Home Blog Page 3

‘නොදුටු බුදුන්’ – ශ්‍රියානි මිහිඳුකුලසූරිය

0

කවීහු බොහෝවිට ව්‍යාංගය සිය නිර්මාණයේලා මහත් අභිරුචියෙන් භාවිතා කරති. එහෙත් ඒ භාවිතාවෙහි සීමා සහ අවස්ථා වටහා නොගැනීම මත විටෙක කවිය ව්‍යංගයෙහි සිරව අරුත් දුරවබෝධ අක්ෂර ගාලක් බවට ලත්වී නිර්මාණයද නිර්මාණකරුවාද පාඨකයාගෙන් දුරස්කර දමයි. මෙය වර්තමානයේ බොහෝවිට දක්නට ලැබෙන තත්වයකි. එහෙත් දක්ෂ නිර්මාණකරුවා එහි මාත්තුව හොඳින් වටහා ගන්නෙ ව්‍යාංගය සිය නිර්මාණයට ආලෝකය සපයන මාධ්‍යයක් බවට පත් කරගන්නට සමත්වෙයි. එවිට කවියද නිර්මාණකරුවාද පාඨක ලෝකයේ ඇගයුමට පත්වෙති.

ශ්‍රියානි මිහිඳුකුලසූරිය කිවිඳිය ගේ කවි කියවන විට පළමුවෙනම දක්නට ලැබෙනා ලක්ෂණයක් වනුයේ ඇය ව්‍යාංගාර්ථවත් කවියක් නිර්මාණය කිරීමට දරන වෙහෙස මෙන්ම එහිලා ඇය සාර්ථකත්වයට පත්වන ආකාරයයි. ව්‍යාංගය සිය කවියට ආලෝකයක් කරගැනීමට ඇය සමත්ව සිටින්නීය. එහෙයින්ම ඇගේ කවිය කියවීමට රුචි චනවන මට්ටමකට ළඟා කරගන්නටද ඇය සමත්වන්නීය.

පරිණත නමින් වන කවිය මෙහිලා කදිම උදාහරණයක් සේ දැක්විය හැකිය. ඇය එහිදී පරිසර සාධකයන් රූපක සේ ගෙන ජීවිතයේ ගැඹුර කණින්නට යත්න දරන්නීය. පරිසරයේ ප්‍රමුඛ සාධක දෙකක් වන ගලා යන ජලය සහ එහි ගැටෙනා ගල් රූපක සේ ගෙන ඇය තම කවිය තුළින් මතු කරන්නී ජීවිතය ආදරය මෙන්ම ජීවිතාවබෝධය සහ අත්දැකීම් හමුවේ වෙනස්වන නැතිනම් පරිණතවන පැවැත්මක තතු ය. ඇය තම කවිය අරඹනුයේ ගලක් සහ ගඟක් සම්මුඛ කරමිනි.

ඉවුර අයිනේ වතුර වැදි වැදි
ගලක් තිබුණා සෙවල බැඳි බැඳි
කිසි හැඩක් නැති අවපාට ඇති
මෙතෙක් කාගෙත් ඇස ගැටුනෙ නැති

ගලෙහි මෙන්ම නදියෙහිද ගමන වෙනස් වන්නේ මෙතැනදීය.

කනටෙ ලංවී රැයක මිහිරැති
එ ගල ඇසුවා ගඟෙන හැඩ ඇති
ඔහෙත් එක්කල මාත් එන්නද
නිකං හිටියා අනේ මට ඇති

මෙතැන් පටන් ඇරඹෙනුයේ දිගු ගමනකි. ඒ ගමන යනු දෙපාර්ශවයම අන්‍යෝන්‍ය වහයෙන් පෝෂණය වන, පරිණත වන, අවබෝධය ලබාගන්නා ගමනකි.

පෙරලි පෙරලී ගලත් දිවුවා
ගඟේ වේගෙට හතිත් වැටුනා
හැප්පෙනා හැම වරක් පාසා
රිදුම් දෙනවද ගඟත් ඇසුවා

කිවිඳිය මේ කව ඇසුරින් අප හමුවේ තබනා ජීවිතය සහ ආදරය පිළිබඳ අදහස ානව සම්බන්ධතා විකෘතව යන ගනුදෙනු පමණක් ඉතිරිවන සමාජයට සිතන්නට යමක් ඉතිරි කරන්නකි.

ඇය නොදුටු බුදුන් නමින් කවියක් මෙහි බහාලයි. එ කව නූතන සමාජය සහ අධ්‍යාපනය ගැන සියුම් කියවීමකි. පාසල් දරුවන් රැසක් කැටුව යන විනෝද චාරිකාවක තතු අපට ගෙනෙනා කිවිඳිය ඒ තුළින් අපේ අධ්‍යාපනයේ දිළිඳුබව මතුකර දක්වන්නීය. ඒ දුෂ්කර පාසලක ගුරුවරියකගේ අත්දැකීමක් තුළින් දිළිඳු දරුවන් රැසකගේ ඉරණම මෙන්ම අධ්‍යාපනයට ඇවැසි මූලිකම අවශ්‍යතා පවා අහිමි රටක නග්න බව විවර කරමිනි. අවවරප්‍රසාදිත පිරිස් හට ආගමද පසුපස ම හරවන යථාර්තයක ඇය දරුවන්ගේ අවිහිංසකබව මෙන්ම සමාජයෙහි ඇති විෂමතාවයේ කුරිරු බවද සියුම් ලෙස මතුකර දක්වන්නීය.

පිච්ච මල් ඉහිරිලා වාගෙයි හරි හැඩයි නිල් තණ බිමේ
බුදුන් දුටුවේ නැතත් මුව මත කොඳ සිනා මල් මල් පිපේ
කුරුලු පැටවුන් වගෙයි කිචි බිචි රහ බලන ගෙන ආ බතේ
වෙනද වගෙ මැල්ලුමක් විතරද අදත් පුතුනේ බත් පතේ?

කිවිඳියගේ මුළු කාව්‍ය නිර්මාණ පෙල පුරාම කැටිව ඇත්තේ සියුම් සෙනෙහසක් මුසු සංවේදී බස් වහරකි. එහෙත් ඇය විටෙක එය බිඳ දමා පුලුල් අරුත් මවනා කවියක්ද නිර්මාණය කරන්නීය. විශේෂයෙන්ම මෙය ඇගේ කෙටි කවි තුළ දැකිය හැකිය. පුළුල් දේශපාලන අරුතක් මවනා මේ කවිය ඊට නිදසුනකි.

සොහොන් කොත්
තුළ උස්
ඇට කැබලි
නොම උස්

ඇගේ කවියෙහි ලා ඇය විසින් හාරා පාදා ගන්නා ඇතැම් කව්‍යෝක්ති නැවුම් බවින් යුක්තය. බහුලව භාවිතාවට ගන්නා කව්‍යෝක්ති වෙනුවට ඇය විටක කවියකුට එතරම් සමීපව නැති පාර්ශවයක් කරාද යොමු වෙයි. තෙළි තුඩකි දැහැන්ගත යන කවිය ඊට මනා නිදසුනකි. ඇය එහිදී සිත්තරකු හා නිරූපණ ශිල්පිණියක අපට අභිමුඛ කරන්නීය. ඒ කවිය තුළින් ඇය කතා කරනා සිතුවිළි ලෝකය බෙහෙවින් මියුරුය. සම්මත වෘත්තික ගනුදෙනුවෙහි සීමා ඉක්මවා යමින් මනුෂ්‍ය ආත්මය නග්න කර දක්වන ඒ කවියෙහි ඇති අනුරාගිකත්වය සහ ස්නේහය මානව බන්ධුතාවන්හී සංකීර්ණත්වය මතු කර දක්වයි. තමන් අභිමුව නග්න වතින් සිතුවමට පෙනී සිටිනා ශිල්පිණිය හමුවේ දැහැනකට සමවැදුනාක් මෙන් තම කාරියෙහි නරතවන සිත්තරා හමුවේ ශිල්පිණිය සිය ආත්මයේ දෝංකාරය මුදන්නේ මෙලෙසිනි.

පලා යන්නට නොදී තිර ලෙස
වෙළි සියොළඟ තවුස් දම් බිඳ
සිත්තරාණෙනි නුඹේ හැඩ තල
ම හද බිත මත මම අඳින්නද

තාර පාරෙත් අන්න රතු රෝස මල් නමින් එන කවියද එවන් කදිම නිර්මාණයකි. පුතකු සහ මවක ඇසුරින් ආදරයේ පැහැය සොයා යන ඒ කවිය අවධානයට ලක්විය යුතු වියමනකි. අගේ කවි එකතුවෙහි අවධානයට ලක්විය යුතු කවි ගණනාවක්ම තිබේ. එහෙත් අව නඩුවක් නමින් එන කවියෙහිදී කිවිඳිය සමාජයේ පවත්නා සාමාන්‍ය මතවාදයන් ඉක්මවා ජීවිතය ගැඹුරින් දකින්නට තැත් නොරයි. එහෙයින්ම ඒ කවිය සරල කියවීමකට සීමා වෙයි. එහෙත් ඇයගේ කවි එකතුවෙහි ඇරඹුම සළකුණු කරනා මතු බුදු නම් කවිය පියකුගේ භූමිකාව සහ සමාජ පසුතලය එකට තබා කියවන්නට තැත් දරන අගේ කල යුතු නිර්මාණයකි.

කිවිඳියගේ කාව්‍ය එකතුව කියවනා විට සිතට බෙහෙවින් වදදුන් කරුණකද සටහන් කල යුතුමය. ඒ කෘතියෙහි නිමාව පිළිබඳවය. කෘතියක සාර්ථකත්වයට එහි පිටකවරය සැලකිය යුතු දායකත්වයක් සපයයි. විශේෂයෙන්ම පාඨකයාගේ නෙත ඇද ගැනීමට පිට කවරයකින් වන මෙහෙය විශාලය. අවාසනාවට ඇගේ ප්‍රකාශකයා මේ ගැන අවධානය යොමා නැති සැටියකි. අනෙක් අතින් කිවිඳියද ඒ ගැන සැලකිල්ලක් දක්වා නොමැති සැටියකි. මේ දෙපාර්ශවයම ඒ උනන්දුව දැක්වූවේ නම් මේ කාව්‍ය ග්‍රන්ථයට වැඩි ආලෝකයක් සපයාගන්නට ඉඩ තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රියානි මිහිඳුකුලසූරිය කිවිඳියගේ නොදුටු බුදුන් පද්‍ය සංග්‍රහය මෑත බිහිවූ සංඛ්‍යාවෙන් විශාල කෘති අතර අවධානයට ලක් විය යුතු කවි එකතුවකැයි කීම සාධාරණයයි සිතමි.

චූලානන්ද සමරනායක

වෙනස් වෙන්න : නැත්නම් අපි වෙනස් කරනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක

රාජ්‍ය නිලධාරීන් දුෂණයෙන් තොර නව ප්‍රතිපත්ති සමග එක්ව කටයුතු නොකරන්නේ නම්, ඔවුන්ව වෙනස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ, කෑගල්ල නිදහස් මාවතේ අද (05) පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක්වෙමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

“…මෙම විනාශයන් පසුපස දේශපාලන අධිකාරිය තිබෙනවා. අපේ රටේ ප්‍රාදේශීය වැලි තොටුපළවලින් විශාල ප්‍රමාණයක් අයත් වන්නේ දේශපාලනඥයන්ට, එහෙම නැත්නම් දේශපාලනඥයාගේ සමීපතමයෙකුට. මේ තත්ත්වය මට වඩා හොඳින් ඔබ දන්නවා. අපේ වන විනාශය පිටුපසත් දේශපාලනඥයන් සිටිනවා. මේ වනය විනාශ කිරීමට දේශපාලන අධිකාරියේ ආරක්ෂාව සහ රැකවරණය තිබුණා.

ඔබ ජීවය මරාදමන පංගුකරුවෙක් වෙන්න එපා. ඔබ ජීවය ලබා දෙන පංගුකරුවෙක් වන්න. ඊට අවශ්‍ය දේශපාලන රැකවරණය අපි ලබා දෙනවා. දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක් වී තිබුණාට පැරණි නිලධාරි යාන්ත්‍රණය යම් කොටස් පැරැණි පුරුද්දෙන් ගැලවෙන්න අසමත් වී තිබෙනවා. පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙන් හොර පාස්පෝර්ට් හදපු නිලධාරීන් හමු වෙනවා. රේගුවෙන් භාණ්ඩ එළියට දාපු නිලධාරීන් හමු වෙනවා. පතල් කාර්යාංශයෙන් විවිධ ආක්‍රමිකතා කළ නිලධාරීන් හමු වෙනවා. ඒ නිසා අපි කියන්නේ පරණ පුරුදු අත්හැර අලුත් වෙන්න කාලේ ඇවිත් තිබෙනවා. මා නැවත නැවත මතක් කරන්නෙ වෙනස් වෙන්න නැත්තම් අපි වෙනස් කරනවා.”

හැංගිලා හිටියා – අතිරේක සොලිසිටර් ජනරාල් : හැංගිලා හිටියෙ නෑ – දේශබන්දුගේ නීතිඥ !

මාතර වැලිගම වෙඩි තැබීමේ සිදුවීමට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසු ඔහු සැඟව සිටි බව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා විසින් “දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතළ ලෙස අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කළ පරීක්ෂණ කමිටුව “හමුවේ ඊයේ (03) අවධාරණය කළේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සොයා දෙන ලෙස මහජන සහය පතමින් නිවේදන නිකුත් කිරීමට පවා පොලිස් දෙපාර්තමේන්තුවට සිදුවූ බව ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියේ ප්‍රධානියා බව සිහිපත් කළ දිලීප පීරිස් මහතා සාමාන්‍ය පුරවැසියකුට ලෙස ඔහුට කටයුතු කළ නොහැකි බව කමිටුව හමුවේ අවධාරණය කළේය.

වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2025-02-27 දින විවෘත වරෙන්තුවක් නිකුත් කළ අතර එසේ තිබියදීත් එම වකවානුව තුළ දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟව සිටි බව දිලීප පීරිස් මහතා පැවැසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විත කමිටුව ඊයේ (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය.

මාතර වැලිගම සිදුවීමට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන් අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුව විත්තිකාර දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟව නොසිටි බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය වීරවික්‍රම මහතා කමිටුව හමුවේ අවධාරණය කළේය.

තමන්ට එරෙහිව කිසිඳු සාක්ෂියක් නොමැතිව තිබියදීත් අසාධාරණ ලෙස තමන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ බව දේශබන්දු තෙන්නකෝන් මහතාද පරීක්ෂණ කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.

අසාධාරණ ලෙස තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කිරීමෙන් පසුව තමන් ඉහළ අධිකරණයේ පිහිට පැතූ බව ද දේශබන්දු තෙන්නකෝන් මහතා කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.

තම සේවා දායකයාටද සාමාන්‍ය පුරවැසියකුට ඇති අයිතිය ඇති බැවින් එලෙස ඉහළ අධිකරණය වෙත ගිය බවත් එම වකවානුව තුළ කිසිසේත් සැඟව නොසිටි බවත් නීතිඥ සංජය වීරවික්‍රම මහතා මෙහිදි ප්‍රකාශ කළේය.

ඊයේ (3) පස්වරු 2.00ට පමණ මෙම කමිටුව රැස්වූ අතර සාක්ෂි කරුවන්ගෙන් අංක එකේ සිට 12 දක්වා වන සාක්ෂි සටහන් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයේ නීතිඥ සංජය වීරවික්‍රම මහතාට පසුගිය සෙනසුරාදා පස්වරුවේ ලබාදුන් බවද අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේය.

මෙම සිදුවීමට අදාළ අංක 01 සිට 22 දක්වා සාක්ෂිකරුවන් විසින් ඉදිරිපත් කර ඇති මූලික සාක්ෂි පරික්ෂණ කමිටුවට මෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයටද පරික්ෂණ කමිටුව ඉදිරියේ ලබාදීමද ඊයේ සිදුවිය.

එමෙන්ම වැලිගම සිදුවීමට අදාළ සාක්ෂි කරුවන්ගේ සාක්ෂි දිවුරුම් ප්‍රකාශ මගින් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අද දිනට පෙර ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා එදින එකඟතාවය පළ කළේය.

. මෙම සිදුවීමට අදාළව විමර්ශන තව දුරටත් සිදුවන බැවින් 24, 25 යන සාක්ෂිකරුවන් විසින් ලබා දී ඇති සාක්ෂි වගඋත්තරකාර පාර්ශ්වය වෙත ලබාදීමට දිලීප පීරිස් මහතා සිය විරෝධය පළකර අතර ඒ අනුව එම සාක්ෂිකරුවන් දෙදෙනා විසින් ලබා දී ඇති සාක්ෂි පාර්ලිමේන්තු සංකීර්ණයෙහි පරික්ෂණ කමිටුව රැස්වන කාරක සභා කාමරයෙහිදි පරිශීලනය කිරීමට අවස්ථාව ලබාදීම සඳහා එකඟතාව ලබාදීමද මෙහිදි සිදුවිය.

එමෙන්ම 23, 26, 27, 28, 29, 30 යන සාක්ෂිකරුවන් විසින් ලබාදි ඇති ප්‍රකාශ වල පිටපත්ද වගඋත්තරකාර පාර්ශ්වය වෙත ලබාදීම යෝග්‍ය බව පරික්ෂණ කමිටුවේ මතය විය.

පරික්ෂණ කමිටුව රැස්වීමෙන් පසු විනාඩි කිහිපයකින් පමණ අදහස් දැක්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ පරික්ෂණ කමිටුව පසුගියදා රැස්වීමෙන් පසුව ඇතැම් මාධ්‍ය එය වාර්තා කර ඇති ආකාරය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරන බවයි. පරික්ෂණ කමිටුව ඉදිරියේ තමන් සිදුනොකළ ප්‍රකාශයක් හුවා දක්වමින් එක්තරා පුවත්පතක් පසුගියදා වාර්තා කර තිබූ අතර ඒ තුළින් පොලිස් නිලධාරීන් තුළ අර්බුදයක් හටගෙන ඇති බවයි.

පරික්ෂණ කමිටුව හමුවේ තමන් එදින ප්‍රකාශ කළේ හරක් කටාගේ ක්‍රියාකළාපය හේතුවෙන් මාතර ප්‍රදේශයේ නිලධාරින් වැඩි පිරිසක් බියට පත්ව ඇති බවත් නිලධාරින් සුළු පිරිසක් හරක් කටා සමඟ සම්බන්ධතා පවත්වන බව යැයිද දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය. තමන් කිසිසේත් සමස්ත නිලධාරින්ට චෝදනා එල්ල නොකළ අතර සිදු නොකළ ප්‍රකාශ වාර්තා කිරීම තුළින් එම නිලධාරින්ට මෙන්ම තමන්ටද සාධාරණ වේදනාවක් ඇති වූ බව ද ඒ මහතා පැවැසීය. තමන් කිසිසේත් අදහස් නොකළ දේවල් මෙලෙස වාර්තා කිරීම සම්බන්ධයෙන් බරපතළ කනස්සල්ලක් ඇති වන අතර මෙවැනි පිළිගත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීවත් තමන්ට සාධාරණයක් සිදුවිය යුතු බව ද හෙතෙම පැවැසීය.

එහිදි අදහස් දැක්වූ පරික්ෂණ කටිටුවේ සභාපති, ශ්‍රේෂඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ පරික්ෂණ කමිටුවේ කාර්යය භාරය වැරදි ලෙස වාර්තා වීම ගැටලු‍ සහගත බවයි. කෙසේ වුවද මාධ්‍යෙය් කාර්ය භාරයට බලපෑම් කළ නොහැකි වුවද මාධ්‍යවේදින්ද පරික්ෂාකාරි ලෙස වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

(මූලාශ්‍රය – දිනමිණ)

දේශබන්දුගේ ප්‍රකාශයක් නිසා පොලිසිය පත්තු වෙයි !

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් විසින් කරන ලද ප්‍රකාශයක් පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේ දැඩි මතබේදයකට තුඩු දී තිබේ.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඇති චෝදනා විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු කමිටුව හමුවේ අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ දකුණු පළාතේ පොලිස් නිලධාරීන් රැසකට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සමග සම්බන්ධකම් ඇති බවයි. මේ ප්‍රකාශයෙන් පසු කමිටුව තෙන්නකෝන් මහතාට අවවාදයක් ද කර තිබිණි.

මේ ප්‍රකාශය පිළිබඳව දකුණු පළාතේ සේවය කරන ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩ බලන පොලිස්පතිවරයා දැනුවත් කර ඇත. ඔවුන් පවසා ඇත්තේ පොදුවේ මෙවැනි චෝදනාවක් කිරීම බරපතළ බවත්, එවැනි සාධක ඇති පොලිස් නිලධාරීන් ඇති සම්බන්ධයෙන් තෙන්නකෝන් මහතාගෙන් තොරතුරු ලබාගෙන විමර්ශනයක් කරන ලෙසත් ය.

මේ පිරිස අදාළ කරුණ පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාව ලිඛිත ව දැනුවත් කිරීමට ද සූදානම් වේ. එම කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ලලිත් ඒකනායක පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයෙකි.

මේ අතර වැලිගම සිද්ධිය සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනය ප්‍රධාන වශයෙන් ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි මත පදනම් වී ඇති බව රාජකාරි කිරීම තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නීති උපදේශක සංජීව වීරවික්‍රම පවසා තිබේ.

පොලිස්පතිවරයාට එරෙහි චෝදනා විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ සිදු වන විභාගයේදී ඔහු මේ බව සඳහන් කර ඇත.

මේ නඩුවේ ඉදිරි කටයුතු සියල්ල දේශපාලන පක්ෂ ආධාරකරුවන්ගේ සාක්ෂි මත රඳාපැවතිය හැකි බව වීරවික්‍රම මෙහිදී පෙන්වා දී ඇත. ඊට ප්‍රතිචාර දක්වමින් කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විමර්ශනයේදී මධ්‍යස්ථභාවයේ වැදගත්කම අවධාරණය කර තිබේ. සාක්ෂිවල විශ්වසනීයත්වය තක්සේරු කිරීම සඳහා දේශපාලන පක්ෂ සාක්ෂිකරුවන් සිටී නම් ඔවුන් ඇතුළු සියලු‍‍ම සාක්ෂිකරුවන් කැඳවිය හැකි බව ද විනිසුරුවරයා මෙහිදී පවසා ඇත.

පසුගිය 28දා මේ කමිටුව හමුවට දේශබන්දු තෙන්නකෝන් කැඳවා තිබිණි. මෙහිදී පොලිස්පති තෙන්නකෝන් හෙළි කර තිබුණේ දකුණු පළාතේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක හරක් කටා සමඟ සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති බවයි. බිය සහ පෞද්ගලික වාසි හේතුවෙන් සමහර නිලධාරීන්, විශේෂයෙන් මාතර ප්‍රදේශයේ නිලධාරීන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට පෙළඹී ඇති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

විමර්ශනයේ මේ අදියරේදී අනවශ්‍ය අදහස් දැක්වීමෙන් වළකින ලෙස විනිසුරු සූරසේන මෙහිදී පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව ද දැනගන්නට ඇත.

වැලිගම සිද්ධිය පිළිබඳව තමන් මුලින්ම දැනගත්තේ දෙසැම්බර් 31 දින බව ද තෙන්නකෝන් මෙහිදී පවසා තිබේ.

පාර්ලිමේන්තු කමිටුවේ කටයුතු අතරතුර නීතිඥ වීරවික්‍රම සහ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වී ඇත. මෙහිදී කමිටුවේ සභාපතිවරයා පවසා ඇත්තේ මේ විමර්ශනය පුරාවට විධිමත් සහ විනිවිදභාවය ආරක්ෂා කරගත යුතු බවත්, එහිදී වෘත්තීය ගෞරවය අතිශය වැදගත් බවත් ය.

මීළඟ අගවිනිසුරු පිළිබඳ පාර්ශ්ව දෙකකින් දෙවිදිහක සාකච්ඡා !

අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවෙමින් තිබේ.

වර්තමාන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ලබන ජූලි මාසය අවසානයේ විශ්‍රාම යෑමට නියමිත ය. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයා වන්නේ ප්‍රීති පද්මන් සූරසේන ය.

ජ්‍යේෂ්ඨ නීතිඥයන් සහ අධිකරණ සේවයේ නිලධාරීන් පිරිසක් මීළඟ අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සාකච්ඡාවලදී ඉදිරි අධිකරණ කටයුතු පිළිබඳව මෙන්ම අධිකරණ සේවයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද වැඩි අවධානයක් යොමුකර තිබේ.

පාර්ශ්ව දෙකක් ලෙස මේ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ. එයින් එක් පාර්ශ්වයක් අධිකරණ සේවයේ සිදු විය යුතු ප්‍රතිස්ංස්කරණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත්, අනෙක් පාර්ශ්වය අධිකරණ සේවය තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමුකර ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අරමුණු මොනවාද – අලුතින් එවැනි නීතියක් ම ගේන්න හදන්නේ ඇයි ?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම : එය නව ත්‍රස්ත නීතියකින් ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳව ආණ්ඩුව දරන උත්සාහය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ වගකිවයුත්තන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. මේ, එහිදී අමාත්‍යංශ ලේකම්වරයාට බාරදුන් ලියවිල්ල පහත පළවේ.

1979 අංක 49 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ නව ත්‍රස්ත විරෝධී නීති හා සම්බන්ධ නිර්දේශ, අදහස් හෝ යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට සති දෙකක ඉතා කෙටි කාලයක් ලබා දෙමින් 2025 මැයි 16 දින පුවත්පත්වල පළ කරන ලද පුවත්පත් දැන්වීමට බලවත් සැලකිල්ලක් දක්වන ශ්‍රී ලාංකීය ජනතාව වශයෙන් අපි මෙසේ ප්‍රතිචාර දක්වන්නෙමු.

පළමුවෙන්ම, නව ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පත් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව අපි අතිශයින් කළකිරීමට හා කනස්සල්ලට පත්ව සිටිමු. ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනීමට පෙර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත  අවලංගු කරන බවට ශ්‍රී ලංකාවේ මහජනතාවට සහතික විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි අසාමාන්‍ය හා පීඩාකාරී නීති මෙම රජය විසින් පවත්වා ගෙන නොයන බවට පැහැදිලි පොරොන්දුවක් දී තිබුණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවශ්‍ය වීමේ ස්වභාවය පිළිබඳ විවිධ ප්‍රසිද්ධ ප්‍රකාශ, සහ නව ත්‍රස්ත විරෝධී නීතියක් පිළිබඳව සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීම, ජනතාවට දුන් පොරොන්දුව කඩ කිරීමකි. ජාතික ජන බලවේගය විසින් කුරිරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම පිළිබඳව ලබා දුන් කොන්දේසි විරහිත පොරොන්දුව පිළිබඳව තීරණයක් ගැනීමට, දැන් එම පක්ෂය ආණ්ඩුවේ සිටින බැවින් පැකිළෙමින් සිටී.

තවද එම කමිටුවේ සංයුතිය මඟින් ශ්‍රී ලාංකික බහුතරවාදී පරිපාලන යාන්ත්‍රණය විසින් එවැනි නීති ක්‍රියාත්මක කරන ආකාරය සහ ජාතිවාදය විසින් උපයෝගි කරගන්නා ආකාරය පිළිබඳ නොදැනුවත්කම පෙන්නුම් කරන බව අපි තවදුරටත් ප්‍රකාශ කරමු. කමිටුව ප්‍රධාන අභිලාශයන් නියෝජනය නොකරයි- එයට බොහෝ දුරට රාජ්‍ය නිලධාරීන්, හමුදා සහ ආරක්ෂක අමාත්‍යංශයේ සේවක පිරිස් ඇතුළත් වන අතර, වින්දිතයින්/වින්දිත පවුල් හෝ දෙමළ හෝ මුස්ලිම් නියෝජනය ඇතුළත් නොවේ. එම නිසා, ජනතාවගේ, විශේෂයෙන් අපේ සමාජයේ වැඩියෙන්ම අවදානමට ලක්විය හැකි අයගේ හොඳම යහපත සඳහා වන දේ සලකා බලන ආයතනයක් ලෙස, ඉහත කමිටුවට ජනතාව හමුවේ නිත්‍යානුකූලභාවයක් නොමැත.

ඉතා දරුණු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් අසමානුපාතිකව දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට පමණක් නොව, 88/89 අරගලය අතරතුර දකුණේ තරුණයින්ට ද, මෑතකාලීන ජනතා අරගලය අතරතුර ශිෂ්‍ය නායකයින්ට, සහ ශ්‍රීලංකාවේ විකල්ප/විරුද්ධවාදී දේශපාලන හඬවලට ද සිදු කරන ලද මිනිස් ජීවිත හා විභවයන් පුළුල් පරිමාණයෙන් විනාශ කිරීම බැරෑරුම් ලෙස සලකා බලන ලෙස අපි අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් උපදවන ලද දේශපාලන නොරිස්සීම සහ මෙම පීඩාකාරී නීතිය පවත්වාගෙන යාමෙන් අපගේ දේශපාලන සංස්කෘතියට සිදු වූ හානියට පිළියම් කළ නොහැකි ය. නිදහසින් පසු අනුප්‍රාප්තික රජයන් විසින් යොදා ගන්නා ලද රාජ්‍ය පීඩනය, රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ බෙදීම්කාරී අනන්‍යතා දේශපාලනයේ ඉතිහාසයෙන් ඉවත් වීමට කාලය පැමිණ ඇත. අපගේ අත්දැකීම වන්නේ, මෙම නීතිය භාවිතා කර ඇත්තේ රාජ්‍යයේ ඒකාධිපතිවාදී අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා පමණක් බවත්, කිසි විටෙකත් ජනතාවගේ අභිලාෂයන් සඳහා නොවන බවත් ය. ජනතාවගේ පරමාධිපත්‍යය ගැන මෙනෙහි කිරීමට, සිදු වූහානියට පිළියම් කිරීමට සහ මානව හිමිකම් මත පදනම් වූ නව දේශපාලන සංස්කෘතියක්, නිදහස සහ ගෞරවය මත පදනම් වූ ජනතාවට සැබෑ ආරක්ෂාවක් ගොඩනැගීමට ද කාලය පැමිණ ඇත.

1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු භයානක ත්‍රස්ත විරෝධී නීතියකි. එය ස්වභාවයෙන්ම අසාමාන්‍ය (පළමු අවස්ථාවේදීම අධිකරණ හෝ පාර්ලිමේන්තු අධීක්ෂණයකින් තොර) වන අතර, සාමාන්‍ය අපරාධ නීතිය සමග ස්ථිර ලෙසම අසාධාරණ ලෙස ක්‍රියාත්මක වේ. පොලිසියට ලබා දෙන පාපොච්චාරණ (බොහෝ විට වධ හිංසා පැමිණවීමෙන් ලබාගන්නා) පිළිගත හැකිවීමේ විධිවිධාන, පරිපාලනමය රඳවා තබාගැනීම් සහ ප්‍රකාශන තහනම් කිරීමට ජනාධිපතිට ඇති බලතලයන සියල්ලම ප්‍රජාතන්ත්‍රවාදී නීතියේ ආධිපත්‍යයට සහ මානව හිමිකම්වලට සපුරා පිළිකුල් සහගත වේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති අධික බලතල වසර 40 කට වැඩිකාලයක් තිස්සේ අනිසි ලෙස භාවිතා කර ඇති අතර, වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් මෙම නීතිය යටතේ විනාශකාරී පෞද්ගලික ප්‍රතිවිපාකවලට මුහුණ දෙමින් සිටිති. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් පුළුල් ලෙස පිළිගත් සහ දිගුකාලීන දේශීය හා ජාත්‍යන්තර හෙළා දැකීමක් පවතී. 2015 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව ඇතුළුව, ශ්‍රී ලංකාරජය ද මෙම නීතිය අවලංගු කිරීමට නැවත නැවතත් පොරොන්දු වී ඇත. 2022 දී  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද ”‍ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්මඅහෝසි කළ යුතු”‍ බවත් ”‍රටේ සාමාන්‍ය නීතිය යටතේ ත්‍රස්තවාදය විමර්ශනය කළ යුතු”‍ බවත් ඉල්ලා සිටියේ ය.

අනෙක් අතට, ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා නීති සහ ආයතන තිබේ. ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමට  ශ්‍රී ලංකාවේ අපරාධ නීති සංග්‍රහය අවම වශයෙන් නීති 15ක් මෙන්ම,  දණ්ඩ නීති සංග්‍රහය යටතේ විවිධ විධිවිධාන ඇතුළත් වේ. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සම්මුතීන් ද අනුමත කර ඇති අතර, ඒවා ත්‍රස්ත විරෝධී නිශ්චිත නීති බවට සම්මත කර ඇත. ශ්‍රී ලංකාවට ජාතික බුද්ධි සේවයක්, ත්‍රස්ත විරෝධී විමර්ශන අංශයක් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයක් ඇත. මෙම සාමාන්‍ය නීති පද්ධතිය, පූර්ණ අධිකරණ අධීක්ෂණයට යටත්ව, ‘ත්‍රස්තවාදී තර්ජනය’ කෙරෙහි ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රතිචාරය සකස් කළ යුතු ය.

මෙම පසුබිම තුළ අපි පහත සඳහන් දෑ දැඩි ලෙස නිර්දේශ කරමු;


1. 1979 අංක 49 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතවහාම අවලංගු කිරීම, සහ වෙනත් අනුවාදයක් මත කටයුතු කරන කමිටුව හරහා උපක්‍රම ප්‍රමාද කිරීමට උත්සාහ නොකිරීම. රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතඅවලංගු කරන තෙක් එය යොදා ගැනීම පිළිබඳව තාවකාලික තහනමක් පැනවිය යුතු ය. 
2. ‘ත්‍රස්තවාදය‘ සම්බන්ධ ගැටළු විසඳීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන ඇතුළුව පවතින අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුළ අවම වශයෙන් නීති 15ක් ඇත. එබැවින්, ත්‍රස්තවාදය පිළිබඳ විශේෂ නීතියක් සඳහා දැනට අවශ්‍යතාවයක් නොමැත.
3. සංචරණයේ නිදහස, රැස්වීම් පැවැත්වීම, රැස්වීමේහැකියාව, රැලියක් හෝ පෙළපාලියක් පැවැත්වීම හෝ ඕනෑමආකාරයක විරෝධතාවයක් මඟින් ඉල්ලීම් ඉදිරිපත් කිරීමසීමා කිරීමට පොලිසියට / විධායකයට බලය පවරන කිසිදුනීති පැනවීමක් සිදු නොකරන බවට සහතික විය යුතු ය. විවාදය සහ විසම්මුතිය ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍යලක්ෂණ වන අතර මෑත වසරවලදී, බොහෝ පීඩාකාරී නීතිමෙම මූලික අයිතිවාසිකම් ඛාදනය කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදීක්‍රම හරහා නිත්‍යානුකූල අභිලාෂයන් හඹා යන පුද්ගලයන්ටසහ ජනතාවන්ට ත්‍රස්ත නීති මගින් කිසිදු ආකාරයකින් බාධා නොකළ යුතු ය.
4. ජනාධිපති සමාවන්, සාක්ෂි නොමැති නම් චෝදනා ඉල්ලා අස්කර ගැනීම, හෝ පාපොච්චාරණ හරහා පමණක්/ප්‍රාථමික සාක්ෂි තිබේ නම් සහ තවමත් චෝදනා එල්ල වී නොමැති අය නිදහස් කිරීම ඇතුළු දේශපාලනමය හා නීතිමය මැදිහත්වීම් හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවා සිටින සියලු‍ දෙනාටම යුක්තිය ඉටු කිරීම කඩිනම් කිරීමට පියවර ගන්න.
5. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන වරදකරුවන් නොවූ අයට පිළිගැනීම, සමාව අයැදීම, හානිපූරණය, ශාරීරික හා මානසික සෞඛ්‍ය රැකවරණය සහ ජීවනෝපායය සහාය ඇතුළුව රාජ්‍යය මඟින් වන්දි ලබා දීම සහතික කිරීම. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිට අත්අඩංගුවේ සිටියදී මියගිය අයගේ පවුල්වලට ද වන්දි ලබා දිය යුතුය.

ලංකාවේ ළමා මන්දපෝෂණය සහ මහින්දානන්ද – නලින් ප්‍රනාන්දු තීන්දුව එකට කියවමු !

හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ හිටපු ඇමැති නලින් ප්‍රනාන්දුට වසර 25ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් නියම කෙරිණි. 2014 සැප්තැම්බර් මාසයේ පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මාසයේ 31 වැනිදාත් අතර කාලයේදී සතොස ආයතනයට ගෙන්වූ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් 2015 ජනාධිපතිවරණයේ දේශපාලන අරමුණු වෙනුවෙන් බෙදාදීමෙන් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළ බවට මේ හිටපු ඇමැතිවරුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පවරා තිබූ මේ නඩුව විභාග කරන ලද්දේ අගවිනිසුරුවරයා විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් වූ ප්‍රදීප් හෙට්ටිආරච්චි, ප්‍රදීප් අබේරත්න සහ මහේෂ් වීරමන් විසින් ය. විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස මීට පෙර හිටපු ඇමැතිවරුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම් විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කර තිබිණි. 

අපරාධ නඩුවක විත්තිකරුවකුට එරෙහිව නඩු විභාගය ඇරඹෙන්නේ අහිංසකභාවයේ පූර්ව නිගමනයට අනුව ය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මේ අයිතිය සහතික කර තිබේ. යම් පුද්ගලයකු නොකළ වරදකට දඬුවම් විඳීම වැළක්වීම මෙහි අරමුණ ය. විත්තිකරුවකුගේ වරදකාරීත්වය පිළිබඳව කිසිදු සාධාරණ සැකයක්, සාධාරණ මිනිසකුගේ මනසේ ඇති විය නොහැකි තරම් දුරට සාක්ෂි මගින් අදාළ චෝදනාව සනාථ විය යුතුය.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි මහින්දානන්ද අලු‍ත්ගමගේට එරෙහිව මීට පෙර තවත් චෝදනාවක් ගොනුකර තිබිණි. එම චෝදනාවෙන් හිටපු ඇමැතිවරයා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේ 2021 වසරේ පෙබරවාරි 25 දින ය. වසර හතරකට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ තීරණය කර තිබුණේ විත්තිකරු වෙත එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමටයි, විනිසුරුවරයා නියෝග කර තිබුණේ.

මෙවර විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඇසූ නඩු විභාගයේ තීන්දුවයි, ඊයේ (29) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන්නේ. 

මීට අමතරව චීනයෙන් ගෙන්වූ පොහොර නැව පිළිබඳ අල්ලස් නඩුව ද මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව විභාග වේ. 

2021/2022 මහ කන්නය සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට අදාළ ටෙන්ඩරය පිරිනමා තිබූ චීනයේ Qingedo Seawin  Biotech  Group Company Ltd ආයතනය මගින් ලබාදුන් පොහොර ආදර්ශය හෙවත් පොහොර සාම්පලයේ අහිතකර ජීවින් සහ බැක්ටීරියා සිටින බව ජාතික ශාක නිරෝධායන සේවය සහ ශ්‍රී ලංකාවේ විද්‍යාගාර කිහිපයක කරන ලද පරීක්ෂණ මගින් අනාවරණය විය. එම නිසා ණයවර ලිපි නිකුත් නොකරන ලෙස ලක් පොහොර සමාගම සහ කලම්බු කොමර්ෂල් පොහොර සමාගම විසින් මහජන බැංකුවට දැනුම් දී තිබිණි.

තත්ත්වය මෙසේ තිබියදී එවකට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේගේ සහ එවකට කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂගේ මැදිහත්වීමෙන් චීනයේ Schutter Global Insfection Survey Companny Ltd නම් ආයතනයෙන් පොහොර පරික්ෂා කිරීම සඳහා උපදෙස් ගෙන ඇත. ඒ අනුව මෙම චීන ආයතනය විසින් පොහොර ජීවානුහරණය කර ඇති බව ප්‍රකාශ කළත් ලංකාව තුළදී ජාතික ශාක නිරෝධායන සේවය විසින් එය තවදුරටත් ප්‍රතික්ෂේප කර ඇත.

කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා විසින් ද එම කරුණට අදාළව කාර්යමණ්ඩල කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව විසින් චීනයේ පර්යේෂණ ආයතනය නිකුත් කරන ලද වාර්තාව මත පදනම්ව මෙම පොහොර තොගයේ ව්‍යාධික බැක්ටීරියා නොමැති බවටත් එමගින් මිනිසුන්ට හා සතුන්ට හානියක් නොවන බවටත් සහ එසේ වුවත් හිතකර ජීවින් සිටිය හැකි බවටත් වශයෙන් වූ නිශ්චිත නොවන, එනම් වටේ යන තීරණයක් ලබා දී ඇත.

මුල් අවස්ථාවේදී ගිවිසුම් අනුව චීන පොහොර සමාගම විසින් සම්පූර්ණ වශයෙන් පොහොර ජීවානුහරණය කළ යුතු බව අධිකරණයේදී පළිගෙන ඇතත්, චීන පරීක්ෂණාගාරය විසින් නිකුත් කළ වාර්තාව මත පදනම්ව මෙරටදී ඇමැතිවරුන් විසින් පත්කළ කමිටුව පොහොර  සම්පූර්ණයෙන් ජීවානුහරණය කිරීමට අවශ්‍ය නැතැයි තීරණයක් ගෙන ඇත.

මේ කසළ පොහොර නැව ලංකාවට ගෙන ඒමත් සමග ඊට මුදල් ගෙවීමේ අවශ්‍යතාව ඇති විය. මේ ගැටලු‍‍ව විසඳාගැනීම සඳහා නීතිපති උපදෙස් ලබාගෙන ඇති අතර, එහිදී නීතිපතිවරයා නිර්දේශ 04ක් ලබා දී තිබේ. එවකට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් මෙම නිර්දේශ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලබාගෙන ඇත. එහෙත් පසුව එකී නිර්දේශ සම්පූර්ණ කර නැත.  

මුලදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් සහ පසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් මෙහිදී රජයට පාඩු වී ඇත. එම මුදලෙන් කොටසක් හෝ අයකර ගැනීමට එවකට කෘෂිකර්ම ඇමැතිවරයා කටයුතු කර නැති බව මේ වන විට අධිකරණයේදී හෙළිවෙමින් පවතී. ඒ අනුව බලන විට මෙහි සමස්ත පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 11.7කි. ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය 300ක් ලෙස ගත් විට, රජයට සිදු කර ඇති සමස්ත පාඩුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 3,510 ඉක්මවයි. 

මෙහි ගිවිසුම සම්පූර්ණ කිරීමෙන් පසු ගෙවිය යුතු වූ ඩොලර් මිලියන 05 නොසලකා හැරියද, කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ තීරණ හේතුවෙන් ආනයනික බලපත්‍රයක් රහිතව පොහොර නැව්ගත කිරීමෙන් ලක් පොහොර සමාගම අත්හිටුවා තිබූ ණයවර ලිපි නැවත විවෘත කිරීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 මෙන්ම මහ කන්නයට පොහොර නොමැති වීමෙන් වගා කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල විය.

එවකට කෘෂිකර්ම ඇමැතිවරයා විසින් කාබනික පොහොර ආනයනය කිරීමට අදාළ ව සීමාසහිත ලංකා පොහොර සමාගම/සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ Qingedo Seawin  Biotech  Group Company Ltd  අතර පවතින ආරවුල නිරාකරණය කිරීම යන ශීර්ෂයෙන් 2021 දෙසැම්බර් 21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමට කිසිදු උත්සාහයක් දරා නැත. එම නිසා පාඩුව දෙගුණ වී තිබේ. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ගත් කාබනික පොහොර ගෙන්වීමේ තීරණයට අදාළ කැබිනට් සංදේශ ඉදිරිපත් කරන ලද්දේ ද එවකට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් ය. එහිදී ක්ෂුද්‍ර ජීවීන් නොමැතිව මේ පොහොර ආනයනය, ඒවා ජීවානුහරණය කිරීම, ලංකාවේ ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට ගැලපෙන බව පරීක්ෂා කිරීම යන කරුණු සම්බන්ධයෙන් ද ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැත. මීට අමතරව හෙළිකිරීමට නොහැකි අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක් වැයකර කොළඹ, කින්සි පාරේ නිවසක් මිලදීගැනීම ඇතුළු තවත් චෝදනා රැසක් ද මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමැතිවරයාට එරෙහිව එල්ල වී තිබේ. 

මෙවැනි දූෂණ නැවත සිදුනොකිරීමට අදාළ බිය ඇති කිරීමත්, දූෂණ විරෝධී පිරිස් අභිප්‍රේරණය කිරීමත් අධිකරණය මේ නඩු තීන්දුවෙන් බලාපොරොත්තු වන බව ඊයේ (29) තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරු මඩුල්ල පවසා තිබිණි. නව දූෂණ විරෝධී පනතේ ඇති සාධනීය ප්‍රතිපාදන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද මෙහිදී අතිශය වැදගත් කරුණකි. උදාහරණයක් ලෙස රාජ්‍ය නිලධාරියකු යම් රාජකාරියක් ඉටුකිරීමේදී ඊට අදාළ වන බැඳියාවක් අනාවරණය නොකිරීම මේ යටතේ අපරාධ වරදක් බවට පත්කර තිබේ. වඩාත් විනිවිදභාවයෙන් යුත් රටක් කරා යන ගමනකට පදනම දැමිය යුත්තේ එතැනින් ය.

එසේ ම මෙවැනි වංචා – දූෂණ සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර ම, ඔවුන් අයථා ලෙස රජයට පාඩු කරමින් ඉපයූ හෝ ඔවුන්ගේ තීරණ නිසා රජයට පාඩු වූ මුදල් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් ද කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය.

2024 වර්ෂයට අදාළ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශ සමීක්ෂණ වාර්තාවලට අනුව වයස අවුරුදු පහට අඩු දරුවන් 10,323 දෙනෙක් උග්‍ර පෝෂණ ඌණතාවයෙන් පෙළෙති. මේ සමික්ෂණය සඳහා පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ තුළ ලියාපදිංචිව සිටි වයස අවුරුදු පහට අඩු දරුවන් 13,01,649 අතරින් දරුවන් 12,67,472 දෙනකු සම්බන්ධ කරගෙන තිබිණි. එම වාර්තාවට අනුව උග්‍ර පෝෂණ ඌණතාවයෙන් පෙළන වයස අවුරුදු පහට අඩු දරුවන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඉන්පසු කුරුණෑගල ය. ඊළඟට අනුරාධපුරයයි.

එසේ ම මෙරට අවුරුදු පහට අඩු වයසට සරිලන ලෙස උස අඩු දරුවන් 133,538 දෙනකු වාර්තා වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි. මේ අතරින් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. ඊළඟට බදුල්ලෙනි. මේ සංඛ්‍යා ලේඛනවලින් කියන්නේ අපේ රටේ ළමා පරපුරේ සෞඛ්‍ය තත්ත්වයයි. පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය මෙයට නොදෙවැනි ය. පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මගින් නිකුත් කොට ඇති වාර්තාවකට අනුව උසට සරිලන බර නොමැති (කෘෂ) පාසල් දරුවන්ගේ ප්‍රතිශතය 2023 වසරට සාපේක්ෂව 2024 වර්ෂයේදී සියයට 21.0 සිට සියයට 26.8 දක්වා වැඩි වී ඇත.

මහින්දානන්දලා හින්දවන ලද්දේ මේ දරුවන්ගේ අනාගතයයි. මේ දරුවන් වෙනුවෙන් වැයකිරීමට තිබූ මුදල් ය, ඔවුන් නැති කරන ලද්දේ. එම නිසා අපට ඇසීමට ඇත්තේ රුපියල් මිලියන 53කට අවුරුදු 20ක් නම්, පොහොර ගනුදෙනුවේදී පමණක් සිදු වූ රුපියල් මිලියන 3,510ට කොපමණක්ද යනුවෙන් ය. 

  • ශාලික විමලසේන

පාර්ලිමේන්තු කමිටුවේදී නීතිඥවරු අතර උණුසුම් තත්ත්වයක් – දේශබන්දුට චෝදනා කරන්නේ ජාජබ අයගේ සාක්ෂි මත විතරක් ලු !

වැලිගම සිද්ධිය සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනය ප්‍රධාන වශයෙන් ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි මත පදනම් වී ඇති බව රාජකාරි කිරීම තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නීති උපදේශක සංජීව වීරවික්‍රම පැවසීය.

පොලිස්පතිවරයාට එරෙහි චෝදනා විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ සිදු වන විභාගයේදී ඔහු මේ බව සඳහන් කළේය.

මේ නඩුවේ ඉදිරි කටයුතු සියල්ල දේශපාලන පක්ෂ ආධාරකරුවන්ගේ සාක්ෂි මත රඳාපැවතිය හැකි බව වීරවික්‍රම මෙහිදී පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දක්වමින් කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විමර්ශනයේදී මධ්‍යස්ථභාවයේ වැදගත්කම අවධාරණය කළේය. සාක්ෂිවල විශ්වසනීයත්වය තක්සේරු කිරීම සඳහා දේශපාලන පක්ෂ සාක්ෂිකරුවන් සිටී නම් ඔවුන් ඇතුළු සියලු‍ම සාක්ෂිකරුවන් කැඳවිය හැකි බව ද විනිසුරුවරයා මෙහිදී පැවසීය.

ඊයේ (28) මේ කමිටුව හමුවට දේශබන්දු තෙන්නකෝන් කැඳවා තිබිණි. මෙහිදී පොලිස්පති තෙන්නකෝන් හෙළි කළේ දකුණු පළාතේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක හරක් කටා සමඟ සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති බවයි. බිය සහ පෞද්ගලික වාසි හේතුවෙන් සමහර නිලධාරීන්, විශේෂයෙන් මාතර ප්‍රදේශයේ නිලධාරීන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට පෙළඹී ඇති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

විමර්ශනයේ මේ අදියරේදී අනවශ්‍ය අදහස් දැක්වීමෙන් වළකින ලෙස විනිසුරු සූරසේන මෙහිදී පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

වැලිගම සිද්ධිය පිළිබඳව තමන් මුලින්ම දැනගත්තේ දෙසැම්බර් 31 දින බව ද ඔහු පැවසීය.

පාර්ලිමේන්තු කමිටුවේ කටයුතු අතරතුර නීතිඥ වීරවික්‍රම සහ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය. මෙහිදී කමිටුවේ සභාපතිවරයා පැවසුවේ මේ විමර්ශනය පුරාවට විධිමත් සහ විනිවිදභාවය ආරක්ෂා කරගත යුතු බවත්, එහිදී වෘත්තීය ගෞරවය අතිශය වැදගත් බවත් ය.

මහින්දානන්දට අවුරුදු 20ක් – නලින් ප්‍රනාන්දුට අවුරුදු 25ක් : මිලියන 53කට මෙහෙම නම් ?

2015 ජනාධිපතිවරණයේදී ක්‍රීඩා සමාජවලට බෙදාහැරීම සඳහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ආනයනය කිරීමෙන් රජයට මිලියන ගණනක පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 10 ක සිරදඬුවම් කොළඹ මහාධිකරණය නියම කර ඇත.

එසේම හිටපු සතොස සභාපති නලින් ප්‍රනාන්දුටද වසර 25 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල විය.

අනීතික ලෙස දේශබන්දු පොලිස්පති කිරීමේ නඩුව සැප්තැම්බර් 08 – තහනම විභාගය අවසන් වන තෙක් ක්‍රියාත්මකයි !

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියකින් තොරව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ගනු ලැබූ තීරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සැප්තැම්බර් 08 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ බලතල සහ රාජකාරී ඉටුකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන අතර, එම අතුරු තහනම් නියෝගය මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් අධිකරණ නියෝගයේ සඳහන් ය.

මෙම පෙත්සම් අද (28) ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට ලක්කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව නවයක් විසින් මේ පෙත්සම් ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරුවන් පවසන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ගේ නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ බහුතර ඡන්දයෙන් සම්මත වී නොතිබියදී ඔහු පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමේ තීරණය බල රහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.

ඒ අනුව, මෙම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල නියෝග කළේ ඒවා සැප්තැම්බර් මස 08 වැනිදා කැඳවන ලෙසයි.