“මේ ගීතයේ මට හොඳටම දැනෙන තැන මෙතැනයි”

Share post:

මම මේ දිනවල ළහිරු කිතලගමගේ ‘චුට්ටා’ යොවුන් නවකතාව කියවමින් සිටිමි. ඒ අතරතුර මගේ මිතුරියක් වට්ස්ඇප් එකට වීඩියෝවක් එවා තිබුණි. එය ළහිරු කිතලගම ලියූ ගීතයක් බවත්, එය අසා බලන ලෙසත් ඇය මට කීවාය. ඉතින් මම මඳකට චුට්ටා පසෙකින් තබා එය අසා බැලුවෙමි. පළමු ශ්‍රවණයෙන්ම මගේ හිත ඇද බැඳ ගත් ඒ ගීතය ගැන පොඩි සටහනක් තැබිය යුතුයැයි අනතුරුව මට සිතුණි.

ආදරය, විරහව ගැන අපි ඕනෑ තරම් ගීත අසා ඇත්තෙමු. විවිධ ගී පද රචකයන්, ගායකයන් ඒවා ප්‍රතිනිර්මාණය කර තිබේ. මේ ගීතය ද එබඳු නිර්මාණයකි. නමුත් වචනවලින්, තනුවෙන් සහ ගායකයාගේ කටහඬින් ඒ තුළ අප කලින් අත් නොවිඳි අපූර්වත්වයක් ජනිත වේ. විශේෂයෙන්ම සම්මානලාභී කවියෙකු වන ළහිරු කිතලගම සිය පද රචනාව හරහා අපව සාංකාමය ලෝකයකට රැගෙන යයි. ඔහු ගීතය ආරම්භ කරන්නේ මෙසේය.

“සමු ගන්න කාලය ඇවිල්ලා
ඉඩ දෙන්න, ඉන්නැයි නොඉල්ලා
නැවතුණා නම් මෙතැන අපි හැම
අතැර යන්නට වෙනවමයි
යළිත් එන්නට බැහැ තමයි”

ආරම්භයේදීම අසන්නා හුදෙකලා කන්දක් මුදුනෙහි තනි කරනවා බඳු හැඟීමක් ඇති කරවන ඔහු ඉන්පසුව මෙසේ කියයි.

“ඉතින් නාඬා ඉන්න සොඳුරිය
කලින් යන එක විතරමයි
අඬන්නට හේතුවක් වන්නේ”

බොහෝ ගීතවල අපට හොඳටම දැනෙන තැනක් තිබේ. මේ ගීතයේ මට හොඳටම දැනෙන තැන මෙතැනයි. කොහොමත් මෙය යන්නට තිබෙන ගමනක් බවත්, එකම වෙනස ටිකක් කලින් යෑම පමණක් බවත් ඔහු කියන්නේ ඉතා අපූරු ආකාරයකට ය. යම්කිසි දාර්ශනික විග්‍රහයක් ද ඒ තුළ ගැබ් වී ඇතැයි මට සිතේ. එයින් පසු ගීතය ඉදිරියට ගලා යන්නේ නිරායාසයෙනි.

“නොදන්නා දුර ඉමක සිට
හෙමින් ඇවිදන් එන වේලාවේ
හති වැටී නැවතුණා ඇත්තයි
මෙතැන එක නැවතුමක් පමණයි
ඉතින් නාඩා ඉන්න සොඳුරිය
කලින් යන එක විතරමයි
අඬන්නට හේතුවක් වන්නේ”

බොහෝ දෙනාට පොදු අද්දැකීමක් ළහිරු කිතලගම තමන්ටම අනන්‍ය වූ ආකාරයකින් ඉදිරිපත් කරයි. ඒ සඳහා ඔහු තමාට හුරු පුරුදු කවි බස ඉතා කදිම ආකාරයෙන් භාවිත කරයි. එය අර කන්ද උඩ හුදෙකලා වී සිටින අසන්නාගේ හිත සැනසෙන ආකාරයෙන් ඉදිරිපත් කෙරෙන බස් වහරකි. ඉතින් එවිට කන්දෙන් බිමට නොපැන ජීවිතය දෙස උපේක්‍ෂාවෙන් බලන්නට ඔහු අපව පොළොඹවයි.

“ඉතිරි වුණ යම් දෙයක් ඇත්නම්
ඔහේ තිබුණාවේ
නුඹේ ප්‍රේමය තවත් හෙවණක
යළිත් පිපිුණා වේ
ඉතින් නාඩා ඉන්න සොඳුරිය
කලියන් යන එක විතරමයි
අඬන්නට හේතුවක් වන්නේ”

ගීතය අවසන් වන්නේ එසේ උපේක්‍ෂා සහගත ආකාරයෙනි. අසන්නා සීරුවෙන් කන්දෙන් බිමට බැස එයි. මේ කදිම පද රචනයට තනු නිර්මාණකරුවා සහ ගායකයා ද උපරිම සාධාරණයක් ඉටු කර ඇති බව ඔවුන්ට ගෞරවය පිණිස සඳහන් කළ යුතුමය. එසේ නොවුණා නම් මොන තරම් හොඳ රචනාවක් වුවද ශ්‍රාවකයාගේ හිතේ පහසුවෙන් ලැගුම් ගන්නේ නැත.

ඉතින් අවසාන වශයෙන්, ළහිරු කිතලගමටත් මේ ගීතය හා බැඳුණු අනෙකුත් සියලුම නිර්මාණකරුවන්ටත් සුබ පතමින් මම යළිත් ‘චුට්ටා’ අතට ගනිමි.

දීපිකා වීරතිලක

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...