“වෛරය කියන්නෙත් ඕවර්ඩෝස්ඩ් ප්‍රේමයක් “

Share post:

එහෙම ලියන්නෙ යේෂා! යේෂාගෙ කවි කියන්නෙ ම එකපාරට ම හදවත අස්සට කිඳා බහින වචන හී සරයක්!
ලයිලැක් කවි පොත අතට ලැබිලා සෑහෙන දවසක්. වැඩ රාජකාරි දහසක් අතර හෙමිහිට කවියෙන් කවිය කියවපු පොතක්. සමහර කවිවල ලියල තියෙන යෙදුම් ගැන කියවලා ඉවර වෙලා දවස් කිහිපයක් යනකලුත් ඉඳහිට සිහි වෙන පොතක්. ඒ, ඇගේ යෙදුම් ඇයට ම අනන්‍ය නිසා. යේෂා ලියන විදිහට ම ලිව්වොත් ඒවා ‘යේෂාමය වචන’. ලයිලැක් පොතට කලින් ඈ ලියපු ‘ලිලැක්’ කවි පොතෙත් ඈ මේ විශේෂ සලකුණ තැබුවා.

“සිනමන් කැන්ඩලීමය
ප්‍රේමය
ෆෙයරි එළි බුබුළැති
ප්‍රේමය “
“හදවත මිනිට් බඳු
ක්‍රිස්ටල්ස්මිත ගැහැනුන්ට..”

යේෂාගෙ කවිවල හමු වෙන්නෙ ඒ වගේ යෙදුම්. පොතට පසුවදන ලියන භාරතී වීරසිංහ ලියනවා වගේ “ඇය සිංහල තරහ කර ගන්නෙ නැතිව ඉංග්‍රීසි යාළු කර ගන්නා හැටි බලන්න ලස්සනයි”

යේෂාගෙ යෙදුම් පමණක් නොවෙයි, ඈ ලියන කවිවල සාරය කියන්නෙ අපේ ජීවිතවල ඉතාම සියුම් හැඟීම්වල එකතුවක්. ජීවිතය හා ප්‍රේමය පිළිබඳව ඈ ලියන කවිවල තියෙන්නෙ අමුතුම මිහිරක්.

“එකෝමත් එක රටක
පර්සියන් සිල්ක් කෙල්ලෙකුට
පොට්ට, වයසක, මොට්ට මින්දද
විද්ද හීයේ තිබ්බෙ මලකඩ

අවුරුදු ම ගණනක් එහෙම
එකම නගරෙක ඇවිද
මිස් වෙන්නෙ කොහොමද
හුස්මක් පවා අඳුරන හදවත

වෙන් වෙවී හමු වෙන
හමු වෙවී වෙන් වෙන
ඇත්තමයි මින්දරේ…
මොන පිස්සුවක්ද මේ ජීවිත”

කෙතරම්ම ක්ෂුද්‍ර ද
එතරම්ම බර තරුවකි
මා ඔබේ
විසල් නිදහස් අහසට
ගිම්හාන ඉර්තුවක මැද
නොකියා ම ටික ටික
දියවෙමින් යන්නේ
ඒ නිසයි මම තනියම

ප්‍රේමය ම දැල්වෙනා මුත්
ගිනි කඳු වගේ ඇතුළත
කොතරම් තනිද සීතලද
ඇතැම් ග්ලැසියර් ජීවිත

නිදහස කියා යමක් නොදනිමි
කෙටි වැසි අතර තෙමෙමි
පිනි අහුරු ගිලිමි
තුරුපත් බැලේ නරඹමි
බොන් ඇරෝමා සුසුවඳක වෙළෙමි
කෙටි වැසි අතර තෙමෙමි
නිදහස කියා යමක් නොදනිමි

යේෂාගෙ මේ කවි බසෙහි තියන මිහිර එන්නෙ මම හිතන හැටියට ජීවිතය දෙස ඇය හෙලන රාමුගත නොවූ දෘෂ්ටිය නිසා. ඇය සිතුවිලි නිදහස් කරන, වචන එක්ක අරගල කරන නිර්භීත ස්වභාවය නිසා.
යේෂාගෙ කවිවල සිහිනමය සුන්දරත්වයක් තිබෙන බව මම ඇයගෙ පළමු කවි පොත වන “ලිලැක්” ගැන ලියපු සටහනේදී ලිව්වා. යේෂා ඒ සිහිනමය සුන්දරත්වය තවත් ඔප් නංවා මේ කවි පොතටත් අරන් ඇවිත්! ඇය සිංහල කවිය ඉදිරියෙදි තව තවත් අපූර්ව විදිහට ‘යේෂාමය හැඩයකින්’ වර්ණ ගන්වයි කියලා හිතනවා.!

කත්‍යානා අමරසිංහ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...