“මේ ගීතයේ මට හොඳටම දැනෙන තැන මෙතැනයි”

Share post:

මම මේ දිනවල ළහිරු කිතලගමගේ ‘චුට්ටා’ යොවුන් නවකතාව කියවමින් සිටිමි. ඒ අතරතුර මගේ මිතුරියක් වට්ස්ඇප් එකට වීඩියෝවක් එවා තිබුණි. එය ළහිරු කිතලගම ලියූ ගීතයක් බවත්, එය අසා බලන ලෙසත් ඇය මට කීවාය. ඉතින් මම මඳකට චුට්ටා පසෙකින් තබා එය අසා බැලුවෙමි. පළමු ශ්‍රවණයෙන්ම මගේ හිත ඇද බැඳ ගත් ඒ ගීතය ගැන පොඩි සටහනක් තැබිය යුතුයැයි අනතුරුව මට සිතුණි.

ආදරය, විරහව ගැන අපි ඕනෑ තරම් ගීත අසා ඇත්තෙමු. විවිධ ගී පද රචකයන්, ගායකයන් ඒවා ප්‍රතිනිර්මාණය කර තිබේ. මේ ගීතය ද එබඳු නිර්මාණයකි. නමුත් වචනවලින්, තනුවෙන් සහ ගායකයාගේ කටහඬින් ඒ තුළ අප කලින් අත් නොවිඳි අපූර්වත්වයක් ජනිත වේ. විශේෂයෙන්ම සම්මානලාභී කවියෙකු වන ළහිරු කිතලගම සිය පද රචනාව හරහා අපව සාංකාමය ලෝකයකට රැගෙන යයි. ඔහු ගීතය ආරම්භ කරන්නේ මෙසේය.

“සමු ගන්න කාලය ඇවිල්ලා
ඉඩ දෙන්න, ඉන්නැයි නොඉල්ලා
නැවතුණා නම් මෙතැන අපි හැම
අතැර යන්නට වෙනවමයි
යළිත් එන්නට බැහැ තමයි”

ආරම්භයේදීම අසන්නා හුදෙකලා කන්දක් මුදුනෙහි තනි කරනවා බඳු හැඟීමක් ඇති කරවන ඔහු ඉන්පසුව මෙසේ කියයි.

“ඉතින් නාඬා ඉන්න සොඳුරිය
කලින් යන එක විතරමයි
අඬන්නට හේතුවක් වන්නේ”

බොහෝ ගීතවල අපට හොඳටම දැනෙන තැනක් තිබේ. මේ ගීතයේ මට හොඳටම දැනෙන තැන මෙතැනයි. කොහොමත් මෙය යන්නට තිබෙන ගමනක් බවත්, එකම වෙනස ටිකක් කලින් යෑම පමණක් බවත් ඔහු කියන්නේ ඉතා අපූරු ආකාරයකට ය. යම්කිසි දාර්ශනික විග්‍රහයක් ද ඒ තුළ ගැබ් වී ඇතැයි මට සිතේ. එයින් පසු ගීතය ඉදිරියට ගලා යන්නේ නිරායාසයෙනි.

“නොදන්නා දුර ඉමක සිට
හෙමින් ඇවිදන් එන වේලාවේ
හති වැටී නැවතුණා ඇත්තයි
මෙතැන එක නැවතුමක් පමණයි
ඉතින් නාඩා ඉන්න සොඳුරිය
කලින් යන එක විතරමයි
අඬන්නට හේතුවක් වන්නේ”

බොහෝ දෙනාට පොදු අද්දැකීමක් ළහිරු කිතලගම තමන්ටම අනන්‍ය වූ ආකාරයකින් ඉදිරිපත් කරයි. ඒ සඳහා ඔහු තමාට හුරු පුරුදු කවි බස ඉතා කදිම ආකාරයෙන් භාවිත කරයි. එය අර කන්ද උඩ හුදෙකලා වී සිටින අසන්නාගේ හිත සැනසෙන ආකාරයෙන් ඉදිරිපත් කෙරෙන බස් වහරකි. ඉතින් එවිට කන්දෙන් බිමට නොපැන ජීවිතය දෙස උපේක්‍ෂාවෙන් බලන්නට ඔහු අපව පොළොඹවයි.

“ඉතිරි වුණ යම් දෙයක් ඇත්නම්
ඔහේ තිබුණාවේ
නුඹේ ප්‍රේමය තවත් හෙවණක
යළිත් පිපිුණා වේ
ඉතින් නාඩා ඉන්න සොඳුරිය
කලියන් යන එක විතරමයි
අඬන්නට හේතුවක් වන්නේ”

ගීතය අවසන් වන්නේ එසේ උපේක්‍ෂා සහගත ආකාරයෙනි. අසන්නා සීරුවෙන් කන්දෙන් බිමට බැස එයි. මේ කදිම පද රචනයට තනු නිර්මාණකරුවා සහ ගායකයා ද උපරිම සාධාරණයක් ඉටු කර ඇති බව ඔවුන්ට ගෞරවය පිණිස සඳහන් කළ යුතුමය. එසේ නොවුණා නම් මොන තරම් හොඳ රචනාවක් වුවද ශ්‍රාවකයාගේ හිතේ පහසුවෙන් ලැගුම් ගන්නේ නැත.

ඉතින් අවසාන වශයෙන්, ළහිරු කිතලගමටත් මේ ගීතය හා බැඳුණු අනෙකුත් සියලුම නිර්මාණකරුවන්ටත් සුබ පතමින් මම යළිත් ‘චුට්ටා’ අතට ගනිමි.

දීපිකා වීරතිලක

Related articles

පාඨක, විචාරක විචාරාක්ෂියෙන් ගිලිහී ගියේ දෝ, හැඟෙන ‘නිදි නැති නිම්නය ‘

තමන්ට අනන්‍ය මගක, අනන්‍යතා ගුණයක රැඳෙමින් , සෙමෙන් එහෙත් ගැඹුරින් , බරට අඩි තබමින් ලේඛනයෙහි , ලිවීමෙහි නිරත...

මහීෂ්, ලෝක කුසලානය සහ ඉන්දියාව

ඊයේ දිනයේ තෝරාගත් ඉන්දියානු වෙබ් අඩවි කිහිපයකම ප්‍රධාන මාතෘකාව වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්.ඔහු මහීෂ් තීක්ෂණ.මහීෂ් චෙන්නායි කණ්ඩායම නියෝජනය...

උසස් පෙළට නියමිත මහගම සේකරයන්ගේ ‘මාර යුද්ධය’ පද්‍ය පිළිබඳ සරල කියැවීමක්

සිංහල කවියේ ‘සේකර’ සලකුණ කවරෙකුට වුව ද පහසුවෙන් තැකිය හැක්කක් නොවේ. මහගම සේකරයන් කවියෙක්, ගී පද රචකයෙක්, චිත්‍ර...

‘සීනුව නාද කරපල්ලා’ – අනුරාධා නිල්මිණි

වරෙක තමන් හට එල්ල වුන අභියෝගයකින් ජය ගනු පිණිස අර්නස්ට් හෙමිංවේ කෙටිම කෙටි කතාව ලියන්නට පෙළඹුන බවත් ඒ...