පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වසර 06ක් වුවද, ඊට අදාළ ව යුක්තිය ඉෂ්ඨ කිරීම සඳහා තවදුරටත් විමර්ශනය කළ යුතු පැති ගණනාවක් තිබේ. ඒ අතර ජමීල් පිළිබඳ විමර්ශනය ප්‍රධාන වේ. ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා ගැනීමට උත්සාහ කොට, ඉන්පසු දෙහිවල ට්‍රොපිකල් ඉන් හිදී බෝම්බය පුපුරුවා ගත්තේ අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් ය. ජමීල් සම්බන්ධයෙන් බුද්ධි අංශ අවධානය යොමු වී ඇත්තේ 2015 වසරේ සිට බව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේදී හෙළිදරව් විය. මෙම ප්‍රහාරයට පෙර ජමීල් සම්බන්ධයෙන් සොයාබැලීම/පරීක්ෂණ පැවැත්වීම/ආවේක්ෂණය කිරීම දැනට වාර්තා වී ඇති පරිදි රාජ්‍ය බුද්ධි සේවය, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය සහ ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය යන ආයතනවලින් සිදු කර තිබේ. ජමීල් සම්බන්ධයෙන් දැනට හෙළිදරව් වී ඇති පරිදි ඉහත ආයතන/ අංශ තුන මගින් සොයාබැලීම් කළ ද, මෙම ප්‍රහාරය ගැන පූර්ව අනතුරු ඇඟවීම් ඔහු හරහා ලබාගැනීමට හෝ ප්‍රහාරය වලක්වාගැනීමට අපොහොසත් විය. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී ද, විජිත් මලල්ගොඩ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ ජනාධිපති කමිටුවේදී ද, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ද හෙළිදරව් වූ කරුණු සහ වෙනත් මූලාශ්‍රවලින් සොයාගැනීමට හැකිවූ තොරතුරු අනුව ජමීල්ට අදාළ ව පහත සඳහන් කරුණු ගැන වැඩිදුර විමර්ශනය සිදු කළ යුතු ව තිබේ.
01. සෑම දිනක ම උදෑසන 7ත් 8ත් අතර, ඊට පෙර දින රාත්‍රී 12 වන විට හෝටලයට පැමිණි පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් රාජ්‍ය බුද්ධි සේවයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට යැවීම සාමාන්‍ය පුරුද්දක් බව ටාජ් සමුද්‍රා හෝටලයේ ආරක්ෂක කළමනාකරු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. 2019 අප්‍රේල් 20 වැනිදා සවස ජමීල් පැමිණ ටාජ් සමුද්‍රා හෝටලයේ කාමරයක් වෙන්කර ගත්තේය. 2019 අප්‍රේල් 20 වැනිදා රාත්‍රී 12 වන විට කාමර වෙන් කරවා ගත් ලැයිස්තුව ඔහු විසින් 21 වැනිදා උදෑසන ම අදාළ අංශ වෙත යොමු කර තිබේ. ඒ අනුව මෙම ලැයිස්තුවේ තමන් විසින් තොරතුරු රැස්කරමින් සිටින පුද්ගලයකු වන ජමීල්ගේ නම තිබෙනු රාජ්‍ය බුද්ධි සේවය උදෑසනම හඳුනාගත්තේ ද සහ එලෙස හඳුනාගත්තේ නම් ඊට අදාළ ව ගත් පියවර කුමක්ද යන්න ගැන විමර්ශනය කළ යුතුව තිබේ.
02. හෝටලයේ කාමර වෙන්කර ගන්නා සියලුමදෙනාගේ ජාතික හැඳුනුම්පත් අංක හෝටල් දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්යයෙන් සිදුකරන බව හෝටලයේ ආරක්ෂක කළමනාකරු ජනාධිපති කොමිසමේ දී ප්‍රකාශ කළේය. එහෙත් ජමීල්ගේ ජාතික හැඳුනුම්පත් අංකය එම පද්ධතියේ නොමැති බව පසුව අනාවරණය විය. ජමීල්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර නැද්ද, නැත්නම් ඇතුළත් කිරීමෙන් පසු කිසිවකු විසින් මකා දමා ඇද්ද යන්න ගැනත්, ජාතික හැඳුනුම්පත් අංකය මුල් අවස්ථාවේ ම ඇතුළත් කර නැත්නම්, එය අතපසුවීමකින් සිදුවූවක් ද, නැත්නම් කිසිවකුගේ දැනුම්දීම මත හෝ බලපෑමක් මත සිදුවූවක් ද යන්න ගැනත්, දත්ත පද්ධතියට ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර පසුව ඉවත් කර ඇත්නම් එය කවුරුන් විසින් කුමන හේතුවක් නිසා සිදුකරන ලද්දක් ද යන්න ගැනත් විමර්ශනය කළ යුතුව තිබේ.
03. 2019 අප්‍රේල් 20 වැනිදා ටාජ් සමුද්‍රා හෝටලයට ජමීල් පැමිණීමට පෙර 2019 අප්‍රේල් 17 වැනිදා සැකකටයුතු පුද්ගලයකු හෝටලයට පැමිණි බවට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී කරුණු ඉදිරිපත් විය. දහවල් 1.45ට පැමිණි ඔහු ඉන්ෆාස් බව පසුව හඳුනාගැනිණි. ඒ අනුව අප්‍රේල් 17 වැනිදා ඉන්ෆාස් පැමිණීමට අමතරව තවත් සැකකටයුතු පුද්ගලයන් මෙම ප්‍රහාරයට පෙර සහ පසුව හෝටලයට පැමිණියේ ද යන්න ගැන නිසි විමර්ශනයක් වී නොමැති බැවින් ඒ ගැන තවදුරටත් විමර්ශනය කළ යුතුය.
04. 2019 අප්‍රේල් 20 වැනිදා සවස 4.17ට පමණ කාමරය වෙන්කරගෙන හෝටල් කාමරයට ගොස් යළි හෝටලයෙන් පිටත්වී ගොස් ඇති ජමීල්, නැවත පැමිණ ඇත්තේ 2019 අප්‍රේල් මස 21 වැනිදා උදෑසන ය. උදෑසන පැමිණි ඔහු කාමරය අසලට ගොස් නැවත පැමිණ කාමරය විවෘත කිරීමට අලුත් කාඩ්පතක් ඉල්ලා ඇති බව ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. ඔහුට මුල් අවස්ථාවේ නිකුත් කළ කාඩ්පතට කුමක් සිදුවීද යන්න ගැන වැඩිදුර විමර්ශනයක් සිදුවී නැත. ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් ද විමර්ශනය කළ යුතුව තිබේ.
05. 2019 අප්‍රේල් 21 වැනිදා උදෑසන ටාජ් සමුද්‍රා හෝටලයට ජමීල් යළි පැමිණ (බෝම්බය පුපුරා නොයෑම නිසා හෝ වෙනත් කරුණක් මත) ඔහු හෝටලයෙන් පිටත්වීමට මොහොතකට පෙර, එනම් උදෑසන 8.51ත් 8.54ත් අතර ජමීල්ට දුරකතන ඇමතුම් ආ බව සීසීටීවී කැමරාවල සටහන් විය. ජමීල්ට එලෙස ඇමතුම් ලබා දුන් පුද්ගලයා කවුරුන්ද යන්න ගැන මෙතෙක් අනාවරණය කරගෙන නැති බැවින් ඒ ගැන විමර්ශනය කළ යුතුය.
06. තමන් හිජ්රා යන බව පවසමින් 2019 අප්‍රේල් 20 වැනිදා උදෑසන 8.30ට ජමීල් විසින් ඔහුගේ බිරිඳ ෆාතිමා ෂිෆානා උමර්කාතාට වොයිස් පණිවුඩයක් යවා ඇති බව විමර්ශනවලදී උමර්කාතා ප්‍රකාශ කර තිබිණි. එලෙස යැව්වේ යැයි උමර්කාතා විසින් ප්‍රකාශ කරනු ලැබූ වොයිස් පණිවුඩවල කුඩා ළමයින්ගේ ශබ්ද ඇසෙන බව ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. එම වොයිස් පණිවුඩයේ පසුබිමින් කටහඬ ඇසෙන ළමයින් කවුරුන්ද සහ එම වොයිස් පණිවුඩ පටිගත කළේ කුමන ස්ථානයකදී ද, කුමන දිනයකදී ද යන්න විමර්ශනය කළ යුතුය.
07. එම වොයිස් පණිවුඩය එවූයේ යැයි කියන ජංගම දුරකතන අංකය මකා දැමූ බව ජමීල්ගේ බිරිඳ උමර්කාතා විමර්ශනවලදී ප්‍රකාශ කර තිබේ. එම වොයිස් පණිවුඩය පැමිණියේ ජමීල්ගේ සාමාන්‍ය දුරකතන අංකයෙන් නොවන බව ද ඇය සඳහන් කර තිබේ. ඒ අනුව මෙම වොයිස් පණිවුඩය එවන ලද්දේ ජමීල් විසින් ම ද, නැත්නම් කලින් පටිගත කළ හඬපටයක් වෙනත් පුද්ගලයකු විසින් එවන ලද්දේ ද යන්න ගැනත්, එලෙස එවන ලද අංකය කුමක්ද යන්න ගැනත් මෙතෙක් විමර්ශන මගින් අනාවරණය කරගෙන නැති බැවින් ඒ ගැන විමර්ශනය කළ යුතුය.
08. 2019 අප්‍රේල් 19 වැනිදා ජමීල් නිවසින් පිටවූ මොහොතට අදාළ ව සීසීටීවීවල සටහන් වූ දර්ශන 2019 අප්‍රේල් 21 සවස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පරීක්ෂා කර ඇති අතර, එම දර්ශන ඇතුළත් ඩීවීආර් යන්ත්‍රය ත්‍රස්ත මර්දන අංශයේ නිලධාරීන් රැගෙන ගොස් තිබිණි. එලෙස රැගෙන යන විට 2019 මාර්තු 31 වැනිදා සිට අප්‍රේල් 21 වැනිදා සවස යන්ත්‍රය ගලවන අවස්ථාව වන තෙක් දර්ශන පටිගත වී තිබී ඇත. එලෙස රැගෙන ගිය ඩීවීආර් යන්ත්‍රයේ 2019 අප්‍රේල් 19 වැනිදා උදෑසන 8.00 සිට 2019 අප්‍රේල් 21 වැනිදා සවස 2.30 දක්වා වූ වීඩියෝ කොටස පමණක් නොමැති බව ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. නිලධාරීන් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණේ ඩීවීආර් යන්ත්‍රය ගලවාගෙන ගොස් අදාළ විමර්ශන සිදුකරන අවස්ථාවේදී එම වීඩියෝ දර්ශන මැකීයන්නට ඇති බවයි. මුලින් අදාළ දර්ශන තිබී ඇති අතර, පසුව සමස්ත සීසීටීවී දර්ශනවලින් ජමීල් නිවසින් පිටත් වන දිනයේ සිට ටීඅයිඩී නිලධාරීන් යන්ත්‍රය ගලවා ගන්නා අවස්ථාව වන තෙක් කොටස පමණක් මැකී ගියේ කෙසේද යන්න ගැන විමර්ශනය කළ යුතු අතර, එලෙස මැකී ගිය දර්ශන යළි ප්‍රතිශ්ඨාපනය කර එම දර්ශන ආශ්‍රයෙන් ජමීල්ගේ, ජමීල්ගේ නිවසේ සාමාජිකයන්ගේ සහ නිවසට මෙම කාලය තුළ පැමිණි පිරිස ගැන විමර්ශනය කළ යුතුව ඇත.
09. 2019 අප්‍රේල් 20 වැනිදා සවස ටාජ් සමුද්‍රා හෝටලයට ගොස් ඉන් පිටත්වී ඇති ජමීල් ඉන්පසු පානදුර පිහිටි නිවසකට ගොස් ඇති අතර, සවස 7ට පමණ එයින් පිටත් වී ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ ස්පෑම් ටවර් වෙත සවස 7.33ට තවත් දෙදෙනකු සමග ගොස් ඇති බවට කරුණු අනාවරණය වුවද, එලෙස ගිය දෙදෙනා කවුරුන්ද යන්න ගැන විමර්ශන පවත්වා නැත. එසේ හෙයින් ඒ සම්බන්ධයෙන් ද විමර්ශන පැවැත්විය යුතුය.
10. 2019 අප්‍රේල් 21 වැනිදා ජමීල්, එබනිසා පල්ලිය තුළ සිටියදී ඔහුගේ අතේ ජංගම දුරකතනයක් තිබෙනු පල්ලියේ මවුලවිවරයා නිරීක්ෂණය කර තිබිණි. කෙසේ වෙතත් පල්ලියෙන් පිටතට යන ඔහු පරීක්ෂා කරද්දී ජංගම දුරකතනයක් නොතිබූ බව අමීර් නම් පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියා ඔහු පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රකාශ කර තිබේ. එබනිසා පල්ලිය තුළදී ඔහු සතුව තිබූ ජංගම දුරකතනය පල්ලියෙන් පිටතට පැමිණීමේදී නොතිබීමට හේතුව සහ ඔහු සතු වූ ජංගම දුරකතනය කිසියම් පුද්ගලයකු ලබාගෙන ඇද්ද, එසේ ලබාගෙන ඇත්නම් ඒ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුය.
11. ටාජ් සමුද්‍රා හෝටලයේදී ජමීල් අත වූ ජංගම දුරකතනය සහ එබනිසා පල්ලිය තුළ දී ජමීල් සතු වූ ජංගම දුරකතනය එක ම ජංගම දුරකතනය ද යන්න ගැන විමර්ශනය කළ යුතුය.
12. තමන් පල්ලියේ රැඳීසිටින්නේ වෙනත් කෙනෙකු එන තෙක් බවට ජමීල් ප්‍රකාශ කළේ යැයි ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඔහු එලෙස රැඳීසිටියේ කුමන පුද්ගලයකු පැමිණෙන තෙක් ද යන්න විමර්ශනය කළ යුතුය.
13. 2019 අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් සුළු වේලාවකට පසු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා විසින් ජමීල්ගේ නිවස වෙත යුද හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක් යොමු කර ඇතැයි ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. එබනිසා පල්ලිය අසලදී ජමීල් ව පරීක්ෂා කළ පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයාට එලෙස ගිය බුද්ධි නිලධාරීන් දුරකතන ඇමතුමක් ලබාදී හැව්ලොක් බුදු පිළිමයක් අසලට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවත්, ඔහු එහි ගිය ද අදාළ පිරිස නොපැමිණි නිසා ඔවුන් අනතුරක් කිරීමට උත්සාහ කළේද යන්න ගැන සැක මතු වී වහාම වැල්ලවත්ත පොලිසියට ආරක්ෂක නිලධාරියා ගොස් ඇති බවත් ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශනයක් සිදු කර නැති හෙයින් ඒ ගැන විමර්ශනයක් කළ යුතුය.
මේ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට අවංක අවශ්‍යතාවක් ඇත්නම්, මේ කරුණු 13 පිළිබඳව විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය වේ.
- ශාලික විමලසේන