‘නොදුටු බුදුන්’ – ශ්‍රියානි මිහිඳුකුලසූරිය

Share post:

කවීහු බොහෝවිට ව්‍යාංගය සිය නිර්මාණයේලා මහත් අභිරුචියෙන් භාවිතා කරති. එහෙත් ඒ භාවිතාවෙහි සීමා සහ අවස්ථා වටහා නොගැනීම මත විටෙක කවිය ව්‍යංගයෙහි සිරව අරුත් දුරවබෝධ අක්ෂර ගාලක් බවට ලත්වී නිර්මාණයද නිර්මාණකරුවාද පාඨකයාගෙන් දුරස්කර දමයි. මෙය වර්තමානයේ බොහෝවිට දක්නට ලැබෙන තත්වයකි. එහෙත් දක්ෂ නිර්මාණකරුවා එහි මාත්තුව හොඳින් වටහා ගන්නෙ ව්‍යාංගය සිය නිර්මාණයට ආලෝකය සපයන මාධ්‍යයක් බවට පත් කරගන්නට සමත්වෙයි. එවිට කවියද නිර්මාණකරුවාද පාඨක ලෝකයේ ඇගයුමට පත්වෙති.

ශ්‍රියානි මිහිඳුකුලසූරිය කිවිඳිය ගේ කවි කියවන විට පළමුවෙනම දක්නට ලැබෙනා ලක්ෂණයක් වනුයේ ඇය ව්‍යාංගාර්ථවත් කවියක් නිර්මාණය කිරීමට දරන වෙහෙස මෙන්ම එහිලා ඇය සාර්ථකත්වයට පත්වන ආකාරයයි. ව්‍යාංගය සිය කවියට ආලෝකයක් කරගැනීමට ඇය සමත්ව සිටින්නීය. එහෙයින්ම ඇගේ කවිය කියවීමට රුචි චනවන මට්ටමකට ළඟා කරගන්නටද ඇය සමත්වන්නීය.

පරිණත නමින් වන කවිය මෙහිලා කදිම උදාහරණයක් සේ දැක්විය හැකිය. ඇය එහිදී පරිසර සාධකයන් රූපක සේ ගෙන ජීවිතයේ ගැඹුර කණින්නට යත්න දරන්නීය. පරිසරයේ ප්‍රමුඛ සාධක දෙකක් වන ගලා යන ජලය සහ එහි ගැටෙනා ගල් රූපක සේ ගෙන ඇය තම කවිය තුළින් මතු කරන්නී ජීවිතය ආදරය මෙන්ම ජීවිතාවබෝධය සහ අත්දැකීම් හමුවේ වෙනස්වන නැතිනම් පරිණතවන පැවැත්මක තතු ය. ඇය තම කවිය අරඹනුයේ ගලක් සහ ගඟක් සම්මුඛ කරමිනි.

ඉවුර අයිනේ වතුර වැදි වැදි
ගලක් තිබුණා සෙවල බැඳි බැඳි
කිසි හැඩක් නැති අවපාට ඇති
මෙතෙක් කාගෙත් ඇස ගැටුනෙ නැති

ගලෙහි මෙන්ම නදියෙහිද ගමන වෙනස් වන්නේ මෙතැනදීය.

කනටෙ ලංවී රැයක මිහිරැති
එ ගල ඇසුවා ගඟෙන හැඩ ඇති
ඔහෙත් එක්කල මාත් එන්නද
නිකං හිටියා අනේ මට ඇති

මෙතැන් පටන් ඇරඹෙනුයේ දිගු ගමනකි. ඒ ගමන යනු දෙපාර්ශවයම අන්‍යෝන්‍ය වහයෙන් පෝෂණය වන, පරිණත වන, අවබෝධය ලබාගන්නා ගමනකි.

පෙරලි පෙරලී ගලත් දිවුවා
ගඟේ වේගෙට හතිත් වැටුනා
හැප්පෙනා හැම වරක් පාසා
රිදුම් දෙනවද ගඟත් ඇසුවා

කිවිඳිය මේ කව ඇසුරින් අප හමුවේ තබනා ජීවිතය සහ ආදරය පිළිබඳ අදහස ානව සම්බන්ධතා විකෘතව යන ගනුදෙනු පමණක් ඉතිරිවන සමාජයට සිතන්නට යමක් ඉතිරි කරන්නකි.

ඇය නොදුටු බුදුන් නමින් කවියක් මෙහි බහාලයි. එ කව නූතන සමාජය සහ අධ්‍යාපනය ගැන සියුම් කියවීමකි. පාසල් දරුවන් රැසක් කැටුව යන විනෝද චාරිකාවක තතු අපට ගෙනෙනා කිවිඳිය ඒ තුළින් අපේ අධ්‍යාපනයේ දිළිඳුබව මතුකර දක්වන්නීය. ඒ දුෂ්කර පාසලක ගුරුවරියකගේ අත්දැකීමක් තුළින් දිළිඳු දරුවන් රැසකගේ ඉරණම මෙන්ම අධ්‍යාපනයට ඇවැසි මූලිකම අවශ්‍යතා පවා අහිමි රටක නග්න බව විවර කරමිනි. අවවරප්‍රසාදිත පිරිස් හට ආගමද පසුපස ම හරවන යථාර්තයක ඇය දරුවන්ගේ අවිහිංසකබව මෙන්ම සමාජයෙහි ඇති විෂමතාවයේ කුරිරු බවද සියුම් ලෙස මතුකර දක්වන්නීය.

පිච්ච මල් ඉහිරිලා වාගෙයි හරි හැඩයි නිල් තණ බිමේ
බුදුන් දුටුවේ නැතත් මුව මත කොඳ සිනා මල් මල් පිපේ
කුරුලු පැටවුන් වගෙයි කිචි බිචි රහ බලන ගෙන ආ බතේ
වෙනද වගෙ මැල්ලුමක් විතරද අදත් පුතුනේ බත් පතේ?

කිවිඳියගේ මුළු කාව්‍ය නිර්මාණ පෙල පුරාම කැටිව ඇත්තේ සියුම් සෙනෙහසක් මුසු සංවේදී බස් වහරකි. එහෙත් ඇය විටෙක එය බිඳ දමා පුලුල් අරුත් මවනා කවියක්ද නිර්මාණය කරන්නීය. විශේෂයෙන්ම මෙය ඇගේ කෙටි කවි තුළ දැකිය හැකිය. පුළුල් දේශපාලන අරුතක් මවනා මේ කවිය ඊට නිදසුනකි.

සොහොන් කොත්
තුළ උස්
ඇට කැබලි
නොම උස්

ඇගේ කවියෙහි ලා ඇය විසින් හාරා පාදා ගන්නා ඇතැම් කව්‍යෝක්ති නැවුම් බවින් යුක්තය. බහුලව භාවිතාවට ගන්නා කව්‍යෝක්ති වෙනුවට ඇය විටක කවියකුට එතරම් සමීපව නැති පාර්ශවයක් කරාද යොමු වෙයි. තෙළි තුඩකි දැහැන්ගත යන කවිය ඊට මනා නිදසුනකි. ඇය එහිදී සිත්තරකු හා නිරූපණ ශිල්පිණියක අපට අභිමුඛ කරන්නීය. ඒ කවිය තුළින් ඇය කතා කරනා සිතුවිළි ලෝකය බෙහෙවින් මියුරුය. සම්මත වෘත්තික ගනුදෙනුවෙහි සීමා ඉක්මවා යමින් මනුෂ්‍ය ආත්මය නග්න කර දක්වන ඒ කවියෙහි ඇති අනුරාගිකත්වය සහ ස්නේහය මානව බන්ධුතාවන්හී සංකීර්ණත්වය මතු කර දක්වයි. තමන් අභිමුව නග්න වතින් සිතුවමට පෙනී සිටිනා ශිල්පිණිය හමුවේ දැහැනකට සමවැදුනාක් මෙන් තම කාරියෙහි නරතවන සිත්තරා හමුවේ ශිල්පිණිය සිය ආත්මයේ දෝංකාරය මුදන්නේ මෙලෙසිනි.

පලා යන්නට නොදී තිර ලෙස
වෙළි සියොළඟ තවුස් දම් බිඳ
සිත්තරාණෙනි නුඹේ හැඩ තල
ම හද බිත මත මම අඳින්නද

තාර පාරෙත් අන්න රතු රෝස මල් නමින් එන කවියද එවන් කදිම නිර්මාණයකි. පුතකු සහ මවක ඇසුරින් ආදරයේ පැහැය සොයා යන ඒ කවිය අවධානයට ලක්විය යුතු වියමනකි. අගේ කවි එකතුවෙහි අවධානයට ලක්විය යුතු කවි ගණනාවක්ම තිබේ. එහෙත් අව නඩුවක් නමින් එන කවියෙහිදී කිවිඳිය සමාජයේ පවත්නා සාමාන්‍ය මතවාදයන් ඉක්මවා ජීවිතය ගැඹුරින් දකින්නට තැත් නොරයි. එහෙයින්ම ඒ කවිය සරල කියවීමකට සීමා වෙයි. එහෙත් ඇයගේ කවි එකතුවෙහි ඇරඹුම සළකුණු කරනා මතු බුදු නම් කවිය පියකුගේ භූමිකාව සහ සමාජ පසුතලය එකට තබා කියවන්නට තැත් දරන අගේ කල යුතු නිර්මාණයකි.

කිවිඳියගේ කාව්‍ය එකතුව කියවනා විට සිතට බෙහෙවින් වදදුන් කරුණකද සටහන් කල යුතුමය. ඒ කෘතියෙහි නිමාව පිළිබඳවය. කෘතියක සාර්ථකත්වයට එහි පිටකවරය සැලකිය යුතු දායකත්වයක් සපයයි. විශේෂයෙන්ම පාඨකයාගේ නෙත ඇද ගැනීමට පිට කවරයකින් වන මෙහෙය විශාලය. අවාසනාවට ඇගේ ප්‍රකාශකයා මේ ගැන අවධානය යොමා නැති සැටියකි. අනෙක් අතින් කිවිඳියද ඒ ගැන සැලකිල්ලක් දක්වා නොමැති සැටියකි. මේ දෙපාර්ශවයම ඒ උනන්දුව දැක්වූවේ නම් මේ කාව්‍ය ග්‍රන්ථයට වැඩි ආලෝකයක් සපයාගන්නට ඉඩ තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රියානි මිහිඳුකුලසූරිය කිවිඳියගේ නොදුටු බුදුන් පද්‍ය සංග්‍රහය මෑත බිහිවූ සංඛ්‍යාවෙන් විශාල කෘති අතර අවධානයට ලක් විය යුතු කවි එකතුවකැයි කීම සාධාරණයයි සිතමි.

චූලානන්ද සමරනායක

Related articles

වෙනස් වෙන්න : නැත්නම් අපි වෙනස් කරනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක

රාජ්‍ය නිලධාරීන් දුෂණයෙන් තොර නව ප්‍රතිපත්ති සමග එක්ව කටයුතු නොකරන්නේ නම්, ඔවුන්ව වෙනස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති...

හැංගිලා හිටියා – අතිරේක සොලිසිටර් ජනරාල් : හැංගිලා හිටියෙ නෑ – දේශබන්දුගේ නීතිඥ !

මාතර වැලිගම වෙඩි තැබීමේ සිදුවීමට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත...

දේශබන්දුගේ ප්‍රකාශයක් නිසා පොලිසිය පත්තු වෙයි !

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් විසින් කරන ලද ප්‍රකාශයක් පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේ දැඩි මතබේදයකට...

මීළඟ අගවිනිසුරු පිළිබඳ පාර්ශ්ව දෙකකින් දෙවිදිහක සාකච්ඡා !

අගවිනිසුරු ධුරය සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවෙමින් තිබේ. වර්තමාන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ලබන ජූලි මාසය අවසානයේ විශ්‍රාම...