Home Blog Page 258

‘මතක පොලිසිය’ අතුරුදන් කරන්නේ මතක විතරක් නොවේ

0

ලෝකයට දේවල් එකතුවෙන, පිරෙන, පවතින තත්ත්ව වගේ ම ලෝකයෙන් ඉවත්වෙලා අතුරුදන් වෙලා නැත්තටම නැතිවෙලා යන තත්ත්ව, සම්පූර්ණ වීම සහ හිස්වීම කියන වචනවලට කැටිකරලා හිතුවොත් දයලෙක්තිකයක් විදියට තුලනය වෙවී ක්‍රියාකරනවා. එක පැත්තකින් ලෝකෙ පිරෙද්දි අනෙක් පැත්තෙන් දේවල් ලෝකෙන් හැලෙනවා. කොහොමහරි යොකෝ ඔගවා ලියා හෂිත අබේවර්ධන පරිවර්තනය කළ, ‘මතක පොලිසිය’ කියවල ඉවරවුණාම දැනෙන්න ගන්නවා, වැදගත්වෙන්නෙ මෙහෙම පිරෙන එකවත් හිස්වෙන එකවත් නෙමේ, අපි ඒවට ප්‍රතිචාර දක්වන විදියයි, ඒවාට දෙන වටිනකමේ තරමයි, ඒවා මතක තියාගෙන ඉන්න විදියයි කියල.

අපේ ජීවිත කාලෙ පුරා මතක පණ ලබනවා, අපිව ප්‍රීති පාමොජ්ජෙ ගිල්වනවා, ජීවත්වෙන්න දිරි දෙනවා. ඒවගෙ ම, නොහිතූ තැනකට කඩාපැනලා හැසී මැසී දුකෙන් කොනිති ගන්නනවා, පුලුස්සා දමනවා. මේ මතකවලින් ගැලවීමක් නැහැ. මතක මියැදෙන්නෙ නෑ, පරණ මතක තියෙන තැනට අලුතෙන් ගොඩනැගෙන මතක ඇවිත් රීප්ලේස් වෙනවා.

රටක ආරක්ෂක අංශ කියන්නෙ පාලකයන්ගෙ සේවය වෙනුවෙන් පිහිටුවපු සමූහ. මතක තබාගත යුතු, අමතක නොකළ යුතු දේවල් හිතෙන් අයින් කරන්න කියල පොලිසියෙන් ඇවිත් නියෝග දෙනවා නම්, මතක තියෙන අයව පොලිසියෙන් කුදලගෙන යනව නම්, හිතන – පතන දේවල් හිතන්නවත් නොදෙන මට්ටමට ජීවත්වීමේ අවම අයිතියක්වත් නැත්නම්, එහෙව් රටක මිනිස්සුන්ට ජීවත්වෙන්න බෑ. ඒනිසා වෙන්නැති පොත ඉවරවෙද්දි මිනිස්සුන්ගෙ ඇඟවල් පවා අතුරුදන්වෙලා ගන්දබ්බ ආත්ම වගේ පාවෙන මට්ටමට පත්වෙන්නෙ. මේ පොතේ ඉන්න ‘මතක පොලිසිය’ ත් හැබෑ පොලිසියක් වගේ ම, හිටිහැටියෙ ගෙවල්වලට පනින, මිනිස්සු කුදලගෙන යන, ප්‍රශ්න කළොත් හිරේ දාන, කොට්ඨාසයක්. තවත් ජපන් ලේඛකයෙකු වන ගෙන්කි කවමුරා ලිව්ව ‘If cats dissapeared from the world’ පොතෙ ඉන්න යකාත් මේ මතක පොලිසිය වගේ ම දේවල් අතුරුදන් කරන්නෙක් බව දැන් මතක් වෙනවා. කොහොමහරි මේ පොලිසියෙ හැඩරුව අනුව මට මැවුණේ ‘ධවල භීෂණ’ වේදිකා නාට්‍යයේ පසුබිම. ඔවුන් මිනිස්සුන්ව මූලස්ථානයට කැඳවන්න ගෙවල්වලට එවන්නෙ අලංකාර මෝටර් රථ. කැඳවීම ලැබුණු මිනිස්සු හිතන්නෙ හොඳ දේකටයි මේ තමන්ව අරන් යන්නෙ කියල. නමුත් ඒ යන අය ආයෙ එන්නෙ නෑ. මේ පොලිසිය අතුරුදන් කරන්නෙ මතක විතරක් නෙමේ. තමන් ජීවත්වෙනවද නැද්ද කියල හිතෙන මට්ටමට, කතාකරන්න – හිතන්න – තර්ක කරන්න – නිර්මාණශීලී අදහස් පළකරන්න ඉඩ නොදෙන මට්ටමට වැටබැඳලා, මිනිස්සුන්ගෙ මුළු ඇඟම අඩපණ කරන විදියට ඇඟපතේ අවයව පණ නැතිකරල පොත අන්තිම වෙද්දි මේ මිනිස්සු මැරිලද කියල අපිට හිතෙන තරමට, හුළඟක් වගේ ආත්මයක් විතරක් ඉතුරු වෙනකම් සාරය උරාබොන මට්ටමකට රටක් ම පත්කරන්නෙත් මේ පොලිසියයි.

අතුරුදන් කළ ලැයිස්තුවට මේ කියන ටික ඇතුළත් වෙනවා; කුරුල්ලො, රෝස මල්, පලතුරු, ජායාරූප, කැලැන්ඩර්, පොත්, වම් කකුල. මේවා සංකේත. රෝස මල් කියන්නෙ ආදරය, හැඟීම් දැනීම්. ජායාරූප කියන්නෙ අතීතය. පොත් කියන්නෙ නිර්මාණශීලි අදහස්. කැලැන්ඩර් කියන්නෙ කාලය, දින. මිනිස්සු ඉන්න රටකින් ආදරය, අතීත ස්මරණ, කලාකාමී – තාර්කික අදහස් සහ දින වකවානු / කාලය හිතාගන්න බැරිවෙන්න අතුරුදන් කරවනව කියන්නෙ, එතනින් එහාට ඒ රටේ ඉන්නෙ ගල් මිනිස්සු. තමන්ට වෙන දෙයක් වුණාවෙ කියල බලන් ඉන්න, හිරිවැටුණු මිනිස්සු.

මේ පොලිසියෙ ඈයො පුස්තකාලෙ ගිනි තියලා ඒ මත පොලිස් මූලස්ථානයක් ඉදිකරනව. සහකම්පනය – බුද්ධිය නැතිකරලා දාලා, ඒ මත පීඩක බලය ජීවත්කරවන රටක් ගැන මේ කියන්නෙ. රෝස මල් පෙති ගගේ පාවෙනවා. පොත්වල පිටු පිච්චිලා යනවා. මේවා ලංකාවෙ අපිට මවාගන්න අමාරු නෑ. ‘පොත් පුලුස්සා දැමීමට පටන්ගන්නා මිනිස්සු අනෙක් මිනිසුන්ව පුලුස්සා දැමීමෙන් එය අවසන් කරති’ කියල පොතේ තියෙන්නෙ ඒකයි.

හජිමෙ නකමුරෙ ලියා, පී.බී.මීගස්කුඹුර පරිවර්තනය කළ ‘පෙරදිග මිනිසුන්ගේ චින්තන විධි’ පොතේ තියෙනවා භාරතය – චීනය – තිබ්බතය – ජපානය කියන රටවල ඉන්න මිනිස්සුන්ගෙ හිතන පතන විදි හැඩගැහිලා තියෙන්නෙ කොහොමද කියල. ජපන් කාන්තාවක් දැක්කම අපිට දැනෙන ඒ ‘ජපන් ලකුණ’ හිත්වලට කාවැදෙන ඒ අනන්‍ය බව එන්නෙ කොහෙන්ද කියල ඒ පොතේ විස්තර කෙරෙනවා. යොකො ඔගවාගෙ ‘මතක පොලිසිය’ පොතේ ඉන්න ස්වාධීන, නිහඬ, චාම් මිනිසුන්ගෙ දිවි පැවැතුම් ඔවුන්ගේ සංස්කෘතිය එක්ක මුහුවෙලා ඉහත කිව්ව පොතේ කාරණා එක්ක වඩාලා ම පැහැදිලි වෙන්න ගන්නවා. නිදහස් කිරීම, ඉවත්කිරීම, දුරස්ථකිරීම, මුදාහැරීම, තමාව අත්හැරීම, නැඹුරුවීම වගේ දේවල් එක්ක බැඳුණු සෙන් දහමේ ඉගැන්වීම්වලට අනුගත ජීවිත අහුරු පෙති තැනින් තැනින් පෙනෙන්න ගන්නවා. අතුරුදන්ව ගිය කුරුල්ලෙක් හිම වැටුණු අත්තක ඉඳගෙන නගරෙ දිහා බලන් ඉන්නවා කියල හිතෙන මේ පොතේ කවරය දැක්කම අපිට දැනෙන සීතලක් තියෙනවද, අන්න ඒ සීත බව, ඇල්මැරුණු බව, නිකම් බව, පණ නැති, ජීවය නැති බව හැම මිනිහෙක්වම ගිලගන්නවා.

මේ කතාව ඇතුළෙ තව කතාවක් තියෙනවා. ප්‍රබන්ධයක් ඇතුළෙ තව ප්‍රබන්ධයක් තියෙනවා. ‘මම’ යනුවෙන් අපිට කතාව ඉදිරිපත් කරන කාන්තාව, කතුවරියක්. එයා ලියන නවකතාවෙ අත් පිටපතේ කොටස් පොතේ කතුවරිය වන යොකො ඔගවා තැනින් තැන පොතට ඇතුළත් කරනවා. මේ අනු ප්‍රබන්ධය, නැත්නම් පාර ප්‍රබන්ධය ලොකු වැඩ කොටසක් ‘මතක පොලිසිය’ පොතට කරනවා. සතුටුවීම අහිමි රටක නන්ස්ටොප් දේවල් සහ මිනිස්සු අතුරුදන් වෙද්දි, ජීවතුන් අතර ඉන්න මිනිස්සුන්ට දැනෙන හිරිවැටුණු මනෝභාව, දතකට පූට්ටු වෙන ස්වභාවෙ, ඔතෑනි සිතිවිලි ධාරාව අර තරුණිය පිටකරන්නෙ අත් පිටපත හරහා. හැබෑ ලෝකෙ සේරම අතුරුදන් වෙවී යද්දි අලුතින් දලු දාපු එක ම දේ මේ අත්පිටපතේ වචන විතරයි. ඒත් අත්පිටපතේ චරිතය සතු ටයිප් රයිටරෙ කැඩෙනව. ඒකියන්නෙ ලියන්න බෑ. කතා කළාට හඬ ඇහෙන්නෙ නෑ. අදහස් ප්‍රකාශ කරන්න තියෙන මූලික දේවල් දෙක; කතාකරන හඬ සහ ලියන වචන ඔන්න අත් පිටපතේදි නැතිවෙලා යනවා. දැන් කරන්න කිසිම දෙයක් නෑ. මේ අත් පිටපත පොතට යෙදීම යොකො ඔගවාගේ සූක්ෂම නුවණක්කාර වැඩක්.

පරිවර්තනයෙදි හෂිත අබේවර්ධන යොදාගත්ත එක ටෙක්නික් එකකට මං කැමතියි. මේක සුළු දෙයක් වෙන්නැති, ඒත් ඒක මට හිතන්න තරම් දෙයක්. වාක්‍යයක් මැදට යොදන අමතර වාක්‍යාංශයක්, වෙන ම වාක්‍යයක් විදියට අවසානයට එකතු නොකර මුල් වාක්‍යය මැදට ම, මුල් කෘතියෙ ටෝන් එකට ගැළපෙන්න කඩ ඉරකින් එකතුකරලා, ආයෙ ම අර මුල් වාක්‍යයේ ඉතිරිය එතනට අරගැනීමයි. උදාහරණයක් පහතින්,
‘ඉතින් දිවයිනේ සිතියමක් නොවූ නිසා – සිතියම් බොහෝ කලකට පෙර අතුරුදන් වී ගොස් තිබුණි – එහි නිශ්චිත හැඩය හෝ කඳුකරයට ඔබ්බේ වූයේ කුමක්දැයි කිසිවෙක් දැන සිටියේ නැත’

මේ පරිවර්තනයෙදි භාවිත කරල තියෙන ඇතැම් වචන, දීපකයක් වගේ වාක්‍ය සහ ජේද එළිය කරනවා. කොහොමත් මම ඔහුගේ බසට කලක පටන් ම ලොල්. පරිවර්තනවලදි නිතර භාවිත කරන කුකුළගෙ කරමලෙ මතක්වෙන වදන් යොදා නොගෙන, පොළොවට නැඹුරු සොබාවිකව ගලන් එන වචන මේවායෙ ඉලිප්පිලා පේනවා. ‘සත්කාරිකාව’ කියන වචනෙ මං අන්තිමට කියෙව්වෙ සෑහෙන ඈත කාලෙකින් පස්සෙ වගේ දැනෙන්නෙ. ඒ ඒ අයගෙ මුවට ඒ ඒ වයසට සහ ඒ ඒ පරම්පරාවට අයත් විදියට පරිවර්තකයා බස හසුරුවනවා.

මතක ගොන්නක් මතක් කරකර ‘මතක පොලිසිය’ කියවල ඉවරවුණාටත් පස්සෙ, පොතේ එන එක වැකියක් තමාව බැඳපු බැමි කඩාගෙන පිටු දෙබෑ කරගෙන මහ හයියෙන් කෑගහල හූතියනවා මට ඇහෙනවා,
“කාටවත් කතන්දර මකලා දාන්න බෑ ! “

ඩිල්ශානි චතුරිකා දාබරේ

‘මතක පොලිසිය’ | Little House Publishers

“මේ ගීතයේ මට හොඳටම දැනෙන තැන මෙතැනයි”

0

මම මේ දිනවල ළහිරු කිතලගමගේ ‘චුට්ටා’ යොවුන් නවකතාව කියවමින් සිටිමි. ඒ අතරතුර මගේ මිතුරියක් වට්ස්ඇප් එකට වීඩියෝවක් එවා තිබුණි. එය ළහිරු කිතලගම ලියූ ගීතයක් බවත්, එය අසා බලන ලෙසත් ඇය මට කීවාය. ඉතින් මම මඳකට චුට්ටා පසෙකින් තබා එය අසා බැලුවෙමි. පළමු ශ්‍රවණයෙන්ම මගේ හිත ඇද බැඳ ගත් ඒ ගීතය ගැන පොඩි සටහනක් තැබිය යුතුයැයි අනතුරුව මට සිතුණි.

ආදරය, විරහව ගැන අපි ඕනෑ තරම් ගීත අසා ඇත්තෙමු. විවිධ ගී පද රචකයන්, ගායකයන් ඒවා ප්‍රතිනිර්මාණය කර තිබේ. මේ ගීතය ද එබඳු නිර්මාණයකි. නමුත් වචනවලින්, තනුවෙන් සහ ගායකයාගේ කටහඬින් ඒ තුළ අප කලින් අත් නොවිඳි අපූර්වත්වයක් ජනිත වේ. විශේෂයෙන්ම සම්මානලාභී කවියෙකු වන ළහිරු කිතලගම සිය පද රචනාව හරහා අපව සාංකාමය ලෝකයකට රැගෙන යයි. ඔහු ගීතය ආරම්භ කරන්නේ මෙසේය.

“සමු ගන්න කාලය ඇවිල්ලා
ඉඩ දෙන්න, ඉන්නැයි නොඉල්ලා
නැවතුණා නම් මෙතැන අපි හැම
අතැර යන්නට වෙනවමයි
යළිත් එන්නට බැහැ තමයි”

ආරම්භයේදීම අසන්නා හුදෙකලා කන්දක් මුදුනෙහි තනි කරනවා බඳු හැඟීමක් ඇති කරවන ඔහු ඉන්පසුව මෙසේ කියයි.

“ඉතින් නාඬා ඉන්න සොඳුරිය
කලින් යන එක විතරමයි
අඬන්නට හේතුවක් වන්නේ”

බොහෝ ගීතවල අපට හොඳටම දැනෙන තැනක් තිබේ. මේ ගීතයේ මට හොඳටම දැනෙන තැන මෙතැනයි. කොහොමත් මෙය යන්නට තිබෙන ගමනක් බවත්, එකම වෙනස ටිකක් කලින් යෑම පමණක් බවත් ඔහු කියන්නේ ඉතා අපූරු ආකාරයකට ය. යම්කිසි දාර්ශනික විග්‍රහයක් ද ඒ තුළ ගැබ් වී ඇතැයි මට සිතේ. එයින් පසු ගීතය ඉදිරියට ගලා යන්නේ නිරායාසයෙනි.

“නොදන්නා දුර ඉමක සිට
හෙමින් ඇවිදන් එන වේලාවේ
හති වැටී නැවතුණා ඇත්තයි
මෙතැන එක නැවතුමක් පමණයි
ඉතින් නාඩා ඉන්න සොඳුරිය
කලින් යන එක විතරමයි
අඬන්නට හේතුවක් වන්නේ”

බොහෝ දෙනාට පොදු අද්දැකීමක් ළහිරු කිතලගම තමන්ටම අනන්‍ය වූ ආකාරයකින් ඉදිරිපත් කරයි. ඒ සඳහා ඔහු තමාට හුරු පුරුදු කවි බස ඉතා කදිම ආකාරයෙන් භාවිත කරයි. එය අර කන්ද උඩ හුදෙකලා වී සිටින අසන්නාගේ හිත සැනසෙන ආකාරයෙන් ඉදිරිපත් කෙරෙන බස් වහරකි. ඉතින් එවිට කන්දෙන් බිමට නොපැන ජීවිතය දෙස උපේක්‍ෂාවෙන් බලන්නට ඔහු අපව පොළොඹවයි.

“ඉතිරි වුණ යම් දෙයක් ඇත්නම්
ඔහේ තිබුණාවේ
නුඹේ ප්‍රේමය තවත් හෙවණක
යළිත් පිපිුණා වේ
ඉතින් නාඩා ඉන්න සොඳුරිය
කලියන් යන එක විතරමයි
අඬන්නට හේතුවක් වන්නේ”

ගීතය අවසන් වන්නේ එසේ උපේක්‍ෂා සහගත ආකාරයෙනි. අසන්නා සීරුවෙන් කන්දෙන් බිමට බැස එයි. මේ කදිම පද රචනයට තනු නිර්මාණකරුවා සහ ගායකයා ද උපරිම සාධාරණයක් ඉටු කර ඇති බව ඔවුන්ට ගෞරවය පිණිස සඳහන් කළ යුතුමය. එසේ නොවුණා නම් මොන තරම් හොඳ රචනාවක් වුවද ශ්‍රාවකයාගේ හිතේ පහසුවෙන් ලැගුම් ගන්නේ නැත.

ඉතින් අවසාන වශයෙන්, ළහිරු කිතලගමටත් මේ ගීතය හා බැඳුණු අනෙකුත් සියලුම නිර්මාණකරුවන්ටත් සුබ පතමින් මම යළිත් ‘චුට්ටා’ අතට ගනිමි.

දීපිකා වීරතිලක

Twitter එකට මොකද වෙන්නේ?

ට්විටර් කියන්නේ සමාජ ජාල වෙබ් අඩවියක්. එහිදී පරිශීලකයින්ට කෙටි පණිවිඩ හෝ සටහන් විකාශනය කිරීමට අවස්ථාව උදා වනවා. ට්විට් ලෙස හඳුන්වන මෙම මැසේජස් ටෙක්ස්ට්, වීඩියෝ, ඡායාරූප හෝ වෙනත් සබැඳි පණිවිඩ ලෙස යොමු කළ හැකියි. Twitter හී මූලික අරමුණ වන්නේ මිනිසුන් සම්බන්ධ කිරීම සහ මිනිසුන්ට ඔවුන්ගේ අදහස් විශාල ප්‍රේක්ෂක පිරිසක් සමඟ බෙදා හදා ගැනීමට ඉඩ කඩ ලබා දීමයි. මිලියන 400 ට ආසන්න මාසික පරිශිලකයින් (AMU) ප්‍රමාණයක් මෙම වේදිකාවේ සිටිනවා.

පසුගිය මාසේ 27 දා ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඇලන් මස්ක් මෙම සමාජ ජාලය මිලදී ගත්තා. ඒ ඩොලර් බිලියන 44 ට. හිතන්න 2020 දී අපේ රටේ ජාතික නිෂ්පාදනයේ වටිනාකම වෙන්නේත් ඩොලර් බිලියන 80 ක් විතර. ඇලන් මස්ක් මේක ගත්තත් සමඟමට ප්‍රශ්න ගොඩක් එන්න ගත්තා. ප්‍රධාන හේතුව වුණේ විශාල සේවකයින් ප්‍රමාණයක් ඉවත් කිරීමට ඔහු තීරණය කිරිමයි. ඒ වන විට විවිධ මට්ටමින් වැඩ කරන සේවකයින් 8000 ක් විතර මෙම සමාගමේ සිටියා. ඔවුන්ගෙන් මේ වන විටත් 3700 ක් පමණ ඉවත් කරලා. ඒ වගේම නිවසේ සිට වැඩ කිරීමට තිබූ අවස්ථාවත් ඉවත් කළා. ඇලන් මස්ක් පළමුව මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරියා. අනතුරුව Twitter හි head of trust and safety ලෙස සේවය කළ Yoel Roth ඉවත් කළා. ඊට පස්සේ chief information security officer වන Lea Kissner ඉවත් වුණා. මේ ආකාරයට සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීන් රැසක් ඉවත් කර හෝ ඉවත් වී තිබෙනවා.

බ්‍රහස්පතින්දා කාර්ය මණ්ඩලය සමඟ ඇලන් මස්ක් ගේ රැස්වීමේදී, ලබන වසරේ ට්විටර් සමාගමට ඩොලර් බිලියන ගණනක් අහිමි විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. මේ වන විටත් සමාගම ඩොලර් බිලියන 13 ණයක් සහ ඉදිරි මාස 12 තුළ ඩොලර් බිලියන 1.2 කට ආසන්න පොලී ගෙවීමක් සිදු කිරීමට තිබෙනවා. මේ නිසා ලබන වසරේ සමාගම බංකොලොත් විය හැකි බවට ද ඔහු අණතුරු අඟවා තිබෙනවා. මස්ක් පැවසුවේ සෑම දිනකම සමාගමට ඩොලර් මිලියන 4 ක පාඩුවක් ලබන බවයි. මස්ක් විසින් හඳුන්වා දුන් Twitter Blue ලේබල් වෙරිෆිකේෂන් එකත් මේ වන විට අසාර්ථක වෙලා. එමගින් මාසෙකට ඩොලර් 8 බැගින් සංස්ථාපිත පරිශිලකයින්ගෙන් ඉපැයීමට උත්සාහ කළත් පැමිණි විරෝධය හේතුවෙන් එය තවමත් ක්‍රියාත්මක කර නැහැ.

මේ අතර එක්සත් ජනපද ෆෙඩරල් වෙළඳ කොමිසම (FTC) Twitter හි මේ වර්ධනයන් පිළිබඳව ගැඹුරින් සළකා බලමින් සිටින බව ප්‍රකාශ කළා. පුද්ගලික පරිශීලක තොරතුරු අනිසි ලෙස භාවිතා කරමින් වෙළඳ ප්‍රචාරණය ඉලක්ක කර ගනිමින් පුද්ගලික දත්ත එක්රැස් කිරිමේ චෝදනාව මත මැයි මාසයේදී ට්විටර් සමාගමට ඩොලර් මිලියන 150 ක දඩයක් ද ඇමරිකාවේ මේ FTC විසින් පවනවා තිබෙනවා. බොහෝ සමාජ ජාල පුද්ගලික දත්ත සහ තොරතුරු සිය වෙළඳ අරමුණු වෙනුවෙන් භාවිතා කරනවා. ඒ පිළිබඳව මේ වන විටත් ලොව පුරා විවිධ ගැටළු පැන නැගී තිබෙනවා. කෙසේ වෙතත් ඇලන් මස්ක් ටිවිටර් සමාජ ජාලය විශාල වෙනසකට ලක් කරාවි යැයි මේ වන විටත් මත පළව තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ සමාගමේ මූල්‍ය තත්වය දැන ගෙනම එය මිලදී ගැනීමට ඔහු කටයුතු කිරීමයි.

ප්‍රියන්ත වෙදමුල්ල

ඇතැම් සිතුවම් කියවීමට නම් එම සිතුවම් තුළට පිවිසිය යුතුය

0

සිතුවම යනු රේඛා හැඩතල සහ වර්ණ සංකලනයෙන් නෙත ද ඉන් නොනැවතී සිත ද පැහැර ගන්නා, එයින් ද නොනැවත මනසටද අමතන දෘෂ්‍යමය නිර්මාණයකි. ඇතැම් සිතුවම් සැනෙකින් කියවා ගත හැකි නමුදු ඇතැම් සිතුවම් කියවීමට නම් එම සිතුවම් තුළට පිවිසිය යුතුය.

මේ වෑයම චාල්ස් දයානන්දයන් ගේ නව්‍ය සිතුවම් කිහිපයක් පිළිබඳව විවරණය කිරීමටයි. ශිල්පියා චිත්‍රය පිළිබඳව උසස් කියවීමක් සහිත පුද්ගලයෙකි.

සිත්තරා මෙම සිතුවම් ඇඳීමට යොදාගනු ලබන වර්ණ මාධ්‍ය වනුයේ ස්වේඩ් රෙද්ද මත තෙල් සායම් ය. සිතුවම් සඳහා ශිල්පියා තෙල් සායම් අමිශ්‍රව යොදා ගැනීම සිතුවම් වල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. සිතුවම් වල වර්ණ දීප්තිමත්ය. රේඛා නම්‍යශීලීය.ශිල්පියා සතු සිතුවම්කරණය සඳහා වන කෞෂල්‍යය හැඩතලවල ස්වභාවය, වර්ණ භාවිතය, රේඛා හැසිරවීම සහ නිමාව යන ලක්ෂණ විමසීමේදී මනාව පිළිබිඹු වේ.

  1. සොබාදම් දිනිතිය

ශිල්පියා විසින් සොබාදහම කතකට උපමා කොට ඇද ඇති මේ සිතුවම ඉතා අපූරුය.එහි ඇගේ කේශ කලාපය ජලධාරා දක්වා පොළොව දෙසට ද වලාවන් සේ ගුවන පුරා ද විසිර පවතී. ඇගේ සිරුරද සොබාදමේ පළවැළ ගස් කඳන් වැනි අංගයන්ගෙන් සෑදුනකි. මීන, විහඟ, ඉදිබු දරුවන් සහ ඇගේ සෙනෙහස ලබන තුරුපත් අතු ඉති සමූහයා වටකොට ගෙන සිටින ඇයුරින් ඇ මවක් සේ හැඟේ.

සිතුවමේ වර්ණ සංයෝජනය මනහරය. තුරුපත් සියුම් ලතාවන් සහ ජලධාරාවන් ශිල්පියා විසින් විස්තරාත්මකව වර්ණ ගන්වා ඇත. කාලවර්ණ ස්වේඩ් රෙද්ද සිතුවමේ වර්ණ සුදීප්ත වීමට හේතු වූවා දිය හැකිය. සිතුවම තුළ රඹ, රන් සහ කහ උෂ්ණ වර්ණයන්ද නීල පීත ආදි ශීත වර්ණයන් ද මනාව සංකලනය කොට තිබේ. කාන්තාවගේ මුහුණේ වන ඉරියව්ද සිහිල් වර්ණයන්ගේ බලපෑමද සිතුවමේ සියුම් ශෝකී රසයක්ද ජනිත කරයි.

  1. පවුල

ශිල්පියා විසින් ඇඳේ ඇති පවුල නැමැති සිතුවමේ ප්‍රකාශන ගුණය ද ප්‍රශංසනීය ය. රූපයන්ගේ බාහිරින් දක්නට ලැබෙන සැබෑ ස්වභාවය ඉක්මවා මෙසිතුවමේ ද ඔහු හැඟීම් පින්තාරු කර ඇත.

එක් පවුලක් තුළ දක්නට ලැබෙන සමාජ ආර්ථික බැඳීම් සේ ම මාපිය දූදරු වශයෙන් ගොඩනැගෙන අධ්‍යාත්මික බන්ධනයන් ද ශිල්පියා මෙම සිතුවමින් අපූර්ව ලෙස නිර්මාණය කර තිබේ. පවුලේ සාමාජිකයන් එක් එක් පුද්ගලයා වශයෙන් වෙන් කළ නොහැකි අතර සියල් පුද්ගලයන් එක් ඒකකයක් ලෙසින් ශිල්පියා සිතුවමින් නිරූපණය කරයි.

සිතුවම වර්ණ ගන්වා ඇති රෝස, කහ සහ රතු යනාදී උණුසුම් වර්ණයන්ගෙන් පවුලක් තුළ ඇති උණුසුම සුවදායක බව පිළිබඳව සංකේතවත් වන සෙයකි . එසේම පවුල වනාහී අනවරත සමාජ ආර්ථික ගැටුම් හා පීඩා මැද ජීවන අරගලයට මුහුණ දෙන සමාජ ඒකකයක් වග මෙහි දක්නට ලැබෙන ශීත වර්ණයන්ගෙන් යම් ඉඟියක් ලබා දෙයි. දුක සැප අතර දෝලනය වෙන දිවියක් හිමි පවුලක් පිළිබඳව මෙම සිතුවමේ වර්ණ සංකලනය අපූරව ලෙස දෘෂ්‍යමාන කරයි.

  1. පවුරු වළල්ල

මෙම සිතුවමින් ශිල්පියා විසින් නිර්මාණය කර ඇත්තේ පෙම් යුවළකි. ඔවුනට රිසි ලෙස එක් ලොවක පෙම් සුව විඳිනු අවැසි, එහෙත් ඔවුනොවුන් පැවත එන සමාජ හා සංස්කෘතික පරිසරයන් විසින් දෙපසට මායිම් කරවන පෙම් යුවළකි.
සරල ප්‍රකාශනයක් තුළ සංකීර්ණ හැඟුම් නිර්මාණයෙහිලා ශිල්පියා සතු මනා නෛපුණ්‍යය මෙම සිතුවමින් ද මොනවට විද්‍යමාන වෙයි. එක් එක් විශාල රූප තුළ තුළ කෙමෙන් ක්ෂුද්‍ර වන රූප මගින් මෙම පෙම්වතුන් යුවළ බාහිර සාධක මත ඇහිරෙන හැකිලෙන ආකාරය නිරූපණය කර ඇති ආකාරය මනස්කාන්තය.

ශිල්පියා විසින් ඇඳ ඇති මෙම සිතුවමේ ජෝර්ජ් බාර්ක් සහ පැබ්ලෝ පිකාසෝ වැනි ශිල්පීන් විසින් ගොඩනගන ලද ඝනිකවාදී (cubism ) ආකෘතියෙහි යම් යම් ලක්ෂණ අන්තර්ගතය. එසේම මෙම සිතුවම පිකාසෝ විසින් ඇඳ ඇති Guitar player, woman with guitar සහ The piano Accordionist වැනි ඝනිකවාදී සිතුවම් සිහිපත් කරවයි. ශිල්පියා ඝනිකවාදී තිබෙන යම් යම් ලක්ෂණ මෙම සිතුවමට අන්තර්ගත කර ගත්තද ඝනත්වය එතරම් උපයෝගී කරගෙන ඇති ආකාරයක් නොපෙනේ. ඝනිකවාදය තුළින් එක් එක් රූපයන්ගේ සමස්තය හැඩතල වලට කඩා වියුක්ත කොට දැක්වූවත් එකම රූපයක් තුළ තවත් රූප දැක්වීමක් සිදු නොකරයි. ශිල්පියා ඝනිකවාදය ඉක්මවා තම පරිකල්පනය මෙහෙයවා ඇති බව මෙම සිතුවම තුළ විශාල රූප තුළ කුඩා රූප ගොඩනගා ඇති ආකාරයෙන් පසක් කරවයි.

සිත්තරා විසින් අඳින ලද තවත් සිතුවම් කිහිපයක් ද ඔබට සිතැඟි ලෙස විඳගැනීම සඳහා මේ සමග පළ කර ඇත.
චාල්ස් දයානන්දයන් ගුරුවරයෙකු වශයෙන් සේවය කොට පසුව ගිරාගම සෞන්දර්ය ගුරු විදුහලෙහි චිත්‍රකලා කථිකාචාර්යවරයෙකු වශයෙන් ද, ඉනික්බිති නැගෙනහිර පළාත් සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වරයෙකු වශයෙන්ද සේවය කර ඇත. එසේම ළමා චිත්‍ර පිළිබඳව බාහිර දේශක ලෙස විවෘත විශ්ව විද්‍යාලය, කැලණි විශ්ව විද්‍යාලය , සිබා විශ්ව විද්‍යාලයෙහි ද සේවය කරයි. තවද ඔහු විසින් චිත්‍ර කලාව හා ඒ සම්බන්ධයෙන් පොත් දහයක් ද, කාව්‍ය සංග්‍රහයක් ද නවකතාවක් චරිතාපදානයක් , ඔහුගේ ජීවිතයේ සිදුවීම් අලලා ලියන ලද කතාවක් වශයෙන් පොත් දාහතරක් පමණ ලියා ඇත.

චිත්‍ර කලාව වෙනුවෙන් දයානන්දයන් සිදුකරන මෙහෙය සැබැවින්ම පැසසිය යුතු වන අතර සිතුවම වෙනුවෙන් තවත් බොහෝ කලක් ඔහුට සේවය කිරීමට ලැබේවා ! යැයි ද පතනු කැමැත්තෙමි.

ප්‍රියංගිකා සෝමපාල

01. සොබාදම් දිනිතිය 02. පවුල

03.පවුරු වළල්ල

තරගාවලියේ ක්‍රීඩකයාගේ නම් අතරට වනිඳුගේ නමත්

0

පන්දුවාව 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් සැණකෙළියේ තරගාවලියේ ක්‍රීඩකයා තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඡන්ද විමසීමක් අද වනවිට (11) ආරම්භ කර තිබේ.

මේ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 09 කි.

මෙම නවදෙනා අතරට විරාත් කෝලි, සූර්‍යකුමාර් යදාව්, ෂාහීම් ෂා අෆ්‍රඩී, සදාබ් ඛාන්, සිකන්ද රාසා, වනිඳු හසරංග, ජොස් බට්ලර්, ඇලෙක්ස් හේල් සහ සෑම් කරන් නම් කර තිබේ.

මෙම ලැයිස්තුවේ විශේෂත්වය වන්නේ, එංගලන්ත ක්‍රීඩකයින් තිදෙනෙකු, ඉන්දීය කණ්ඩායමෙන් ක්‍රීඩකයින් 02ක් සහ පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කර තිබීමයි.

මෙම ලැයිස්තුවට ප්‍රබල ඔස්ට්‍රෙලියානු, නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම්වල කිසිදු ක්‍රීඩකයෙකු නම් කර නොමැත.

“භයානක හා දිගුකාලීන වැරදි කළමනාකරණය ලංකාවේ ආර්ථිකය බිඳ වැටීමට හේතුවයි”

0

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පසුපෙළ ව්‍යාපාරික කමිටුව විසින් පසුගිය දා ඉල්ලා සිටි පරිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය පසුගිය බදාදා(09) විවාදයක් පවත්වන ලදී.

මෙම සාකච්ඡාවේ අරමුණු වුයේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ප්‍රතිචාරය මෙන්ම පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියේ ආධාර ලබා දීමේ ක්‍රියාවලිය සිදු වන අකාරය සොයා බැලීමයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු පාලකයන්ගේ භයානක හා දිගුකාලීන වැරදි කළමනාකරණයත්, 2019 වසරේ සිදු වූ බිහිසුණු පාස්කු ප්‍රහාරයත්, කොවිඩ් වසංගතය සහ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය නිසා ඇති වූ ආර්ථික ප්‍රතිවිපාක බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු උප ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝ ඩොචර්ටි මෙහිදී කියා සිටියේ.

එසේම ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ආර්ථික ප්‍රකෘතිය සහ වර්ධනය සඳහා ස්ථාවර දේශපාලන විසඳුමක් අත්‍යවශ්‍ය බව බ්‍රිතාන්‍ය රජය විශ්වාස කරන බවයි.

මානව හිමිකම් සහ වගවීම සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කර ගන්නා ලෙස බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවෙන් දිගටම ඉල්ලා සිටින බව ද ඔහු එහි දී සඳහන් කළා.

අදාල විවාදය අවසන් කරමින් කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී එලියට් කොල්බර්න් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන තමන්ගේ උත්සාහය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසය.

විනාශ වූ චැලෙන්ජර් ෂටලයේ ලොකු කැබැල්ලක් රූපවාහිනී කණ්ඩායමකට හමුවෙයි.

0

” History ” රූපවාහිනී චැනලය මගින් ලබන නොවැම්බර් 22 වෙනි දින සිට විකාශනය කිරීමට නියමිතව ඇති ” The Bermuda Triangle : Into Cursed Waters ” නම් කථාංග හයකින් සමන්විත රූපවාහිනී වාර්තා චිත්‍රපටයක නිෂ්පාදන කණ්ඩායමට සමුදුරු පතුලේ තිබූ චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලයේ ලොකු කැබැල්ලක් හමු වී තිබෙනව.

අඟල් 8ක ( සෙන්ටි මීටර් 20 ) දිග පළල ඇති හරි හතරැස් තාප පරිවාරක උළු ආවරණයකින් සමන්විත අඩි 15 × 15 ( මීටර් 4.5 × 4.5 ) විශාලත්වයක් සහිත මෙම සුන්බුන් කැබැල්ල වසර 25කට වඩා වැඩි කාලයක් ඇතුළත චැලෙන්ජර් ෂටලයෙන් හමු වුණු පළමු ප්‍රධානතම සොයාගැනීම වෙනව.

මෙය හමු වී තිබෙන්නෙ බර්මියුඩා ත්‍රිකෝණයට වයඹ දෙසින් ෆ්ලොරිඩා හි අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙරළට නුදුරු සාගර පතුලෙනුයි.

” History ” රූපවාහිනී චැනලයේ අරමුණ වූයේ චැලෙන්ජර් ෂටලයේ සුන්බුන් සෙවීම නොව ෆ්ලොරිඩා හි කැනවරල් තුඩුවට ඔබ්බෙන් මුහුදු පතුලේ ඇති ගුවන් යානා සුන්බුන් සෙවීමයි.

එහි කිමිදුම්කරුවන්ගේ අවධානය යොමුව තිබුණේ 1945 වසරේ දෙසැම්බර් මස 5 වෙනි දින කිසිදු සළකුණක් ඉතිරි නොකර අතුරුදන් වුණු PBM Martin Mariner නම් ගුවන් යානයේ සුන්බුන් සෙවීමටයි.

දෙවෙනි ලෝක යුද සමයේ ගුවන් යානයකට වඩා නවීන ගුවන් යානා ව්‍යුහයක පෙනුම ඇති මෙම කැබැල්ල පළමු වරට මෙම වසරේ මාර්තු මාසයේදී හමු වූ පසු නැවත මැයි මාසයේදී දෙවෙනි වරට සිදු කළ කිමිදීමකින් ඒ පිළිබඳ තොරතුරු NASA අභ්‍යවකාශගාමියෙකු වන බෲස් මෙල්නික් වෙත ඉදිරිපත් කළ විට ඔහු එය චැලෙන්ජර් ෂටලයේ කැබැල්ලක් විය හැකි බවට සැක කරනු ලැබුවා.

අනතුරුව චිත්‍රපටයේ නිෂ්පාදකයන් විසින් පසුගිය අගෝස්තු මාසයේදී මේ පිළිබඳව NASA ආයතනයේ අවධානයට ලක් කිරීමෙන් පසුව එහි ඇපලෝ , චැලෙන්ජර් සහ කොලොම්බියා Lessons Learned Program වැඩ සටහනේ ව්‍යාපෘති කළමනාකරු වන මයික් සියානෙල්ලි විසින් එම කැබැල්ල චැලෙන්ජර් ෂටලයේ කොටසක් බවට ස්‍ථිර කරනු ලැබුවා.
එහි කොපමණ ප්‍රමාණයක් මුහුදු පතුලේ වැලි යට සැඟව ඇතිදැයි නොදන්නා බැවින් එහි සැබෑ විශාලත්වය නිශ්චය කිරීම අපහසු බව ඔහු මේ පිළිබඳව නිකුත් කළ වීඩියෝ ප්‍රකාශයක සඳහන් කරනවා.
“අපි මේ පිළිබඳව මුලින්ම කළ එක දෙයක් වූයේ මේ සොයා ගැනීම ගැන චැලෙන්ජර් ෂටලයේ අභ්‍යවකාශගාමීන් සියල්ලගේම පවුල් වෙත දැනුම් දීමයි.” මයික් සියානෙල්ලි සඳහන් කරනවා.

ඊයේ නොවැම්බර් 10 වෙනි දින මේ පිළිබඳව NASA ආයතනය මගින් නිකුත් කරන ලද නිවේදනයක එම ආයතනයේ ප්‍රධානි, බිල් නෙල්සන් මෙසේ සඳහන් කරනවා.

“චැලෙන්ජර් ෂටලයේ සිටි ඒ නිර්භීත ගවේෂකයන් සත් දෙනාගේ ජීවිත අහිමිව ගොස් වසර 37කට ආසන්න කාලයක් ගත වුණත්, මෙම විනාශය පිළිබඳ අප රටේ සාමූහික මතකය සදාකාලික වේදනාවක් ගෙන දෙනවා.මාත් ඇතුළු ලොව වටා වෙසෙන මිලියන ගණනකට 1986 වසරේ ජනවාරි මස 28 වෙනි දිනය තවමත් දැනෙන්නේ ඊයේ දිනය වගෙයි. “
1986 වසරේ ජනවාරි මස 28 වෙනි දින චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලය ගුවන්ගත වීමෙන් තත්පර 73කට පසු එය ගිනිගෙන පිපිරී විනාශ වූයේ මිනිස් ජීවිත 7ක් ද සමගයි.

ඔවුන් අතර Francis ” Dick ” Scobee, Mike Smith, Ron McNair, Ellison Onizuka, Judy Resnik, Greg Jarvis සහ අභ්‍යවකාශයට යාමට පෙරුම් පුරා සිටි ලොව ප්‍රථම ගුරු මාතාව වූ Christa McAuliffe ද වූවා.

අනතුර සිදු වී මාස 7ක් වන විට ෂටලය හා එයට සම්බන්ධ කොටස් වල ටොන් 118ක් බැරැති කැබලි 167ක් සොයාගනු ලැබුවා.
ලබන නොවැම්බර් 22 වෙනි දින විකාශනය කෙරෙන ” The Bermuda Triangle : Into Cursed Waters ” රූපවාහිනී වාර්තාමය වැඩ සටහන් මාලාවේ පළමු කථාංගයට මෙම සොයාගැනීම ඇතුළත් කෙරෙන බව ” History ” චැනලයේ ප්‍රධානියෙකු වන Eli Lehrer පවසනවා.

ප්‍රේමශාන්ත කුමාරසිරි : (තරුලොව)

අපිත් එහෙම වෙමු ද?

0

පල්ලිය අත අරින සුද්දො!
අර වැඳිලි – මේ වැඳිලි, අර පිහිට මේ පිහිට නැතිව
තමන් ගැන විශ්වාසය තියන දියුණු ජාතීන්!
අපිත් එහෙම වෙමු ද?

මම නෙදර්ලන්තයේ රූපවාහිනී මාධ්‍ය ඉගෙන ගන්න කාලයේ අහපු එකක් තමයි ඒ රටේ ජනගහනයෙන් 15% ක් වත් පල්ලි යන්නෙ නෑ කියන එක. ඒ මීට දශකයට විතර කලින්. දැන් ඊටත් වඩා අඩු ඇති. ඒ වගේම යුරෝපයේ දියුණු රටවල ක්‍රිස්තියානි-කතෝලික පල්ලි වහලා දානවා මාධ්‍ය වලිනුත් දකින්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි හිර ගෙවල් වහලා දාන අවස්ථාත් ආරංචි වෙනවා.

මිනිස්සුන්ට කන්න-බොන්න- අඳින්න-පළඳින්න-ඉන්න-හිටින්න සවිමත් ආර්ථික තත්වයක් ඇතිවෙනකොට, මිනිසුන්ට විවේකය ලැබෙනවා. තාර්කිකව සිතන්න පතන්න පුරුදු වෙනවා. තව දුරටත් නොපෙනන දෙවියෙක්, නොපෙන ආත්මයක් ගැන විශ්වාසයක් තැබීම නිෂ්පල බව ඔවුන් තේරුම් ගන්නවා. ඒකෙ අවශ්‍යතාවක් ඇති වෙන්නෙත් නෑ. ඒ විතරක් නෙමෙයි අර වගේ ඉහල ජීවන තත්වයක් තියෙනවා නම් ඔවුන්ට ඇතිවෙන විවිධාකාර සාමජීය, ආර්ථික දේශපාලන ප්‍රශ්නත් ඉතා අවම වෙනවා. ඉතිං තමන් ගැනම විශ්වාසය තබනවා මිස ආගමික හෝ සංස්කෘතික මිත්‍යාවන් පස්සෙ යන එකෙන් වලකිනවා. ඒක ඊළඟ පරම්පරාවටත් කියලා දෙනවා. ඉතිං ගස්, ගල් ගඩොල්, නොපෙනෙ දෙවිවරු පස්සෙ යන ආසියාතික, අප්‍රිකානු කලාපයේ රටවල ඉරණමත්, යුරෝපයේ – බටහිර දියුණු ජාතීන්ගේ ඉරණම වෙනස් වෙන්නෙත් මේ නිසා. ඒ විතරක් නෙමෙයි රට-ජාතිය-ආගම ගැන මොන කයිවාරු ගැහුවත් ලැබෙන පළමු අවස්ථාවෙම පැන ගන්න හදන්නෙ, බෝට්ටුවෙන් හරි පැන ගන්න හදන්නෙ මේ රටවලට. ඒ කියන්නෙ ආගම හෝ මිත්‍යා විශ්වාස පස්සෙන් නොයන, නැතිනම් එවා අඩුවෙන්ම අදහන නිදහස් මිනිසුන් ඉන්න, අපේ වෛරයට, අමනාපයට පාත්‍ර වෙච්ච සුද්දන්ගෙ රටවලට.

ඉතිං ඊයේ එංගලන්ත – ඉන්දියා අවසන් පූර්ව තරඟයේ විශිෂ්ට ජයග්‍රහණයක් කරා එංගලන්තය අරන් ගිය පිතිකරුවන් ගැන නිරික්ෂණය කරපු ලංකාවේ බොහෝ දෙනාට පෙණුනු දෙයක් තමයි එයාලා ක්‍රීඩා පිටියෙ දි අර වෙනත් ජාතීන්ට අයත් අය වගේ විවිධ ආගමික හෝ සංස්කෘතික ඇදැහිලි වල යෙදුනෙ නැති බව. ඒ ගොල්ලො පූර්ණ විශ්වාසය තිබ්බෙ එයාලගේ කායික සහ මානසික ශක්තියට. හින්දු වේද ග්‍රන්ථ වලට අනුව මිලියන ගණනක් හින්දු දෙවිවරු ඉඳලත් ඉන්දියාව බේරගන්න බැරි වුණා.

ලංකාව වගේ රටවල මිනිස්සුන්ටත්, අසියාවේ රටවල මිනිසුස්ටත් ආගම් ඇතුළු මිත්‍යා විශ්වාසයන් ගැන කොයිතරම් කිව්වත් ඒක පහසුවෙන් තේරුම් ගන්නෙ නෑ. තේරුම් නොගන්නා තාක්කල් ඔවුන්, ඔවුන්ගේ ශිෂ්ටාචාරය යන්නෙ පස්සට. එහෙමත් නැත්නම් ඉදිරියට යන්නෙ ඉතා සෙමින්. තමන් ගැන විශ්වාසය තියන්න. ඊළඟ පරම්පරාවටත් ඒක කියලා දෙන්න. ඊළඟ ආත්මෙ සැප පතාගෙන, පූජකයින්ට සැප දීගෙන මේ ආත්මෙ සැප අත අරින්න එපා.

අතුල දිසානායක

සුදේශ් කරුනාතිලක තබන ලද facebook සටහනක් පහතින්

මැච් එක තනියම ගැහුවා.
එක කුරුසයක් ඇන්දේ නෑ.
බෝලෙ ඉම්බේ නෑ.
බැට් එක ලෙව කෑවේ නෑ
පොළොව ඉම්බේ නෑ.
පිට්ටනිය වටේ දිව්වේ නෑ.
කරේ දාගෙන ඉන්න කුරුසෙ කිස් කළෙත් නෑ.
සුරේ ඉම්බෙත් නෑ.
බැට් එක උස්සලා සදිසා වන්දනා කලේ නෑ.
අනෙක් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කින්ඩි දැම්මේ නෑ.
අම්පයර්ස් ලා එක්ක ගහ ගන්න ගියේ නෑ.
උන් ආවා.
මැච් එක ගැහුවා.
World class batting display එකක් ලෝකෙටම පෙන්නුවා.
නොපෙනෙන බලවේග වෙනුවට තමන්ගේ ආත්ම ශක්තියට විශ්වාසය දුන්නා.
දෙවියන් වෙනුවට බැට් එකයි අත් දෙකයි ගැන විශ්වාසය තිබ්බා.
අසූ හාර කෝටියක් දෙවියන්ව වන්දනා කරන ICC ඉන්දීය කණ්ඩායමට ඇපත් නැති වෙන්ඩ වඩා ගෙන ගැහුවා.
It’s call beauty of pure Cricket
Not black magic

සටහන – සුදේශ් කරුනාතිලක

පාසල් දරුවන් මුදල් සොරකම් කරන තත්වයට රට පත්වූවේ ඇයි?

0

මුදල් සොරකමක් සම්බන්ධයෙන් පාසල් සිසුවකුට දඬුවම් කිරීමක් පිලිබඳ පුවතකින් මාධ්‍ය කෝලාහලයක් ඇවිල ති‍බේ. එහිදී සිදුවීම සෘජුවම යොමුව ඇත්තේ ගුරුවරුන් සහ පොලිසිය වෙතය. අප සමාජයේ පවත්නා ස්වභාවය අනුවම යමින් දැන් සියළු වරද ගුරුවරුන් පිට පැටවී ඇති අතර අපරාධකරුවන් ලෙස සමස්ත ගුරු සංහතියම බැට කමින් සිටී. ඒ අතර සිදුවීම ගැන ගුරු සංගම් නිහඬය.

ගුරුවරයාගේ පෞරුෂය ගොඩනැංවීම සහ නියම ගුරුවරයකු නිර්මාණය කිරීම පිළිබඳ සංවාදයක් ගුරුවරුන් අතරින්ම ආ යුතු යයි අප කතා කරන්නේ බොහෝ කල් සිටය. එහෙත් ඒ වෙනුව‍ට ඉදිරියේදී සිදුවනු ඇත්තේ ගුරුවරුන් සැලකිය යුතු පිරිසක් සිසුන්ට වුවමනා නං ඉගෙන ගනිල්ලා අපි උඹලට අවවාද දෙන්න යන්නෙ නෑ කියා නිහඬ වීම විය හැකිය.

සමස්ත රටෙහි සියළු වෘත්තීය භූමිකාවන් පරිදිම ගුරු වෘත්තියද යළි සැකසිය යුතුය යන්න ගැන අප වෙනම කතිකාවක් ඇරඹිය යුතුව තිබේ. එහෙත් මේ සටහනෙහි අරමුණ එය නොව මේ ගුරුවරුන් හට දිගුවන අත් හරහා යටපත්ව යන තවත් වැදගත් කරුණක් ගැන අවධානය යොමු කිරීමටය.

පාසල් දරුවන් මෙලෙස සොරකමට යොමුවීම පිළිබඳ පුවත් අපට ඇසෙන්නට ගෙන ඇත්තේ ඇයි? අප අවධානය යොමු නොකරනා කරුණ එයයි. දිවයිනේ එක්තරා සරසවියක සිසුන් අත විවිධ දේ සඳහා එකතු කරන ලද මුදල්ද ඇතුළුව රුපියල් ලක්ෂයක් ආසන්න මුදලක් සොරකම් කරන ලද බවට පුවතක් රහසින් සංසරණය වී යට ගියේ මෑතකදීය. ඒ අතර දරුවන්ගේ ආහාර අහේනිය සහ පාසල් රැස්වීම් තුළ දරුවන් කලන්තය දමා ඇද වැටීම ගැන පුවත්ද දැන් යට යමින් තිබේ.

දරුවන්ට අවශ්‍ය දේ ලබා දී ඔවුන් පාසල් එවීම යුද්ධයක්ව තිබේ. ඒ අතර මත් භාවිතය වැනි උවදුරුද බහුලය. පසුගිය කාලය පුරා දරුවන් අත තාත්ෂණික මෙවලම් බහුල වීමත් ඒවා පාවිච්චි කරන ආකාරය පිළිබඳව දරුවන් නිසි ලෙස මෙයෙවීමට අසමත් වැඩිහිටි පරපුරක් සිටීමත් විසින් ඇති කර තිබෙන තත්වයන්ද බරපතලය. වරෙක මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන වෙදුරෙකු මා හා පවසා සිටියේ මේ මෙවලම් වලින් ගැලවීමට නොහැකි වීම ගැන කතා කරන්නට තමන් හමුවට සැලකිය යුතු සිසු සිසුවියන් පිරිසක් එන බවකි. ඒ අතර තවත් ගුරුවරයෙකු මා හා පවසා සිටියේ තම පාසලේ- එය පරසිදු පාසලක් වන අතරම නේවාසිකාගාරයක්ද ඇත්තකි- සිසුන්ගෙන් වැඩි පිරිසක් බඩගින්නේ පාසල් එන බවත් ගුරුවරුන් දැන් අමතර බත් පාර්සල් ගෙන විත් ඒවා දරුවන්ට ගැනීමට තබන බවත්ය. එසේම ඔහු වැඩි දුරටත් කියා සිටියේ මියගිය තම පියා වෙනුවෙන් දීමට නියමිතව තිබූ සාංඝික දානය පන්සලට නොදී තම පාසලේ දරුවන්ට කෑම වේලක් බවට පරිවර්තනය කළ බවයි. ශිෂ්වත්ව විභාගය සමත්ව දිවයිනේ පරසිදු පාසල් වලට ඇතුළුව සිටිනා දුර බැහැර දරුවන් සහ නේවාසිකාගාරගතව ඉන්නා එවන් දරුවන්ට වියදම් කිරීම දෙමවුපියන්ට අසීරුව ඇති තත්වයක දරුවන්ගේ අසරණකම ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ. එසේම තවත් දුර නිහඬව නොසිට රටේ අධ්‍යාපනයේ අර්බුදය ගැන සහ දරුවන් සම්බන්ධයෙන් පවත්නා ගැටළු ගැන විවෘත සංවාදයක් ඇරඹීමට ගුරුවරුන්ද පෙරට ආ යුතුව තිබේ.

පාසල් පද්ධතියෙහි දඬුවම් පිලිබඳව බරපතල සංවාදයක් අරඹන අතරම ගුරුවරුන් වෙත එල්ල කරනා විවේචනයම ඊටත් වඩා බරපතල ලෙස තවත් පාර්ශවයක් වෙත යොමු කිරීමට සමාජය කල්පනා කළ යුතුව තිබේ.

දරුවන් මුදල් සොරකම් කරන තත්වයකට මෙ රට පත් කළේ කවුද? දරුවන්ගේ ආහාර වේල ගැටළුවක් වන තැනට රට පත් කළේ කවුද? අන්තිමටම හිඳුන රටක ඉතිරිව තිබෙන මණ්ඩි ටිකද සොරාකමින් ජනතාව තවදුරටත් පෙලන්නේ කවුද?
අප වහා මේ ගැටළු වලට පිළිතුරු සොයා ගත යුතුය. අප පුලන්නන්ගේ තත්වයට පත් කර තම පාලනයන් පවත්වාගෙන යන්නට කවර පාවාදීමක් වුව කරනා මේ දේශපාලන සංස්කෘතිය සහ දේශපාලකයන් ගැන අපේ විවේචනය එල්ල නොකර සිදුවීම් කෙරෙහි පමණක් ආසක්ත වෙමින් අප සිදුවීමෙන් සිදුවීමට පැන පැන යන්නේ නම් අපේ හෙට දවසද මෙලෙසින්ම පවතිනු ඇත.

යළි කියමි. පාසල් දරුවන් මුදල් සොරකම් කරන තත්වයට රට පත්වූවේ ඇයි? අප මීට පිළිතුර සොයා නොගන්නේ නම් අපේ විවේචන යනු හුදු වාගාලාප පමණක්ම වනු ඇත.

චූලානන්ද සමරනායක

ධනුශ්ක ගුණතිලකගේ දෛවය වෙනස් කළ ගැහැණිය – සැක්සන් මුලින්ස්

0

I am that girl – Saxon Mullins

ධනුශ්ක ගුණතිලකට ලංකාවට එන ටිකට් එක මිස්වුනේ නූලෙනි. වසරකට කලින් මෙම සිද්ධිය සිදු වූවානම් ධනුශ්කට බොහෝ විට ගැටළුවකින් තොරව ලංකාවට ඒමට ඉඩක් තිබුනි. එත් ඒක් ගැහැණියකගේ අරගලයක් එයට හරස් විය.
මේ ඇය නොවේ. ඇය නොවේද නොවේ.

ඔස්ට්‍රේලියාවේ ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් පැවති නීතිවලට අනුව ලිංගික දූෂණයක් සම්බන්ධ නඩු විභාගයකදී චූදිතයාට තමන් වින්දිතයාගේ එකඟතාවය සාධාරණ ලෙස විශ්වාස කළ බවට තර්ක කිරීමේ හැකියාව තිබුන. චූදිත වින්දිතයා එකඟතාවය ප්‍රකාශ කිරීමට කිසිවක් නොකළ අවස්ථාවක වූවත් “මම හිතුවේ එයා කැමතියි කියල“ තර්ක කිරීමට චූදිතයාට පුළුවන්.
2013 වසරේදී එක් දිනක සිඩ්නි නුවර රාත්‍රී සමාජ ශාලාවකදී 18 වැනි වියෙහි සිටි සැක්සන් මුලින්ස්ව එම රාත්‍රී සමාජ ශාලා හිමිකරුගේ පූත්‍රයා වූ 21 හැවිරිදි ලූක් ලාසරස් විසින් දූෂණය කලා. ඒ ඇයට ඔහුව හමුවී මිනිත්තු කිහිපයකට පසුවයි.

2015 වසරේදී පළමු නඩු විභාගයෙන් ලූක් ලාසරස් බලහත්කාරී ස්ත්‍රී දූෂණයට වැරදි කරු වුනා. ඔහු නඩු තීන්දුව අභියාචනය කලා. 2017 වසරේදී සිදුවූ නඩු විභාගයේදී සාධාරණ හේතුමත පදනම් වූ කැමැත්ත පිළිබද වැරදි විශ්වාසයක් මත ලාසරස් ක්‍රියා කර ඇතැයි පවසමින් ඔහු වැරදිකරු නොවනබව තීරණය වුනා.

මෙම අත්දැකීම ගැන ඇය ජූරියට මෙසේ කියා තිබුන. “මම එයාට කිව්වා මම ආපහු මගේ යාළුවා ඉන්න තැනට යන්න ඔනෙ කියල. ඒකට ඔහුට හොදටම තරහ ගියා. හරිම ආක්‍රමණශීලී විදියට හැසිරුනා. මම බයෙන් ගල් ගැහුනා. මම මොනවද කරන්න ඕනෙ කියල මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මම ඔහු කියපු දේ කලා.

ලිංගික හිංසන සිදුවීමකදී බියෙන් ගල් ගැහෙනව කියන එක බොහෝ වින්දිතයන්ගේ අත්දැකීමක්. ඒත් සෘජුව බැහැ යයි නොකීම සහ පොර බැදීමක් වැනි විරෝධයක් නොපෙන්වීම එකගතාවය පෙන්වීමක් ලෙස අර්ථකතනය කිරීමට විත්තිකරුගේ පාර්ශවයට තිබෙන අවකාශය වැඩියි.
ඒ වගේම රාත්‍රී සමාජ ශාලාවට යාම, වූදිතයා සමග සතුටින් කතා කරමින් සිටීම, එකට ඩාන්ස් කිරීම වැනි ඕනෑම දෙයක් චූදිතයාට ලිංගික එකඟතාවයට සාධාරණ විශ්වාසයක් ඇති කිරීමට බලපෑ කාරණා ලෙසට ගෙන එන්න පුළුවන්. සැක්සන් මුලින්ස්ටත් වුනේ ඒ වගේ දෙයක්.
නඩු තීන්දුවෙන් විත්තිකරු නිදහස් වුනා. ඒත් ඇය නිහඩ කිරීමට නඩු තීන්දුවට නොහැකි වුනා. ඇය ඇයගේ යුක්තිය වෙනුවෙන් අරගල කිරීමට තීරණය කලා. 2018 වසරේදී ඇය ඇයගේ කතාව සමග ඉදිරියට පැමිණියා. ඇයගේ කතාව ලැව් ගින්නක් මෙන් ඔස්ට්‍රේලියාව පුරා පැතිරුණා. ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් පැවති නීති රීති විප්ලවකාරී වෙනසක් වෙත තල්ලු කිරීමට ඇයට හැකිවුනා.

2021 නොවැම්බර් 23 වෙනිදා නිව් සවුත් වේල්ස් රජය ලිංගික එකඟතාවය සම්බන්ධයෙන් නව පනතක් සම්මතකර ගත්ත. ඒ ධනුශ්ක ගුණතිලකගේ සිදුවීමට වසරකට කලින්. ඒ නීතිය 2022 පූනි මස සිට බලාත්මක වෙනව. නව නීතිය අනුව ලිංගික එකඟතාවය උපකල්පනය මත නොව සන්නිවේදනය මත පදනම් විය යුතුයි.

මෙම නව නීති වලට අනුව ලිංගික සම්බන්ධය සිදුවෙන නිශ්චිත අවස්ථාවේදී එය උපකල්පනයක් මත නොව සෘජු සන්නිවේදන ක්‍රියාවලියක් මත සිදුවිය යුතුයි. ලිංගික අතවරයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයකුට නිකන්ම “මම හිතුවේ එයා කැමැත්තෙන් හිටියේ“ එහෙමත් නැත්තන් “කෙල්ලො කොහොමත් බෑ කිව්වට කැමැත්තෙන් ඉන්නේ“ කියන උපකල්පන මත පදනම් වෙන්න බැහැ. එම උපකල්පනය තහවුරු කර ගැනීමට ඔහු හෝ ඇය විසින් ගන්නා ලද පියවර පැවසිය යුතුයි.
මනුශ්‍ය ලිංගික සම්බන්ධතාවල තිබෙන සංකීර්ණත්වය සහ ශුංගාරය නීති මගින් සීමා කිරීමට අපහසු බව සත්‍යයක්.

ඒත් ඔස්ට්‍රේලියාවේ සෑම ගැහැණුන් හය දෙනෙකුගෙන්ම එක් අයෙක් සහ සෑම පිරිමි විසි පහකින්ම එක් අයෙක් ලිංගික අපචාරයක වින්දිතයෙක් වී ඇති මොහොතක මනුශ්‍ය සබදතා අතරට නීතිය කඩා වැදීම වැලැක්ව්ය නොහැකියි.

වින්දිතයන්ගේ ගැටලුවට මානුෂික විසදුම් අප ඉදිරිපත් නොකරනතාක්, ඔවුන්ගේ වේදනාවට අප සන්වේදී නොවනතාක් වින්දිතයන් නීතිය දෙසට තල්ලු වීම අපට වැලැක්විය නොහැකිය.
මිනිසුන්ගේ ආත්ම ගෞරවය සහ ආත්ම අභිමානය යනු ගිනි කන්දකි. සමහර ගිනි කදු නිසලය. එත් සමහර ගිනිකදු කතා කරන්නේ ලෝකයක් පුපුරා හරිමින්‍ ය.
එනිසා ගිනි කන්දේ නිසලබව සමග සෙල්ලම් නොකරන්න. සැක්සන් මුලින්ස් ගිනිකන්දකි.

බුද්ධික බණ්ඩාර