Home Blog Page 260

බුකර් සම්මානය ලංකාවට හිමි වීම ගැන සතුටින්!

0

අතුරු කතා ගොඩක් සමග මාගේ අදහස්!
යමක් අහුලාගන්නවා නම් අහුලා ගන්න!
ජාත්‍යන්තර සම්මාන ගැන ඔබේ අභ්‍යන්තරයේ පසුගාමී අදහස් තිබෙනවා ද?

බුකර් ත්‍යාගය එසේ මෙසේ එකක් නෙමෙයි. ත්‍යාග මුදල වන පවුම් පනස්දහසටත් වඩා ලෝකයෙන්ම ලැබෙන සහ කීර්තිය සහ බුහුමන. පොතේ කර්තෘ ෂෙහාන් කරුණාතිලක ජයග්‍රහණයෙන් පස්සේ කෙටි ඒත් සුන්දර කතාවක් කියනවා. ඔහු සිංහලෙන් සහ දෙමළෙනුත් අදහස් පළ කරනවා. ඔහු සම්මානය අරගන කරන කතාවේ අන්තිමට මෙහෙම කියනවා “මේ පොත මං ඕගොල්ලන්ට ලිව්වෙ මේක දිනුමක් රට පරාජය වෙලා ඉන්න කාලෙක මේක දිනුමක්.ළඟදි අපි නැමීබියාවටත් පැරදුනා කමක් නෑ.අද ලංකාවෙ මිනිස්සු හුඟක් දුක් විඳිනවා. ඒ දුක් මිඳින්න මට ආයුද නෑ. ඒත් මේ ජයග්‍රහණය අපි පිළිගමු. දැං අපි කොහොම හරි ලෝක ටී ටුවෙන්ටි කුසලානය දිනාගමු.ඇයි බැරි?

ඔය ජාත්‍යන්තර සම්මානයක් දෙකක් කෙනෙකු ගන්නකොට ලංකාවේ ඉන්න ජනතාව සතුටු වෙනවා වගේම ඇතැම් අවස්ථාවල දූපත්වාසී ඇතැම් ජනයාට ඇතිවෙන පසුගාමී අදහස් ටිකක් තමයි ආ ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රතණයක්, මේ වෙලාවෙ ඕක දෙන්න ඇත්තෙ අහවල් හේතුව නිසා වගේ කතා ගොතන එක. ෂුවර් එකට ඕකට එන්ජීඕ සල්ලි දෙන්න ඇති. ඕකෙ කතාව අර උතුරෙ යුද්ධයේ අන්තිම දවස්වල ඉවක් බවක් නැතිව දාන ෂෙල් වෙඩි දාන සිද්ධියක් නම් අර ආපු වාව් එක බැහැලා ඒක කොටි ඩයස්පෝරාවේ කුමන්ත්‍රණයක් වෙනවා. බැරි වෙලාවත් ඕක ලංකාවේ සිංහල බෞද්ධ සංස්ථාව දිහා ඒවායේ මජර තැන් ගැන හෙළිකරන එකක් වුණානම් බොහෝ වෙලාවට සමහරු කියයි ඕක ක්‍රිස්තියානි රටවල කුමන්ත්‍රණයක් කියලා. බැරි වෙලාවත් ජාතිකවාදයෙන්, වර්ගවාදයෙන් රට වල පල්ලට යන්න පාර හදපු දේශපාලඥයින් ගැන කියන කතාවක් නම් ඔන්න ඒ පක්ෂයේ සමාජකි]යින් බොහෝ දෙනාගේ වාව් එක බැහැලා ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. මේවාගේ කතා ජන මනසට කාවදින විදිහට කියන්න ඔය විමලයා වගේම, ජාතිකවාදය සමග ජාතිවාදය වපුරණ දේශපාලඥයින් හරිම දක්ෂයි. එන්ජීඕ ඩොලර් වලට බැන වැදුනාට ලෝකයේ එක්තරා විදිහකින් ලොකුම එන්ජීඕ එක වුණු ලෝක බැංකුව ඇතුළු සංවිධාන වලින් ඩොලර් ණයට අරන් තමයි රට දුවන්නෙ. කොහොම හරි ඔය සුද්දගෙ රටවලට පනින්න හදන්නෙත් ඩොලර් හොයන්න තමයි.

මෙන්න මේ විදිහට ලංකාවේ ඉන්න දූපත් වාසී දෙනා තමන්ගේ ජාතිය සහ ආගම උතුම්ය. ඒ නිසා රටත් උතුම්ය. වැරදිලා වත් රට වාසීන් අතින් වැරදි වෙන්න බෑය. සිංහලයා අවුරුදු 2500 ක අතීතයක් තියෙන ජාතියක්ය. සුද්දා කැලේ ශරීර කෘත්‍ය කරනකොට අපි වැසිකිලි- කැසිකිලි හදාගත්ත උතුම් ජාතියක්ය කියන එක, රාවණා කාලේ ඉඳන් අපි ශ්‍රේෂ්ට යක්ඛ ජාතිකයක් ය කියන අදහස එන්න පටන් ගන්නවා. ඒ කියන්නෙ තමන්ගෙ හොඳ මිස නරකක් කියනවා දකින්නට අකමැති දූපත් වාසීන් ටිකක් හෝ ගොඩක් ලංකාවෙ ඉන්නවා.

වෘතාන්ත චිත්‍රපටයක් වේවා, කෙටි චිත්‍රපටයක් වේවා, නවකතාවක් හෝ වෙනත් සාහිත්‍ය කෘතියක් වේවා ඒ ඕනෑම එකක් ගත්තම ඒ කතාවල සුරංගනා කතා තිබුණාට මේ සම්මාන දෙන රටවල මිනිස්සුන්ට ඒවාට සම්මාන දීමට අර අසවල් පැත්තේ අමාරුවක් නැහැ. නහුතයක් ප්‍රශ්නවලින්, ඒ කියන්නේ යුද්ධ, කැරලි කෝලහාල, දූෂිත දේශපාලනය, රෙජීම් වල ඒකාධිපතිත්වය, කුල-මළ ප්‍රශ්න, දුප්පත් කම එක්ක බැඳිච්ච සාමජ ප්‍රශ්න- අඩු වයසින් විවාහ වීම්, මන්ද පෝෂණය ආදී ප්‍රශ්න වගේම බහුතරය සහ සුළු තරය අතර ආගමික ගැටුම් වලින් බැට කන මිනිසුන් ඉන්න රටක. ඒවා කතා නොකර සුරංගනා කතා කීවාට ඒ මිනිසුන් ඒවා සත පහකට ගනන් ගන්නේ නැත. ඒවැනි සමාජ ප්‍රශ්න ගැන කතා කරමින්, ඒවාට විසඳුම් සොයමින් යන දියුණු සමාජයකුයි ඔවුන් අපෙන් ඉල්ලා සිටින්නෙ. මොකද ඒක තමයි ඒ දියුණු රටවල් මානුෂවාදය පැත්තට යන්න යෝජනා කරණ මාවත. උඹලාගේ ප්‍රශ්න ලැජ්ජා නැතුව හෙළි කරලා, කතා කරලා, සංවාද කරලා, පිළි අරගෙන, ශිෂ්ට සම්පන්න විදිහට සමාව ඉල්ලලා, ඒවාට විසඳුම් සොයා ගනිල්ලා. අනිත් එක කලා නිර්මාණ මනුෂ්‍ය ජීවිතයේ, සමාජයේ අඳුරු පැති ගවේශනය කළ යුතුමයි. තමන්ගේ කැත ඇත්නම් ඒක හදාගන්න ඒ ගැන කතා කරන එක ලැජ්ජාවට කාරණයක නෙමෙයි.

සත්‍යජිත් රායි පතේර් පංචාලි ( 1955) චිත්‍රපටය කරාම ඉන්දියාවෙ සමහර විචාරකයෝ කිව්වලු ඔහු ඉන්දියාවේ දුප්පත් කම විකුණනවා කියල. ඩී. එච්. ලෝරන්ස් විසින් Lady Chatterley’s Lover නව කතාව (1928) ලිව්වම ඒක අසභ්‍ය කෘතියක් විදිහට මහා බ්‍රිතාණ්‍යයේ වගේම ඇමරිකාවෙත් එය තහනමට ලක්වෙනවා.ලෝක ප්‍රකාශන ඉතිහාසයේ පැවැති සුවිශේෂම නඩු විභාගයකට මේ පොත පාදක වෙනවා. නමුත් අද නූතන ලෝකයේ ඒක ඒවා විශිෂ්ට නිර්මාණ.

ඉතිං ලංකාවෙ දූපත් වාසී හැමෝම ඉස්සෙල්ලා ෂෙහාන් කරුණාතිලකගේ පොත වෙච්ච The Seven Moons of Maali Almeida ( 2022) කියවලා හිතට ගනිල්ලා ඒ කාලේ ජනමාධ්‍යවේදීන්ට වෙච්ච හරිය. සම්මානය අරන් කරන කතාවේ ෂෙහාන් මෙහෙම කියනවා “I was going to read the names of all the journalists, activists, the politicians, the civilians, the innocents who had been murdered by the state or by those opposing in my life time in Sri Lanka” ඒ එක්කම ඔහු කියනවා මේ ලිස්ට් එක කියනවා නම් මේ මුළු රෑ පුරාම මේක කියන්න වෙයි කියලා. ෂෙහාන්ගේ පොතේ කතාව ගොඩ නැගෙන්නෙ මරා දමපු ජනමාධ්‍යවේදියෙක් ආශ්‍රයෙන්. ඔය පක්ෂ පාට, ජාතිකවාදී කණ්නාඩිය ගලවලා සිතුවොත් අපි කරපු හරි-වැරදි තේරුම් ගන්න පුළුවන්. දැන හෝ නොදැන ජනමාධ්‍ය මර් ධනය කරපු රෙජීම් බලයට පත්කරපු හැටි හිතාගන්න පුළුවන්. ලංකාවේ ඔය මරා දාපු, පහර කෑමට ලක්වුණු ජනමාධ්‍යවේදීන් මේ මජර ක්‍රම විවේචනය කරේ සත පහක ලාබ අපේක්ෂාවකින් නෙමෙයි. කුණු වෙච්ච රෙජීම් සහ ඒවායේ ක්‍රියා කලාපයන් තමයි විවේචනය කරේ. දැන් පේනවානෙ ඒවා රට අරන් ගිය තැන. ආයෙ ඒ වගේ දේවල් නොවෙන්න වැඩ කරපල්ල. ඒක තමයි ශිෂ්ට වෙනවා කියන්නෙ. රටක් ගොඩනගන්න නම් නිදහස් අදහස් ප්‍රකාශනයට ඇති අයිතිය පිළිගන්න ඉස්සෙල්ලාම පුරුදු වෙමු. ජනමාධ්‍ය මර්ධනය කරන පාලකයින් ප්‍රතික්ෂේප කරමු.

අතුල දිසානායක (සමාජ කතා)

දූපත්වාසීනී! අපි අපේ පැත්තටත් හැරිලා බලමු, කදිරගාමර්, ඔබාමා, සුනාක්!

0

රට සිංගප්පූරුවක් කරන්න, යුරෝපයක් කරන්න දියුණු රටක් කරන්න අපි කතා කරනවා. ඒත් ඒ රටවල් ඇත්තටම දියුණු වුණ හැටි අපි දන්වාද? බ්‍රිතාන්‍යයේ සුදු නොවන ආසියාතික සම්භවයක් තියෙන කෙනෙකු තේරුණාම අපට තියෙන සන්තෝශය! රිසී සුනාක්

ලංකාවේ දේශපාලඥයකු වූ දෙමළ ජාතික ලක්ෂ්මන් කදිරගාමර්ට අගමැති වෙන්න තිබ්බ ඉඩ ලංකාවේ මහ ජාතියේ වර්ගවාදය නිසා අහිමි වුණා. මොකද ඔහු සුළු ජනවර්ගයකට අයත් දෙමළ වීම නිසා අදටත් ඒකෙ වෙනසක් නෑ කියලා මම හිතනවා.

හැබැයි මේ දූපත් වැසියෝ ඉංගලන්තෙ එහෙම වුණාම ඇමරිකාවෙ එහෙම වුණාම හරි තන්තෝස වෙනවා.
ලංකාවේ විද්‍යාඥයෝ, ඉංජිනේරුවෝ, කලාකරුවොඑය සුද්දන්ගෙ රටවල වැඩ පෙන්නනකොට මාර තන්තෝස වෙනවා. “ බලන්න අපේ එකෙක්, ලංකාවේ එකෙක්” සුද්දන්ගෙ රටවල වැඩ පෙන්නන හැටි කියලා
ඒ එක්කම ලංකාවේ එහෙම වෙන්න ගියොත්සුළු ජාතිකයෙක් දේශපාලනයේ උඩටට එන්න හැදුවොත් නිකමට හරි මොකද වෙන්නෙලංකාවේ බහුතරයක් වගේ දේශපාලන හැත්ත බුරුත්ත, ජාතිකවාදීන් දූපත් වාසීන්, ජාතිවාදීන්, පූජ්‍ය පක්ෂය ඔක්කොම ඒකට විරුද්ධ වෙනවා. හේතුව වෙන මොකක් වත් නෙමෙයි ඒ අය මහ ජාතියට අයත් නොවීම. ලංකාවට දියුණු වෙන්න බැරි මේ දෙබිඩ්ඩත් එක හේතුවක්.කතාවෙන් නොවෙයි ක්‍රියාවෙන් කරලා පෙන්නන්ඩ ඕන.

සුද්දන්ගෙ රටවල එහෙම වෙන්ඩ හේතුව ජාතිකවාදය, ජාතිවාදය අවම නිසා. ඕනෑම පුරවැසියෙකුට හැකියාව සුදුසුකම් ඇත්නම් උඩට එන්න ක්‍රම හදලා තියෙන නිසා.ඒ නිසා තමයි අර මහජාතියට අයත් නොවුණත් උඩට එන්නෙ උන්ගෙ අධ්‍යාපන ක්‍රමය තුළ, දේශපාලනය තුළ වර්ගවාදය පිටු දකින නිසා. ඒ නිසා දේශපාලඥයින්ට ජාතිකවාදයෙන්වර්ගවාදයෙන් මිනිස්සුන්ගේ මොළ හෝදන්න, මිනිස්සු චූන් කරන්න බෑ. මිනිස්සු ඒවට ලේසියෙන් අහුවෙන්නෙ නෑ.
ඔන්න තව දුරටත් දූපත්වාසී, පසුගාමී වෙන්ඩ එපා.
දියුණු රටවල දියුණු දේවල් වලින් ඉගෙන ගන්න.

අතුල දිසානායක

රිෂී සුනක් ගැන අපේ ගමේ බලාපොරොත්තුව !

0

ඉන්දියානු පසුබිමක් ඇති රිෂී සුනක් එංගලන්තයේ අගමැති වීම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට පුදුමයට වගේම ඒක ත්‍රිල් එකක් දෙන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා තියෙනවා.

ඇත්තටම ශ්‍රී ලංකාව වැනි රටවල් වල ඉන්න මිනිසුන්ට සමාන වර්ණ හැඩතල පසුබිම් ඇති අය දියුණු රටවල් වල ඉහළ තැන්වලට යනකොට අපේ රටවල් වලටත් මොකක්ද ත්‍රිල් එකක් දැනෙන්නෙ ඇයි? මීට ප්‍රධානම හේතුව අපගේ දේශපාලනික සහ සමාජමය නො දියුණුවයි. අපිට දියුණු දේශපාලන ක්‍රමයක් නැති අතර අප ඒ දියුණුව ලබා ගන්න හදන්නේ එවැනි ක්‍රමයක් නිර්මාණය කර ගැනීම හරහා ට වඩා පුද්ගලයාගේ පසුබිම බලලා ඊට අනුවයි. ගැමියාට කරගන්න ගැමියෙක් ආ යුතුයි, සිංහලයාට කරගන්න සිංහලයෙක් ආ යුතුයි. හම්බන්තොටට කරගන්ඩ හම්බන්තොටින් එකෙක්ම පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. එය ඉතා පටු ප්‍රාදේශීය සහ ගෝත්‍රිකවාදී දේශපාලනයක්. අවිභිඥාන ව හෝ අපි සුනක්ගේ පත්වීම දකින්නෙත් එහෙමයි.(මෙම වර්ගවාදය පෙඩරල් දේශපාලන ක්‍රමය සමඟ පටලවා නොගන්න)

සුනක්ගේ අගමැතිවීම ඓතිහාසිකව බැලුවොත් වර්ණ හමක් තියෙන කෙනෙක් එංගලන්තේ අගමැති වීම පළමු වතාවට සිදු වීම විතරයි ප්‍රවෘත්තියකට තියෙන්නෙ. ඊට අමතරව එහෙම ඔහුගේ වර්ණය හෝ පසුබිම නිසාම එංගලන්තයේ හෝ ලෝක දේශපාලනයේ-අපේ ගම්වල- විශේෂ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ.ඒක එංගලන්තයට හරියටම විශ්වාස නිසා තමයි ඔහුට එතනට එනකන් එන්න පුළුවන් වෙන්නේ.

තාමත් අඩු වැඩි වශයෙන් වර්ණවාදය, වර්ගවාදය හෝ ජාතිවාදී අදහස් නැති මිනිසුන් ඇති කිසිම රටක් ලෝකයේ නෑ.ඒත් එවැනි තත්වයන්ට රට පසුගාමීත්වයට හරවමින් ක්‍රියාත්මක වෙන්ඩ පුලුවන් හැකියාව බොහෝ දියුණු රටවල් වල අඩුවෙමින් යනවා. ඔවුන් විශ්වාස කරන්නේ මිනිසුන් ගැන නෙමෙයි ක්‍රමයක් ගැනයි. ක්‍රමයක් නැති තැනකට මිනිසුන් පත් කළාට පස්සේ මිනිසුන්ගේ ජන්මය තමයි වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ. ජන්මයට අනුව මිනිසුන් පත්කර ගැනීමට නිතරම උනන්දු වන්නේ මේ දියුණු ක්‍රමයක් නිර්මාණය කර ගන්ඩ බැරි වූ ජන කොටස්. එංගලන්තයේ සමලිංගිකත්වය නීතිගත කරන්නේ සමලිංගික නායකයින් යටතේ නෙමෙයි. දේශපාලනිකව එය වඩා නිවැරදි සහ සාධාරණ ලෙස ඔවුන් දැකපු නිසයි.

ලංකා වගේ රටවල් වල මේ වර්ගවාදය ජාතිවාදය කොච්චර බලවත්ව තියෙනවද කියලා ඔබට බලන්ඩ ඕන්නං පත්තරේක මංගල දැන්වීම් කියවන්න. තමන්ගේ ආදරණීය සහකරුවා කියන කෙනාම කසාද බදින්න හමේ වර්ණය, පන්තිය, කුලය, ආගම සහ ප්‍රාදේශීයවාද ( උඩ රට පහත රට) කොච්චර බලපානවද කියන එක ඔබට හොයාගන්න පුළුවන් වේවි. අපේ කසාදෙට මේ තෝරා ගන්නා ක්‍රමයයි දේශපාලනයට නායකයින් තෝරා ගන්නා ක්‍රමයයි අතර තාමත් එතරම් වෙනසක් නැහැ. කෙසේ හෝ ඒ විදියට පත් කරගත්ත දේශපාලකයින්ගෙන් අපි තව තවත් නොදියුණු තත්ත්වයන්ට වැටෙනකොට අපිට සමාන වර්ණ හමක් ඇති මිනිසෙක් දියුණුයි කියන රටක නායකත්වයට පත්වෙන කොට ඒ හරහා වත් අපිට මොකක් හරි යහපතක් හෝ උසස් තැනක් ලැබෙයි කියලා හිතනවා.

එංගලන්තය උන්ට ගැලපෙන එකා තෝරගත්ත අපිට තියෙන්නෙ අපිට ගැලපෙන එකා තෝරා ගැනීම විනා අපිට ගැලපෙන එකෙක් උන් තෝරා ගන්නකම් බලා ඉඳීම නෙමෙයි!

ධනංජය කරුණාරත්න

රජා වැසූ මං වහලා අරිනතුරු !

0

මේ චාමික හත්ලහවත්තගේ ‘රජා මං වහලා’ නාට්‍යයේ එන දෙබස් ඇසුරින්, කළ කෙටි විමසුමකි,

“වහලා ජනතාව අතර වීරයෙක් වෙලා කැත වහලා දැම්මා”

ඉස්සර අපි අහපු කථාවල ඉන්න රජවරු (තාමත් එහෙමයි) තමන්ට අභියෝගයක් වුණ මිනිසුන්ව එක්කො මැරුවා. නැත්නම් මහජනයා ඉදිරියේ අපහාසයට ලක්කරලා ඔවුන්ගේ ගැරහුම් සමගින් රටින් පිටුවහල් කළා. නැත්නම් දඩුවම් දුන්නා. තමාගේ කුලයට වඩා පහත් ඒ් කිව්වෙ වහල් කුලේ අවලස්සන පුරුෂයෙක් තමන්ට අභියෝගයක් වුණා ම, එක්තරා රජෙක් කරන්නෙ ඔහුට කරන්න අමාරු ම කටයුතු පවරන ඒකයි. හරියට රුසියානු සුරංගනා කථාවක් වගේ. අර වහලා අමාරුවෙන් හෝ රජු කියපු වැඩ කළයි කියමුකෝ. ඒ්ත් රජු පිළිගන්නෑ ඒ්බව. ඔහු තවත් වරදක් පටවනවා. අන්තිමේ කායික බලයෙන් සපිරි මේ වහලා තමන්ට බලෙන් බන්දලා දෙන්න හදපු කුමාරිටත් පයින් ගහලා රජතුමාවත් නෙරපලා තමන්ගෙ නිදහස හොයන් යනවා. වහලා රජ වෙනවා. රජා වහලාට පහපු මං වහලා කඩා දමනවා.

“යුද්ධය ගැහැනු වැඩක්”

ඒ්කයි ගැමුණු කුමාරයා පිය රජතුමාට ස්ත්‍රී වස්ත්‍ර යැව්ව ම ඔහු ඒ්වා ඈදගන්නෙ. ඒ්කයි ගැමුණුට රජත්‍රමා කියා දෙන අලුත් ම න්‍යය. ඒ්ක මහාවංශෙය්වත් තිබුණු දෙයක් නෙමෙයි. කාවන්තිස්ස පුතාට කියනවා යුද්ධ කරන්න ඕනෙ බුද්ධිමත් කාන්තාවක් වැඩ කරන විදියට කියලා. ගැමුණු එළාරව පරාද කරලා රට නිදහස් කරගනිද්දි කාවන්තිස්ස මැරිලා. ගැමුණු ඉදිරියට එනවා අාත්මයක් විදියට අර කාන්තා වස්ත්‍ර අැදන්. ඔහු දික් කළ පිහියට තමන්ගෙ අත කැපෙද්දි කුමාරයා යුද්ධෙන් වුණ බරපතල මානුෂික සංහාරය අවබෝධ කරගන්නවා. ඒ් දුක මකාගන්නයි ධර්මාශෝක රජතුමා වගේ මෙයත් හෝ ගාලා පන්සල් හදන්න පටන් ගන්නෙ. දුටුගැමුණු යුද්ධ කරන්නෙ අාදරයේ වේදනාව වහගන්න. තමන් ආදරය කරපු යුවතිය තමාට පෙම් නොකරන නිසා අැයට රිදවන්නයි කළු එතනා ඒක්ක ඔහු ප්‍රේමයෙන් වෙලෙන්නේ. අපි හැමෝම දැනන් උන්නු ඉතිහාස කථාව වෙනත් විදියකට විවෘත මනසකින් කියවන්න මෙන්න අවස්ථාව! ගැමුණු කුමරු වීරයෙක් ද නැද්ද කියලා අායිමත් හිතන්න ගනීවී ඔබ.

“එයාව මරා දැම්මට මං දුක්වෙන්නෙ නෑ”

වඳුරු මුහුණක් පෑ නිසා පිරිමි ළමයෙක්ට යොවුන් පෙම අහිමි වෙද? ප්‍රේමයක් හිමි නොවීමේ වේදනාවෙන් තමා ආදරය කළ ගැහැනු ළමයාට කිහිපවරක් පිහියෙන් අැණ අැයව ඝාතනය කළ තරුණයෙකුගේ ඉරණම කෙසේ විය යුත්තේදැයි ඔබ සිතන්නේද? දැරිය මිය ගොසිනි. වරදකරුවා බන්ධනාගාරයේ ය. ප්‍රේමයේ බිද වැටීමෙන් කම්පිතව උසස් පෙළ විභාගයට නොලියන ඔහු බන්ධනාගාරයේ සිටියදී පාඩම් කර විභාගය සමත්ව විශ්වවිද්‍යාල වරම් හිමි කරගනී. පවත්නා රජය විසින් ඔහුට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම අහෝසි කරයි.

“සාධු නාදෙන් ගිගුම් දෙන්නම්”

-රාජ්‍ය විචාලන රජවරු ඇමතිවරු සියලු අවනීති සිදුකරමින් ඒ් අතර ජනතා ප්‍රසාදය දිනාගැනීමත්, ඒ්වා ආගමික උන්මාද නම් සලුවෙන් වසා මහජනයා මුවා කිරීමත්, ඒ්වාට හසුව රැල්ලට සාධු කියනා මුග්ධ ජනතාවත් මේ නාට්‍යයේ කිහිප තැනක උපහාසයට ලක්කරනවා.

තවදුරටත්,
බැරල් වලට තඩිබාන සද්දෙන් මතු කරන ඝෝෂාව අවනීතියේ බොල් හඩ පරයා විප්ලවීය හැගුම් වඩවයි. නාට්‍යයට භාවිත කරන සියලු භාණ්ඩවල අවශ්‍යතාව බැරල් සහ රෙදි පොදි මගින් ඉටු වේ. අවැසි තැන්වල සජීවී සත්ත්ව රූප (අශ්වයා) නළු නිළුයන් කිහිප දෙනෙකු ඒක්වීමෙන් සපිරෙයි. සමස්ත නාට්‍ය පුරා නළු නිළුයන් වේදිකාවේ රැදී සිටින අතර ඉන් ඉවත් නොවේ. විවේක ගැනීම්, වෙහෙස නිවාගැනීම් සදහා නේපත්‍යාගාරයට නොයන රංගධරයෝ ප්‍රේක්ෂකයා අභිමුවට අවුත් ඔවුන්ට පෙනෙන ලෙස සාමාන්‍ය මිනිසුන් පරිද්දෙන් ඒ්වා සිදු කරති. ඒ්නිසා නළුවන් හා ප්‍රේක්ෂකයන් අතර පරතරය සුළු වේ.එකෝමත් ඒක රටක කතා අසන දරුවන් මෙන් නාට්‍ය අවසානය දක්වා කතාකීමේ හැකියාවෙන් නළුනිළියෝ අප අැද බැද තබා ගනිති.

නාට්‍ය කලාවේ හර පක්ෂය උදෙසා අවැසි මෙවන් නාට්‍යය ම ය. ඒ් වෙනුවෙන් හත්ලහවත්තයනට තවත් දිරි ලැබේවා!

ඩිල්ශානි චතුරිකා දාබරේ

Wendt on Wendt අත නොහැර නැරඹිය යුතු ප්‍රදර්ශනයක්

0

ඊයේ (02) ඇරඹුණු මෙම සුවිශේෂ ඡායාරූප දැක්ම නොවැම්බර් 13 වෙනකං, පෙ.ව. 10 සිට සවස 7 වනතුරු ලයනල් වෙන්ඩ්ට් හී, හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වෙනවා (පෝය දිනයේ්දී හැර).
අද(03) හවස් යාමයේ එය නරඔන්න ගියහම පැයක් පමණ කාලයට එතැන හිටි එකම නරඹන්නා මා පමණයි.

ලයනල් වෙන්ඩ්ට්ගේ ඡායාරූපමය අනන්‍යතාව මොනවට පෙන්වන ඡායාරූප එකතුවක් වගේම ඔහුගේ සංගීත භාවිතාව පිළිබඳ අගනා මතක එකතුවක් මේ ප්‍රදර්ශනය තුළ අඩංගුයි.

ප්‍රදර්ශනයේ එක කලාපයක් වෙන් වන්නේ ලයනල්ගේ මිතුරියක වන ග්ලැඩිස් ෆෝබ්ස් වෙනුවෙන්. වි⁣ශේෂයෙන් ඔහු හා ඈ එක්ව කළ කලා කටයුතු වෙනුවෙන් වගේම ඔවුන්ගේ මිතුදමේ මතක වෙනුවෙන්.

ඔවුන් අතර හුවමාරු වූ ලිපි තුළින් ලයනල් වෙන්ඩ්ට් නම් සං⁣වේදී කලාකරුවා, මිතුරා ඉස්මතුව පෙනෙනවා.
ඒ වගේම ඡායාරූපයක් ගැනීම වෙනුවෙන් ලයනල්ගේ පෙර සූදානම පිළිබඳ මෙහි අඩංගු තොරතුරු නිර්මාණයක් වෙනුවෙන් සැබෑ නිර්මාණකරුවෙකු කරන කැප කිරීම පිළිබඳ සාක්ෂි.

ඡායාරූප සමඟ වන සටහන් තුළ අපට මෙතෙක් මුණ නොගැසුණු ලයනල්මය විස්තර තියෙනවා. එක් නිදසුනක් ලෙස ඔහු ලන්ඩනයේ ඡායාරූප ප්‍රදර්ශනයක් වෙනුවෙන් තම නමින්ම හා ව්‍යාජ නමකින් (ලයනල් වෙන්ඩ්ට් නම පසුපස සිට ඉදිරියට ලියා T. Dnewl) ඡායාරූප ඉදිරිපත් කළ විට නියම නමින් ඉදිරිපත් කළ නිර්මාණ බැහැර වී ව්‍යාජ නමින් ඉදිරිපත් කළ නිර්මාණ තේරීම වගේ සිදුවීම්.

එසේම ග්ලැඩිස් හා ලයනල් එක්ව පවත්වා ඇති ද්විත්ව පියානෝ කොන්සැට්ටුව පිළිබඳ මතක හා එහි අගනා ඡායාරූපය ප්‍රදර්ශනයේ මා ආසම ඡායාරූපයක්.

ප්‍රදර්ශනයේ ඉදිරිපත් කිරීම සිත් ගන්නා සුළුයි.

ශාලාව පුරා පසුබිමින් ඇසෙන සිහින් පියානෝ වාදනය ලන්ඩන් ස්කූල් ඔෆ් මියුසික් වෙතින් සම්භාව්‍ය පියානෝ වාදනය හදාල තරුණ ලයනල් වෙන්ඩ්ට් නම් සංගීත ශිල්පියාව අපට මවනවා.

අත නොහැර නැරඹිය යුතු ප්‍රදර්ශනයක්.

ජනක ඉනිමංකඩ

“චෝදනාව පදනම් විරහිත සේම නින්දා සහගත එකකි”

0

චෝදනා පිළිබඳව ශෙහාන් කරුණාතිලක, රශ්මික මණ්ඩාවල වෙත වට්ස්ඇප් මගින් එවූ ඔහුගේ නිල පණිවිඩයේ සිංහල පරිවර්තනය.

කොළඹ ජීවත්වන මාධ්‍යෙව්දියෙකු විසින් මගේ ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා‘ නවකතාවේ කතා සැකැස්ම ඔහු විසින් 2011 වසරේදී කතෘ සටහනක් ලබාගැනීම සඳහා මා වෙත එවූ පිටු 56කින් යුතු නමක් රහිත ‘නොවෙලාවෙන්‘ හොරකම් කර ඇති බවට චෝදනා කර ඇත. ඔහුගේ චෝදනාව පදනම් විරහිත සේම නින්දා සහගත එකකි.

ඔහු විසින් මා වෙත එවන ලද විද්‍යුත් තැපැල් පණිවිඩය සහ ‘නොවෙලා‘ අත්පිටපත මම මගේ නීතිඥයින් වෙත යැවූ අතර ඔවුන් පවසා සිටියේ එහි කිසිදු ලේඛන චෞරත්වයක් හමු නොවූ බවත් ඉදිරිපත් කර ඇති චෝදනා ලිඛිතාපහාසාත්මක බවය. එමෙන්ම මම මෙම නොවෙලාව මගේ ප්‍රකාශයකයන් වෙතද යොමුකළ අතර උක්ත නොවෙලාව සහ මගේ නවකතාව අතර කිසිදු කතා වස්තුව හෝ චරිත සමානතාවයක් නැති බව පවසා සිටි ඔවුහු මෙම චෝදනා පදනම් විරහිත බව බුකර් පදනම මගින් සහතික කර ගත හැකි බව පැවසූහ.

ලංකාවේ ජනමාධ්‍යවේදීන් මෙම පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කිරීම ගැන මම දැඩි කනස්සල්ලට පත්ව සිටිමි. මෙම පදනම් විරහිත චෝදනා ගැන විමසන ඕනෑම මාධ්‍ය වේදියෙකුගෙන් මා ඉල්ලා සිටින්නේ අදාළ ලේඛනය කියවා බලන ලෙසයි.
මෙවැනි ප්‍රකාශයක් කරන්නට සිදුවීම ගැන මම දුකට සහ කණගාටුවට පත්වෙමි. මෙය ශ්‍රී ලංකාව සහ එහි ලේඛකයන්ට සැමරුම් අවස්ථාවක් විය යුතුය.

මින් ඉදිරියට මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීමට මම අදහස් නොකරමි.

ශෙහාන් කරුණාතිලක

A claim has been made by a journalist in Colombo that the plot of my novel, ‘The Seven Moons of Maali Almeida’ was ‘stolen’ from a 56-page untitled ‘novella’ that he sent to me in 2011 seeking an author’s endorsement. His claim is both baseless and insulting.
I have shared his email and the ‘novella’ manuscript with my lawyers who confirm that the claim of plagiarism is entirely unfounded and that the allegations made are libellous. I have also shared the ‘novella’ with my publishers – who confirm the texts bear no comparison whatsoever with my novel – there are no shared plots, characters nor text – and with the Booker Prize Foundation, so that they may be assured the claims are unfounded.

I am deeply concerned that journalists in Sri Lanka are passing on these unsupported and unfounded allegations. I would ask that any journalist approached demands to see the document on which these allegations are based.
It is sad and disappointing that this statement has to be made. This should be a celebratory moment for Sri Lanka and its writers.
I will be making no further comment on this issue.

SK

‘යුකියෝ මිෂිමා’ට අනන්‍ය ලකුණ, ලේ පාට, ලේ වැකෙන සිදුවීම්, ලේ බැඳීම්..

0

ජපන් ලේඛක යුකියෝ මිෂිමාගේ ‘The Sailor Who Fell from Grace with the Sea’ නවකතාව වෙනුවෙන් පළවුණු පොත් කවර අතරින් මං කැමති කවර දෙකක් මේ. මිෂිමාට අනන්‍ය ලකුණ, ඔහුගේ නිර්මාණවල ලකුණ සංඛේතයක් විදියට මේ කවර දෙකේ ම තියෙනවා. ඒ කියන්නෙ, ලේ. ලේ පාට, ලේ වැකෙන සිදුවීම්, ලේ බැඳීම්…

මේ නවකතාවෙ තියෙන්නෙ, ශේක්ස්පියර්ගෙ ‘හැම්ලට්’ නාට්‍යය සිහිකරවන සිදුවීමක්. කුඩා දරුවෙක් වුණු නෝබොරු, තමන්ගෙ මිතුරු කණ්ඩායම සමඟ එක්වෙලා ක්‍රමන්ත්‍රණයකින් තමන්ගෙ සුළු පියා ඝාතනය කරන්න දරන වෑයම. මේ මිත්‍ර කණ්ඩායම මීට කලින් පූස් පැටියෙකුට මේ ඉරණම අත්පත්කරදෙන කෲර විලාසෙ ඇඟේ ලොමු දැහැගන්වනවා. මේනිසා, මේ කවරෙ තියෙන රත් පැහැ රැළි-අවුල් අතර ගිලුණු මිනිස් රුව කතාව නොකියා කියනවා. පූස් පැටියෙක් ඉන්න, කොළ සහ නිල් පැහැයෙන් සැකසුණු තවත් පොත් කවරයක් මේ පොත වෙනුවෙන් නිමවා තිබෙනවා.

මීට අමතරව වින්ටේජ් මුද්‍රණයක් විදියට පළවෙලා තියෙන කවරයත් විශේෂයි. එහි තියෙන්නෙ උදම් රළනගින මුහුදක්. ඒ රළ නිල් පාට නෙමේ, ලේ පාටයි. ජපානයේ වරාය නගරයක මතුපිට තලය සහ සැඟවුණු නොපෙනෙන තල මේ නවකතාවෙ කියවෙන නිසාත්, මව්-සුළු පිය රමණය දකින දරුවාගේ භාව කම්පනය වෙලා ඒක වයිරයක් දක්වා ඔඩුදුවන සැටිත් නිසා කියවන්නාව ඇදබැද තබාගන්නත්, අපේ ඉවසීම අල්ලා පොළවේ ගහන්නත්, යාහැකි උපරිමය වෙත කතාව ගෙනයන්නත් සමත් වන මිෂිමා භයානක, රෞද්‍ර රසය අතරෙහි ලා ශෘංගාරය මවනවා. මේ සියල්ල අර දළ රළ ඇතුළෙ ඝෝෂා නගනවා මට ඇහෙනවා.

ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කළ ‘රාග රිද්ම’ කෙටිකතා එකතුවෙ එන මිෂිමගේ ම ‘දේශප්‍රේමය’ කෙටිකතාව මේ කවරෙ දැක්කම මතක් වෙන අනෙක් කතාවයි. ඒ කෙටිකතාවෙ තියෙන්නෙ රමණයකින් පස්සෙ හරාකිරි ක්‍රමයට(පිහියෙන් බඩකපාගෙන) දිවිනසාගන්නා, ජපන් හමුදා නිලධාරියෙකු සහ බිරිඳ ගැනයි. මේ කෙටි කතාව වගෙ ම ඇත්ත ජීවිතෙත් මිෂිමා දිවිනසාගෙනයි මියයන්නෙ.

මේ පොත ‘සිඳුලෝලී සේලරුවා’ නමින් ඩී.එම්.එස්.ආරියරත්න විසින් පරිවර්තනය කරන ලදුව මුද්‍රණය වී තිබෙනවා. පරිවර්තිත කෘතියෙ නම ම, ජපන් ළඳකගේ කෝමල බව ගැබ්වුණු සිලිටි වදන් මුසුවක්.

ඩිල්ශානි චතුරිකා දාබරේ

තව කවි පොතකින් නුඹ ආ යුතුය, හදිසියේවත් ‘නුඹ නොඒ නම් කියන්න’ !

0

ගුණදාස අමරසේකර ‘භාව ගීත’ ලිවීමෙන් කාව්‍ය සාහිත්‍යය මත තැබූ සුලකුණු කිහිපයකි. එකක් නම්, නිසදැස් කවියෙන් ආකෘතිකගතව, කෘතිමව සහ බුද්ධිවාදීව පැවති කවිය යළි පුරුදු ශබ්ද රස – රිද්ම ලක්ෂණ සමඟ හිස පෙවීමට ඉඩ පාදාදීමයි. අනෙක නම් හද බසට ඇරුණු කවි බස වාන්දැමීමට ඉඩකඩ විවර කිරීමයි. තවත් ලෙසකින් කියුවොත්, සෞන්දර්ය පක්ෂය ගැන සිතමින් යළි කවිය පීල්ලට ගැනීම නිසා, සිතින් මුමුණමින් සිටිනවාට වඩා කට ඇර ගැයීමට හැකි ලෙසකින් කවිය යළි අත දිග හැර ඇවිදින්නට ගැනීමයි.

සරච්චන්ද්‍ර කලාව – සෞන්දර්ය ‘අපූර්ව’ දෙයකැයි කීය. සුචරිත ගම්ලත්, කලා කෘතියක් ඉදිරියේ පුද්ගලයකු ලබන කිසියම් මනෝභාවයක් වේ නම් එය සෞන්දර්ය බව කීය. ආනන්ද කුමාරස්වාමි ‘සෞන්දර්ය විද්‍යාව’ යන වදන භාවිත කරමින්, පෙරදිග හා අපරදිග සෞන්දර්යවේදී කතිකාව විශේෂයෙන් මධ්‍යකාලීන යුරෝපීය සෞන්දර්ය චින්තනය සසැඳීමකින් ගෙන ආවේය (‘සෞන්දර්යවේදය හා කලා රසවින්දනය – ආනන්ද කුමාරස්වාමි ලිපි සරණියෙහි). ඇරිස්ටෝටල් මෙය භාව කම්පනය(කැතාසිස්) ඇසුරින් පැහැදිලි කළේය. මාක්ස් භෞතිකවාදී දෘෂ්ටියෙන් මෙය දුටුවේය. පොදුවේ පෙරදිගවාසීන් අධ්‍යාත්මිකව කලාව දුටු අතර බටහිරවාසීහු ඔබ්ජෙක්ට් ස්වරූපයෙන් දුටහ.

සෞම්‍යගේ කවි මේ කියන සෞන්දර්යට පක්ෂව ලියවෙන නිර්මාණ විශේෂයකි. බසෙහි ආයාසයක් නැත. දිය මතට පතිත පත්‍රයක් මෙන් දිය මත රඟන්නට ගන්නේ දියට ද නොදැනෙන ලෙසිනි. පහසුවෙන් කවියට වචන, රිද්මය උනයි. හැඟීමට මොහොතට අවස්ථාවට ඔහු අවංකයි. සෞම්‍යගේ කවි කියැවීම වෙහෙසකර නැත. දිව උල්වන්නේ ද පැටලෙන්නේ ද අමතර එන්ජින් ඔයිල් අවශ්‍ය වන්නේ ද නැත. සෞම්‍ය සඳරුවන්ගේ අනන්‍යතාව මේ සරුංගලයක් පාවෙන ගතියයි. එසේ වුවත්, ඒ හා සමානව ම කවිය පිටුපසින් සිටින දරන්නාත්, හෙළිදරව් කරන්නාත්, උසුලාගෙන යන්නාත්, සොයායන්නාත්, නිහඬවන්නාත්, විඳින්නාත් පෙනේ.

ලියනගේ අමරකීර්ති නව කවි සලකුණෙහි ‘නව පරපුරේ කවීන් අතරින් තව දශකයකින් පමණ සිංහල කවියේ ප්‍රධානතම කවියන් වන්නට ඉඩ ඇති අය’ යනුවෙන් කවියන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරයි. එහි සෞම්‍ය සඳරුවන් ලියනගේගේ නම තිබීම පුදුම සහගත නොවේ. මෙම කෘතියේ වෙන යමක් හැඳින්වීම සඳහා අමරකීර්ති භාවිත කරන යෙදුමක් සෞම්‍යගේ කවි විෂයෙහි යෙදීම් වුව වරදක් නොවෙතැයි මට පෙනුනි. එය නම්, ‘සරලත්වගේ ආනන්දය’ යන්නයි.

සරල බව යනු මදි බවක් හෝ කිසිවක් නැති බවක් හෝ නොදන්නා බවක් නොවේ. ගැඹුරු සියල්ල මහාර්ඝ නොවන්නා සේ ම සරල සියල්ල දාර්ශනික වන්නේත් නොවේ. සෞම්‍ය සඳරුවන් ලියනගේ කිවිය යුතු දේ කිවිය යුතු තැන දී කියයි. අනවශ්‍ය තරම් කවිකම් බලෙන් පාන්නට නොයයි. අල්ප බවින් අපමණ බව හඟවයි. සරුංගලය සේ පාවුණත් නූල අතේ තබාගෙන සිටින්නාගේ අලගිය මුලගිය සියලු දේ ගැන සවිඥානිකව සිටී. අවශ්‍ය තැන දී බ්ලේඩ් වැනි වචන භාවිතයට ගනී. රිදෙන තැන්, රිද්දිය යුතු තැන් සහ රිද්දාගත යුතු තැන් දනී. සුව කරන තැන් සහ සුව වෙන්නට ගැල්විය යුතු බෙහෙත් ද දනී. කිව යුතු දේ කිව යුතු ටෝන් එක දනී. අර කී සරල බව තුළදිත් වඩවන හෝ ගානා සෞන්දර්ය ප්‍රවාහයක් වෙයි. මේ කවි නිමැවුම් වටා බොරු පින්තාරු නැති බව කියවන්නා එබැවින් දනී. කවියෙකුට මීට වඩා යමක් අවශ්‍යද?

‘නුඹ නොඒ නම් කියන්න’ කවි සමුච්චයේ කවිවල රිද්ම ලක්ෂණ අවැසි පමණට ම ඇත. එබැවින් ඇතැම් කවි සුගායනීය. කවිය නොගයා කියවාගෙන ගියත්, එහි විරාමය තැබිය යුතු තැන් ඒ ඒ තැන්වලදී නවතා, සිය ලකුණ රැක ඇත. දැන් අප සිත් ගත් නිර්මාණ කිහිපයක් වෙත එළඹෙමු.

‘කවුළු හරිමි’ යනුවෙන් එන නිර්මාණය ජනෙල් කවුළුවට හද කවුළුව සම කරයි. සුළඟට පෙම්බරිය සමකරයි.

‘අවසර ඇත
සුළඟ ඉතින්
රිසි අයුරින්
පිවිසිය හැක
කැමති කලක් නැවතිය හැක
ගිමන් නිවා සැනසිය හැක
රිසි විලසින් ඒ මේ අත
පැතිරිය හැක
වැතිරිය හැක’

එන්නත් හැකි, යන්නත් හැකි, ඕනැ දෙයක් කරන්න හැකි යැයි කියන පුරුෂයා අවසානයේ ඉල්ලන්නේ ශේෂ වූ කිසිවක් දමා නොයා ඒවාත් රැගෙන යන ලෙසයි. නූතනවාදී අදහස් අතින් පණ ලබන කවියා සිය මනස ගොඩනගාගැනීම සහ හොඳින් පවත්වාගෙන යාම ගැන සුබවාදීව සිතන්නෙකු ලෙස පෙනෙයි. කවුරු ආවත් එය අවුල් කරගන්න ඔහු ආසා නැත. එබැවිනි ශේෂ වූ දෑ දමානොයන්නැයි කියන්නේ. මෙහි කථකයා ආදරය කරනකලට අත දිග හැර ආදරය කරයි, ඉඩ දෙයි, විවෘත වෙයි. ආදරය හැකිලෙන, දමා යන තැන්වලදී සෘජුව තමා වෙනුවෙන් පෙනී සිටී. මෙය යුතු සාධනීය තත්ත්වයකි. තමා ගැන සිතීම අනෙක් කෙනා ගැන සිතීම තරම් ම අවශ්‍යය. මේ කවියේ විරාම තබන තැන් කවියට පණක් ගෙන එයි. සරල බවින් රස මවන මැජික් වචන කෝෂයක් ඔහු සතුය. කවුළුවෙන් මේ පැත්තට එන්නැයි රෝස මලකින් මෙලෙස ම ඉල්ලන කවියක් ලියූ ගුණදාස අමරසේකරව දැන් මට සිහිවේ. ‘කවුළුවෙන් හිස දමා – මෙහි එන්න රෝස මල’
‘සෑ හිස්’ කෙටි කවි දෙකකි. ධවල සෑය සහ අඳුරු ගල් ටැම් ගැනය මේ. සෑ දිදුලයි. නුවරු අවුත් වඳිත්. නමුත්, අඳුරු ගල් ටැම් වෙත බලන කෙනෙක් නැත. සෑයේ බර ඉවසා දරන ගල් ටැම් දෙස බලන කවියා, මේ කියන්නේ ධවල වස්ත්‍ර ඇඳි මැතිඇමැතිවරුන් අඳුරු දුක් උහුලන මිනිසුන්ගේ කර මත නැගී බබළමින් සියලු වරප්‍රසාද ලබන බව නොවේද?
‘නොපළ පෙම් කවි’, ‘මාලිකාගේ ස්වයං වරය’ සහ අංක 33 නිර්මාණවල දී, ගායනීය සෞන්දර්ය ප්‍රවාහයකට බස්නා කවියාව අපට හමුවේ. වෙඩිවර්ධන, කල්පනා වැනි කවිකිවිඳියන්ගේ බස සිහිකැඳවන මේ කවි, බොළඳ පෙම් කවියක් යැයි සිතුණොත් එය ඔබේ වරදකි. කියවන්නා රැඳෙන්නේ මේ අමු හෘදබවින් උපන් කවිපද වටාය.

‘හද ගැඹුර පාරනා රුදු කටුක වේදනා
ඉවසමින් ජීවිතේ වින්දාය
සෙනේබර ගායනා ගොළුව ගිය කාරණ
විමසුවේ ආදරේ හින්දාය’
‘ප්‍රේමයක් කියන්නේ
තනිව උහුලන එකය
දැරිය නොහෙනා තැනක
හුණුව වැගිරෙන එකය
දැවී හළු වී ගියද
රිදීමෙහි නිමාවක් නැති එකය’

‘උදයා, මම නුඹට නොලියමි’ සිංහබාහු නාට්‍යයේ බස සහ රිද්මය සිහිවන කවියකි. “සුරංගනා කතාවක්” කවියේදී පරම්පරා ගණනාවක් කතාකියන්නන් අපව මුළාකළ සුරංගනා කතාන්දර ප්‍රශ්න කරවන කවියා, සෑම කතාවක් ම අවසානයේ ඔල්වරසන් හඬ නැගෙන්නේ කතාව කියන්නාගෙන් පමණක් බවත් සැබෑ කතාවල චරිත දුකින් බවත් සඳහන් කරයි. සෞන්දර්ය සංකල්පය ක්‍රියාත්මක වෙමින් වාග් චිත්‍ර මැවෙන්නට ගනී. එතැන් පටන් එක් එක් සුරංගන කතාවේ චරිත හිස වටා බමන්නට ගනී.

සෞම්‍යගේ සරුංගලේ පාවෙද්දී පොළොවේ පෙනෙන කුදු මහත් තැන් පවා ඔහුට පෙනෙනා බැවින් මෙහි පැති කිහිපයක් නියෝජනය වෙන අංශක 360ට සමීපවන වස්තු විශයන් ඇති කවි බහුලය. සියල්ල එකින් එක කීමට බැරි තරම් සටහන දැනටමත් දිග ය.

සෞම්‍ය සඳරුවන් ලියනගේ,
තව කවි පොතකින් නුඹ ආ යුතුය, හදිසියේවත් ‘නුඹ නොඒ නම් කියන්න’ !

ඩිල්ශානි චතුරිකා දාබරේ

වෙඩි තැබීමකින් ඉම්රාන් ඛාන්ට තුවාල – එක් අයෙක් මියයයි

0

හදිසි මැතිවරණයක් ඉල්ලා විරෝධතා පාගමනක නිරතව සිටි පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඝාතන ප්‍රයත්නයකදී වෙඩි වැදී තුවාල ලබා රෝහල්ගත කරයි.

වෙඩි උණ්ඩවල ශබ්දය වාතය පිරී යද්දී, කම්පනයට පත් ඛාන් ආවරණය කර ගැනීමට උත්සාහ කළ ඔහුගේ ආරක්ෂකයෝ එහිදී පරාජයට පත්කරමින් වෙඩි උන්ඩ ඔහුගේ පාදයට වැදී ඇත. ප්‍රහාරයෙන් ඛාන්ගේ ආධාරකරුවෙකු මිය ගිය අතර තවත් නව දෙනෙකු තුවාල ලබා ඇත.

එම වෙඩි තැබීමේදී ඛාන්ගේ ආධාරකරුවෙකු තුවක්කුව අතැති මිනිසා සමග පොරබදන දසුනක් වීඩියෝවක පෙන්නුම් කරයි.
ඛාන්ගේ හිටපු බිරිඳ, බ්‍රිතාන්‍ය තිර රචක ජෙමීමා ගෝල්ඩ්ස්මිත්, වෙඩික්කරුවා සමඟ පොරබැදූ පුද්ගලයාගේ පින්තූරයක් ට්වීට් කර ඔහුව ‘වීරයෙකු’ ලෙස විස්තර කළාය.

වනිඳු ඉදිරියට මහීෂ් පස්සට

0

ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ඉහළට ඒමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 6 වැනි ස්ථානයේ සිට ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් ඇෆ්ගනිස්තානයේ රිෂාඩ් ඛාන්ට පමණක් දෙවැනි වී සිටින වනිඳු හිමිකර ගෙන ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 697කි.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වන වනිඳු මේ වන විට දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 13කි. ඔහු රිෂාඩ්ට (700) වඩා පසුපසින් සිටින්නේ ප්‍රසාද ලකුණු 3කිනි. වනිඳු ඉහළ යෑමත් සමඟ දකුණු අප්‍රිකාවේ ටබ්රයිස් ශම්සි (694), ඔස්ට්‍රේලියාවේ ජොෂ් හේස්ල්වුඩ් (692) සහ ඇෆ්ගනිස්තානයේ මුජීබ් උර් රහ්මන් එක් ස්ථානයක් බැගින් පහතට වැටී තිබේ.

එංගලන්තයේ සෑම් කරන් ද ස්ථාන 2ක් ඉදිරියට පැමිණ 6 වැනි තැන සිටින අතර, ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ස්ථාන 2ක් පහත බසිමින් 9 වැනි ස්ථානයේ රැඳී සිටී.

මේ අතර පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් (842) දෙවැනි ස්ථානයට ඇද දමමින් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී පළමු ස්ථානයට පත්වීමට ඉන්දීය ක්‍රීඩක සූර්යකුමාර් යාදව් (863) සමත්ව ඇත. ලෝක කුසලාන තරගාවලියේදී නෙදර්ලන්තයට සහ පාකිස්තානයට එරෙහිව පිට පිට අර්ධ ශතක රැස් කරමින් දැක් වූ දස්කම් හේතුවෙන් යාදව් මේ ස්ථානය හිමිකර ගත්තේය. මුල් පිතිකරුවන් 10 අතර රැඳී සිටි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මේ වන විට 12 වැනි ස්ථානය දක්වා පහත බැස ඇත.

නවසීලන්තයේ ග්ලේන් පිලිප්ස් ස්ථාන 2ක්, ඉන්දියාවේ විරාත් කෝලි සහ දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩි කොක් පියවරක් බැගින් ඉහළට යමින් පළමු 10 දෙනා අතරට එක්වීමත් සමඟ පැතුම් පහළට වැටිණි.

තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් ඉදිරියෙන් පසු වන අතර, වනිඳු හසරංග පියවරක් ඉහළ යමින් 8 වැනි ස්ථානයට පැමිණ තිබේ.