Home Blog Page 7

වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා කාණ්ඩයේ රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මාන දිනයි !

වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International සංවිධානය කළ BWIO සම්මාන ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය හා ඒ ආශ්‍රිත සේවා අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. පසුගියදා ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උළෙලේදී රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම නියෝජනය කරමින් නේවාසික කළමනාකරුවන් වන විජිතා කාරියවසම් මහත්මිය සහ මොහොමඩ් අර්ෂත් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

මීට පෙරද රෝයල් නර්සින් හෝම් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රැසක් දිනා ඇති අතර මෙම වසරේදී පමණක් සම්මාන හතරක් ලැබීම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ විශිෂ්ටත්වය, කැපවීම, පාරිභෝගික විශ්වාසය, ගුණාත්මකභාවය හා වෙ‌ළෙඳපොළ නායකත්වය හොඳින් පෙන්නුම් කරයි. 2007දී සීමිත සේවකයන් පිරිසකගෙන් ඇරැඹූ රෝයල් නර්සින් හෝම් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විශාලම හෙද සත්කාර සේවා සපයන්නා වේ. මහරගම, ගල්කිස්ස, කඩුවෙල, හංවැල්ල යන ප්‍රදේශවල මෙන්ම එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේද සුඛෝපභෝගී සත්කාරක සේවා මධ්‍යස්ථාන පවත්වා ගෙන යන රෝයල් නර්සින් හෝම් එහි ආරම්භක සභාපති මනුජ හේවාවසම් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන අතර වෛද්‍යවරු, හෙද පාලිකාවෝ, හෙදියෝ සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයෝ 1600කට වැඩි පිරිසක් එහි සේවය කරති. නවීන පහසුකම්වලින් සපිරි රෝයල් නර්සින් හෝම් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සපයයි. ශ්‍රී ලංකා පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ අනුමැතිය ලැබූ රෝයල් නර්සින් හෝම් ISO 9001-2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබූ මෙරට ප්‍රථම සහ එකම වැඩිහිටි රැකවරණ සේවා මධ්‍යස්ථානය වේ.

BWIO සම්මානයෙන් Tree House International පිදුම් ලබයි !

දෙහිවල පිහිටි Tree House International වසරේ විශිෂ්ටම හා සාක්ෂි මත පදනම් වූ විශේෂ අවශ්‍යතා ජාත්‍යන්තර පාසල ලෙස BWIO සම්මාන ලැබුවේය. ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන් වූ එකම ජාත්‍යන්තර පාසල වන එහි අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් 75%ක් පමණ විදේශ රටවල සිට මෙරටට පැමිණ ඇත. උසස් ප්‍රමිතියේ සහ ප්‍රතිපල මත පදනම් වූ අධ්‍යාපනයක් ලැබිය හැකි වීම ඊට හේතුවයි. පසුගිය වාරයේදී එහි අධ්‍යාපනය ලැබූ සිසුන්ගෙන් 100%ක්ම ප්‍රධාන ධාරාවේ අධ්‍යාපන අවස්ථා හෝ වෘත්තීය පුහුණු අවස්ථා සඳහා යොමු විය.

වසර 20කට වැඩි ගෝලීය අත්දැකීම් සහිත වරලත් චර්යාත්මක මනෝ විද්‍යාඥයෙකු වන ආචාර්ය ඇන්ටන් ජේම්ස් විසින් මෙම පාසල මෙහෙයවනු ලබයි. ඔහු හඳුන්වා දී ඇති සාක්ෂි පදනම් කර ගත් ක්‍රමවේදය බ්‍රිතාන්‍ය මනෝ විද්‍යා සංගමය පිරිනමන ඉහළම ගෞරවයද ලබා ඇත. ඔහු වරලත් විද්‍යාඥයෙකු ලෙසද තේරී පත් වී ඇත. විශේෂ අවශ්‍යතා පිළිබඳ වසර 15කට වැඩි අත්දැකීම් සහිත විශේෂඥයෙකු වන ක්‍රිස්ටල් හොන්සේකර් පාසලේ සම අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. GCSE සඳහා විකල්පයක් ලෙස පිළිගත් බ්‍රිතාන්‍ය විෂය නිර්දේශයක් යටතේ ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.

BWIO රන් සම්මානයෙන් EKRO Lanka Trading පිදුම් ලබයි !

EKRO Lanka Trading පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග අංශයේ ප්‍රමුඛතම ආනයනකරු හා බෙදා හරින්නා ලෙස රන් සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. එහිදී කළමනාකරණ අධ්‍යක්ෂ සුරන්ජිත් කපිල මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුරුණෑගල පිහිටි EKRO Lanka Trading සමාගම පසුගිය දශකය තුළ උසස් තත්ත්වයේ අත් මෙවලම්, විදුලි මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග ආනයනය කරන හා බෙදා හරින සමාගමක් ලෙස විශ්වාසනීය නමක් දිනා තිබේ. එම සමාගම කෘෂිකර්ම, ඉදි කිරීම්, ආහාර නිෂ්පාදන වැනි කර්මාන්ත සහ ගෘහ අවශ්‍යතා සඳහා අවශ්‍ය නිෂ්පාදන රැසක් චීනයෙන් සහ වියට්නාමයෙන් සෘජුව ආනයනය කරයි.

ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදන සහ සේවා පාරිභෝගිකයන්ට සැපැයීම පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන EKRO Lanka Trading සමාගම සෑම නිෂ්පාදනයකම උසස් ප්‍රමිතිය සහතික කරන අතර සියලුම මෙවලම් සහ යන්ත්‍රෝපකරණ සඳහා අලෙවියෙන් පසු සේවා සපයයි. ගොවීන්, කොන්ත්‍රාත්කරුවන්, අනෙකුත් කර්මාන්තකරුවන් සඳහා අවශ්‍ය සියලුම මෙවලම් සහ යන්ත්‍රෝපකරණ එම ආයතනයෙන් මෙන්ම www.ekrolanka.com වෙබ් අඩවිය ඔස්සේද මිල දී ගත හැකිය. පළපුරුදු කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන මෙවලම් සහ යන්ත්‍රෝපකරණ තෝරා ගැනීමට ඔවුන්ට සහාය වේ. ඒවා භාවිත කරන ආකාරය සහ භාවිතයේදී ඇති වන ගැටලු විසඳා ගන්නා ආකාරය පිළිබඳවද ඔවුහු පාරිභෝගික ප්‍රජාව දැනුවත් කරති. රට පුරා විහිදුණු බෙදා හැරීමේ ජාලයක් සහිත EKRO Lanka Trading සමාගම රට පුරා ජනතා විශ්වාසය දිනා ඇත. දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇති එම සමාගම ඉදිරියේදී සිය නිෂ්පාදන පරාසය පුළුල් කිරීමට කටයුතු යොදා තිබේ.

ttps://www.facebook.com/share/18czZnAPLR/ ඔස්සේ ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට පිවිසිය හැකිය.

හොරකම් කළ සල්ලි අයකරගැනීමේ ආණ්ඩුවේ මෙහෙයුමේ පළමු පිම්ම !

ආණ්ඩුව මූලික පියවරක් තබා තිබේ. ඒ, අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සම්මත කිරීමෙනි. මේ පනතේ අරමුණ කෙටුම්පතේ මෙසේ දැක්වේ. ‘අපරාධයකින් උත්පාදිත දේ ආපසු ලබාගැනීම සඳහා විධිවිධාන සැලැස්වීමට ද, අපරාධයකින් උත්පාදිත දේ විමර්ශනය කිරීම, තහනම් කිරීම, රජය සතු කිරීම සහ බැහැර කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, තහනමට ගන්නා ලද අපරාධයකින් උත්පාදිත දේ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ද, අපරාධයකින් උත්පාදිත දේ කළමනාකරණ අධිකාරිය පිහිටුවීම සඳහා ද, අපරාධයකින් උත්පාදිත දේ අයකර ගැනීමට අදාළ ව අන්තර් නියෝජ්‍යායතන සහයෝගිතාව සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද, සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.’

ඒ අනුව කතාව පැහැදිලි ය. ජාත්‍යන්තර සංවිධාන සහ ජාත්‍යන්තර නීති සමග ද ඒකාබද්ධ වී ගමනක් යෑමට ආණ්ඩුව සූදානම් වී සිටී. පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් 50කට වැඩි පිරිසක පවතින නීති ලංකාව විසින් පිළිගැනීමට ගත් තීන්දුව ද ඊට සමපාත ය. ඒ ගැන පනතේ පූර්විකාවේ තවදුරටත් මෙසේ ද පැහැදිලි කර තිබේ.

‘නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් බරපතළ ප්‍රතිවිපාක සහ ඇතැම් අවස්ථාවලදී මූල්‍යමය සහ වෙනත් අලාභ සහ එම නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල වින්දිතයන්ට, මහජනතාවට සහ රජයට දේපොළ අයිතිවාසිකම් භුක්තිවිඳීම අහිමි වීම සිදු වන හෙයින් ද,

නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කරන තැනැත්තන්ට එම නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලින් උත්පාදිත දේ භුක්තිවිඳීම සහ එයින් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා කිසිදු නෛතික අයිතියක් හෝ වෙනත් කිසිදු හිමිකමක් හිමි නොවන හෙයින් ද සහ එවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් මගින් උත්පාදිත දේ සඳහා හිමිකාරිත්ව අයිතිවාසිකම් ලැබෙන හෝ උපචිත වන තැනැත්තන් වෙත ද එවැනි දේපොළ සඳහා කිසිදු නෛතික අයිතියක් නොලැබෙන හෙයින් ද…’

මෙසේ එහි පූර්විකාවේ පැහැදිලිව සඳහන් වන්නේ මේ දේපොළ සමස්ත ජනතාව වෙනුවෙන් ලබාගැනීමේ හෝ එවැනි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමේ වැදගත්කමයි. එසේ ම මෙහි තවත් තැනක මෙසේ දැක්වේ.

‘එම නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කරන්නන් විසින් ඒ නීතිවිරෝධී ක්‍රියාකාරකම් මගින් උත්පාදිත දෙයින් ප්‍රතිලාභ ලබාගැනීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සහ එසේ පඅරාධයක් මගින් උත්පාදිත දෙයින් ප්‍රතිලාභ ලැබීමට අන්‍යාකාරයෙන් හිමිකම් ලබන තැනැත්තන් වෙත ඒ දේ ආපසු ලබාදීම රජයේ වගකීම වන හෙයින් ද…’

මුදල් අමාත්‍යංශයේ 2023 වාර්ෂික වාර්තාවේ දැක්වෙන ආකාරයට රජයේ මුදල් රුපියල් බිලියන 22කට සිදු වූ දෙයක් නැත. අඩු තරමේ ඒ මුදලින් කළ දෙයක් තිබිය යුතුය. නිවසකට පුටුවක් මිලදීගත හොත් කැඩුණු පුටු කකුලක් හෝ පෙන්වන්නට තිබිය යුතුය. එහෙත් මෙතරම් විශාල මුදලකින් කළ කිසිවක් ජාතික විගණන කාර්යාලයට ලැබී නැත. ඔවුන් ඒ පිළිබඳ විමර්ශන කළ ද, එම මුදලට කළ දෙයක් සොයාගත හැකි වී නැත. මෙවැනි උදාහරණ කොතෙක් ද යන්න ලංකාවේ ජනතාවට නම් අමුතුවෙන් කිව යුතු නැත.

මේ පනතේ ඇති තවත් වැදගත් කරුණක් වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශන අංශ මගින් කළ ඉල්ලීමක් පිළිබඳව මෙහිදී අවධානය යොමුකර තිබීමයි.

‘අල්ලස් හා දූෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම සහ වෙනත් සංවිධානාත්මක සහ මූල්‍ය අපරාධ ඇතුළු නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධ විමර්ශන සඳහා පහසුකම් සැලැස්වීම.’

බොහෝ අවස්ථාවලදී රටින් පිට කළ වත්කම් පිළිබඳව මතු වූ ගැටලු‍, අල්ලස් නඩුවලදී මතු වූ ගැටලු‍ ආදිය නිසා මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වීම ප්‍රමාද වූ අවස්ථා බොහෝ ය. මේ නිසා පොළොන්නරුවේ ළමා මන්දපෝෂණය වැඩිවීමටත්, ගර්භණී කාන්තාවන්ගේ නීරක්තිය වැඩිවීමටත් විසඳුම් සෙවීමට තිබූ මුදල් නැති වී තිබේ. එසේ ම මේ විමර්ශන සඳහා විශේෂ උසස් විමර්ශන ක්‍රමවේද බලාත්මක කිරීමේ සහ පිළිගැනීමේ වැදගත්කම ද මේ පනතේ සඳහන් ව තිබේ. 

තවත් වැදගත් කරුණක් එහි මෙසේ දැක්වේ.

‘දේශීය නීතිය බලාත්මක කිරීමේ සහ පරිපාලන අධිකාරීන් අතර සහයෝගිතාව සඳහා අවශ්‍ය විධිවිධාන සැලැස්වීම.’

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලදී ද අනාවරණය වූ කරුණක් වූයේ රජයේ විමර්ශන අංශ අතර මෙන්ම විමර්ශන අංශ සහ පරිපාලන අංශ අතර ද නිශ්චිත බැඳීමක් සහ සහයෝගිතාවක් නොමැති වීම එම ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳ කටයුතු කිරීමේදී බාධාවක් වූ බවයි. එය ද වැලැක්වීමට අවශ්‍ය පියවර යම් තරමකට මේ පනතින් ඉදිරිපත් කර ඇත. 

මේ නිසා අපරාධයකින් උත්පාදිත දේ නැවත ජනතාවගේ යහපත වෙනුවෙන් යෙදවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ආරම්භක පියවර මේ පනත මගින් තබා තිබෙන බව පෙනේ. කෙසේ වෙතත් අවශ්‍ය වන්නේ ඉදිරියට එම කටයුතු පිළිවෙලකට සිදු වීම ය. ජනතාවට විශ්වාසයක් ඇතිවන්නේත්, ජනතාව එම කටයුතු සඳහා සහයෝගය ලබාදෙන්නේත් එවිට ය. ආණ්ඩුවක පැවැත්මට වැදගත් ම දේ ජනතා සහයෝගයයි.

රෝම අධිරාජ්‍යයේ අධිරාජයා වූ සීසර්ගේ බිරිඳ පොම්පෙයාගේ කතාව එන්නේ ක්‍රිස්තු පූර්ව 67 කතාවක් ලෙස ය. සීසර්ගේ බිරිඳ පොම්පෙයා පිළිබඳ යම් සැකයක් ගැන කටකතාවක් පැතිරිණි. කිසිදු සාක්ෂියක් නැති වුවද, විචිකිච්ඡාවක් විය. මේ විචිකිච්ඡාව හේතුවෙන් පමණක් සීසර් ඇය තමන්ගේ බිරිඳ තනතුරෙන් ඉවත් කළේය. 

පසුගිය කාලයේ නීති ක්ෂේත්‍රයේ වැඩියෙන්ම කතා වූ මාතෘකා අතර මේ මේ සීසර්ගේ බිරිඳගේ කතාව ද තිබිණි. ඊට හේතු වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනි විනිසුරුවරයා වන ප්‍රීති පද්මන් සූරසේන ලියූ තීන්දුවක 20 වැනි පිටුවයි. එහි දැක්වුණේ විනිසුරුවරුන් සීසර්ගේ බිරිඳටත් වඩා සැකයක්, විචිකිච්ඡාවක් ඇති නොවන පරිදි කටයුතු කළ යුතු බවකි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය දෙවරක්ම එම සභාවෙන් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ය, මෙසේ ලබාදී තිබුණේ. 

ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ රෝමයේ ජීවත් වූ ප්‍රකට කවි ජුවෙනාල්ගේ ලතින් කවියක කොටසක් ද මේ තීන්දුවේ ඇත. එහි සරල අදහස වන්නේ ආරක්ෂකයන් තමන් විසින් ම ආරක්ෂා විය යුතු බවත්, ආරක්ෂකයන් ආරක්ෂා කිරීමට කිසිවකු නැති බවත් ය. මෙය විනිසුරුවරුන්ට පමණක් නොව, සියල්ලන්ට අදාළ කතාවකි. අල්ලස් කොමිසමටත් අදාළ ය. ජාතික ජන බලවේග ආණ්ඩුවටත් අදාළ ය. දේශපාලනඥයන් සියල්ලටත් අදාළ ය.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සම්බන්ධයෙන් වන මේ ලිපිය අවසන් කරන්නට මේ කොටස යොදාගත්තේ හේතු කිහිපයක් නිසා ය. එක් පැත්තකින් මේ පනතට බය වී ඇත්තේ සීසර්ගේ බිරිඳට වගේ කතාවක් කෙසේ වෙතත් කරපු දේ ද ඇති පිරිස ය. අනෙක් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වන පරිදි මේ අපරාධවලින් දේපොළ උත්පාදනය කළ පිරිස් සිතා සිටියේ තමන්ට ජීවිත කාලයට ම රැකවරණයක් ඇති බවටයි. එහෙත් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සම්මත වූ මේ පනත නිවැරදිව ක්‍රියාත්මක වුවහොත් ඔවුන්ට ගැලවිය නොහැකිය.

මැතිවරණවල ආදායම් – වියදම් පනතට අනුව ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් කළ තොරතුරු සැකයට භාජනය වී ඇත. රනිල් වික්‍රමසිංහ විසින් බාරදී ඇති ඔහුගේ මැතිවරණ ආදායම්-වියදම් ලේඛනයේ ඇත්තේ පිටු දෙකකි. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළවත් එසේ ය. තවත් පැත්තකින් ඉවත් කරගත් අල්ලස් නඩු පිළිබඳව ද සංවාදයක් මතු වී තිබේ. ඇතැම් නඩු ඉවත් කරගෙන ඇත්තේ නැවත පැවරිය නොහැකි ලෙස ය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ඒ සම්බන්ධයෙන් අලු‍තින් වැඩ ගොඩක් ආරම්භ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක බැංකුව සමග නිල නොවන සාකච්ඡා වටයක් ජාතික ජන බලවේගය පැවැත්වූයේ ඡන්දයටත් පෙර ය. මේ එකදු සාකච්ඡාවක හෝ ඉලක්කය වී තිබුණේ සෘජු ව ආර්ථිකය ගොඩගැනීමක් නොවේ. අපරාධවලින් උත්පාදිත දේපොළ නැවත රටට ලබාගන්නේ කෙසේද යන්න මේ සාකච්ඡාවල ඉලක්කය වී තිබිණි. එය පිළිවෙලකට කියන්නේ නම් සොරකම් කරන ලද වත්කම් නැවත අයකර ගැනීමට මුල පිරීම මේ සාකච්ඡාවලදී සිදු වී ඇත. දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියෙන් මෙහිදී වැඩ ගොඩක් ගත හැකිය. ලෝකයේ රටවල්වලින් අති බහුතරයක් අත්සන් කර ඇති එම සම්මුතියේ මූලික ම අරමුණක් වන්නේ වත්කම් ප්‍රතිසාධනය කිරීමයි. ඒ කියන්නේ වත්කම් නැවත අයකරගැනීම සහ දූෂණය වැලැක්වීමයි. මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බලකාය ද මෙහිදී වැදගත් එකකි.

මේ බලකාය ආරම්භ කරන ලද්දේ 1989 වසරේදී ය. ජී-7 රටවල දූෂණය වැලැක්වීම මේ බලකාය ආරම්භයේ ඉලක්කය විය. පසුව යුරෝපා කොමිසම සමග ද එය සම්බන්ධ විය. ඉන්පසු සාමාජික රටවල් විවෘත ආර්ථික සම්මුතියට අත්සන් කරන ලදි. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ කළු සල්ලි ගනුදෙනු, ඒ සඳහා භාවිත කරන තාක්ෂණික ක්‍රම, ඒවා පාලනය කරන්නේ කෙසේද, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා දැනුම හුවමාරු කරගන්නා ආකාරය යනාදී වශයෙන් වගකීම් රැසක් මේ බලකාය දරයි. 2001 වසරේ සිට ඔවුහු ත්‍රස්තවාදීන්ට අරමුදල සපයන ආකාර සහ ක්‍රම සම්බන්ධයෙන් ද ගවේෂණය කරති. මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය, ලෝක බැංකුව යටතේ ඇති සොරකම් කරන ලද වත්කම් නැවත ලබාගැනීම සඳහා මුලපිරීමේ අංශය සමග ද කටයුතු කිරීම ආණ්ඩුව ආරම්භ කර තිබේ.

නැවතත් කිව යුතුය. ආරම්භය තැබීම වැදගත් ය. එහෙත් ඒ ගමන යා යුත්තේ ජනතාව තුළ විශ්වාසය තහවුරු වන ආකාරයට ය.

  • ශාලික විමලසේන

පාස්කු විමර්ශකයන් ‘ජමීල්’ අමතක කළේ ඇයි?

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වසර 06ක් වුවද, ඊට අදාළ ව යුක්තිය ඉෂ්ඨ කිරීම සඳහා තවදුරටත් විමර්ශනය කළ යුතු පැති ගණනාවක් තිබේ. ඒ අතර ජමීල් පිළිබඳ විමර්ශනය ප්‍රධාන වේ. ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා ගැනීමට උත්සාහ කොට, ඉන්පසු දෙහිවල ට්‍රොපිකල් ඉන් හිදී බෝම්බය පුපුරුවා ගත්තේ අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් ය. ජමීල් සම්බන්ධයෙන් බුද්ධි අංශ අවධානය යොමු වී ඇත්තේ 2015 වසරේ සිට බව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේදී හෙළිදරව් විය. මෙම ප්‍රහාරයට පෙර ජමීල් සම්බන්ධයෙන් සොයාබැලීම/පරීක්ෂණ පැවැත්වීම/ආවේක්ෂණය කිරීම දැනට වාර්තා වී ඇති පරිදි රාජ්‍ය බුද්ධි සේවය, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය සහ ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය යන ආයතනවලින් සිදු කර තිබේ. ජමීල් සම්බන්ධයෙන් දැනට හෙළිදරව් වී ඇති පරිදි ඉහත ආයතන/ අංශ තුන මගින් සොයාබැලීම් කළ ද, මෙම ප්‍රහාරය ගැන පූර්ව අනතුරු ඇඟවීම් ඔහු හරහා ලබාගැනීමට හෝ ප්‍රහාරය වලක්වාගැනීමට අපොහොසත් විය. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී ද, විජිත් මලල්ගොඩ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ ජනාධිපති කමිටුවේදී ද, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ද හෙළිදරව් වූ කරුණු සහ වෙනත් මූලාශ්‍රවලින් සොයාගැනීමට හැකිවූ තොරතුරු අනුව ජමීල්ට අදාළ ව පහත සඳහන් කරුණු ගැන වැඩිදුර විමර්ශනය සිදු කළ යුතු ව තිබේ. 

01. සෑම දිනක ම උදෑසන 7ත් 8ත් අතර, ඊට පෙර දින රාත්‍රී 12 වන විට හෝටලයට පැමිණි පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් රාජ්‍ය බුද්ධි සේවයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට යැවීම සාමාන්‍ය පුරුද්දක් බව ටාජ් සමුද්‍රා හෝටලයේ ආරක්ෂක කළමනාකරු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. 2019 අප්‍රේල් 20 වැනිදා සවස ජමීල් පැමිණ ටාජ් සමුද්‍රා හෝටලයේ කාමරයක් වෙන්කර ගත්තේය. 2019 අප්‍රේල් 20 වැනිදා රාත්‍රී 12 වන විට කාමර වෙන් කරවා ගත් ලැයිස්තුව ඔහු විසින් 21 වැනිදා උදෑසන ම අදාළ අංශ වෙත යොමු කර තිබේ. ඒ අනුව මෙම ලැයිස්තුවේ තමන් විසින් තොරතුරු රැස්කරමින් සිටින පුද්ගලයකු වන ජමීල්ගේ නම තිබෙනු රාජ්‍ය බුද්ධි සේවය උදෑසනම හඳුනාගත්තේ ද සහ එලෙස හඳුනාගත්තේ නම් ඊට අදාළ ව ගත් පියවර කුමක්ද යන්න ගැන විමර්ශනය කළ යුතුව තිබේ.

02. හෝටලයේ කාමර වෙන්කර ගන්නා සියලුමදෙනාගේ ජාතික හැඳුනුම්පත් අංක හෝටල් දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්යයෙන් සිදුකරන බව හෝටලයේ ආරක්ෂක කළමනාකරු ජනාධිපති කොමිසමේ දී ප්‍රකාශ කළේය. එහෙත් ජමීල්ගේ ජාතික හැඳුනුම්පත් අංකය එම පද්ධතියේ නොමැති බව පසුව අනාවරණය විය. ජමීල්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර නැද්ද, නැත්නම් ඇතුළත් කිරීමෙන් පසු කිසිවකු විසින් මකා දමා ඇද්ද යන්න ගැනත්, ජාතික හැඳුනුම්පත් අංකය මුල් අවස්ථාවේ ම ඇතුළත් කර නැත්නම්, එය අතපසුවීමකින් සිදුවූවක් ද, නැත්නම් කිසිවකුගේ දැනුම්දීම මත හෝ බලපෑමක් මත සිදුවූවක් ද යන්න ගැනත්, දත්ත පද්ධතියට ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර පසුව ඉවත් කර ඇත්නම් එය කවුරුන් විසින් කුමන හේතුවක් නිසා සිදුකරන ලද්දක් ද යන්න ගැනත් විමර්ශනය කළ යුතුව තිබේ.

03. 2019 අප්‍රේල් 20 වැනිදා ටාජ් සමුද්‍රා හෝටලයට ජමීල් පැමිණීමට පෙර 2019 අප්‍රේල් 17 වැනිදා සැකකටයුතු පුද්ගලයකු හෝටලයට පැමිණි බවට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී කරුණු ඉදිරිපත් විය. දහවල් 1.45ට පැමිණි ඔහු ඉන්ෆාස් බව පසුව හඳුනාගැනිණි. ඒ අනුව අප්‍රේල් 17 වැනිදා ඉන්ෆාස් පැමිණීමට අමතරව තවත් සැකකටයුතු පුද්ගලයන් මෙම ප්‍රහාරයට පෙර සහ පසුව හෝටලයට පැමිණියේ ද යන්න ගැන නිසි විමර්ශනයක් වී නොමැති බැවින් ඒ ගැන තවදුරටත් විමර්ශනය කළ යුතුය.

04. 2019 අප්‍රේල් 20 වැනිදා සවස 4.17ට පමණ කාමරය වෙන්කරගෙන හෝටල් කාමරයට ගොස් යළි හෝටලයෙන් පිටත්වී ගොස් ඇති ජමීල්, නැවත පැමිණ ඇත්තේ 2019 අප්‍රේල් මස 21 වැනිදා උදෑසන ය. උදෑසන පැමිණි ඔහු කාමරය අසලට ගොස් නැවත පැමිණ කාමරය විවෘත කිරීමට අලුත් කාඩ්පතක් ඉල්ලා ඇති බව ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. ඔහුට මුල් අවස්ථාවේ නිකුත් කළ කාඩ්පතට කුමක් සිදුවීද යන්න ගැන වැඩිදුර විමර්ශනයක් සිදුවී නැත. ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් ද විමර්ශනය කළ යුතුව තිබේ.

05. 2019 අප්‍රේල් 21 වැනිදා උදෑසන ටාජ් සමුද්‍රා හෝටලයට ජමීල් යළි පැමිණ (බෝම්බය පුපුරා නොයෑම නිසා හෝ වෙනත් කරුණක් මත) ඔහු හෝටලයෙන් පිටත්වීමට මොහොතකට පෙර,  එනම් උදෑසන 8.51ත් 8.54ත් අතර ජමීල්ට දුරකතන ඇමතුම් ආ බව සීසීටීවී කැමරාවල සටහන් විය. ජමීල්ට එලෙස ඇමතුම් ලබා දුන් පුද්ගලයා කවුරුන්ද යන්න ගැන මෙතෙක් අනාවරණය කරගෙන නැති බැවින් ඒ ගැන විමර්ශනය කළ යුතුය.

06. තමන් හිජ්රා යන බව පවසමින් 2019 අප්‍රේල් 20 වැනිදා උදෑසන 8.30ට ජමීල් විසින් ඔහුගේ බිරිඳ ෆාතිමා ෂිෆානා උමර්කාතාට වොයිස් පණිවුඩයක් යවා ඇති බව විමර්ශනවලදී උමර්කාතා ප්‍රකාශ කර තිබිණි. එලෙස යැව්වේ යැයි උමර්කාතා විසින් ප්‍රකාශ කරනු ලැබූ වොයිස් පණිවුඩවල කුඩා ළමයින්ගේ ශබ්ද ඇසෙන බව ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. එම වොයිස් පණිවුඩයේ පසුබිමින් කටහඬ ඇසෙන ළමයින් කවුරුන්ද සහ එම වොයිස් පණිවුඩ පටිගත කළේ කුමන ස්ථානයකදී ද, කුමන දිනයකදී ද යන්න විමර්ශනය කළ යුතුය.

07. එම වොයිස් පණිවුඩය එවූයේ යැයි කියන ජංගම දුරකතන අංකය මකා දැමූ බව ජමීල්ගේ බිරිඳ උමර්කාතා විමර්ශනවලදී ප්‍රකාශ කර තිබේ. එම වොයිස් පණිවුඩය පැමිණියේ ජමීල්ගේ සාමාන්‍ය දුරකතන අංකයෙන් නොවන බව ද ඇය සඳහන් කර තිබේ. ඒ අනුව  මෙම වොයිස් පණිවුඩය එවන ලද්දේ ජමීල් විසින් ම ද, නැත්නම් කලින් පටිගත කළ හඬපටයක් වෙනත් පුද්ගලයකු විසින් එවන ලද්දේ ද යන්න ගැනත්, එලෙස එවන ලද අංකය කුමක්ද යන්න ගැනත් මෙතෙක් විමර්ශන මගින් අනාවරණය කරගෙන නැති බැවින් ඒ ගැන විමර්ශනය කළ යුතුය.

08. 2019 අප්‍රේල් 19 වැනිදා ජමීල් නිවසින් පිටවූ මොහොතට අදාළ ව සීසීටීවීවල සටහන් වූ දර්ශන  2019 අප්‍රේල් 21 සවස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පරීක්ෂා කර ඇති අතර, එම දර්ශන ඇතුළත් ඩීවීආර් යන්ත්‍රය ත්‍රස්ත මර්දන අංශයේ නිලධාරීන් රැගෙන ගොස් තිබිණි. එලෙස රැගෙන යන විට 2019 මාර්තු 31 වැනිදා සිට අප්‍රේල් 21 වැනිදා සවස යන්ත්‍රය ගලවන අවස්ථාව වන තෙක් දර්ශන පටිගත වී තිබී ඇත.  එලෙස රැගෙන ගිය ඩීවීආර් යන්ත්‍රයේ 2019 අප්‍රේල් 19 වැනිදා උදෑසන 8.00 සිට 2019 අප්‍රේල් 21 වැනිදා සවස 2.30 දක්වා වූ වීඩියෝ කොටස පමණක් නොමැති බව ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. නිලධාරීන් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණේ ඩීවීආර් යන්ත්‍රය ගලවාගෙන ගොස් අදාළ විමර්ශන සිදුකරන අවස්ථාවේදී එම වීඩියෝ දර්ශන මැකීයන්නට ඇති බවයි. මුලින් අදාළ දර්ශන තිබී ඇති අතර, පසුව සමස්ත සීසීටීවී දර්ශනවලින් ජමීල් නිවසින් පිටත් වන දිනයේ සිට ටීඅයිඩී නිලධාරීන් යන්ත්‍රය ගලවා ගන්නා අවස්ථාව වන තෙක් කොටස පමණක් මැකී ගියේ කෙසේද යන්න ගැන විමර්ශනය කළ යුතු අතර, එලෙස මැකී ගිය දර්ශන යළි ප්‍රතිශ්ඨාපනය කර එම දර්ශන ආශ්‍රයෙන් ජමීල්ගේ, ජමීල්ගේ නිවසේ සාමාජිකයන්ගේ සහ නිවසට මෙම කාලය තුළ පැමිණි පිරිස ගැන විමර්ශනය කළ යුතුව ඇත.

09. 2019 අප්‍රේල් 20 වැනිදා සවස ටාජ් සමුද්‍රා හෝටලයට ගොස් ඉන් පිටත්වී ඇති ජමීල් ඉන්පසු පානදුර පිහිටි නිවසකට ගොස් ඇති අතර, සවස 7ට පමණ එයින් පිටත් වී ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ ස්පෑම් ටවර් වෙත සවස 7.33ට තවත් දෙදෙනකු සමග ගොස් ඇති බවට කරුණු අනාවරණය වුවද, එලෙස ගිය දෙදෙනා කවුරුන්ද යන්න ගැන විමර්ශන පවත්වා නැත. එසේ හෙයින් ඒ සම්බන්ධයෙන් ද විමර්ශන පැවැත්විය යුතුය.

10. 2019 අප්‍රේල් 21 වැනිදා ජමීල්, එබනිසා පල්ලිය තුළ සිටියදී ඔහුගේ අතේ ජංගම දුරකතනයක් තිබෙනු පල්ලියේ මවුලවිවරයා නිරීක්ෂණය කර තිබිණි. කෙසේ වෙතත් පල්ලියෙන් පිටතට යන ඔහු පරීක්ෂා කරද්දී ජංගම දුරකතනයක් නොතිබූ බව අමීර් නම් පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියා ඔහු පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රකාශ කර තිබේ. එබනිසා පල්ලිය තුළදී ඔහු සතුව තිබූ ජංගම දුරකතනය පල්ලියෙන් පිටතට පැමිණීමේදී නොතිබීමට හේතුව සහ ඔහු සතු වූ ජංගම දුරකතනය කිසියම් පුද්ගලයකු ලබාගෙන ඇද්ද, එසේ ලබාගෙන ඇත්නම් ඒ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුය.

11. ටාජ් සමුද්‍රා හෝටලයේදී ජමීල් අත වූ ජංගම දුරකතනය සහ එබනිසා පල්ලිය තුළ දී ජමීල් සතු වූ ජංගම දුරකතනය එක ම ජංගම දුරකතනය ද යන්න ගැන විමර්ශනය කළ යුතුය.

12. තමන් පල්ලියේ රැඳීසිටින්නේ වෙනත් කෙනෙකු එන තෙක් බවට ජමීල් ප්‍රකාශ කළේ යැයි ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඔහු එලෙස රැඳීසිටියේ කුමන පුද්ගලයකු පැමිණෙන තෙක් ද යන්න විමර්ශනය කළ යුතුය.

13. 2019 අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් සුළු වේලාවකට පසු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා විසින් ජමීල්ගේ නිවස වෙත යුද හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක් යොමු කර ඇතැයි ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. එබනිසා පල්ලිය අසලදී ජමීල් ව පරීක්ෂා කළ පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයාට එලෙස ගිය බුද්ධි නිලධාරීන් දුරකතන ඇමතුමක් ලබාදී හැව්ලොක් බුදු පිළිමයක් අසලට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවත්, ඔහු එහි ගිය ද අදාළ පිරිස නොපැමිණි නිසා ඔවුන් අනතුරක් කිරීමට උත්සාහ කළේද යන්න ගැන සැක මතු වී වහාම වැල්ලවත්ත පොලිසියට ආරක්ෂක නිලධාරියා ගොස් ඇති බවත් ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශනයක් සිදු කර නැති හෙයින් ඒ ගැන විමර්ශනයක් කළ යුතුය.

මේ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට අවංක අවශ්‍යතාවක් ඇත්නම්, මේ කරුණු 13 පිළිබඳව විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය වේ.

  • ශාලික විමලසේන

මෝදිගේ සංචාරයේදී සිදු වූ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ කතාව ඉන්දීය විදේශ ලේකම් කියයි !

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඩොලර් බිලියන 1.4 ක පමණ ණය ප්‍රමාණයක ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කර ඇති බව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්‍රි පවසයි.

නවදිල්ලියේ පැවති ජනමාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික අනිවාර්ය ගිවිසුම් හුවමාරු කරගනිමින් ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අවසන් කර ඇති බවයි.

“ශ්‍රී ලංකාව තිරසාර හා දිගුකාලීන ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතේ ස්ථිරව ගමන් කරන බව සහතික කිරීම සඳහා ප්‍රදාන ආධාර – නැඹුරු ප්‍රවේශයක් සමඟ අපි ශ්‍රී ලංකාව සමඟ ආයෝජන මූලික උපාය මාර්ගයක් අනුගමනය කරමින් සිටිනවා,” ඔහු පැවැසීය.

කොළඹදී පැවති ජනමාධ්‍ය හමුවකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියාසිටියේ පසුගිය මාස 6 තුළ පමණක් ඉන්දියාව ඩොලර් මිලියන 100කට වැඩි ණය, ප්‍රදාන බවට පත්කර ඇති බව සහ ආපසු ගෙවීමේ පොලී අනුපාත අඩුකිරීමට ඉන්දියාව තීරණය කර ඇති බවයි.

2022 වසරේ ආර්ථික අර්බුදයෙන් පසු ඉන්දියාව, ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 4.5 කට ආසන්න මූල්‍ය ආධාර ලබා දී ඇති බව ද විදේශ ලේකම් පැවැසීය.

ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේදී වාණිජ ණයහිමියන් සමඟ ඩොලර් බිලියන 12.5 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කළ අතර, එහිදී පැරණි බැඳුම්කර වෙනුවට නව බැඳුම්කර නිකුත් කළේය.

ශ්‍රී ලංකාවේ නොපියවූ විදේශ ණයවල මුළු වටිනාකම 2024 නොවැම්බර් අවසානය වන විට රුපියල් ට්‍රිලියන 10.6 කි.

මාරවිල මහෙස්ත්‍රාත් කොටු කළ වෙස්වලාගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ මෙහෙයුම !

ඉතිහාසයේ මුල් වරට අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකු පෞද්ගලික නිරීක්ෂණයකින් පසු මහෙස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කරයි.

මෙසේ වැඩ තහනම් කර ඇත්තේ මාරවිල මහෙස්ත්‍රාත්වරයාගේ ය.
නීතිඥයකු සහ නඩුවක පාර්ශවකරුවකු ලෙස සැරසුණු අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර  රහසිගතව අධිකරණ කටයුතු නිරීක්ෂණය කර තිබේ.

පසුගිය 02දා මේ විනිසුරුවරුන් දෙදෙනා මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට හදිසි සංචාරයක් ගොස් ඇත්තේ මහෙස්ත්‍රාත්වරයාට එරෙහිව ලැබුණු පැමිණිලි කිහිපයක් පරීක්ෂා කිරීමටය.

නඩු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් සහ සාක්ෂි රැස් කිරීමෙන් පසු, දිවා ආහාර විවේකයේදී මහෙස්ත්‍රාත්වරයාගේ කුටියේදී ඔහු හමු වූ විනිසුරුවරු, ඔහුගේ පැහැදිලි කිරීම්වලින් සෑහීමකට පත්වී නැති අතර, ඒ මොහොතේ ම විනිසුරුවරයාගේ වැඩ තහනම් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාස කරන පොලිස් වධහිංසාව : ආණ්ඩුව හරි පාරට වැටෙන්නේ කවදාද?

වැලිකඩ පොලිසිය මගින් පසුගිය 01දා අත්අඩංගුවට ගත් 25 හැවිරිදි බදුල්ල, මීගහකිවුලේ පදිංචි තරුණයකුට වධහිංසා කර ඇති බව අනාවරණය වෙමින් තිබේ.
පසුගිය 03දා පැවති මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ මියගිය තරුණයාගේ හිසේ සහ ශරීරයේ ස්ථාන රැසක තැලීම් තුවාල තිබෙන බවයි. එහෙත් ඒවා මරණයට හේතු වූයේද යන්න පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරියා නිශ්චිතව සඳහන් කර නැත. ඒ සඳහා මියගිය පුද්ගලයාගේ ශරීර කොටස් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවා තිබේ.
මියගිය පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ තමන්ට පොලිසිය කරදර කරන බව රාත්‍රියේදී තරුණයා මවට දුරකතනයෙන් පවසා ඇති බවයි. පසුව පොලිසියට ගිය අවස්ථාවේ තරුණයාගේ කලිසම සහ කෙස් එහි කසළ බඳුනක තිබූ බවද ඥාතීහු කියති.
සුපුරුදු පරිදි මේ සම්බන්ධයෙන් පොලිසිය පැත්තේ කතාවක් තිබේ. ඊට අනුව තරුණයා කූඩුවේ හිස ගසාගනිමින් විකාරසහගත ලෙස හැසිරීම නිසා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ඇත. එහිදී මියගොස් ඇත. ඔහු අත්අඩංගුවට ගත් හේතුව ද පැහැදිලි නැත. ත්‍රීරෝද රථයක් පැමිණි පසු, නාවල ප්‍රදේශයේ වත්තකට ඔහු පැන්න බවත්, එහි හිමිකරුවන් ඔහු අල්ලාගෙන ඇති බවත් ආදී වශයෙන් පොලිසිය කියයි.

ප්‍රශ්න කළ යුත්තේ කුමක්ද?

ඒ සියල්ල වෙනම තිබියදී අප ප්‍රශ්න කළ යුත්තේ සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂා නොකරන පොලිසියේ ක්‍රියාකාරිත්වයයි. අපරාධ රාජ්‍යයේ යෂ්ඨිය ගෙන හැල්මේ දුවන පොලිසියේ හැසිරීමයි. එය පාලනය කළ නොහැකි වැඩ බලන පොලිස්පතිවරයාගේ, මහජන ආරක්ෂක ඇමතිවරයාගේ, අවසානයට ආණ්ඩුවේ වගකීමයි. ආසන්න කාලයේ කොටහේන, වාද්දුව, දැන් වැලිකඩ ය.

ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් පොරොන්දුවලට මොකද වෙන්නෙ?

අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකුගේ ජීවිතය ආරක්ෂා කිරීම පොලිස් නිලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමක් විය යුතු අතර, ස්වභාවික අසනීපයක් වැනි අවස්ථාවලදී පවා ඔවුන්ගෙන් තොරතුරු විමසා රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ යුතුය.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්, මත්ද්‍රව්‍ය, මිනීමැරුම්, ත්‍රස්තවාදී කටයුතු වැනි භයානක අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තැබීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
එවැනි සැකකරුවන් අත්අඩංගුවේ සිටින අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගබලා ගත යුතු අතර, සෑම පැය බාගයකට ම වරක් සැකකරු පිළිබඳව පරීක්ෂා කර උප සේවා නිලධාරියා විසින් ඒ පිළිබඳව සටහන් යෙදිය යුතුය.

කිසිදු අවස්ථාවක සැකකරුවකු කායිකව හෝ මානසිකව වධහිංසනයට භාජනය නොවීමට වගබලා ගත යුතු අතර, පාපොච්ඡාරණ ලබාගැනීම සඳහා තර්ජනය කිරීම, පෙළඹවීම් හා පොරොන්දු ලබාදීම වැනි ක්‍රියා නොකිරීමට වග බලා ගත යුතුය.

සැකකරුගේ ළඟම ඥාතීන්ට හා නීතිඥවරයාට අවශ්‍ය අවස්ථාවලදී ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදීමට කටයුතු කළ යුතුය.

පොලිස් විමර්ශනවලට බාධා නොවන පරිදි ඔවුන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උපරිම සහාය ලබා දිය යුතුය.
අත්අඩංගුවට පත් සැකකරුවකු මියගිය අවස්ථාවකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ද අදාළ මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවේදී යම් පුද්ගලයෙකු මියගිය අවස්ථාවක ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණයකට ලක් කළ යුතු වේ.
පොලිස් අත්අඩංගුවේදී සැකකරුවකු මියගිය අවස්ථාවකට අදාළ විමර්ශනය අවස්ථානුකූලව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති, පළාත බාර නියෝජ්‍ය පොලිස්පති හෝ කොට්ඨාසය බාර අධීක්ෂණ නිලධාරියාගේ අධීක්ෂණය යටතේ විමර්ශනය සිදු කළ යුතුය.

එවැනි විමර්ශනයක් සිද්ධිය වූ පොලිස් ස්ථානයෙන් පරිබාහිර වෙනත් පොලිස් ස්ථානයක නිලධාරීන් යොදවා සිදු කළ යුතුය.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුගේ ළඟම ඥාතීන්ගෙන් හා බාහිර පාර්ශ්වයන්ගෙන් හැකිතාක් ස්වාධීන සාක්ෂි සටහන් කර ගැනීම වැදගත් වේ.

එවැනි සිදුවීමකදී යම් නිලධාරියෙකුගේ රාජකාරිය පැහැරහැරීමක් වැනි කරුණක් අනාවරණය වුවහොත්, ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කළ යුතු අතර, එවැනි අවස්ථාවක අදාළ සිද්ධිය පිළිබඳව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තමන් යටතේ තිබෙන විශේෂ විමර්ශන ඒකකය මගින් වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතුය.
සිද්ධියේ සංකීර්ණභාවය මත අදාළ විමර්ශනය පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ යුතු බවට පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තීරණය කරන අවස්ථාවක අදාළ විමර්ශනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශය ද සහිතව පොලිස්පතිවරයා වෙත යොමු කළ යුතුය.
මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිටතට විමර්ශන කටයුතු සඳහා රැගෙන යෑමේදී මෙම උපදෙස් මාලාව අනුව කටයුතු කිරීමට නිලධාරීන් වගබලා ගත යුතුය. මේ උපදෙස් මාලාව යනු පොලිසිය ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වූවකි.

මෙම උපදෙස්වලට පටහැනිව යම් නිලධාරියෙකු කටයුතු කර ඇති බවට අනාවරණය වුවහොත්, ඔහුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පතිවරයා විසින් සියලු‍ පොලිස් ස්ථානවලට නිකුත් කර තිබෙන මෙම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් කර තිබේ..

12(1) සහ 13(4)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සඳහන් නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය යන වගන්තිය සහ 13(4) සඳහන් නීතියෙන් නියම කරනු ලැබූ කාර්යපටිපාටියට අනුකූල ව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ ආඥාවක් අනුව මිස කිසිම තැනැත්තෙකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තෙකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේය යන වගන්තියත් මෙහිදී බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා ගණනාවකදී සඳහන් කර ඇත.

මෙම අයිතිවාසිකම් ඇතුළු ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය සහ එහි ආයතන බැඳී සිටින බව ද අධිකරණය විශේෂයෙන් අවධාරණය කර තිබේ.

මහෙස්ත්‍රාත් වගකීම

පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම්වලදී අදාළ මරණ පරීක්ෂණය සිදු කරන මහේස්ත්‍රාත්වරයාට බරපතළ වගකීමක් පැවරුණද, ඇතැම් අවස්ථාවලදී එය ඉටුනොවන බව මේ සම්බන්ධයෙන් මීට පෙර මෙවැනි සිද්ධියක් අවස්ථාවක අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා  අවධාරණය කරයි. එම පරීක්ෂණයේදී පොලිසිය පවසන කරුණු ඒ ආකාරයෙන්ම සටහන් කරගැනීම වෙනුවට, සාක්ෂිකරුවන් කැඳවීම, කැඳවූ ආකාරය, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවූයේද යන්න වැනි ප්‍රශ්නවලට අනිවාර්යෙන්ම පිළිතුරු ලබාගත යුතු බව ද පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, ඇතැම් මහේස්ත්‍රාත්වරුන් එසේ කටයුතු කළ ද, බොහෝ අවස්ථාවලදී එය දැකිය නොහැකි වීම බරපතළ කරුණක් බව ද සඳහන් කරයි.

සාමාන්‍යයෙන් පොලිසිය මෙවැනි අවස්ථාවකදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවීමක් පවා සිදු නොකරන බවත්, සාක්ෂිකරුවන්ට බැණවැදීමේ අවස්ථා සුලබ බවත් අවධාරණය කරන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, එමගින් ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති අයිතිය ඇහිරීමක් සිදු වන බව පෙන්වා දෙයි.

වගකිවයුත්තා කවුද?

1994 කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් ආරක්ෂා වීමේ පනත හෙවත් වධහිංසා පනතට අනුව අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේම වගකීම අදාළ පොලිස් ස්ථානය බාර ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතුය. එහෙත් බොහෝ අවස්ථාවලදී අධිකරණය මෙවැනි ඝාතන සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ එම වගකීම ප්‍රමාණවත් පරිදි ප්‍රශ්න නොකරන අතර, පොලිසියේ සටහන් සියල්ල ඒ ආකාරයෙන්ම පිළිගනු ලබයි.

වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තරුණයාගේ මරණය පිළිබඳ විමර්ශන පැවැත්වීම වැඩ බලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ. එහෙත් මෙතෙක් ඊට අදාළ ව මිය ගිය තරුණයාගේ පවුලේ ඥාතීන්ට සෑහීමට පත්විය හැකි විමර්ශන ප්‍රගතියක් දක්නට නැත. මුලින්ම පැවසූ ආකාරයට තවදුරටත් පොලිසිය ඇතුළේ වධහිංසා සිදුවේ. එමගින් පුරවැසියන් ඝාතනය වේ.

වරක් පොලිස් දෙපාර්තමේන්තුව මගින් නව ව්‍යාපෘතියක් ක්‍රියාවට නැගීය. එහි අරමුණ වූයේ ජනතාවට වඩාත් සමීප පොලිසියක් නිර්මාණය කිරීම ය. ඒ යටතේ පොලිසි වටේ තිබූ තාප්ප කඩා මල් වැවීම පවා සිදු විය.

එහෙත් තවමත් පොලිසිය පිළිබඳව ජනතාවගේ ඔළුවේ ඇති ලයිෂන් චණ්ඩින්ගේ භූමිකාව වෙනස් වී නැත. බටලන්දේ, ඩග්ලස් පීරිස්ගේ භූමිකා හරහා පැමිණි ඒ භූමිකාව වෙනස් කිරීමට ඉහළම අධිකරණය පවා අවස්ථා ගණනාවකදී මැදිහත් වී ඇතත්, තවදුරටත් පොලිසි ඇතුළේ ජනතාව එල්ලයි. ජනතාව මියයයි. එම නිසා බලය පවත්වාගැනීම වෙනුවෙන් රැගෙන ආ මේ භයානක තත්ත්වය වෙනස් කිරීමට තමන් අවංකව මැදිහත් වන බව ආණ්ඩුව පෙන්විය යුතුය. කනගාටුවට කරුණ වන්නේ මෙතෙක් ආණ්ඩුව ඒ පාරට වැටී නොතිබීම ය.

  • ශාලික විමලසේන

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි !

අධිකරණයට අපහාස කිරීම පිළිබඳව අලුතින් සංවාදයක් ඇති වී තිබේ. ඊට හේතු වී තිබෙන්නේ පසුගිය මාර්තු 28  වැනිදා පුත්තලම මහාධිකරණයෙන් ගත් තීරණයකි. නිශ්චිත සිදුවීම් කිහිපයකින් පසු පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින් ප්‍රියංගිකා උදයංගනී සමරතුංග නීතිඥවරිය රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ය.

ඊට අදාළ අධිචෝදනා පත්‍රයේ මෙසේ දැක්වේ.

‘වර්ෂ 2025ක් වූ ජනවාරි මස 17 දින සිට වර්ෂ 2025ක් වූ මාර්තු මස 28 දින දක්වා අතර කාලය තුළ දිනයක එනම්, එනම් වර්ෂ 2025ක් වූ මාර්තු මස 07 වන දින මෙම අධිකරණයේ අධිකරණ බල සීමාව තුළ පිහිටි මහාධිකරණයේ විවෘත අධිකරණ ශාලාවේදී යුෂ්මතිය මෙහි පහත උපලේඛනයේ සඳහන් ඇප අයැදුම්පත් නීති කෘත්‍යයට අදාළ ව කරුණු සැල කර ඇප අයැදීමේදී මෙම මහාධිකරණය හෝ මහාධිකරණ විනිශ්චයකාරවරිය සුදුසු පරිදි ගෞරවාන්විතව ඇමතීම චේතනාන්විතව නොකර හැරීමෙන් මෙම අධිකරණයේ අධිකාරි බලය සහ යුක්තිය පසිඳලීම අගෞරවයට හෝ අවතක්සේරුවට ලක්කිරීමෙන් 2024 අංක 08 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 11 (1) වගන්තිය සමග කියවිය යුතු සිවිල් නඩු විධාන සංග්‍රහයේ 65 පරිච්ඡේදයේ 800 වගන්තිය සහ 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 18 වගන්තිය ප්‍රකාර ව දඬුවම් ලැබිය යුතු මහාධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කළ බව ය.’

එහි මුල් කොටසේ එසේ දැක්වෙන අතර, 02 වැනි කොටසේ දැක්වෙන්නේ මෙවැන්නකි.

‘ඉහත පළවන අධිචෝදනාවේ සඳහන් ස්ථානයේදී හා එම ක්‍රියාකලාපය තුළ දිනයක එනම්, එනම් වර්ෂ 2025ක් වූ මාර්තු මස 28 දින මෙම අධිකරණයේ අධිකරණ බල සීමාව තුළ පිහිටි මහාධිකරණයේ විවෘත අධිකරණ ශාලාවට ඇතුළුවීමේදී අධිකරණයට හිස නමා ආචාර කර ගෞරව කිරීම චේතනාන්විතව නොකර හැරීමෙන් මෙම අධිකරණයේ අධිකාරි බලය සහ යුක්තිය පසිඳලීම අගෞරවයට හෝ අවතක්සේරුවට ලක්කිරීමෙන් ….. ප්‍රකාර ව දඬුවම් ලැබිය යුතු මහාධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කළ බව ය.’

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් මේ පිළිබඳව ගොනුකරන ලද රිට් පෙත්සමක් සලකාබැලීමෙන් පසු අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළ අතර, ඒ අනුව ඇය ඇප මත නිදහස් කෙරිණි. නීතිඥවරිය වෙනුවෙන් නීතිඥ සංගමය විසින් ඉල්ලා සිටි හදිසි විභාගය සැලකිල්ලට ගනිමින්, රිමාන්ඩ් භාරයේ තැබීමේ නියෝගය අත්හිටුවීමට අභියාචනාධිකරණය මෙහිදී තීරණය කළේය.

මේ අතර 2024 අංක 08 දරන අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වෙනම සංවාදයක් ද ආරම්භ කර ඇත. මේ සංවාදයට හේතු වී ඇත්තේ ද නීතිඥවරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමයි. එම සංගමයේ නව සභාපති නීතිඥ රජීව් අමරසූරියගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පවසා තිබුණේ මේ සංවාදය ඉදිරියට ගෙනයන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි. කෙසේ වෙතත් මෙතෙක් එම සංගමය මේ පිළිබඳව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කර නැත.

මීට පෙර අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කළ නියෝගය දැඩි කතාබහට ලක්විය. අවස්ථා කිහිපයකදී ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් මේ චෝදනා ලත් නීතිඥවරයාගෙන් විමසා තිබුණේ ‘ඔබ පෙර ස්ථාවරය ම දරන්නේද’ යනුවෙනි. ඒ සෑම අවස්ථාවකදී ම ඔහු සඳහන් කර තිබුණේ ‘ඔව්’ යන පිළිතුරයි.

මේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නිශ්චිත විනිසුරුවරුන්ට හැකියාවක් නැති බවට නීතිඥවරයා විසින් තර්ක කරන ලදි. ඊට හේතුව තමන් මේ විනිසුරුවරුන්ට එරෙහිව නඩු පවරා තිබීම බව නීතිඥවරයා පෙන්වා දී තිබිණි. මේ නඩුව විමසීමට තමන්ට නියම කර ඇත්තේ අගවිනිසුරුවරයා විසින් බවත්, අධිකරණයේ කටයුතුවලට බාධා නොකරමින් එම කටයුතු පවත්වාගෙන යෑමට සහාය ලබාදෙන ලෙසත් මෙහිදී විනිසුරුවරුන් නීතිඥවරයාට දැනුම් දෙන ලදි.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මල විග්නේෂ්වරන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ නීතිඥවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසයි. සියලු‍‍ කරුණු සලකාබැලීමෙන් පසු අධිකරණය අදාළ නියෝගය ලබාදුන් අතර, ඒ අවස්ථාවේදී ඔහු පවසා තිබුණේ ස්තූතියි ස්වාමීනි යනුවෙනි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නීතිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පැවසුවේ අධිකරණ අපහාසය පිළිබඳ නිවැරදි අර්ථ නිරූපණයක් නොමැති බවයි. කෙසේ වෙතත් මීට අදාළ අවසාන තීරණ ගැනීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව ද ඔහු පෙන්වා දුන්නේය. එනම් වගකීම ඇත්තේ ඉහළ අධිකරණයට ය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ හෝ අභියාචනාධිකරණය ඉදිරියේ යම් වෘත්තීය විරෝධී කටයුත්තක් කළහොත්, ඒ අධිකරණයටම ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමේ හිමිකම ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙහිදී තවත් කරුණක් ඔහු ඉස්මතු කරයි. එනම් අධිකරණයේ ගෞරවය රැකිය යුතු බවයි. එය බිඳවැටුණහොත් සමස්ත සමාජයටම හානියක් බව පෙන්වා දෙන ඔහු, එය බිඳවැටෙන අවස්ථාවකදී ඊට අදාළව විමර්ශනයක් පවත්වා අධිකරණය සෑහීමකට පත්වන්නේ නම් නියෝගයක් කිරීමේ හැකියාව පවතින බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) අනුව අධිකරණයේදී හෝ අන් ස්ථානයකදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතු ය. ඊට අදාළ ව 2024 අංක 8 දරන නව පනතක් ඉදිරිපත් කොට තිබේ. ඉහත කී නීතිඥවරයාට චෝදනා ගොනුකර තිබුණේ එම පනත යටතේ ය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ඇමැති එස්.බී. දිසානායකට 2003 වසරේදී බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවමක් නියම කෙරිණි. අගවිනිසුරුවරයාට එරෙහිව පවරා තිබූ නඩුවක් අතරතුර අධිකරණයේදී උස් හඬින් කතාකිරීමේ චෝදනාව මත අගවිනිසුරුවරයා විසින් ම ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දුට වසරක සිර දඬුවමක් නියම කර ඇත. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළ බව පවසමින් එවකට හෝමාගම මහේස්ත්‍රාත් ධුරය දැරූ රංග දිසානායක අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු, 2018 වසරේදී වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදෙන ලදි.

2017 අගොස්තු 21දා පැවති මාධ්‍ය හමුවකදී අධිකරණ විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක තීන්දුවට අනුව ඔහුට බරපතළ වැඩ සහිත වසර 4ක සිර දඬුවම් නියම කෙරිණි. ඔහුට ද ජනාධිපති සමාව ලැබුණු අතර, අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වූ තවත් නඩුවකදී රංජන් රාමනායක සමාව ගන්නා ලදි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මහාධිකරණයෙන් මරණ දඬුවම ලබාදීම තහවුරු කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිබඳව කළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ යුද හමුදාවේ විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට 2023 ජනවාරි 24දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර 4ක සිර දඬුවමක් නියම කෙරිණි. නීතීඥ වෘත්තියට අගෟරවයක් සහ අවමානයක් වන පරිදි කටයුතු කළ බවට චෝදනා ලැබූ නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවස්ථාවක නියෝග කළේය.

අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම මගින් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සියලු‍ පුරවැසියන්ගේ වගකීමකි. එසේම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත, අධිකරණ අපහාස නීති වැනි නීතියේ සඳහන් ප්‍රතිපාදන අවභාවිත කිරීම ද අනුමත කළ නොහැකිය. මේ නීති සියල්ල කියවාගත යුත්තේ ඊට අදාළ උදාහරණ සමග එක පෙළට තබා ය. 

ශාලික විමලසේන

‘මෝදිගේ ලංකාගමනය’ කියවාගත යුත්තේ කොතැනින් ද?

ඉන්ද්‍රීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේය. ලංකාවේ විශාලතම අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාවේ අගමැතිවරයා අවසාන වතාවට ලංකා සංචාරයක නියුක්ත වූයේ 2019 වර්ෂයේය. එතැන් පටන් බොහෝ දෑ සිදුව තිබේ. 2020ට පසුව ලංකාව සිදුවීම් බහුල කාලයකට ඇතුලු විය. කෝවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, 2022 මහජන නැගිටීම, පොදුජන පෙරමුණේ බිඳ වැටීම හා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම සහ අවසාන වශයෙන් 2024 දී ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවීම දක්වා සැලකිය යුතු වෙනස්කම් රාශියක් මෙම කෙටි කාලය තුල සිදුවිය.

නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ලංකාවේ සංචාරය කරන පලමු විදේශ රාජ්‍ය නායකයා වන්නේ මෝදි ය. අනුර දිසානායක ආණ්ඩුව සම්බන්ධව බොහෝ විචාරකයන් අතර පැවැති උනන්දුසහගත ප්‍රශ්නයක් වූයේ එහි විදේශ ප්‍රතිපත්තිය කුමන දිශානතියක් ගනු ඇද්ද යන්නයි. ජාතික ජන බලවේගයේ මවු පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී නැමියාව නිසා නව ආණ්ඩුව වඩා චීන හිතවාදී ස්ථාවරයක් ගනු ඇතැයි ඇතැමෙක් පුරෝකථනය කලහ.

පසුගිය වසරේ අනුර දිසානායක ජනාධිපතිවරයා ඉන්දියාවේ කළ සංචාරය සහ නරේන්ද්‍ර මෝදිගේ වත්මන් ලංකා සංචාරය සංකේතාත්මක ලෙස වැදගත් වන්නේ ඇතැමුන් කල්පනා කළ ලෙසට දෙරට අතර සබදතා දුර්වල වීම කෙරෙහි ලංකාවේ සිදු වූ දේශපාලන වෙනස හේතු වී නැති බවට ඉන් සංඥා කෙරෙන නිසාය.

ඉන්දීය රජය පාර්ශවයෙන් ගත්කල, ලංකාව ඔවුන්ට වැදගත් වන්නේ ඇයි? සිය කලාපය තුල තමන්ගේ අනුහස පවත්වා ගැන්මට සාමාන්‍යයෙන් ඕනෑම කලාපීය බලවතෙක් උනන්දු වෙයි. දකුණු ආසියානු කලාපය සම්බන්ධව, මෙම භූ දේශපාලනික අභිලාෂය මේ අනුව ඉන්දියාව වෙත ද පවතී.

කෙසේ වුවද, පසුගිය වසර කිහිපය තුල දකුනු ආසියාව තුල සිදුවූ වර්ධනයන් ඉන්දීය රජයට එතරම් හිතකර නොවීය. 2023 වර්ෂයේ මාලදිවයින තුල මොහොමඩ් මොයිසු ජනාධිපති බවට පත්වීමත් සමග හේ කැපී පෙනෙන ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් ප්‍රකට කළ අතර, චීනය දෙස නැඹුරු වීමක් සංඥා කලේය. මෙය 2024 වර්ෂය වන විට රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් දක්වා දිග්ගැස්සුණි. අනෙක් අතට, 2024 බංගලාදේශයේ සිදු වූ සිවිල් අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස, ඉන්දීය හිතවාදී අවාමි ලීගයේ ආණ්ඩුව බිඳ වැටීම හා ඉස්ලාම්වාදී බලවේගවල නැගී ඒම ඉන්දියාව සම්බන්ධව හිතකර වර්ධනයක් නොවීය.

ලංකාව සම්බන්ධව ගත්කල, 2022 ආර්ථික අර්බුදයට මෙරට ලක්වීමෙන් අනතුරුව ― විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමත් සමග, ලංකාවේ විදේශ පිලිවෙත ඉන්දියාව වෙත වඩා නැඹුරු වීමක් දැකගත හැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ලංකාව ඇතුලු වන තෙක්, යා කිරීමේ මූල්‍ය පහසුකම් (bridging finance) ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 3.8 ක මුදලක් ඉන්දියාව විසින් ලබා දෙන ලදී.

2022 ට පසුව ලංකාව සමග ඉන්දියාව ගනුදෙනු කළ ආකාරය දෙස බලන විට පෙනී යන්නේ, චීනය ලංකාව වෙතින් ඈත් කිරීමේ අරමුණ ඔවුන්ගේ පැත්තෙන් මූලික වූ බවයි. මේ සඳහා ඔවුන් අනුගමනය කළ එක් උපාය මාර්ගයක් වූයේ විවිධ සන්ධිකරණ ව්‍යාපෘතීන් (connectivity projects) ප්‍රවර්ධනය කිරීමයි. ලංකාවේ සහ ඉන්දියාවේ විදුලි බල පද්ධතීන් ආබද්ධ කිරීම, ඉන්දියාව හා ලංකාව සම්බන්ධ කෙරෙන තෙල් නලයක් ඉදිකිරීම ආදී වූ යෝජනා ඒ අතර වෙයි. මෙබඳු ආර්ථික වැඩසටහන් පසුපස තිබෙන ‘දේශපාලනය’ වන්නේ කලාපය තුල සිය ප්‍රමුඛතාවය රදවා ගැන්මට ඉන්දියාව තුල වන අභිලාෂයයි.

කලාපීය වශයෙන් බලවත් රටක්, කලාපීය ආධිපත්‍යය කෙරෙහි උනන්දු වීම ලංකාව වැනි එබඳු රටවල් අවට පවතින කුඩා අසල්වැසි රාජ්‍යයන්ට මුහුණ දෙන්ට සිද්ධ වෙන භූ දේශපාලන යථාර්තයකි. මෙය සූක්ෂම ලෙස කලමනාකරණය කරගත යුතු තත්වයකි. එක් අතකින්, කලාපීය බලවතා සමග සෘජු ගැටුමක් ඇති කරගැන්ම දේශපාලන හා ආර්ථික වශයෙන් අවාසිදායක විය හැක. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයකට ලක්ව සිටින ලංකාව බඳු රටකට මෙය කො‍හෙත්ම වරණයක් නොවේ. නමුත්, ගැටුමකට නොයාමේ නාමයෙන් කුඩා රාජ්‍යයේ ජාතික අභිලාෂයන් සම්පූර්ණයෙන්ම සම්මුතිගත කිරීම ද අවශ්‍ය නැත.

නව ආණ්ඩුව ඉන්දයාව සමග වන සබදතාවය මේ තාක් දුරට කලමණාකරනය කරගෙන තිබෙන්නේ කෙසේද? බලයට පත්වීමට පෙර සිටම, ජාතික ජන බලවේගය තමුන් ඉන්දියාව සම්බන්ධව මිත්‍රශීලී ආකල්පයක් අනුගමනය කරන බව ප්‍රකාශ කළේය. 2024 මුල, එවකට විපක්ෂ මන්ත්‍රීවරයෙක් වූ අනුර දිසානායක ඉන්දීය රජයේ ආරාධ‍නයෙන් එරට සංචාරයක නියුක්ත වූ අතර ජනාධිපතිධූරයේ දිවුරුම් දුන් පසුව හේ පලමු විදෙස් සංචාරය ලෙස නව දිල්ලිය වෙත ගමන් කළේය.

දැනට වාර්තා වී ඇති ආකාරයට අගමැති මෝඩිගේ ලංකා සංචාරය අතරවාරයේ ලංකාව සහ ඉන්දියාව බලශක්ති ක්ෂේත්‍රය, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ ආරක්ෂක සහයෝගීතාවය යන අංශවලට අදාල අවබෝධතා ගිවිසුම් කීපයකට ඇතුලු වීමට නියමිතය. මෙම කරුණු මගින් පෙන්වන්නේ ප්‍රධාන වශයෙන් කලාපීය බලවතා සමග යම් අවබෝධයක් සහිතව ඉදිරියට කටයුතු කිරීමට ආණ්ඩුව නැමියාවක් දක්වන බවයි.

එහෙත් අනෙක් අතට, පසුගිය දවස්වල ආන්දෝලනයට තුඩු දුන් මන්නාරම ප්‍රදේශයේ යෝජිත අදානි සමාගමේ සුලං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධ සිදුවීම අපට තවත් පැතිකඩක් ද පෙන්වා දෙයි. ගෞතම් අදානි යනු නරේන්ද්‍ර මෝඩි ආණ්ඩුවට අතිශය සමීප ව්‍යාපාරිකයෙක් වන අතර, භාරතීය ජනතා පක්ෂය සහ අදානි සහ අම්බානි වැනි ඉන්දියාවේ සාපේක්ෂ නව ධනපති පන්තිය අතර සම්බන්ධය සහචර ධනවාදය සම්බන්ධ නිදසුනක් ලෙස ද හුවා දක්වනු ලැබේ.

අදානි සමාගම මන්නාරම සුලං විදුලි බලාගාරය සම්බන්ධ ව්‍යාපෘතියෙන් ‘ගෞරවාන්විත ලෙස’ ඉවත් වන බවට පසුගිය දා ප්‍රකාශ කළේය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යුගයේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධ එකගතාවය ඇති වූ අතර, එවකට විපක්ෂයේ සිටි අනුර දිසානායක මෙම එකගතාවය බලවත් ලෙස විවේචනයට ලක්කළේ ඉන් එකග වූ විදුලි ඒකකයක මිල, ඉන්දියාව තුල අදානි සමාගම විසින් නියම කරනු ලබන මිලට වඩා සැලකිය යුතු ලෙසකට ඉහල එකක් බවට වූ පදනම මතය.

බලයට පත් වූ පසුව, මෙම එකගතාවය යලි විමර්ශනය සඳහා ආණ්ඩුව කමිටුවක් පත් කළේය. තමුන් අදානි ව්‍යාපෘතිය සම්බන්ධව විවෘත නමුත්, කිසිසේත්ම මුල දී එකග වූ අධික මිල අනුව කටයුතු කිරීමට සූදානම් නොවන බවට අනුර දිසානායක ජනාධිපතිවරයා අවස්ථා කීපයක දී ප්‍රකාශ කොට ඇත. මේ අනුව මෙම ව්‍යාපෘතියේ අනාගතය අවිනිශ්චිත එකක් බවට පත්ව ඇත ; බොහෝ විට එය සිදු නොවනු ඇත.

මන්නාරම අදානි ව්‍යාපෘතිය සම්බන්ධ සිද්ධිය විසින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව ඉන්දියාව සම්බන්ධව දක්වන විවෘතභාවය කොන්දේසි විරහිත එකක් නොවන බවය. පසුගිය ආණ්ඩුව මිල්කෝ සමාගමට අයත් ඉඩම් හා කිරි ගොවිපොල ඉන්දීය අමූල් සමාගමට විකිණීමට එකග වී තිබුනු අතර, නව ආණ්ඩුව යටතේ එය නතර කොට ඇත. කොලඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම, සාම්පූර් සූර්ය විදුලි බලාගාරය බඳු ඇතැම් ව්‍යාපෘතින් සමග ඉදිරියට යාමට කටයුතු කරන අතර, මන්නාරම ව්‍යාපෘතිය වැනි බැලූ බැල්මට පැහැදිලි ආර්ථික අවාසියක් ඇති කරන ඒවා සම්බන්ධව ස්ථිර පිලිවෙතක් අනුගමනය කිරීම තුල ආණ්ඩුවේ මෙම පරිස්සම්සහගත ප්‍රවේශය පිලිබිඹු වේ යැයි කිව හැක‍

ගෝලීය දකුණට අයත් වේගයෙන් දියුණු වන රටක් වන ඉන්දියාව ඉදිරි දශක කිහිපය තුල ලෝකයේ විශාලතම ආර්ථිකයක් බවට පත්වීමට නියමිතය. සාමාන්‍යයෙන් කලාපීය රටක් දියුණු වන විට, කලාපයේ සෙසු රටවල් වෙත වෙලදාම, ආයෝජනය යන අංශවලින් යම් යම් වාසිදායක අවස්ථා නිර්මාණය වෙයි. ජපානය කාර්මිකකරණය වීම සමග, නව කාර්මික රටවල් ලෙස සැලකෙන දකුණු කොරියාව, තායිවානය, හො‍ංකොං යන රටවල් කාර්මික දියුණුව අත්කරගත් අයුරු ― එනම් විශාල රටේ සංවර්ධනය, අනෙක් රටවල සංවර්ධනය උද්දීපනය කල අයුරු මේ සම්බන්ධ සම්භාව්‍ය නිදසුනකි.

කෙසේ වුවත්, හුදෙක් විශාල රට දියුණු වූ පමණින් කුඩා රටවල් ඉන් අනිවාර්යයෙන් වාසි ලබන බවක් මින් අදහස් නොවේ. එය තීරණය වන්නේ කරුණු ගණනාවක් මතය ;  රටවල් අතර තිබෙන සම්බන්ධතාවයේ ස්වභාවය, විවෘත වන අතරම ජාතික ප්‍රමුඛතා අනුව කටයුතු කිරීමට කුඩා රටවල් දක්වන සූදානම ආදී කරුණු මේ අතර වෙයි.

ලංකාව බඳු රටක් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධව ගත්කල අන්තයන් දෙකක් මග හැරීමට පරිස්සම් විය යුතුය. පලමු අන්තය, විදේශ රටවල් සමග සබඳතා සියල්ල දෙස ආරක්ෂණවාදී ඇසින් බලන, අවිචාරාත්මක සංවෘතවාදයයි. අනෙක් අතට, අනෙක් රටවල් හා අන්තර්ජාතික සංවිධාන භූ දේශපාලන අරමුණුවලින් තොර ඒවා ලෙස සලකන ― රටේ ජාතික අභිලාෂයන් පිලිබඳ උනන්දුවක් නොපෙන්වන අවිචාරාත්මක විවෘතභාවයයි. අපට අවශ්‍ය වන්නේ අපගේ ජාතික අභිලාෂයන් මත තිරසර ලෙස පදනම් වෙමින්, වෙනත් රටවල් සමග ගනුදෙනු කල හැකි විචාරාත්මක මධ්‍යස්ථවාදී ආකල්පයකි. මෙම ආකල්පය මත පිහිටමින්, ඉන්දියාව, චීනය බඳු ගෝලීය දකුණේ නැගී එන රටවල් සමග ගනුදෙනු කරන තැනකට යාමට උත්සාහ කිරීම ලංකාව වැනි රටකට උචිත ප්‍රශස්තම විදේශ ප්‍රතිපත්තිය යැයි කිව හැක. 

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය රමිඳු පෙරේරා