හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ හිටපු ඇමැති නලින් ප්‍රනාන්දුට වසර 25ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් නියම කෙරිණි. 2014 සැප්තැම්බර් මාසයේ පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මාසයේ 31 වැනිදාත් අතර කාලයේදී සතොස ආයතනයට ගෙන්වූ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් 2015 ජනාධිපතිවරණයේ දේශපාලන අරමුණු වෙනුවෙන් බෙදාදීමෙන් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළ බවට මේ හිටපු ඇමැතිවරුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පවරා තිබූ මේ නඩුව විභාග කරන ලද්දේ අගවිනිසුරුවරයා විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් වූ ප්‍රදීප් හෙට්ටිආරච්චි, ප්‍රදීප් අබේරත්න සහ මහේෂ් වීරමන් විසින් ය. විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස මීට පෙර හිටපු ඇමැතිවරුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම් විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කර තිබිණි.
අපරාධ නඩුවක විත්තිකරුවකුට එරෙහිව නඩු විභාගය ඇරඹෙන්නේ අහිංසකභාවයේ පූර්ව නිගමනයට අනුව ය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මේ අයිතිය සහතික කර තිබේ. යම් පුද්ගලයකු නොකළ වරදකට දඬුවම් විඳීම වැළක්වීම මෙහි අරමුණ ය. විත්තිකරුවකුගේ වරදකාරීත්වය පිළිබඳව කිසිදු සාධාරණ සැකයක්, සාධාරණ මිනිසකුගේ මනසේ ඇති විය නොහැකි තරම් දුරට සාක්ෂි මගින් අදාළ චෝදනාව සනාථ විය යුතුය.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව මීට පෙර තවත් චෝදනාවක් ගොනුකර තිබිණි. එම චෝදනාවෙන් හිටපු ඇමැතිවරයා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේ 2021 වසරේ පෙබරවාරි 25 දින ය. වසර හතරකට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ තීරණය කර තිබුණේ විත්තිකරු වෙත එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමටයි, විනිසුරුවරයා නියෝග කර තිබුණේ.
මෙවර විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඇසූ නඩු විභාගයේ තීන්දුවයි, ඊයේ (29) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන්නේ.
මීට අමතරව චීනයෙන් ගෙන්වූ පොහොර නැව පිළිබඳ අල්ලස් නඩුව ද මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව විභාග වේ.
2021/2022 මහ කන්නය සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට අදාළ ටෙන්ඩරය පිරිනමා තිබූ චීනයේ Qingedo Seawin Biotech Group Company Ltd ආයතනය මගින් ලබාදුන් පොහොර ආදර්ශය හෙවත් පොහොර සාම්පලයේ අහිතකර ජීවින් සහ බැක්ටීරියා සිටින බව ජාතික ශාක නිරෝධායන සේවය සහ ශ්‍රී ලංකාවේ විද්‍යාගාර කිහිපයක කරන ලද පරීක්ෂණ මගින් අනාවරණය විය. එම නිසා ණයවර ලිපි නිකුත් නොකරන ලෙස ලක් පොහොර සමාගම සහ කලම්බු කොමර්ෂල් පොහොර සමාගම විසින් මහජන බැංකුවට දැනුම් දී තිබිණි.
තත්ත්වය මෙසේ තිබියදී එවකට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේගේ සහ එවකට කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂගේ මැදිහත්වීමෙන් චීනයේ Schutter Global Insfection Survey Companny Ltd නම් ආයතනයෙන් පොහොර පරික්ෂා කිරීම සඳහා උපදෙස් ගෙන ඇත. ඒ අනුව මෙම චීන ආයතනය විසින් පොහොර ජීවානුහරණය කර ඇති බව ප්‍රකාශ කළත් ලංකාව තුළදී ජාතික ශාක නිරෝධායන සේවය විසින් එය තවදුරටත් ප්‍රතික්ෂේප කර ඇත.
කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා විසින් ද එම කරුණට අදාළව කාර්යමණ්ඩල කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව විසින් චීනයේ පර්යේෂණ ආයතනය නිකුත් කරන ලද වාර්තාව මත පදනම්ව මෙම පොහොර තොගයේ ව්‍යාධික බැක්ටීරියා නොමැති බවටත් එමගින් මිනිසුන්ට හා සතුන්ට හානියක් නොවන බවටත් සහ එසේ වුවත් හිතකර ජීවින් සිටිය හැකි බවටත් වශයෙන් වූ නිශ්චිත නොවන, එනම් වටේ යන තීරණයක් ලබා දී ඇත.
මුල් අවස්ථාවේදී ගිවිසුම් අනුව චීන පොහොර සමාගම විසින් සම්පූර්ණ වශයෙන් පොහොර ජීවානුහරණය කළ යුතු බව අධිකරණයේදී පළිගෙන ඇතත්, චීන පරීක්ෂණාගාරය විසින් නිකුත් කළ වාර්තාව මත පදනම්ව මෙරටදී ඇමැතිවරුන් විසින් පත්කළ කමිටුව පොහොර සම්පූර්ණයෙන් ජීවානුහරණය කිරීමට අවශ්‍ය නැතැයි තීරණයක් ගෙන ඇත.
මේ කසළ පොහොර නැව ලංකාවට ගෙන ඒමත් සමග ඊට මුදල් ගෙවීමේ අවශ්‍යතාව ඇති විය. මේ ගැටලුව විසඳාගැනීම සඳහා නීතිපති උපදෙස් ලබාගෙන ඇති අතර, එහිදී නීතිපතිවරයා නිර්දේශ 04ක් ලබා දී තිබේ. එවකට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් මෙම නිර්දේශ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලබාගෙන ඇත. එහෙත් පසුව එකී නිර්දේශ සම්පූර්ණ කර නැත.
මුලදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් සහ පසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් මෙහිදී රජයට පාඩු වී ඇත. එම මුදලෙන් කොටසක් හෝ අයකර ගැනීමට එවකට කෘෂිකර්ම ඇමැතිවරයා කටයුතු කර නැති බව මේ වන විට අධිකරණයේදී හෙළිවෙමින් පවතී. ඒ අනුව බලන විට මෙහි සමස්ත පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 11.7කි. ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය 300ක් ලෙස ගත් විට, රජයට සිදු කර ඇති සමස්ත පාඩුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 3,510 ඉක්මවයි.
මෙහි ගිවිසුම සම්පූර්ණ කිරීමෙන් පසු ගෙවිය යුතු වූ ඩොලර් මිලියන 05 නොසලකා හැරියද, කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ තීරණ හේතුවෙන් ආනයනික බලපත්‍රයක් රහිතව පොහොර නැව්ගත කිරීමෙන් ලක් පොහොර සමාගම අත්හිටුවා තිබූ ණයවර ලිපි නැවත විවෘත කිරීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 මෙන්ම මහ කන්නයට පොහොර නොමැති වීමෙන් වගා කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල විය.
එවකට කෘෂිකර්ම ඇමැතිවරයා විසින් කාබනික පොහොර ආනයනය කිරීමට අදාළ ව සීමාසහිත ලංකා පොහොර සමාගම/සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ Qingedo Seawin Biotech Group Company Ltd අතර පවතින ආරවුල නිරාකරණය කිරීම යන ශීර්ෂයෙන් 2021 දෙසැම්බර් 21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමට කිසිදු උත්සාහයක් දරා නැත. එම නිසා පාඩුව දෙගුණ වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ගත් කාබනික පොහොර ගෙන්වීමේ තීරණයට අදාළ කැබිනට් සංදේශ ඉදිරිපත් කරන ලද්දේ ද එවකට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් ය. එහිදී ක්ෂුද්‍ර ජීවීන් නොමැතිව මේ පොහොර ආනයනය, ඒවා ජීවානුහරණය කිරීම, ලංකාවේ ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට ගැලපෙන බව පරීක්ෂා කිරීම යන කරුණු සම්බන්ධයෙන් ද ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැත. මීට අමතරව හෙළිකිරීමට නොහැකි අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක් වැයකර කොළඹ, කින්සි පාරේ නිවසක් මිලදීගැනීම ඇතුළු තවත් චෝදනා රැසක් ද මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමැතිවරයාට එරෙහිව එල්ල වී තිබේ.
මෙවැනි දූෂණ නැවත සිදුනොකිරීමට අදාළ බිය ඇති කිරීමත්, දූෂණ විරෝධී පිරිස් අභිප්‍රේරණය කිරීමත් අධිකරණය මේ නඩු තීන්දුවෙන් බලාපොරොත්තු වන බව ඊයේ (29) තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරු මඩුල්ල පවසා තිබිණි. නව දූෂණ විරෝධී පනතේ ඇති සාධනීය ප්‍රතිපාදන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද මෙහිදී අතිශය වැදගත් කරුණකි. උදාහරණයක් ලෙස රාජ්‍ය නිලධාරියකු යම් රාජකාරියක් ඉටුකිරීමේදී ඊට අදාළ වන බැඳියාවක් අනාවරණය නොකිරීම මේ යටතේ අපරාධ වරදක් බවට පත්කර තිබේ. වඩාත් විනිවිදභාවයෙන් යුත් රටක් කරා යන ගමනකට පදනම දැමිය යුත්තේ එතැනින් ය.
එසේ ම මෙවැනි වංචා – දූෂණ සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර ම, ඔවුන් අයථා ලෙස රජයට පාඩු කරමින් ඉපයූ හෝ ඔවුන්ගේ තීරණ නිසා රජයට පාඩු වූ මුදල් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් ද කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය.
2024 වර්ෂයට අදාළ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශ සමීක්ෂණ වාර්තාවලට අනුව වයස අවුරුදු පහට අඩු දරුවන් 10,323 දෙනෙක් උග්‍ර පෝෂණ ඌණතාවයෙන් පෙළෙති. මේ සමික්ෂණය සඳහා පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ තුළ ලියාපදිංචිව සිටි වයස අවුරුදු පහට අඩු දරුවන් 13,01,649 අතරින් දරුවන් 12,67,472 දෙනකු සම්බන්ධ කරගෙන තිබිණි. එම වාර්තාවට අනුව උග්‍ර පෝෂණ ඌණතාවයෙන් පෙළන වයස අවුරුදු පහට අඩු දරුවන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඉන්පසු කුරුණෑගල ය. ඊළඟට අනුරාධපුරයයි.
එසේ ම මෙරට අවුරුදු පහට අඩු වයසට සරිලන ලෙස උස අඩු දරුවන් 133,538 දෙනකු වාර්තා වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි. මේ අතරින් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. ඊළඟට බදුල්ලෙනි. මේ සංඛ්‍යා ලේඛනවලින් කියන්නේ අපේ රටේ ළමා පරපුරේ සෞඛ්‍ය තත්ත්වයයි. පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය මෙයට නොදෙවැනි ය. පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මගින් නිකුත් කොට ඇති වාර්තාවකට අනුව උසට සරිලන බර නොමැති (කෘෂ) පාසල් දරුවන්ගේ ප්‍රතිශතය 2023 වසරට සාපේක්ෂව 2024 වර්ෂයේදී සියයට 21.0 සිට සියයට 26.8 දක්වා වැඩි වී ඇත.
මහින්දානන්දලා හින්දවන ලද්දේ මේ දරුවන්ගේ අනාගතයයි. මේ දරුවන් වෙනුවෙන් වැයකිරීමට තිබූ මුදල් ය, ඔවුන් නැති කරන ලද්දේ. එම නිසා අපට ඇසීමට ඇත්තේ රුපියල් මිලියන 53කට අවුරුදු 20ක් නම්, පොහොර ගනුදෙනුවේදී පමණක් සිදු වූ රුපියල් මිලියන 3,510ට කොපමණක්ද යනුවෙන් ය.
- ශාලික විමලසේන