ග්‍රාස්, මාකේස් සහ සල්මාන් රූෂ්ඩිගේ එකතුවෙන් බිහි වූ සාහිත පුත්‍රයා ‘එකා කුර්නියාවන්’ (Eka Kurniawan)

Share post:

වරෙක “නිව් යෝර්ක් රිවීව් ඔෆ් බුක්ස්” සඟරාව ඔහු හැඳින්වූයේ ගන්තර් ග්‍රාස්, ගාබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් සහ සල්මාන් රූෂ්ඩිගේ එකතුවෙන් බිහි වූ සාහිත පුත්‍රයෙකු ලෙස යි. 2016 වසරේ දී මෑන් බුකර් ජාත්‍යාන්තර සම්මානය සඳහා දිගු ලැයිස්තුගත වූ නමක් වන එකා කුර්නියාවන් උපන්නේ 1975 වසරේ දී ඉන්දුනීසියාවේ තසික්මලයා හී දී ය. නවකතා, කෙටිකතා, පද්‍ය සහ චිත්‍රපට තිරපිටපත් රචකයෙකු ද වන ඒකා දර්ශනවාදය පිළිබඳ උපාධිධරයෙකු වන අතර භාෂා තිස් පහකට පරිවර්තනය වී ඇති ඔහුගේ නවකතා අතරින් මායා යතාර්ථවාදී ෂානරයට අයත් Beauty is a Wound කෘතිය ජාත්‍යන්තර වශයෙන් බොහෝ පැසසුම් ලැබූ අග්‍රගණ්‍ය නිර්මාණයක් වේ.

සාහිත්‍යය විෂයෙන් ඉන්දුනීසියාව මෙතෙක් ලබා නොමැති ඉහළ ම ගෞරවය එකා කුර්නියාවන් නුදුරු අනාගතයක දී ඉන්දුනීසියාවට ලබා දෙනු ඇතැයි බොහෝ ජාත්‍යන්තර විචාරයකයෝ බලාපොරොත්තු තබා සිටිති.

එකා කුර්නියාවන් ගේ සියලුම නවකතා සඳහා නිල සිංහල පරිවර්තන අයිතිය ත්‍රිමාණ ප්‍රකාශන පෞද්ගලික සමාගම සතු ය.

“මර බයක් නැතුව ගහගන්නෙ නගින්නැති උන් විතරයි,” ඉවන් අන්ග්සා අජෝ කවීර් ගැන වරක් කීවේ එසේ ය. ඔහු, අජෝ කවීර් ගේ ශිෂ්ණය ප්‍රාණවත් නොවන බව දැන හුන් අතලොස්සෙන් කෙනෙක් වූයේ ය. කුසගින්නෙන් පෙළෙන අලුත උපන් කුරුලු පැටවෙකු සේ එය සීතලෙන් වකුටු වී සැනසිල්ලේ හිඳින අයුරු ඔහු දැක තිබුණි. සමහර අවස්ථාවල උදෑසන කාලයන් හි, එහි හිමිකරු අවදිවන විට, මුත්‍රාවලින් පිරී තිබෙන එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා දිගට පෙනුණ ද, එය මුදුනට ම නැඟෙන්නේ හෝ දැඩි වූයේ නැත.

අජෝ කවීර්, නිරුවතින් සිය සයනයෙ හි ගැට්ට ට වී හිඳගෙන සිටියේ ය. ඔහු සිය හිස පහළට හරවාගෙන තමන්ගේ රහසඟ පෙදෙස වෙතට බැල්මක් හෙලමින්, මහා කම්මැලිකමකින් මෙන් සදාකාලික නිදි සුව විඳින ඒ පුරුෂ ලිංගයට අවධානය යොමු කරගෙන සිටියේ ය. ‘නැගිටහන් කුරුල්ලෝ! නැගිටපන් කාලකණ්ණියෝ! උඹට සදහට ම නිදාගෙන ඉන්න බෑ. උඹට නැගිටින්න ම වෙනවා,’ ඔහු එයට මුමුණන්නට විය. එහෙත් ඒ අවලං කුරුල්ලා හට නැඟිටින්නට කිසි ම වුවමනාවක් නොතිබුණේ ය.

ඔහු ඒ කෙල්ල ගැන, එ නම් ඉටුන්ග් ගැන, සිතන්නට වූයේ ය.

‘උඹට නැගිටින්න ම වෙනවා.’ ඔහු නැවතත් මුමුණන්නට වූයේ ය. ‘එයා වෙනුවෙන් නැගිටින්න වෙනවා. ඒ කෙල්ලට උඹව ඕනෙ. ඒ කෙල්ල කැමතියි උඹ ඉස්සර හිටපු විදිහට නැගිටලා, ලොකුවෙලා, පණගහලා එනව නං. අපතයො, නැගිටහන්! මගෙ රතු කට්ට පැනලා තියෙන්නෙ. උඹ නැඟිටින්න ඕනෙ, මේ දැන් ම!’

එහෙත් කුරුල්ලා සිතා සිටියේ තමන් ඉතා දිගු, කර්කශ ශීත ඍතුවක් ශිශිර නිද්‍රාවේ පිහිටෙන් මඟහරින හිම වලසෙකු කියා ය. ඌ, තම හාම්පුතා කිසි දිනෙක දැක නොතිබූ හිම පියලි මුදු ව කඩා හැලෙන’යුරු සිහිනයෙන් දකිමිනි සිටියේ.

අජෝ කවීර් නාන කාමරයට වැදුණේ ය. ඔහු, පැරණි හරස්පද ප්‍රහේළිකා සඟරාවකින් ඉරාගත් පිටුවක් බිත්තියේ රැඳවී ය. එහි වූයේ එක්තරා ගායිකාවක ගේ පින්තූරයකි. ඔහු ඇගේ නම නොදැන සිටිය ද ඇගේ මුහුණ ඔහුට රුචි වූයේ ය; ඇගේ ගත ඊටත් වඩා ඔහුට රුචි වූයේ ය. ඇය ‘ලෝ කට්’ බිකිනියකින් සැරසී හුන්නා ය. ඇගේ පියොවුරු පිම්බී තිබුණේ හරියට ඒවා සිරුරෙන් ගැලවී පුපුරා යන්නට ඔන්න මෙන්න ඇතුවාක් මෙනි; නමුත් ඒ සියල්ලට ම වඩා ඔහුට ප්‍රිය වූයේ කළුපැහැයෙන් ඝන ව ඇගේ කිහිලිවල වැවී තිබූ රෝම ගහන යි. එහි කුමන ආකාරයක සුගන්ධයක් කැටිව තිබිය හැකි දැයි ඔහු සිතන්නට විය.

Vengeance is mine; All others pay cash
Eka Kurniyawan

පරිවර්තනය: කාව්‍ය තත්සර

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...