රිෂී සුනක් ගැන අපේ ගමේ බලාපොරොත්තුව !

Share post:

ඉන්දියානු පසුබිමක් ඇති රිෂී සුනක් එංගලන්තයේ අගමැති වීම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට පුදුමයට වගේම ඒක ත්‍රිල් එකක් දෙන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා තියෙනවා.

ඇත්තටම ශ්‍රී ලංකාව වැනි රටවල් වල ඉන්න මිනිසුන්ට සමාන වර්ණ හැඩතල පසුබිම් ඇති අය දියුණු රටවල් වල ඉහළ තැන්වලට යනකොට අපේ රටවල් වලටත් මොකක්ද ත්‍රිල් එකක් දැනෙන්නෙ ඇයි? මීට ප්‍රධානම හේතුව අපගේ දේශපාලනික සහ සමාජමය නො දියුණුවයි. අපිට දියුණු දේශපාලන ක්‍රමයක් නැති අතර අප ඒ දියුණුව ලබා ගන්න හදන්නේ එවැනි ක්‍රමයක් නිර්මාණය කර ගැනීම හරහා ට වඩා පුද්ගලයාගේ පසුබිම බලලා ඊට අනුවයි. ගැමියාට කරගන්න ගැමියෙක් ආ යුතුයි, සිංහලයාට කරගන්න සිංහලයෙක් ආ යුතුයි. හම්බන්තොටට කරගන්ඩ හම්බන්තොටින් එකෙක්ම පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. එය ඉතා පටු ප්‍රාදේශීය සහ ගෝත්‍රිකවාදී දේශපාලනයක්. අවිභිඥාන ව හෝ අපි සුනක්ගේ පත්වීම දකින්නෙත් එහෙමයි.(මෙම වර්ගවාදය පෙඩරල් දේශපාලන ක්‍රමය සමඟ පටලවා නොගන්න)

සුනක්ගේ අගමැතිවීම ඓතිහාසිකව බැලුවොත් වර්ණ හමක් තියෙන කෙනෙක් එංගලන්තේ අගමැති වීම පළමු වතාවට සිදු වීම විතරයි ප්‍රවෘත්තියකට තියෙන්නෙ. ඊට අමතරව එහෙම ඔහුගේ වර්ණය හෝ පසුබිම නිසාම එංගලන්තයේ හෝ ලෝක දේශපාලනයේ-අපේ ගම්වල- විශේෂ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ.ඒක එංගලන්තයට හරියටම විශ්වාස නිසා තමයි ඔහුට එතනට එනකන් එන්න පුළුවන් වෙන්නේ.

තාමත් අඩු වැඩි වශයෙන් වර්ණවාදය, වර්ගවාදය හෝ ජාතිවාදී අදහස් නැති මිනිසුන් ඇති කිසිම රටක් ලෝකයේ නෑ.ඒත් එවැනි තත්වයන්ට රට පසුගාමීත්වයට හරවමින් ක්‍රියාත්මක වෙන්ඩ පුලුවන් හැකියාව බොහෝ දියුණු රටවල් වල අඩුවෙමින් යනවා. ඔවුන් විශ්වාස කරන්නේ මිනිසුන් ගැන නෙමෙයි ක්‍රමයක් ගැනයි. ක්‍රමයක් නැති තැනකට මිනිසුන් පත් කළාට පස්සේ මිනිසුන්ගේ ජන්මය තමයි වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ. ජන්මයට අනුව මිනිසුන් පත්කර ගැනීමට නිතරම උනන්දු වන්නේ මේ දියුණු ක්‍රමයක් නිර්මාණය කර ගන්ඩ බැරි වූ ජන කොටස්. එංගලන්තයේ සමලිංගිකත්වය නීතිගත කරන්නේ සමලිංගික නායකයින් යටතේ නෙමෙයි. දේශපාලනිකව එය වඩා නිවැරදි සහ සාධාරණ ලෙස ඔවුන් දැකපු නිසයි.

ලංකා වගේ රටවල් වල මේ වර්ගවාදය ජාතිවාදය කොච්චර බලවත්ව තියෙනවද කියලා ඔබට බලන්ඩ ඕන්නං පත්තරේක මංගල දැන්වීම් කියවන්න. තමන්ගේ ආදරණීය සහකරුවා කියන කෙනාම කසාද බදින්න හමේ වර්ණය, පන්තිය, කුලය, ආගම සහ ප්‍රාදේශීයවාද ( උඩ රට පහත රට) කොච්චර බලපානවද කියන එක ඔබට හොයාගන්න පුළුවන් වේවි. අපේ කසාදෙට මේ තෝරා ගන්නා ක්‍රමයයි දේශපාලනයට නායකයින් තෝරා ගන්නා ක්‍රමයයි අතර තාමත් එතරම් වෙනසක් නැහැ. කෙසේ හෝ ඒ විදියට පත් කරගත්ත දේශපාලකයින්ගෙන් අපි තව තවත් නොදියුණු තත්ත්වයන්ට වැටෙනකොට අපිට සමාන වර්ණ හමක් ඇති මිනිසෙක් දියුණුයි කියන රටක නායකත්වයට පත්වෙන කොට ඒ හරහා වත් අපිට මොකක් හරි යහපතක් හෝ උසස් තැනක් ලැබෙයි කියලා හිතනවා.

එංගලන්තය උන්ට ගැලපෙන එකා තෝරගත්ත අපිට තියෙන්නෙ අපිට ගැලපෙන එකා තෝරා ගැනීම විනා අපිට ගැලපෙන එකෙක් උන් තෝරා ගන්නකම් බලා ඉඳීම නෙමෙයි!

ධනංජය කරුණාරත්න

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...