පාන්දර හීනෙන් මිලාන් කුන්දේරාව දැක්කා.
පැරීසියේ පාරක ඔහු ඉදිරියට ඇවිදගෙන එනවා.
අන්තර්ජාලගතවෙලා බැළුවා කුන්දේරා තාම ජීවත්ව ඉන්නවද කියලා.
ආයුෂ තව බොහෝ වේවා!, 93 වියැති ඔහු පැරීසියේ තවම දිවි ගෙවනවා.
ෆෝන් එක පැත්තකින් තියලා කල්පනා කළා ඇයි කුන්දේරාව හදිසියේ සිහිනෙන් පෙනුණෙ කියලා.
ඊයේ සවස මංජුල වෙඩිවර්ධනගෙ ‘පැරිස් වළාකුළු’ පොත වෙන දෙයක් කියවන අතර මගේ පසෙකින් තිබුණා.
‘පැරිස් වළාකුළු’ නවකතාවේ එක් චරිතයක් කුන්දේරා. ඒ නවකතාවෙ අවසන් හරියේදී කතා නායකයාගේ ඉදිරියට පැරීසියේ පාරකදී අහම්බෙන් ජීවමානවම මිලාන් කුන්දේරා ඉදිරියට එනවා. ඕක මම ඒ නවකතාවේ කැමතිම තැනක්.
ආයි ෆෝන් එක අරන් කුන්දේරා ගේ ඡායාරූප සර්ච් කරද්දි පුදුමයකට වගේ ඔහු පැරීසියේ පාරක ඇවිද යන මේ ඡායාරූපය හමුවුණා.
තරුණ වියේදි මිලාන් කුන්දේරා මගේ සාහිත්‍ය වීරයෙක්. ඔහුගේ ගොඩක් නවකතා ඉස්සර ජයතිලක කම්මැල්ලවීර මහතාගේ නිවසේ පෞද්ගලික පුස්තකාලයේ තිබුණා. ඔහුගෙන් ඉල්ලගෙන ඒ සියළු නවකතා (The Book of Laughter and Forgetting හැර) හා ඔහුගේ එකම කෙටිකතා සංග්‍රහය වූ Laughble Loves ත් කියෙව්වා. Laughble Loves එකේ කෙටිකතා තුනක් මම මට වයස අවුරුදු 25 දී පරිවර්තනය කළා එහි ඉතිරි කතාත් සමඟ පළ කරන්න. ‘කර්නල් සහ එරෙන්දිරා’ ට පස්සෙ මම මගේ ලේඛක දිවිය නතර කරන්න තීරණය කළ නිසා ඒක පළ වුණේ නෑ.
ඒ කාලෙ එච්චර කුන්දේරාට ලව්.
කුන්දේරා ගැන විතරක් නෙමෙයි ඔහුගේ කෘති ගොඩක් චෙක් භාෂාවෙන්ම පරිවර්තනය කරපු මහාචාර්ය පීටර් කුසී ගැනත් හොය හොයා කියෙව්වා ඒ කාලෙ. (අන්තර්ජාලයත් නැති කාලෙ)
ගොඩක් දෙනෙක් කුන්දේරා ගේ හොඳම නවකතාව ලෙස The Unberable Lightness of Being සැළකුවත් මං හිතන්නෙ ඔහුගෙ හොඳම නවකතාව The Joke. ඒක හෙන අව්‍යාජ ප්‍රකාශනයක්. සෙමි බයොග්‍රොෆිකල් නවල් එකක් වගේ එකක් ඒක. එහි ප්‍රධාන පරිච්ඡේද පෙළ ගැස්වීම වගේම අනු පරිච්ඡේද හැඩය සංගීතමය හැඩයක් ගන්න බව මම ඒ කාලෙ ඉඳන්ම හිතනවා. (කුන්දේරාගෙ පියා සංගීතය පිළිබඳ මහාචාර්යවරයෙක්නෙ. ඒ නිසා ඔහුටත් විශිෂ්ට සංගීත දැනුමක් තිබුණා. කොහොමත් චෙකොස්ලෝවෙකියාව අමුතු මියුසිකල් රටක්.)
දේශපාලනික මහා අනෙකාගේ ආක්‍රමණය හමුවේ චූල ජීවිතවල සිදුවන පිපිරීම හා ඒ නිසා අහිමිවන පෞද්ගලිකත්වය, ලෛංගික මානය ප්‍රමුඛ කරගෙන කුන්දේරා ලිව්වා.
ඒවගේම තමන් උපන් භූමිය තුළදීම විප්‍රවාසීවීමට සිදුවීමේ ඛේදවාචකය වගේම විප්‍රවාසිකත්වය තුළ උපන් බිම කෙරෙහි වන සාංකා සහගතභාවය විසින් පුද්ගලිකත්වය අර්බුධයට පත්කරන ආකාරය කුන්දේරා ගේ සියළු නිර්මාණ තුළ තිබුණා.
එම තේමාත්මක ගුණය තමන්ගේ නවකතාවලට වස්තු විෂය කර ගන්නා ලාංකීය නවකතාකරුවා මංජුල වෙඩිවර්ධන. ඒ තේමාත්මක මානයේ ඔහුගේ අග්‍ර කෘතිය මගේ විශ්වාසය අනුව ‘පැරිස් වළාකුළු’.
‘බත්තලංගුණ්ඩුව’ ත්, උපන් බිම තුළදීම එහි බිමෙන් වෙන්වූ (ප්‍රධාන භූමියෙන් පිටනෙ බත්තලංගුණ්ඩුව කියන දූපත තියෙන්නෙ) එරටෙහිම මිනිසුන් පිරිසකගේ කතාව ගැන කියවෙනවා වගේම, උපන්බිම තුළ වන ආක්‍රමණික සංස්කෘතික අධිපතිත්වයේ ව්‍යාජත්වයට ප්‍රතිවිරුද්ධව සිටිමින් එහි සැබෑ පීතෘත්වය සොයා යන ගමනක් ‘බත්තලංගුණ්ඩුව.’.
පැරිස් වළාකුළු අතරින් ගොස් කලකට පසු කුන්දේරා යළි සිහිපත් වීම සතුටක්.
ජනක ඉනිමංකඩ
කොහොමවුනත් කුන්දේරාව නැවත සාකච්චාවට ගැනීම ඉතාම අවශ්‍යයයි
මෙතන ජනක ‘මහා අනෙකාගේ ආක්‍රමණය’ හා ඒ නිසා සිදුවන ‘චූල ජීවිතවල පිපිරීම්’ කියන යෙදුම් වලින් යෝජනා කරන අදහසට වඩා එහි කාසියෙ අනෙක් පැත්ත විදියටයි මට කුන්දේරාගෙ නවකථා දැනෙන්නෙ..එ’නම් ජනක කියන කුන්දේරාගේ නවකථා වල තියෙන පුද්ගලික ජීවිත පිපිරීම් කියන්නෙ මහා අනෙකා බිදවැටුණු සමාජයක (ඇත්තටම මහා අනෙකා යනුවෙන් දෙයක් නොපවතී-ශිශෙක්) පුද්ගලික නිදහස පිළිබද ප්‍රතික්‍රියාවන්..මිනිස් නිදහස විපරීත ලිංගිකකරණයන්ට හා අතොරක් නැති පැටලිල්ලක් කරා වැටෙන්නෙ (දෙවියන් වැනි) සමස්ථාධිපත්‍යයක් අප මත අණසක පතුරවන විට නෙවෙයි, එවැනි ආධිපත්‍යයක් අතුරුදහන් වී ඊනියා ‘දෙවියන් නැති නිදහසක්’ වෙතට සමාජයක් ඇද වැටුණු විටයි. කුන්දේරාගේ නවකථා වල මූලික දේශපාලන පසුබිම වෙන්නෙ පශ්චාත් කොමියුනිස්ට් නැගෙනහිර යුරෝපීය පසුබිම. කොමියුනිස්ට් සර්වාධිකාරී පාලනයන් අභියෝගයට හෝ බිදවැටීමට ලක් වුණාම ඒ ‘හිස්තැන’ අපගේ ජීවිත හසුරවන මානසික සංකීර්ණය තමයි මට දැනෙන විදියට කුන්දේරාගේ චරිත හුස්ම ගන්න තලය..කුන්දේරා ගේ චරිතවල තියෙන අධිලිංගිකරණයන් හුදු යුරෝපීය නූතනත්වයේ සංස්කෘතික නිදහස පිළිබද ප්‍රකාශවීමකට වඩා ඒ ප්‍රබුද්ධ නූතනත්වයේ එක් උරුමයක් බිද වැටීම නිසා ‘නිදහස’ එක්තරා ආගාධයක් කරා ගමන් කිරීමේ වියවුලක් තමයි අපට අරන් එන්නෙ..ටිකක් දීර්ඝව කතා කළ යුතු කලාපයක් මෙතන තියෙනව..
කොහොමවුනත් කුන්දේරාව නැවත සාකච්චාවට ගැනීම ඉතාම අවශ්‍යයයි. ඔහු ගැන ජනකට තියෙන සම්බන්ධයත් දීර්ඝ එකක්..ස්තූතියි සිහිපත් කිරීම්වලට !
විදර්ශන කන්නංගර
(මෙය facebook හි සටහන්වූ සංවාදයකි)