තවත් පොලිස් ඝාතනයක් : මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය යටගැසීමට හැදූ ප්‍රීති කුමාරගේ මරණය අපරාධයක් බව අධිකරණයේදී හෙළි වෙයි !

Share post:

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කෙරුණු බවට චෝදනා එල්ල වී ඇති ඒ.ජී. සමන්ත ප්‍රීති කුමාරගේ සිදුවීම අපරාධයක් බව ඊයේ (06) තහවුරු කෙරිණි.

මෙම මරණය පිළිබඳ මරණ පරීක්ෂණයේ තීන්දුව ලබාදුන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මීට සම්බන්ධ සියල්ලන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. මළ සිරුරේ තුවාල 49ක් තිබූ බවත්, මොට ආයුධයකින් මියගිය පුද්ගලයාට පහර දී ඇති බවත් අධිකරණ තීන්දුවේ සඳහන් ය. එසේ ම මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ අත්අඩංගුවේ සිටී කාලය තුලදී බව ද අධිකරණය මෙහිදී තහවුරු කර ඇත.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා, නීතිඥ ප්‍රබෝධ රත්නායක ඇතුළු පිරිසක් මෙම අපරාධයේ වින්දිත පාර්ශ්වය වෙනුවෙන් මැදිහත් වෙති.

මේ අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු මියගිය පුද්ගලයා සතුව තිබූ රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් සහ අත් පළඳනාවක් අස්ථානගතවී ඇති බවට ද අධිකරණයට කරුණු ඉදිරිපත් වී තිබේ.

යුක්තිය වෙනුවෙන් මැදිහත්වීම

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කෙරුණු බවට චෝදනා එල්ල වී ඇති ඒ.ජී. සමන්ත ප්‍රීති කුමාරගේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට මීට පෙර මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඒ, වින්දිත පර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජිත ලක්මාල් සහ නීතිඥ ප්‍රබෝධ රත්නායකගේ ඉල්ලීමක් සලකාබැලීමෙන් පසුව ය. මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ ව අධිකරණයත් නොමග යැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන්නේ යැයි සැක මතු වන බවයි. අත්අඩංගුවට ගෙන මාංචු දමා සිටි සැකකරු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සමග පොරබදා පළායෑමට උත්සාහ දැරූ බවට පොලිසිය මගින් වාර්තා කර ඇති තොරතුරුත්, අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව මෙය පහරදීමෙන් සිදු වූ මරණයක් බව සඳහන් කර තිබීමත් යන කරුණු සැලකීමේදී ඒවායේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටළුවක් මතු වන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළ බව වින්දිත පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටින නීතිඥ ප්‍රබෝධ රත්නායක thetime.lk වෙත මීට පෙර සඳහන් කළේය.

නීතිඥ සේනක පෙරේරා අද (07) thetime.lk වෙත අදහස් දක්වමින් පැවසුවේ පොලිසිය මගින් මත්ද්‍රව්‍ය කතාවක් දමා යටගැසීමට උත්සාහ කළ තවත් අපරාධයක් අනාවරණය කරගැනීමට හැකි වීම වැදගත් බවයි. කෙසේ වෙතත් අධිකරණයේ නියෝගය මත අදාළ පුද්ගලයා ඝාතනයට සම්බන්ධ පිරිස් කඩිනමින් අත්අඩංගුවට ගන්නේ දැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව දැඩි අවධානයෙන් සිටින බව ද නීතිඥවරයා සඳහන් කළේය.

ප්‍රකට ව්‍යාපාරික සහ ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ කාන්තවක වූ ආර්. රාජකුමාරිට වැලිකඩ පොලිසිය තුළ දී බරපතළ ලෙස පහරදීමත්, ඉන්පසු ඇය මියයෑමත් සම්බන්ධයෙන් වන සිදුවීම යටගැසීම වැලැක්වීමට කටයුතු කරන්නේ ද මෙම කමිටුවයි.

එසේ ම මහර බන්ධනාගාරය තුළ සිදු කළ සමූහ ඝාතනය අපරාධයක් බව අධිකරණය ඉදිරියේ තහවුරු කරගැනීමේ සහ ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝගය ලබාගැනීමේ ක්‍රියාවලියේදී ද මෙම කමිටුව තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන ලදි.

මාධ්‍යයේ වගකීම

එසේ ම මාධ්‍ය ආයතන 02ක් මගින් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින්වීමත්, ඔහුගේ පවුලේ සාමාජිකයන් අගතියට පත්කිරීමත් සම්බන්ධයෙන් ද නීතිඥ ප්‍රබෝධ රත්නායක සහ නීතිඥ රජිත ලක්මාල් විසින් අධිකරණයේ අවධානය යොමුකරන ලදි. එහිදී මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මාධ්‍ය මගින් එක් පාර්ශ්වයක තොරතුරු මත පමණක් මෙම සිදුවීම වාර්තා කර ඇතැයි පෙනී යන බවත්, එම කරුණු පිළිබඳ මාධ්‍ය විසින් මීට වඩා සැලකිල්ලට ගත යුතු බවත් ය.

මේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඝාතනයට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකු ලෙස දෙදරු පියෙකි. 41 හැවිරිදි ව සිටි ඔහු හික්කඩුව, තෙල්වත්තේ පදිංචිකරුවෙකි.

අධිකරණ වෛද්‍ය වාර්තාව

මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේදී පසුගිය ජනවාරි 12දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඝාතනයට ලක්වූ සමන්ත ප්‍රීති කුමාරගේ බිරිඳ වන ශිරානි දිල්රුක්ෂි පැවසුවේ මෙසේ ය.

‘අධිකරණ වෛද්‍යතුමා කියනවා මේක පහර දීලා කියලා. මටත් හිතාගන්න බෑ. මොට ආයුධවලින් හිසට පහර දීලා. කකුල්වලට පහර දීලා. අතපයවලට පහර දීලා. මේවගෙන් සිදු වූ ඝාතනයක් කියලා මරණ පරීක්ෂණ වාර්තාවෙ තියෙන්නෙ. ඒකෙන් ම ඔප්පු වෙනවා මේක පහරදීලා ඝාතනය කිරීමක් කියලා.’

පොලිස් මාධ්‍ය නිවේදනය

මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් ජනවාරි 11දා මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සමග 10දා පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු, ප්‍රශ්න කිරීම අතර ඇති වූ සිදුවීමකින් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු, මිය ගොස් ඇති බවයි.

එහි මෙසේ ද සඳහන් ය.

‘මෙම හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම අතරතුර සැකකරු විසින් නිලධාරීන්ට විරෝධය පා කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් එය පාලනය කිරීමට යෑමේදී ඇති වූ සිද්ධියක් හේතුවෙන්…’

මාධ්‍ය කිව්වෙ කුමක්ද?

පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රධාන මාධ්‍ය මේ සිද්ධිය පිළිබඳව වාර්තා කර තිබුණේ මෙසේ ය.

‘සැකකරු කොළඹ 07 පිහිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බැරැක්ක වෙත රැගෙන ගොස් ප්‍රශ්න කිරීමේදී ඔහු එහි තිබූ වීදුරු බෝතලයක් කඩා පොලිස් කොස්තාපල්වරයෙකුට ඇන, අත්අඩංගුවෙන් මිදී පළායෑමට උත්සාහ කිරීමේදී සිදු කළ පහරදීමකින් සහ පොරබැදීමකින් පසු ඔහු රෝගාතුර වී, සිහිසුන් වී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.’

මහේස්ත්‍රාත් වගකීම

පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම්වලදී අදාළ මරණ පරීක්ෂණය සිදු කරන මහේස්ත්‍රාත්වරයාට බරපතළ වගකීමක් පැවරුණද, ඇතැම් අවස්ථාවලදී එය ඉටුනොවන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා අවධාරණය කළේය.

එම පරීක්ෂණයේදී පොලිසිය පවසන කරුණු ඒ ආකාරයෙන්ම සටහන් කරගැනීම වෙනුවට, සාක්ෂිකරුවන් කැඳවීම, කැඳවූ ආකාරය, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවූයේද යන්න වැනි ප්‍රශ්නවලට අනිවාර්යෙන්ම පිළිතුරු ලබාගත යුතු බව ද පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, ඇතැම් මහේස්ත්‍රාත්වරුන් එසේ කටයුතු කළ ද, බොහෝ අවස්ථාවලදී එය දැකිය නොහැකි වීම බරපතළ කරුණක් බව ද සඳහන් කරයි.

සාමාන්‍යයෙන් පොලිසිය මෙවැනි අවස්ථාවකදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවීමක් පවා සිදු නොකරන බවත්, සාක්ෂිකරුවන්ට බැණවැදීමේ අවස්ථා සුලබ බවත් අවධාරණය කරන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, එමගින් ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති අයිතිය ඇහිරීමක් සිදු වන බව පෙන්වා දෙයි.

වගකිවයුත්තා කවුද?

1994 කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් ආරක්ෂා වීමේ පනත හෙවත් වධහිංසා පනතට අනුව අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේම වගකීම අදාළ පොලිස් ස්ථානය බාර ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතුය. එහෙත් බොහෝ අවස්ථාවලදී අධිකරණය මෙවැනි ඝාතන සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ එම වගකීම ප්‍රමාණවත් පරිදි ප්‍රශ්න නොකරන අතර, පොලිසියේ සටහන් සියල්ල ඒ ආකාරයෙන්ම පිළිගනු ලබයි. විශේෂයෙන්ම මෙවැනි ඝාතනවලදී සුලබව ප්‍රකාශ කෙරෙන්නේ ආයුධ පෙන්වීමට ගෙන ගිය අවස්ථාවේ, සොයාගත් ආයුධයකින් පහරදීමට උත්සාහ දැරීමේදී, පොරබැදීමේදී ආත්මාරක්ෂාව පතා වෙඩි තැබීම, පළායෑමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීම වැනි කරුණු ය.

සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන සඳහා රැගෙන යන්නේ නම්, ඔහුට මාංචු දැමීම අනිවාර්ය බවත්, එසේ මාංචු දමා ඇති සැකකරුවන් ආයුධවලින් පහරදීමට උත්සාහ කිරීම, ගංගාවලට පැන පළායෑමට උත්සාහ කිරීම වැනි දේවල් සිදු කරන්නේ කෙසේද යන්න සාමාන්‍ය ජනතාවට පවා ඇති වන ප්‍රශ්නයක් වුවද, එය ඇතැම් මහේස්ත්‍රාත්වරුන් විසින් ප්‍රශ්න නොකිරීම බරපතළ ලෙස අවධානයට යොමු විය යුතු කරුණක් බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පෙන්වා දෙයි.

තීන්දුව ලැබෙන තුරු නිවැරදිකරුවෙක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නෙරංජි විජේවර්ධන පවසන්නේ පොලිස් අත්අඩංගුවට ගනු ලබන ඕනෑම පුද්ගලයෙකුට පහරදීමේ හෝ අයිතියක් පොලිස් නිලධාරීන්ට නොමැති බවයි. විධිමත් අධිකරණයකින් අදාළ සැකකරු වැරදිකරු බව තහවුරු කරන තුරු ඔහු නිවැරදිකරුවකු වන බවත්, පොලිසිය දක්ෂ විය යුත්තේ පහර දී තොරතුරු ලබාගැනීමට නොව විමර්ශන කර වැරදිකරුවන් හඳුනාගැනීමට බවත් ඇය අවධාරණය කරයි.

යම් අපරාධයක් සිදු වූ ස්ථානය සහ වින්දිතයන් මෙන් ම සැකකරුවන් ආරක්ෂා කිරීමට දියුණු රටවල පොලිස් නිලධාරීන් ප්‍රමුඛත්වය ලබා දෙන බව සඳහන් කරන කථිකාචාර්යවරිය, ශ්‍රී ලංකාව තුළ විමර්ශනවලට අදාළ බොහෝ කරුණු ක්ෂණිකව මාධ්‍ය ඔස්සේ පළවන බැවින් සාක්ෂි ලබාදීමට ජනතාව මැලිකමක් දැක්වීම බරපතළ කරුණක් බව ද පෙන්වා දෙයි.

අභියාචනා අවස්ථා කුමටද?

සැකකරුවන් ඝාතනය කිරීම කොතරම් බරපතළ අපරාධයක් ද යන්න පැහැදිලි වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ක්‍රියාවලිය තුළ මීට ලබාදී ඇති විශේෂ අවස්ථා පිළිබඳව අවධානය යොමුකිරීමේදී ය. ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්. ද සිල්වා පවසන්නේ යම් සිදුවීමකට අදාළව පුද්ගලයෙකු අත්ඩංගුවට ගෙන ඔහුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමෙන් පසුව වුවද, අදාළ පුද්ගලයාට අභියාචනා අයිතිවාසිකම් දෙකක් ඇති බවයි. පහළ අධිකරණයකින් ලබාදෙන තීන්දුවක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ අවස්ථාව සැකකරුවන්ට ලබා දී තිබේ. ඊට හේතුව යුක්තිය පසිඳලීම එතරම්ම විනිවිදභාවයකින් සිදුවිය යුතු වීම යැයි ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කරයි.

නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සම්බන්ධයෙන් ය. ඒ අනුව යම් සැකකරුවකු පිළිගත් අධිකරණයක් හමුවේ වරදකරුවකු බව තහවුරු වන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකේ. ව්‍යවස්ථා විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම අවධාරණය කරන්නේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු සම්බන්ධයෙන් නඩු විභාගයකින් තොරව තීන්දු ගන්නේ නම් එය අතිශය බරපතළ තත්ත්වයක් බවයි. සැකකරුවකු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමේ බලය ඇත්තේ විනිසුරුවරයකුට පමණක් බවත්, මෙවැනි අත්තනෝමතික ඝාතන මගින් පොලිසිය නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස උල්ලංඝනය කරන බවත් ආචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙසේ සැකකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විධිවිධාන රැසක් සලසා ඇති තත්ත්වයක් තුළ, මාධ්‍ය මගින් පොලිසිය පාර්ශ්වයෙන් පමණක් පවසන කරුණු මත සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු පළකිරීම බරපතළ තත්ත්වයකි. පිළිගත් අධිකරණයකින් වැරදිකරුවන් කිරීමට පෙර, පොලිසියේ තොරතුරු මත මාධ්‍ය මගින් ඔවුන් අපරාධකරුවන් ලෙස නම්කරනු ලබයි. අදාළ සැකකරුවන් අපරාධ කළ බවට සාක්ෂි දහස් ගණනක් තිබුණද, ඔවුන්ට අදාළ තීන්දුව ගැනීම අධිකරණයේ කටයුත්තක් පමණක්ම බවත්, ඒ තීන්දුව ලැබෙන තුරු ඔවුන් අපරාධකරුවන් බව ඒත්තු යන පරිදි මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කිරීම අනුමත කළ නොහැකි බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා පවසයි. කෙසේ වෙතත් මාධ්‍ය මගින් විධිමත් ලෙස විමර්ශනය කොට, සියලු පාර්ශ්වවල සාක්ෂි සහිතව තොරතුරු වාර්තා කිරීමත්, පොලිසිය පාර්ශ්වයෙන් පමණක් පවසන තොරතුරු මත කරුණු වාර්තා කිරීමත් දෙකක් බව තේරුම් ගත යුතු යැයි ද නීතිඥවරයා අවධාරණය කරයි.

අධිකරණමය නොවන ඝාතන

මෙම පොලිස් අත්අඩංගුවේ ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදන මගින් ද කරුණු සඳහන් කර තිබේ. තම බාරයේ සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීම පොලීසියට සහ රජයට පැවරුණු යුතුකමක් බව නීතිඥ සංගමය විසින් පොලිස්පතිවරයාට අවස්ථා ගණනාවකදී අවධාරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බොහෝ තීන්දුවලදී තමන් බාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය වෙත වගකීමක් පැවරී ඇති බව නැවත නැවතත් අවධාරණය කර ඇති බව ද එම නිවේදනවල සඳහන් වේ.

මෙවැනි මරණ, නීතියේ ආධිපත්‍යයට පටහැනි වන අතර, එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් වනු ඇතැයිද මිනීමැරීම ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින පුද්ගලයන්ට එරෙහිව නිසි අධිකරණයක් ඉදිරියේ නඩු පවරා වරදකරු කිරීමෙන් අනතුරුව පමණක් එකී අපරාධවලට දඬුවම් ලබාදිය යුතු බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ. මෙම මරණවලට අධිකරණමය නොවන (Extra-judicial killings) ඝාතනවල සියලු ලක්ෂණ ඇති බවත්, සිය බාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවත් එම සංගමය අවස්ථා ගණනාවකදී පොලිස්පතිවරයාට අවධාරණය කර තිබිණි.

Related articles

මතීෂ, චෙන්නායි සහ ශ්‍රී ලංකාව

IPL තරගාවලිය ක්‍රීඩා කරමින් සිටිනා මතීෂ පතිරණගේ හැසිරීම සහ ප්‍රකාශ සමීපයෙන් නිරීක්ෂණය කිරීම අශ්වාදජනකයි.මතීෂ ඊයේත් ඉන්දීය මාධ්‍යයට අපූරු...

පෞද්ගලික සමාගම සඟවන වීසා ගාස්තුවෙන් පමණක් රුපියල් කෝටි 1,080ක කප්පමක් !

කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති පරිදි කටුනායක ගුවන් තොටුපොළේ වීසා ලබාදීමේ ක්‍රියාවලිය දිගටම පෞද්ගලික සමාගමකට ලබාදෙන්නේ නම්, ආගමන-විගමන...

උමා ඔය : හදිසියෙන් චරිත සහතික දෙන මහත්වරුන් වෙතටයි !

දැන් නැවතත් අවධානය කරඳගොල්ල, මලිත්තගොල්ල දෙසට හැරී තිබේ. කරඳගොල්ල, මලිත්තගොල්ල කියූ ගමන් නොතේරුණාට උමා ඔයේ විදුලි බලාගාරයට ඉහළින්...

ගෝඨාභයගේ වැඩ තහනමට එරෙහි ශානිගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් !

2019 ජනාධිපතිවරණයෙන් පසු පොලිස් සේවය තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...