2023 ලෝක මාධ්‍ය නිදහසේ ත්‍යාගය සිරගත ඉරාන මාධ්‍යවේදිනියන් තිදෙනකුට !

Share post:

මාධ්‍ය වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර ජූරි සභාවක නිර්දේශය අනුව ඉරාන ජනමාධ්‍යවේදිනියන් තිදෙනෙකුට 2023 UNESCO/Guillermo Cano ලෝක ජනමාධ්‍ය ත්‍යාගලාභීන් ලෙස නම් කරන ලදි. මෙම සම්මාන ප්‍රදානෝත්සවය මැයි 02 දින සන්ධ්‍යාවේ ඇමෙරිකාවේ, නිව්යෝර්ක්හි යුනෙස්කෝ හිදී පැවැත්විණි.

එම ජනමාධ්‍යවේදිනියන් තිදෙනා නම් නිලූෆා හමෙදි, එළහෙහ් මොහම්මදි සහ නාර්ගේස් මොහොම්දි ය.

1986 දෙසැම්බර් 17දා සිය පුවත්පත වූ El Espectador කාර්යාලය ඉදිරිපිටදී ඝාතනය කරන ලද Guillermo Cano නමින් මෙම ත්‍යාගය නම් කෙරිණි. 1997 මැයි 03දා ජාත්‍යන්තර මාධ්‍ය නිදහස පිළිබඳ දිනයේදී මෙම ත්‍යාගය පිරිනැමීම ආරම්භ කරන ලදි.

නිලූෆා හමෙදි !

ජනමාධ්‍යවේදිනී නිලූෆා හමෙදි (Niloofar Hamedi) ප්‍රධාන පෙළේ ප්‍රතිසංස්කරණවාදී දිනපතා පුවත්පතක් වන Shargh සඳහා ලියයි. 2022 සැප්තැම්බර් 16 දින පොලිස් අත්අඩංගුවේ  දී මියගිය මාෂා අමිනීගේ මරණය පිළිබඳ පුවත ප්‍රථමයෙන්ම වාර්තා කළේ ඇයයි. ඇය 2022 සැප්තැම්බර් මාසයේ සිට ඉරානයේ එවින් බන්ධනාගාරයේ හුදෙකලා සිරකඳවුරේ රඳවා ඇත.

2022 සැප්තැම්බර් 16 දින, හමෙදිට ටෙහෙරානයේ කස්රා රෝහලට ඇතුළු වීමට ලැබිණි. එහිදී 22 හැවිරිදි මහ්සා අමිනී හිජාබය අනිසි ලෙස පැළඳීම සම්බන්ධයෙන් සදාචාර පොලිසිය විසින් ඇය ව රඳවා තබාගෙන පහර දී රෝහලට ඇතුළත් කර තිබිණි. අමිනීගේ මරණය සිදු වූ අවස්ථාවේදී, හමෙදි අමිනීගේ මව්පියන් රෝහලේ බදාගෙන අඬන ඡායාරූපයක් ට්වීට් කළාය. එම පින්තූරය අමිනීගේ මරණය පිළිබඳ ප්‍රථම වාර්තාව බවට පත් විය. එය ඉක්මනින් පැතිර ගිය අතර, අවසානයේ රට පුරා ස්ත්‍රී විරෝධතා පැනනැගීමේ නිමිත්ත බවට පත් විය.

විරෝධතාවලට එක් වූ මාධ්‍යවේදීන් සහ සිසුන් ඉලක්ක කර සිදු කළ අත්අඩංගුවට ගැනීම් රැල්ලකින් පසුව, ඇයගේ ප්‍රවෘත්ති ආවරණයේ ප්‍රතිඵලයක් ලෙස,  2022 සැප්තැම්බර් 21 දින හමෙදි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඇය විදේශීය ඒජන්තවරියක් ලෙස හංවඩු ගසා ඇති අතර, එය දීර්ඝ සිරදඬුවමකට හේතු විය හැකිය.

එළහෙහ් මොහම්මදි !

ජනමාධ්‍යවේදිනී එළහෙහ් මොහම්මදි (Elaheh Mohammadi) අත්අඩංගුවට ගැනුණේ ද අමිනීගේ මරණය සම්බන්ධයෙන් කරන ලද වාර්තා කිරීම් නිසා ය. ඇය සමාජ ගැටළු සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ආවරණය කරමින් ප්‍රතිසංස්කරණවාදී පුවත්පතක් වන Ham-Mihan සඳහා ලියයි. ඇය මාෂා අමිනීගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳව වාර්තා කර ඇති අතර, 2022 සැප්තැම්බර් මාසයේ සිට එවින් බන්ධනාගාරයේ රඳවා ඇත. ඇයගේ වැඩ කටයුතු හේතුවෙන් 2020 වසරේ වසරක කාලයක් වාර්තා කිරීම ද  ඇයට තහනම් කර තිබිණි.

ටෙහෙරානයේ සදාචාරාත්මක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු දින 03ක් කෝමා තත්ත්වයෙන් පසු වී සැප්තැම්බර් 16 දින මිය ගිය 22 හැවිරිදි මාෂා අමිනීගේ අවමංගල්‍යය ඉරානයේ හැම්-මිහාන් පුවත්පත සඳහා ආවරණය කිරීමට ඇය ගියාය. මොහම්මදි අවමංගල්‍ය උත්සවයේදී පොලිස් ප්‍රහාරය ගැන වාර්තා කර තිබිණි.

ඇය අධිකරණ බලධාරීන් විසින් කැඳවනු ලැබූ නමුත් ඊට පෙර 2022 සැප්තැම්බර් 29 දින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රශ්න කිරීම සඳහා බුද්ධි අමාත්‍යාංශයේ කාර්යාලයට යමින් සිටියදී ය. ඇයට ද විදේශීය ඒජන්තයකු ලෙස ජාතික ආරක්ෂාවට හානි කරන ලදැයි චෝදනා එල්ල වී තිබේ.

නාර්ගේස් මොහම්මදි !

නාර්ගේස් මොහම්මදි (Narges Mohammadi) පුවත්පත් කිහිපයක මාධ්‍යවේදිනියක ලෙස වසර ගණනාවක් සේවය කර ඇති අතර, ටෙහෙරානය පදනම් කරගත් සිවිල් සමාජ සංවිධානයක් වන මානව හිමිකම් කේන්ද්‍රයේ ආරක්ෂිකාවෝ (ඩීඑච්ආර්සී) නම් සංවිධානයේ කතුවරියක සහ උප අධ්‍යක්ෂකාවකි. ඇය දැනට වසර 16ක සිරදඬුවමක් විඳිමින් සිටින්නේ එවින් බන්ධනාගාරයේ ය. ඇය බන්ධනාගාරයේ සිට මුද්‍රිත මාධ්‍ය සඳහා වාර්තා කිරීම දිගටම කරගෙන ගොස් ඇති අතර, අනෙකුත් කාන්තා සිරකාරියන් සමග සම්මුඛ සාකච්ඡා ද කර ඇත. මෙම සම්මුඛ සාකච්ඡා ඇගේ ‘ධවල භීෂණය’  පොතෙහි ඇතුළත් විය. 2022දී, ඇය දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ (RSF) ධෛර්යය සඳහා වන ත්‍යාගය ද දිනාගත්තාය.

වරින්-වර ඇයට පනවන ලද දීර්ඝ සිරදඬුවම් විඳීමෙන් පසු නිදහස්ව සිටි ඇය 2021 නොවැම්බර් 16 දින,  රට පුරා පැවති විරෝධතා අතරතුර ඉරාන ආරක්ෂක හමුදා විසින් ඝාතනය කරන ලද ඊබ්‍රාහිම් කෙටාබ්දාර්ගේ අනුස්මරණයකට සහභාගි වෙමින් සිටියදී, මොහොමඩි ඇල්බෝර්ස් පළාතේ කරජ්හිදී අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගන්නා ලදි.

ඉරාන රජය විවේචනය කිරීම හේතුවෙන් මොහම්මදි 1998දී ප්‍රථම වරට අත්අඩංගුවට ගෙන වසරක් සිරගතව සිටියාය. 2010 අප්‍රේල් මාසයේදී ඇය යළිත් සිරගත කරන ලද නමුත් අසනීප තත්ත්වයක් නිසා නිදහස් කරන ලදි.

2011 ජූලි මාසයේදී මොහම්මදිට නැවත නඩු පවරන ලද අතර, ජාතික ආරක්ෂාවට එරෙහිව ක්‍රියා කිරීම,  පාලන තන්ත්‍රයට එරෙහිව ප්‍රචාරය කිරීම යන චෝදනාවලට වරදකාරියක කරන ලදි. සැප්තැම්බර් මාසයේදී ඇයට වසර 11ක සිරදඬුවමක් නියම විය.

2022 දෙසැම්බරයේදී මාෂා අමිනී අත්අඩංගුවේ සිටියදී මියයෑමෙන් ඇති වූ විරෝධතා අතරතුර, නර්ගේස් මොහම්මදි බීබීසී විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක, රඳවාගෙන සිටින කාන්තාවන් මුහුණ දෙන ලිංගික හා ශාරීරික අපයෝජනයන් විස්තරාත්මකව දැක්වීය. 2023 ජනවාරි මාසයේදී ඇය සිරකරුවන් 58 දෙනෙකුගේ ලැයිස්තුවක් සහ ඔවුන් මුහුණ දුන් ප්‍රශ්න කිරීම් ක්‍රියාවලිය සහ වධහිංසා ඇතුළු එවින් බන්ධනාගාරයේ සිටින කාන්තාවන්ගේ තත්ත්වය විස්තර කරන කම්පන සහගත වාර්තාවක් ලබාදුන්නාය. මෙම කාන්තාවන්ගෙන් 57 දෙනෙකු දින 8,350ක් හුදෙකලා සිරකඳවුරේ සිරගත කර තිබූ අතර, ඉන් 56 දෙනෙකුට මාස 3,300ක සිරදඬුවම් නියම වී තිබිණි.

1999දී ඇය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ක්‍රියා කළ මාධ්‍යවේදියෙකු වූ තග්හි රහ්මානි (Taghi Rahmani) සමග විවාහ වූ අතර, වැඩි කල් නොගොස් ඔහු අත්අඩංගුවට ගන්නා ලදි. රහ්මානි වසර 14ක සිර දඬුවම් විඳීමෙන් පසු 2012දී ප්‍රංශයට සංක්‍රමණය වූ නමුත් මොහම්මදි ඇගේ මානව හිමිකම් කටයුතු දිගටම කරගෙන යෑමට ඉරානයේ නතර වූවාය. ඔවුන් දෙදෙනාට අලි සහ කියානා යන නිවුන් දරුවන් සිටී.

මාධ්‍ය වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර ජූරි සභාවේ සභාපතිනිය සයිනබ් සල්බි ත්‍යාග ප්‍රධාන උත්සවයේදී මෙසේ පැවසීය.

‘සිය වාර්තාකරණය ස්ත්‍රී මූලික විප්ලවයකට මග විවර කළ ඉරාන මාධ්‍යවේදිනියන්ගේ නිර්භීත සේවයට ගෞරව කිරීමට අපි කැප වෙමු. සත්‍යය වාර්තා කිරීමට සහ ප්‍රකාශ කිරීමට ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් ඔවුන් විශාල මිලක් ගෙවීය. ඒ සඳහා අපි ඔවුන්ට ගෞරව කිරීමට කැපවී සිටින අතර, ඔවුන් සුරක්ෂිතව සහ නිදහස්ව සිටින තුරු ඔවුන්ගේ හඬ ලොව පුරා දෝංකාර දෙන බව සහතික කරමු.’

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...