දේශබන්දු තීන්දුව පෙන්වමින් රනිල් ගහන ගේම ගැන සම්පූර්ණ කතාව !!!

Share post:

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් අගමැති කියපු බොරු !

අවුරුදු 20කට පෙර රනිල් ව්‍යවස්ථා සභාවට මුක්තිය දෙන්න හදපු හැටි !

අධිකරණයේදී අභියෝග කරන්නට ව්‍යවස්ථා සභාවෙන් තීරණයක් ගෙන නැත !

මහින්ද – මෛත්‍රී පිළිගත්
රනිල් වෙනත් ගැටයක් ගහන අධිකරණ තීන්දු !

පළාත් පාලන ඡන්ද විමසීම් නියෝගයත් රනිල් පිළිගත්තේ නෑ !

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අවලංගු කරන්නට පාර්ලිමේන්තුවට බෑ !

දේශබන්දුගේ නියෝග ඉටුකරන නිලධාරීන්ටත් දඬුවම් !

පොලිස්පති ධුරය ගැන රනිල් කියන බොළඳ කතාව !

ව්‍යවස්ථාවෙන් පැවරුණු වගකීම් ඉටුනොකර සිටින්නට රනිල්ට බෑ !

අධිකරණ නියෝගවලට එකඟ නොවුණත් අවනත විය යුතුයි !
*

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පොලිස්පති ධුරයේ කාර්යයන්, වගකීම සහ බලතල ක්‍රියාත්මක කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබේ. එය මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ නඩු විභාගය අවසාන වන තෙක් දැනට බලාත්මක ය. පැහැදිලිව අවධාරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවෙදී අගමැතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ අධිකරණයට ප්‍රශ්න කළ නොහැකි බවට පැවසූ කාරණය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවයි.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් අගමැති කියපු බොරු !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඕ) වගන්තිය අගමැතිවරයා කියවිය යුතුය. අගමැතිවරයා එය කියෙව්වේ නම්, එහි පැහැදිලිව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලයට යටත් බවයි. වෙනත් කිසිම අධිකරණයක අධිකරණ බලයට එය යටත් නොවේ. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලයට යටත් ය.

අවුරුදු 20කට පෙර රනිල් ව්‍යවස්ථා සභාවට මුක්තිය දෙන්න හදපු හැටි !

එය අද- ඊයේ ඇති වූ නීතිමය තත්ත්වයක් නොවේ. මීට වසර 20කට පමණ පෙරදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කළ ආණ්ඩුවකින් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට උත්සාහ දැරීය. ඒ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එරෙහිව නඩු පැවරීමට නොහැකි වන ආකාරයට සම්පූර්ණයෙන් මුක්තියක් ලබාදීමට උත්සාහ කළේය.

ඒ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මුක්තියක් නොලැබෙන බවයි. එම සභාව නඩු පැවරීමට යටත් විය යුතු බව අධිකරණය තීරණය කළේය.

අධිකරණයේදී අභියෝග කරන්නට ව්‍යවස්ථා සභාවෙන් තීරණයක් ගෙන නැත !

ඊළඟ වැදගත් ම කාරණය වන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පොලිස්පති ධුරය පිළිබඳ මේ නඩුවේදී අභියෝග කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණයක් නොවේ. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරුන් තර්ක කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එවැනි තීරණයක් නොමැති බවටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මේ කාරණය සාකච්ඡාවට ගත් දිනයේ සටහන් පරීක්ෂා කළොත් පැහැදිලි වන්නේ එදින, එනම් 2023 පෙබරවාරි 26 සභා රැස්වීම අවසන් වී ඇත්තේ තීරණයක් නොමැතිව බවයි. කතානායකවරයා මූලාසනය දරන ලද මේ රැස්වීමට අදාළ වාර්තාවේ පැහැදිලිව එය සඳහන් වේ.

ඒ රැස්වීම අවසන් වීමෙන් පසු කාතානායකවරයා ජනාධිපතිවරයාට ලිපියක් ලියන ලදි. එහි දක්වා ඇත්තේ පොලිස්පති පිළිබඳ තීරණයට සිව්දෙනෙකු පක්ෂ බවත්, දෙදෙනෙකු විරුද්ධ බවත්, දෙදෙනෙකු ඡන්දෙ දී නොමැති බවත් ය. ඡන්දෙ නොදුන් දෙදෙනාත් විරුද්ධ යැයි ඔබ සලකන්නේ නම්, මගේ ඡන්දයත් සලකා බලන්න යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ. පෙත්සම් විභාගයේදී පෙත්සම්කරුවන්ගේ තර්කය වූයේ මේ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණයක් නොමැති බවටයි. මූලික වශයෙන් මේ නඩුවේ හරය වන්නේ ජනාධිපතිවරයා කරන ලද පත්වීම අභියෝගයට ලක්කිරීමයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන කාලයකදී ගෙන ආ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම හැර ජනාධිපතිවරයා ගන්නා සෑම තීරණයක්ම අධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලයට යටත් ය. ඊට හේතුව කුමක්ද?

මහින්ද – මෛත්‍රී පිළිගත් රනිල් වෙනත් ගැටයක් ගහන අධිකරණ තීන්දු !

මේ රටේ ජනාධිපතිවරයා යනු රජෙකු නොවේ. අතීතයේදී රජ්ජුරුවන් කරන ඕනෑම දෙයකට හිස වනා අවනත වීමක් සිදු විය. තමන් කැමැති අත්තනෝමතික තීරණ ගැනීමට ජනාධිපතිවරයාට නොහැකිය. එම නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මූලික අයිතිවාසිකම් අධිකරණ බලයට ජනාධිපතිවරයාගේ තීරණ, ක්‍රියාවන් යටත් කර ඇත. ඒ නිසා ය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රෝයල් පාර්ක් ඝාතන නඩුවට සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාළ ජනාධිපති සමාව දීම් අවලංගු කරන ලද්දේ.

ඒ අධිකරණ බලය යටතේ ය, 2018 වසරේදී මෛත්‍රිපාල සිරිසේන එවකට ජනාධිපතිවරයා විසින් නීතිවිරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරදියි යන නියෝගය නිකුත් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ විසුරුවා හැරීම අවංලගු කළේ. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද එහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් විය.

එපමණක් නොවේ. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කොට, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කෙරිණි. එය අභියාචනාධිකරණයේ අභියෝගයට ලක්කෙරිණි. පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවකින් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා පරාජය වී සිටියේය. නීතියේ පවතින ආකාරයට විශ්වාසභංග යෝජනාවක් පරාජයට පත්වුවහොත් අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලයේ ධුර කාලය අහෝසි වේ. ඔවුන්ට තවදුරටත් ධුර දැරිය නොහැකි බවට අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක් නිකුත් කෙරිණි.

මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව මෙසේ තහනම් නියෝගයක් නිකුත් කළ විට ‘මට ඔය තීන්දුව බාරගන්න බෑ, මම කොහොම වුණත් අගමැති පුටුවෙ වාඩිවෙනවා’ යනුවෙන් ඔහු කිව්වේ නැත. ඔහු ඒ තීරණය බාරගත්තේය. මෛත්‍රිපාල සිරිසේන එවකට ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නියෝගය ඔහු ද පිළිගත්තේය.

එසේ නම් අධිකරණ තීන්දුවලට අවනත නොවීමේ මේ අලුත් ප්‍රවණතාව කුමක්ද? මෙහි ඇති භයානකකම කුමක්ද?

පළාත් පාලන ඡන්ද විමසීම් නියෝගයත් රනිල් පිළිගත්තේ නෑ !

මේ රටේ සියලු පුරවැසියන් මෙහිදී පැහැදිලිව තේරුම්ගත යුත්තේ මෙය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ පාලනයට එල්ල කරන බරපතළ ප්‍රහාරයක් බවයි. එසේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අධිකරණයේ තීන්දුවලට අවනත නොවන පළමු අවස්ථාව ද මෙය නොවේ. මීට පෙර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කෙරිණි. ඒ අවශ්‍ය මුදල් මුදාහරින ලෙස මුදල් ඇමැතිවරයාට ය. ඊට ද මුදල් ඇමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අවනත වුණේ නැත.

ඔබගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පැමිණ ඔබේ ඉඩම අල්ලාගැනීමෙන් පසු ඔබේ ප්‍රදේශයේ දිසා අධිකරණයෙන් එය වැරදි බවට නියෝගයක් ලබාදුන්නහොත්, ඒ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ද ‘මම අධිකරණයේ තීන්දුවලට අවනත වෙන්නෙ නෑ’ යනුවෙන් පැවසීමට ඉඩ ඇත. ඊට හේතුව ඉහළින් පූර්වාදර්ශ සැපයීමයි. එසේ වුවහොත් රටක් පවත්වාගෙන යෑමට හැකිද?
ලංකාව යනු ශිෂ්ඨ රටකි. මෙවැනි නීතියේ ආධිපත්‍යය පිළිනොගන්නා තත්ත්වයක් ඇතිවුවහොත් ලංකාවට ආයෝජකයන් පැමිණෙයිද? මෙය එකක් නොවේ, සියල්ලේ කඩාවැටීමකට හේතුවකි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අවලංගු කරන්නට පාර්ලිමේන්තුවට බෑ !

මේ අධිකරණ නියෝගයෙන් පොලිස්පති ධුරයේ කාර්යයන්, බලතල ක්‍රියාවට නැංවීම දේශබන්දු තෙන්නකෝන් මහතාට තහනම් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයකින් අවලංගු නොවේ. ඒ තීරණ පාර්ලිමේන්තුවෙන් අවලංගු කිරීමේ ක්‍රමවේදයක් නැත. එසේ නම් පනත් කෙටුම්පතක් ගෙන ආ යුතුය. ඒ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවයත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සලකා බැලිය යුතුය. ශ්‍රේෂ්ඨාධිකරණය යනු මේ රටේ ඉහළම අධිකරණයයි. ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලැබෙන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි.

දේශබන්දුගේ නියෝග ඉටුකළොත් ඔවුන්ටත් දඬුවම් !

එම නිසා දේශබන්දු තෙන්නකෝන් මහතා මතක තබාගත යුත්තේ තමන්ට අධිකරණයෙන් මේ තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි. අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ නිසා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති පුටුවේ වාඩි වුණොත්, ඒ කාර්යයන් කළොත් ඔහුට එරෙහිව පෞද්ගලිකව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගත හැකිය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුව ම ගෙන ආ නීතියක් තිබේ. ඒ යටතේ සිරදඬුවම්වලින් දඬුවම් කළ හැකිය. එපමණක් නොවේ, මේ නියෝගය පවතින තාක් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට අදාළ නියෝග ලබාදීමට උත්සාහ කළහොත් ඔහු බලයක් නැති පුද්ගලයෙකු බව පොලිස් කොමිසම හෝ එම නියෝග ලබන කණිෂ්ඨ නිලධාරීන් හෝ මතක තබාගත යුතුයි. එවැනි නීතිවිරෝධී නියෝගවලට අවනත වන පුද්ගලයන්ට ද මෙහි ඵලවිපාක විඳීමට සිදුවේ. ඊට හේතුව නීතිවිරෝධී නියෝග පිළිපැදීම වරදක් වීමයි.

පොලිස්පති ධුරය ගැන රනිල් කියන බොළඳ කතාව !

තවත් පැත්තකින් පොලිස්පති ධුරය හිස්වී නැති බවටත්, පොලිස්පති පුටුවේ සිටින බවටත්, ඔහුගේ බලතල, කාර්යයන් පමණක් අත්හිටුවා ඇති බවටත් තර්කයක් ගෙන ඒමට උත්සාහ කරනු පෙනේ. එය බොළඳ තර්කයකි. පොලිස්පතිවරයා ධුරයේ කටයුතු කරන විට ඔහු රෝගී වී, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේ යැයි සිතමු. එවැනි අවස්ථාවකදී ඔහු ධුරයේ සිටින නිසා වැඩ බලන පොලිස්පතිවරයකු පත්කළ නොහැකි යැයි කිසිවකු කියන්නේ නැත. විදේශගත වීමකදී ද මෙය අදාළ වේ. එම නිසා ඊට අදාළ අවශ්‍ය තරම් ප්‍රතිපාදන තිබේ.

ව්‍යවස්ථාවෙන් පැවරුණු වගකීම් ඉටුනොකර සිටින්නට රනිල්ට බෑ !

ජනාධිපතිවරයා මතුකරන තවත් අලුත් කතාවක් වන්නේ ඔහු මැතිවරණ අපේක්ෂකයෙකු වන නිසා මීට මැදිහත් වුණොත් ඡන්ද පෙත්සමක් පැමිණීමට ඉඩ ඇති බවයි. වැදගත්ම කාරණය වන්නේ ඡන්ද පෙත්සම් පැමිණීමට නම් ඡන්දය ජයග්‍රහණය කළ යුතු වීමයි. ඡන්ද පෙත්සමක් ගොනුකළ හැක්කේ ජයග්‍රහණය කළොත් පමණි. ඒ නිසා දැන් ම ඒ ගැන කරදර විය යුතු නැත.
ඊළඟ කාරණය වන්නේ ජනාධිපතිවරයා විසින් තමන්ට ඒ ධුරයට අදාළ ව පැවරුණු කාර්යයන් ඉටු කළ නොහැකි යැයි පවසන්නේ නම, ඔහු ධුරයෙන් ඉවත් වී කළ හැකි අයෙකුට එය බාරදිය යුතුය. එය සිදුවිය යුත්තේ කෙසේද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දැක්වේ.

වැඩ බලන පොලිස්පතිවරයකු පත්කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි. එය ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරුණු වගකීමකි. ඒ වගකීමෙන් ඔහුට මිදිය නොහැකිය. යම් හෙයකින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට හෝ කොමසාරිස්වරයකුට මැතිවරණ කාලය තුළ කාර්යයන් කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් ඇති වුවහොත්, ‘මම අපේක්ෂකයෙක්, මට අලුතින් කෙනෙක් පත්කරන්න බෑ’ යනුවෙන් පැවසීමට ජනාධිපතිවරයාට නොහැකිය. ජනාධිපති ධුරය දරන කාලයේදී නීතියෙන් ඔහුට පැවරී ඇති දේ ඔහු ඉටුකළ යුතුය. එසේ කළ නොහැකි නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව තාවකාලිකව හෝ ඉවත් වී වැඩ බලන ජනාධිපතිවරයෙක් පත්කළ යුතුය.

අධිකරණ නියෝගවලට එකඟ නොවුණත් අවනත විය යුතුයි !

රටේ පුරවැසියන් පැහැදිලිව තේරුම්ගත යුත්තේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය එකිනෙකාට ගරු කළ යුතු බවයි. ඒ ගරු කිරීමේ එක කොටසකි, අධිකරණ නියෝගවලට අවනත වීම. ඇතැම් නියෝගවලට එකඟ නොවුණත් අවනත විය යුතුය. ලෝකයේ ඕනෑම රටක නීතියේ පාලනය ආරක්ෂා වන්නේ එසේ ය.

(දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ බලතල ක්‍රියාත්මක කිරීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් අතුරු තහනම් නියෝගය අර්බුදයක් දක්වා ගෙනයෑමේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උත්සාහය සම්බන්ධයෙන් නීතිඥ සාමූහිකය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පළකළ අදහස් ඇසුරින් මේ ලිපිය සකස් කර ඇත.)

සකස් කළේ :

ශාලික විමලසේන

ඡායාරූපය :

Reuters / Dinuka Liyanawatte / 2018 Nov. 03

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...