දේශබන්දුගේ ප්‍රකාශයක් නිසා පොලිසිය පත්තු වෙයි !

Share post:

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් විසින් කරන ලද ප්‍රකාශයක් පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේ දැඩි මතබේදයකට තුඩු දී තිබේ.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඇති චෝදනා විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු කමිටුව හමුවේ අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ දකුණු පළාතේ පොලිස් නිලධාරීන් රැසකට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සමග සම්බන්ධකම් ඇති බවයි. මේ ප්‍රකාශයෙන් පසු කමිටුව තෙන්නකෝන් මහතාට අවවාදයක් ද කර තිබිණි.

මේ ප්‍රකාශය පිළිබඳව දකුණු පළාතේ සේවය කරන ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩ බලන පොලිස්පතිවරයා දැනුවත් කර ඇත. ඔවුන් පවසා ඇත්තේ පොදුවේ මෙවැනි චෝදනාවක් කිරීම බරපතළ බවත්, එවැනි සාධක ඇති පොලිස් නිලධාරීන් ඇති සම්බන්ධයෙන් තෙන්නකෝන් මහතාගෙන් තොරතුරු ලබාගෙන විමර්ශනයක් කරන ලෙසත් ය.

මේ පිරිස අදාළ කරුණ පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාව ලිඛිත ව දැනුවත් කිරීමට ද සූදානම් වේ. එම කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ලලිත් ඒකනායක පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයෙකි.

මේ අතර වැලිගම සිද්ධිය සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනය ප්‍රධාන වශයෙන් ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි මත පදනම් වී ඇති බව රාජකාරි කිරීම තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නීති උපදේශක සංජීව වීරවික්‍රම පවසා තිබේ.

පොලිස්පතිවරයාට එරෙහි චෝදනා විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ සිදු වන විභාගයේදී ඔහු මේ බව සඳහන් කර ඇත.

මේ නඩුවේ ඉදිරි කටයුතු සියල්ල දේශපාලන පක්ෂ ආධාරකරුවන්ගේ සාක්ෂි මත රඳාපැවතිය හැකි බව වීරවික්‍රම මෙහිදී පෙන්වා දී ඇත. ඊට ප්‍රතිචාර දක්වමින් කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විමර්ශනයේදී මධ්‍යස්ථභාවයේ වැදගත්කම අවධාරණය කර තිබේ. සාක්ෂිවල විශ්වසනීයත්වය තක්සේරු කිරීම සඳහා දේශපාලන පක්ෂ සාක්ෂිකරුවන් සිටී නම් ඔවුන් ඇතුළු සියලු‍‍ම සාක්ෂිකරුවන් කැඳවිය හැකි බව ද විනිසුරුවරයා මෙහිදී පවසා ඇත.

පසුගිය 28දා මේ කමිටුව හමුවට දේශබන්දු තෙන්නකෝන් කැඳවා තිබිණි. මෙහිදී පොලිස්පති තෙන්නකෝන් හෙළි කර තිබුණේ දකුණු පළාතේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක හරක් කටා සමඟ සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති බවයි. බිය සහ පෞද්ගලික වාසි හේතුවෙන් සමහර නිලධාරීන්, විශේෂයෙන් මාතර ප්‍රදේශයේ නිලධාරීන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට පෙළඹී ඇති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

විමර්ශනයේ මේ අදියරේදී අනවශ්‍ය අදහස් දැක්වීමෙන් වළකින ලෙස විනිසුරු සූරසේන මෙහිදී පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව ද දැනගන්නට ඇත.

වැලිගම සිද්ධිය පිළිබඳව තමන් මුලින්ම දැනගත්තේ දෙසැම්බර් 31 දින බව ද තෙන්නකෝන් මෙහිදී පවසා තිබේ.

පාර්ලිමේන්තු කමිටුවේ කටයුතු අතරතුර නීතිඥ වීරවික්‍රම සහ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වී ඇත. මෙහිදී කමිටුවේ සභාපතිවරයා පවසා ඇත්තේ මේ විමර්ශනය පුරාවට විධිමත් සහ විනිවිදභාවය ආරක්ෂා කරගත යුතු බවත්, එහිදී වෘත්තීය ගෞරවය අතිශය වැදගත් බවත් ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...