හැංගිලා හිටියා – අතිරේක සොලිසිටර් ජනරාල් : හැංගිලා හිටියෙ නෑ – දේශබන්දුගේ නීතිඥ !

Share post:

මාතර වැලිගම වෙඩි තැබීමේ සිදුවීමට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසු ඔහු සැඟව සිටි බව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා විසින් “දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතළ ලෙස අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කළ පරීක්ෂණ කමිටුව “හමුවේ ඊයේ (03) අවධාරණය කළේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සොයා දෙන ලෙස මහජන සහය පතමින් නිවේදන නිකුත් කිරීමට පවා පොලිස් දෙපාර්තමේන්තුවට සිදුවූ බව ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියේ ප්‍රධානියා බව සිහිපත් කළ දිලීප පීරිස් මහතා සාමාන්‍ය පුරවැසියකුට ලෙස ඔහුට කටයුතු කළ නොහැකි බව කමිටුව හමුවේ අවධාරණය කළේය.

වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2025-02-27 දින විවෘත වරෙන්තුවක් නිකුත් කළ අතර එසේ තිබියදීත් එම වකවානුව තුළ දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟව සිටි බව දිලීප පීරිස් මහතා පැවැසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විත කමිටුව ඊයේ (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය.

මාතර වැලිගම සිදුවීමට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන් අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුව විත්තිකාර දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟව නොසිටි බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය වීරවික්‍රම මහතා කමිටුව හමුවේ අවධාරණය කළේය.

තමන්ට එරෙහිව කිසිඳු සාක්ෂියක් නොමැතිව තිබියදීත් අසාධාරණ ලෙස තමන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ බව දේශබන්දු තෙන්නකෝන් මහතාද පරීක්ෂණ කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.

අසාධාරණ ලෙස තමන් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කිරීමෙන් පසුව තමන් ඉහළ අධිකරණයේ පිහිට පැතූ බව ද දේශබන්දු තෙන්නකෝන් මහතා කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.

තම සේවා දායකයාටද සාමාන්‍ය පුරවැසියකුට ඇති අයිතිය ඇති බැවින් එලෙස ඉහළ අධිකරණය වෙත ගිය බවත් එම වකවානුව තුළ කිසිසේත් සැඟව නොසිටි බවත් නීතිඥ සංජය වීරවික්‍රම මහතා මෙහිදි ප්‍රකාශ කළේය.

ඊයේ (3) පස්වරු 2.00ට පමණ මෙම කමිටුව රැස්වූ අතර සාක්ෂි කරුවන්ගෙන් අංක එකේ සිට 12 දක්වා වන සාක්ෂි සටහන් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයේ නීතිඥ සංජය වීරවික්‍රම මහතාට පසුගිය සෙනසුරාදා පස්වරුවේ ලබාදුන් බවද අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේය.

මෙම සිදුවීමට අදාළ අංක 01 සිට 22 දක්වා සාක්ෂිකරුවන් විසින් ඉදිරිපත් කර ඇති මූලික සාක්ෂි පරික්ෂණ කමිටුවට මෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයටද පරික්ෂණ කමිටුව ඉදිරියේ ලබාදීමද ඊයේ සිදුවිය.

එමෙන්ම වැලිගම සිදුවීමට අදාළ සාක්ෂි කරුවන්ගේ සාක්ෂි දිවුරුම් ප්‍රකාශ මගින් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අද දිනට පෙර ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා එදින එකඟතාවය පළ කළේය.

. මෙම සිදුවීමට අදාළව විමර්ශන තව දුරටත් සිදුවන බැවින් 24, 25 යන සාක්ෂිකරුවන් විසින් ලබා දී ඇති සාක්ෂි වගඋත්තරකාර පාර්ශ්වය වෙත ලබාදීමට දිලීප පීරිස් මහතා සිය විරෝධය පළකර අතර ඒ අනුව එම සාක්ෂිකරුවන් දෙදෙනා විසින් ලබා දී ඇති සාක්ෂි පාර්ලිමේන්තු සංකීර්ණයෙහි පරික්ෂණ කමිටුව රැස්වන කාරක සභා කාමරයෙහිදි පරිශීලනය කිරීමට අවස්ථාව ලබාදීම සඳහා එකඟතාව ලබාදීමද මෙහිදි සිදුවිය.

එමෙන්ම 23, 26, 27, 28, 29, 30 යන සාක්ෂිකරුවන් විසින් ලබාදි ඇති ප්‍රකාශ වල පිටපත්ද වගඋත්තරකාර පාර්ශ්වය වෙත ලබාදීම යෝග්‍ය බව පරික්ෂණ කමිටුවේ මතය විය.

පරික්ෂණ කමිටුව රැස්වීමෙන් පසු විනාඩි කිහිපයකින් පමණ අදහස් දැක්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ පරික්ෂණ කමිටුව පසුගියදා රැස්වීමෙන් පසුව ඇතැම් මාධ්‍ය එය වාර්තා කර ඇති ආකාරය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරන බවයි. පරික්ෂණ කමිටුව ඉදිරියේ තමන් සිදුනොකළ ප්‍රකාශයක් හුවා දක්වමින් එක්තරා පුවත්පතක් පසුගියදා වාර්තා කර තිබූ අතර ඒ තුළින් පොලිස් නිලධාරීන් තුළ අර්බුදයක් හටගෙන ඇති බවයි.

පරික්ෂණ කමිටුව හමුවේ තමන් එදින ප්‍රකාශ කළේ හරක් කටාගේ ක්‍රියාකළාපය හේතුවෙන් මාතර ප්‍රදේශයේ නිලධාරින් වැඩි පිරිසක් බියට පත්ව ඇති බවත් නිලධාරින් සුළු පිරිසක් හරක් කටා සමඟ සම්බන්ධතා පවත්වන බව යැයිද දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය. තමන් කිසිසේත් සමස්ත නිලධාරින්ට චෝදනා එල්ල නොකළ අතර සිදු නොකළ ප්‍රකාශ වාර්තා කිරීම තුළින් එම නිලධාරින්ට මෙන්ම තමන්ටද සාධාරණ වේදනාවක් ඇති වූ බව ද ඒ මහතා පැවැසීය. තමන් කිසිසේත් අදහස් නොකළ දේවල් මෙලෙස වාර්තා කිරීම සම්බන්ධයෙන් බරපතළ කනස්සල්ලක් ඇති වන අතර මෙවැනි පිළිගත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීවත් තමන්ට සාධාරණයක් සිදුවිය යුතු බව ද හෙතෙම පැවැසීය.

එහිදි අදහස් දැක්වූ පරික්ෂණ කටිටුවේ සභාපති, ශ්‍රේෂඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ පරික්ෂණ කමිටුවේ කාර්යය භාරය වැරදි ලෙස වාර්තා වීම ගැටලු‍ සහගත බවයි. කෙසේ වුවද මාධ්‍යෙය් කාර්ය භාරයට බලපෑම් කළ නොහැකි වුවද මාධ්‍යවේදින්ද පරික්ෂාකාරි ලෙස වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

(මූලාශ්‍රය – දිනමිණ)

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...