ආණ්ඩුව මූලික පියවරක් තබා තිබේ. ඒ, අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සම්මත කිරීමෙනි. මේ පනතේ අරමුණ කෙටුම්පතේ මෙසේ දැක්වේ. ‘අපරාධයකින් උත්පාදිත දේ ආපසු ලබාගැනීම සඳහා විධිවිධාන සැලැස්වීමට ද, අපරාධයකින් උත්පාදිත දේ විමර්ශනය කිරීම, තහනම් කිරීම, රජය සතු කිරීම සහ බැහැර කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, තහනමට ගන්නා ලද අපරාධයකින් උත්පාදිත දේ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ද, අපරාධයකින් උත්පාදිත දේ කළමනාකරණ අධිකාරිය පිහිටුවීම සඳහා ද, අපරාධයකින් උත්පාදිත දේ අයකර ගැනීමට අදාළ ව අන්තර් නියෝජ්‍යායතන සහයෝගිතාව සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද, සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.’
ඒ අනුව කතාව පැහැදිලි ය. ජාත්‍යන්තර සංවිධාන සහ ජාත්‍යන්තර නීති සමග ද ඒකාබද්ධ වී ගමනක් යෑමට ආණ්ඩුව සූදානම් වී සිටී. පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් 50කට වැඩි පිරිසක පවතින නීති ලංකාව විසින් පිළිගැනීමට ගත් තීන්දුව ද ඊට සමපාත ය. ඒ ගැන පනතේ පූර්විකාවේ තවදුරටත් මෙසේ ද පැහැදිලි කර තිබේ.
‘නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් බරපතළ ප්‍රතිවිපාක සහ ඇතැම් අවස්ථාවලදී මූල්‍යමය සහ වෙනත් අලාභ සහ එම නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල වින්දිතයන්ට, මහජනතාවට සහ රජයට දේපොළ අයිතිවාසිකම් භුක්තිවිඳීම අහිමි වීම සිදු වන හෙයින් ද,
නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කරන තැනැත්තන්ට එම නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලින් උත්පාදිත දේ භුක්තිවිඳීම සහ එයින් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා කිසිදු නෛතික අයිතියක් හෝ වෙනත් කිසිදු හිමිකමක් හිමි නොවන හෙයින් ද සහ එවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් මගින් උත්පාදිත දේ සඳහා හිමිකාරිත්ව අයිතිවාසිකම් ලැබෙන හෝ උපචිත වන තැනැත්තන් වෙත ද එවැනි දේපොළ සඳහා කිසිදු නෛතික අයිතියක් නොලැබෙන හෙයින් ද…’
මෙසේ එහි පූර්විකාවේ පැහැදිලිව සඳහන් වන්නේ මේ දේපොළ සමස්ත ජනතාව වෙනුවෙන් ලබාගැනීමේ හෝ එවැනි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමේ වැදගත්කමයි. එසේ ම මෙහි තවත් තැනක මෙසේ දැක්වේ.
‘එම නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කරන්නන් විසින් ඒ නීතිවිරෝධී ක්‍රියාකාරකම් මගින් උත්පාදිත දෙයින් ප්‍රතිලාභ ලබාගැනීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සහ එසේ පඅරාධයක් මගින් උත්පාදිත දෙයින් ප්‍රතිලාභ ලැබීමට අන්‍යාකාරයෙන් හිමිකම් ලබන තැනැත්තන් වෙත ඒ දේ ආපසු ලබාදීම රජයේ වගකීම වන හෙයින් ද…’
මුදල් අමාත්‍යංශයේ 2023 වාර්ෂික වාර්තාවේ දැක්වෙන ආකාරයට රජයේ මුදල් රුපියල් බිලියන 22කට සිදු වූ දෙයක් නැත. අඩු තරමේ ඒ මුදලින් කළ දෙයක් තිබිය යුතුය. නිවසකට පුටුවක් මිලදීගත හොත් කැඩුණු පුටු කකුලක් හෝ පෙන්වන්නට තිබිය යුතුය. එහෙත් මෙතරම් විශාල මුදලකින් කළ කිසිවක් ජාතික විගණන කාර්යාලයට ලැබී නැත. ඔවුන් ඒ පිළිබඳ විමර්ශන කළ ද, එම මුදලට කළ දෙයක් සොයාගත හැකි වී නැත. මෙවැනි උදාහරණ කොතෙක් ද යන්න ලංකාවේ ජනතාවට නම් අමුතුවෙන් කිව යුතු නැත.
මේ පනතේ ඇති තවත් වැදගත් කරුණක් වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශන අංශ මගින් කළ ඉල්ලීමක් පිළිබඳව මෙහිදී අවධානය යොමුකර තිබීමයි.
‘අල්ලස් හා දූෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම සහ වෙනත් සංවිධානාත්මක සහ මූල්‍ය අපරාධ ඇතුළු නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධ විමර්ශන සඳහා පහසුකම් සැලැස්වීම.’
බොහෝ අවස්ථාවලදී රටින් පිට කළ වත්කම් පිළිබඳව මතු වූ ගැටලු, අල්ලස් නඩුවලදී මතු වූ ගැටලු ආදිය නිසා මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වීම ප්‍රමාද වූ අවස්ථා බොහෝ ය. මේ නිසා පොළොන්නරුවේ ළමා මන්දපෝෂණය වැඩිවීමටත්, ගර්භණී කාන්තාවන්ගේ නීරක්තිය වැඩිවීමටත් විසඳුම් සෙවීමට තිබූ මුදල් නැති වී තිබේ. එසේ ම මේ විමර්ශන සඳහා විශේෂ උසස් විමර්ශන ක්‍රමවේද බලාත්මක කිරීමේ සහ පිළිගැනීමේ වැදගත්කම ද මේ පනතේ සඳහන් ව තිබේ.
තවත් වැදගත් කරුණක් එහි මෙසේ දැක්වේ.
‘දේශීය නීතිය බලාත්මක කිරීමේ සහ පරිපාලන අධිකාරීන් අතර සහයෝගිතාව සඳහා අවශ්‍ය විධිවිධාන සැලැස්වීම.’
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලදී ද අනාවරණය වූ කරුණක් වූයේ රජයේ විමර්ශන අංශ අතර මෙන්ම විමර්ශන අංශ සහ පරිපාලන අංශ අතර ද නිශ්චිත බැඳීමක් සහ සහයෝගිතාවක් නොමැති වීම එම ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳ කටයුතු කිරීමේදී බාධාවක් වූ බවයි. එය ද වැලැක්වීමට අවශ්‍ය පියවර යම් තරමකට මේ පනතින් ඉදිරිපත් කර ඇත.
මේ නිසා අපරාධයකින් උත්පාදිත දේ නැවත ජනතාවගේ යහපත වෙනුවෙන් යෙදවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ආරම්භක පියවර මේ පනත මගින් තබා තිබෙන බව පෙනේ. කෙසේ වෙතත් අවශ්‍ය වන්නේ ඉදිරියට එම කටයුතු පිළිවෙලකට සිදු වීම ය. ජනතාවට විශ්වාසයක් ඇතිවන්නේත්, ජනතාව එම කටයුතු සඳහා සහයෝගය ලබාදෙන්නේත් එවිට ය. ආණ්ඩුවක පැවැත්මට වැදගත් ම දේ ජනතා සහයෝගයයි.
රෝම අධිරාජ්‍යයේ අධිරාජයා වූ සීසර්ගේ බිරිඳ පොම්පෙයාගේ කතාව එන්නේ ක්‍රිස්තු පූර්ව 67 කතාවක් ලෙස ය. සීසර්ගේ බිරිඳ පොම්පෙයා පිළිබඳ යම් සැකයක් ගැන කටකතාවක් පැතිරිණි. කිසිදු සාක්ෂියක් නැති වුවද, විචිකිච්ඡාවක් විය. මේ විචිකිච්ඡාව හේතුවෙන් පමණක් සීසර් ඇය තමන්ගේ බිරිඳ තනතුරෙන් ඉවත් කළේය.
පසුගිය කාලයේ නීති ක්ෂේත්‍රයේ වැඩියෙන්ම කතා වූ මාතෘකා අතර මේ මේ සීසර්ගේ බිරිඳගේ කතාව ද තිබිණි. ඊට හේතු වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනි විනිසුරුවරයා වන ප්‍රීති පද්මන් සූරසේන ලියූ තීන්දුවක 20 වැනි පිටුවයි. එහි දැක්වුණේ විනිසුරුවරුන් සීසර්ගේ බිරිඳටත් වඩා සැකයක්, විචිකිච්ඡාවක් ඇති නොවන පරිදි කටයුතු කළ යුතු බවකි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය දෙවරක්ම එම සභාවෙන් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ය, මෙසේ ලබාදී තිබුණේ.
ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ රෝමයේ ජීවත් වූ ප්‍රකට කවි ජුවෙනාල්ගේ ලතින් කවියක කොටසක් ද මේ තීන්දුවේ ඇත. එහි සරල අදහස වන්නේ ආරක්ෂකයන් තමන් විසින් ම ආරක්ෂා විය යුතු බවත්, ආරක්ෂකයන් ආරක්ෂා කිරීමට කිසිවකු නැති බවත් ය. මෙය විනිසුරුවරුන්ට පමණක් නොව, සියල්ලන්ට අදාළ කතාවකි. අල්ලස් කොමිසමටත් අදාළ ය. ජාතික ජන බලවේග ආණ්ඩුවටත් අදාළ ය. දේශපාලනඥයන් සියල්ලටත් අදාළ ය.
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සම්බන්ධයෙන් වන මේ ලිපිය අවසන් කරන්නට මේ කොටස යොදාගත්තේ හේතු කිහිපයක් නිසා ය. එක් පැත්තකින් මේ පනතට බය වී ඇත්තේ සීසර්ගේ බිරිඳට වගේ කතාවක් කෙසේ වෙතත් කරපු දේ ද ඇති පිරිස ය. අනෙක් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වන පරිදි මේ අපරාධවලින් දේපොළ උත්පාදනය කළ පිරිස් සිතා සිටියේ තමන්ට ජීවිත කාලයට ම රැකවරණයක් ඇති බවටයි. එහෙත් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සම්මත වූ මේ පනත නිවැරදිව ක්‍රියාත්මක වුවහොත් ඔවුන්ට ගැලවිය නොහැකිය.
මැතිවරණවල ආදායම් – වියදම් පනතට අනුව ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් කළ තොරතුරු සැකයට භාජනය වී ඇත. රනිල් වික්‍රමසිංහ විසින් බාරදී ඇති ඔහුගේ මැතිවරණ ආදායම්-වියදම් ලේඛනයේ ඇත්තේ පිටු දෙකකි. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළවත් එසේ ය. තවත් පැත්තකින් ඉවත් කරගත් අල්ලස් නඩු පිළිබඳව ද සංවාදයක් මතු වී තිබේ. ඇතැම් නඩු ඉවත් කරගෙන ඇත්තේ නැවත පැවරිය නොහැකි ලෙස ය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ඒ සම්බන්ධයෙන් අලුතින් වැඩ ගොඩක් ආරම්භ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක බැංකුව සමග නිල නොවන සාකච්ඡා වටයක් ජාතික ජන බලවේගය පැවැත්වූයේ ඡන්දයටත් පෙර ය. මේ එකදු සාකච්ඡාවක හෝ ඉලක්කය වී තිබුණේ සෘජු ව ආර්ථිකය ගොඩගැනීමක් නොවේ. අපරාධවලින් උත්පාදිත දේපොළ නැවත රටට ලබාගන්නේ කෙසේද යන්න මේ සාකච්ඡාවල ඉලක්කය වී තිබිණි. එය පිළිවෙලකට කියන්නේ නම් සොරකම් කරන ලද වත්කම් නැවත අයකර ගැනීමට මුල පිරීම මේ සාකච්ඡාවලදී සිදු වී ඇත. දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියෙන් මෙහිදී වැඩ ගොඩක් ගත හැකිය. ලෝකයේ රටවල්වලින් අති බහුතරයක් අත්සන් කර ඇති එම සම්මුතියේ මූලික ම අරමුණක් වන්නේ වත්කම් ප්‍රතිසාධනය කිරීමයි. ඒ කියන්නේ වත්කම් නැවත අයකරගැනීම සහ දූෂණය වැලැක්වීමයි. මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බලකාය ද මෙහිදී වැදගත් එකකි.
මේ බලකාය ආරම්භ කරන ලද්දේ 1989 වසරේදී ය. ජී-7 රටවල දූෂණය වැලැක්වීම මේ බලකාය ආරම්භයේ ඉලක්කය විය. පසුව යුරෝපා කොමිසම සමග ද එය සම්බන්ධ විය. ඉන්පසු සාමාජික රටවල් විවෘත ආර්ථික සම්මුතියට අත්සන් කරන ලදි. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ කළු සල්ලි ගනුදෙනු, ඒ සඳහා භාවිත කරන තාක්ෂණික ක්‍රම, ඒවා පාලනය කරන්නේ කෙසේද, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා දැනුම හුවමාරු කරගන්නා ආකාරය යනාදී වශයෙන් වගකීම් රැසක් මේ බලකාය දරයි. 2001 වසරේ සිට ඔවුහු ත්‍රස්තවාදීන්ට අරමුදල සපයන ආකාර සහ ක්‍රම සම්බන්ධයෙන් ද ගවේෂණය කරති. මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය, ලෝක බැංකුව යටතේ ඇති සොරකම් කරන ලද වත්කම් නැවත ලබාගැනීම සඳහා මුලපිරීමේ අංශය සමග ද කටයුතු කිරීම ආණ්ඩුව ආරම්භ කර තිබේ.
නැවතත් කිව යුතුය. ආරම්භය තැබීම වැදගත් ය. එහෙත් ඒ ගමන යා යුත්තේ ජනතාව තුළ විශ්වාසය තහවුරු වන ආකාරයට ය.
- ශාලික විමලසේන