‘මෝදිගේ ලංකාගමනය’ කියවාගත යුත්තේ කොතැනින් ද?

Share post:

ඉන්ද්‍රීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේය. ලංකාවේ විශාලතම අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාවේ අගමැතිවරයා අවසාන වතාවට ලංකා සංචාරයක නියුක්ත වූයේ 2019 වර්ෂයේය. එතැන් පටන් බොහෝ දෑ සිදුව තිබේ. 2020ට පසුව ලංකාව සිදුවීම් බහුල කාලයකට ඇතුලු විය. කෝවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, 2022 මහජන නැගිටීම, පොදුජන පෙරමුණේ බිඳ වැටීම හා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම සහ අවසාන වශයෙන් 2024 දී ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවීම දක්වා සැලකිය යුතු වෙනස්කම් රාශියක් මෙම කෙටි කාලය තුල සිදුවිය.

නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ලංකාවේ සංචාරය කරන පලමු විදේශ රාජ්‍ය නායකයා වන්නේ මෝදි ය. අනුර දිසානායක ආණ්ඩුව සම්බන්ධව බොහෝ විචාරකයන් අතර පැවැති උනන්දුසහගත ප්‍රශ්නයක් වූයේ එහි විදේශ ප්‍රතිපත්තිය කුමන දිශානතියක් ගනු ඇද්ද යන්නයි. ජාතික ජන බලවේගයේ මවු පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී නැමියාව නිසා නව ආණ්ඩුව වඩා චීන හිතවාදී ස්ථාවරයක් ගනු ඇතැයි ඇතැමෙක් පුරෝකථනය කලහ.

පසුගිය වසරේ අනුර දිසානායක ජනාධිපතිවරයා ඉන්දියාවේ කළ සංචාරය සහ නරේන්ද්‍ර මෝදිගේ වත්මන් ලංකා සංචාරය සංකේතාත්මක ලෙස වැදගත් වන්නේ ඇතැමුන් කල්පනා කළ ලෙසට දෙරට අතර සබදතා දුර්වල වීම කෙරෙහි ලංකාවේ සිදු වූ දේශපාලන වෙනස හේතු වී නැති බවට ඉන් සංඥා කෙරෙන නිසාය.

ඉන්දීය රජය පාර්ශවයෙන් ගත්කල, ලංකාව ඔවුන්ට වැදගත් වන්නේ ඇයි? සිය කලාපය තුල තමන්ගේ අනුහස පවත්වා ගැන්මට සාමාන්‍යයෙන් ඕනෑම කලාපීය බලවතෙක් උනන්දු වෙයි. දකුණු ආසියානු කලාපය සම්බන්ධව, මෙම භූ දේශපාලනික අභිලාෂය මේ අනුව ඉන්දියාව වෙත ද පවතී.

කෙසේ වුවද, පසුගිය වසර කිහිපය තුල දකුනු ආසියාව තුල සිදුවූ වර්ධනයන් ඉන්දීය රජයට එතරම් හිතකර නොවීය. 2023 වර්ෂයේ මාලදිවයින තුල මොහොමඩ් මොයිසු ජනාධිපති බවට පත්වීමත් සමග හේ කැපී පෙනෙන ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් ප්‍රකට කළ අතර, චීනය දෙස නැඹුරු වීමක් සංඥා කලේය. මෙය 2024 වර්ෂය වන විට රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් දක්වා දිග්ගැස්සුණි. අනෙක් අතට, 2024 බංගලාදේශයේ සිදු වූ සිවිල් අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස, ඉන්දීය හිතවාදී අවාමි ලීගයේ ආණ්ඩුව බිඳ වැටීම හා ඉස්ලාම්වාදී බලවේගවල නැගී ඒම ඉන්දියාව සම්බන්ධව හිතකර වර්ධනයක් නොවීය.

ලංකාව සම්බන්ධව ගත්කල, 2022 ආර්ථික අර්බුදයට මෙරට ලක්වීමෙන් අනතුරුව ― විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමත් සමග, ලංකාවේ විදේශ පිලිවෙත ඉන්දියාව වෙත වඩා නැඹුරු වීමක් දැකගත හැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ලංකාව ඇතුලු වන තෙක්, යා කිරීමේ මූල්‍ය පහසුකම් (bridging finance) ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 3.8 ක මුදලක් ඉන්දියාව විසින් ලබා දෙන ලදී.

2022 ට පසුව ලංකාව සමග ඉන්දියාව ගනුදෙනු කළ ආකාරය දෙස බලන විට පෙනී යන්නේ, චීනය ලංකාව වෙතින් ඈත් කිරීමේ අරමුණ ඔවුන්ගේ පැත්තෙන් මූලික වූ බවයි. මේ සඳහා ඔවුන් අනුගමනය කළ එක් උපාය මාර්ගයක් වූයේ විවිධ සන්ධිකරණ ව්‍යාපෘතීන් (connectivity projects) ප්‍රවර්ධනය කිරීමයි. ලංකාවේ සහ ඉන්දියාවේ විදුලි බල පද්ධතීන් ආබද්ධ කිරීම, ඉන්දියාව හා ලංකාව සම්බන්ධ කෙරෙන තෙල් නලයක් ඉදිකිරීම ආදී වූ යෝජනා ඒ අතර වෙයි. මෙබඳු ආර්ථික වැඩසටහන් පසුපස තිබෙන ‘දේශපාලනය’ වන්නේ කලාපය තුල සිය ප්‍රමුඛතාවය රදවා ගැන්මට ඉන්දියාව තුල වන අභිලාෂයයි.

කලාපීය වශයෙන් බලවත් රටක්, කලාපීය ආධිපත්‍යය කෙරෙහි උනන්දු වීම ලංකාව වැනි එබඳු රටවල් අවට පවතින කුඩා අසල්වැසි රාජ්‍යයන්ට මුහුණ දෙන්ට සිද්ධ වෙන භූ දේශපාලන යථාර්තයකි. මෙය සූක්ෂම ලෙස කලමනාකරණය කරගත යුතු තත්වයකි. එක් අතකින්, කලාපීය බලවතා සමග සෘජු ගැටුමක් ඇති කරගැන්ම දේශපාලන හා ආර්ථික වශයෙන් අවාසිදායක විය හැක. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයකට ලක්ව සිටින ලංකාව බඳු රටකට මෙය කො‍හෙත්ම වරණයක් නොවේ. නමුත්, ගැටුමකට නොයාමේ නාමයෙන් කුඩා රාජ්‍යයේ ජාතික අභිලාෂයන් සම්පූර්ණයෙන්ම සම්මුතිගත කිරීම ද අවශ්‍ය නැත.

නව ආණ්ඩුව ඉන්දයාව සමග වන සබදතාවය මේ තාක් දුරට කලමණාකරනය කරගෙන තිබෙන්නේ කෙසේද? බලයට පත්වීමට පෙර සිටම, ජාතික ජන බලවේගය තමුන් ඉන්දියාව සම්බන්ධව මිත්‍රශීලී ආකල්පයක් අනුගමනය කරන බව ප්‍රකාශ කළේය. 2024 මුල, එවකට විපක්ෂ මන්ත්‍රීවරයෙක් වූ අනුර දිසානායක ඉන්දීය රජයේ ආරාධ‍නයෙන් එරට සංචාරයක නියුක්ත වූ අතර ජනාධිපතිධූරයේ දිවුරුම් දුන් පසුව හේ පලමු විදෙස් සංචාරය ලෙස නව දිල්ලිය වෙත ගමන් කළේය.

දැනට වාර්තා වී ඇති ආකාරයට අගමැති මෝඩිගේ ලංකා සංචාරය අතරවාරයේ ලංකාව සහ ඉන්දියාව බලශක්ති ක්ෂේත්‍රය, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ ආරක්ෂක සහයෝගීතාවය යන අංශවලට අදාල අවබෝධතා ගිවිසුම් කීපයකට ඇතුලු වීමට නියමිතය. මෙම කරුණු මගින් පෙන්වන්නේ ප්‍රධාන වශයෙන් කලාපීය බලවතා සමග යම් අවබෝධයක් සහිතව ඉදිරියට කටයුතු කිරීමට ආණ්ඩුව නැමියාවක් දක්වන බවයි.

එහෙත් අනෙක් අතට, පසුගිය දවස්වල ආන්දෝලනයට තුඩු දුන් මන්නාරම ප්‍රදේශයේ යෝජිත අදානි සමාගමේ සුලං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධ සිදුවීම අපට තවත් පැතිකඩක් ද පෙන්වා දෙයි. ගෞතම් අදානි යනු නරේන්ද්‍ර මෝඩි ආණ්ඩුවට අතිශය සමීප ව්‍යාපාරිකයෙක් වන අතර, භාරතීය ජනතා පක්ෂය සහ අදානි සහ අම්බානි වැනි ඉන්දියාවේ සාපේක්ෂ නව ධනපති පන්තිය අතර සම්බන්ධය සහචර ධනවාදය සම්බන්ධ නිදසුනක් ලෙස ද හුවා දක්වනු ලැබේ.

අදානි සමාගම මන්නාරම සුලං විදුලි බලාගාරය සම්බන්ධ ව්‍යාපෘතියෙන් ‘ගෞරවාන්විත ලෙස’ ඉවත් වන බවට පසුගිය දා ප්‍රකාශ කළේය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යුගයේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධ එකගතාවය ඇති වූ අතර, එවකට විපක්ෂයේ සිටි අනුර දිසානායක මෙම එකගතාවය බලවත් ලෙස විවේචනයට ලක්කළේ ඉන් එකග වූ විදුලි ඒකකයක මිල, ඉන්දියාව තුල අදානි සමාගම විසින් නියම කරනු ලබන මිලට වඩා සැලකිය යුතු ලෙසකට ඉහල එකක් බවට වූ පදනම මතය.

බලයට පත් වූ පසුව, මෙම එකගතාවය යලි විමර්ශනය සඳහා ආණ්ඩුව කමිටුවක් පත් කළේය. තමුන් අදානි ව්‍යාපෘතිය සම්බන්ධව විවෘත නමුත්, කිසිසේත්ම මුල දී එකග වූ අධික මිල අනුව කටයුතු කිරීමට සූදානම් නොවන බවට අනුර දිසානායක ජනාධිපතිවරයා අවස්ථා කීපයක දී ප්‍රකාශ කොට ඇත. මේ අනුව මෙම ව්‍යාපෘතියේ අනාගතය අවිනිශ්චිත එකක් බවට පත්ව ඇත ; බොහෝ විට එය සිදු නොවනු ඇත.

මන්නාරම අදානි ව්‍යාපෘතිය සම්බන්ධ සිද්ධිය විසින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව ඉන්දියාව සම්බන්ධව දක්වන විවෘතභාවය කොන්දේසි විරහිත එකක් නොවන බවය. පසුගිය ආණ්ඩුව මිල්කෝ සමාගමට අයත් ඉඩම් හා කිරි ගොවිපොල ඉන්දීය අමූල් සමාගමට විකිණීමට එකග වී තිබුනු අතර, නව ආණ්ඩුව යටතේ එය නතර කොට ඇත. කොලඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම, සාම්පූර් සූර්ය විදුලි බලාගාරය බඳු ඇතැම් ව්‍යාපෘතින් සමග ඉදිරියට යාමට කටයුතු කරන අතර, මන්නාරම ව්‍යාපෘතිය වැනි බැලූ බැල්මට පැහැදිලි ආර්ථික අවාසියක් ඇති කරන ඒවා සම්බන්ධව ස්ථිර පිලිවෙතක් අනුගමනය කිරීම තුල ආණ්ඩුවේ මෙම පරිස්සම්සහගත ප්‍රවේශය පිලිබිඹු වේ යැයි කිව හැක‍

ගෝලීය දකුණට අයත් වේගයෙන් දියුණු වන රටක් වන ඉන්දියාව ඉදිරි දශක කිහිපය තුල ලෝකයේ විශාලතම ආර්ථිකයක් බවට පත්වීමට නියමිතය. සාමාන්‍යයෙන් කලාපීය රටක් දියුණු වන විට, කලාපයේ සෙසු රටවල් වෙත වෙලදාම, ආයෝජනය යන අංශවලින් යම් යම් වාසිදායක අවස්ථා නිර්මාණය වෙයි. ජපානය කාර්මිකකරණය වීම සමග, නව කාර්මික රටවල් ලෙස සැලකෙන දකුණු කොරියාව, තායිවානය, හො‍ංකොං යන රටවල් කාර්මික දියුණුව අත්කරගත් අයුරු ― එනම් විශාල රටේ සංවර්ධනය, අනෙක් රටවල සංවර්ධනය උද්දීපනය කල අයුරු මේ සම්බන්ධ සම්භාව්‍ය නිදසුනකි.

කෙසේ වුවත්, හුදෙක් විශාල රට දියුණු වූ පමණින් කුඩා රටවල් ඉන් අනිවාර්යයෙන් වාසි ලබන බවක් මින් අදහස් නොවේ. එය තීරණය වන්නේ කරුණු ගණනාවක් මතය ;  රටවල් අතර තිබෙන සම්බන්ධතාවයේ ස්වභාවය, විවෘත වන අතරම ජාතික ප්‍රමුඛතා අනුව කටයුතු කිරීමට කුඩා රටවල් දක්වන සූදානම ආදී කරුණු මේ අතර වෙයි.

ලංකාව බඳු රටක් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධව ගත්කල අන්තයන් දෙකක් මග හැරීමට පරිස්සම් විය යුතුය. පලමු අන්තය, විදේශ රටවල් සමග සබඳතා සියල්ල දෙස ආරක්ෂණවාදී ඇසින් බලන, අවිචාරාත්මක සංවෘතවාදයයි. අනෙක් අතට, අනෙක් රටවල් හා අන්තර්ජාතික සංවිධාන භූ දේශපාලන අරමුණුවලින් තොර ඒවා ලෙස සලකන ― රටේ ජාතික අභිලාෂයන් පිලිබඳ උනන්දුවක් නොපෙන්වන අවිචාරාත්මක විවෘතභාවයයි. අපට අවශ්‍ය වන්නේ අපගේ ජාතික අභිලාෂයන් මත තිරසර ලෙස පදනම් වෙමින්, වෙනත් රටවල් සමග ගනුදෙනු කල හැකි විචාරාත්මක මධ්‍යස්ථවාදී ආකල්පයකි. මෙම ආකල්පය මත පිහිටමින්, ඉන්දියාව, චීනය බඳු ගෝලීය දකුණේ නැගී එන රටවල් සමග ගනුදෙනු කරන තැනකට යාමට උත්සාහ කිරීම ලංකාව වැනි රටකට උචිත ප්‍රශස්තම විදේශ ප්‍රතිපත්තිය යැයි කිව හැක. 

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය රමිඳු පෙරේරා

Related articles

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි !

අධිකරණයට අපහාස කිරීම පිළිබඳව අලුතින් සංවාදයක් ඇති වී තිබේ. ඊට හේතු වී තිබෙන්නේ පසුගිය මාර්තු 28  වැනිදා පුත්තලම...

සූරි වසර හතලිහක් තිස්සේ සිංහල, පෝලන්ත මෙන්ම ඉංග්‍රිසි බසින් රචනා කළ කවි කියවමින් ගෙවුන සන්ධ්‍යාව

සූරි -රත්නසිරි සූරියආරච්චි පිළිබඳ මගේ මතකය ඇරඹෙනුයේ 1985වසරේ අග සිටය. ඒ මගේ සරසවි දිවියේ පළමු වසර වන අතර...

මනෝහරී ජයලත්ගේ අලුත්ම නවකතාව ” නිදොස්මි නිදහස්මි”

ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය හා සංස්කෘතික වශයෙන් ද පසුගාමී සමාජයක ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රතිවිරෝධතා උත්සන්න තලයක පවතී. සෑම...

කච්චතිව් නඩුව සහ මෝදිගේ ලංකාගමනය !

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන 05 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත ය. එහිදී ඔහු සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර...