සියලු ආකාරයේ ජාතිවාදී සහ ආගම්වාදී අන්තවාද යළිත් රට අනතුරේ හෙළන්න උත්සාහ කරමින් ඉන්න බව පේනවා. කොයි ආණ්ඩුව ආවත් ඔවුන් මේවා තමන්ගෙ දේශපාලන අනාගතයට පාවිච්චි කරනවා. මෙහෙම ගියොත් රටේ අනාගතයට මොකක් වෙයිද?
දෙමළ ද සිංහල ද කියලා වෙනසක් නැතුව සාමාන්‍ය මිනිස්සුන්ගෙ ප්‍රශ්න බොහෝදුරට සමානයි. කුඹුරු කරන අම්පාර, කුරුණෑගල, පොළොන්නරුව වගේ පළාත්වල සිංහල මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයි, උතුරේ කුඹුරු කරන අයට තියෙන ප්‍රශ්නයි සමානයි. ඒ නිෂ්පාදනවලට හරි මිලක් නෑ. තමන්ගෙ දරුවන් යවාගන්න හොඳ පාසල් නෑ. තියෙන පාසල්වලට හොඳ ගුරුවරු නෑ. තරුණයන්ට රැකියා නෑ. ඔය වගේ ප්‍රශ්න ගණනාවකින් දෙපැත්තෙම මිනිස්සු පීඩිතයි.
ඒ වගේම යුද්ධය නිසා මුහුණ දෙන්න වුණු විශේෂ ප්‍රශ්න ගණනාවක් ඔය කියන උතුරේ දෙමළ මනුස්සය ම අත්විඳලා තියෙනවා. ඒ කියන්නෙ දකුණට වඩා වෙනස් අත්දැකීමකුත් තියෙනවා. ඒ කියන්නෙ ඇත්තටම මිනිස්සුන්ට තියෙන්නෙ ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සුන්ගේ ඇඟට දැනෙන ප්‍රශ්න වෙනස්. මේ සිංහල, දෙමළ කියන එක ඒ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි, උඩින් ඒගොල්ලො මත දාන එකක් කියන එකයි මගේ අදහස. මේ ප්‍රශ්නෙ හරියට තේරුම් ගන්න ඕනෙ. එහෙම නැතුව සරල තැන්වලින් අල්ලගෙන වැඩ කරන්න අමාරුයි.
හාමුදුරුවනේ, යුද්ධයට සෘජු ව සහ වක්‍ර ව මුහුණ දීපු මිනිස්සුන්ගේ ඔළු හදන්න අපේ රටේ පශ්චාත් යුද කාලය තුළ කිසිම විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නෑ. මේ කාරණයත් මිනිස්සු පොළඹවාගන්න ලේසිවෙන්න බලපානවා නේද?
අර මම මුලින් කියපු ප්‍රශ්න එහෙම ම තියෙන අතරෙ යුද්ධය වෙනුවෙන් මේ රටේ වෙනම මතවාද හැදුණනෙ. ඒක උතුරටත් පොදුයි. දකුණටත් පොදුයි. මේ මතවාද ඔස්සේ ගිහින් එක පැත්තක් අනෙක් පැත්ත පරාජයට පත්කරලා අවසාන වුණාට පස්සෙ මේ දෙපැත්තම නැවත ස්වභාවික තත්ත්වයට ගේන්න කිසිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නෑ.
දකුණ මේ ජයග්‍රහණය කියන එක දිගටම පවත්වාගෙන ගියා. යුද්ධයෙන් හානි වූ උතුරෙත්, දකුණෙත් මිනිස්සුන්ගෙ මනස හදන වැඩපිළිවෙළක් හැදුණෙ නෑ. ඒ ගැන ප්‍රමාණවත් සාකච්ඡාවක් තිබුණෙත් නෑ. දකුණ දිගටම ජයග්‍රාහී මානසිකත්වයේ හිටියා. ඒ මානසිකත්වය තියාගන්න විවිධ කණ්ඩායම් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. උතුරේ මනසත් වෙනස් කරන්න අවශ්‍ය දේවල් වෙනුවට ඒ විදියටම තියාගන්නයි බලධාරීන් කටයුතු කළේ.
මේක බරපතළ කාරණයක්. එක ම රටක් ඇතුළෙ ජන කොටස් ජීවත් වෙන්නෙ විවිධ යතාර්ථවල. ඒ නිසා වරින්-වර ඔය ජාතිවාදය කියලා මතුකරන රැලි අලුතින් පටන්ගන්න ඒවා නෙමෙයි. අර සකස් කරපු පාරෙ ම දිගුවක් ඒක.
අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ජාතිවාදය අදාළ නෑ. ඒත් ගැටළුව තියෙන්නෙ පාලකයන් ඒකට පෙළඹවීමේ ප්‍රමාණය. කොහොමද මේකෙන් ජනතාව බේරාගන්නෙ…?
මම දකින දේ තමයි, අහවල් දේශපාලනඥයො මේක කරයි, අරයා මේක කරන්න ඕනෙ වගේ දේවල් බලාගෙන හෝ ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එකේ තේරුමක් නෑ. ආගමික නායකයො වෙන්න පුළුවන්, සමාජ සංවිධාන වෙන්න පුළුවන් ඒ වගේ සක්‍රීය සමාජයක් හරහා තමයි මේක කරන්න පුළුවන්. ඒක තමයි අවශ්‍ය වෙන්නෙ.
අපේ වගේ සමාජයක ආගමික නායකත්වයට මෙතැනදි වැඩි බරක් දාන්න පුළුවන්…?
මගේ අදහසත් ඒක තමයි. ආගමික මූලයන්වලට ගියහම මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දීම ගැන අපිට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. බුදු දහමෙ මෛත්‍රිය ගැන කතා කරනවා. කිතුනු දහමෙ අසල්වැසියාට ප්‍රේම කිරීම ගැන කතා කරනවා. ඒ කියන්නෙ අනෙක් සියලුදෙනා ගැන කතා කරනවා. එතැනින් අපිට හොඳ ආරම්භයක් ගන්න පුළුවන්.
දේශපාලකයා කියන්නෙ බලය ඉලක්ක කරගෙන කටයුතු කරන පිරිසක්. මේ බෙදීම් රේඛා ඇති කරන්නෙත් ඒ වෙනුවෙන්. ඔවුන්ට ඡන්ද ගොඩක් ලැබෙන්නේ මේ ජාතිවාදී මතවාද පෝෂණය කිරීමෙන් සහ ඒවා එකිනෙකට ඇවිළවීමෙන්.
ඒත් අපි කොයි තරම් කතා කළත් ආගමික නායකයන් විසින් ම තමයි, මේ මතවාද දරුණු විදිහට පෝෂණය කරන්නෙ, ඒක හැම ආගමකට ම පොදුයි…?
ඒක තමයි තියෙන බරපතළ ම ගැටළුව. බුදු දහම ගන්න. බුදු දහමේ තියෙන ඉගැන්වීම් මේ ජාතිවාදී බලවේගවලට මුහුණට-මුහුණ මුණගැස්සුවොත් ඔවුන්ට උත්තර නැතිවෙනවා. ඔවුන්ට මුහුණදෙන්න බෑ. උපත මත කිසිම කෙනෙක් උසස් පහත් වෙන්නෙ නෑ, පැවිදි සංස්ථාව ගොඩනැංවීමේ මූලික කාරණය බෙදීම් නෑ කියන එක. ඒවා මේ ඇතැම් කණ්ඩායම් පෙන්වන ආගමික කාරණාවලට වඩා සම්පූර්ණ වෙනස්. හැබැයි මේක අභියෝගයට ලක්කරන්න පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේ කළ යුතු ම දේ. ආගම් නියෝජනය කරන තරුණ පිරිස් ඉන්නවා, සාධනීය අදහස්වල. මේකට අපි දිගටම උත්සාහ කරන්න ඕනෙ, එතකොට තමයි කොයි වෙලාවෙ හරි මේක දැල්වෙන්නෙ.
අනෙක් කාරණය තමයි, මේ කියන හාමුදුරුවරු කියන්නෙත් පහුගිය යුද්ධ කාලෙ පුරා ම ඒ අත්දැකීම් විඳපු අය. ඒගොල්ලොන්ගෙ දායකයන්ගෙ දරුවො මැරෙනවා. ඒ අයට පාංශුකූලෙ දෙන්න යනවා. බුද්ධ පූජා තියනවා. මායිම් ගම්මානවල හිටියා නම් ඒ හාමුදුරුවරු ඉබේ ම එක පාර්ශ්වයකට යනවා. ඒගොල්ලොත් එක ඉලක්කයක්. ඒ මානසිකත්වයෙන් හාමුදුරුවරු වගේ ම පූජකතුමන්ලත් මුදවාගන්න ඕනෙ.
සංහිඳියාව කියන වචනය මේ වැඩේදි පාවිච්චි කරන්න මම එච්චර කැමති නෑ. මම කැමති සුවපත් වීම කියන වචනය පාවිච්චි කරන්න. ඒක තමයි අපිට ආගන්තුක නැති වචනය. කෙනෙක් හාමුදුරු කෙනෙක්ට වැන්දහම කියන්නෙ සුවපත් වේවා කියලා. ඒ කියන්නෙ ශරීරය ලෙඩකින් සුවපත් වෙන්න කියලා නෙමෙයිනෙ. ඒ කතා කරන්නෙ මානසික සුවය ගැන. තමන් සුවපත් වෙලා අනුන්ව සුවපත් කිරීම ගැනයි බුදු දහමෙ කතා කරන්නෙ. කරණීයමෙත්ත සූත්‍රයෙ යන්තං සන්තං පදං කියන්නෙ ශාන්ත පදය කියන එක. මෙතැන තියෙන්නෙ සුවපත් වීමේ ප්‍රමාණය මත ප්‍රශ්නයක්. එක-එක්කෙනාගෙ තුවාලවල ප්‍රමාණය වෙනස්. ඒ වගේම සුවපත් වීමේ ප්‍රමාණයත් වෙනස්. මෙතැනදි තවත් කාරණයක් කියන්න ඕනෙ, වෛද්‍යවරයා කොයිතරම් බරපතළ ලෙඩකින් පීඩාවින්දත්, එයා දෙන බෙහෙතෙන් ලෙඩ්ඩු සනීප වෙනවා. ඒ වගේ තමයි ආගමික නායකයනුත්. ඒගොල්ලොත් තුවාල සහිත තමයි. ඒත් යමක් කරන්න පුළුවන් නම් වඩා වැදගත් වෙනවා.
හැබැයි හාමුදුරුවනේ, මේ තුවාලවල ප්‍රමාණය අඩු තරුණ පරම්පරාවක් අද ඉන්නවා…?
ඔව්. ඒ පිරිසට ප්‍රමාණාත්මක ව ගත්තහම තියෙන තුවාල පමාණය අඩුවෙන්න පුළුවන්. ඒ අයගෙන් වඩා වැඩි යමක් ගන්න පුළුවන්. ඔවුන් ව එතැන්ට යොමු කරන්න ඕනෙ. ඒ අවශ්‍යතාව හදන්න ඕනෙ.
ඔබ වහන්සේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුරයක් දරුවා. ඇත්තටම මෙතැනදි විද්වත් ප්‍රජාව ප්‍රමණවත් පරිදි මැදිහත් වෙන්නෙ නෑ. ඒ බහුතරයේ නිහඬතාවත් ඉතාම බරපතළ කාරණයක්, ඒ වගේම ඔවුන් ජාතිවාදය පෝෂණය කරනවා…?
ඇත්තටම අසූ තුනේ සිද්ධිය වෙනකොට විද්වත් ලෝකයට ඒ තරම් දැනුමක් නොතිබුණා කියලා හිතමු. ඒත් ඊට පස්සෙ අවස්ථා ගණනාවකදි ඒක ම වෙන්න යනකොට විද්වත් සමාජය පෙන්නුම් කරපු නිහඬ බව හරි ම භයානකයි. ඒවා මමත් හරි ම කම්පනයකට පත් වුණු අවස්ථා. සමාජයේ මත හැඩගස්වන්නන් නිහඬයි.
ඒ අය තමන්ට කරන්න පුළුවන් කාර්යභාරය නොකළා කියලා චෝදනා කරන්න පුළුවන්. ඒත් අපි තේරුම් ගන්න ඕනෙ, ඒගොල්ලොත් මුලින් කියපු රෝගීන් ගොඩේමයි ඉන්නෙ. ඒ අයටත් යුද්ධයෙන් ප්‍රමාණාත්මක ව වෙනස් තුවාල සිදුවෙලා තියෙනවා. ඒ අයත් ප්‍රතිචාර දක්වන්නෙ ඒ අනුව. ඒ නිසා ඒ අයට චෝදනා නොකර ඒ අයගෙ වගකීම පිළිබඳ හැඟීමක් ඇතිකරවන්න පුළුවන් නම් වඩා වැදගත්.
මෙතැනදි ඇත්තටම අපි කරන්න ඕනෙ කාටවත් චෝදනා කරන එක නෙමෙයි. අපේ සමාජය බරපතළ විදිහට මිලිටරීකරණය වෙච්ච සමාජයක්. අසූව දසකයේ ඉඳලා වෙච්ච දේවල් බලන්න. විකල්ප මත දරන එක භයානකයි කියන එක සමාජගත වුණා. විශ්වවිද්‍යාලවල ඉස්සර විවිධ මත දරන අය ගෙනැත් සංවාද කළා. දැන් ඒවා තිබුණත්ල ප්‍රමාණාත්මකව කරන බලපෑම මදිග ඒ සංවාදවලට හැමදාම සහභාගි වෙන්නෙ එක ම පිරිසක්ග සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරු කියනවා, හාමුදුරුවනේ අපිත් ඉන්නෙ ඔය මතයෙ, ඒත් කියන්න බයයි කියලා. ඒ වගේ මිනිස්සු භීතියට පත්කරලා තියෙන්නෙ. ඒ මානසිකත්වය තවම හරියට වෙනස් වෙලා නෑ. ඒකයි මම කියන්නෙ හැමකෙනාම තුවාල වෙලා ඉන්නෙ කියලා. ඒ තුවාල සුවපත් කිරීමයි කළ යුත්තේ. ඇත්තටම එතැනදි තරුණ පරම්පරාවට වැදගත් කාර්යභාරයක් තියෙනවා.
හාමුදුරුවනේ, අපි පාසැල පැත්තට හැරෙමු. ඔළුව පොහොසත් නැති ගුරුවරු පාසැලේදි බරපතළ විදිහට ශිෂ්‍යයාගෙ ඔළුවට ජාතිවාදී-ආගම්වාදී අදහස් දානවා. ඒ ශිෂ්‍යයාට යුද්ධයේ අත්දැකීම් නැති වුණත් එළියට එන්නෙ තරමක් අන්තවාදී අදහස් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්…?
අධ්‍යාපන ක්‍රමය වෙනස් කළත් ආපහු ඒ අධ්‍යාපනය දෙන්නෙ හිටපු ගුරුවරුමනෙ. ඒක නිසා මේක අමාරු කාර්යයක්. බෞද්ධ ආදර්ශයක් විදිහට ගත්තොත් ඒක මෙහෙම කියන්න පුළුවන්. බොර වෙච්ච, අවර්ණ වෙච්ච ජල බඳුනක් තියෙනවා. ඒකට නොනවත්වාම පිරිසිදු ජලය එකතු කරන්න. එතකොට ටිකින් ටික අපිරිසිදු ජලය ඉවත් වෙලා පිරිසිදු ජල බඳුනක් බවට පත්වෙනවා. ඒක ලේසි වැඩක් නෙමෙයි.
අත්නොහැර මේකට පිරිසිදු ජලය එකතු කළ යුතුයි. නිදහස ලබනකොට ආසියාකරයේ දියුණුතම රාජ්‍යය බවට පත්වීමේ විභවය තිබුණු රට මෙතැන්ට ආවෙ ඇයි කියන කාරණය ගත්තහම ඒකට අරයට මෙයාට ඇඟිල්ල දික්කරලා තේරුමක් නෑ. අපි ඔක්කොම එකතු වෙලා මේක විසඳගන්න ඕනෙ. පිටතින් එන කවුරුත් මේක විසඳන්නෙ නෑ. විශේෂයෙන්ම මෙතැනදි මාධ්‍යවේදීන්ගේ භූමිකාව ආගමික පූජකවරුන්ගේ භූමිකාවට වඩා වැදගත්. අවුලක් ඇතිකරන්න ම වැඩ කරන සමහර චැනල් තියෙනවා. හැබැයි ඒ අයත් අර විදියට ම තුවාල ලත් අය. ඒකත් මතක තබා ගත යුතුයි.
(ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සමග මීට පෙර සිදුකරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව, මෙසේ අද දිනයේ අප පළකරනු ලබන්නේ එහි ඇති සර්වකාලීන වැදගත්කම නිසා ය.)