ජපන් ලේඛක යුකියෝ මිෂිමාගේ ‘The Sailor Who Fell from Grace with the Sea’ නවකතාව වෙනුවෙන් පළවුණු පොත් කවර අතරින් මං කැමති කවර දෙකක් මේ. මිෂිමාට අනන්‍ය ලකුණ, ඔහුගේ නිර්මාණවල ලකුණ සංඛේතයක් විදියට මේ කවර දෙකේ ම තියෙනවා. ඒ කියන්නෙ, ලේ. ලේ පාට, ලේ වැකෙන සිදුවීම්, ලේ බැඳීම්…
මේ නවකතාවෙ තියෙන්නෙ, ශේක්ස්පියර්ගෙ ‘හැම්ලට්’ නාට්‍යය සිහිකරවන සිදුවීමක්. කුඩා දරුවෙක් වුණු නෝබොරු, තමන්ගෙ මිතුරු කණ්ඩායම සමඟ එක්වෙලා ක්‍රමන්ත්‍රණයකින් තමන්ගෙ සුළු පියා ඝාතනය කරන්න දරන වෑයම. මේ මිත්‍ර කණ්ඩායම මීට කලින් පූස් පැටියෙකුට මේ ඉරණම අත්පත්කරදෙන කෲර විලාසෙ ඇඟේ ලොමු දැහැගන්වනවා. මේනිසා, මේ කවරෙ තියෙන රත් පැහැ රැළි-අවුල් අතර ගිලුණු මිනිස් රුව කතාව නොකියා කියනවා. පූස් පැටියෙක් ඉන්න, කොළ සහ නිල් පැහැයෙන් සැකසුණු තවත් පොත් කවරයක් මේ පොත වෙනුවෙන් නිමවා තිබෙනවා.
මීට අමතරව වින්ටේජ් මුද්‍රණයක් විදියට පළවෙලා තියෙන කවරයත් විශේෂයි. එහි තියෙන්නෙ උදම් රළනගින මුහුදක්. ඒ රළ නිල් පාට නෙමේ, ලේ පාටයි. ජපානයේ වරාය නගරයක මතුපිට තලය සහ සැඟවුණු නොපෙනෙන තල මේ නවකතාවෙ කියවෙන නිසාත්, මව්-සුළු පිය රමණය දකින දරුවාගේ භාව කම්පනය වෙලා ඒක වයිරයක් දක්වා ඔඩුදුවන සැටිත් නිසා කියවන්නාව ඇදබැද තබාගන්නත්, අපේ ඉවසීම අල්ලා පොළවේ ගහන්නත්, යාහැකි උපරිමය වෙත කතාව ගෙනයන්නත් සමත් වන මිෂිමා භයානක, රෞද්‍ර රසය අතරෙහි ලා ශෘංගාරය මවනවා. මේ සියල්ල අර දළ රළ ඇතුළෙ ඝෝෂා නගනවා මට ඇහෙනවා.
ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කළ ‘රාග රිද්ම’ කෙටිකතා එකතුවෙ එන මිෂිමගේ ම ‘දේශප්‍රේමය’ කෙටිකතාව මේ කවරෙ දැක්කම මතක් වෙන අනෙක් කතාවයි. ඒ කෙටිකතාවෙ තියෙන්නෙ රමණයකින් පස්සෙ හරාකිරි ක්‍රමයට(පිහියෙන් බඩකපාගෙන) දිවිනසාගන්නා, ජපන් හමුදා නිලධාරියෙකු සහ බිරිඳ ගැනයි. මේ කෙටි කතාව වගෙ ම ඇත්ත ජීවිතෙත් මිෂිමා දිවිනසාගෙනයි මියයන්නෙ.
මේ පොත ‘සිඳුලෝලී සේලරුවා’ නමින් ඩී.එම්.එස්.ආරියරත්න විසින් පරිවර්තනය කරන ලදුව මුද්‍රණය වී තිබෙනවා. පරිවර්තිත කෘතියෙ නම ම, ජපන් ළඳකගේ කෝමල බව ගැබ්වුණු සිලිටි වදන් මුසුවක්.
ඩිල්ශානි චතුරිකා දාබරේ