යුතුය. ඔහු ඉඳහිට ෆේස්බුක්හි පළ කරන කවිවලින්- කවුළු ඇස පාමුළ- කවි දීප්තිය වඩවන බවක් නොපෙන්වයි. ඔහු මගේ සමීප මිතුරෙක් වුවත් මිතුරුකම සහ සාහිත්‍ය කෘතියක් අතර ‘සාහිත්යික මිත්‍රත්වයක්’ නැති බව අපි දෙදෙනාම දනිමු. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල -හිරුත් හිම පියල්ලක- ලියමින් පාඨක ලෝකයේ නොනැසෙන කවි නමක් දිනාගත්තේය. ඉන්පසු ඔහු ලියූ -ඇහිපියන් ඇහැරිලා- කවි පොතද රාජ්‍ය සම්මානය පවා ලද නමුත් ඔහු මේ රචනයේ එන ඉහත කවීන් තරම් තම කවි මග එළිපෙහෙළි කරමින් ප්‍රතිභාව පූරණය කරන බවක් පෙන්වූයේ නැත. ඔහු -සන්ථව- තනා සිංහල කවිය කළඑළි කරන්නට විකල්ප පරිශ්‍රමයක් දරණ අද්විතීය මෙහෙවරක නියැලෙන කැපවුණු සාහිත්‍ය මිතුරෙකු වුවත් සිය අනන්‍යතාව රැගත් කාව්‍ය ව්‍යාපාරය වර්ධනය කරන බවක් පෙනෙන්නට නැත. කෙසේවෙතත් මස්ඉඹුල අපේ පරම්පරාවේ කවියෙකු නොවේ. මස්ඉඹුල වැනි කවියෙකු දැල්වූ භාවගෝචර කවි දහරට සමීප කවිකම් පාන කිතලගම වැන්නෙකුට ඒ කවි මගෙහි සතතාභ්‍යාසයෙන් ඇවිද යන්නට තව බොහෝ දුර තිබේ. එක පරම්පරාවක කවීන් පවා මෙසේ බහුවිධ කවිකම්පෑම සිංහල කවිය වර්ණවත් කරන්නට තුඩුදෙන බව අමුතු වාක්‍යයක් නොවේ.
ළහිරු කරුණාරත්න යනු අපේ පරම්පරාවේ සුනන්ද කරුණාරත්න, ඉසුරු චාමර සෝමවීර හෝ නිරාශ ගුණසේකර වැනි බව මා කීවේ ඔහුගේ කවි මග අර කවීන් මෙන්ම ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ වැනි අග්‍ර කවීන්ගේ රූපකමය කවි දහරට ඇති සමීපතාව සලකාගෙනය. ඉන් අදහස් වන්නේ අපේ ‘කරූ’අර කවීන් තිදෙනා ගේ අඩිපාරේ යන බව කියන්නට හෝ මේ බිහිවෙමින් ඉන්නෙ තවත් රණවීර හෝ නන්දන කෙනෙක් වැනි අති සරල කියුමක් පබදින්නට නොවේ. කවිය ගැන එවැනි සරලාකෘතික නිගමන දෙන්නට යෑම කවිය වෙනුවෙන්ම කරන නපුරකි. එහෙත් මූලික වශයෙන් සමස්ත ලෝකයේ පැවැත්ම, මනුෂ්‍ය ජීවිතය – ජීවන නිමේෂ වටහාගැනීම පිණිස සෞන්දර්යයෙන් අනූන රූපකමය විදසුන් වඩනා අර්ථකාරකමය කවියක් අනුයන සම්ප්‍රදායක අපේ පරම්පරාවේ කවියා කරුණාත්න ලෙස හැඳින්වීමෙහි වරදක් මට නොපෙනේ. ඔහු කවියට පිවිස ඇත්තේ අප දැනටමත් හඳුනාගත් කාව්‍යාකලාපයක සිට බව අප අමතක නොකළ යුතුය. මෙම කාව්‍ය ව්‍යාපාරය නව සිංහල කාව්‍ය ගුරුකුලයක් දක්වා වර්ධනය වූ සංසිද්ධියක්දැයි අධ්‍යයනය කළ හැකි බව අපි මුලදීමු ලීවෙමු. මේ එපමණටම ව්‍යාප්ත වූ කවි බිමකි. ඒ නිසාම මෙවැනි කවියක කාව්‍යමය අපූර්වත්වය ඇති කිරීම කවියාට දැනටමත් විශාල අභියෝගයකි. සාපේක්ෂව මෙවැනි වර්ධිත කවි විධියක් සමග වැඩකිරීම යනු දුෂ්කර අභ්‍යාසයකි. මේ කවි දහරට පැන පාවෙන කඩදහි බෝට්ටු මෙන් පාව ගොස් තැන තැන නැංගුරම්ලන සැහැල්ලු කවියෝ අප අතර සිටිති. ඒ අය අතර ළහිරු කරුණාරත්න සිය කවිය මගින් ඒ කවි විධියත් අලුත් කළ හැකි ප්‍රතිභාව පෙන්වමින් කෙමෙන් කෙමෙන් මේ කවි ගඟේ උඩට පිහිනා එන බව පෙනේ. ඒ මිහිරි කවි මග දිගේ අප වෙත එන කරූට සුබ පතන්නට මම මේ ටික ලීවෙමි. මගේ රචනයේ කිවිඳියන්ගේ නම් නැති තරම්ය. අපේ පරම්පරාවේ කිවිඳියක ලෙස මට එක්වරම මතකයට එන්නේ ධනුෂ්කා නිෂාදි කුලරත්න වැනි නමක් පමණි. මා සමග පවා එකට කවි ලියූ හසිනි ලංකා වැනි අය කොහ ගියාදැයි මම නොදනිමි. මේ රචනයේ මේ -නම්- හිඟ බවට මෑත කාලයේ මගේ පොත් මිලදී ගැනීම අතිශය පටු අගයක් ගැනීමත් අවශ්‍යයෙන්ම හේතු වන්නට ඇති බව මම පිළිගනිමි. කල්පනා ඇම්බ්‍රෝස් වැනි කිවිඳියක් මා සලකන්නේ සුහර්ෂණී ධර්මරත්න හෝ අනුරාධා නිල්මිණි වැනි අයෙක් මෙන්ම අපට පෙර පරම්පරාවක කිවිඳියක ලෙසය. එවැනි නම් ඇති තවත් ප්‍රතිභාසම්පන්න කිවිඳියන් කිහිපදෙනෙකුම අප අතර සිටිති. අර රූපකමය සෞන්දර්යය අනුයන කාව්‍යමය ගුරුකුලයට අයත් වන්නේ පිරිමි විතරද වැනි ප්‍රශ්නයකුත් අවශ්‍ය නම් ඒ කවි දහර ගැන අධ්‍යයනයක් කරන පර්යේෂකයෙකුට විමසා බැලිය හැකිය.
තමා අනුයන සාහිත්‍ය මග ගැන අවබෝධය ඔ්නෑම නිර්මාණකරුවෙකුට ඉතාම වැදගත් දෙයකි. තමාගේ අනන්‍යතාව සහ ඒ සාහිත්‍ය විධිය වැඩෙන්නේ අලුත් වන්නේ ඒ අවබෝධය සමග වැඩ කරන නිර්මාණකරුවෙකු අතින්මය. ළහිරු කරුණාරත්න එවැනි අවබෝධයක් ඇති කවියෙකු බව ‘ගොළු වෙණ තුරුලු කරගෙන’ කවි කියවන විට මට නම් පෙනේ.
ගොළුබෙලි වත
දනිමි
ඔබ
ගොළු වූ කාරණ
ආ මඟ දිගට
නිම කළ
රිදී සිත්තම මත
සප්ත වර්ණය
දිසෙන අසිරිය
ඒ ඔබ
නොකියූ දහසක් දේ ද?
මෙ’යැයි
පැමිණි මඟ
මෙ’විලස් යැයි
පැමිණි හැඩ
පසු හැරී
පෙන්වනු සමත්
වෙත් ද අනෙකෙක්?
එ’උස් සොම්නස්
තුරු පල නෙළනුව
වදන් රිට දිගු නැති කල
දනිමි දැන්
ඔබ
ගොළු වූ කාරණ
සුදර්ශන සමරවීර
පසු සටහනක් – මගෙන් මගහැරුණු නම් ඇති. කිවිඳියෝ වගේම කවීන් අතරත්. ඒත් මූලික වශයෙන් සාහිත්‍යයේ ස්ත්‍රී සහභාගීත්වය පිළිබඳ සංස්කෘතික ගැටලුව මෙතනත් පෙනෙනව කියලයි මම හිතන්නෙ. ආ මේක ලියමින් ඉද්දි මට තනූජා ලුම්බිණි මතක් වෙනවා. ඇය අපට සිටින හොඳ කිවිඳියක්. හැබැයි මම මෙහි කියන අපේ පරම්පරාවට පෙර සුහර්ෂණී, කල්පනා, අනුරාධා, සජීවනී, විපුලි, පද්මිණී ආදී කිවිඳියන් කිහිපදෙනෙක්ම ඉන්නවා. ඒ අය අපිට සිටින කැපවුණු කිවිඳියන්. ඒ අය ගැන මේකෙ නොඑන්නෙ ඒ අය අපට වඩා උඩින් ඉන්නව කියල මම හිතන නිසා.