අකුරණ ප්‍රහාරයක් පිළිබඳ තොරතුර : සීඅයිඩියෙන් සාක්ෂිකරු සැකකරුවකු කරයි : මෙහෙම කළොත් අපරාධ තොරතුරු දෙයිද? – මහේස්ත්‍රාත් ප්‍රශ්න කරයි !

Share post:

අකුරණ ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අසත්‍ය තොරතුරක් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය.

දින 16ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින මෙම පුද්ගලයා සම්බන්ධ නඩුව ඊයේ (04) කැඳවූ අවස්ථාවේදී ඔහුට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් නීතිඥ රුෂ්ඩි හබීබ් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රත්වරයා මෙම ඇප නියෝගය නිකුත් කරන ලදි.

දණ්ඩ නීති සංග්‍රහයේ 120, 175, 485, පරිගණක අපරාධ පනතේ 06, පොලිස් ආඥා පනතේ 98 යන වගන්ති සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ (ICCPR) 03 වගන්තිය යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම පුද්ගලයාට වෙනත් පුද්ගලයකුගෙන් මෙම තොරතුර ලැබුණු බවත්, එය සත්‍ය තොරතුරක් ද යන්න විශ්ලේෂණය කිරීමට ඔහුට හැකියාවක් නැති බවත්, නීතිගරුක පුරවැසියකු ලෙස ඔහු මෙම තොරතුර ප්‍රසිද්ධ නොකර එය අදාළ වගකිවයුතු බලධාරීන්ට දැනුම් දී ඇති බවත් නීතිඥ රුෂ්ඩි හබීබ් අධිකරණයේදී කරුණු දක්වමින් ප්‍රකාශ කළේය. ඔහුට තොරතුර ලබාදුන් පුද්ගලයාගේ දුරකතන අංක සහ බැංකු ගිණුම් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී දින 16ක් ගතවුවද, ඔවුන් ඒ සම්බන්ධයෙන් සොයාබලා නැති බවත්, මෙම නඩුවේ සාක්ෂිකරුවකු විය යුතු පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහුට එරෙහිව අයිසීසීපීආර් පනත යටතේ ද චෝදනා ඉදිරිපත් කළ ද එම පනත කිසිම අදාළත්වයක් නැති බවත් නීතිඥවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම පුද්ගලයා මෙසේ තොරතුරු නොදී සිට යම් ප්‍රහාරයක් එල්ල වූයේ නම්, ඔහු තොරතුරු දැනගෙන ලබා නොදුන් බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරනු ඇතැයි ද ඔහු කීවේය.

එම පනත පමණක් නොව වෙනත් නීති යටතේ ද විමර්ශන ක්‍රියාත්මක වන නිසා සැකකරුට  ඇප ලබානොදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

ඒ් අනුව ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පැවසුවේ සැකකරුට එරෙහිව අයිසීසීපීආර් පනත යටතේ නඩුවක් ගෙනයාමට තරම් කරුණු ඉදිරිපත්ව නැති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අරමුණින් අයිසීසීපීආර් පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ඇති බව පෙනී යන්නේ යැයි ද, සැකකරු අදාළ පනත යටතේ ඇති චෝදනාවලින් මුදා හරින්නේ යැයි ද ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, තවදුරටත් විමර්ශන පවතින නිසා සෙසු චෝදනාවලින් මුදාහැරීමට නොහැකි යැයි ද ප්‍රකාශ කළේය.

සැකකරුට ලැබුණු තොරතුර නිසි බලධාරීන්ට ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති කරුණුවලින් ද පෙනී යන බව පැවසූ මහේස්ත්‍රාත්වරයා, පොලිසියට තොරතුරු ලබාදෙන පුද්ගලයන් අයිසීසීපීආර් පනත යටතේ අත්අඩංගුවට ගතහොත් මින් ඉදිරියට පුද්ගලයන් අපරාධ සම්බන්ධ තොරතුරු ලදහොත් පොලිසියට ලබානොදී සිටිනු ඇතැයි ද සඳහන් කළේය.

අයිසීසීපීආර් පනත යටතේ ඇති චෝදනාවෙන් මුදාහැරීමෙන් පසු ඉතිරි චෝදනා ඇප දිය හැකි වැරදි බැවින් සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.   

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...